Sunday 27 October 2013

අපි මහත්වරුන්ගේ ක්‍රීඩාව 'මහත්වරු' නැතිව ගමට ගෙන ගියෙමු....

ක්‍රිකට් යනු gentlemen's game කියලයි ප්‍රචලිත. ලංකාවත් මේ gentlemen's game එකේ ටෙස්ට් තත්වය ලබා ගත්තා 1982 දී. අතීතයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කලේ කොළඹ සුපරි යයි කියන පාසල් වලින් ආපු ක්‍රීඩකයන්... අඩුම තරමින් කොළඹ ජනප්‍රිය බෞද්ධ පාසල් වලින් එන ක්‍රීඩකයන්ට පවා කණ්ඩායමට එක්වීමට ලේසි උන්නේ නැහැ.. ඉහලම දක්ෂතා තිබීමත්, සුපරි පන්තිය සමග හරි හරියට 'කඩුව' භාවිතා කිරීමට පුළුවන් වීමත් අනිවාර්ය අංගයක් උනා...ටිකෙන් ටික රට 'කොට්' එකෙන් 'නැෂනල්' එකට මාරු වෙන්න ගත්තම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරටු පොඩ්ඩ පොඩ්ඩ කොළඹ/නුවර  හා ඒ ආසන්න ජනප්‍රිය බෞද්ධ පාසල් වලට අවස්ථාව උදා උනා... හැබැයි control එක තිබුනේ 'කළු සුද්දෝ' අතේ..
මෙහෙම හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1982 දී ටෙස්ට් වරම් ගත්තු දවසේ ඉඳන් උන්නේ wholesale එකේ match පරදින එක.. හැබැයි quality ක්‍රීඩකයන් පිරිසක් හිටියා...නියම පොතට ක්‍රීඩා කරන, ප්‍රති විරුද්ධ කණ්ඩායමේ හෝ ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණයේදී පිටට තට්ටුවක් දමා සුභ පතන, නියම  gentlemen type ප්ලයෙර්ස් ලා බොහෝ පිරිසක් ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටියා.. මේ ගුණාංග විදෙස් රටවල පවා පැසසුමට ලක්වුවා පමණක් නොව ඔවුන් දුර්වල කණ්ඩායමක් වෙලත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට ආස කළා.
මොන  gentlemen quality ද match එකක් දිනා ගන්න බැරි නම් කියලා හිතන්න ගත්තු ලොකු උදවිය ටිකෙන් ටික පිට පළාත් වලින් දක්ෂ ක්‍රීඩකයන් සොයන්න ගත්තා.. ඔවුන්ට මිනි කැට හම්බ උනා... කොළඹ collage වල කොල්ලන්ට හිතන්නවත් බැරි උනා ශ්‍රී ලංකා team එකට රිංග ගන්න... ඔවුන් ඉස්කෝලෙදි ක්‍රිකට් ගැහුවත් එතනින් එහාට සිහින මැවුවේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වන්න. මොකද ඒ සිහින, දවල් සිහින බව ගමෙන් ආපු කොල්ලන් පෙන්නලා දුන්නා...ඔහොම සිරාම පොරවල් ටිකක් එකතුවෙලා 1996 දී world cup එක දිනා ගත්තා...ඒක අපේ ක්‍රිකට් ඉතිහාසයේ ලොකුම achievement එක.
දැන් ක්‍රිකට් ගමේ ක්‍රීඩාවක්... කොළඹ සුපිරි පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නමට... බොහොම කලාතුරකින් අර අතීතයේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් කොළඹින් කණ්ඩායමට එක් වෙනවා.. අනිත් උන් ඔක්කොම ගම්මේ... අනික ඒ දවස් වල ගෙදරින් සල්ලි ගෙනල්ලා match ගහපු එක වෙනුවට දැන් වෘතිය ක්‍රීඩකයන් කියල ජාතියක් ඉන්නේ...
gentlemen quality කියන ඒවා දැන් කොහෙද දන්නේ නැහැ... match fixing කියන දේවල් අහලත් තිබුනේ නැති අපේ කණ්ඩායමට දැන් කවුද match fixing නොකරන්නේ කියන එකත් ප්‍රශ්නයක්...පොතේ තියන විදිහට ගහන cover drive එකක් එහෙම දකින්න වෙන්නේ බොහොමත් කලාතුරකින්.  ක්‍රීඩකයන්ගේ පුද්ගලික ජීවිතේ ගත්තත් ඒ වගේ තමයි.. දික්කසාද, ආරවුල් ගෑනු ප්‍රශ්න කෙළවරක් නැහැ.. favouritism වලට සිදුවන තේරීම්, වරාප්‍රසාද ලබා දීම්, සහ අවස්ථාව ලබා ගැනීමට, වරප්‍රසාද ලබා ගැනීමට කරනා දොල පිදේනි ගැන කෙළවරක් නැහැ...
ක්‍රිකට් කියන ක්‍රීඩාව ගමට ගෙන ගෙන යන අතර තුර  ක්‍රිකට් ක්‍රීඩාව සමග එන හර පද්දතිය අප අතර මග දමා ගොස් ඇත. අතීතයේ ක්‍රිකට් ක්‍රීඩකයකු යනු මහත්ම ගුණයෙන් හෙබි පුද්ගලයෙකි.. අද ක්‍රිකට් ක්‍රීඩකයෙකු යනු තවත් එක 'player' කෙනෙක් පමණි..මේ අතර තුර ඉඳහිට මහත්වරුද නැතුව නොවේ..

