Monday, 26 May 2014

ලංකාවට යනවද?.... පිස්සුද?

මා සමග එකට වැඩ කරන මිත්‍රයකු දීර්ඝ සේවා නිවාඩුවක් ලැබීමට නියමිතය. එය සති දහයක් පමණය. දිවා විවේකයේ  දී ඔහු අප සමග මේ ගැන කතා කළ අතර ඔහු විදේශ සංචාරයක් යාමට තීරණය කර ඇති බව පැවසිය. මා ඔහුට ලංකාවට සංචාරය සඳහා යන ලෙස දැන්විය. ඔහු 'මොන වගේද' යන්න විමසිය.  මා ඔහුට ලංකාවේ අලි ගැනත්, සිගිරිය ගැනත්, ලංකාවේ කකුළුවෝ සහ කෑම ගැනත් විස්තර පැවසිය. බොහෝ කලක සිට සංචාරය සඳහා යන පිරිසට මේ තුනෙන් එකකට ප්‍රිය වන බව මම ඒකාන්තයෙන් දන සිටියෙමි. වැඩි විස්තර සඳහා අන්තර්ජාලය පරිශීලනය කරන ලෙස දැන්විය.
පසු දින ඔහු මා හමු විය. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් තමන්ට වූ ලිංගික බලහත්කාරකමකට විරුද්ධව වන්දි ඉල්ලා නඩු දමා ඇති බව ඔහු පැවසිය. මා නඩුව සත්‍ය බවත් එත් ලිංගික බලහත්කාරකමක් සිදු වුවාද යන්න නොදන්නා බවත් පැවසිය. සමහර විට මේ කාරණාව බොරුවක් විය හැකිබවත් මා පැවසිය. ඔහු රැකියාව ආරම්භ කර ඇත්තේ පොලිස් කොස්තාපල් කෙනෙකු ලෙසය. ඒ නිසා ඔහුගේ පළපුරුද්දෙන් මේ සිද්දිය ගැටළු සහගත බවත් උසාවියේදී ඇත්ත හෙළිවිය හැකි බවත් පැවසිය.
යලිත් වරක් ඔහු මා වෙත පැමිණියේය. අර කාන්තාව පිටුවල් කල තැනැත්තියක් බවත්, පිටුවහල් කිරීමට හේතුව ඇගේ අතේ බුදු හාමුදුරුවන්ගේ ටැටූ එකක් තිබීම බව පැවසු අතර ලංකාවේ ටැටූ තහනම්ද ඇසිය. මා ටැටූ තහනම් නෑ යි පැවසිය. සමහර විට බුද්ධ රූපය නිසා විය හැකි යි පැවසු අතර ලංකාවේ බුද්ධ ධර්මයට ඇති අල්ලම සහ ගෞරවය පිළිබඳව ද විස්තර පැවසිය. එවර ඔහු ඉස්ලාම් හා කිතුනු ලබ්ධිකයන් ඔවුන්ගේ ආගම් සලකුණ ටැටූ ගසා යන බවත් පැවසිය. අප සමග සිටින ඉන්දියානු ජාතිකයෙකුගේ නම සඳහන් කර ඔහුගේ උරහිසේ හින්දු ලාංචනයක් ටැටූ ගසා තිබෙන බව පැවසිය. එය ඇල්ම හෝ ගෞරවය පිලිබඳ ප්‍රශනයක් නොවන බව පැවසිය. නමුත් ඔහුට ලංකාවට නොයාමට මෙය ප්‍රශ්නයක් නොවන බවත් සමහර විට අප නොදන්නා හේතු ඇති බවත් පැවසිය.
දින කිහිපයකට පසු ඔහු පැමිණියේ  තවත් කුණුගොඩක් සොයාගෙනය. වික්ටෝරියා නමැති කාන්තාවක් මීට කලකට ඉහතදී කණ්ඩායමක් විසින් දුෂණය කර  ඇති බවත්. ඇයගේ වෙද්ද්‍ය සාක්ෂි පරිගණක වයිරසයක් මගින් විනාශ වි ඇති බවත් ය. එවර ඔහු ඇසුවේ නීති සාක්ෂි හා වාර්තා එලෙස විනාශ විය හැකිද යන්නය. එසේම නැවත ඒ විනාශ වූ දත්ත ලබා ගැනීමට මෘදුකාංග හා සේවා තිබෙන නිසා ඒවා ලබා ගැනීමට උනන්දු නොවන්නේ මන්ද යන්නය. මා නිරුත්තරය. මා රටින් බැහැරව වසර පහකට අධික බවත්, උසාවි හා නීති අංශ ගැන කිසිසේත්ම අවබෝධයක් නැති බවත් පැවසිය. ඔහු තවත් විස්තර සොයා ගෙන මා වෙත දන්වන්නම් යි පවසා යන්ට ගියේය. මා දා ගත්තේ මරාලයක් බව ඒත්තු ගියේය. කෙසේ හෝ මේ මනුස්සය අහන දේවල් වලට සුදානම්ව සිටිය යුතු බව අවබෝධ විය.
නැවත ඔහු පැමිණියේ හම්බන්තොට කුරම් ෂයික් ඝාතනය පිලිබඳ විස්තරත් ඝාතකයාගේ දේශපාලන පසුබිමත් පිලිබඳ විස්තර රැගෙන ය. ඝාතනය සිදු වූ  හෝටලය වර්තමාන ජනාධිපති ගේ බල ප්‍රදේශය බවත් සැකකරු එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු බවත් පැවසිය. ජනාධිපතු එහි සැකකරු සමග ගත් ඡායාරුප ද තිබිණ බවත් ඔවුන් මිත්‍රයන් බවත් පැවසිය. ජනාධිපති පමණක් නොව ඔහු, බොහෝ දේශපාලන නියෝජිතයන් සමග සම්බන්ධතා පවත්වපු පුද්ගලයකු බවත් තමා සොයා ගත් තොරතුරු වල සඳහන් බව ඔහු පැවසිය. ඔහුගේ ප්‍රශ්නය වුයේ ඇයි ඔහුව ධුරයෙන් අයින් කර නඩු නොඅසන්නේ සහ ඇයි ජනාධිපති ඉල්ලා අස්නොවන්නේ  යන්නය. ලංකාවේ දේශපාලනය ගැන කතා නොකරන ලෙසත් ඒ ගැන කතා කිරීම නිෂ්පල දෙයක් ලෙසත් මා පැවසිය.
ඉන් පසු ඔහු ලංකාවේ විස්තර විමසා මා වෙත නොපමිනේය. වරක් ආපනශාලාවේ දී ඔහු මුණ ගැසුණි. මා ඔහුගෙන් ලංකාවට යනවාදැයි විමසිය. ඔහු ගත කටටම "පිස්සුද" යි විමසිය. මම වචනයක්වත් නොවිමසවා එතනින් ආවෙමි.
පසුව ඔහු මගේ මේසය ලඟට පැමිණියේය. ඔහු ලංකාවට නොයන්න කාරණාව විස්තර කරන්නට විය. ඔහුට ආරක්ෂාව පිලිබඳ සැකයක් පවතින බව පැවසිය. හම්බන්තොට හෝටල තුල මිනිහෙක් මරා කාන්තාවක් දුෂණය කරන කාලය තුල පොලිසියට පැමිණිය නොහැකි වුයේ මන්ද යන්න ඔහුට ප්‍රශ්නයකි. සන්නිවේදන පහසුකම් එතරම් ප්‍රාථමික ද යන්න ඔහුට ප්‍රශ්නයකි. එවැනි අඩු පහසුකම් ඇති ස්ථාන වල හෝටල් පහසුකම් ලබාදීමෙන් සංචාරකයන් ජීවිත අවදානමට ලක්වන බව ඔහු පවසයි. එහි චුදිතයන් නිදැල්ලේ වසරකට අධික කාලයක් සිටීම නිසා සාක්ෂි වලට කොපමණ බලපෑමක් වුවාද සැක සහිත බව ඔහු පැවසිය. වඩා වැදගත් වුයේ ඔහු අවසානයට පැවසු දෙයය.
මේ සිදු වීම මට වෙන රටකදී වෙන්න පුළුවන්. නමුත් මට විස්වාසයක් තියෙනවා මට නීතියෙන් සාධාරණයක් සිද්ධ වේවි කියලා. ඔස්ට්‍රලියාවෙන් ගිය බොහෝ සංචාරකයන්ට අග්නිදිග ආසියාවේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා .මැරිලත් තියෙනවා. නමුත් ඒ සියල්ලටම නීතියෙන් සාධාරණය ඉටු වෙලා තියෙනවා. ලංකාවේ එහෙම වේවි කියා සැක සහිතයි. මේ ඔහුගේ අවසාන විග්‍රයහයි. මම මින් පසු ලංකාවට සංචාරය සඳහා යන ලෙස කිසිවෙකුට නොපැවසිමට තීරණය කළෙමි.

