Monday 24 October 2016

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා....

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

https://www.youtube.com/watch?v=pu83h3v4KP8

දෙඇස් අන්ධ වීම කෙනෙකුට කිසිසේත්ම වාසනාව ගෙන දෙන්නක් නොවේ. බොහෝ විට එය ඔහුගේ හෝ ඇයගේ පරිකල්පන සීමාවන් ලඝු කරන්නට හේතු කාරනා වේ. එහෙත් හෙන්ද්‍රි කල්දේරා ගේ මේ ගීතය, දෙනෙත් අඳ නැති මල් සින්දු කරුවන්ගේ ගීත වලට වඩා විශාල වූ පරාසයක විහිද පවතී,
හෙන්ද්‍රි කල්දේරා ශුරින් ගේ දෙනෙත් අන්ධ වීම ආරම්භ වනුයේ කුඩා කාලයේදීය. කුඩා කාලයේදී පවා ඔහුගේ පෙනීම සාමාන්‍ය තත්ත්වයේ නොපවතී බව ඔහු ලඟින් ආශ්‍රය කල අය පවසයි. නමුත් අන්ධ වීම නමැති කාරනය ඔහුගේ හැකියාව සිමා කිරීමට නුපුලුවන් විය. 
ඔහුගේ ගීත බොහොමයක් ඔහුම රචනා කර, තනු යොදා ගායනය කල ගීතය. එච්. එම්. ජයවර්ධනයන් බොහොමයක් ගීත වලට සංගීතයෙන් දායක වී ඇත. නිසි ලෙස සංගීතය අධ්‍යනයක් නොලබ හෙන්ද්‍රි කල්දේරා ශුරීන්ගේ බොහෝ ජනප්‍රිය ගීත 6/8 beat එකේ හා Major Scale වල නිරමාණ වූ ගීතයන්ය. සමහර විට මේ රාමුව තුල ඔහු කොටු වන්නේ ඒ ජනප්‍රියතාවය නිසා විය හැක.
ගීත වල ගායනයට හා සංගීතයට වඩා ඔහුගේ රචනා වල තිබුනුයේ පුදුමාකාර ලාලිත්‍යකි. ඒවා ඉතා සරලය. ඒ ගීතවලට තේමා වුයේ බොහොම සුළු සිද්ධීන්ය. නමුත් ඔහුගේ නිර්මාණශීලි හැකියාව තුලින් වඩාත් චමත්කාර ලෙස ඒ සුළු සිද්ධිය ගීතයකට නැගීමට පුළුවන් විය. 'මිදුලෙ මිරිවැඩි සලකුණු', 'ඊයේ උදයේ', 'දාලා කරාබු', 'තාර පැටියා' ආදී මේ සියල්ල එවන් සුළු සිදුවීම් තුලින් නිර්මාණය වූ ගීතය. වඩාත් විශේෂ වන්නේ මේ කිසිවක් ඔහු දෙනෙත් වලින් නොදුටු සිදුවීම් වීමය.  පෝරුව මත සිය මනාලිය මිතුරෙකු සමග සිටිනවා සිහිනෙන් දකින්න සැබෑ ලෝකයේදී විවාහ උත්සවයක් ඔහු දැක නැත පමණක් නොව මිතුරාගේ රුවවත් මනාලියගේ රුවවත් ඔහු දැක නැත. දරුවෙකු කන විදීම, කැඩපතකින් මුනුණ බලා සිනාසීම, සුරතල් සිනා ඔහු දැක නැත. එහෙත් ඔහුට වස්තු වූ ඒ සියළු කාරනා සියැසින් දුටුවා සේ ගීතයට නැගීමට තරම් ඔහු නිර්මාණශීලි විය.
මේ ගීතයෙන් කියවෙනුයේ, ආදරය ප්‍රකාශ කරන තෙක් බලා සිටින හා ආදරය අයදින  ප්‍රේමවන්තයෙකු කතාවකි. සමස්ථ ගිතයේම කොටස් දෙකක් 'ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා' යනුවෙන් සදහන් වන අතර අනිත් කොටස් දෙක 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙන් අවසන් වේ. 'ඔබ තාම නැහැ දයාවියේ..' සඳහන් පද පේලි වලදී උදය සහ රාත්‍රිය ගැන රචකයා කතා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත් මේ පුද්ගලයා දිවා රාත්‍රිය නොබලා ඇය ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටියි. හිරු බැස යාමත්, රාත්‍රිය එළඹීම හා සඳ නැගීම ආකාරයේ පරිසරයේ චමත්කාරය අන්ධ ගීත රචකයකුගෙන් මෙලෙස වර්ණනා කල හැකිද යන්න පුදුම සහගතය.
දෙවන හා අවසන් ගීත කොටසින් රචකයා ආදරය ප්‍රකාශ කරන අයැදීම කරන්නේ 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙනි. ඔහු පවසන පරිදි මේ කාන්තාව කුඩා කල සිට දන අඳුනන තැනැත්තියෙකි. දෙදෙනා එකට වැලිබත් උයා ඇත. එසේම අවසන් පද වැල් වලදී ඔහු ඉතා අගනා රුපකයක් යොදා ගනී. එනම් ඔහු පවසනුයේ රුවැති මල් හමු වුවත් සුවදැති මල් ඔහුට හමු නොවුණු බවයි. දෙනෙත් අඳ ඔහුට රුවැති මල් වලට වඩා වටිනුයේ සුවදැති මලය. එක් අතකින් බැලු කල මේ ඔහුගේම ආත්ම ප්‍රකාශය විය නොහැකිද?
Image result for henry caldera
හෙන්ද්‍රි කල්දේරා තරම් අන්ධ ගායකයෙකු ලෙස සමාජයේ අසරණ වූ තවත් ගායකයෙක් සිටියා දැයි. සිතිය නොහැක. සංදර්ශන වලට එක්කරගෙන ගොස් ඔහුව අතරමං කල අවස්ථා ඕනෑ තරම්ය. ගීත ගායනය කල පසු මුදල් නොගෙවා මගහැරිය අවස්ථා එමටය. අගහිඟ කමින් අන්ත අසරණ වුනු අවස්ථාවක ඔහුට තම ආත්මය වන් නිර්මාණ ටික සලාද සමග මුදලට විකුණන්නට සිදුවිය. අප කැමති නැති කටෝර සංගීතය වුවද එය ඔහුගේ දරිද්‍රතාව නමැති මහා යක්ෂයා එලවා දැමීමට යම්කිසි පිටුවහලක් වන්නට ඇත. ලෝකයේ  ඕනෑ තරම් අඳ ගායකයන් සිටි. ජනප්‍රිය pop ගායක Steve Wonder ඉන් එක් අයෙකි. නමුත් ඔවුන් හෙන්ද්‍රි කල්දේරා තරම් අසරණ නොවිය. රටක සමාජ සුරක්ෂිත තාවය වැදගත් වන්නේ සාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයන්ට වඩා විශේෂ ආරක්ෂණ හිමි විය යුතු පුද්ගලයන්ටය. හෙන්ද්‍රි කල්දේරාගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශිලත්වය උසස් තලයක තිබීමට ඔහු ගේ පොත පත භාවිතය පිටුවහලක් වන්නට ඇත. එහෙත් ඔහුට ද දෙනෙත් හිම අයට මෙන් හැදෑරීමේ අවස්ථාව ලැබුනේ නම් ඔහුගේ නිර්මාණ වල ගුණයත් සංගීතයේ භාවිතයත් ඔහුව බොහෝ ඇතකට ගෙන යනු නොඅනුමානය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.