Wednesday 19 November 2014

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..

කැම්පස් යන්න ගත්තු දවසේ ඉඳන් රස්සාවට යනකම්ම මගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ දුම්රිය. මේ සිදුවීම වුයේ මා කැම්පස් යන කාලයේදී. උදේ වරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සියළුම දුම්රියන් නැවතීම එකල සුලභ කරුණක්. අප යන වෙලාවල් වලට පැමිණෙන සීග්‍රගාමී දුම්රිය අතර 'සමුද්‍ර දෙවි' තමයි වැඩිපුර දෙනා ගමන් පහසුව සලසා ගන්නේ. ඉන්පසුව 'සාගරිකා'. බොහෝ විට 'සාගරිකා' දුම්රියෙන් පසුව පානදුරෙන් ආරම්භ වන දුම්රියෙන් කැම්පස් එකේ 8 ට පටන් ගන්න දේශනයට 9 ට යාමට මා පුරුදුව සිටියා. එදින මා දුම්රිය ස්ථානයට පැමිණෙන විට මගේ මිත්‍රයෙක් දුම්රිය ස්ථානයේ වුහ. මා ඔහුගෙන් 'ඇයි මේ වෙලාවේ' යි. විමසිය. 'අර වේ__ අදත් මට අත වන වන ගියා' ඔහු සිනාසෙමින් පැවසිය. මා හට කාරණය පසක් විය. ඔහු 'වේ__' යි පැවසුවේ 'සාගරිකා' ට ය. මෙවන් වදන් මා හට දුම්රියපොළේදී හොඳහැටි පුරුදුය. සමහරවිට 'මේ අම්මණ්ඩි අදත් පරක්කුයි' පවසයි. ඒ 'සමුද්‍ර දෙවි' ට ය. 'පරක්කු උණු දවසෙත් මේ ගෑණි එන්නේ නලව නලව'- ඒ හෙමින් හෙමින් දුම්රිය පොලට පැමිණෙන තවත් 'දේවි' කෙනෙකුට හෝ 'කුමාරි' කෙනෙකුටය.

කෙසේ හෝ මා හට සුපුරුදු දුම්රිය මැදිරිය පසු කොට මිත්‍රයා සමග වෙන මැදිරියකට ගියේ ඔහු ගේ පහසුවටය. එහි සංගීත සාජ්ජයකි. ඔවුන්ම නිර්මාණය කර ගත් විවිධ තාල භාණ්ඩ සමග ඉතා අගේට ඒ පිරිස ගායනයේ යෙදිති.  බොහෝ ගීත සුභාවිත ගීතයන්ය. මගේ මතකය අනුව දුම්රිය, තව දුම්රිය ස්ථාන දෙක තුනක් පසුකරන්නට ඇත. නිය තොල් රතු කරගත් තරුණියකගේ විලස හැඩ වැඩ වූ  අවුරුදු හතලියක පමණ යුවතියක් මොබයිල් ෆෝන් එකකින් කතා කරමින් කාවදෝ සොයමින් ඉදිරියට පැමිණියාය. ඇයගේ ගමන් විලාසයට හා බාධාවට සාජ්ජය නැවතිණි. ඊලග දුම්රියපොලෙන් කඩවසම් ලාබාල තරුණයකු ඒ දුම්රිය මැදිරියට ගොඩ වූ අතර මා මුලින් කී යුවතිය ඔහු ලඟ නතර විය. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ය. මොහොතකින් ඔවුන්ට එය දුම්රිය මැදිරියක් බව අමතක විය. නැවත සංගීතය ආරම්භ විය. ඔවුන් ගැයූ වේ මෙන්න මේ ගීතයයි.

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//

ඔවුන්ට මේ ගීතයේ අර්ථය දනුනාද සේම ඒ සිද්ධිය හා කෙතරම් ගැලපුනාද යන්න අපැහැදිලිය. නමුත් මේ ගීතය ඇසෙන ඇසෙන වාරයක් පාසා මා හට මේ සිදුවීම මතකයට නැගේ. මේ ගීතයෙන් කතා කරනුයේ විවාහයෙන් කෙලවර නොවන ප්‍රේමයක් ගැනය. එය සම්මත රාමුවෙන් පිටතද  එසේ නමැති නම් අසම්මත ප්‍රේමයක් ද යන්න තීරණය වන්නේ රසිකයාගේ වින්දනය අනුවය. 'ප්‍රේමය' මෙන්න මේ වගේ යි විවිධාකාර හැඩතල නිර්මාණය කරන ගීත රචකයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතයේදී ද එවන් හැඩයක් නිර්මාණය දැක ඇතැයි යන්න මගේ හැගීමයි. 'ප්‍රේමය නම් සඳ එලිය සේ අචින්තයි...', 'බිරිඳ මගේ ඔබ..' (තව බොහෝ ඇත) වැනි ඔහුගේ ගීත සමග සැසදීමේදී මේ  තවත් එක්තරා ආකාරයක 'ප්‍රේමයේ' හැඩයකි. එසේම මෙහිදී 'ප්‍රේම' කිරීමේ අරමුණ 'විවාහයද' එසේ නම් විවාහයක් ගැන නොසිතන ප්‍රේමය 'අසම්මත' ද යන දිසා ඔස්සේද විවිධ කරුණු ගෙනහැර දැක්විය හැක. මහාචාර්ය තුමාගේ සමහර ගීත වල මෙන්න මේ ලක්ෂණය දැකිය හැක. එනම් විවිධ ඉසව් ඔස්සේ රසිකයාට සිතන්නට පෙළඹ වීමයි. මෙහිදී 'තොටුපල අයිනේ' සිට 'ගාට ගාට ඇවිදින්..' රුවල් ඉරි ගිය නෞකාව' තෙක් විවිධ උදාහරණ දැක්විය හැක. එය 'සුනිල් ආරියරත්නගේ ලකුණ' ලෙස සැලකුවොත් වරදක් නැත.

මේ ගායකයා සහ ගායිකාව දෙදෙනාම ජීවතුන් අතර නැත. මොවුන් දෙදෙනාම ක්ෂේත්‍රයේ අසමසම චරිතය. මගේ පුද්ගලික විශ්වාසයට අනුව කපුගේ  සංගීතය භාවිතය සේම ගායනය අතින් දශමයක් හෝ මාලනී බුලත්සින්හලයන්ට වඩා ඉදිරියෙන් සිටි. එහෙත් මා සිතන ආකාරයට මේ ගීතයේදී මාලනියන් කපුගේ ව අතික්‍රමණය කර ඇත. මා හට දැනෙන ආකාරයට මාලනියට හිමි ඒ උච්ච කටහඬ පාලනය කර කපුගේ ගේ හඬට ගැලපෙන ලෙස ගායනය කරනවා යි හැඟෙ (මට දැනෙන අයුරිනි). එහෙත් එය කපුගේ හඬ අභිබවා නොයයි. මෙය එක්තරා ආකාරයක සමාජ රීතියක් අනුගමනය කිරීමක් විය හැක. මක්නිසාදයත් බොහෝ විට තරුණියක් පෙම්වතියක් වූ විට ඇයගේ පෙම්වතාට අනුගත වේ. සමහර විට මේ සම්මතය context එක තුලින් මතුකරන්නට කපුගේ ගේ සංගීතය යොදා ගත්තා විය හැක.

https://www.youtube.com/watch?v=wtdyOM7LujQ

( මුල් ගීතයේ සංගීතය මීට වඩා අගේය. කවුරු හරි ළඟ තිබේ නම් share කරන ලෙස ඉල්ලමි)

Tuesday 28 October 2014

මහින්දට තුන්වරක් බැරි උනොත්...

'මහින්දට තුන් වරක් බෑ' යනු දැන් ප්‍රකට මාතෘකාවකි. ජනතා විමුක්ති පෙරමුණ කාරනා තර්තිකය. ප්‍රධාන වශයෙන් ඔවුන් කරුණු දෙකක් ගැන සාකච්ඡා කරයි. පළමු වැන්න ජනාධිපතිවරණයක් කැඳවීම නීති විරෝධී යන්න ය. දෙවැන්න මහින්ද තෙවන වර ජනාධිපතිවරණයට ඉල්ලීම නීති විරෝධී බවය. මේ කාරනා දෙකටම පක්ෂව හා විපක්ෂව කරුණු දැක්විය හැක.කෙසේ වෙතත් ප්‍රායෝගිකව සියල්ල මහින්ද ට පක්ෂව සිදුවීමට ඇති අවස්ථා බහුලය.

 ජ.වී.පෙ. කාරනා දෙකෙන් මුලින්නම පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමේ කාරණාවය. මෙලෙස දෙවන ජනාධිපති ධුර කාල සීමාව වසර හතරක් ගිය පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කලොහොත්, එයට විරුද්ධව නිතිය හමුවට යායුතුය. බොහෝ විට ජ.වී.පෙ. සහ තනි පුද්ගලයින් වශයෙන් ඔවුන් අධිකරණයට යාවි යි සිතිය හැක. මෙහිදී චෝදනා එල්ල වනුයේ මහින්දට නොව මැතිවරණ කොමසාරිස් තුමාටය. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම වැරදි/නිවැරදි විය හැක. මෙය බොහෝ විට නිවැරදි විය හැක. අහම්බෙන් හෝ වැරදි වූ හොත් කුමක් සිදුවේද?

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වන්න සිහින මවමින් සිටින රනිල් ප්‍රමුඛ එ.ජා.ප. යට පළමුව වෙන අතක් සොයා ගතයුතුව ඇත. මන්ද ජනාධිපතිවරණයකට ඔවුන් මේ අවස්ථාවේදී කැමති බව හා ව්‍යවස්ථා විරෝධී නොවන බව ඉඟි කර ඇති නිසාය. නිතිය ඉදිරියට ගිය පුද්ගලයින් කෙසේ වෙතත් ජ.වී.පෙ මෙය ඔවුන්ගේ ජයග්‍රහණයක් බවට පත්කරගනු නොවනුමානය. මහින්ද ගේ රජය ප්‍රමුඛ මාධ්‍ය ජනතා කැමැත්තට නිතිය මගින් ඉඩ අහුරුණු බව මහජනයාට ඒත්තු ගන්වන්නට ක්‍රියා කරනු ඇත (සමුර්ධිපනත සේ). එසේම විනාශ වී යන ජනප්‍රසාදය නැවත ඇති කර ගැනීම සඳහා ජනතාවට දැනෙන ආකාරයේ අල්ලස් හා දුෂණ විරෝධී ක්‍රියාවන්, යහ පාලනය ඇති කිරීමේ උවමනාවන් පෙන්නුම් කරනු ඇත. සමහර විට රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්ථා සංශෝධන ඒ ආකාරයෙන්න්ම කෙසේ වෙතත් මහින්දට ගැලපෙන ආකාරයට සකස් කර අනුමත කරනු ඇත. සමහර විට මහා මැතිවරණයකට යාමටද පුළුවන. එවිට සන්ධාන ගතව සිටින සියළු ආණ්ඩුවේ පක්ෂ එකාමෙන් තම මන්ත්‍රී ආසනය රැක ගැනීමට වෙහෙස වී ක්‍රියා කරන අතර, 2/3 බලයක් කෙසේ වෙතත් එක් ආසනයකින් හෝ දෙකකින් ආණ්ඩු බලය රැකෙවියි යි සිතිය හැක. එසේ නොවුනත් සුළුතර බලයකින් එ.ජ.ප. ප්‍රමුඛ කණ්ඩායමක් පාර්ලිමේන්තු බලය ලබා ගත හැක. නමුත් ජනාධිපති මහින්ද වන අතර, වසරක් ඇතුලත් ඒ ආණ්ඩුවට සියළු බාධක පමුණුවා නැවත මැතිවරණයකට ගොස් සන්ධාන රජයක් පත් කර ගැනීමට අවස්ථාවක් ඇත (චන්ද්‍රිකාත්  කරා නම් මහින්ද වඩාත් පහසු ලෙස එය කරනු ඇත). එසේ වුහොත් ඒ  ජනප්‍රියතාවය සමග මහින්ද නැවත වරක් ජනාධිපති විය හැක. මේ සියල්ලම සිදු නොවුනොත්, මැතිවරණ කාල සිමා සියල්ල උල්ලංඝනය කර අන්ත දරදඬු පාලනයකට යා හැක. මෙසේ බලන කල 'යකා' එළවිය යුතු නම්, එලෙස එළවීමට ලැබෙන පළමු අවස්ථාවම මග හැරුනොත් නැවත අවස්ථාවක් නොඑනු ඇත.

