Sunday 27 November 2016

ලා සඳ එළියේ නා පෙති හැලිලා



විවාහයේ ප්‍රථම රාත්‍රිය ගැහැණියෙකු ට ඇතිවන සතුට,බලාපොරොත්තුව හා චකිතය කියවන වෙනත් ගීතයක් මේ ගීතය හා සැසදීමට නොහැකි තරම්ය. දයා ද අල්විස් නම් ගීත රචිකාවියගේ ජිවන අත්දැකීම් මේ ගීතය සමග මුසු වී ඇතැයි මට සිතේ. ඇයගේ පළමු විවාහය අවසන් වන්නේ ස්වාමියාගේ අකල් වියෝවෙන්ය. පසුව ඇයගේ ජිවිතයට ඇතුළුවන්නේ ප්‍රේමකීර්ති වුවද ඒ විවාහයත් සාර්ථක වන්නේ නැත. මා හට සිතනුයේ මේ ගීතය දයා ද අල්විස් ගේ ප්‍රථම විවාහයට වඩා දෙවන විවාහයට සමීප බවයි.

ලා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......

නා මල් පෙති වැටුණු යායකට ලා  සඳ එළිය වැටුණු විට එයින් ඇති වන චමත්කාරය වචනයෙන් විස්තර කල නොහැක. සිංහල ගීත සාහිත්‍ය යේ ලා සඳ එලිය ඉදිරියේ දිග හැරුණු ශුන්ගාරය සමග දිගහැරුණු ප්‍රේමය ගැන ගීත බොහෝමය. නාමල් සුවඳ මුසු වීමත් සමග මේ චමත්කාරය දෙගුණ තෙගුණ වී යයි. එසේම නාමල් සුවදත් සමග ඒ ශුන්ගාරාත්මක රාත්‍රියට පහන් බවක් එසේ නොමැති නම් නිවුණු බවක් ගෙන දෙයි.මෙවන් රාත්‍රියකදී මේ කාන්තාවගේ 'දිවි රැය' මල් සුවදින් ප්‍රබෝධමත් වී ඇත. අවට පරිසරය සේම ඇයගේ ප්‍රබෝධමත් වූ ජිවිතයේ රාත්‍රිය තම ස්වාමියාගෙන් ඉල්ලනුයේ සඳ දියයි. සඳ දිය පිවිතුරුය. එය නොකිලිටිය.ඇයට තම ස්වාමියාගෙන් අවැසි වන්නේ පිවිතුරු ආදරයයි.

මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වේ
ඔබගෙනි සැප දුක විමසන්නේ..........

ඇය මේ පුරුෂයා සමග කෙතරම් බලාපොරොත්තු තබා ගෙන ඇති බව පවසන්නට යොදා ඇති සීමිත පදවැල් ගණන අසීමිත මානයක් පෙන්වයි. අයගේ මවත් පියත් මින්පසු ඔහුය. ඉෂ්ට දේවතාවන් ඔහුය. ඇයගේ දුක සැප සොයා බැලීම සේම, මව ගෙන් පියාගෙන් ලැබුණු රැකවරණය ද මින්පසු බලාපොරොත්තු වන්නේ ඔහුගෙනි.

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳු‍නේ.................

මේ මුළු ගීතයේම සාරාංශය මේ පද කිහිපය කියයි. 'ඔබේ දෙපා මත හිස රදවන්නම් - පළමු වතාවට හිමි සඳුනේ...' යි පවසන්නේ තොල් පෙති සිඹ දෑස් පියාගෙන ය. තමන්ට හුරු පරිසරයෙන් නික්මී අළුත් ජිවිතයක් ඇරඹීමට පැමිණි ඇය වෙන කවුරුත් නොව දයා අල්විස් නම් කිවිඳි ය යි මට සිතේ. මේ ගීතයත් සමග කෙතරම් දයාබර පරහිතකාමී පුද්ගලයෙකු වුවද ප්‍රේම් ගැන මට ඇතිවන්නේ ඔහු නොකළ යුත්ත්තක් කළාය වැනි හැඟීමකි.

එච් එම් ජයවර්ධනගේ සංගීතය පද රචනාවට උචිතම සංගීතය යි සිතිය හැක. සමහර ප්‍රවීනයන් ගීත වලට සංගීතය එක කිරීමේදී ගායකයාගේ හැකියාව වගේම පද රචනාවේ අගය අතික්‍රමණය කරනවා දැක ඇත. එසේම ගායකයා සමහර විට ඒ ගීතයේ සංගීතය, පද රචනාව අතික්‍රමණය කරනවා දැක ඇත. පදරචකයාද එසේමය. බොහෝවිට ගායකයගේම පදරචනවත්, සංගීතයත් වූ ගීත සමස්තයක් ලෙස හොඳ නිර්මාණයක් ලෙස (ඕනෑ තරම් අවර ගනයේ මේ ආකාරය් ගීත ඇත.) ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ සම බර ලෙස සියළු අංග උපාංග එක්වන නිසාවෙනි. නමුත් එච් එම් සංගීතවත් කළ බොහෝ ගීත වල ඔහු ගායක/ගායිකාවන්ගේ හඬ යටපත් නොවන ආකාරයට මෙන්ම ගීතයේ වචන වලටද සම තැන ලබාදීමට උත්සහ කර ඇත. මේ ගීතයේ ද වචන වල තිබෙන සංයමය සංගීතයේ ද ඇත. මුළු ගීතය පුරාවටම වැයෙන වයලීනය ඒ සංයමය නිර්මාණය කර ඇත. වරින් වර වැයෙන තත් හඬ මේ යුවතියගේ සිතේ ඇතිවන චකිතය දනවයි

ගීතයට අවැසිම හඬ නිරංජලා ගේය. ඒ හඬේ පවතින තාරුණ්‍ය වගේම සංයමය, ගීතයේ කියන ඒ අවස්ථාව මැනවින් විදහාපායි. මා වඩාත් ආස කරනුයේ ගීතයේ සමප්තියේ ඇති මිමිනිම ටය. පළමු වතාවට ස්වාමියාගේ දෙපා මත හිස තබන යුවතියට ඇති සැනසීම හරි අගේට එමගින් දනවන්න නෙරංජලා ට හැකි වී ඇත. සිය ස්වාමියාගේ වියෝවෙන් පසු නෙරංජලා ගායනය අතහැරීම පිලිබඳ මා තුල ඇත්තේ අප්‍රසාදයකි. ඇයට තමා කැමති තීරණයක් ගැනීමට ඇති අයිතිය පිලිබඳ කිසිඳු  ප්‍රශ්නයක් නැත. එහෙත් රසිකයෙකු ලෙස ඒ හඬ අසන්නට නොලැබීම  ගැන ඇත්තේ වේදනාවකි.

Monday 24 October 2016

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා....

