Monday 26 May 2014

ලංකාවට යනවද?.... පිස්සුද?

මා සමග එකට වැඩ කරන මිත්‍රයකු දීර්ඝ සේවා නිවාඩුවක් ලැබීමට නියමිතය. එය සති දහයක් පමණය. දිවා විවේකයේ  දී ඔහු අප සමග මේ ගැන කතා කළ අතර ඔහු විදේශ සංචාරයක් යාමට තීරණය කර ඇති බව පැවසිය. මා ඔහුට ලංකාවට සංචාරය සඳහා යන ලෙස දැන්විය. ඔහු 'මොන වගේද' යන්න විමසිය.  මා ඔහුට ලංකාවේ අලි ගැනත්, සිගිරිය ගැනත්, ලංකාවේ කකුළුවෝ සහ කෑම ගැනත් විස්තර පැවසිය. බොහෝ කලක සිට සංචාරය සඳහා යන පිරිසට මේ තුනෙන් එකකට ප්‍රිය වන බව මම ඒකාන්තයෙන් දන සිටියෙමි. වැඩි විස්තර සඳහා අන්තර්ජාලය පරිශීලනය කරන ලෙස දැන්විය.
පසු දින ඔහු මා හමු විය. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් තමන්ට වූ ලිංගික බලහත්කාරකමකට විරුද්ධව වන්දි ඉල්ලා නඩු දමා ඇති බව ඔහු පැවසිය. මා නඩුව සත්‍ය බවත් එත් ලිංගික බලහත්කාරකමක් සිදු වුවාද යන්න නොදන්නා බවත් පැවසිය. සමහර විට මේ කාරණාව බොරුවක් විය හැකිබවත් මා පැවසිය. ඔහු රැකියාව ආරම්භ කර ඇත්තේ පොලිස් කොස්තාපල් කෙනෙකු ලෙසය. ඒ නිසා ඔහුගේ පළපුරුද්දෙන් මේ සිද්දිය ගැටළු සහගත බවත් උසාවියේදී ඇත්ත හෙළිවිය හැකි බවත් පැවසිය.
යලිත් වරක් ඔහු මා වෙත පැමිණියේය. අර කාන්තාව පිටුවල් කල තැනැත්තියක් බවත්, පිටුවහල් කිරීමට හේතුව ඇගේ අතේ බුදු හාමුදුරුවන්ගේ ටැටූ එකක් තිබීම බව පැවසු අතර ලංකාවේ ටැටූ තහනම්ද ඇසිය. මා ටැටූ තහනම් නෑ යි පැවසිය. සමහර විට බුද්ධ රූපය නිසා විය හැකි යි පැවසු අතර ලංකාවේ බුද්ධ ධර්මයට ඇති අල්ලම සහ ගෞරවය පිළිබඳව ද විස්තර පැවසිය. එවර ඔහු ඉස්ලාම් හා කිතුනු ලබ්ධිකයන් ඔවුන්ගේ ආගම් සලකුණ ටැටූ ගසා යන බවත් පැවසිය. අප සමග සිටින ඉන්දියානු ජාතිකයෙකුගේ නම සඳහන් කර ඔහුගේ උරහිසේ හින්දු ලාංචනයක් ටැටූ ගසා තිබෙන බව පැවසිය. එය ඇල්ම හෝ ගෞරවය පිලිබඳ ප්‍රශනයක් නොවන බව පැවසිය. නමුත් ඔහුට ලංකාවට නොයාමට මෙය ප්‍රශ්නයක් නොවන බවත් සමහර විට අප නොදන්නා හේතු ඇති බවත් පැවසිය.
දින කිහිපයකට පසු ඔහු පැමිණියේ  තවත් කුණුගොඩක් සොයාගෙනය. වික්ටෝරියා නමැති කාන්තාවක් මීට කලකට ඉහතදී කණ්ඩායමක් විසින් දුෂණය කර  ඇති බවත්. ඇයගේ වෙද්ද්‍ය සාක්ෂි පරිගණක වයිරසයක් මගින් විනාශ වි ඇති බවත් ය. එවර ඔහු ඇසුවේ නීති සාක්ෂි හා වාර්තා එලෙස විනාශ විය හැකිද යන්නය. එසේම නැවත ඒ විනාශ වූ දත්ත ලබා ගැනීමට මෘදුකාංග හා සේවා තිබෙන නිසා ඒවා ලබා ගැනීමට උනන්දු නොවන්නේ මන්ද යන්නය. මා නිරුත්තරය. මා රටින් බැහැරව වසර පහකට අධික බවත්, උසාවි හා නීති අංශ ගැන කිසිසේත්ම අවබෝධයක් නැති බවත් පැවසිය. ඔහු තවත් විස්තර සොයා ගෙන මා වෙත දන්වන්නම් යි පවසා යන්ට ගියේය. මා දා ගත්තේ මරාලයක් බව ඒත්තු ගියේය. කෙසේ හෝ මේ මනුස්සය අහන දේවල් වලට සුදානම්ව සිටිය යුතු බව අවබෝධ විය.