Wednesday 23 October 2013

ළඳුනේ කොහෙද දුවන්නේ...

මේ ගීතයත් සමග මට මගේ ඉස්කෝලේ කාලය මතක් වෙනවා.. පාසල් වේලාවෙන් පසුව මොකක් හරි තොවිලයක් නටා ඉස්කෝලේ, ඉර බහින්න ඔන්න මෙන්න කියා එලියට ඇවිල්ලා ඊළඟට යන්නේ පාසැල මායිමේ තියෙන සල්ගාදු අන්කල් ගේ කඩේට. කඩේ ඉස්සරහ වැටකේ පඳුර. හිරු මුහුදේ ගිලිනවා දකින්නේ මේ වැටකේ පඳුර අතරින්. රේල් පාරේ වාඩිවෙලා ඉන්නවා පෙනෙන්නේ ඇන්ටන් අයියා.. ඔහු ධීවරයෙක්... යන්තම් නෙමේ හොඳට සළු වෙලා ඉන්නේ ඒ වෙලාවට...මාග්‍රට් අක්කා ඔහු පසු කර කඩේට එයි..'නංගි... කොහෙද යන්නේ...' ඒ ඇන්ටන් අයියා... 'උබලගේ අම්මලාගේ ගෙදර' මාග්‍රට් අක්කගේ පිළිතුර..එතනින් එහා තව කතා නැත ඇත්තේ මහා හිනාවකි... ඇගේ දියණිය..(හරියට නංගි වගේ) කඩේට ආවත් ඇන්ටන් අයියා අහන්නේ ඒ ලෙසමය. 'ඇයි අහන්නේ පාර කියන්නද'.. දියණියගේ පිළිතුර තරමක් ශිලාචාරය. ලොකු නෝනා කෙනෙක් ඔතනින් ගියත් ඇන්ටන් ගේ ප්‍රශ්නේ එලෙසය.. සද්ද නොකර ගියොත් විසිල් පාරක් වදී... ඇන්ටන් අයියට හැදිච්චකම කියලා දෙන්න ගියොත් සුද්ධ සිංහලෙන් නෝනා අහගනි...
මේ මිනිස්සු අත්ත්න්න්ම සඳට හඬන අය නොවෙති... අඳුරේ එලිය දකින්න අපිට වඩා පිං කර ඇත.
මේ ගීතය කෙසේ නිර්මාණය වුයේද යන්න අදහසක් නැත. කෙසේ හෝ වේවා කවුරු තොරගත්තත් සියල්ල සඳහා ඒ සඳහා සුදුසුම කිහිප දෙනා හමු වී ඇත. 'ළඳුනේ කොහෙද දුවන්නේ..' යන්න ඇසීමට සුදුසුම කටහඬ සමන් ද සිල්වා සතුය. ඒ හඬ ඇන්ටන් අයියා ගේ හඬේ ඇති පවුරුෂය වගේ.... එය වෙන කවුරුන් හෝ ආදර බර හඩක් ඇති ගායකයෙක් ගැයුවා නම් මාග්‍රට් අක්කගේ උත්තරය 'පල පො...යෝ යන්න' විය හැක. මාලනී බුලත්සිංහලගේ කටහඬ ද එසේමය... ඒ හඬත් සමග මුඛරි බවක් ජනිත වේ.. මේ කතාව තව දිගට යා යුතු බව හැගේ..
සියල්ලටම වඩා මා ප්‍රිය කරන්නේ සංගීතයට ය. එය තරමක් කර්කෂය... ඒ කර්කශ බව වැල්ලේ ජීවතය කියන්නාක් වැනිය. වරෙක ක්ලැරන්ස් ජීවත් වුයේ මේ වැල්ලේ සමාජය සමගද කියා සිතේ..ජපන් මැන්ඩලින් හඬ ඔවුන්ගේ සාද වල නිතර ඇසේ. 6/8 තාලය ඔවුන්ගේ රිද්මය දනවයි. 
ප්‍රේමකීර්ති මොන අත්දැකීමක් පාදක කරගෙන මේ ගීතය ලියුවද යන්න අදහසක් නැත. නමුත් ඔහුටම ආවේනික උණු සරල පද භාවිතය තුලින් මා ගීතයත් සමග දකින ලෝකය තවත් පැහැදිලි කරයි. පොඩි අවුලකට දකින්නේ 'කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ' යන පද වලය.. මා මවාගත් රූප පෙළත් සමග කුබුර, කමත, නනතොට, නැත.. ඒ වෙනුවට ඇත්තේ..වැල්ල.. ලෙල්ලම... හා පොදු ජල කරාමය... 