යම් හෙයකින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම නිත්‍යානුකුල වුහොත් (බොහෝ විට එය එලෙසෙම වේ) මහින්ද නාමයෝජනා ඉදිරිපත් කරයි. එසේනම් එය ව්‍යවස්ථා විරෝධී යි පවසා නැවත උසාවි යායුතුය. කලින් උපකල්පනය කල පරිදි මහින්දට පක්ෂව තීන්දුව ලැබිය හැකි නමුත් යම් හෙයකින් විරුද්ධව ලැබුනා යි සිතමු. අනිවාර්යෙන් සන්ධානය වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතුය. බොහෝ විට ඔවුන්ගේ තෝරා ගැනීම ගෝඨාභය විය හැක. එසේ වුහොත් තත්ත්වය ඉතා බරපතලය. රාජපක්ෂ වරුන් අතරින් වඩාත් ජනප්‍රසාදය පවතින්නේ ගෝඨාභයට ය. එසේම ඔහු විසින් නිර්මාණය කරගෙන ඇති සිංහල බෞද්ධ බලවේග වලින් සිංහල බෞද්ධ ඡන්ද පදනම තව පුළුල් කරනු ඇත. සමහර විට යුධ ජයග්‍රහණ සමග 2005 දී  මහින්ද ලැබූ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය අතික්‍රමණය කිරීමට පුළුවන. සමහරවිට මහින්දට තුන් වරක් බැරි වීම රාජපක්ෂ වරුන්ට වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් විය හැක. කෙසේ වෙතත් ගෝඨාභය ජනාධිපති වුහොත්,මේ පවතින ක්‍රමයේ වෙනසක් නොවෙන අතර පාලනය හමුදාකරණය වීමක් සිදුවිය හැක.

බොහෝ විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යි පවසා ජ.වී.පෙ ඡන්ද වර්ජනයක නිරත විය හැක. එසේ වුහොත් 'හොර ඡන්ද' දැමීමේ අවස්ථාව ආණ්ඩුව පවරවා ගනු ඇත. මහින්දට අඩුවක් පවතින ඡන්ද ලක්ෂ 3-4 ප්‍රමාණය ලේසියෙන් පුරවනු ඇත. ජනාධිපතිවරණයක් කැඳවීම, හෝ මහින්දට තුන්වරක් බැරි වීම ව්‍යවස්ථා විරෝධී යන්න තාර්තික විය හැක. නමුත් ප්‍රායෝගිකව ඒ සටන කුමන ආකාරයකින්වත් ජනතා ජයග්‍රණයක් බවට පත් විය නොහැක.

Wednesday 22 October 2014

හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...

ජීවිතයේ නව යෞවන වියේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් නැවුම්ය. සුන්දරය. පිවිතුරුය. මා මුලින්නම මේ ගීතයේ ඇසුවේ මා නව යෞවනයෙකු ලෙස සිටි කාලයේදී ය. සිතේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව ඒ හැගීම් තුලින්ම තමාම වින්දනය ලැබූ හෝ ලබන සිදුවීම් සත්‍යකින්ම යලි යලිත් මතක ආවර්ජනය තුලින් අපව අතීතයට ගෙනයයි. මේ ගීතය පුරාවටම තිබනුයේ ඒ දඟකාර නැවුම් ප්‍රේමයේ වින්දනීය පෙළහරය.
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී
මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී
හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී
හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...
කිසියම් දිනෙක යුවතියෙකිගේ නිල් නුවන් ඉදිරියේ ප්‍රේමනීය සිතුවිලි දෝර ගලාවිත් ඇයගේ නමින් ඔබේ හදෙහි දොරටු විවර වුයේ නම් අමරසේන කන්කානම්ගේ මහතා කියන ස්වභාව සිරි ඔබත් දකිනු නියතය. හොරෙන් සිනාසිසී නිල් දිය මත පාවෙන සඳ, නීල වලාවන් තුලට ගුලිවන මල් සුවඳ, නුරාවෙන් වෙලෙන අඳුර මේ සියල්ලේ චමත්කාරය ප්‍රේමයෙන් මුසපත් වූ ආදරවන්තයෙකුට අරුමයක් නොවේ..
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළුවෙලා.........
මේ ගීත කාණ්ඩයත් සමග මට මැවෙන්නේ නුගේගොඩ ටියුෂන් පන්තියක මග දෙපසය. රංචු රංචු සුන්දර ගැහැණු ළමුන් පෙළ ටියුෂන් පන්තියට යන අතර තුර පිරිමි ළමයින් මග දෙපස ඔවුන් දෙස බලාසිටි. එලෙස යන ගැහැණු ළමුන්ගේ කිරි කවඩි සිනහවේ හඩෙහි ඉවරයක් නැත. මෙලෙස යන කෙල්ලන් අතර තම සිත් ගත් තැනැත්තිය ගේ රුව මතු වුහොත් සිත ගොළු වීම අරුමයක්ද?
ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ
රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්
ඔබ ළග නැවතිලා.................
තම සිත් ගත් තැනැත්තිය ගේ ස්ත්‍රී රූපය තුළින් ඔහුව ආකර්ෂණ කර ඇත. සංදේශ කාව්‍යයේ කාන්තාවකගේ පියයුරු සමකරන්නේ විලකින් ඉගෙලෙන්නට සුදානම් වූ හංස ජෝඩුවක් ලෙසටය. මේ හංස 'රැගුම' ඔහුව මන්මත් කර ඇත. ඔහු බලාපොරොත්තු වන්නේ තොලෙන් තොලට දී මේ සෙනහස පවතිය යන්නය. එය හුදෙක් රාගය සඳහා පමණක් ඇති වූ හැඟීමක් නොවේ. සතුට ගෙනා සිත ඇය ලඟම නවතින්නට තව හේතු කාරනා අවශ්‍ය නැත.
පදමාලාවට අමතරව මේ ගීතයේ ගායනයත් සංගීතයත් ගැන කිසිවක් නොකීවොත් එය මුළු ගීතයටම කරන අසාධාරණයකි. මා හට හැගනුයේ මේ ගීතය ගායනය කිරීමට ඒ අවධියේ සිටි සුදුසුම පුද්ගලයා එඩ්වඩ් ජයකොඩි යන්න ය. ඔහුගේ හඬ ලාලිත්යෙන් පරිපුර්ණය.ප්‍රේමන්විතය. නව යෞවනයේ හඬය. මුළු ගීතය පුරාවටම නොඉවසිලිවන්ත ප්‍රේමාන්විත යෞවනයාගේ හදවතේ රිද්මය, ඔහුගේ ගායන රිද්මය සමග එක්ව ගමන් කරයි. රෝහණයන් ගේ සංගීතය පුරාවටම මෙලෙස ප්‍රේමයෙන් මුසපත්ව ඉගිලී යන සමනලයෙකුගේ විලාසය පෙන්න්නුම් කරයි. නමුත් ගීතයේ පද ගායනයේ දී, තබ්ලාව වැයෙන හඬින් ඒ හැගුම් නිසා සිතේ ඇති බර විදහාපායි.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday 30 July 2014

මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

ඇය නවාතැන් ගෙන සිටියේ තමන්ගේම නිවසේ නොවේ. තමන්ගේ ගෙදරින් පිට නවාතාගෙන් සිප්සතර හදාරා, ඇය සරසවි වරම් ලබන්නේය. එය ප්‍රීතිමත් හේතු කාරනවක්ය. එහෙත් අපේ කතා රචකයාට ඇත්තේ අසීමිත දුකකි. එය ඇය සරසවි වරම් ලබූ නිසා නොව නවාතැනින් යාම නිසාය. අසල ගසක හඬ නගන පාන්කිරිත්තා ගෙන දෙන්නේ ඒ ශෝකී බව සමග මුසල කමකි.

නවාතැනින් ඇය යනවා 
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

අපේ කතා රචකයා සරසවිය සිතින් මෙනෙහි කරන්නේ මේ අවස්ථාවේදීය. හිරිමල් යොවුන් වින් ඉක්කම භද්‍ර යොවුන් වියට පැමිණි යෞවන යෞවනියන්ගේ සිනහා හඬ කවට කම් සමග සරසවි මග තොටේ දකින පෙම්වතුන් ඔහුගේ සිහියට නැගේ. ඔහු තුල දුකත් සමග සිතේ ඉරිසියාවක්ද ඇතිව ඇතිබව අපට හැඟෙ. ඒ මෙවන් චමත්කාර ජනක සරසවි වරමක් ඇයට ලැබීමත් තමන්ට නොලැබීමත් ගැනය.

භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම්බැදි
සිනා කවට බස් පවසති 
කුමර කුමරියන්..

ඒ සමග ම ඔහුගේ සිතට සැකයද පැන නැගී ඇති බව පෙනේ. නවාතැනේ සිටි යුවතිය ගේ සිත වෙනස් කිරීමට බොහෝ දේ සරසවිය තුල ඇති බව ඔහුට මතකයට නැගේ... ඇයගේ ඇත පතන පිරිස් තවත් සිටිය හැක. ඔවුන් රසවත් හසුන් ඇයට පිරිනැමීමට පුළුවන. ඇය ඒවාට අසු වේවිද? එසේ නැති නම් මේ වෙනස් ලෝකය තුල ඇයට අතීතය අමතක වේවිද? එක්කෝ සරසවියේ කඩවසම්, ජනප්‍රිය, දක්ෂ යව්වනයෙක් කෙරෙහි ඇයගේ සිත යාවිද.. මේ සියල්ල ඔහුගේ සැකය තුල ඇතිවන ප්‍රශ්නය.

ඇසුර පතන දූත හසුන් 
අවට මැවෙත නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිත්

මෙසේ සැකයේ වෙලෙන අප කතාරචකයා, වරෙක ඒ සියල්ල අමතක කිරීමට උත්සහා කරයි.. ඇය හිස පීරන උදෑසනක දුටු රුව ගැන කුරුල්ලන්ට ගී ගයන්න එපා කියන්නේ මේ නිසාය. ඔහු සිතනුයේ, ඔහු දුටු ඒ මනස්කාන්ත රුව කුරුල්ලන් ද දැක ඇති බවය. මෙසේ ඒ රුව නැවත නොදකිම නිසා කුරුල්ලන් ඒ ගැන ගී ගැයීම ඔහුට මතකය ආවර්ජනය කිරීමකි.

මතක විමල් කවුළු දොරින්
හිස පීරන උදෑසනක
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

කෙසේ හෝ ඔහුගේ සිතේ යම් බලාපොරොත්තුවක් ඇති බවක් පෙනේ. ඇය සරසවි ජීවිතය අවසන් කර නැවත පැමිණේ යයි ඔහු සිතයි. එය කොපමණ කාලයක්දයි ඔහු නොදනී.. සමහර විට කල්පයක්... විය හැක.. සමහර විට ඒ සඳහා ඉර අවරින් පායන තුරු සිටිය යුතුය.. එනම් ඇය නැවත නොපැමිණිය හැක. එහෙත් නවාතැනේ ඇය පිලිබඳ තිබු මතකයන් සමග සිහිනෙක වේලි සිටින්නම් යන්න ඔහුගේ බලාපොරොත්තුව.

ශිල්ප සතර දැන එනතුරු 
කල්ප කාල පසුවනතුරු
ඉර අවරින් පායනතුරු 
සිහින දකින්නම්..

සුනිල් සරත් පෙරේරාගේ අපුර්වම පදවැලකි මේ. මෙය ඔහුගේ අත්දැකීමක් යයි මා අසා තිබේ ( වැරදි විය හැක.) මෙහි අපුර්වත්වය නම් කොතනකවත් මේ තැනැත්තිය ඔහු ගේ පෙම්වතිය බව සඳහන් නොවීමයි. සමහර විට ඔහු සිතින් ඇයට ආලය කරන්නට ඇත. එසේම ඔහු සරසවි වරම් නොලැබුවා යන්න ද මෙහි සඳහන් නැත. සමහර විට ඇය නොයන සරසවියක අපේ කතා රචකයා ශිෂ්‍යයෙක් වීමට ද පුළුවන්. ඔහුගේ එකම කනගාටුව නිතර ඒ විප්‍රයෝගය ය. ඇය තමා අසල නොමැති වීම තුල මනසේ නැගෙන විවිධාකාර වූ අරගල සැමට පොදුය. අරුමය නම් ඒ සියල්ල සංයමයකින් විඳදරා ගැනීම වීනා ඒවාට එරෙහිව ක්‍රියා නොකිරීමය.

සනත් නන්දසිරිගේ සංගීතය හා හඬ, පුදුමාකාර ශෝකකුල බවක් නිර්මාණය කරයි.. ඒ සංගීතයේත් හඬේත් ඇති නිවුණු බව පදමාලාව සමග හරි හරියට බද්ධ වී ඇත. තරමක් දුරට ඔහුගේ නිදිකුම්බා මල් කැකුලි ගී යට සමාන බවක් මට හැඟෙ.
https://www.youtube.com/watch?v=dJ1d8_ZkIA4

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Tuesday 29 July 2014

කාර් රේස් තියන්න නුවරම ඕනනේ ඇයි?