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

https://www.youtube.com/watch?v=pu83h3v4KP8

දෙඇස් අන්ධ වීම කෙනෙකුට කිසිසේත්ම වාසනාව ගෙන දෙන්නක් නොවේ. බොහෝ විට එය ඔහුගේ හෝ ඇයගේ පරිකල්පන සීමාවන් ලඝු කරන්නට හේතු කාරනා වේ. එහෙත් හෙන්ද්‍රි කල්දේරා ගේ මේ ගීතය, දෙනෙත් අඳ නැති මල් සින්දු කරුවන්ගේ ගීත වලට වඩා විශාල වූ පරාසයක විහිද පවතී,
හෙන්ද්‍රි කල්දේරා ශුරින් ගේ දෙනෙත් අන්ධ වීම ආරම්භ වනුයේ කුඩා කාලයේදීය. කුඩා කාලයේදී පවා ඔහුගේ පෙනීම සාමාන්‍ය තත්ත්වයේ නොපවතී බව ඔහු ලඟින් ආශ්‍රය කල අය පවසයි. නමුත් අන්ධ වීම නමැති කාරනය ඔහුගේ හැකියාව සිමා කිරීමට නුපුලුවන් විය. 
ඔහුගේ ගීත බොහොමයක් ඔහුම රචනා කර, තනු යොදා ගායනය කල ගීතය. එච්. එම්. ජයවර්ධනයන් බොහොමයක් ගීත වලට සංගීතයෙන් දායක වී ඇත. නිසි ලෙස සංගීතය අධ්‍යනයක් නොලබ හෙන්ද්‍රි කල්දේරා ශුරීන්ගේ බොහෝ ජනප්‍රිය ගීත 6/8 beat එකේ හා Major Scale වල නිරමාණ වූ ගීතයන්ය. සමහර විට මේ රාමුව තුල ඔහු කොටු වන්නේ ඒ ජනප්‍රියතාවය නිසා විය හැක.
ගීත වල ගායනයට හා සංගීතයට වඩා ඔහුගේ රචනා වල තිබුනුයේ පුදුමාකාර ලාලිත්‍යකි. ඒවා ඉතා සරලය. ඒ ගීතවලට තේමා වුයේ බොහොම සුළු සිද්ධීන්ය. නමුත් ඔහුගේ නිර්මාණශීලි හැකියාව තුලින් වඩාත් චමත්කාර ලෙස ඒ සුළු සිද්ධිය ගීතයකට නැගීමට පුළුවන් විය. 'මිදුලෙ මිරිවැඩි සලකුණු', 'ඊයේ උදයේ', 'දාලා කරාබු', 'තාර පැටියා' ආදී මේ සියල්ල එවන් සුළු සිදුවීම් තුලින් නිර්මාණය වූ ගීතය. වඩාත් විශේෂ වන්නේ මේ කිසිවක් ඔහු දෙනෙත් වලින් නොදුටු සිදුවීම් වීමය.  පෝරුව මත සිය මනාලිය මිතුරෙකු සමග සිටිනවා සිහිනෙන් දකින්න සැබෑ ලෝකයේදී විවාහ උත්සවයක් ඔහු දැක නැත පමණක් නොව මිතුරාගේ රුවවත් මනාලියගේ රුවවත් ඔහු දැක නැත. දරුවෙකු කන විදීම, කැඩපතකින් මුනුණ බලා සිනාසීම, සුරතල් සිනා ඔහු දැක නැත. එහෙත් ඔහුට වස්තු වූ ඒ සියළු කාරනා සියැසින් දුටුවා සේ ගීතයට නැගීමට තරම් ඔහු නිර්මාණශීලි විය.
මේ ගීතයෙන් කියවෙනුයේ, ආදරය ප්‍රකාශ කරන තෙක් බලා සිටින හා ආදරය අයදින  ප්‍රේමවන්තයෙකු කතාවකි. සමස්ථ ගිතයේම කොටස් දෙකක් 'ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා' යනුවෙන් සදහන් වන අතර අනිත් කොටස් දෙක 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙන් අවසන් වේ. 'ඔබ තාම නැහැ දයාවියේ..' සඳහන් පද පේලි වලදී උදය සහ රාත්‍රිය ගැන රචකයා කතා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත් මේ පුද්ගලයා දිවා රාත්‍රිය නොබලා ඇය ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටියි. හිරු බැස යාමත්, රාත්‍රිය එළඹීම හා සඳ නැගීම ආකාරයේ පරිසරයේ චමත්කාරය අන්ධ ගීත රචකයකුගෙන් මෙලෙස වර්ණනා කල හැකිද යන්න පුදුම සහගතය.
දෙවන හා අවසන් ගීත කොටසින් රචකයා ආදරය ප්‍රකාශ කරන අයැදීම කරන්නේ 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙනි. ඔහු පවසන පරිදි මේ කාන්තාව කුඩා කල සිට දන අඳුනන තැනැත්තියෙකි. දෙදෙනා එකට වැලිබත් උයා ඇත. එසේම අවසන් පද වැල් වලදී ඔහු ඉතා අගනා රුපකයක් යොදා ගනී. එනම් ඔහු පවසනුයේ රුවැති මල් හමු වුවත් සුවදැති මල් ඔහුට හමු නොවුණු බවයි. දෙනෙත් අඳ ඔහුට රුවැති මල් වලට වඩා වටිනුයේ සුවදැති මලය. එක් අතකින් බැලු කල මේ ඔහුගේම ආත්ම ප්‍රකාශය විය නොහැකිද?
Image result for henry caldera
හෙන්ද්‍රි කල්දේරා තරම් අන්ධ ගායකයෙකු ලෙස සමාජයේ අසරණ වූ තවත් ගායකයෙක් සිටියා දැයි. සිතිය නොහැක. සංදර්ශන වලට එක්කරගෙන ගොස් ඔහුව අතරමං කල අවස්ථා ඕනෑ තරම්ය. ගීත ගායනය කල පසු මුදල් නොගෙවා මගහැරිය අවස්ථා එමටය. අගහිඟ කමින් අන්ත අසරණ වුනු අවස්ථාවක ඔහුට තම ආත්මය වන් නිර්මාණ ටික සලාද සමග මුදලට විකුණන්නට සිදුවිය. අප කැමති නැති කටෝර සංගීතය වුවද එය ඔහුගේ දරිද්‍රතාව නමැති මහා යක්ෂයා එලවා දැමීමට යම්කිසි පිටුවහලක් වන්නට ඇත. ලෝකයේ  ඕනෑ තරම් අඳ ගායකයන් සිටි. ජනප්‍රිය pop ගායක Steve Wonder ඉන් එක් අයෙකි. නමුත් ඔවුන් හෙන්ද්‍රි කල්දේරා තරම් අසරණ නොවිය. රටක සමාජ සුරක්ෂිත තාවය වැදගත් වන්නේ සාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයන්ට වඩා විශේෂ ආරක්ෂණ හිමි විය යුතු පුද්ගලයන්ටය. හෙන්ද්‍රි කල්දේරාගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශිලත්වය උසස් තලයක තිබීමට ඔහු ගේ පොත පත භාවිතය පිටුවහලක් වන්නට ඇත. එහෙත් ඔහුට ද දෙනෙත් හිම අයට මෙන් හැදෑරීමේ අවස්ථාව ලැබුනේ නම් ඔහුගේ නිර්මාණ වල ගුණයත් සංගීතයේ භාවිතයත් ඔහුව බොහෝ ඇතකට ගෙන යනු නොඅනුමානය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday 24 July 2016

මා එක්කලා අමනාපව වී දබර

මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා 
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා 
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...

හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ 
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ 
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ 
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...

මේ ගීතයේ රචකයාත්, සංගීත නිර්මනකරුවාත්, ගායිකාවත් ජීවතුන් අතර නැත. මා අසා ඇති ආකාරයට මේ ගීතය තනුවකට පදවැල් එක්වීමෙන් නිර්මාණය වී ඇත.ඔස්ටින් මුණසිංහ ශුරින් මුලින්ම මේ තනුව නිර්මාණය කර ඇත්තේ භක්ති ගීත වැඩසටහනකටය. දිනක් ප්‍රේමකීර්ති ඔහුගේ ගෙදර පැමිණි විට මේ තනුව වාදනය කර පෙන්වා ඇත. පසුව ප්‍රේමකීර්ති මේ අපුර්ව පදවැල නිර්මාණයකර  ඇත. ගීතයට අවැසිම කටහඬ මාලනී බුලත්සින්හලගේය.

මේ ගීතය ප්‍රේම් කවුදැයි යන්න එළිකරන ගීතයක්දයි මට සිතේ. ප්‍රේමකිර්තිගේ  පළමු කසාද බිරිඳ දයා ද  අල්විස්ය. ඔවුන් දෙපලට  සුරංගි නම් දුවෙක් සිටි. කෙසේ හෝ  මේ කසාදය වැඩිකල් පැවති නැත. මොනයම් හේතුවක් නිසා එය දෙදරා ගොස් ඇත. අපේ සමාජයේ කසාදයක් දෙදරා යන්නේ බටහිර සමාජයේ මෙන් ක්ෂණිකව නොවේ. බටහිර සමාජයේ දික්කසාද වීමට හෝ වෙන්වීමට දෙදෙනා අතර රුපවාහිනිය නිවසේ තැබිය යුතු දිශාව පිලිබඳ ආරවුලක් ප්‍රමාණවත්ය. අපේ සමාජයේ එවැනි දේ වලට දිකසාද වන අවස්ථා විරලය. මීට පෙර දෙදෙනා අතර නොයෙක් අමනාපකම් තිබෙන්නට ඇත. සමහරවිට දයා සමග අමනාප වී ප්‍රේම් නිවසින් ගිය අවස්ථා ද තිබෙන්නට ඇත. මා  අනුමාන කරන දෙය ඒ ලෙසම සිදුවුයේ නම් ප්‍රේම් පදවලට නගන්නේ දයා ද අල්විස් ගේ අත්දැකීම් හා හැඟීම්ය. ඒ අත්දැකීම් හා හැඟීම් ඇතිවීමට හේතුකාරනා වන්නේ ද ප්‍රේමකිර්තිය.