Sunday, 18 May 2014

නාම විශේෂණ මට නැත ඔබ ගැන....

ගුරු ගීතයේ  අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. එසේ නොවන ගුරුවරුන්ට මල් මිටක් තිලිණ කිරීමට පසුබට නොවෙමි. මේ ගීතය ගෝල ප්‍රේමය ඉදිරියේ ගුරුවරයා ගේ හැසිරීම කෙබඳු විය යුතුදැයි සිහි ගන්වයි.

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරි කරලන්නට ඔබෙන් වරම් යදිමින්

මේ ශිෂ්‍යාව තම අඳුරු තුමාගේ රුවට නොව ගුණ 'සුවඳ' ට වශී වී සිටි. එය ඇයට සිහිනෙන් ගෑ සුවඳක් බඳුය. ඈ ප්‍රර්ථනා කරන ලෝකය නිර්මාණය කරගැනීමට වරම ඉල්ලන්නේ මේ නිසාවෙනි

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුවරයා ට අබ මල් රේණුවක තරම්වත් මේ ගැන හැගීමක් නැත. ඔහු ගුරු ගෙදරට පැමිණෙන්නේ තම ශිෂ්‍යන්ට ඉගැන්වීමටය. මේ සිසුවිය ගැන විශේෂයක් ඔහුට නැත.

හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කිවා
කුලුදුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ලතවෙනවා

ශිෂ්‍යාව කුල්මත්වන්නේ ඔහුගේ නෙත් සඟලින් කියවෙන දේ ගැනය. ඈ සිතන්නේ එය ප්‍රේමනීය කැදවීමක් ලෙසය. ඈ තම සිතැගි තම ගුරුවරයාට නොවලහා පවසයි. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු හා වෙලෙන්න ඈ ඔහුට ආරාධනය කරයි.

කෝප නොවන්නට මා ප්‍රිය සිසුවිය සිත නුබ  කළඹාදෝ
ශිල්ප උගන් නුබ නොමග යැවූ  දා මා ඇදුරිඳු වෙම්දෝ

ගුරුතුමා තවමත් සන්සුන්ය. ඔහු ඉතාමත් සංයමයකින් ඇයට කරුණු පහදයි. අය කැළඹී ඇති බව පසක් කර දී ගුරුවරයෙක් ලෙස ඇයව නොමගට යවන්න ඔහුට නොහැකි බව පවසයි.

සමාවන්න මට ඇඳුරුතුමනි මගේ සිරකරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්

සිසුවිය ගුරුවරයාගේ වචනය අවබෝධ කර ගනී. ඇය තම සිතැගි පාලනය කර ගන්නා බවත් සිතට වහල් වී පෙම් නොකරන බවත් පවසයි. එසේම ඇය ඔහුට ප්‍රශංසා කරයි.

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුතුමා නැවතත් ඇයට පවසනුයේ ඔහු පැමිණියේ ඉගැන්වීමට බවත් විශේෂ සැලකිල්ලක් ඇය පිලිබඳ නැති බවත්ය.

අයි. ඩි ජයතිස්සයන්ගේ පදමාලවත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයත් ඉතාමත් සරලය. සජීවී ගායනයක් බැවින් ගායනයේ සුළු අඩුපාඩුකම් දැකිය හැක. මා මුලින්ම මේ ගීතය ඇසුවේ ලක්ෂ්මන් විජේසේකර ගේ හඬින් ය. මායා දමයන්ති ගේ ගායනය ඉතාමත් මිහිරිය, සුමගය, භාවපුර්ණය. විශාල ස්වර පරාසයක නොවුනත් ඇය ඉතාමත් අගේට ගීතයට අනුකුල භාවයන් ප්‍රකාශ කරයි...

https://www.youtube.com/watch?v=g6DTWmy_aiY

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday, 16 March 2014

සුළං රොදක් සේ නොසිතු මොහොතක.....