රටේ ජාතික ප්‍රශ්න ඕන තරම් තිබේ. එත් ආණ්ඩුවටත් විපක්ෂයටත් ලොකුම ප්‍රශ්නයක් වන්නේ නුවර කාර් රේස් ය. නුවරට කාර් රේස් අවශ්‍ය ඇයි. මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. මන්ද නුවර මාර්ග රේස් තියා ගම හරහා දුවන්නවත් සුදුසු මාර්ග නොවේ. ඒ මදිවට කාර් රේස් නැරඹීම සඳහා සුදුසු පරිසරයක් ද නැත. එත් නුවරට කාර් රේස් අවශ්‍යය. මන්ද මහින්ද රාජපක්‍ෂ යන රේස් එක දිවිමේදී ප්‍රතිවාදියාට යම් රිදිවිමක් කිරීමට නුවර කාර් රේස් වලට පුළුවන්ය.

මහින්ද රාජපක්ෂ යනු කවුද? හම්බන්තොට ප්‍රාදේශීය ප්‍රභූ පරම්පරාවක සාමාජිකයෙකි. ඔවුන් ගේ පරම්පරාව මෙරට පාලනය උරුමකම් කියූ පරම්පරා වලට සම්බන්ධ පවුලක් නොවේ. අතීතයේ මෙරට පාලනයට හවුල් වූ හා උරුමකම් කියූ ඇල්ලේපොල, කැප්පෙටිපොල, මඩුගල්ලේ වගේ රදළ හෝ ප්‍රභූ (මොවුන් රදලයන්ද ප්‍රභූ වරුන්ද යන්න වෙනම කතා කල යුතුය) පරම්පරා වල වර්තමාන පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් ජීවත් වනුයේ විදේශගතවය. ඔවුන් තවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය පිලිබඳ උනන්දුවක් නැත. යටත් විජිත යුගයෙන් පසුව පාලන බලයට උරුමකම් කියූ සේනානායක, බණ්ඩාරනායක, විජේවර්ධන, කොතලාවල වැනි පරම්පරා වලින් වර්තමානයේ නියෝජනය වන්නේ රනිල් වික්‍රමසිංහ පමණි. මොවුන් කුමන පක්ෂයකින් බලය ඉල්ලුවත් නියෝජනය කරනුයේ එකම පැලන්තියකි. වරක් අනුර බණ්ඩාරනායක රුපවාහිනී සාකච්ඡාවකට පැමිණ පැවසු කරුණක් මෙහිදී මතක් කරන්නට කැමතිය. 'දකුණු ආසියාවේ දේශපාලන බලය හිමි පවුල් කිහිපයකි. එනම් ඉන්දියාවේ ගාන්ධි, පකිස්ථානයේ භූතෝ, බංගලාදේශයේ අහමඩ් වගේ ලංකාවේ බණ්ඩාරනායක. මා එවන් පවුලක සාමාජිකයෙකි.' මෙය බැලූ බැල්මට උඩඟු ප්‍රකාශයකි. එහෙත් යථාර්තය නම් එයය. මහින්ද යනු මෙවන් පවුලක සාමාජිකයෙක් නොවේ.

දේශපාලන අරමුණු කෙසේ වුවද ඉහත සඳහන් කල පැලැන්තියේ සාමාජිකයන් විවිධ ක්ශේස්ත්‍ර නියෝජනය කළහ. චිත්‍ර කලාවෙන් ජෝර්ජ් කිට්, ගෘහ නිර්මාණ ශිල්පයෙන් ජෙෆ්රි බවා සිනමාවෙන් ගාමිණී ෆොන්සේකා/අයිරාංගනී සේරසිංහ, ලෙස්ටර් ජේම්ස් පිරිස්  ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙත්තමුණි/රන්ජන් මඩුගල්ලේ ආදිය ද කදිරගාමර්/ඇතුලත්මුදලි/පොන්නම්බලම් වැනි මහජන නියෝජිතයන්/නීති විශාරදයන් ද මින් කිහිපදෙනකි. මොවුන් දෙස විමසිලිවත්ව බැලූ විට එක් විශේෂයත්වයක් දැකිය හැකිය. හොඳින් ඉංග්‍රීසි බස හැසරවිමත්, තමන්ගේ විෂය පිළිබඳව ඇති හසල දැනුමත්, අනිකුත් විෂයන්  පිලිබඳ විශේෂ වූ අවබෝධය මින් වැදගත් වේ. මීට අමතරව තමන්ගේ සම්භාවනීය බව සඳහා ලෝකයේ සම්භාවනීය දේවල් පරිශීලනය මොවුන් අතර  කැපී පෙනේ. උදාහරණයක් ලෙස කොළඹ විදේශීය ඔපෙරාවක් පෙන්වන විට මේ කණ්ඩායමේ නියෝජිතයෝ බොහෝ දෙනෙක් එහිදී දැකිය හැක. කොළඹ SSC, BRC, කොළඹ ගොල්ෆ් සමාජය, ලයනල් වෙන්ට් ආදී සමාජ වල  සාමාජිකයන් වීමද එක් ලක්ෂණයකි.

මහින්ද අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් හා නාලන්දා විද්‍යාල වලිනි. දේශපාලන බලයත් සමග සිටි මහින්දගේ පියා, මහින්දව රෝයල් කොලීජියට අධ්‍යාපනය සඳහා නොයව්වේ මන්ද? මහින්දගේ සමකාලින දේශපාලන චරිත බොහොමයක් රෝයල් ශිෂ්‍යයෝ ය. අනුර, රනිල්, දිනේෂ් මින් කිහිපදෙනකි. යථාර්තය නම් මහින්දගේ පියා ලංකාවේ සිවිල් බලයක් හිමි පුද්ගලයෙකු වුවද රෝයල් කොලීජියට ළමයා දමා ගැනීමට තරම් ඒ බලය ප්‍රමාණවත් නොවීමය. එසේ නැති නම් වරප්‍රසාද ලත් කණ්ඩායම  නියෝජනය නොකිරීමය. රෝයල් අධ්‍යාපනය හිමි කම් කියුවේ මා මුලින් සඳහන් කල රදළ/ ප්‍රභූ කණ්ඩායම් වල ළමයින්ට ය. රජය මේ කාණ්ඩයේ පාසල් රජයට පවරා ගැනීමත් සමග මෙවන් පාසල් වල අධ්‍යාපන පහසුකම් සාමාන්‍ය ජනයාටද හිමි විය.

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් මහින්ද පළමු වරට බලයට පත්වන්නේ 70' දී ය. 'කුරහන් සාටකය' පොතෙහි සඳන් වන අන්දමට මහින්දට පළමු කාර් රථය ප්‍රදානයකි. එය ප්‍රදේශයේ මහජනයා මුදල් එකතු කිරීමෙන් මහින්දට මිලදී අරන් දුන් මෝටර් රථයකි. මේ කාලයේදී ජේ ආර් ජයවර්ධන පරිහරණය කළේ ජගුවර් වර්ගයේ කාර් රථය කි. පැහැදිලි ලෙසම මෝටර් රථයක් මිලදී ගැනීම තරම්වත් මහින්දගේ ආර්ථිකය ඒ කාලයේදී ශක්තිමත් නැත. මහින්දගේ රැකියාව වුයේද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහකරුය. සරල ලෙස පැවසුහොත් එකල මෙරට සිටි ඉහල පෙලේ ධනපති පැලන්තිය නියෝජනය කිරීමේ හැකියාවක් ද මහින්දට නොවිය.

මහින්දගේ ඉවසීමත්, නොපසුබස්නා උත්සාහයත් ඔහුව නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කරවිය. මහින්දට විරුද්ධව තමන්ගේ පක්ෂයේද එදිරිවාදිකම් කළේ මා ඉහත සඳහන් කල කණ්ඩායමය. ඔවුන්ට අවශ්‍යය වුයේ ඔවුන්ගේ සාමාජිකයෙක් අත බලය රඳවා ගැනීමය. එය චන්ද්‍රිකාද රනිල් ද යන්න නොවේ. ඔවුන්ගේ පැලන්තිය නියෝජනය කරන කවුරු හෝ මෙරට පාලන බලයට හිමිකම් කීමය.

මහින්දගේ පුතුන් ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යන්ය. ඔවුන් ඒ පාසලට ඇතුලත් වීමට මහින්දගේ දේශපාලන බලයට වඩා ශිරන්තිගේ ආගමික පසුබිම බලපාන්නට ඇත. තිදෙනාම හොඳ රගර් ක්‍රීඩකයන් ය. නාමල් හා යෝෂිත ශ්‍රී ලංකා රගර් කණ්ඩායම නියෝජනය කිරීමේ ලකුණු පාසල් කාලයේදීම පෙන්විය. රගර් ක්‍රීඩා සමාජ ගත කල ඒවායේ උරුමකම් කිවේ ද මා මුලින් සඳහන් කල කණ්ඩායම් ය. නුවර ක්‍රීඩා සමාජය, CH & FC, හැව්ලොක් මේ කිහිපයක් වන අතර රාජපක්ෂ පුතුන්ගේ හැකියාවට මේ ඕනෑම කණ්ඩායමක් නියෝජනය කිරීමේ හැකියාව තිබුණි. එහෙත් එවන් කණ්ඩායමක සාමාජිකත්වය ලැබුවද නායකත්වයට යාමට දක්ෂකම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා තව තව සුදුසුකම් සැපිරිය යුතුය. ජනාධිපති පුතුන් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජපක්ෂ පුතුන් රගර් ක්‍රීඩාව සඳහා තෝරා ගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජය. යෝෂිත රගර් කණ්ඩායමේ නායකත්වයට පත් කල පසු, නුවර රගර් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වර්ජනය කිරීම තරම් මේ උඩගු කම ප්‍රබල විය.

අනාදිමත් කාලයක සිට මෙරට කාර් රේස් පැද්දේ මා ඉහත සඳහන් කළ කණ්ඩායමේ සාමාජිකයන්ය. ඔවුන්ට වර්තමානයේ මෙන් ලම්බෝගිනි, ෆෙරාරි, රථ තිබුනේ නැත. රේස් පැදීම සඳහා වෙනස් කරන ලද රථ යොදා ගනිමින් මතුගම කාර් රේස් තරගාවලිය නියෝජනය කිරීම ඔවුන්ගේ සම්භාවනීය බව පෙන්වීමට වාර්ෂිකව කල එක් කාර්යකි. අප කුඩා කාලයේ කාර් රේස් සමග නිතර කියවූ නමක් වුයේ මානප්පෙරුමය.

මහින්ද කාර්රේස් වලට එක්වන්නේ ලෝකයේ ඉස්තරම් වූ ස්පෝර්ට්ස් කාර් සමගය. දැන් ඉහත සඳහන් කල ඒ පැලැන්තියට මහින්ද සමග හරි හරියට රේස් යාමට සුදුසු රථ නැත. මුලින්ම මහින්ද කලේ ඔවුන්ට පෙනෙන්නට රේස් යාමය. පසුව තීරුබදු රහිතව රේස් කාර් ගෙන්වීමට සැලැස්වීමෙන් තමන්ට හිතවත් කාර් රේස් පැදිය හැකි කණ්ඩායමක් මහින්ද නිර්මාණය කළේය. දැන් ලංකාවේ කාර් රේස් පදින්නට නම් මහින්ද සමග එක් වියයුතුය. තවමත් මේ 'ඉහල' පැලැන්තිය මහින්ද සමග නැත. ඔවුන්ට පුංචි රිදවීමක් කිරීමට නුවර කාර් රේස් වලට හැකිය. මක්නිසාදයත් නුවර මේ පැලැන්තිය මහින්ද සමග එක් වීමට තවම සුදානම් නැති බැවිනි.

මහින්ද තවමත් චන්ද්‍රිකා ගේ ක්‍රියාවන් ගැන බලා සිටින්නේ මේ පැලැන්තිය නියෝජනය කරන රදළ මානසිකත්වයක් හිම දේශපාලනයට සම්බන්ධ එකම තැනැත්තිය ඈ නිසාය. රනිල් මේ කණ්ඩායම නියෝජනය කල ද රනිල් ගේ ලිබරල් අදහස් අනුව ඒ පැලැන්තියට පැවතිය හැකිද යන්න තවමත් ප්‍රශ්නකාරිය.

'56 ආණ්ඩු පෙරළිය ගැන මාටින් වික්‍රමසිංහයන් සඳහන් කලේ 'බමුණු කුලේ බිඳ වැටීමක් ලෙසය'.බිඳවැටීම කෙසේ වෙතත් යම් වෙනසකට භාජනය වූ බව දැකිය හැක. ලාංකීය දේශපාලනයේ වැඩවසම් නියෝජනය අවසන් වීමේ ලකුණු එදා දිස් විය. නමුත් ඒ දේශපාලන බලය රදළ වලව්වෙන් සමාජ ප්‍රජත්‍රන්තවාදීන් අතට නොගොසින් අන්තවාදීන් හා අමනයන් අතට පත් වීම අප සැමගේ අවාසනාවන්ත කමය.