මෙලෙස මගේ හිතළු ගලපන අතර දයා ද අල්විස්  අතර හා ප්‍රේමකීර්ති අතර තවත් දේ ගීතවල ඇතිදැයි  මට සිතේ. දයා ද අල්විස්  ගේ පළමු සැමියා සෝමපාල රණතුන්ගයන්ය. ඔහු ද ප්‍රවීන ලේඛකයෙකි. 'ඇස් දෙක' ඔහුගේ නවකතාවකි. ඔහු මෙලොවින් සමුගන්නේ නොසිතු මොහොතකය. සමන් ආතාවුදහෙට්ටි පවසන ආකාරයට ප්‍රේමකීර්ති දක්‍ෂ ගීත රචකයෙකු වුවද පොත් කියවනවා දකිනුයේ බොහොමත් අඩුවෙනි. ප්‍රේම් කියාවා ඇති එකම නවකතාව සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව බව සමන් ආතාවුදහෙට්ටි පවසයි. ප්‍රේම් ගේ 'සද කැන් වැසිලා ..' ගීතයේ මෙලෙස පද පේලියක් වේ.

"මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයෙනු දැනේ.."

මෙලෙස බැලුකල ප්‍රේම් කියවුයේ සෝමපාල රණතුන්ගයන්ගේ  'ඇස් දෙක' නවකතාව පමණක්මද  සිතේ.

https://www.youtube.com/watch?v=OUYdnoI25Rs (සමන් ආතාවුද හෙට්ටිගේ කතාව)

කෙසේ හෝ ප්‍රේම් ගේ පෙර සඳහන් කල ගීතය ගීත විෂයෙහි බොහොම අඩුවෙන් ස්පර්ශ කරන මාතෘකාවකි. ගීතය කියනුයේ මව විසින් තම දියණියටය. මව පියා ආමන්ත්‍රණය කරනුයේ 'දුවගේ තාත්තා..' යනුවෙනි. පියා නිවසින් ගොස් ඇත්තේ මව සමග අමනාප වී මිස දුව සමග අමනාපයෙන් නොවන බව මුල් පද පෙලින්ම පවසයි. අනික මේ දබරයෙන් පියා නිවසින් ගොස් ඇත්තේ ඔහුගේ උවමනවටය.

කසාද සැමියා තමන්ගෙන් වෙන්වීම සැපතකයි සිටින කාන්තාවන් සිටිනම් ඒ ඉතාමත් සුළු පිරිසකි. මේ මගේ අත්දැකීමකි. මා රැකියාව කල ස්ථානයක දිනක් තවත් කාන්තාවන් තිදෙනෙක් මා සමග දිවා ආහාරය ගනිමින් සිටියෝය. එක් කානාතාවක් දික්කසාද වී බොහෝ කල් ය. තවත් කාන්තාවක් සැමියාගේ බිමත් කම හා අඩත්තේට්ටම් නිසා ගෙදර ප්‍රශ්න ගැන කතා කරමින් සිටි. අනෙක් කාන්තාව ගැන මා එතරම් නොදනී. කෙසේ හෝ ඇය තම යෙහෙළියට පැවසුවේ 'ඔහොම ඉන්නවට වඩා divorce වෙන එක හොදය' කියාය. එවිට දික්කසාද වූ කාන්තාව පිළිතුර වුයේ ' divorce උනාම තේරේවි රණ්ඩු වෙන්න හරි මිනිහෙක් ඉන්න එකේ අගේ..' කියාය. පවුල් අවුල් ගැන කතා එතනින් නිම විය.
ගීතයේ සඳහන් තැනැත්තිය තම සැමියාගේ නිවසින් බැහැර වීම ගැන කන්නස්සල්ලෙන් පසුවන බව පැහැදිලිය. ගේදොර අස්කර පිළිවෙලකට තබා ගන්න ඈ උත්සුක වන්නේ නැවත සැමියා  ගෙදර පැමිණෙයි යන අපේක්ෂාවෙනි. ගේ ළඟ කඩුල්ලට බැරි බරක් දරන්න සිදුවෙන්නේ කාරනා දෙකක් මතය. පළමුව තමාගේත් දුවගේත් ආරක්ෂාව සහ දෙවනුව ආර්ථික අඩුපාඩුකම් ය. පියා නොමැති නිවසට මව විසින් මේ කාරනා දෙකම සැලැස්විය යුතුය. එය මවට දැරිය නොහැකි බරකි. එපමණක් නොව සැමියා නිවසින් යෑම ඇයට සැපතක් නොවේ. රැය පුරා ඇයට නින්දක් නැත. ඒ නිසා ඇය ගෙමිදුලට වී සැමියා එනතුරු බලා සිටී. 

අඳුර එළඹෙත්ම ඔවුන්ගේ දුක කියන්නට කවුරුත් නැත. අඩුම තරමින් සඳ හෝ පායා නැත. සඳ තිබුණි නම් අඩුම තරමින් සඳට හෝ මේ දුක කිව හැක. කාලය වැය කිරීම සඳහා තරු ගනින්නේ ඒ නිසාවෙනි. මේ ගීතයේ 'සඳ මාමා' යන්න යෙදුම අපුරුය. ගීතය දුවට කියන බවත් පියා නොමැති ගෙදර මව විසින් ඇය ව සුරංගනා ලොවකට ගෙනයන්න දරන නිරර්ථක උත්සාහයත් අපුරු ලෙස හැඟවීමට ප්‍රේම්ට හැකිව ඇත්තේ මේ නිසාය. පියාව නැවත ගෙදර ගේනවා ගැනීමට මවගේ හෝ දුවගේ දුක පමණක් දන්වා යවා පලක් නැත. පියාට දෙදෙනාගේම දුක දැන්විය යුතුය. එය තල් අත්තක ලියනුයේ කඩදාසියක ලියු දෙයක් ලෙස මැකී දියවී නොයන නිසාවෙනි. මේ දුක ගැන පියාට දිගින් දිගටම මතකයේ රැඳවිය යුතුය. එවිට ඔහු නැවත මෙවැනි ගමන් නොයනු ඇත. මේ පණිවිඩය යැවීමට සුදුසුම තැනැත්තා සඳ මාමා ය. පියා ට දහවල් වෙලාවේ විවිධ රාජකාරි නිසා මවගේත් දුවගේත් දුක ගැන අවබෝධ නොවන්නට පුළුවන. එහෙත් රාත්‍රියට සඳ මාමා එනවිට පියාට තම දු සිගිත්ත හා බිරිඳ ගැන සිතුවිලි ගලාගෙන එනු ඇත. ඒ නිසා සඳ මාමා පණිවිඩය දුන් සැනින් හෙට තාත්තා ගෙදර එන බවට මවට විස්වාසයක් ඇත.

ප්‍රේම් නම් පුදුමාකාර නිර්මාණ කරුවෙකි.වචනවලට එහා ගිය දිගු කතාවක් පද කිහිපයකින් පැවසීමට ඔහුට තිබෙන හැකියාව මා පුදුම කරවයි.  ආරම්භයේ මාලනී ගේ උච්ච ස්වරයෙන් පවසන මුල් පද පේලිය වැලපිමකට සමානය. මුළු ගීතයේම හරය ඒ පළමු පද පෙලියේම කැටි කිරීමට මාලනී සමත්වී ඇත. තවත් මෙවන් කටහඬ ගීත වලට අවැසි මොතක මාලනී අප අතරින් සමු ගැනීම සැබවින්ම විශාල පාඩුවකි. තවමත් මාලනී ගේ ඒ හිස් තැන පිරවීමට කිසිම ගායිකාවක් සමත් වී නැත. මුනසිංහයන්ගේ සංගීතය ත් මුළු ගීතය පුරාවටම තිබෙන ශෝකී බව මානව පිළිබිඹු කරයි. විශේෂයෙන් අන්තරා කොටසේ වැයෙන බටනලාවත්, ගීතය සමග හඬන වයලීනයත් මුළු ගීතය පුරාවටම හදවතේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත් වී ඇත.


