Wednesday 19 November 2014

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..

කැම්පස් යන්න ගත්තු දවසේ ඉඳන් රස්සාවට යනකම්ම මගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ දුම්රිය. මේ සිදුවීම වුයේ මා කැම්පස් යන කාලයේදී. උදේ වරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සියළුම දුම්රියන් නැවතීම එකල සුලභ කරුණක්. අප යන වෙලාවල් වලට පැමිණෙන සීග්‍රගාමී දුම්රිය අතර 'සමුද්‍ර දෙවි' තමයි වැඩිපුර දෙනා ගමන් පහසුව සලසා ගන්නේ. ඉන්පසුව 'සාගරිකා'. බොහෝ විට 'සාගරිකා' දුම්රියෙන් පසුව පානදුරෙන් ආරම්භ වන දුම්රියෙන් කැම්පස් එකේ 8 ට පටන් ගන්න දේශනයට 9 ට යාමට මා පුරුදුව සිටියා. එදින මා දුම්රිය ස්ථානයට පැමිණෙන විට මගේ මිත්‍රයෙක් දුම්රිය ස්ථානයේ වුහ. මා ඔහුගෙන් 'ඇයි මේ වෙලාවේ' යි. විමසිය. 'අර වේ__ අදත් මට අත වන වන ගියා' ඔහු සිනාසෙමින් පැවසිය. මා හට කාරණය පසක් විය. ඔහු 'වේ__' යි පැවසුවේ 'සාගරිකා' ට ය. මෙවන් වදන් මා හට දුම්රියපොළේදී හොඳහැටි පුරුදුය. සමහරවිට 'මේ අම්මණ්ඩි අදත් පරක්කුයි' පවසයි. ඒ 'සමුද්‍ර දෙවි' ට ය. 'පරක්කු උණු දවසෙත් මේ ගෑණි එන්නේ නලව නලව'- ඒ හෙමින් හෙමින් දුම්රිය පොලට පැමිණෙන තවත් 'දේවි' කෙනෙකුට හෝ 'කුමාරි' කෙනෙකුටය.

කෙසේ හෝ මා හට සුපුරුදු දුම්රිය මැදිරිය පසු කොට මිත්‍රයා සමග වෙන මැදිරියකට ගියේ ඔහු ගේ පහසුවටය. එහි සංගීත සාජ්ජයකි. ඔවුන්ම නිර්මාණය කර ගත් විවිධ තාල භාණ්ඩ සමග ඉතා අගේට ඒ පිරිස ගායනයේ යෙදිති.  බොහෝ ගීත සුභාවිත ගීතයන්ය. මගේ මතකය අනුව දුම්රිය, තව දුම්රිය ස්ථාන දෙක තුනක් පසුකරන්නට ඇත. නිය තොල් රතු කරගත් තරුණියකගේ විලස හැඩ වැඩ වූ  අවුරුදු හතලියක පමණ යුවතියක් මොබයිල් ෆෝන් එකකින් කතා කරමින් කාවදෝ සොයමින් ඉදිරියට පැමිණියාය. ඇයගේ ගමන් විලාසයට හා බාධාවට සාජ්ජය නැවතිණි. ඊලග දුම්රියපොලෙන් කඩවසම් ලාබාල තරුණයකු ඒ දුම්රිය මැදිරියට ගොඩ වූ අතර මා මුලින් කී යුවතිය ඔහු ලඟ නතර විය. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ය. මොහොතකින් ඔවුන්ට එය දුම්රිය මැදිරියක් බව අමතක විය. නැවත සංගීතය ආරම්භ විය. ඔවුන් ගැයූ වේ මෙන්න මේ ගීතයයි.

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//

ඔවුන්ට මේ ගීතයේ අර්ථය දනුනාද සේම ඒ සිද්ධිය හා කෙතරම් ගැලපුනාද යන්න අපැහැදිලිය. නමුත් මේ ගීතය ඇසෙන ඇසෙන වාරයක් පාසා මා හට මේ සිදුවීම මතකයට නැගේ. මේ ගීතයෙන් කතා කරනුයේ විවාහයෙන් කෙලවර නොවන ප්‍රේමයක් ගැනය. එය සම්මත රාමුවෙන් පිටතද  එසේ නමැති නම් අසම්මත ප්‍රේමයක් ද යන්න තීරණය වන්නේ රසිකයාගේ වින්දනය අනුවය. 'ප්‍රේමය' මෙන්න මේ වගේ යි විවිධාකාර හැඩතල නිර්මාණය කරන ගීත රචකයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතයේදී ද එවන් හැඩයක් නිර්මාණය දැක ඇතැයි යන්න මගේ හැගීමයි. 'ප්‍රේමය නම් සඳ එලිය සේ අචින්තයි...', 'බිරිඳ මගේ ඔබ..' (තව බොහෝ ඇත) වැනි ඔහුගේ ගීත සමග සැසදීමේදී මේ  තවත් එක්තරා ආකාරයක 'ප්‍රේමයේ' හැඩයකි. එසේම මෙහිදී 'ප්‍රේම' කිරීමේ අරමුණ 'විවාහයද' එසේ නම් විවාහයක් ගැන නොසිතන ප්‍රේමය 'අසම්මත' ද යන දිසා ඔස්සේද විවිධ කරුණු ගෙනහැර දැක්විය හැක. මහාචාර්ය තුමාගේ සමහර ගීත වල මෙන්න මේ ලක්ෂණය දැකිය හැක. එනම් විවිධ ඉසව් ඔස්සේ රසිකයාට සිතන්නට පෙළඹ වීමයි. මෙහිදී 'තොටුපල අයිනේ' සිට 'ගාට ගාට ඇවිදින්..' රුවල් ඉරි ගිය නෞකාව' තෙක් විවිධ උදාහරණ දැක්විය හැක. එය 'සුනිල් ආරියරත්නගේ ලකුණ' ලෙස සැලකුවොත් වරදක් නැත.

මේ ගායකයා සහ ගායිකාව දෙදෙනාම ජීවතුන් අතර නැත. මොවුන් දෙදෙනාම ක්ෂේත්‍රයේ අසමසම චරිතය. මගේ පුද්ගලික විශ්වාසයට අනුව කපුගේ  සංගීතය භාවිතය සේම ගායනය අතින් දශමයක් හෝ මාලනී බුලත්සින්හලයන්ට වඩා ඉදිරියෙන් සිටි. එහෙත් මා සිතන ආකාරයට මේ ගීතයේදී මාලනියන් කපුගේ ව අතික්‍රමණය කර ඇත. මා හට දැනෙන ආකාරයට මාලනියට හිමි ඒ උච්ච කටහඬ පාලනය කර කපුගේ ගේ හඬට ගැලපෙන ලෙස ගායනය කරනවා යි හැඟෙ (මට දැනෙන අයුරිනි). එහෙත් එය කපුගේ හඬ අභිබවා නොයයි. මෙය එක්තරා ආකාරයක සමාජ රීතියක් අනුගමනය කිරීමක් විය හැක. මක්නිසාදයත් බොහෝ විට තරුණියක් පෙම්වතියක් වූ විට ඇයගේ පෙම්වතාට අනුගත වේ. සමහර විට මේ සම්මතය context එක තුලින් මතුකරන්නට කපුගේ ගේ සංගීතය යොදා ගත්තා විය හැක.

https://www.youtube.com/watch?v=wtdyOM7LujQ

( මුල් ගීතයේ සංගීතය මීට වඩා අගේය. කවුරු හරි ළඟ තිබේ නම් share කරන ලෙස ඉල්ලමි)