මා මේ ගීතය ගැන  ලියන්නට පටන් ගත්තේ, එය අසා මාස තුනක් පමණ පමණ ගත වූ පසුය. මේ ගීතය ගැන කුමක් ලියම් ද? සත්තකින්ම මා විඳි දේ ගැන ලිවිය යුතුද? නැති නම් ගීතය ගැන ලිවිය යුතුද? දහසකුත් සිතුවිලි හා ප්‍රශ්න මගේ මනසේ හොල්මන් කර අවසානයේ සිදු වුයේ කිසිම වැදගත් කමක් නැති සටහන් කිහිපයක් තැබීම ය. එය ලියා, මකා, නැවත ලියා එතැනින් මෙතනින් වචන එක් කර ලියු පල් හෑල්ලකි. මේ ගීතය ගැන යම්කිසි කෙළවරකට පමුණුවා අවසන් අවසන් කල යුතුය. එහෙත් කිසි විටක එවැනි කෙළවරකට පැමිණ නොහැක.

මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ 'මළගිය ඇත්තෝ' හා 'මළ උන්ගේ අවුරුදු දා' මේ ගීතයට නිමිත්ත වී ඇති බව පැහැදිලිය. මෙහි කථනය, ගායනය, පද රචනය හා සංගීතය කවුරුන්ද යි මම නොදනිමි. අනුමාන ලෙස කථනය මහාචාර්ය සරත් විජේසුරියත්, ගායනය අප්සරා ද සිල්වා, පද රචනය චාරුක සුරවීර සහ සංගීතය ප්‍රියන්ත ඩිරේක්ස්  ගේ යයි සිතමි. අසා ඇති දහස් ගණන් ගීත අතර මේ ගීතය තුළ වෙනසක් අත් විදීමේදී පවා, මා එහි නිර්මාණ කරුවන් කවුරුන්ද යන්න නොසේවිම ට තරම් නරුම වී ඇත.


සිංහල ගීතයේ මා බලාපොරොත්තු වන 'වෙනස' පිලිබඳ ගොඩ නැගුනු විවිධාකාර කතා මත හා අදහස් , මා සිත තුළ ඒ මේ අත දෝලනය වේ. වීජ ගණිත සමිකරණක් සේ  මා සොයන 'වෙනස' මෙන්න මෙය යි අර්ථ දැක්විය නොහැකිව ඒ මේ අත පැද්දෙන කල්හි මේ ගීතය මා සොයන 'වෙනස' පිලිබඳ ඉඟියක් ලබා දුන්නා යි කිවොත් පරම සත්‍ය යි සිතමි. ගීතයේ සංගීතයට යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ගණන සීමිතය. එමගින් 'මළ ගිය ඇත්තෝ' සහ 'මළ උන්ගේ අවුරුදු දා' කතාවේ ඇති සරල බව විදහා පායි. ගීතයේ අතරමග දිවෙන කථනය කතාවේ දාර්ශනික බව ඒත්තු ගන්වයි.

මම නැවතත් 'මළ ගිය ඇත්තෝ' සහ 'මළ උන්ගේ අවුරුදු දා' කියවීම ආරම්භ කලෙමි.

සුළං රොදක් සේ නොසිතු මොහොතක
මිදොරී අවන් හල පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සං අතරමන් ව ඔබ අවා
සුලන් රොදක් සේ ඔබ අවා
දෙවෙන්දොරා  සං අතරමන් ව ඔබ අවා

දෙවෙන්දොරා  සං මිදොරි අවන් හලට ඇතුළු වන්නේ සුළගක් මෙනි. නොරිකෝ සං එය හඳුන්වන්නේ 'ඵාත්' යනුවෙනි. දෙවෙන්දොරා  සං දෙතුන් වරක් ඔබ මොබ ඇවිද හදිස්සියේ ඇතුළු  වන්නේ අතරමං වූ පුද්ගලයෙකු මෙනි. මෙය සුළගක් ඇතුළු වන්නා සේය. එසේම දෙවෙන්දොරා  සං, නොරිකෝ සං ගේ ජීවිතයට ඇතුළුවන්නේ සුළගක් ලෙසය.

තතම් පැදුර මත දනින් නැමී
සියුමැලි අනාථකෙල්ලෙකු සේ
ඔබ ද  නැමී
එනමුදු හඳුනා ගනු බැරි වී
ජීවිතයෙන්.... ජීවිතයෙන්
පැන යන්නට  ගිය දා
නේබුරු දොඩම් බිගක්  තොල රැද වූ
මා සිහිවෙද කවදා

මළ ගිය ඇත්තෝ සහ මළ උන්ගේ අවුරුදු දා නවකතා දෙකෙහිම මිනිස් සිතේ තිබෙන්නා වූ ව්‍යාකුල බව හා එම නිසා එකිනෙකා තේරුම් නොගැනීම ඉතා අගේට ගොතා තිබේ. ජපන් සංස්කෘතියේ සංකේතයක් බඳු තතමි පැදුර මත දන නමා නොරිකෝ සං ආචාර කරනුයේ දෙවෙන්දොරා සං ව තේරුම් ගත නොහැකිවය. දෙවෙන්දොරා සං ද එසේමය. නොරිකෝ සං තේරුම් නොගත් අවස්ථා බොහෝය. දෙවෙන්දොරා සං දෙවන වර තොකියෝවට පැමිණ නවතිනුයේ නොරිකෝ සං ගේ ගෙදරය. හරි හැටි නොරිකෝ සං ව ත්රුම් නොගත් දෙවෙන්දොරා සං සියදිවි නසා ගැනීමට නිදි පෙති ගනී.   එහෙත් ඔහු එවර මිය නොයයි. නොරිකෝ විසින් නෙබුරු දොඩම් බිකක් ඔහු ගේ කටට දමන්නේ මේ අවස්ථාවේදීය.

ඉක්මනින්ම යලි එ නම්
මළ උන් ගේ අවුරුදු දා
මලගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
තමබොචි සොහොන් බිමේදී
සුවදැති මලක් ඇත රදවා
මළ උන් ගේ අවුරුදු දා
යලි හමු වේවා සයෝනරා
යලි හමු වේවා සයෝනරා
යලි හමු වේවා සයෝනරා

ජීවිතයේ ඇත්තේ යාම් සහ ඒම් ය. නොගොහින් එන්න බැරිය.ඉක්ක්මනින් ගියහොත් ඉක්මනින් පැමිණිය හැක. දෙවෙන්දොරා සං අවසානයේදී ජීවිතයෙන් සමු ගත්තේය. නොරිකෝ සං බලා සිටුනුයේ මළ උන්ගේ අවුරුදු දා එනතෙක්ය. එවිට ඇය ට ද මළ උන් සමග දෙවෙන්දොරා සං මිහිදන් කර ඇති තම පවුලේ සොහොන් බිම වන තමබොචි සොහොන් බිමට යා හැක.