මහින්ද ගේ පාලනයේ අඩු ලුහුඩු කම් එමටය. එහෙත් ඔහුගේ ප්‍රශ්න ඉදිරියේ නොසැලෙන ගුණය අසම සමය. ජාතික හා ජාත්‍යන්තර ඔහුට පැමිණෙන බලපෑම් ඉදිරියේ නොසැලී සිටීම පමණක් නොව නැවත රිටන් එකක් දීමට තරම් එඩිතර කම විශේෂය. මහින්දට තර්ජනය පවතින්නේ කාගෙන්ද යන්න මහින්ද ද හොඳින් දනී. එය පාලනය කල හැක්කේ කෙසේද යන්නද වඩා හොඳින් දන්නේ මහින්ද පමණි. මහින්දට ඡන්ද අඩුවෙන්ම ලැබෙන කොළඹ හා නුවර කාර් රේස් පැවැත්වීමට මෙතරම් උනන්දු වන්නේ ඒ නිසාය.

Tuesday 8 July 2014

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...

IELTS exam එක ඉවර වෙලා මා විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට හොඳටම හවස් වී තිබුණි. ඒ මදිවට සිහින් පොද වැස්සක් සමග හාත්පසම අඳුරුය. වැස්ස පායන තුරු පොඩ්ඩක් ඉවසා සිටීමට මම අසල තිබු වහල් පියස්සකට මුවා වුනිමි.තව බොහෝ දෙනෙක් මා මෙන්නම වැස්ස නිම වන තුරු එතන බලා සිටින්නට වුහ. මා ඉදිරියේ අනිත් පස කෙල්ලෝ රංචුවකගේ සිනහා හඬ හොඳට ඇසේ. ඔවුන් එකිනෙකාට ඔච්චම් කරමින් සිනාසෙයි. මා මෙන්ම මා අවට සිටි අනෙකුන්ද නෙත රැදී ඇත්තේ ඔවුන් දෙස බව වට පිට බැලු මට දිස් විය. මේ කෙල්ලන් අතර ඉතා රූමත් තරුණියක් වැඩි සද්දයක් නැතුව සිටි. එත් ඇය අනෙකුන්ගේ කතා වලට සංයමයකින් සිනාසෙයි. මගේ නෙත් ඈ ළඟ නතරවිය. එත් ඇයගේ නෙත් එහා මෙහා ගමන් කරයි. මේ කෙල්ලගෙන් මට වැඩක් නැත. දැන් මා ගෙදර යායුතුය. චුරු චුරු වැස්ස තිබියදීම මම රථගාල වෙත යාමට පියවර තැබුවෙමි. අර කෙල්ල පසු වෙනවාත් එක්කම මා යලිත් වරක් ඈ දෙස බැලීය.

"හලෝ අයියේ.. ඔයා කොහෙද මෙහෙ..." අර කෙල්ල මා දෙස බලා කතා කළාය. ඒ මා සමග ද යන්න  සැක සිතු බැවින් මම වටපිට බැලුවෙමි.

" අයියේ.. ඔයාට මාව මතක නැද්ද?... මම කාංචනා..." ඈ මා වෙත පැමිණ කතා කළාය.

"කාංචනා... අම්මෝ... ඔයා ගොඩක් ලොකුනේ දැන්... මට අඳුනගන්න බැරි උනා..."

" ලොකුයි කියන්නේ මං අයියාව දැක්කේ අවුරුදු 15-20 කට පස්සෙනේ... එත් මට පුළුවන් උනා ඔයාව අඳුන ගන්න."

" ඉතින්.."

" අයියා කොහෙද යන්නේ මේ තෙමි තෙමි..ඉන්න මම කුඩේ දිග අරින්න.."

" මම car park එකට යනවා.."

" ඉන්න මම ඇරලවන්න.." ඈ මා සමග පැමිණෙන්නට විය.

මට මේ හමුවීම සිතා ගන්නටවත් නොහැකිය. කාංචනා මගේ වයසේ මිතුරියකගේ බාලම නංගි ය.  මා ඇයගේ ගෙදර යන එන කාලයේදී ඇයට වයස අවුරුදු 4-5 පමණ වන්නට ඇත. මගේ මිතුරියගේ වචන වලින්නම ඇය 'විසේ බඩ්ඩ' කි ඒ කාලේ.

ඇයත් සමග රථ ගාලට එන අතර තුර ඈ තව බොහෝ දේ කියන්නට විය. එත් මගේ මතකය අතීතය හාරවුස්සන්නට විය. දිනක් මා ඇගේ නිවසට ගිය දිනෙක ඇය  පුංචි රතු මල් වැටුණු ගවුමක් තුරුළු කරන වේගයෙන් දිව ආවය. ඇගේ මව ඈ පසුපස ඇය ලුහුබඳිමින් සිටියාය.

"මේ ළමයා ඔය ගවුම අඳින්නේ නැහැ... මම ලඟට එනකොට දුවනවා.." ඒ අම්මගේ පැමිණිල්ලය.

මා දුටු විගස ඇය අම්මා ලඟට ගොස් ඇඳුම අන්දගත්තාය. මේ එක සිද්ධියකි. බොහෝ දවස් වල ඇය මා දෙස බලන්නේ කවුළු දොර අතරින්ය. ඇය ගැන විශේෂයක් නැති වූ කල හොරෙන් ඇවිත් මහා හයියෙන් සිනා සෙයි. නැති නම් සෙල්ලම් බඩුවක් විසිකරයි. මේ පුංචි කෙල්ල දැන් පරිපුර්ණ තරුණියකි. ඇයගේ දඟකාරකම් දැන් නැත.

"අයියේ..." ඇය මා ආමන්ත්‍රනය කරන්නට විය.

" ඔයා වෙන ලෝකෙක නේද හිටියේ.."

" ඔව්... ඔයාගේ පොඩි කාලේ මතක් උනා.." ඈ ලජ්ජාවෙන් බිම බලා ගත්තාය.

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...
---------------------------------------------------------
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්................

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............


https://www.youtube.com/watch?v=nwIPHn8hQ7o

පද රචනය කිත්සිරි නිමල් ශාන්ත ය. වැඩිය හුරු පුරුදු නමක් නොවේ. නමුත් ඔහුගේ පදවැල් මා කුල්මත් කරන්නට විය. සියළු හැගීම් සීරුවට වචන වලට ගලපා ගැනීමට ඔහු සමත් වී ඇත.සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙය. ගායනය TM ජයරත්නය. මුළු ගීතයම ශ්‍රාවකයා රඳවා ගන්නේ ගීතයේ තනුව සහ සංගීතයයි කිවහොත් නිවැරදිය. ක්ලැරන්ස් විසින් TM ට නිර්මාණය කල ගීත බොහොමයක්ම ඉතාමත් මිහිරි තනු ය. බොහෝ තනු ඔහු විසින් ගායන කල ගීතවලට වඩා අගනේ යි මට සිතේ. මේ ගීතයේ නොනවත්වා වයෙන ගිටාරයේ තත් තුන ගීතයට ගෙනෙන්නේ අප්‍රමාණ ආලෝකයකි. ප්‍රබුද්දයන් කොපමණ ගැරහුවද ක්ලැරන්ස් ගේ නිර්මණ අතර ඉතා ප්‍රශස්ථ නිර්මාණ ඔනෑ තරම් ඇත යන්න මේ එක් නිදසුනකි. කිසිදින මහළු නොවන TM ගේ හඬ ගීතයට සර්ව සාධාරණයක් ඉටු කර ඇත.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday 3 July 2014

හූ...හූ .....මෙදා පාරත් රැවටුණා නේද...?

මා මේ බ්ලොග් එක පටන් ගත්තේ දේශපාලනය ගැන ලියන්නේ නැත යන අදහසින්ය. එත් මේ සිදුවන විපිරියාස දැක නො ලියා සිටීමට බැරිය. කිසිදු සැකයක් නැත. මෙවරත් අති සාරවත් ලෙස මහින්ද රාජපක්ෂ මහජන මතය වෙනතකට යොමු කළේය. ඒ ගැන පුදුමයක් නැත. ඔහු සමග දේශපාලන ගේම් ගැසීමට සිටින්නේ ලිලිපුට්ටන්ය. අඩුම තරමේ මේ ගේමක් කියලවත් සිතා ගත නොහැකි බබ්බුය.

බස්නාහිර දකුණ පළාත් සභා ඡන්දය අවසන් වුයේ රජය සිතුවාට වඩා වෙනස් ආකාරයටය. කවුරුත් පැවසු පරිදි පළාත් සභා ඡන්ද ප්‍රතිපලය රජයට පොඩි අනතුරු ඇඟවීමක් ඇති කළේය. විපක්ෂ කණ්ඩායම් වලට කාලෙකට පසුව පොඩි තලු මරන්න යමක් ලැබුනේ ඒ ඡන්දයත් සමගය. විපක්ෂයේ සියළු කණ්ඩායම් තනි තනිව තමන්ගේ ප්‍රගතියත් ආණ්ඩුවේ පිරිහීමත් කතා කරන්නට පටන් ගත්තේය. රජය එලි දැක්වූ බස්නාහිර දකුණ ජවනිකාවේ පොඩි අඩුපාඩුවක් නිසාවෙන් ප්‍රේක්ෂකයා ඉවත්ව යන්නට සුදානම් බව මහින්දට ද අවබෝධ විය.

මේ නාට්‍ය අමුතුම නාට්‍යකි. එය තාම ම තිරරචනය කර, අධ්‍යක්ෂණය කර තාමාම රඟපාන නාට්‍යක් වුවත් ජවනිකාවෙන් ජවනිකාව තිරරචනය වෙනස් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. සිදුවූ අඩුපාඩුව මකා ගන්නට ආණ්ඩු පක්ෂයේ සිටින එක බම්මන්නෙක් කරුණු 12 පෙන්නමින් නටන්න පටන් ගත්තේය. ඔහුගේ නැටිල්ල මහින්දගේ තාලයට බව ජනතාවට තේරුම් ගියේය. එය වෙනදා තරම් එය සාර්ථක වුයේ නැත. එකම දෙය ආණ්ඩුවේ දුර්වලකම් වලින් විපක්ෂයට ලකුණු රැස්කරගැනීමට තිබුණු අවස්ථාව මේ බම්මන්නාගේ නැටිල්ලෙන් මගහැරී යාමය. එක්තරා ආකාරයට එය මහින්දට වාසිදායක වුවද ප්‍රමාණවත් නොවිය.

විමල් වීරවංශ සෙල්ලම පටන් ගත්තේ කැබිනට රැස්වීම වර්ජනය කරමින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින්ය. දැන් ඒ කිසිඳු ප්‍රශ්නයක් නැත. විමල් කැබිනට් රැස්වීම වලට යයි. PB මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සිටි. විමල් ගේ කැබිනට් පත්‍ර සම්මත වේ. මුදල් අමාත්‍යංශයෙන් මුදල් ලැබේ. විමල් ආණ්ඩුවේ සිටි. කරුණු 12 ද තිබේ. මහින්ද තමන්ට උවමනා ආකාරයට ආර්ථිකය හසුරුවයි.

මහින්ද යලිත් වරක් තිරරචනය වෙනස් කළේය. මෙවර එක් කල බම්මන්නා මීට පෙර මෙවැනි අවස්ථා වල නැටුවේ නැති අයෙකි. එනම් හැමදාම නාන නානසාරය. නානසාර ගේ නැටුම ඉතා ආකර්ශනියය. ත්‍රසජනකය. මහජනතාව ඇඟ කිලිපොලා යමින් ඔහුගේ කස්තිරම් බලා සිටියේය. ඔහු නටන විට මුළු වේදිකාවම ඔහුගේය. වෙන කාටවත් එයට ගොඩ වීමටවත් අවස්ථාවක් නැත. එත් මේ one man show එක ජනතාව නොසිතු ලෙස ආකර්ෂණය කිරීමට සමත් විය. රජය වාර්ෂික ව ගන්නා බිලි පුජාව ලබා ගැනීමට  නානසාරගේ කස්තිරම් අතර දී හැකි විය. 

අවසානයේදී මහින්ද සිතුවාටත් වඩා අගේට නානසාර තම වැඩ කොටස හමාර කළේය. ආණ්ඩුවේ දුර්වලකම් ගැන මහජනතාවට දැන් ප්‍රශ්නයක් නැත. විපක්ෂයට ද ප්‍රශ්නයක් නැත. ඇති එකම ප්‍රශ්නය ජාතික සමගිය ය. එසේ නැති නම් මුස්ලිම් ව්‍යාප්තවාදය. බෞද්ධ අන්තවාදී ක්‍රියාය. ජිහාඩ් ආක්‍රමණය. 

මහින්ද මෙවරද දේශපාලන පොර පිටියේ තමාට තරගයක් දිය හැකි අයෙක් නැති බව තාහුරු කළේය. සන්ධානයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඔහුය. විපක්ෂය තාම කවුද යන්නවත් සිතා ගත නොහැකිව සිටි. දැනට ඔහුට තරගයක් නැත. මෙලෙස රැවටෙනවා නම් ඉදිරියේදී ඔහුට තරගයක් නැත.