නැවත ඔහු පැමිණියේ හම්බන්තොට කුරම් ෂයික් ඝාතනය පිලිබඳ විස්තරත් ඝාතකයාගේ දේශපාලන පසුබිමත් පිලිබඳ විස්තර රැගෙන ය. ඝාතනය සිදු වූ  හෝටලය වර්තමාන ජනාධිපති ගේ බල ප්‍රදේශය බවත් සැකකරු එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු බවත් පැවසිය. ජනාධිපතු එහි සැකකරු සමග ගත් ඡායාරුප ද තිබිණ බවත් ඔවුන් මිත්‍රයන් බවත් පැවසිය. ජනාධිපති පමණක් නොව ඔහු, බොහෝ දේශපාලන නියෝජිතයන් සමග සම්බන්ධතා පවත්වපු පුද්ගලයකු බවත් තමා සොයා ගත් තොරතුරු වල සඳහන් බව ඔහු පැවසිය. ඔහුගේ ප්‍රශ්නය වුයේ ඇයි ඔහුව ධුරයෙන් අයින් කර නඩු නොඅසන්නේ සහ ඇයි ජනාධිපති ඉල්ලා අස්නොවන්නේ  යන්නය. ලංකාවේ දේශපාලනය ගැන කතා නොකරන ලෙසත් ඒ ගැන කතා කිරීම නිෂ්පල දෙයක් ලෙසත් මා පැවසිය.
ඉන් පසු ඔහු ලංකාවේ විස්තර විමසා මා වෙත නොපමිනේය. වරක් ආපනශාලාවේ දී ඔහු මුණ ගැසුණි. මා ඔහුගෙන් ලංකාවට යනවාදැයි විමසිය. ඔහු ගත කටටම "පිස්සුද" යි විමසිය. මම වචනයක්වත් නොවිමසවා එතනින් ආවෙමි.
පසුව ඔහු මගේ මේසය ලඟට පැමිණියේය. ඔහු ලංකාවට නොයන්න කාරණාව විස්තර කරන්නට විය. ඔහුට ආරක්ෂාව පිලිබඳ සැකයක් පවතින බව පැවසිය. හම්බන්තොට හෝටල තුල මිනිහෙක් මරා කාන්තාවක් දුෂණය කරන කාලය තුල පොලිසියට පැමිණිය නොහැකි වුයේ මන්ද යන්න ඔහුට ප්‍රශ්නයකි. සන්නිවේදන පහසුකම් එතරම් ප්‍රාථමික ද යන්න ඔහුට ප්‍රශ්නයකි. එවැනි අඩු පහසුකම් ඇති ස්ථාන වල හෝටල් පහසුකම් ලබාදීමෙන් සංචාරකයන් ජීවිත අවදානමට ලක්වන බව ඔහු පවසයි. එහි චුදිතයන් නිදැල්ලේ වසරකට අධික කාලයක් සිටීම නිසා සාක්ෂි වලට කොපමණ බලපෑමක් වුවාද සැක සහිත බව ඔහු පැවසිය. වඩා වැදගත් වුයේ ඔහු අවසානයට පැවසු දෙයය.
මේ සිදු වීම මට වෙන රටකදී වෙන්න පුළුවන්. නමුත් මට විස්වාසයක් තියෙනවා මට නීතියෙන් සාධාරණයක් සිද්ධ වේවි කියලා. ඔස්ට්‍රලියාවෙන් ගිය බොහෝ සංචාරකයන්ට අග්නිදිග ආසියාවේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා .මැරිලත් තියෙනවා. නමුත් ඒ සියල්ලටම නීතියෙන් සාධාරණය ඉටු වෙලා තියෙනවා. ලංකාවේ එහෙම වේවි කියා සැක සහිතයි. මේ ඔහුගේ අවසාන විග්‍රයහයි. මම මින් පසු ලංකාවට සංචාරය සඳහා යන ලෙස කිසිවෙකුට නොපැවසිමට තීරණය කළෙමි.