Thursday 23 June 2016

Jenny's Wedding - සමලිංගික විවාහයට එහා දෙයක්...

පසුගිය දිනෙක 'Jenny's Wedding' නැරඹුවෙමි. අප නිතර දකින ඇමෙරිකානු සිනමා පට වල මෙන් ත්‍රාසජනක ක්‍රියා, ඉල ඇදෙන විහිළු හෝ  රාගික දර්ශන කිසිත් නැත. නමුත් සෑම රූප රාමුවක්ම බොහොම සංයමයකින් නැරඹිය හැක.

සාමාන්‍ය පවුලක තුන්වන දරුවා වන  Jenny සමලිංගික කාන්තාවකි. ඇය සමලිංගික බව පවුලේ උදවිය නොදනී. දෙමාපියන් ඇයට විවාහයක් ගැන සිතන්න බල කරන අතර, ඇය විවාහවීමට පවුල් ජීවිතයක් ඇරඹීමටද තීරණය කරයි. ඇය විවාහ වීමට බලාපොරොත්තු වනුයේ තමන්ගේ කාමරයේ සිටින තැනැත්තිය සමගය. ඇය සමලිංගික බව පවුලට පැවසීම සමග එම පවුල හැසිරෙන ආකාරය හා සමාජය ඉදිරියේ ඔවුන්ට පැමිණෙන ප්‍රශ්න ඉතා අගේට, අලස නොවන ලෙස අධ්‍යක්ෂකවරිය පෙළ පෙළගස්වයි. අවසානයේ සම්ප්‍රදායික හින්දි සිනමාපටයක් ලෙස සියල්ල සතුටින් නිම වෙයි.

මෙහි ඇති සමහරක් සිද්ධීන් ඇමරිකානු සමාජයට වඩා ඉන්දියානු උපමහද්විප සමාජයට හුරු බවක් ගෙනදෙයි. දුවවරුන් තමන්ගේ සියළු රහස් පළමුව හෙළි කරනුයේ අම්මාටය. අම්මා හා තත්තා අතර මුල් තැන පියාට ලැබෙන අතර දරුවන් කෙතරම් මුහුකුරා ගියද ඒ දෙමාපියන් ඔවුන් ගැන සෙවීම තම වගකීමක් ලෙස ක්‍රියා කරයි. සමාජයේ කෙතරම් ප්‍රශ්න නැගුණද සහෝදර ප්‍රේමය වෙනස් නොවේ. අවසාන වශයෙන් පියෙකු හා දුවෙකු අතර ඇති බැඳීම ඉතා ප්‍රබල ලෙස පෙන්වයි.

සිනමා පටය ආරම්භ වන්නේ පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු භෞස්තිස්ම කිරමේ රුපරමුවකිනි. Jenny ට තම සහෝදරියගේ මෙන් විවාහ උත්සවයක් අවශ්‍යය. නමුත් එය පල්ලියේ පැවැත්වීමට හැකියාවක් නැත. ඇයට තමන්ගේ වෙනස් වීම අන් අයට දැන්වීමට අවශ්‍යය. නමුත් පවුල් පරිසරය සමග ඇයට එය නිසි ආකාරව කර ගත නොහැක. Jenny ගේ වෙනස් වීමත් සමග මව පියා අතර ගැටුම් මෙන්නම සහෝදරියන් අතර ගැටුම් ද දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ද  මතු වේ. එහෙත් ඒ කිසිවක් සීමාව ඉක්ක්මවා නොයයි. වඩා විශේෂ වූ කාරනය, කිසිවෙකු Jenny ට වෙනස් වෙන්නට නොකීම හා Jenny ගේ ක්‍රියාකාරකම් ඇයගේ පවුලේ අනෙක් අයට බලපාන ආකාරය ගැන පමණක් කතා කිරීමය.
චිත්‍රපටයේ කතා තේමාව අනුව ඉහටත් උඩින් රාගික දර්ශන හා පුද්ගල ගැටුම් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් තිබුනද එකම එක තොල් සිප ගැනීමක ( එය කතාවට අවශ්‍යය) long shot එකක් පමණක් එකතු කරගැනීම අධ්‍යක්ෂකවරිය ගේ දක්ෂතාවය.

සමලිංගික විවාහ වීම් පෙර අපරදිග සෑම සංස්කෘතියක්ම ආගන්තුක මෙන්ම එය දෙස බලනුයේ වැරදි කෝණයකි. කතෝලික හෝ බෞද්ධ සංස්කෘතියේ සමලිංගික විවාහ වලට ඉඩ නැත. විශේෂයෙන්ම කතෝලික පල්ලිය ඒ දෙස බලනුයේ සාපරාධි අපරාධයක් ලෙසය. නමුත් මෙය හුදෙක් පුද්ගලයින්ගේ කායික විපර්යාසයකට වඩා මානසික විපර්යාසයක් බව විද්‍යාව විසින් ඔප්පු කර ඇත. ඒ අනුව සමලිංගික කසාදයට බොහෝ රටවල් නිත්‍යානුකුලව ඉඩ දී ඇත.

කසාදය හා විවාහය එකම අරුතක් ගැනුනද, මා දකින ආකාරයට මේ දෙකෙහි වෙනස් කම් පවතී. කසාදය යනු නීතිමය බැඳීමකි. විවාහය සංස්කෘතික බැඳීමකි. සමලිංගික පිරිසට ද නීතිමය බැඳීමට ඉඩ අවස්ථා තිබිය යුතුය. නැති නම් නීතිය ඉදිරියේ සැවොම එක සමානය යන්න බොරු වන්නේය. එසේම සමලිංගිකයන්ට ද නීතිමය ඉඩ අවස්ථා තිබිය යුතුය. උදාහරණයක් ලෙස නීතිමය සහකරුවාට, රෝහලකදී, බැන්කුවකදී පිළිගැනීමක් ඇත. බැංකු ණයකදී සහකරුගේ ආදායම තමන්ගේ මුළු ආදායමට ඒකාබද්ධ කල හැක. රෝහලකදී රෝගියාගේ භාරකරු ලෙස ක්‍රියා කල හැක. මෙවන් අවස්ථා සමලිංගික වූ පමණින් අහිමි කලයුතු නොවේ. කසාදය, ලිංගික එක් වීමකට වඩා එහා ගිය දෙයකි. එයට නීතිමය පිළිගැනීමක් ලබනුයේ ඒ නිසාය. දෙදෙනෙකුට නීතියෙන් කසාද නොබැඳ හෝ ලිංගිකව එක් විය හැක. ලිංගිකව එක්වන්නේ විෂම ලිංගික පුද්ගලයින් දෙදෙනෙක් දැයි සොයා බලන පොලිසියක් කොහෙවත් නැත.

නමුත් විවාහය සංස්කෘතික බැඳීමකි. එයට නීති අණපනත් නැත. කාලයක සිට ගෙනෙනු ලබන චාරිත්‍ර අනුව විවාහය සිදුකරනු ලබයි. කතෝලික නම් පල්ලියේ විවාහය, සිංහල බෞද්ධ නම් පෝරුවේ චාරිත්‍ර ආදිය ඇතුලත්ය. මෙය පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමට වඩා පවුල් දෙකක් සමාජ දෙකක් මිශ්‍ර වීමකි. ඒ චාරිත්‍ර කඩ කරා හෝ හරියාකාරව පිළිපැද්දා යන්න ඔව්නොවුන් අතර එකගතාවක් මිස නිත්‍යානුකුල බවක් නැත. මෙවන් චාරිත්‍ර වලට සමලින්ගකයන් ඉඩ ඉල්ලන්නේ නම් එය සම්පුර්ණයෙන්ම සමස්ථ සම්ප්‍රදාය බිඳ දැමීමකි. උදාහරණ ලෙස පිරිමි දෙදෙනෙක් හෝ ගැහැණු දෙදෙනෙක් පෝරුවේ සිටිනවා අප දැක නැත.