Monday 9 June 2014

බට්ලර් ගේ දුර්වල කම ඔබටත් තිබේද...?

මෙම නිර්මාණය කාගේදැයි නොදනිමි. මුහුණු පොතේ මිතුරෙකු විසින් share කරන ලද්දකි.


බට්ලර් ගේ දැවියාම දැන්වීමකට යොදාගත් අයුරු... නිර්මාණශිලිත්වය ගැන කවර කතා ද?

Monday 26 May 2014

ලංකාවට යනවද?.... පිස්සුද?

මා සමග එකට වැඩ කරන මිත්‍රයකු දීර්ඝ සේවා නිවාඩුවක් ලැබීමට නියමිතය. එය සති දහයක් පමණය. දිවා විවේකයේ  දී ඔහු අප සමග මේ ගැන කතා කළ අතර ඔහු විදේශ සංචාරයක් යාමට තීරණය කර ඇති බව පැවසිය. මා ඔහුට ලංකාවට සංචාරය සඳහා යන ලෙස දැන්විය. ඔහු 'මොන වගේද' යන්න විමසිය.  මා ඔහුට ලංකාවේ අලි ගැනත්, සිගිරිය ගැනත්, ලංකාවේ කකුළුවෝ සහ කෑම ගැනත් විස්තර පැවසිය. බොහෝ කලක සිට සංචාරය සඳහා යන පිරිසට මේ තුනෙන් එකකට ප්‍රිය වන බව මම ඒකාන්තයෙන් දන සිටියෙමි. වැඩි විස්තර සඳහා අන්තර්ජාලය පරිශීලනය කරන ලෙස දැන්විය.
පසු දින ඔහු මා හමු විය. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් තමන්ට වූ ලිංගික බලහත්කාරකමකට විරුද්ධව වන්දි ඉල්ලා නඩු දමා ඇති බව ඔහු පැවසිය. මා නඩුව සත්‍ය බවත් එත් ලිංගික බලහත්කාරකමක් සිදු වුවාද යන්න නොදන්නා බවත් පැවසිය. සමහර විට මේ කාරණාව බොරුවක් විය හැකිබවත් මා පැවසිය. ඔහු රැකියාව ආරම්භ කර ඇත්තේ පොලිස් කොස්තාපල් කෙනෙකු ලෙසය. ඒ නිසා ඔහුගේ පළපුරුද්දෙන් මේ සිද්දිය ගැටළු සහගත බවත් උසාවියේදී ඇත්ත හෙළිවිය හැකි බවත් පැවසිය.
යලිත් වරක් ඔහු මා වෙත පැමිණියේය. අර කාන්තාව පිටුවල් කල තැනැත්තියක් බවත්, පිටුවහල් කිරීමට හේතුව ඇගේ අතේ බුදු හාමුදුරුවන්ගේ ටැටූ එකක් තිබීම බව පැවසු අතර ලංකාවේ ටැටූ තහනම්ද ඇසිය. මා ටැටූ තහනම් නෑ යි පැවසිය. සමහර විට බුද්ධ රූපය නිසා විය හැකි යි පැවසු අතර ලංකාවේ බුද්ධ ධර්මයට ඇති අල්ලම සහ ගෞරවය පිළිබඳව ද විස්තර පැවසිය. එවර ඔහු ඉස්ලාම් හා කිතුනු ලබ්ධිකයන් ඔවුන්ගේ ආගම් සලකුණ ටැටූ ගසා යන බවත් පැවසිය. අප සමග සිටින ඉන්දියානු ජාතිකයෙකුගේ නම සඳහන් කර ඔහුගේ උරහිසේ හින්දු ලාංචනයක් ටැටූ ගසා තිබෙන බව පැවසිය. එය ඇල්ම හෝ ගෞරවය පිලිබඳ ප්‍රශනයක් නොවන බව පැවසිය. නමුත් ඔහුට ලංකාවට නොයාමට මෙය ප්‍රශ්නයක් නොවන බවත් සමහර විට අප නොදන්නා හේතු ඇති බවත් පැවසිය.
දින කිහිපයකට පසු ඔහු පැමිණියේ  තවත් කුණුගොඩක් සොයාගෙනය. වික්ටෝරියා නමැති කාන්තාවක් මීට කලකට ඉහතදී කණ්ඩායමක් විසින් දුෂණය කර  ඇති බවත්. ඇයගේ වෙද්ද්‍ය සාක්ෂි පරිගණක වයිරසයක් මගින් විනාශ වි ඇති බවත් ය. එවර ඔහු ඇසුවේ නීති සාක්ෂි හා වාර්තා එලෙස විනාශ විය හැකිද යන්නය. එසේම නැවත ඒ විනාශ වූ දත්ත ලබා ගැනීමට මෘදුකාංග හා සේවා තිබෙන නිසා ඒවා ලබා ගැනීමට උනන්දු නොවන්නේ මන්ද යන්නය. මා නිරුත්තරය. මා රටින් බැහැරව වසර පහකට අධික බවත්, උසාවි හා නීති අංශ ගැන කිසිසේත්ම අවබෝධයක් නැති බවත් පැවසිය. ඔහු තවත් විස්තර සොයා ගෙන මා වෙත දන්වන්නම් යි පවසා යන්ට ගියේය. මා දා ගත්තේ මරාලයක් බව ඒත්තු ගියේය. කෙසේ හෝ මේ මනුස්සය අහන දේවල් වලට සුදානම්ව සිටිය යුතු බව අවබෝධ විය.
නැවත ඔහු පැමිණියේ හම්බන්තොට කුරම් ෂයික් ඝාතනය පිලිබඳ විස්තරත් ඝාතකයාගේ දේශපාලන පසුබිමත් පිලිබඳ විස්තර රැගෙන ය. ඝාතනය සිදු වූ  හෝටලය වර්තමාන ජනාධිපති ගේ බල ප්‍රදේශය බවත් සැකකරු එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු බවත් පැවසිය. ජනාධිපතු එහි සැකකරු සමග ගත් ඡායාරුප ද තිබිණ බවත් ඔවුන් මිත්‍රයන් බවත් පැවසිය. ජනාධිපති පමණක් නොව ඔහු, බොහෝ දේශපාලන නියෝජිතයන් සමග සම්බන්ධතා පවත්වපු පුද්ගලයකු බවත් තමා සොයා ගත් තොරතුරු වල සඳහන් බව ඔහු පැවසිය. ඔහුගේ ප්‍රශ්නය වුයේ ඇයි ඔහුව ධුරයෙන් අයින් කර නඩු නොඅසන්නේ සහ ඇයි ජනාධිපති ඉල්ලා අස්නොවන්නේ  යන්නය. ලංකාවේ දේශපාලනය ගැන කතා නොකරන ලෙසත් ඒ ගැන කතා කිරීම නිෂ්පල දෙයක් ලෙසත් මා පැවසිය.
ඉන් පසු ඔහු ලංකාවේ විස්තර විමසා මා වෙත නොපමිනේය. වරක් ආපනශාලාවේ දී ඔහු මුණ ගැසුණි. මා ඔහුගෙන් ලංකාවට යනවාදැයි විමසිය. ඔහු ගත කටටම "පිස්සුද" යි විමසිය. මම වචනයක්වත් නොවිමසවා එතනින් ආවෙමි.
පසුව ඔහු මගේ මේසය ලඟට පැමිණියේය. ඔහු ලංකාවට නොයන්න කාරණාව විස්තර කරන්නට විය. ඔහුට ආරක්ෂාව පිලිබඳ සැකයක් පවතින බව පැවසිය. හම්බන්තොට හෝටල තුල මිනිහෙක් මරා කාන්තාවක් දුෂණය කරන කාලය තුල පොලිසියට පැමිණිය නොහැකි වුයේ මන්ද යන්න ඔහුට ප්‍රශ්නයකි. සන්නිවේදන පහසුකම් එතරම් ප්‍රාථමික ද යන්න ඔහුට ප්‍රශ්නයකි. එවැනි අඩු පහසුකම් ඇති ස්ථාන වල හෝටල් පහසුකම් ලබාදීමෙන් සංචාරකයන් ජීවිත අවදානමට ලක්වන බව ඔහු පවසයි. එහි චුදිතයන් නිදැල්ලේ වසරකට අධික කාලයක් සිටීම නිසා සාක්ෂි වලට කොපමණ බලපෑමක් වුවාද සැක සහිත බව ඔහු පැවසිය. වඩා වැදගත් වුයේ ඔහු අවසානයට පැවසු දෙයය.
මේ සිදු වීම මට වෙන රටකදී වෙන්න පුළුවන්. නමුත් මට විස්වාසයක් තියෙනවා මට නීතියෙන් සාධාරණයක් සිද්ධ වේවි කියලා. ඔස්ට්‍රලියාවෙන් ගිය බොහෝ සංචාරකයන්ට අග්නිදිග ආසියාවේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා .මැරිලත් තියෙනවා. නමුත් ඒ සියල්ලටම නීතියෙන් සාධාරණය ඉටු වෙලා තියෙනවා. ලංකාවේ එහෙම වේවි කියා සැක සහිතයි. මේ ඔහුගේ අවසාන විග්‍රයහයි. මම මින් පසු ලංකාවට සංචාරය සඳහා යන ලෙස කිසිවෙකුට නොපැවසිමට තීරණය කළෙමි.

Sunday 18 May 2014

නාම විශේෂණ මට නැත ඔබ ගැන....

ගුරු ගීතයේ  අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. එසේ නොවන ගුරුවරුන්ට මල් මිටක් තිලිණ කිරීමට පසුබට නොවෙමි. මේ ගීතය ගෝල ප්‍රේමය ඉදිරියේ ගුරුවරයා ගේ හැසිරීම කෙබඳු විය යුතුදැයි සිහි ගන්වයි.

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරි කරලන්නට ඔබෙන් වරම් යදිමින්

මේ ශිෂ්‍යාව තම අඳුරු තුමාගේ රුවට නොව ගුණ 'සුවඳ' ට වශී වී සිටි. එය ඇයට සිහිනෙන් ගෑ සුවඳක් බඳුය. ඈ ප්‍රර්ථනා කරන ලෝකය නිර්මාණය කරගැනීමට වරම ඉල්ලන්නේ මේ නිසාවෙනි

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුවරයා ට අබ මල් රේණුවක තරම්වත් මේ ගැන හැගීමක් නැත. ඔහු ගුරු ගෙදරට පැමිණෙන්නේ තම ශිෂ්‍යන්ට ඉගැන්වීමටය. මේ සිසුවිය ගැන විශේෂයක් ඔහුට නැත.

හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කිවා
කුලුදුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ලතවෙනවා

ශිෂ්‍යාව කුල්මත්වන්නේ ඔහුගේ නෙත් සඟලින් කියවෙන දේ ගැනය. ඈ සිතන්නේ එය ප්‍රේමනීය කැදවීමක් ලෙසය. ඈ තම සිතැගි තම ගුරුවරයාට නොවලහා පවසයි. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු හා වෙලෙන්න ඈ ඔහුට ආරාධනය කරයි.

කෝප නොවන්නට මා ප්‍රිය සිසුවිය සිත නුබ  කළඹාදෝ
ශිල්ප උගන් නුබ නොමග යැවූ  දා මා ඇදුරිඳු වෙම්දෝ

ගුරුතුමා තවමත් සන්සුන්ය. ඔහු ඉතාමත් සංයමයකින් ඇයට කරුණු පහදයි. අය කැළඹී ඇති බව පසක් කර දී ගුරුවරයෙක් ලෙස ඇයව නොමගට යවන්න ඔහුට නොහැකි බව පවසයි.

සමාවන්න මට ඇඳුරුතුමනි මගේ සිරකරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්

සිසුවිය ගුරුවරයාගේ වචනය අවබෝධ කර ගනී. ඇය තම සිතැගි පාලනය කර ගන්නා බවත් සිතට වහල් වී පෙම් නොකරන බවත් පවසයි. එසේම ඇය ඔහුට ප්‍රශංසා කරයි.

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුතුමා නැවතත් ඇයට පවසනුයේ ඔහු පැමිණියේ ඉගැන්වීමට බවත් විශේෂ සැලකිල්ලක් ඇය පිලිබඳ නැති බවත්ය.

අයි. ඩි ජයතිස්සයන්ගේ පදමාලවත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයත් ඉතාමත් සරලය. සජීවී ගායනයක් බැවින් ගායනයේ සුළු අඩුපාඩුකම් දැකිය හැක. මා මුලින්ම මේ ගීතය ඇසුවේ ලක්ෂ්මන් විජේසේකර ගේ හඬින් ය. මායා දමයන්ති ගේ ගායනය ඉතාමත් මිහිරිය, සුමගය, භාවපුර්ණය. විශාල ස්වර පරාසයක නොවුනත් ඇය ඉතාමත් අගේට ගීතයට අනුකුල භාවයන් ප්‍රකාශ කරයි...

https://www.youtube.com/watch?v=g6DTWmy_aiY

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday 16 March 2014

සුළං රොදක් සේ නොසිතු මොහොතක.....