http://www.youtube.com/watch?v=nMJUYGG8alc

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ.
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ
රත්තී බැඳපු තැනින් ලෙහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගමනෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරෙයි එළිය දකින්නේ

අද නෑ පෝය දිනේ
විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ
තනිය මකා ගන්නේ කෙසේ..
ඉපදී මියෙන තුරා
ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා
නුහුරු හැඟුම් සිතට නො ඒ...
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ...

තනි වී නොයනු නඟේ
ඉන්න මෙමා එම්ද නඟේ
නැති දෝ සිතට නුඹේ
දැනුනෙ තවත් මිහිර පෙමේ..
කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා
එන්න එපා පිං සිදුවේ..
ලඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

සමනල රෑනක් සේ...

මගේ මතකය නිවැරදි නම් මෙය චිත්‍රපටි ගීතයක්.. 1974 දී තිරගත වූ 'සැණකෙළිය' චිත්‍රපටියේ ගීතයක්.. මම ඉපදිලත් නැහැ...එත් අහල තියෙන විදිහට බොහෝ ජනප්‍රිය වුනු සිනමා පටයක්..විජය, මලානි, ගාමිණී රඟපාපු...විමලදාස පෙරේරා අධ්‍යක්ෂණය කරපු හා.. පැට්‍රික් දෙනිපිටිය සංගීතවත් කල..පැට්‍රික් දෙනිපිටිය ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය...
මේ ගීතය දහස් වරක් අස තිබුනත් හරියට වචන ඇහුවේ මීට අවුරුදු 20 කට පෙර... ඒ කතවත් කියලා දාන්නම්... 
මම කොල්ලා කාලේ මගේ try එකක් තිබුණා tuition class එකක කෙල්ලෙකුට... කරුමෙක මහත... ඒ කෙල්ලගේ යාළුවා මා ගැන උනන්දුයි... මොනවා කරන්නද... මාත් ඉතින් අවස්ථාවක් එනකන් කියා කියා බලන් ඉන්නවා... දෙන්නා එකට ගමන් බිමන්.... කතා කරන්න ගියත් වැඩියෙන් කතා කරන්නේ යාළුවා...වාසනාවකට දවසක් මගේ try එක තනියම class අවා... බොහොම ප්‍රීතියෙන් අදනම් අහනවමයි කියල හිතාගෙන class ඇරිලා යද්දී කතාවට වැටුනා.. මගේ සහයට හිටි මිත්‍රයත් අවස්ථාවට ඉඩදී පැත්තකට උනා...
'කොහොමද' මම කතාවට මුල පිරුවා..
'ආ.. ඔයා meet උණු එක හොඳයි... ස----- ට හොඳටම උණ... ඉස්පිරිතාලේ... ඔය එනවද මාත් එක්ක එයාව බලන්න යන්න...'
'යන්න එන්න පුළුවන් එත් දැන්... මේ රැ... එයාගේ අම්මල මොනවා හිතයි ද...'
'ඇයි ඔයාට upset ද දැන් යන එක.. එය නම් ඔය ගැන ගොඩක් hopes තියාගෙන ඉන්න...'
ඔක්කොම ඉවරටම ඉවරයි...මේ කෙල්ල මට කීයටවත් කැමති වෙන එකක් නැහැ කියල මට හිතුන...කොහොම හරි බොරු කීපයක් කියලා එතනින් ගැලවුණා අවශ්‍යය දෙය නොකියා... ඇවිත් මම මගේ මිත්‍රයට කිව්වා කතාන්දරය... ඌ කියපි.. දැන් උබට තියෙන්නේ අර 'සමනල රෑනක් සේ..' කියන duet එක තනියම කියන්න..අන්න ඒ නිසයි මේ ගීතය හරියට අහන්න උනන්දු උන්නේ...