Jenny ට ඇතිවන ප්‍රශ්නයද මේ විවාහය පිලිබඳ ප්‍රශ්නයයි. ඇයට විවාහ උත්සවයක් ගැනීමට වුවමනාවක් ඇත. අවසානයේ ඇය සැමගේ සහය ඇතිව විවාහ උත්සවයක් පවත්වයි. නමුත් විවාහයට පෙර ඇතිවන සියළු ප්‍රශ්න ඇය සමලිංගික නිසා වීම නොව ඇය සමලිංගික කාන්තාවක් ලෙස විෂම ලිංගික ආකාරයේ දේ බලාපොරොත්තු වන නිසාය.


Sunday 19 June 2016

අමතනු මැන මගේ දුරකථනය අංකය 24....

මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත්  නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.

'දැන්  එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.

'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.

අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ  ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.

සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.

ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම  යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.

'කතරක තනි වී  ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'

මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර  පද කවි  ආකෘතියට ලියවුනු  ගීතය.  මේ එක උදාහරණයකි.

'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම           සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන            සංසාරේ'

නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.

වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත.  'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින්  තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.

https://www.youtube.com/watch?v=m-VnHmTBi70

එක් දිනක් සැන්දෑවක  මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......

ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Tuesday 1 March 2016

මුලාග්ගාය හැදුණු දේශපාලකයිනි ක්ලින්ටන්ගෙන් ඉගෙන ගන්න...

 
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ගේ නිර්දේශ ලියුම හා ඒ ගැන අසු මාධ්‍යවේදියා නිසා මළ පැනීම දැන් හැමෝම දන්නා කරුණකි. ඒ ලිපිය මගින් කැබිනට් ඇමතිවරයෙකු නිකම්ම නිකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තත්වයට වඩා පහල තතවයකට පත්වීමට ඔහුට හැකි විය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එවැනි ලිපි ලබා දෙන්නේ වැවේ මසුන් මැරීමට හෝ කැලයේ දර කැඩීමට ප්‍රාදේශීය ලේකම්ට නිර්දේශ කිරීමටය. කෙසේ හෝ අපගේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන පසුගාමිතාවය කදිමට මේ ක්‍රියාවෙන් පෙන්නුම් කරයි. මන්ද දේශපාලන විද්‍යාව ඉගැන්වීම සඳහා කථිකාචාර්ය වරයෙකු බඳවා ගැනීමට මේ නිර්දේශය ඉල්ලන ඔහු දේශපාලන විද්‍යාවට සමානාත්ම තාවය, ප්‍රජන්ත්රන්තවාදය, ආණ්ඩුක්‍රමය, යහපාලනය යන දේවල් ඉගෙන ගත්තාදැයි මට නම් සැකය. එසේ ඉගෙන ගත්තේ නම් මෙවැනි ලිපියක් ඇමතිවරයෙකුගෙන් ඉල්ලා නොසිටුණු ඇත. අනෙක් අතට ඇමතිගේ නිර්දේශ සඳහා පාදක වන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඔහු කියන ආකාරයට 'සුදුසුකම් බලා' පත්වීමක් දෙන්න අවශ්‍ය නම් ඔහුගේ නිර්දේශ අවශ්‍ය නැත. කෙසේ හෝ කිරිඇල්ලට මළ පැනීමට වඩා භයානක කම ඔහු කල වැරැද්ද සාධාරණිකරණය කරන්න යාමය. මා බිල් ක්ලින්ටන්ව මෙයට සම්බන්ධ කර ගනුයේ මේ මළ පැනීම හා ඔවුන්ගේ පරමාදර්ශී චරිත ඇමරිකාවේ පමණක් ඇති නිසාය.


බිල් ක්ලින්ටන් අමෙරිකා එක්සත් ජනපදයේ මෑත යුගයේ බිහි වූ සුවිශේෂී ජනාධිපතිවරයෙකි. වසර අටක් ජනාධිපති ලෙස සිට ඔහු ධුරයෙන් සමුගන්නා විට ඔහුගේ ජනප්‍රියතාවය බලයට පත් වුවාට වඩා වැඩිය. නමුත් ක්ලින්ටන් තරම් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දුන් අමෙරිකානු ජනාධිපතිවරයෙකු නැති තරම්ය. පුද්ගලික ප්‍රශ්නයක් මත අමෙරිකානු උසාවියේ පෙනී සිටි පළමු ඇමරිකානු  ජනාධිපතිවරයා ඔහුය. මොනිකා ලෙවිස්කි සම්බන්ධ ප්‍රශ්න දී ඔහු ගේ හැසිරීම කිරිඇල්ල වැනි ඇමතිවරුන්ට හොඳ පාඩමකි. ඔහුට මාධ්‍යයෙන්, ජනතාවගෙන්  පමණක් නොව තම නිවසෙන්ද මොනිකා සම්බන්ධ ගැටලුවේදී ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකය. හිලරි ක්ලින්ටන් (වර්තමාන ජනාධිපති අපේක්ෂක) යනු අනෙක් සෑම ජනාධිපති බිරිඳකට වඩා වැඩි පෞර්ෂයක් හිමි කාන්තාවකි. නමුත් ක්ලින්ටගේ තිබු විශේෂ ගුණය නිසා ඔහුට තම පවුල් ජීවිතය පමණක් නොව දේශපාලන ජිවිතයද නිසියාකාරව හසුරුවා ප්‍රශ්නය සමථයට පත්කර ගැනීමේ  හැකියාව තිබුණි. ඒ විතරක් නොව මෑත ඉතිහාසයේ ඇමෙරිකාවේ හොඳම ආර්ථික කාලපරිච්චේදය බිල් ක්ලින්ටන්ගේ ධුරකාලය වන අතර ජාතන්ත්‍යන්තරව ඇමරිකාවේ හොඳම විදේශ සම්බන්ධතා පැවතියේ ක්ලින්ටන් යුගයේදීය.

දේශපාලන විශ්ලේෂකයින් ක්ලින්ටගේ මේ අසාමාන්‍ය ජනප්‍රියතාවය ගැන කරුණු සෙවීමට උතසහ ගැනිණි. ඔහුගේ ධුර කාලයේ ඡායාරුප විශ්ලේෂණය කල ඔවුන්ට මහජනයා හෝ මාධ්‍ය ඉදිරියේ ක්ලින්ටන් ගේ තරහා ගැනුණු, අප්‍රසන්න  හෝ දුක්මුසු කිසිඳු ඡායාරුපයක් හමු නොවිය. වැඩි දෙයක් නොව උසාවියේ ප්‍රශ්න කිරීම් දී  වුවද ඔහු පිළිතුරු ලබා දී තිබුනේ සිනා මුසුවය. ඔහු ගේ මේ කාරණය නිසා මාධ්‍යට ක්ලින්ටගේ අඳුරු පැත්ත ගැන වැඩි අවධානයක් නොවිය. තවත් කාරණක්  ලෙස ඔවුන්ට සොයා ගැනීමට හැකි වුයේ ක්ලින්ටගේ කේවල් කිරීමේ හැකියාවයි. ඔහුගේ පිළිතුරු ඉදිරියේ ප්‍රති මල්ලවයන් දිගින් දිගටම ඔහුව වෙහෙසීමට උතසහ නොකරයි. නමුත් ක්ලින්ටන් තමාට  අවශ්‍ය කාරණය ඉටු කර ගැනීමට සමත් වේ. උසාවියේ හරස් ප්‍රශ්න කිරීමේ දී ක්ලින්ටගේ පිළිතුරු උදාහරණ ලෙස දැක්විය හැක. තවත් කරුණක් ලෙස ජනාධිපති ධුරයෙන් සමුගෙන පවා උතුරු කොරියාවට ගොස් අත්අඩංගුවේ සිටි ඇමෙරිකානුවන් බේරා ගැනීමට හැකිවුයේ ඔහුගේ මේ හැකියාව නිසාය.

