Tuesday 30 January 2018

කුමක් ලියන්නද සමරු පොතේ....

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ

https://www.youtube.com/watch?v=5tyWsJRELZU

සමරු පොත... අර floppy ඩිස්ක්, කැසට් පටි වගේ 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා.. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු කල පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් එක් වී තිබුනා... සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ ප්‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් තව කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි උණු බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ හිත ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.

සමරු පොතත් හරියට මුහුණු පොත වගේ තමයි. සමහරුන් ආසයි හොඳ හොඳ පණ්ඩිත වාක්‍ය ලියා ගන්න. එකත් හරියට මුහුණු පොතේ ලොකු ලොකු මිනිස්සු තමන්ගේ යාළුවො කියලා එකතු කරගෙන තමනුත් එහෙම පොරක් කියලා සිගිති වින්දනයකට පත්වෙනවා වගේ... මට මතකයි පොඩි කාලේ ගියා radio කතන්දරයක්. ඒ කතාවේ ගැහැණු ළමයට මේ වගේ පිස්සුවක් තිබුනා. එයාගේ ගෙවල් ළඟ සිටියා බොහොම පණ්ඩිත පුද්ගලයෙක්. දවසක් මේ ගැහැණු ළමයා ගෙනත් දෙනවා සමරු පොත අර පුද්ගලයට පණ්ඩිත වාක්‍යක් ලියව ගන්න සැමරුමක් විදිහට. මේ මනුස්සයා මුළු පොත පිරෙන්නම ලියනවා. එතනින් පස්සේ කාට දෙන්නද සමරු පොත...කොහොම පෙන්නන්නද තමනුත් ආශ්‍රය කරන්නේ පණ්ඩිත මිනිස්සු කියලා...

මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි..සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා.. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා...දවසක් එහෙම ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත ත් පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා ඒ වෙලාවේ... ඒ චකිතය නිසාම කුමක්මේ ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ..

සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති... මගේ උසස් පෙළ පන්තියෙත් හිටියා සමරු පොතක් පන මෙන් රැක්ක කොල්ලෙක්. ඔහු ගේ සිත් ගත්ත කෙල්ලක්. මේ ප්‍රේමයකට මුල පුරන කාලය. මේ කෙල්ලගේ සමරු සටහනක් තිබුන මේ කියන සමරු පොතේ.. මේ වගේ දේවල් වලට අකුල් හෙලීමට තිබුණු කෑදර කමට දිනක් මේ පොතේ ඒ සමරු සටහන තිබුණු පිටුවෙම අනිත් පිටේ මා සහ තවත් මිතුරෙක් ශුද්ධ සිංහලෙන් සටහනක් තැබුවා. සිත ගිය තැනැත්තියගේ නිසා ඒ පිටුව ඉරලා දාන්නත්සැ බැහැ...ශුද්ධ සිංහලෙන්හෙ ලියලා තිබුණු නිසා නොඉරා ඉන්නත්න බැහැ...  කාලයක් ඔහු මේ අසමත්ජාති වැඩේ කලේ කවුද කියලා හෙව්වා... 

ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායක ගේ... වික්ටර් ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ... ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා...අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.