Tuesday 5 June 2018

ප්‍රණීත මී පැණි ගෙන ආවත්.....

ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විෂ ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරෙයි
ගඟ රැළි නංවනවා...

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ...

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ....

https://www.youtube.com/watch?v=4GwipyPVRT4

මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති. සංගීත හා ගායනය ප්‍රියා සුරියසේන. අන්තිම පේලි කිහිපය හැර අනිකුත් සැම පද වැලකම දකින්නට ඇත්තේ ප්‍රතිවිරුද්ධ අදහසක්. මී පැණි ප්‍රණීත වුනත් ගෙන එන බඹර තුඩ විෂ සහිතයි... එහෙම නැති නම් සුභාෂිතයේ උදාහරණයක් ගෙන එමින් 'බිඳින බිදින තරමට සඳුන් ගස සුවදවත් බව'. මුළු ගීතය පුරාවටම තිබනුයේ උපමාවක් එසේ නොමැතිනම් සමාන කිරීමක්. රචකයා අවසන් පදවැල් කිහිපයේදී තමයි තමන් කුමකට  මේ සමාන කිරීම කරන බව පවසන්නේ.... තව තවත් ආදරය උපදින බව ඔබ කෙතරම් රිදවුවත්.. ප්‍රේම් හැර මෙවන් ආදරවන්තයෝ තවත් සිටීද?

සමස්ථයක් ලෙස මුළු ගීතය පුරාවටම තිබනුයේ එක්තරා දාර්ශනික කතාවක්. ප්‍රේම් ගේ ගීත විවිධාකාරයි. ඔහුගේ ගීත රචනා විවිධාකාර මවත් ඔස්සේ ලියවිලා තියෙනවා... ප්‍රේමය, විරහව වගේ පොදු කාරනා වගේම, ඉරිසියාව, උපහාසය ගැනත් ගීත සොයා ගන්න පුළුවන්. එසේම දාර්ශනික සටහනක් ඇති ගීතත් නැතුවා  නොවේ. මා දකින ආකාරයට උපමා, රූපක අප්‍රමාණ ලෙස භාවිත කළ ගේය පද රචකයා ප්‍රේමකීර්ති.

ප්‍රේම් වැඩියෙන්ම ගීත ලියුවේ වික්ටර්ට. වික්ටර් ප්‍රේම් සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ අපමණයි. එසේම විශිෂ්ටයි. එහෙත් වික්ටර්ගේ සංගීතයත් ගායනයත් ඉදිරියේ ප්‍රේම් ගේ රචනයට එහෙම නැති නම් ප්‍රේම් ට අවැසි කතාව ගැන ප්‍රේක්ෂකයා සමග ඉදිරියට යාම පහසු උන්නේ නැහැ. සමහර විට වික්ටර්ගේ සංගීතය හා ගායනය අත්හැර ප්‍රේම් ගේ රචනය ගැන ප්‍රේක්ෂකයා නොබැලුව නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම ප්‍රේමකීර්ති ත් මේ කාරණය ගැන දැන සිටියා වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති උපහාස ගීත ගායනයට ප්‍රෙඩි සිල්වා ව භාවිත කරන්න ඇත්තේ. ආරොන් මාමා... කළු කුම්බියා... වගේ ගීත වලින් ඔහු හිමින් සැරේ ඒ උපහාසය පල කළා. වික්ටර් ගායනය කලේ නම් එය උපහාසයකට වඩා දැනිය යුතු තැන් වලට එල්ල කර කනේ පහරක් වෙන්නත් තිබුනා. මට හැඟෙන ආකාරයට ප්‍රියා සුරියසේන ව ඔහු භාවිත කළේ දාර්ශනික අදහසක් සමාජයට ගෙන යන්න. එය වික්ටර් ගේ ගීත වලට ඇළුම් කරන  'සම්භාව්‍යය' කියන   ප්‍රේක්ෂක කණ්ඩායමට නොව සරල ගීත රස විඳින ප්‍රියා සුරියසේන ඇලුම් කරන සමාජ කණ්ඩායමට. මේ ගීතයට අමතරව 'ආදරේ කියූ.. කිසිවෙකු ආදරේ නැතේ... හා 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ආදී ගීතත් මෙලෙස දාර්ශනික අදහස් සමග ලියවුනු ගීත කිහිපයකට උදාහරණ ලෙස සදහන් කල හැක. 'ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ..' ගීතයේ එක් තැනක 'සැනසීමත් සීමිතයි සිතේ...සීමිත දේ සැනසුමයි සිතේ...' ලෙස ඉතා ගැඹුරු කාරණාවක් ඔහු සදහන් කරනවා. එසේම 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ගීතයේ සිත සහ මිනිසා දේ ආකාරයකට වේදනාව විඳින  අයුරු කදිමට විස්තර කරනවා. තව 'හෙට දිනයේ අප දෙදෙනා..' ගීතයේ ලෝකයේ වෙනස් වීම කියාපෑමට කදිම රුපකයක් යොදා ගන්නවා - ' අද සුපිපෙන මල හෙට නොපිපෙවී' යනුවෙන්. එහිදී ඔහු කියනවා ආදරයද අළුත් විය යුතු බව ලෝකය වෙනස් වෙන ආකාරයට. එකම මිහිර වුවත් හෙට දිනයේදී විඳින්න පුළුවන් එලෙස අළුත් වූ ආදරයකින් බව.

ප්‍රියා සුරියසේන ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙක්. සමහර ඔහුගේ ගීත වල තනු සහ සංගීත නිර්මාණ කරුවා ඔහුයි. ඔහුගේ ගීතයක් නොගැයූ නුතන සුපර් ස්ටාර් ලා නැති තරම්. ඔහුගේ තනු සහ සංගීතය සහිත ගීත 70 දශකයේ සිට තවමත් ජනප්‍රියයි. අවාසනාවකට ඔහු ගායනය සඳහා වැඩි මහන්සියක් වුවත් තනු නිර්මාණය සහ සංගීතය සඳහා එතරම් ශ්‍රමය වැය කලේ නැහැ. තමන්ගේ හැකියාව නිවැරදිව හඳුනා නොගත් තවත් කලාකරුවෙක් ලෙස මා ඔහු දකින්නේ. සමහර විට පුද්ගලික ජිවිතයේ විවිධ ඉලක්කයන් ඔහුව සංගීත නිර්මාණයෙන් ඈත් කර තැබුවා විය හැකි. මා හට නම් ඔහුගේ ගායනයට වඩා සංගීතයේ වඩා ආකර්ශනයක් ඇතැයි සිතේ. අඩුම තරමින් ඔහුට කුමන හෝ සංගීත පාසලක විධිමත් අධ්‍යනයක් කරන්නට ලැබුනේනම් තවත් අගනා තනු නිර්මාණ රැසක් අපට තිලිණ කරනු නොඅනුමානය.