මදකට අපගේ මැති ඇමතිවරුන්ගේ ඡායාරුප ගැන විමසිලිමත්වන්න. ඔවුන්ගේ මුහුණේ ඉරියව් අනුව ඇති ඡායාරුප ඔබට විවිධාකාර සතවයින් සොයා ගත හැක. මෙය මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ දෙනාට පොදුය.  කිරිඇල්ලලා ඇතුළු බොහෝ මැති ඇමතිවරුන්ට නැත්තේ මේ ගුණයය. තමා කතා කරන්නේ කාටද? කොතනද? යන්න ඔවුන්ට හැඟීමක් නැත. අවසානයේ සිදුවන්නේ සියතින්ම තම දේශපාලන ජීවිතය වඳ කර ගැනීමය.

කිරිඇල්ල මෙවැනි අමන කතා හා ක්‍රියා කල පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේ හෝ දේශපාලන බල අධිකාරිය ඔහුව නිවැරදි මගට ගැනීමට උත්සහ නොකර තව තවත් බලය ඔහු අත තැබිය. අඩුම තරමින් ඡන්ද දායකින් වත් ඔහුට පාඩමක් ඉගැන්වීමට උත්සහ නොකර අතර එමගින් තව තවත් ගොන් කම් හා ගොන් කතා පැවසීමට අවකාශ ලැබිය. ඉදිරියේදී හෝ කවුරු හෝ මෙවැනි පාලකයන් නිවැරදි කරයිදැයි බලා සිටමු.

Monday 22 February 2016

ප්‍රශ්නය හරි තැනින් අල්ලා ගනිමු.


ඉන්දියාව සමග එළඹීමට නියමිත වෙළඳ ගිවිසුම පිලිබඳ සැම තුල පවතින්නේ විරෝධයකි. එය විවිධාකාර හේතුන් මතය. බොහෝ පිරිස් කියනුයේ ඉන්දියානුවන්ට ලංකාව තුල රැකියා කිරීමට ඉඩ ලැබීම තුලින් ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමි වන බවය. හේතු වශයෙන් පසනුයේ, ඉන්දියානුවන් ලංකාවේ සුළු වැටුපකට රැකියා වල නිරත වීම නිසා ඔවුන්ට වැඩි වාසියක් ඇතිවන බවය. කතාව ඇත්තය. නමුත් ඔනෑම රැකියාවක වැටුප තීරණය වනුයේ කරුණු කිහිපයක් මතය. රටේ ජීවන වියදමය, අයදුම් කරුගේ හැකියාව හා නිපුණත්වය, එම රැකියාවට තිබෙන ඉල්ලුම මින් කිහිපයකි. ඉන්දියානුවන් ලංකාවට අඩු වැටුපකට පැමිණියහොත් ඔවුන් ජීවත් වියයුත්තේ ලංකාවේය. ලංකාවේ කොයි ප්‍රදේශය බැලුවත් (ඉන්දියාවේ සමහර නගර හැර) ලංකාවේ ජීවන තත්වය උසස්ස්ය, වියදමත් ඉහලය. මා ඉන්දියානු පරිගණක ශිල්පින් සමග වැඩ කිරීමට පටන් ගත්තේ, 2002 වර්ෂයේදීය. වරෙක ලංකාවට පැමිණි ඉන්දියානු පරිගණක ඉංජිනේරුවරයෙක් ලංකාවේ සිගරට් මිල අධික නිසා ඔහු සිගරට්ටුව බීවේ තුනකට කඩාය. එවිටත් ඔහු මට වඩා දෙගුණයක පමණ වැටුපක් ලබන පුද්ගලයකි. මේ නිසා ලංකාවේ ඉන්දියානුවන්ට ජීවත් වීම සිතන තරම් පහසු නොවනු ඇත. රුපියල් 50,000 වැටුප හිමි ශ්‍රී ලාංකිකයත්, රුපියල් 25,000 හිමි ඉන්දියානුවත් සීනි කිලෝවකට ගෙවිය යුත්තේ එක මිලකි. ලංකාවේ මාසික වැටුප් හිමියන්ගේ බැංකු ශේෂය ගෙන බලන්න. ඔවුන්ට එදිනෙදා ජිවත් වීම හැර ඉතුරුවක් වන්නේ සුලුවශයෙනි. අඩු මිලට ලංකාවට පැමිණි ඉන්දියානුවෙකුට මෙය වෙනස් වන්නේ කෙසේද?

අනිත් කාරණය දැනට තිබෙන නිදහස් වෙළඳ අවස්ථාවන් නිසා ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කලහැක. BOI ව්‍යාපෘතියකට 30% විදේශ ශ්‍රමිකයන් ගෙන්නවා ගත හැක. උදාහරණයක් ලෙස, ලංකාවේ ක්‍රියාත්මක වන Huawei චීන දුරකථන සමාගමේ චීන ශිල්පින් ඕනෑ තරම් සිටිති. මේ ආකාරයට ලංකාවට ඉන්දියානු සමාගම් පැමිණ තම රටේ ශිල්පින් ගෙන්වා ගත හැක. මෙපමණක් නොවේ. පරිගණක ලෝකයේ නව ප්‍රවනතාවයන් අනුව ශිල්පින් රැකියා ස්ථානයට පැමිණිය යුතු නැත. ලෝකයේ WFH (work from home) හා BYOD (bring your own device) ක්‍රම දැන් ප්‍රචලිතය. ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ව්‍යාපාර අරඹා ඉන්දියාවේ සිට ශිල්පීන්ගේ සේවය ලබා ගත හැක. අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම් පමණි. එසේම ලංකාවේ සමාගම් වලට අඩු වැටුපට ශිල්පින් අවශ්‍ය නම් ඉන්දියාව තුල ව්‍යාපාර ආරම්භ කල හැක. ලෝකයේ ඕනෑ තරම් ජාත්‍යන්තර සමාගම් තම සේවාවන් වෙනත් රටවල සිට සපයනු ලබයි. උදාහරණ ලෙස ආචාර්ය හර්ෂ ඇමතිවරයා පෙන්වන කෝට්ටේ පිහිටි HSBC දත්ත මධ්‍යස්ථානය ගත් හැක. මේ ආකාරයට ඉන්දියානු සමාගම් වලට මෙන්ම ශ්‍රී ලංකාවේ සමාගම් වලටද ඉන්දියානු ශ්‍රමය ලබා ගත හැක.

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට හිමි තැන කුමක්ද යන්න පළමුව තේරුම් ගත යුතුය. ලෝකයේ හොඳම තේ නිෂ්පදිත්යා ශ්‍රී ලංකාවය. ඉස්තරම් හෝටල් වල Sri Lankan lagoon crab අති විශේෂිත ආහාරයකි. ලංකාවේ කකුළුවන් ඒ තරම් ප්‍රනිතය. මුහුදු මාළු ද එසේමය. ලංකාවේ විශේශිතත්වය ඉහල ගුණාත්මක (quality) නිෂ්පාදනය. මෙය සේවා අංශයේද එසේමය. ලාංකික ශිෂ්‍යා ගේ සිට දොස්තර දක්කවා සැම ක්ෂේත්‍රයකම ලාංකික ලකුණ ගුණාත්මක බවය. උදාහරණයක් ලෙස ලංකාවේ ඇඟලුම් කරමාන්තය ගනිමු. ලෝකයේ ඉහලම නාම සහිත ඇඟලුම් ලංකාවේ නිපදවයි. ඒ සියල්ල අපනයනය කරනුයේ එක්සත් ජනපදයට හෝ යුරෝපයටය. චීනය, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල නිෂ්පාදනය කරන එම නාමය සහිත ඇඟලුම් විකුණනු ලබන්නේ සින්ගපුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලය. ඉහලම ගුණාත්මක බව හිමි නිෂ්පාදන හොඳම වෙළඳපොළට යන අතර ඊට වඩා පහල ගුණාත්මක බවෙන් යුතු භාණ්ඩ සෙසු වෙළඳපොළට යවනු ලබයි. අපට වැඩිම නිෂ්පදිතයා විය නොහැක. ලංකාවේ මුළු මධ්‍යම කඳුකරයම තේ වගා කලත් අපට තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා විය නොහැක. මුළු ලංකාවම ඇඟලුම් කම්හලක් කරත් අපිට ලෝකයේ ප්‍රමුඛයා විය නොහැක.ලෝකය සමග සංසන්දනය කල විට අපේ සේවා වැටුප අනෙකුත් අපගේ සම මට්ටමේ රටවලට වඩා ඉහලය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හෝ චීනයේ  ඇඟලුම් සේවකයන්ගේ වැටුපට සාපේක්ෂව අපේ සේවකයන්ගේ වැටුප් ඉහලය. ජාත්‍යන්තර සමාගම් ලංකාව තුල ව්‍යාපාර කරනුයේ මේ ගුණාත්මක කාරණය නිසාය.

