Thursday 23 June 2016

Jenny's Wedding - සමලිංගික විවාහයට එහා දෙයක්...

පසුගිය දිනෙක 'Jenny's Wedding' නැරඹුවෙමි. අප නිතර දකින ඇමෙරිකානු සිනමා පට වල මෙන් ත්‍රාසජනක ක්‍රියා, ඉල ඇදෙන විහිළු හෝ  රාගික දර්ශන කිසිත් නැත. නමුත් සෑම රූප රාමුවක්ම බොහොම සංයමයකින් නැරඹිය හැක.

සාමාන්‍ය පවුලක තුන්වන දරුවා වන  Jenny සමලිංගික කාන්තාවකි. ඇය සමලිංගික බව පවුලේ උදවිය නොදනී. දෙමාපියන් ඇයට විවාහයක් ගැන සිතන්න බල කරන අතර, ඇය විවාහවීමට පවුල් ජීවිතයක් ඇරඹීමටද තීරණය කරයි. ඇය විවාහ වීමට බලාපොරොත්තු වනුයේ තමන්ගේ කාමරයේ සිටින තැනැත්තිය සමගය. ඇය සමලිංගික බව පවුලට පැවසීම සමග එම පවුල හැසිරෙන ආකාරය හා සමාජය ඉදිරියේ ඔවුන්ට පැමිණෙන ප්‍රශ්න ඉතා අගේට, අලස නොවන ලෙස අධ්‍යක්ෂකවරිය පෙළ පෙළගස්වයි. අවසානයේ සම්ප්‍රදායික හින්දි සිනමාපටයක් ලෙස සියල්ල සතුටින් නිම වෙයි.

මෙහි ඇති සමහරක් සිද්ධීන් ඇමරිකානු සමාජයට වඩා ඉන්දියානු උපමහද්විප සමාජයට හුරු බවක් ගෙනදෙයි. දුවවරුන් තමන්ගේ සියළු රහස් පළමුව හෙළි කරනුයේ අම්මාටය. අම්මා හා තත්තා අතර මුල් තැන පියාට ලැබෙන අතර දරුවන් කෙතරම් මුහුකුරා ගියද ඒ දෙමාපියන් ඔවුන් ගැන සෙවීම තම වගකීමක් ලෙස ක්‍රියා කරයි. සමාජයේ කෙතරම් ප්‍රශ්න නැගුණද සහෝදර ප්‍රේමය වෙනස් නොවේ. අවසාන වශයෙන් පියෙකු හා දුවෙකු අතර ඇති බැඳීම ඉතා ප්‍රබල ලෙස පෙන්වයි.

සිනමා පටය ආරම්භ වන්නේ පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු භෞස්තිස්ම කිරමේ රුපරමුවකිනි. Jenny ට තම සහෝදරියගේ මෙන් විවාහ උත්සවයක් අවශ්‍යය. නමුත් එය පල්ලියේ පැවැත්වීමට හැකියාවක් නැත. ඇයට තමන්ගේ වෙනස් වීම අන් අයට දැන්වීමට අවශ්‍යය. නමුත් පවුල් පරිසරය සමග ඇයට එය නිසි ආකාරව කර ගත නොහැක. Jenny ගේ වෙනස් වීමත් සමග මව පියා අතර ගැටුම් මෙන්නම සහෝදරියන් අතර ගැටුම් ද දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ද  මතු වේ. එහෙත් ඒ කිසිවක් සීමාව ඉක්ක්මවා නොයයි. වඩා විශේෂ වූ කාරනය, කිසිවෙකු Jenny ට වෙනස් වෙන්නට නොකීම හා Jenny ගේ ක්‍රියාකාරකම් ඇයගේ පවුලේ අනෙක් අයට බලපාන ආකාරය ගැන පමණක් කතා කිරීමය.
චිත්‍රපටයේ කතා තේමාව අනුව ඉහටත් උඩින් රාගික දර්ශන හා පුද්ගල ගැටුම් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් තිබුනද එකම එක තොල් සිප ගැනීමක ( එය කතාවට අවශ්‍යය) long shot එකක් පමණක් එකතු කරගැනීම අධ්‍යක්ෂකවරිය ගේ දක්ෂතාවය.