මළ උන්ගේ අවුරුදු දා මා කියා වුයේ විදුලි දුම්රියේ යන අතර තුරේදී ය. විවිධා කර හැල හැප්පීම් සමග ගෙවන ජීවිතයේ මම කුමක් හේතුකොට සතුටු වන්නේද එසේ නැමති නම් දුක් වන්නේද යන උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිව සිටිමි. නිරානන්දයෙන් ගෙවන මේ ජීවිතය හා දෙවෙන්දොරා සං ගේ ජීවිතයේ ඇති සමාන කම් මා මනසින් මෙනෙහි කරන්නට විය. එක වර මට නොරිකෝ සං මතක් විය. මම හිස ඔසවා බැලුවෙමි. දහසකුත් චීන හා කොරියානු යුවතියන් අතර මා නොරිකෝ සං සොයන්නට විය. ක්ෂණයකින් නොරිකොගේ වැනි රුවක් දිස් විය. ඇය ගේ නළල විශාලය. ඇස්, නාසය සහ කට කුඩාය. යටි තොල තරමක් විශාලය. මම ඈ දෙස නෙත් යොමාගෙන සිටියෙමි. එක් වර ඈ, මා දෙස බැලුවාය. අප දෙදෙනාගේ නෙත් එකිනෙකට ගැටුණි. මා ඇය සමග සිනාසුනි. ඈ අහක බලා ගත්තාය.

https://www.youtube.com/watch?v=TdJM1rFVVmE

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday, 30 January 2014

තොටිල්ලේ ලී වටෙන් එහා...

අද ලොකු එකා මුලින්නම ඉස්කෝලේ ගිය දවස. එයා ගේ ජීවිතේ ලොකුම ලොකු පරිච්ඡේදයක ආරම්භය. මම දන්නවා මට වගේම එයාටත් මේ පරිච්ඡේදය ලොකුම ලොකු එකක් කියලා තේරෙන්න ගන්නේ සෑහෙන්න කාලයක් ගිහිල්ලා. ජිවිතයේ මේ පරිච්ඡේදය ලියාගන්නා විදිහ අනුව තමයි අනිත් පරිච්ඡේද ලියවෙන්නේ. කාටවත් ඒක මෙන්න මෙහෙම ලිවිය යුතුයි කියලා තීරණය කරන්න බැහැ. අපට පුළුවන් දන්නා විදිහට සෝදුපත් බලන එක විතරයි.
මට තාම මතකයි මම මුලින්නම පාසල් ගිය දවස. මගේ මුල්ම පන්ති භාර ගුරුතුමිය ගේ හැඩ රුව, නම, ඇදන් හිටිය සාරිය, මේ ඔක්කොම මට මතකයි. මම මුලින්නම පන්තියේ වාඩි වුයේ සද්දන්ත කොල්ලෙක් ළඟ. එකා මගේ කරට අත දාලා "මේ මගේ යාළුවා.." කියලා අනිත් අයට කිව්වා. උගේ size එකත් එක්ක ඒ හෘදයාන්ගම මිත්‍රත්වය පිලිගන්නවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබුනේ නැහැ. උගේ නම තුසිත මේනක ජයසුන්දර. දැන් කොහේ ඉන්නවද.. මොනවා කරනවාද කියලා දන්නේ නැහැ...

එදා ඉස්කෝලේ ගියෙත්, ආවෙත් අම්මයි, තාත්තයි එක්ක. මට මතකයි එදා තාත්තා හිටියේ බොහොම සතුටින්.. හරියට විශාල උත්සාහයක ප්‍රතිපලයක් ලැබුනා වගේ (අපේ වයසේ තාත්තලාට Olympic medal එකක් දිනුවා වගේ දැනෙනවා ඇති.).. මට මතකයි තාත්තා මේ ගීතය මුමුණනවා... ඒ දවස් වල තේරුනේ නැහැ මොනවද මේ ගීතයේ අරුත කියලා.. අපේ තාත්තටත් උවමනාවක් තිබුනේ නැහැ මාව ලොකු මිනිහෙක් කරන්න... එයාට ඕන උන්නේ මාව හොඳ මිනිහෙක් කරන්න... සමහර විට එයාගේ බලාපොරොත්තු එක්ක මේ ගීතයේ අදහස සමපාත වෙන්න ඇති.

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...

බුදුන් දවස මර දුවරු බහුතනුවන් මුණ ගැසෙති..
උන්ගේ සු සැට මායම් මගේ පුතුට අරුම නැති..

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...

බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරෝ හෙට සතුරු වෙති
උන් හදනා මර පුඩු වැල් මගේ පුතා හැඳිනු ඇති..

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...


http://www.youtube.com/watch?v=qmw5vtdHnBI

මටත් මගේ කොල්ලා ලොකු පොරක් කරන්න ඕනනේ නැහැ..අත්දැකීම් වලින්ම දන්නවා දොස්තරලා.. ‌‍නීතිඥ..ඉංජිනේරුවෝ නොවුනාට ජීවිතය විඳින්න පුළුවන් කියලා..කාටවත් තමන්ගේ vision එක එහෙම නැති නම් දැක්ම හදන්න බැහැ. ඒක හදා ගන්න ඕනේ තමාම. නිවැරදි දැක්මක් තියෙනවනම් සපත්තු මහලා එහම නැති නම් මේ රටේ හැටියට තණකොළ කපලා හරි ජීවිතේ විඳින්න පුළුවන්. වටිනාම දේ ජීවිතය විදවන්න නැතිව ඉන්න එක.
තාත්තා කෙනෙක් හැටියට මටත් තියෙනවා සියුම් වූ බලාපොරොත්තුවක්.. කවදා හරි මගේ කොල්ලත් තොටිලි වටෙන් එහා තියන වැටවල් බිදිවී කියලා... එකාට මාර දුවරු ගේ සු සැට මායම් වලට හසු නොවී මිතුරොත් සතුරෝත් අඳුන ගන්න හැකි වේවි කියලා...

ඔව් සත්තකින්ම තොටිල්ලේ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් තියෙනවා මගේ පුතේ...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 15 January 2014

මොහාන් රාජ් ගේ 'ලොවිනා' ගැන මා සිතෙන හැටි...