පරිගණක රැකියා වුවද මෙසේය. ඔනෑම ජාත්‍යන්තර තලයේ සමාගමකට ඉන්දියාවට ගොස් ඒ සේවාවන් අඩු මිලකට ලබා ගත් හැක. ලංකාවේ සමාගම් වලටද මේ තත්වය මෙසේමය. ලාබ ශ්‍රමය අවශ්‍ය නම් ඉන්දියාවට යා හැක. නමුත් විදේශ ආයෝජකයින් හා ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන් ඉන්දියාවට නොයන්නේ ගුණාත්මක සේවාවක් එරටින් නොලැබෙන නිසාය. මේ කාරණය අපට වඩා හොදින් ඉන්දියානු රජය හා එරට මිනිස්සු දනී. තාක්ෂණය අතින් ඉන්දියාව සිටිනුයේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. උදාහරණ ලෙස අපට හුරු මරුති මෝටර් රථය හා සුමිට් ඇඹරුම් යන්ත්‍රය ගනිමු. ශ්‍රී ලංකාව මෙවන් නිෂ්පාදන ගැන තවම සිතාවත් නැත. එහෙත් ඉන්දියාව මීට වසර 20-30 කට පෙර සිට මෙවන් නිෂ්පාදන කරයි. අවාසනාවකට තවම ඔවුන්ට එම නිෂ්පාදන වල ගුණාත්මක බව දියුණු කිරීමට නොහැකි වී ඇත. ප්‍රධාන වශයෙන් ඉන්දියානුවන් සොයනුයේ ලාබ දෙයක් මිස ගුණාත්මක දෙයක් නොවේ. මේ කාරණය නිසා ඉන්දියානු ව්‍යාපාරිකයින් ලාබ දේ ලබා දෙනු විනා ගුණාත්මක බව ගැන උනන්දුවක් නැත. ඒ සඳහා කලයුතු පර්යේෂණ සඳහා කරන වියදම ඉන්දියානු වෙළඳපොළේදී මිලක් කල නොහැක.
 සේවා ක්‍ෂේත්‍රයේ තත්වය මෙයට දෙවෙනි නොවේ. යමක් කමක් ඇති ඉන්දියානුවෙක් රජයේ රෝහලක හෝ සාමාන්‍ය පුද්ගලික රෝහලකට සැත්කමකට නොයයි. එක්කෝ ඉන්දියාවේම සුපිරි රෝහලකට හෝ අඩුම ගන්නේ බංගලාදේශය හෝ ශ්‍රී ලංකාවට සැත්කමක් සඳහා යොමු වීමට ප්‍රධාන හේතුව මේ ගුණාත්මක බවේ තිබෙන බරපතල ප්‍රශ්නය ය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා මේ තත්වයෙන් සම්පුර්ණයෙන් වෙනස් ය. රජයේ රෝහලේ නොමිලේ බෙහෙත් දුන්නද, හන්දියේ පුද්ගලික බෙහෙත් ශාලාවට රෝගියා යොමු වෙන්නේ දොස්තරගේ ගුණ නිසාවත්, බෙහෙත්වල විශේෂත්වයක් නිසා නොව රජයේ රෝහලින් ලැබෙන සේවාවට වඩා ගුණාත්මක සේවාවක් පුද්ගලික බෙහෙත් ශාලාවෙන් ලැබේය යන විස්වාසය අනුවය. ඒ නිසා මහාචාර්ය සමරජීව කියන ආකාරයට ඉන්දියානු දොස්තරලා හන්දියක් ගානේ පුද්ගලික බෙහෙත් ශාලා ලංකාවේ ආරම්භ කලද ඔවුන්ට තරගයක් දීමට අපේ දොස්තර වරුන්ට පුළුවන. පරිගණක කේෂ්ත්‍රයේද මෙසේය.

පසුගිය දිනක හරින් ඇමතිවරයා 'ඉන්දියාවට මොනවද විකුනන්න බැරි' යනුවෙන් ඇසිය. සරලව කිවහොත් ලංකාවට කිසි දෙයක් ඉන්දියාවට විකුණන්න බැරිය. ප්‍රධාන වශයෙන් අපගේ නිෂ්පාදන පිරිවැය ඉහල වීමත්, ඉන්දියානුවන් ගුණාත්මක දෙයක් බලාපොරොත්තු නොවීමත් හේතු කොට ගෙන අපට කිසිදෙයක් ඉන්දියාවට විකිණිය නොහැක.අපගේ වෙළඳපොල තිබනුයේ ඉහල මධ්‍යම පන්තිය පුළුල් වූ යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල් සමගය. දැනුදු අපගේ නිෂ්පදයන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනුයේ ඒ රටවල්වලටය. පරිගණක කේෂ්ත්‍රයේද ලංකාව තුල ආයෝජනය කර ඇති බොහෝ ආයතන ද ඒ කලාපයට අයත් රටවල් ය.

අන්තර්ජාතික වෙළඳපොළේදී ඉන්දියාවට නැගෙන ප්‍රධාන චෝදනාව මේ ගුණාත්මක බව පිලිබඳ චෝදනාවය. මෙහිදී ඉන්දියාව සමගම නිරන්තරයෙන් කියවන නම ශ්‍රී ලංකාවය. ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් අරමුණු කරගත් ඕනෑම පාරිභෝගිකයෙක් ඉන්දියානු දෙයට වඩා ලංකාවේ දේ ගැන වැඩි තක්සේරුවක් ලබා දේ. ඉන්දියාවට මෙය මහත් අවාසි තත්වයකි. ඉන්දියාවට අවශ්‍ය අපගේ මේ ප්‍රධන විකුණුම් තුරුම්පුව (selling point) ඔවුන් අතට ගැනීමය. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල ඔවුන්ට ඕනෑ ආකාරයට ව්‍යාපාර වලට ඇතුලත් වීම තුලින් එය ඉන්දියාව සතු කර ගැනීමත්, ලංකාවේ ගුණාත්මක බව විනාශ කිරීම සඳහා ඉඩ සලසා ගැනීමත් ඔවුන්ගේ අරමුණු විය හැක. මේ ගිවිසුම තුලින් ඉන්දියාව මරුති රථය ලංකාවේදී නිෂ්පාදනය කිරීමට උත්සහ නොකරයි. දැනටමත් ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු පරිගණක ආයතන වන TATA computers හෝ INFOSYS ලංකාව ඔවුන්ගේ සේවා සපයන ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට උත්සහ ගනියි සිතිය නොහැක. බොහෝ විට සිදුවනු ඇත්තේ ලංකාවේ නම යොදා ගනිමින් ජාත්‍යන්තර වෙළඳපොලේ ඔවුන්ට නොලැබෙන ස්ථානය ට ලඟා වීම සඳහා ඉඩ සලසා ගැනීමය.

ලංකාව ගතහොත් පරිගණක කේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් පවතී. ප්‍රධාන ප්‍රශ්නය ජාත්‍යන්තරය ඉල්ලන ප්‍රමිතීන් හිමි ශිල්පින් හිඟවීමය. උදාහරණ ලෙස සමහර විශාල පරිගණක ව්‍යාපෘති සඳහා විදේශ ආයතනයක් PMP සහතික ලත් පුද්ගලයින් 100 ක් පමණ බලාපොරොත්තු වන අවස්ථා ඇත. ලංකාව තුල මේ ප්‍රමාණය සොයා ගැනීමට අපහසුය. එසේ නැති නම්  සමහර අවස්ථාවලදී වසර 10-15 programing පළපුරුද්ද සහිත පුද්ගලින් ගේ අවශ්‍යතාවයක් පවතී. ලංකාවේ වසර 5 කට වඩා programming කරන්නන් ඉන්නේ සීමිත පිරිසකි. ඔනෑම රැකියාවක් වසර ගණනාවක් කිරීම තුල ඇතිවන නිපුණත්වය නැති වීම  ලංකාවේ පරිගණක ක්‍ෂේත්‍රයේ  පවතින ප්‍රබල අඩුපාඩුවකි. අපගේ ආයතන නිර්මාණය වී ඇත්තේ වසර ගණන සම්පුර්ණ වූ පසු ඉබේටම ඉහල යන ආකාරයේ ක්‍රමයට හා ආකල්ප වශයෙන් manager කෙනෙක් වීම expert කෙනෙක් වීමට වඩා අගේය යන සිතුවිල්ල මෙයට බලපා ඇත. සරල ලෙස කිවහොත් වසර පහකට වඩා තාක්ෂණික පලපුරුද්ද හිමි පුද්ගලයින් වැඩි පිරිසක් රට හැර ගොස් ය. නැති නම් ඔවුන් එම ආයතනයේම කළමනාකරුවන් වී ඇත.