දැන් සින්දුව ගැන කියන්නම්... මේ ගායනය ගැන කියන්න අටුවා ටීකා ටිප්පිනි අවශ්‍ය නැහැ.. මගේ තේරීම හැටියට ලංකාවේ සිනමාවට සුදුසු කටහඬවල් තිබුණු පළමු ගායකයා ජෝති... ඒකේ සැකයක් නැහැ... දෙවැන්නා මිල්ටන් ... 70 දශකයේ විජය, මාලිනි ගාමිණී යන තුන් කට්ටුවට ගැලපෙන ගීත ගයන කරපු තුන් කට්ටුවක් හිටියා.. ඒ ජෝති, ඇන්ජලීන් හා මිල්ටන්...ඉන්ද්‍රානි පෙරේරා තවත් සුන්දර කටහඬක් තියෙන ගායිකාවක්.. නමුත් හරි ලෙස ඇගයීමකට ලක් උන්නේ නැහැ.. සමහරවිට ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් වගේ මැරුණු පසු අගයන්න ගනීවි....ලංකාවේ party එකකට ගෙනැල්ල සින්දුවක් කියව ගන්න පුළුවන් එකම ගායිකාව ඉන්ද්‍රානි....එතරම් ඒ කටහඬ cheerful.
පැට්‍රික් දෙනිපිටිය තමාට ලැබුණු අවස්ථාවෙන් සිනමා සංගීතයේ සලකුණු ගණනාවක් තියනවා... එකක් තමයි මේ ගීතයේ ආකෘතිය අනිත් යුගල ගී වලට වඩා වෙනස්... මුලින්ම ඉන්ද්‍රානි ගායනය කර පසුව මිල්ටන් ගායනය කරනවා.... සිනමා ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ එක්කෝ තනියම ඉන්ද්‍රානි ගීතය ගායනය කර ඉවර කරයි..හෝ නැති නම් සුපුරුදු යුගල ගීයක් වේවි යන්න... අනික තමයි මේ ගීතයේ guitar එක සමග සිතාර් එක වාදනය කරනවා...හරියට නිමල් මෙන්ඩිස් වයලීනය සමග සිතාරය වාදනය කරනවා වගේ..(නිම හිම සෙව්වා.. මස්ටෙර් සිර ගීතවල සංගීත අධ්‍යක්ෂක )මේ වගේම තවත් සම්ප්‍රදායෙන් පිට පැනපු නිර්මාණයක් කරනවා මේ සිනමා පටයෙම 'රැයක් උද වී...' ගීතයේ... මිල්ටන් විතරයි ගායනය කරන්නේ... නමුත් ගාමිණී මාලනී රංගනයක යෙදෙනවා.. ප්‍රේක්ෂකයා බලන් ඉන්නවා දැන් දැන් මලානි ගීතය ගයන කරයි කියා... 
අපගේ අවාසනාවකට මේ සංගීත අධ්‍යක්ෂක දැන් නිරමාණ කරන්නේ නැහැ... අඩුම ගානේ මාධ්‍යට එන්නෙවත් නැහැ...ලංකාවේ ඉන්නවද කියලත් හරියටම දන්නේ නැහැ...
ඒ වගේමයි.. පදමාලාව ගැන යමක් කිව යුතුමයි..ඉතාමත් සරළ සිංහල වචන ටික හා උපමා, ඉතා අගේට යොදාගෙන තියෙනවා මේ ගීතයේ.. මම ගීතයේ රචකයා ප්‍රේමකීර්ති. මම වචනයෙන් වචනය පද මාලාව විස්තර කරන්නේ නැහැ..නමුත් මා වගේ අත්දැකීම් විඳපු කෙනෙකුට තේරේවි.. 'මගේ දිව දෙතොල් අතර සැන්ගේ..'වගේ පද කොපමණ හදවතට කා වදිනවද කියල..ආදරය ගැන යව්වන යව්වනියන්ගේ හැගීම් ගැන කියන්න මේ තරම් සරළ මිහිරි වදන් පෙළක් ඇතුලත් වෙන ගීතයක් තියෙනවද කියල හිතන්නත් අමාරුයි...

ගීතය මෙන්න.
http://www.youtube.com/watch?v=nPnwlEvlnek&NR=1&feature=endscreen

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.