කලක සිට මොහාන් රාජ් ගේ 'ලොවිනා' නවකතාව ගැන යමක් ලියම්දෝ නොලියම්දෝ යන දෙගිඩියාවෙන් පසු වුනි. මොහොන් රාජ් වෙනත්ම මාවතක් සොයන කතුවරයෙකි. ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන 'බෝදිලිමා' තුලින් කිසිවකු ගමන් නොගත් මාවතකට ඔහු පිවිස ඇති බව පසක්විය. නමුත් 'මාගම් සෝලිය' නවකතාව තුලින් ඔහු සොයා  ගත් නව මාවතේම ඔහු අයාලේ යාමක් සිදුව ඇත යන්න මගේ හැඟීමයි. 'මාගම් සෝලිය' ලියමින් නවකතාවට ළදරුවෙකු ලෙස ආ මොහාන් රාජ් 'ලොවිනා' මගින් තරුණයෙකු වී ඇති නමුත්  තවම ඔහු පරිණත වී නැතැයි මට සිතේ.
'ලොවිනා' නවකතා පොතේ පිටකවරයම යම්කිසි දෙයක් ඒත්තු ගන්නවන්නට සලස්ස්වයි. ඉහලින්ම ලියා ඇත්තේ 'Hidden Love Story at Mount Laviniya' යන්න. මා හට සිහි වුයේ ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් (Gabriel García Márquez) ගේ  'The love story at cholera time' නවකතාව ය. සැබවින්ම 'ලොවිනා' නවකතාව කතාව, විකාශනය හා අන්තර්ඝතය ආදී සියළු කරුණු වලින්  'කොලරා කාලේ ආදරය' නවකතාව කිට්ටුවෙන් වත් නොයන බව කියවීමෙන් පසුව වැටහුණි.