මා මේ ගීතය ගැන  ලියන්නට පටන් ගත්තේ, එය අසා මාස තුනක් පමණ පමණ ගත වූ පසුය. මේ ගීතය ගැන කුමක් ලියම් ද? සත්තකින්ම මා විඳි දේ ගැන ලිවිය යුතුද? නැති නම් ගීතය ගැන ලිවිය යුතුද? දහසකුත් සිතුවිලි හා ප්‍රශ්න මගේ මනසේ හොල්මන් කර අවසානයේ සිදු වුයේ කිසිම වැදගත් කමක් නැති සටහන් කිහිපයක් තැබීම ය. එය ලියා, මකා, නැවත ලියා එතැනින් මෙතනින් වචන එක් කර ලියු පල් හෑල්ලකි. මේ ගීතය ගැන යම්කිසි කෙළවරකට පමුණුවා අවසන් අවසන් කල යුතුය. එහෙත් කිසි විටක එවැනි කෙළවරකට පැමිණ නොහැක.

මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ 'මළගිය ඇත්තෝ' හා 'මළ උන්ගේ අවුරුදු දා' මේ ගීතයට නිමිත්ත වී ඇති බව පැහැදිලිය. මෙහි කථනය, ගායනය, පද රචනය හා සංගීතය කවුරුන්ද යි මම නොදනිමි. අනුමාන ලෙස කථනය මහාචාර්ය සරත් විජේසුරියත්, ගායනය අප්සරා ද සිල්වා, පද රචනය චාරුක සුරවීර සහ සංගීතය ප්‍රියන්ත ඩිරේක්ස්  ගේ යයි සිතමි. අසා ඇති දහස් ගණන් ගීත අතර මේ ගීතය තුළ වෙනසක් අත් විදීමේදී පවා, මා එහි නිර්මාණ කරුවන් කවුරුන්ද යන්න නොසේවිම ට තරම් නරුම වී ඇත.


සිංහල ගීතයේ මා බලාපොරොත්තු වන 'වෙනස' පිලිබඳ ගොඩ නැගුනු විවිධාකාර කතා මත හා අදහස් , මා සිත තුළ ඒ මේ අත දෝලනය වේ. වීජ ගණිත සමිකරණක් සේ  මා සොයන 'වෙනස' මෙන්න මෙය යි අර්ථ දැක්විය නොහැකිව ඒ මේ අත පැද්දෙන කල්හි මේ ගීතය මා සොයන 'වෙනස' පිලිබඳ ඉඟියක් ලබා දුන්නා යි කිවොත් පරම සත්‍ය යි සිතමි. ගීතයේ සංගීතයට යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ගණන සීමිතය. එමගින් 'මළ ගිය ඇත්තෝ' සහ 'මළ උන්ගේ අවුරුදු දා' කතාවේ ඇති සරල බව විදහා පායි. ගීතයේ අතරමග දිවෙන කථනය කතාවේ දාර්ශනික බව ඒත්තු ගන්වයි.

මම නැවතත් 'මළ ගිය ඇත්තෝ' සහ 'මළ උන්ගේ අවුරුදු දා' කියවීම ආරම්භ කලෙමි.

සුළං රොදක් සේ නොසිතු මොහොතක
මිදොරී අවන් හල පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සං අතරමන් ව ඔබ අවා
සුලන් රොදක් සේ ඔබ අවා
දෙවෙන්දොරා  සං අතරමන් ව ඔබ අවා

දෙවෙන්දොරා  සං මිදොරි අවන් හලට ඇතුළු වන්නේ සුළගක් මෙනි. නොරිකෝ සං එය හඳුන්වන්නේ 'ඵාත්' යනුවෙනි. දෙවෙන්දොරා  සං දෙතුන් වරක් ඔබ මොබ ඇවිද හදිස්සියේ ඇතුළු  වන්නේ අතරමං වූ පුද්ගලයෙකු මෙනි. මෙය සුළගක් ඇතුළු වන්නා සේය. එසේම දෙවෙන්දොරා  සං, නොරිකෝ සං ගේ ජීවිතයට ඇතුළුවන්නේ සුළගක් ලෙසය.

තතම් පැදුර මත දනින් නැමී
සියුමැලි අනාථකෙල්ලෙකු සේ
ඔබ ද  නැමී
එනමුදු හඳුනා ගනු බැරි වී
ජීවිතයෙන්.... ජීවිතයෙන්
පැන යන්නට  ගිය දා
නේබුරු දොඩම් බිගක්  තොල රැද වූ
මා සිහිවෙද කවදා

මළ ගිය ඇත්තෝ සහ මළ උන්ගේ අවුරුදු දා නවකතා දෙකෙහිම මිනිස් සිතේ තිබෙන්නා වූ ව්‍යාකුල බව හා එම නිසා එකිනෙකා තේරුම් නොගැනීම ඉතා අගේට ගොතා තිබේ. ජපන් සංස්කෘතියේ සංකේතයක් බඳු තතමි පැදුර මත දන නමා නොරිකෝ සං ආචාර කරනුයේ දෙවෙන්දොරා සං ව තේරුම් ගත නොහැකිවය. දෙවෙන්දොරා සං ද එසේමය. නොරිකෝ සං තේරුම් නොගත් අවස්ථා බොහෝය. දෙවෙන්දොරා සං දෙවන වර තොකියෝවට පැමිණ නවතිනුයේ නොරිකෝ සං ගේ ගෙදරය. හරි හැටි නොරිකෝ සං ව ත්රුම් නොගත් දෙවෙන්දොරා සං සියදිවි නසා ගැනීමට නිදි පෙති ගනී.   එහෙත් ඔහු එවර මිය නොයයි. නොරිකෝ විසින් නෙබුරු දොඩම් බිකක් ඔහු ගේ කටට දමන්නේ මේ අවස්ථාවේදීය.

ඉක්මනින්ම යලි එ නම්
මළ උන් ගේ අවුරුදු දා
මලගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
තමබොචි සොහොන් බිමේදී
සුවදැති මලක් ඇත රදවා
මළ උන් ගේ අවුරුදු දා
යලි හමු වේවා සයෝනරා
යලි හමු වේවා සයෝනරා
යලි හමු වේවා සයෝනරා

ජීවිතයේ ඇත්තේ යාම් සහ ඒම් ය. නොගොහින් එන්න බැරිය.ඉක්ක්මනින් ගියහොත් ඉක්මනින් පැමිණිය හැක. දෙවෙන්දොරා සං අවසානයේදී ජීවිතයෙන් සමු ගත්තේය. නොරිකෝ සං බලා සිටුනුයේ මළ උන්ගේ අවුරුදු දා එනතෙක්ය. එවිට ඇය ට ද මළ උන් සමග දෙවෙන්දොරා සං මිහිදන් කර ඇති තම පවුලේ සොහොන් බිම වන තමබොචි සොහොන් බිමට යා හැක.

මළ උන්ගේ අවුරුදු දා මා කියා වුයේ විදුලි දුම්රියේ යන අතර තුරේදී ය. විවිධා කර හැල හැප්පීම් සමග ගෙවන ජීවිතයේ මම කුමක් හේතුකොට සතුටු වන්නේද එසේ නැමති නම් දුක් වන්නේද යන උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිව සිටිමි. නිරානන්දයෙන් ගෙවන මේ ජීවිතය හා දෙවෙන්දොරා සං ගේ ජීවිතයේ ඇති සමාන කම් මා මනසින් මෙනෙහි කරන්නට විය. එක වර මට නොරිකෝ සං මතක් විය. මම හිස ඔසවා බැලුවෙමි. දහසකුත් චීන හා කොරියානු යුවතියන් අතර මා නොරිකෝ සං සොයන්නට විය. ක්ෂණයකින් නොරිකොගේ වැනි රුවක් දිස් විය. ඇය ගේ නළල විශාලය. ඇස්, නාසය සහ කට කුඩාය. යටි තොල තරමක් විශාලය. මම ඈ දෙස නෙත් යොමාගෙන සිටියෙමි. එක් වර ඈ, මා දෙස බැලුවාය. අප දෙදෙනාගේ නෙත් එකිනෙකට ගැටුණි. මා ඇය සමග සිනාසුනි. ඈ අහක බලා ගත්තාය.

https://www.youtube.com/watch?v=TdJM1rFVVmE

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday 30 January 2014

තොටිල්ලේ ලී වටෙන් එහා...

අද ලොකු එකා මුලින්නම ඉස්කෝලේ ගිය දවස. එයා ගේ ජීවිතේ ලොකුම ලොකු පරිච්ඡේදයක ආරම්භය. මම දන්නවා මට වගේම එයාටත් මේ පරිච්ඡේදය ලොකුම ලොකු එකක් කියලා තේරෙන්න ගන්නේ සෑහෙන්න කාලයක් ගිහිල්ලා. ජිවිතයේ මේ පරිච්ඡේදය ලියාගන්නා විදිහ අනුව තමයි අනිත් පරිච්ඡේද ලියවෙන්නේ. කාටවත් ඒක මෙන්න මෙහෙම ලිවිය යුතුයි කියලා තීරණය කරන්න බැහැ. අපට පුළුවන් දන්නා විදිහට සෝදුපත් බලන එක විතරයි.
මට තාම මතකයි මම මුලින්නම පාසල් ගිය දවස. මගේ මුල්ම පන්ති භාර ගුරුතුමිය ගේ හැඩ රුව, නම, ඇදන් හිටිය සාරිය, මේ ඔක්කොම මට මතකයි. මම මුලින්නම පන්තියේ වාඩි වුයේ සද්දන්ත කොල්ලෙක් ළඟ. එකා මගේ කරට අත දාලා "මේ මගේ යාළුවා.." කියලා අනිත් අයට කිව්වා. උගේ size එකත් එක්ක ඒ හෘදයාන්ගම මිත්‍රත්වය පිලිගන්නවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබුනේ නැහැ. උගේ නම තුසිත මේනක ජයසුන්දර. දැන් කොහේ ඉන්නවද.. මොනවා කරනවාද කියලා දන්නේ නැහැ...

එදා ඉස්කෝලේ ගියෙත්, ආවෙත් අම්මයි, තාත්තයි එක්ක. මට මතකයි එදා තාත්තා හිටියේ බොහොම සතුටින්.. හරියට විශාල උත්සාහයක ප්‍රතිපලයක් ලැබුනා වගේ (අපේ වයසේ තාත්තලාට Olympic medal එකක් දිනුවා වගේ දැනෙනවා ඇති.).. මට මතකයි තාත්තා මේ ගීතය මුමුණනවා... ඒ දවස් වල තේරුනේ නැහැ මොනවද මේ ගීතයේ අරුත කියලා.. අපේ තාත්තටත් උවමනාවක් තිබුනේ නැහැ මාව ලොකු මිනිහෙක් කරන්න... එයාට ඕන උන්නේ මාව හොඳ මිනිහෙක් කරන්න... සමහර විට එයාගේ බලාපොරොත්තු එක්ක මේ ගීතයේ අදහස සමපාත වෙන්න ඇති.

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...

බුදුන් දවස මර දුවරු බහුතනුවන් මුණ ගැසෙති..
උන්ගේ සු සැට මායම් මගේ පුතුට අරුම නැති..

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...

බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරෝ හෙට සතුරු වෙති
උන් හදනා මර පුඩු වැල් මගේ පුතා හැඳිනු ඇති..

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...


http://www.youtube.com/watch?v=qmw5vtdHnBI

මටත් මගේ කොල්ලා ලොකු පොරක් කරන්න ඕනනේ නැහැ..අත්දැකීම් වලින්ම දන්නවා දොස්තරලා.. ‌‍නීතිඥ..ඉංජිනේරුවෝ නොවුනාට ජීවිතය විඳින්න පුළුවන් කියලා..කාටවත් තමන්ගේ vision එක එහෙම නැති නම් දැක්ම හදන්න බැහැ. ඒක හදා ගන්න ඕනේ තමාම. නිවැරදි දැක්මක් තියෙනවනම් සපත්තු මහලා එහම නැති නම් මේ රටේ හැටියට තණකොළ කපලා හරි ජීවිතේ විඳින්න පුළුවන්. වටිනාම දේ ජීවිතය විදවන්න නැතිව ඉන්න එක.
තාත්තා කෙනෙක් හැටියට මටත් තියෙනවා සියුම් වූ බලාපොරොත්තුවක්.. කවදා හරි මගේ කොල්ලත් තොටිලි වටෙන් එහා තියන වැටවල් බිදිවී කියලා... එකාට මාර දුවරු ගේ සු සැට මායම් වලට හසු නොවී මිතුරොත් සතුරෝත් අඳුන ගන්න හැකි වේවි කියලා...