සමලිංගික විවාහ වීම් පෙර අපරදිග සෑම සංස්කෘතියක්ම ආගන්තුක මෙන්ම එය දෙස බලනුයේ වැරදි කෝණයකි. කතෝලික හෝ බෞද්ධ සංස්කෘතියේ සමලිංගික විවාහ වලට ඉඩ නැත. විශේෂයෙන්ම කතෝලික පල්ලිය ඒ දෙස බලනුයේ සාපරාධි අපරාධයක් ලෙසය. නමුත් මෙය හුදෙක් පුද්ගලයින්ගේ කායික විපර්යාසයකට වඩා මානසික විපර්යාසයක් බව විද්‍යාව විසින් ඔප්පු කර ඇත. ඒ අනුව සමලිංගික කසාදයට බොහෝ රටවල් නිත්‍යානුකුලව ඉඩ දී ඇත.

කසාදය හා විවාහය එකම අරුතක් ගැනුනද, මා දකින ආකාරයට මේ දෙකෙහි වෙනස් කම් පවතී. කසාදය යනු නීතිමය බැඳීමකි. විවාහය සංස්කෘතික බැඳීමකි. සමලිංගික පිරිසට ද නීතිමය බැඳීමට ඉඩ අවස්ථා තිබිය යුතුය. නැති නම් නීතිය ඉදිරියේ සැවොම එක සමානය යන්න බොරු වන්නේය. එසේම සමලිංගිකයන්ට ද නීතිමය ඉඩ අවස්ථා තිබිය යුතුය. උදාහරණයක් ලෙස නීතිමය සහකරුවාට, රෝහලකදී, බැන්කුවකදී පිළිගැනීමක් ඇත. බැංකු ණයකදී සහකරුගේ ආදායම තමන්ගේ මුළු ආදායමට ඒකාබද්ධ කල හැක. රෝහලකදී රෝගියාගේ භාරකරු ලෙස ක්‍රියා කල හැක. මෙවන් අවස්ථා සමලිංගික වූ පමණින් අහිමි කලයුතු නොවේ. කසාදය, ලිංගික එක් වීමකට වඩා එහා ගිය දෙයකි. එයට නීතිමය පිළිගැනීමක් ලබනුයේ ඒ නිසාය. දෙදෙනෙකුට නීතියෙන් කසාද නොබැඳ හෝ ලිංගිකව එක් විය හැක. ලිංගිකව එක්වන්නේ විෂම ලිංගික පුද්ගලයින් දෙදෙනෙක් දැයි සොයා බලන පොලිසියක් කොහෙවත් නැත.

නමුත් විවාහය සංස්කෘතික බැඳීමකි. එයට නීති අණපනත් නැත. කාලයක සිට ගෙනෙනු ලබන චාරිත්‍ර අනුව විවාහය සිදුකරනු ලබයි. කතෝලික නම් පල්ලියේ විවාහය, සිංහල බෞද්ධ නම් පෝරුවේ චාරිත්‍ර ආදිය ඇතුලත්ය. මෙය පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමට වඩා පවුල් දෙකක් සමාජ දෙකක් මිශ්‍ර වීමකි. ඒ චාරිත්‍ර කඩ කරා හෝ හරියාකාරව පිළිපැද්දා යන්න ඔව්නොවුන් අතර එකගතාවක් මිස නිත්‍යානුකුල බවක් නැත. මෙවන් චාරිත්‍ර වලට සමලින්ගකයන් ඉඩ ඉල්ලන්නේ නම් එය සම්පුර්ණයෙන්ම සමස්ථ සම්ප්‍රදාය බිඳ දැමීමකි. උදාහරණ ලෙස පිරිමි දෙදෙනෙක් හෝ ගැහැණු දෙදෙනෙක් පෝරුවේ සිටිනවා අප දැක නැත.

Jenny ට ඇතිවන ප්‍රශ්නයද මේ විවාහය පිලිබඳ ප්‍රශ්නයයි. ඇයට විවාහ උත්සවයක් ගැනීමට වුවමනාවක් ඇත. අවසානයේ ඇය සැමගේ සහය ඇතිව විවාහ උත්සවයක් පවත්වයි. නමුත් විවාහයට පෙර ඇතිවන සියළු ප්‍රශ්න ඇය සමලිංගික නිසා වීම නොව ඇය සමලිංගික කාන්තාවක් ලෙස විෂම ලිංගික ආකාරයේ දේ බලාපොරොත්තු වන නිසාය.


Sunday 19 June 2016

අමතනු මැන මගේ දුරකථනය අංකය 24....

මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත්  නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.

'දැන්  එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.

'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.

අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ  ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.

සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.

ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම  යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.

'කතරක තනි වී  ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'

මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර  පද කවි  ආකෘතියට ලියවුනු  ගීතය.  මේ එක උදාහරණයකි.

'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම           සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන            සංසාරේ'

නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.

වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත.  'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින්  තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.

https://www.youtube.com/watch?v=m-VnHmTBi70

එක් දිනක් සැන්දෑවක  මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......

ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.