නවකතාවේ නම 'ලොවිනා' වුවද කතාවට ලොවිනා එක්වන්නේ අවසාන අදියරේ ය. සමස්ථ කතාවම 'පුන්නා/පුන්නි' නම් ගැහැණිය සමග විකාශනය වේ. නරේන්ද්‍රසිංහ රජුගේ අන්තපුර ගැහැනියක ලෙස සිට රාජ අණ නිසා රොඩී කුලයට නෙරපා හරින 'පුන්නා' නම් ගැහැණිය එතැන් පටන් 'පුන්නි' ලෙස තම කණ්ඩායම සමග ගෙවන ජීවිතයේ අනේකවිද දුක්ඛය දෝමනස්සයන් වලට මුහුණ පාමින් සිදුවන හැලහැප්පීම් ඔස්සේ පරම්පරා හතරක් පුරා මොහාන් රාජ් කතාව ඉදිරිපත් කරයි.
'ලොවිනා' නවකතාව පළමු පරිච්ඡේදයම මා තුල ඇති කලේ තව දුරටත් කියවිය යුතුය යන හැඟීමකි. සාමාන්‍ය කතාවක ලෙස එය මුල සිට ආරම්භ නොවේ. කතාව ආරම්භ වන්නේ තුන්වන පරම්පරාවත් සමගය. එනම් 'පිංචි' නම් මිනිපිරිය 'පුන්නි' ගේ නිවසේ හැදී වැඩීම හා ගෙතුණු කතා හා සිද්ධි සමගය. එය වරෙක ජපන් නවකතා කරුවෙකු වන නත්සිමේ සොස්කි ගේ 'කොකොරෝ' නවකතාවේ ආරම්භය ද , අප බොහෝ දෙනා දන්නා චිංගීස් අයිත්මාතව් ගේ 'ගුරු ගීතය'(The Fist Teacher) නවකතාවේ ආරම්භය ද සිහි ගන්වයි. කතාව ගෙතීමේ ආකෘතියේ මේ වෙනස මොහාන් හොඳ 'කතන්දරකාරයෙක්' යන්න ප්‍රත්‍යක්ෂ කර ඇත.
'මාගම් සෝලිය' තරම් නොවුවත් 'ලොවිනා' තුලද ලිංගිකත්වය ගැන කතා කිරීමට මොහාන් රාජ් මැලි වී නැත. 'මාගම් සෝලිය' ට වඩා වෙනස් වූ ඉසව්වකට ලිංගිකත්වය ගැන සිදුවීම් 'ලොවිනා' තුල දැකිය හැක. නරේන්ද්‍රසිංහ රජු පුන්නා සමග පොකුණේ රමණයේ යෙදෙන ආකාරය (59-61 පිටු) එක් නිදසුනකි. කාම සිනමාව ආරම්භ වූ කාලයට වඩා වර්තමානයේ බිහිවන කාම සිනමා, රමණ සිද්ධි අතින් බැලූ කල දරුණුය (සාමාන්‍ය ව්‍යවහාරයේ 'මස් කඩ' කියා හඳුන්වන්නේ මේ තත්වයයි). මොහාන් ගෙන් ද දිස්වන්නේ මේ ආකාරයේ වර්ධනයකි. පොකුණේ සිදුවන ලිංගික සිදුවීම, BDMS ( Bondage Discipline Sadism Masochism) වර්ගයේ නිල් සිනමා පටයක ආකාරයට පුරා පිටු දෙකක් පුරාවටම විස්තර කරයි. තවද 'පුන්නා' දස්කොන් අදිකාරම් සමග මනසින් සංසර්ගයේ යෙදීම, ඈ රොඩී රැලට පැන්නිමෙන් පසුව පවා ලී කොටයක් බදාගෙන ස්වයං වින්දනයක් ලබන  බව කතුවරයා විස්තර කරයි. එකතරා ආකාරයක නිල් සිනමා පටයක 'Dildo' එකක් සමගින් ස්වයන් වින්දනය ලබන කාමධේනුවකගේ රූප පෙළක් මේ සමග කියවන්නාගේ මනසට නැගේ. 'බයියා' හා 'පුන්නි' අතර සංවාසය ඇතිවන සෑම විටම 'බයියා' මිය යාම Paul Verhoeven ගේ 'Basic Instinct' චිත්‍රපටය සිහි ගන්වයි. 'ලොවිනා' මුහුදු වෙරළේදී 'උතියා' සමග ලිංගික හැසිරීමද මවන්නේ dominant woman ආකාරයේ ලිංගික එක් වීමකි. මෙසේ බලන කල 'ලොවිනා' කෘතියේ සඳහන් බොහෝ ලිංගික ජවනිකා ගැන කියවීම තුලින් පාඨකයාට ලැබෙනුයේ, හුදෙක් blue film එකක් බලා ලබා ගන්නා වින්දනයක් වැනි දෙයක් පමණි.
ලිංගිකත්වය ගැන කතා කිරීමට මැලි නොවන මොහාන් ඒ ලිංගිකත්වය කලාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහා නොගැනීම 'ලොවිනා' තුල දකින ප්‍රබලම දුර්වලතාවයයි. උදාහරණ ලෙස කොපමණ ලිංගික හැසිරීම් සහිත කාම ප්‍රකාශනයකට වඩා අප හොඳින් දන්නා D. H. Lawrence ගේ Lady Chatterley's Lover කතාව හෝ එසේ නැති නම් Anaïs Nin ගේ Delta of Venus වැනි කෘතියක කතා ප්‍රේක්ෂක මනසේ රැදනුයේ එහි ඇති කලාත්මක බව නිසාය (මේ කෘති ජනප්‍රිය වීමට එය බලපෑවා විය හැක). එසේම ලිංගිකත්වය  පමණක් වුවද කලාත්මකව ඉදිරිපත් කල හැකි බව Elegant angel - WASTELAND, Q Desire වැනි කාම සිනමා පට පවා පෙන්වා දී ඇත. නරේද්‍රසිංහ රජු හා පුන්නාගේ ප්‍රථම එක්වීම අප්‍රසන්නය. ඒ අප්‍රසන්න බව ඒත්තු ගැන්වීමට මොහාන් පිටු දෙකක් වෙන් කරයි.  එමගින් පුන්නා ට ඇති වූ ඒ අප්‍රසන්න බව ප්‍රේක්ෂකයාට දැන්වීමට කතුවරයා උත්සහා කර ඇත. නමුත් සැබෑ ආදරයෙන් මුසපත්ව මුහුදු වෙරළේ  සිදු වුනු ලොවිනා හා උතියා ගේ පළමු ලිංගික එක්වීම කෙතරම් කලාත්මක ලෙස නිම  කිරීමට තිබු  හැකියාව මොහාන් ඉවත දමන්නේ ඇයි ද යන්න ප්‍රෙහෙලිකාවකි. එය හුදෙක් ‘ලොවිනා’ ගේ අවශ්‍යතාවයට පමණක් සිදු වුවක්ද? එසේ නම් උතියාගේ ආදරය ‘රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත’ දෙයක් ද? පෙමින් වෙළුණු තරුණයෙක් හා තරුණියක්, කිසිවෙකු නැති හිරු බැසයමින් ඇති මුදු වෙරලක් තුල සිදුවන ඔවුන්ගේ  ප්‍රථම රමණය කෙතරම් චමත්කාර විය යුතුද.
මොහාන් රාජ් 'ලොවිනා' සමග සමස්ථ මානව ශිෂ්ටාචාරයේ ම බලය සමග ලිංගිකත්වය අතර ඇති සබැදියාව කතා කරයි.එය ලාංකීය සමාජයේ සේම බටහිර සමාජයටම පොදු කරුණක් බව පසක් කරන සිදුවීම් දෙකක් 'ලොවිනා' කෘතියේ සඳහන් වේ. තම බිසව සමග සම්බන්ධයක් ඇත යන සැකය නිසා නරේන්ද්‍රසිංහ රජ තම මහා අදිකාරම් වන දස්කොන් මරා දමයි. එසේම තම අන්තපුර ස්ත්‍රියක් වූ 'පුන්නා' අභිරහස් ගැබ් ගැනීමක් නිසා රොඩී රැලකට එලවා දමයි. මේ සිංහල සමාජයේ සිදු වූ සිදුවීම් වන අතර, 'ලොවිනා' ගේ අත ඇල්ලීම නිසා ඉංග්‍රීසි හමුදා භටයෙකුට වෙඩි කන්න සිදු වන්නේ තම ප්‍රධානියාගේ නියෝගය නිසාය. බලය හිමි සෑම පුද්ගලයෙකුම, තමා සමග ලිංගික එක්වන ගැහැනියක් වෙන කෙනෙකු අතකට පත් නොවන්නට වග බලා ගන්නේ හරියට තම 'ක්‍රීටයේ සංකේතය මේ ගැහැණු' යි සිතන පරිද්දෙනි. එසේ නැතිනම් ගැහැනියක් සමග සංවාසයේ යෙදීම තම බලයට තවත් රාජ්‍යක් එක් වුවා හැගීමකි. එසේම ලිංගිකත්වය නිසා ගැහැණිය තමාට මෙන්ම සමාජයට බලවතාගෙන් ලබා ගන්නා වරදාන වර්තමානයේ මෙන්නම අතීතයේද සිදුව ඇති බව මෝහන්ගේ කෘතියෙන් පෙන්නම් කරයි. අන්තපුර ස්ත්‍රියක් වූ නිසාවෙන් 'පුන්නා' ට ලැබෙන සැලකිලි හා 'ලොවිනා' සමග ඉංග්‍රීසි ආණ්ඩුකාරයා හාද කම් ඇරම්භිමත් සමග රොඩී සමාජයට ලිහිල් වන නීති මොහාන් කදිමට 'ලොවිනා' නවකතාව තුල විග්‍රහ කරයි.
රොඩී කුලයේ තිබෙන්නා වූ විශේෂ  වත් පිළිවෙත්, ඇදහිලි ක්‍රම, චාරිත්‍ර ආදී දේ පිළිබඳව කතුවරයා යම් ගවේෂණයක් කර ඇතිබව 'ලොවිනා' කතාව තුල දිස් වේ. විශේෂයෙන් ඔවුන් භාවිත කරන සමහර ආම්පන්න වලට යොදා ගන්න විශේෂිත වූ වදන් පිළිබඳව කතුවරයා මුළු නවකතාව පුරාම සැලකිලිමත් වී ඇත. රැහේ නායකයා ලෙස 'හුලිවාලියා' විසින් තම පරම්පරාවට  ගෙන යනු ලබන විවිධ වූ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව, රෝග සුව කිරීම ආදී දේ ගැනද, රැහේ කෙනෙකු මිය ගිය විට කරන්නා වූ වත් පිළිවෙත් ගැනද මොහාන්  කිහිපවරක්ම  සවිස්තරව සඳහන් කර ඇත. මේ සා වූ කරුණු කාරනා සඳහා ඔහු සැලකිය යුතු කාලයක් වෙහෙස වී ඇති බව ප්‍රත්‍යක්ෂය.'මාගම් සෝලිය' සඳහා ලැබුණු ප්‍රතිචාර වලින් උත්තේජනය වී 'ලොවිනා' ලියුවද ඒ සඳහා සැලකිය යුතු කාලයක්  පෙර සිට ගවේෂණ කාර්යේ යෙදී ඇති බව පැහැදිලිය. නමුත් මේ  සවිස්තරාත්මක ‘රොඩී ක්‍රම’ මගින් ‘ලොවිනා’ කෘතියේ රසයට වඩා මෝහන්ගේ ගවේෂණයේ  ප්‍රථිපල වැඩියෙන් පෙන්නුම් කරයි. යථාර්ථයත් ප්‍රබන්ධයත් අතර සංක්‍රමණය වන සමස්ථ කතාවේම යතාර්ථය සමග වැඩිපුර මුහු වීමට මේ නිසා හැකි වී ඇත.  මොහාන් සඳහන් කරන පරිදි රොඩී මිනිසුන් අතර ප්‍රශ්න නැත. ඔවුන් සියල්ලෝම සාදු චරිතය. හුලවලියා තම බලයෙන් කිසිත් අයුතු දෙයක් නොකරයි. රොඩී මිනිසුන්, ගැහැනුන් තමන්ගේ ගැහැණු, මිනිස්සු සමග පමණක් සමන්ධකම් පවත්වයි. කිසි විට දබර කිරීම්, කෝලාහල සිදු නොවේ. ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය නම් කුලවතුන් ගෙන් වන නොපනත්කම් වලින් ගැලවීමටය. සමස්ථ සමාජයේ උප කුලකයක් වන රොඩී කුලයේ පවා ඒ සමාජයේ පවතින හොඳ නරක එක ලෙස පැවතිය යුතුය යන්න මගේ විස්වාස යයි. එසේ බැලූ කල නරක දේ සඳහන් නොවීම තුලින් මොහාන්, ප්‍රබන්ධ කතාවක් ලෙස ද මධ්‍යස්ථව තබා ගැනීමට ගත් උත්සහයක් විය හැක.
අවසාන ලෙස ලොවිනා කතාව මේ ආකාරයේ යයි විස්තර කල නොහැක. එය නවකතාවක්ද, ප්‍රබන්ධයක් ද, වාර්තා කතාවක්ද, එසේ නොමැති නම් අසභ්‍ය ප්‍රකාශනයක් ද යන්න ස්ථිර නිගමනයකට එළැඹීමට නොහැක. කෙනෙකු තම මනසින් දකින ලෝකය අනුව එය කුමක්ද යන්න තීරණය කරනු ඇත.කෙසේ වෙතත්  එය තවත්  නිර්මාණාත්මක ගුණය පොහොසත් නිර්මාණයක් බව කිව යුතුය. නමුත් බෝදිලිමා තුලින් අපට තම නිර්මාණශීලි බව පෙන්වූ මොහාන් ගේ නිර්මාණයක් ද යන්න තව තවත් ප්‍රශ්න කල යුතුය. වර්තමානයේ සෑම නිර්මාණ කරුවෙකුම මුහුණ දෙන වෙළදපොළ ජය ගැනීමේ කාර්යට මොහාන් ද හසුව ඇත. ‘මාගම් සෝලිය’ සේම ‘ලොවිනා’ ද විවිධ වූ වෙළද උප්පරවැට්ටි සමගින් නිර්මාණ වුවක් බව මගේ හැගීමයි. නුතන ආර්ථික ක්‍රමය තුලදී  මුද්‍රිත ප්‍රකාශන සඳහා වන අඩු අගය හේතු කොට මොහොන් නොව මාටින් වික්‍රමසිංහයන් මළ උන්ගෙන් නැගිට නිර්මාණ කලත් මෙවැනි උප්පරවැට්ටි නොයොදා ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනීවි යයි සිතිය නොහැක. 