ඔව් සත්තකින්ම තොටිල්ලේ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් තියෙනවා මගේ පුතේ...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday 15 January 2014

මොහාන් රාජ් ගේ 'ලොවිනා' ගැන මා සිතෙන හැටි...

කලක සිට මොහාන් රාජ් ගේ 'ලොවිනා' නවකතාව ගැන යමක් ලියම්දෝ නොලියම්දෝ යන දෙගිඩියාවෙන් පසු වුනි. මොහොන් රාජ් වෙනත්ම මාවතක් සොයන කතුවරයෙකි. ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන 'බෝදිලිමා' තුලින් කිසිවකු ගමන් නොගත් මාවතකට ඔහු පිවිස ඇති බව පසක්විය. නමුත් 'මාගම් සෝලිය' නවකතාව තුලින් ඔහු සොයා  ගත් නව මාවතේම ඔහු අයාලේ යාමක් සිදුව ඇත යන්න මගේ හැඟීමයි. 'මාගම් සෝලිය' ලියමින් නවකතාවට ළදරුවෙකු ලෙස ආ මොහාන් රාජ් 'ලොවිනා' මගින් තරුණයෙකු වී ඇති නමුත්  තවම ඔහු පරිණත වී නැතැයි මට සිතේ.
'ලොවිනා' නවකතා පොතේ පිටකවරයම යම්කිසි දෙයක් ඒත්තු ගන්නවන්නට සලස්ස්වයි. ඉහලින්ම ලියා ඇත්තේ 'Hidden Love Story at Mount Laviniya' යන්න. මා හට සිහි වුයේ ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් (Gabriel García Márquez) ගේ  'The love story at cholera time' නවකතාව ය. සැබවින්ම 'ලොවිනා' නවකතාව කතාව, විකාශනය හා අන්තර්ඝතය ආදී සියළු කරුණු වලින්  'කොලරා කාලේ ආදරය' නවකතාව කිට්ටුවෙන් වත් නොයන බව කියවීමෙන් පසුව වැටහුණි.

නවකතාවේ නම 'ලොවිනා' වුවද කතාවට ලොවිනා එක්වන්නේ අවසාන අදියරේ ය. සමස්ථ කතාවම 'පුන්නා/පුන්නි' නම් ගැහැණිය සමග විකාශනය වේ. නරේන්ද්‍රසිංහ රජුගේ අන්තපුර ගැහැනියක ලෙස සිට රාජ අණ නිසා රොඩී කුලයට නෙරපා හරින 'පුන්නා' නම් ගැහැණිය එතැන් පටන් 'පුන්නි' ලෙස තම කණ්ඩායම සමග ගෙවන ජීවිතයේ අනේකවිද දුක්ඛය දෝමනස්සයන් වලට මුහුණ පාමින් සිදුවන හැලහැප්පීම් ඔස්සේ පරම්පරා හතරක් පුරා මොහාන් රාජ් කතාව ඉදිරිපත් කරයි.
'ලොවිනා' නවකතාව පළමු පරිච්ඡේදයම මා තුල ඇති කලේ තව දුරටත් කියවිය යුතුය යන හැඟීමකි. සාමාන්‍ය කතාවක ලෙස එය මුල සිට ආරම්භ නොවේ. කතාව ආරම්භ වන්නේ තුන්වන පරම්පරාවත් සමගය. එනම් 'පිංචි' නම් මිනිපිරිය 'පුන්නි' ගේ නිවසේ හැදී වැඩීම හා ගෙතුණු කතා හා සිද්ධි සමගය. එය වරෙක ජපන් නවකතා කරුවෙකු වන නත්සිමේ සොස්කි ගේ 'කොකොරෝ' නවකතාවේ ආරම්භය ද , අප බොහෝ දෙනා දන්නා චිංගීස් අයිත්මාතව් ගේ 'ගුරු ගීතය'(The Fist Teacher) නවකතාවේ ආරම්භය ද සිහි ගන්වයි. කතාව ගෙතීමේ ආකෘතියේ මේ වෙනස මොහාන් හොඳ 'කතන්දරකාරයෙක්' යන්න ප්‍රත්‍යක්ෂ කර ඇත.
'මාගම් සෝලිය' තරම් නොවුවත් 'ලොවිනා' තුලද ලිංගිකත්වය ගැන කතා කිරීමට මොහාන් රාජ් මැලි වී නැත. 'මාගම් සෝලිය' ට වඩා වෙනස් වූ ඉසව්වකට ලිංගිකත්වය ගැන සිදුවීම් 'ලොවිනා' තුල දැකිය හැක. නරේන්ද්‍රසිංහ රජු පුන්නා සමග පොකුණේ රමණයේ යෙදෙන ආකාරය (59-61 පිටු) එක් නිදසුනකි. කාම සිනමාව ආරම්භ වූ කාලයට වඩා වර්තමානයේ බිහිවන කාම සිනමා, රමණ සිද්ධි අතින් බැලූ කල දරුණුය (සාමාන්‍ය ව්‍යවහාරයේ 'මස් කඩ' කියා හඳුන්වන්නේ මේ තත්වයයි). මොහාන් ගෙන් ද දිස්වන්නේ මේ ආකාරයේ වර්ධනයකි. පොකුණේ සිදුවන ලිංගික සිදුවීම, BDMS ( Bondage Discipline Sadism Masochism) වර්ගයේ නිල් සිනමා පටයක ආකාරයට පුරා පිටු දෙකක් පුරාවටම විස්තර කරයි. තවද 'පුන්නා' දස්කොන් අදිකාරම් සමග මනසින් සංසර්ගයේ යෙදීම, ඈ රොඩී රැලට පැන්නිමෙන් පසුව පවා ලී කොටයක් බදාගෙන ස්වයං වින්දනයක් ලබන  බව කතුවරයා විස්තර කරයි. එකතරා ආකාරයක නිල් සිනමා පටයක 'Dildo' එකක් සමගින් ස්වයන් වින්දනය ලබන කාමධේනුවකගේ රූප පෙළක් මේ සමග කියවන්නාගේ මනසට නැගේ. 'බයියා' හා 'පුන්නි' අතර සංවාසය ඇතිවන සෑම විටම 'බයියා' මිය යාම Paul Verhoeven ගේ 'Basic Instinct' චිත්‍රපටය සිහි ගන්වයි. 'ලොවිනා' මුහුදු වෙරළේදී 'උතියා' සමග ලිංගික හැසිරීමද මවන්නේ dominant woman ආකාරයේ ලිංගික එක් වීමකි. මෙසේ බලන කල 'ලොවිනා' කෘතියේ සඳහන් බොහෝ ලිංගික ජවනිකා ගැන කියවීම තුලින් පාඨකයාට ලැබෙනුයේ, හුදෙක් blue film එකක් බලා ලබා ගන්නා වින්දනයක් වැනි දෙයක් පමණි.
ලිංගිකත්වය ගැන කතා කිරීමට මැලි නොවන මොහාන් ඒ ලිංගිකත්වය කලාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහා නොගැනීම 'ලොවිනා' තුල දකින ප්‍රබලම දුර්වලතාවයයි. උදාහරණ ලෙස කොපමණ ලිංගික හැසිරීම් සහිත කාම ප්‍රකාශනයකට වඩා අප හොඳින් දන්නා D. H. Lawrence ගේ Lady Chatterley's Lover කතාව හෝ එසේ නැති නම් Anaïs Nin ගේ Delta of Venus වැනි කෘතියක කතා ප්‍රේක්ෂක මනසේ රැදනුයේ එහි ඇති කලාත්මක බව නිසාය (මේ කෘති ජනප්‍රිය වීමට එය බලපෑවා විය හැක). එසේම ලිංගිකත්වය  පමණක් වුවද කලාත්මකව ඉදිරිපත් කල හැකි බව Elegant angel - WASTELAND, Q Desire වැනි කාම සිනමා පට පවා පෙන්වා දී ඇත. නරේද්‍රසිංහ රජු හා පුන්නාගේ ප්‍රථම එක්වීම අප්‍රසන්නය. ඒ අප්‍රසන්න බව ඒත්තු ගැන්වීමට මොහාන් පිටු දෙකක් වෙන් කරයි.  එමගින් පුන්නා ට ඇති වූ ඒ අප්‍රසන්න බව ප්‍රේක්ෂකයාට දැන්වීමට කතුවරයා උත්සහා කර ඇත. නමුත් සැබෑ ආදරයෙන් මුසපත්ව මුහුදු වෙරළේ  සිදු වුනු ලොවිනා හා උතියා ගේ පළමු ලිංගික එක්වීම කෙතරම් කලාත්මක ලෙස නිම  කිරීමට තිබු  හැකියාව මොහාන් ඉවත දමන්නේ ඇයි ද යන්න ප්‍රෙහෙලිකාවකි. එය හුදෙක් ‘ලොවිනා’ ගේ අවශ්‍යතාවයට පමණක් සිදු වුවක්ද? එසේ නම් උතියාගේ ආදරය ‘රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත’ දෙයක් ද? පෙමින් වෙළුණු තරුණයෙක් හා තරුණියක්, කිසිවෙකු නැති හිරු බැසයමින් ඇති මුදු වෙරලක් තුල සිදුවන ඔවුන්ගේ  ප්‍රථම රමණය කෙතරම් චමත්කාර විය යුතුද.
මොහාන් රාජ් 'ලොවිනා' සමග සමස්ථ මානව ශිෂ්ටාචාරයේ ම බලය සමග ලිංගිකත්වය අතර ඇති සබැදියාව කතා කරයි.එය ලාංකීය සමාජයේ සේම බටහිර සමාජයටම පොදු කරුණක් බව පසක් කරන සිදුවීම් දෙකක් 'ලොවිනා' කෘතියේ සඳහන් වේ. තම බිසව සමග සම්බන්ධයක් ඇත යන සැකය නිසා නරේන්ද්‍රසිංහ රජ තම මහා අදිකාරම් වන දස්කොන් මරා දමයි. එසේම තම අන්තපුර ස්ත්‍රියක් වූ 'පුන්නා' අභිරහස් ගැබ් ගැනීමක් නිසා රොඩී රැලකට එලවා දමයි. මේ සිංහල සමාජයේ සිදු වූ සිදුවීම් වන අතර, 'ලොවිනා' ගේ අත ඇල්ලීම නිසා ඉංග්‍රීසි හමුදා භටයෙකුට වෙඩි කන්න සිදු වන්නේ තම ප්‍රධානියාගේ නියෝගය නිසාය. බලය හිමි සෑම පුද්ගලයෙකුම, තමා සමග ලිංගික එක්වන ගැහැනියක් වෙන කෙනෙකු අතකට පත් නොවන්නට වග බලා ගන්නේ හරියට තම 'ක්‍රීටයේ සංකේතය මේ ගැහැණු' යි සිතන පරිද්දෙනි. එසේ නැතිනම් ගැහැනියක් සමග සංවාසයේ යෙදීම තම බලයට තවත් රාජ්‍යක් එක් වුවා හැගීමකි. එසේම ලිංගිකත්වය නිසා ගැහැණිය තමාට මෙන්ම සමාජයට බලවතාගෙන් ලබා ගන්නා වරදාන වර්තමානයේ මෙන්නම අතීතයේද සිදුව ඇති බව මෝහන්ගේ කෘතියෙන් පෙන්නම් කරයි. අන්තපුර ස්ත්‍රියක් වූ නිසාවෙන් 'පුන්නා' ට ලැබෙන සැලකිලි හා 'ලොවිනා' සමග ඉංග්‍රීසි ආණ්ඩුකාරයා හාද කම් ඇරම්භිමත් සමග රොඩී සමාජයට ලිහිල් වන නීති මොහාන් කදිමට 'ලොවිනා' නවකතාව තුල විග්‍රහ කරයි.
රොඩී කුලයේ තිබෙන්නා වූ විශේෂ  වත් පිළිවෙත්, ඇදහිලි ක්‍රම, චාරිත්‍ර ආදී දේ පිළිබඳව කතුවරයා යම් ගවේෂණයක් කර ඇතිබව 'ලොවිනා' කතාව තුල දිස් වේ. විශේෂයෙන් ඔවුන් භාවිත කරන සමහර ආම්පන්න වලට යොදා ගන්න විශේෂිත වූ වදන් පිළිබඳව කතුවරයා මුළු නවකතාව පුරාම සැලකිලිමත් වී ඇත. රැහේ නායකයා ලෙස 'හුලිවාලියා' විසින් තම පරම්පරාවට  ගෙන යනු ලබන විවිධ වූ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව, රෝග සුව කිරීම ආදී දේ ගැනද, රැහේ කෙනෙකු මිය ගිය විට කරන්නා වූ වත් පිළිවෙත් ගැනද මොහාන්  කිහිපවරක්ම  සවිස්තරව සඳහන් කර ඇත. මේ සා වූ කරුණු කාරනා සඳහා ඔහු සැලකිය යුතු කාලයක් වෙහෙස වී ඇති බව ප්‍රත්‍යක්ෂය.'මාගම් සෝලිය' සඳහා ලැබුණු ප්‍රතිචාර වලින් උත්තේජනය වී 'ලොවිනා' ලියුවද ඒ සඳහා සැලකිය යුතු කාලයක්  පෙර සිට ගවේෂණ කාර්යේ යෙදී ඇති බව පැහැදිලිය. නමුත් මේ  සවිස්තරාත්මක ‘රොඩී ක්‍රම’ මගින් ‘ලොවිනා’ කෘතියේ රසයට වඩා මෝහන්ගේ ගවේෂණයේ  ප්‍රථිපල වැඩියෙන් පෙන්නුම් කරයි. යථාර්ථයත් ප්‍රබන්ධයත් අතර සංක්‍රමණය වන සමස්ථ කතාවේම යතාර්ථය සමග වැඩිපුර මුහු වීමට මේ නිසා හැකි වී ඇත.  මොහාන් සඳහන් කරන පරිදි රොඩී මිනිසුන් අතර ප්‍රශ්න නැත. ඔවුන් සියල්ලෝම සාදු චරිතය. හුලවලියා තම බලයෙන් කිසිත් අයුතු දෙයක් නොකරයි. රොඩී මිනිසුන්, ගැහැනුන් තමන්ගේ ගැහැණු, මිනිස්සු සමග පමණක් සමන්ධකම් පවත්වයි. කිසි විට දබර කිරීම්, කෝලාහල සිදු නොවේ. ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය නම් කුලවතුන් ගෙන් වන නොපනත්කම් වලින් ගැලවීමටය. සමස්ථ සමාජයේ උප කුලකයක් වන රොඩී කුලයේ පවා ඒ සමාජයේ පවතින හොඳ නරක එක ලෙස පැවතිය යුතුය යන්න මගේ විස්වාස යයි. එසේ බැලූ කල නරක දේ සඳහන් නොවීම තුලින් මොහාන්, ප්‍රබන්ධ කතාවක් ලෙස ද මධ්‍යස්ථව තබා ගැනීමට ගත් උත්සහයක් විය හැක.
අවසාන ලෙස ලොවිනා කතාව මේ ආකාරයේ යයි විස්තර කල නොහැක. එය නවකතාවක්ද, ප්‍රබන්ධයක් ද, වාර්තා කතාවක්ද, එසේ නොමැති නම් අසභ්‍ය ප්‍රකාශනයක් ද යන්න ස්ථිර නිගමනයකට එළැඹීමට නොහැක. කෙනෙකු තම මනසින් දකින ලෝකය අනුව එය කුමක්ද යන්න තීරණය කරනු ඇත.කෙසේ වෙතත්  එය තවත්  නිර්මාණාත්මක ගුණය පොහොසත් නිර්මාණයක් බව කිව යුතුය. නමුත් බෝදිලිමා තුලින් අපට තම නිර්මාණශීලි බව පෙන්වූ මොහාන් ගේ නිර්මාණයක් ද යන්න තව තවත් ප්‍රශ්න කල යුතුය. වර්තමානයේ සෑම නිර්මාණ කරුවෙකුම මුහුණ දෙන වෙළදපොළ ජය ගැනීමේ කාර්යට මොහාන් ද හසුව ඇත. ‘මාගම් සෝලිය’ සේම ‘ලොවිනා’ ද විවිධ වූ වෙළද උප්පරවැට්ටි සමගින් නිර්මාණ වුවක් බව මගේ හැගීමයි. නුතන ආර්ථික ක්‍රමය තුලදී  මුද්‍රිත ප්‍රකාශන සඳහා වන අඩු අගය හේතු කොට මොහොන් නොව මාටින් වික්‍රමසිංහයන් මළ උන්ගෙන් නැගිට නිර්මාණ කලත් මෙවැනි උප්පරවැට්ටි නොයොදා ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනීවි යයි සිතිය නොහැක. 