තවත් කරුණක් ලෙස අපගේ වෙළඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදන බිහි නොවීම සැලකිය හැක. එසේ නොමැති නම් end product development නොමැති වීමය. ලංකාවේ ශිල්පින් දක්ෂය; නිර්මනශිලිය. නමුත් මේ නිර්මාණ වෙළඳපොළට යන්නේ සුළු වශයෙනි. මෙය බොහෝ විට අලවිකරණය පිලිබඳ ගැටලුවකි. සේවා අලවිකරණය හා පරිගණක නිෂ්පාදන අලවිකරණය ගැන ලංකාවේ ආයතන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. පරිගණක ආයතන ලෙස බොහෝවිට end product එකක් නිෂ්පාදනය කිරීමට වඩා වෙන රටක නිෂ්පාදනයක් ලංකාවේ ආයතනයකට සැකසීම වැනි දේ වලට සිමා වී ඇත. ඇත්තන්ම මේ පරිගණක ආයතන කරනුයේ අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වීමය. බොහෝ විට නිෂ්පාදන ආයතනයේ technical support අංශය ඉන්දියාව විසින් කරනු ලබයි. මෙයින් ලංකාව තුල රැකියා උත්පාදනයට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල ඇති වේ.

පරිගණක කේෂ්ත්‍රයේ වුර්තිකයන්ගේ ප්‍රමිතියක් නොමැති වීම විශාල ගැටලුවකි. බොහෝ රටවල ශිල්පීන්ගේ සුදුසුකම් හා පළපුරුද්ද මත ප්‍රමිති ගොඩ නගාගෙන ඇත. ලංකාවේ ඒ ආකාරයේ ක්‍රම වේදයක් නොමැත. මේ නිසා උක්ත ගිවිසුම මගින් ලංකාවට ඉන්දියාවෙන් ශිල්පින් ආවද ඔවුන්ව තෝරා බේරා ගැනීමට ක්‍රම වේදයක් ලංකාව තුල නැත. විවිධ ආයතන මගින් ජාත්‍යන්තර සහතික පිරිනමයි. නමුත් මේවා ඇතුලත සිදුවන අඩුපාඩුකම් හා හොරකම් බොහෝමය. ඉන්දියාව මේ අතරින් ප්‍රමුඛ වේ. විවිධ ආයතන විසින් පිරිනමන සහතික 10-15 සහිත ඉන්දියානු පුද්ගලයින් මා හට හමු වී ඇත. නමුත් ඔවුන්ට ඒ නිෂ්පාදනය හෝ සේවාව ගැන ප්‍රථමික දැනුමක්වත් නැත. ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවන් අනුව ඒ සහතික සඳහා වන විභාග විනිශ්චයන් සිතාගත හැක.

ගිවිසුමකට එළඹෙන්නේ එක පිලකට පමණක් වාසි සලසා ගෙන නොවේ. ලංකාවට 100% වාසි සැලැස්වීමට ඉන්දියාවට වුවමනාවක් නැත. එය එසේ සිදුවිය යුතුයැයි කෙනෙකු සිතන්නේ නම් ඔවුන් වඩාත් ගැලපෙන්නේ ගෝත්‍රික යුගයකටය. ගිවිසුමකදී 50-50 සමබර තාවයක් පැවතිය යුතු වුවත් සමහර විට ඉහළ වටිනා කමක් යුතු දේ ලබා ගැනීමට වැඩි කැපකිරීමක් කල යුතුය. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹීමට ප්‍රථම අපගේ අඩුපාඩු කම් හා හිස්තැන් සාදා ගත යුතුය. පළමුව දේශීය යාන්ත්‍රණ නිර්මාණ වියයුතුය. ඒවා දවසින් දෙකෙන් කල හැකි දේවල නොවේ. යාන්ත්‍රණයක් හෝ සැලැස්මක් නිර්මාණය වූ පසුව එහි අඩුපාඩු සකසා ගැනීමට කාලයක් ගතවේ. දේශීය යාන්ත්‍රනය හුදෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ජනතාව සුරක්ෂිත කිරීම සඳහා නිර්මාණය කල යුතුය. එය රැකියා බඳවා ගැනීමේ සිට සේවා සැපයීම දක්කවා සියළු කේෂ්ත්‍ර ඇතුලත් වියයුතුය. එසේම එය නැවත නැවතත් වෙනස් වෙමින් වැඩි දියුණුවට ලක් වියයුතුය. ඕනෑම ජාත්‍යන්තර ගිවිසුමකදී දේශීය ක්‍රම වේදය හෝ සැලස්ස්ම වෙනස් නොවන ආකාරයට ගිවිසුම් ගත වීමට පාලකයන් වගබලා ගතයුතුය. ඉන්දියාව සමග ගිවිසුමකට එළැඹීමේදී අපගේ භාණ්ඩ වල ගුණාත්මක බව ගැන ප්‍රශ්න මතු විය හැක. මේ සඳහා ගිවිසුම් වේලට එළඹීමට ප්‍රථම ඒ ඒ භාණ්ඩ වල තිබිය යුතු ප්‍රමිතියන් ගැන අප තුල තක්සේරුවක් තිබිය යුතුය. එය ජාත්‍යන්තර පිළිගත් නිර්ණායකවලට පමණක් සිමා නොවේ. ශ්‍රී ලංකාවටද ජාතික ප්‍රමිතියක් ගොඩ නගා ගත හැක. කවුරුන් ලබා දුන්නත් ලංකාව තුල නිපදවන හෝ සපයන කුමන සේවාවක ලාංකික ගුණාත්මක බව තිබිය යුතුය.

ඉන්දියාවෙන් ලාබ දේ ගත හැක. නමුත් හොඳ දේ සොයා ගැනීම තරමක් අපහසුය. දැනුදු විවිධ රටවලින් පැමිණි පිරිස් සංවිධානාත්මකව නොවුවද ලංකාවේ සේවය කරයි. සංචාරක විසා රැගෙන පැමිණි චීන, තායි, රුසියානු කාන්තාවන් ගණිකාවන් ලෙස සේවය කරයි. සංචාරක විසා රැගෙන පැමිණි චීන මිනිස්සු කෝකියන් ලෙස මෙන්ම සංචාරක මාර්ග උපදේශක වරුන් ලෙසද රැකියා කරයි. මේ කිසි කෙනෙකුට ලංකාවේ කාගෙන් හෝ සහය නැතිව මේ දේවල් කල නොහැක. කොපමණ ආරක්ෂණ නීති තිබුනද ඒවා හරි හැටි ක්‍රියාත්මක නොවේ. සංචාරක වෙසින් පැමිණෙන ඉන්දියානුවන් මොනවා කරනවාද, යන්න කවුරුත් නොදනී. මෙරට භාණ්ඩ හා සේවා ඉන්දියනුකරණය වීමෙන් නැතිවන්නේ අපගේ ගුණාත්මක බවය. එය විනාශ වූ පසු නැවත පිළිසකර කිරීමට නොහැක. වැට බැඳිය යුත්තේ ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමට නොවේ.අපගේ භාණ්ඩ හා සේවා වල තිබෙන ගුණාත්මක බව විනාශ වීමටය. පළමුව අපි අපේ දොර අගුළු හරි හැටි පිළිසකර කර ගනිමු. පසුව දොර අරින්නේ කාටද යන්න තීරණය කරමු.