Sunday, 5 January 2014

පළමු වරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කලෙමි

ඔව් එය මගේ පළමු දක්ෂිණ අධිවේගී මාර්ගයේ චාරිකාවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වුයේ ගැලනිගම interchange ස්ථානයෙන්. පාන්දර 5 ට පමණ ඇත. තද අඳුරක් නොතිබුනත් අවට දර්ශන පැහැදිලි නැත. එසේම වුවද බලන්න තරම් විශේෂ වූ දර්ශනද ඒ ප්‍රදේශයේ නැත. ටිකෙන් ටික අඳුර මැකී යන්නට විය. දොඩන්ගොඩ interchange සඳහා වූ දුර ගෙවි යාමට වැඩි කාලයක් ගත වුනේ නැත. අඳුර බිදෙනවාත් සමග අවට පරිසරය මැවූ දර්ශන, මා මෙතෙක් දැක තිබුනේ සිතුවම් හා ජායාරුප වල පමණි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගේ ගමනාන්තය වන ගොඩගම තෙක් මා ගේ අත්දැකීම මෙපමණයි කිව නොහැක.

ලා කොළ පාට කෙත්වතුත් සමග එකට බැඳුනු තද කොළ වර්ණයෙන් යුත් රබර් වතු සිසාරා යාන්තම් මිදුම ගලා යයි. නැගෙනහිර අහස ලා රෝස පැහැ ගැන්වී ඇත. මද දුරක් යන විට මේ දර්ශන සමග තේ වතුද එක් වුනි. මාර්ගය අසල ගොඩනැගිලි හෝ වෙනත් මිනිස් නිර්මාණයක් ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මුළු පරිසරය පුරාම හරිත වර්ණයත් ලා මිදුමත් අහසේ රෝස පැහැයත් දැක ගත හැක. විටින් විට අහසේ කුරුල්ලෝ රෑන් පිටින් පියඹා යයි. කෙත් වතු ආශ්‍රිත පහල ප්‍රදේශයේ මීදුම අනෙකුත් ප්‍රදේශ වලට වඩා ටිකක් තද බවක් පෙන්වයි. එමගින් රබර් වතු එසේ නැති නම් තේ වතු, මේ පහත බිම් වලින් වෙන්වන සීමාව මකා දමයි. මදක් නැවතී මේ රමණිය පරිසරය විඳිය හැකි ස්ථාන බොහෝය. නමුත් අධිවේගී මාර්ගයක එසේ නැවතීමේ අවස්ථාවක් නැත.

වැලිපැන්න විවේක ස්ථානය ගැන කිසිම සැකයක් නැතුව විදේශ සංචාරකයන් හට පැවසිය හැකි සර්ව සම්පුර්ණ විවෙකාගාරයකි. ඔස්ට්‍රලියාවේ Sydney හා Melbourne යා කරන Hume highway එකේ පවා මෙතරම් පහසුකම් හා ඉඩකඩ සහිත විවේක ස්ථානයක් නොමැත. පැය 24 පුරාවටම විවෘත කර ඇති විවිධ සමාගම් වල ආපනශාලා තමාට කැමති ආහාරයක් රසවිඳීමේ පහසුකම් සලසා දී ඇත. දුර්වලතාවයක පවතිනුයේ වැසිකිලි වල පවතින තෙත ස්වභාවයයි.