Sunday 5 January 2014

පළමු වරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කලෙමි

ඔව් එය මගේ පළමු දක්ෂිණ අධිවේගී මාර්ගයේ චාරිකාවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වුයේ ගැලනිගම interchange ස්ථානයෙන්. පාන්දර 5 ට පමණ ඇත. තද අඳුරක් නොතිබුනත් අවට දර්ශන පැහැදිලි නැත. එසේම වුවද බලන්න තරම් විශේෂ වූ දර්ශනද ඒ ප්‍රදේශයේ නැත. ටිකෙන් ටික අඳුර මැකී යන්නට විය. දොඩන්ගොඩ interchange සඳහා වූ දුර ගෙවි යාමට වැඩි කාලයක් ගත වුනේ නැත. අඳුර බිදෙනවාත් සමග අවට පරිසරය මැවූ දර්ශන, මා මෙතෙක් දැක තිබුනේ සිතුවම් හා ජායාරුප වල පමණි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගේ ගමනාන්තය වන ගොඩගම තෙක් මා ගේ අත්දැකීම මෙපමණයි කිව නොහැක.

ලා කොළ පාට කෙත්වතුත් සමග එකට බැඳුනු තද කොළ වර්ණයෙන් යුත් රබර් වතු සිසාරා යාන්තම් මිදුම ගලා යයි. නැගෙනහිර අහස ලා රෝස පැහැ ගැන්වී ඇත. මද දුරක් යන විට මේ දර්ශන සමග තේ වතුද එක් වුනි. මාර්ගය අසල ගොඩනැගිලි හෝ වෙනත් මිනිස් නිර්මාණයක් ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මුළු පරිසරය පුරාම හරිත වර්ණයත් ලා මිදුමත් අහසේ රෝස පැහැයත් දැක ගත හැක. විටින් විට අහසේ කුරුල්ලෝ රෑන් පිටින් පියඹා යයි. කෙත් වතු ආශ්‍රිත පහල ප්‍රදේශයේ මීදුම අනෙකුත් ප්‍රදේශ වලට වඩා ටිකක් තද බවක් පෙන්වයි. එමගින් රබර් වතු එසේ නැති නම් තේ වතු, මේ පහත බිම් වලින් වෙන්වන සීමාව මකා දමයි. මදක් නැවතී මේ රමණිය පරිසරය විඳිය හැකි ස්ථාන බොහෝය. නමුත් අධිවේගී මාර්ගයක එසේ නැවතීමේ අවස්ථාවක් නැත.

වැලිපැන්න විවේක ස්ථානය ගැන කිසිම සැකයක් නැතුව විදේශ සංචාරකයන් හට පැවසිය හැකි සර්ව සම්පුර්ණ විවෙකාගාරයකි. ඔස්ට්‍රලියාවේ Sydney හා Melbourne යා කරන Hume highway එකේ පවා මෙතරම් පහසුකම් හා ඉඩකඩ සහිත විවේක ස්ථානයක් නොමැත. පැය 24 පුරාවටම විවෘත කර ඇති විවිධ සමාගම් වල ආපනශාලා තමාට කැමති ආහාරයක් රසවිඳීමේ පහසුකම් සලසා දී ඇත. දුර්වලතාවයක පවතිනුයේ වැසිකිලි වල පවතින තෙත ස්වභාවයයි.

අධිවේගී මාර්ග ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වුවද අධිවේගී මාර්ගයේ ඔවුන්ගේ  රිය ධාවන පැසසිය යුතුය. බොහෝ විට පළමු මං තීරුවේ රිය ධාවනය කිරීමට පුරුදු වී ඇති අතර ඉස්සර කිරීමේදී පමණක් අනෙක් මං තීරුව භාවිත කිරීමට ඔවුන් පුරුදු වී ඇත. ලාංකික රියදුරන් බොහෝ දෙනාගේ සුලභ අමතක වීමක් වන, තම කාර්ය අවසන් වූ පසු හෝ තම අදහස වෙනස් කෙරුව පසු signal light එක නවතා නොදැමීම අධි වේගී මාර්ගයේද දකින්නට ලැබුණි. signal light දැමීම සේම  නොදැමීම එක සේ වැදගත් බව අත්දැකීමෙන් ඔවුන් ඉගෙන ගනීවි.

කෙසේ වුවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු අත්දැකීම සතුටුදායකය. මා ඇස ගැසුණු කරුණු කිහිපයකි මේ.

1. වේග සීමාව සඳහන් ඉලක්කම් කුඩා වීම - සියලුම වේග සීමාවන් සඳහන් සංඥා පුවරු වල ඉලක්කම් මීට වැඩ විශාල වුයේ නම් අගනේය. වැඩි ඉඩක් kmph. ලෙස සඳහන් කිරීමට යොදා ඇත. මා සිතන ආකාරයට මෙය අනවශ්‍ය දෙයකි. ලංකාවේ ධාවනය වන සියළුම රථ වාහන වල වේගය දක්වනුයේ පැයට කිලෝමීටර් වලිනි. ඒ නිසා සංඥ පුවරු වල නැවත පැයට කිලෝමීටර් ලෙස දැක්වීමට ඉඩ වෙන් කිරීමට වඩා වේග සීමාව විශාලව සඳහන් කිරීම වටී.(නීතිමය තත්වයක් මත මෙය සිදු කරන්නේ නම් එය වෙනස් කිරීමට කාලයයි)

2. වේග සිමා තොරතුරු  සංඥ පුවරු (information signs) නොමැති වීම - පැයට කිලෝමීටර් 100 කට ධාවනය වන රථයක් සඳහා ඉදිරියේදී අඩු වේග සීමාවකට ලඟා විය යුතු බව දක්වන  සංඥ පුවරු තිබු බවක් මගේ මතකයේ නැත. විශේෂයෙන් interchange වල මෙවැනි  සංඥා පුවරු අවශ්‍යතාවය ඉහල බව මගේ හැගීමයි. පිළිගත් ක්‍රමය අනුව සුදු පසුබිමෙහි කළු අකුරින් තොරතුරු සංඥා පුවරු වල තොරතුරු සඳහන් වේ.
File:Speed Limit 60 sign.svg
මේ ආකාරයේ  සංඥා පුවරු මගින් ඉදිරියේ ඇති වේග සීමාව ගැන පෙර අවබෝධයක් ලබා ගෙන ඒ අනුව වේගය අඩු කර ගත් හැක.
3. පිටවීම් දොරටුවෙහි වේගය පැයට කිලෝමීටර් 40 ක් වීම- අධිවේගී මාර්ගයේ සමහර පිටවීම් දොරටුවේ වේග සීමාව පැයට කිලෝමීටර් 40 ක් ලෙස සඳහන් කර ඇත. අධිවේගී මාර්ගයේ ධාවනය වන රථ සහ රියදුරන්ගේ හැසිරීම නිරීක්ෂණය කල විට මේ සීමාව ඉහල නැංවිය හැක යන්න මගේ අදහසයි. ඉදිරියේදී පිටවීම් ස්ථාන වල අඩු වේග සීමාවක් නිසා ඇතිවන තදබදය තුල  අධි වේගී මාර්ගයේද අවහිරතා ඇතිවිය හැක.
4. ඇතුළු විය හැකි රථ වාහන වල උපරිම උස ඇතුළු වීමට පෙර සඳහන් නොවීම හා අවබෝධයක් ලබා ගත නොහැකි වීම- අධිවේගී මාර්ගය තුල flyover ගනනාවක් ඇත. මේ නිසා ඇතුළු වන රථ සඳහා උස සීමාවක් දැක්වීම අවශ්‍යය. එසේම ඒ උස ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ඇතුළු වන ස්ථාන වල ඉහලින් දම්වැල් වැනි යමක් එල්ලා තැබීමෙන් රියදුරන් හට තම වාහනයේ උස තක්සේරු කල හැකිය.
5. Flyovers වල උස සඳහන් කිරීම - බොහෝ flyovers වල උස සඳහන් වන්නේ එහිම වම්පසය. විශේෂයෙන් ට්‍රක් රථ රියදුරන්ට මේ උස දැකගැනීම අපහසුය. flyover වලට පෙර උස සඳහන් කර වැරදීමකින් හෝ ඇතුළු වූ  උස වැඩි වාහන සඳහා නැවතීමේ මං තීරුවක් එක් කිරීම අනාගතයේදී වඩා වාසිදායක වනු ඇත.

6. අතරමග නැරඹුම් ස්ථාන ඇති කිරීම- මා ඉහත සඳහන් කර පරිදි පරිසරයේ සුන්දරත්වය විඳීමට ස්ථාන (scenic view) නිර්මාණ කර ඒ සඳහා යා හැකි වන පරිදි  අතුරු මං තීරු නිර්මාණය කිරීමෙන් සංචාරකයන් ආකර්ශනය කරගැනීම අවස්ථා සැලසේ. මේ ස්ථාන ගිමන් නිවන ස්ථාන(rest area) ලෙසද යොදාගත හැක.