Sunday 18 May 2014

නාම විශේෂණ මට නැත ඔබ ගැන....

ගුරු ගීතයේ  අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. එසේ නොවන ගුරුවරුන්ට මල් මිටක් තිලිණ කිරීමට පසුබට නොවෙමි. මේ ගීතය ගෝල ප්‍රේමය ඉදිරියේ ගුරුවරයා ගේ හැසිරීම කෙබඳු විය යුතුදැයි සිහි ගන්වයි.

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරි කරලන්නට ඔබෙන් වරම් යදිමින්

මේ ශිෂ්‍යාව තම අඳුරු තුමාගේ රුවට නොව ගුණ 'සුවඳ' ට වශී වී සිටි. එය ඇයට සිහිනෙන් ගෑ සුවඳක් බඳුය. ඈ ප්‍රර්ථනා කරන ලෝකය නිර්මාණය කරගැනීමට වරම ඉල්ලන්නේ මේ නිසාවෙනි

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුවරයා ට අබ මල් රේණුවක තරම්වත් මේ ගැන හැගීමක් නැත. ඔහු ගුරු ගෙදරට පැමිණෙන්නේ තම ශිෂ්‍යන්ට ඉගැන්වීමටය. මේ සිසුවිය ගැන විශේෂයක් ඔහුට නැත.

හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කිවා
කුලුදුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ලතවෙනවා

ශිෂ්‍යාව කුල්මත්වන්නේ ඔහුගේ නෙත් සඟලින් කියවෙන දේ ගැනය. ඈ සිතන්නේ එය ප්‍රේමනීය කැදවීමක් ලෙසය. ඈ තම සිතැගි තම ගුරුවරයාට නොවලහා පවසයි. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු හා වෙලෙන්න ඈ ඔහුට ආරාධනය කරයි.

කෝප නොවන්නට මා ප්‍රිය සිසුවිය සිත නුබ  කළඹාදෝ
ශිල්ප උගන් නුබ නොමග යැවූ  දා මා ඇදුරිඳු වෙම්දෝ

ගුරුතුමා තවමත් සන්සුන්ය. ඔහු ඉතාමත් සංයමයකින් ඇයට කරුණු පහදයි. අය කැළඹී ඇති බව පසක් කර දී ගුරුවරයෙක් ලෙස ඇයව නොමගට යවන්න ඔහුට නොහැකි බව පවසයි.

සමාවන්න මට ඇඳුරුතුමනි මගේ සිරකරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්

සිසුවිය ගුරුවරයාගේ වචනය අවබෝධ කර ගනී. ඇය තම සිතැගි පාලනය කර ගන්නා බවත් සිතට වහල් වී පෙම් නොකරන බවත් පවසයි. එසේම ඇය ඔහුට ප්‍රශංසා කරයි.

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුතුමා නැවතත් ඇයට පවසනුයේ ඔහු පැමිණියේ ඉගැන්වීමට බවත් විශේෂ සැලකිල්ලක් ඇය පිලිබඳ නැති බවත්ය.

අයි. ඩි ජයතිස්සයන්ගේ පදමාලවත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයත් ඉතාමත් සරලය. සජීවී ගායනයක් බැවින් ගායනයේ සුළු අඩුපාඩුකම් දැකිය හැක. මා මුලින්ම මේ ගීතය ඇසුවේ ලක්ෂ්මන් විජේසේකර ගේ හඬින් ය. මායා දමයන්ති ගේ ගායනය ඉතාමත් මිහිරිය, සුමගය, භාවපුර්ණය. විශාල ස්වර පරාසයක නොවුනත් ඇය ඉතාමත් අගේට ගීතයට අනුකුල භාවයන් ප්‍රකාශ කරයි...

https://www.youtube.com/watch?v=g6DTWmy_aiY

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.