අධිවේගී මාර්ග ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වුවද අධිවේගී මාර්ගයේ ඔවුන්ගේ  රිය ධාවන පැසසිය යුතුය. බොහෝ විට පළමු මං තීරුවේ රිය ධාවනය කිරීමට පුරුදු වී ඇති අතර ඉස්සර කිරීමේදී පමණක් අනෙක් මං තීරුව භාවිත කිරීමට ඔවුන් පුරුදු වී ඇත. ලාංකික රියදුරන් බොහෝ දෙනාගේ සුලභ අමතක වීමක් වන, තම කාර්ය අවසන් වූ පසු හෝ තම අදහස වෙනස් කෙරුව පසු signal light එක නවතා නොදැමීම අධි වේගී මාර්ගයේද දකින්නට ලැබුණි. signal light දැමීම සේම  නොදැමීම එක සේ වැදගත් බව අත්දැකීමෙන් ඔවුන් ඉගෙන ගනීවි.

කෙසේ වුවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු අත්දැකීම සතුටුදායකය. මා ඇස ගැසුණු කරුණු කිහිපයකි මේ.

1. වේග සීමාව සඳහන් ඉලක්කම් කුඩා වීම - සියලුම වේග සීමාවන් සඳහන් සංඥා පුවරු වල ඉලක්කම් මීට වැඩ විශාල වුයේ නම් අගනේය. වැඩි ඉඩක් kmph. ලෙස සඳහන් කිරීමට යොදා ඇත. මා සිතන ආකාරයට මෙය අනවශ්‍ය දෙයකි. ලංකාවේ ධාවනය වන සියළුම රථ වාහන වල වේගය දක්වනුයේ පැයට කිලෝමීටර් වලිනි. ඒ නිසා සංඥ පුවරු වල නැවත පැයට කිලෝමීටර් ලෙස දැක්වීමට ඉඩ වෙන් කිරීමට වඩා වේග සීමාව විශාලව සඳහන් කිරීම වටී.(නීතිමය තත්වයක් මත මෙය සිදු කරන්නේ නම් එය වෙනස් කිරීමට කාලයයි)

2. වේග සිමා තොරතුරු  සංඥ පුවරු (information signs) නොමැති වීම - පැයට කිලෝමීටර් 100 කට ධාවනය වන රථයක් සඳහා ඉදිරියේදී අඩු වේග සීමාවකට ලඟා විය යුතු බව දක්වන  සංඥ පුවරු තිබු බවක් මගේ මතකයේ නැත. විශේෂයෙන් interchange වල මෙවැනි  සංඥා පුවරු අවශ්‍යතාවය ඉහල බව මගේ හැගීමයි. පිළිගත් ක්‍රමය අනුව සුදු පසුබිමෙහි කළු අකුරින් තොරතුරු සංඥා පුවරු වල තොරතුරු සඳහන් වේ.
File:Speed Limit 60 sign.svg
මේ ආකාරයේ  සංඥා පුවරු මගින් ඉදිරියේ ඇති වේග සීමාව ගැන පෙර අවබෝධයක් ලබා ගෙන ඒ අනුව වේගය අඩු කර ගත් හැක.
3. පිටවීම් දොරටුවෙහි වේගය පැයට කිලෝමීටර් 40 ක් වීම- අධිවේගී මාර්ගයේ සමහර පිටවීම් දොරටුවේ වේග සීමාව පැයට කිලෝමීටර් 40 ක් ලෙස සඳහන් කර ඇත. අධිවේගී මාර්ගයේ ධාවනය වන රථ සහ රියදුරන්ගේ හැසිරීම නිරීක්ෂණය කල විට මේ සීමාව ඉහල නැංවිය හැක යන්න මගේ අදහසයි. ඉදිරියේදී පිටවීම් ස්ථාන වල අඩු වේග සීමාවක් නිසා ඇතිවන තදබදය තුල  අධි වේගී මාර්ගයේද අවහිරතා ඇතිවිය හැක.
4. ඇතුළු විය හැකි රථ වාහන වල උපරිම උස ඇතුළු වීමට පෙර සඳහන් නොවීම හා අවබෝධයක් ලබා ගත නොහැකි වීම- අධිවේගී මාර්ගය තුල flyover ගනනාවක් ඇත. මේ නිසා ඇතුළු වන රථ සඳහා උස සීමාවක් දැක්වීම අවශ්‍යය. එසේම ඒ උස ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ඇතුළු වන ස්ථාන වල ඉහලින් දම්වැල් වැනි යමක් එල්ලා තැබීමෙන් රියදුරන් හට තම වාහනයේ උස තක්සේරු කල හැකිය.
5. Flyovers වල උස සඳහන් කිරීම - බොහෝ flyovers වල උස සඳහන් වන්නේ එහිම වම්පසය. විශේෂයෙන් ට්‍රක් රථ රියදුරන්ට මේ උස දැකගැනීම අපහසුය. flyover වලට පෙර උස සඳහන් කර වැරදීමකින් හෝ ඇතුළු වූ  උස වැඩි වාහන සඳහා නැවතීමේ මං තීරුවක් එක් කිරීම අනාගතයේදී වඩා වාසිදායක වනු ඇත.

6. අතරමග නැරඹුම් ස්ථාන ඇති කිරීම- මා ඉහත සඳහන් කර පරිදි පරිසරයේ සුන්දරත්වය විඳීමට ස්ථාන (scenic view) නිර්මාණ කර ඒ සඳහා යා හැකි වන පරිදි  අතුරු මං තීරු නිර්මාණය කිරීමෙන් සංචාරකයන් ආකර්ශනය කරගැනීම අවස්ථා සැලසේ. මේ ස්ථාන ගිමන් නිවන ස්ථාන(rest area) ලෙසද යොදාගත හැක.

Monday, 23 December 2013

ඉන්ද්‍රානි - වසන්තයේ මල් කැකුලකි

ඉන්ද්‍රානි පෙරේරා සිංහල ගීතයේ අසම සම ගායිකාව යි මම කවදාවත් නොකියමි. එහෙත් ඇයගේ කටහඬ අසම සම යයි පැවසීමට බිය නොවෙමි.

සිංහල ගීත ඉතිහාසයේ කලින් කල වැජඹුන ගායිකාවන් ගණනාවක් සිටි. රුක්මනී දේවිය ගේ සිට ලතා/ඇන්ජලින්/ නන්දා මාලනී මින් කිහිප දෙනෙකි.  තවද චන්ද්‍රලේඛා, දීපිකා ආදී  ගායිකාවන්ද සිංහල ගීතයට එක් කල නිර්මාණ අති විශේෂය. මෙසේ කී නොකී බොහෝ ගායිකාවන්ගේ කටහඬ මිහිරිය. කෙනෙකු මුසපත් කල හැකි කටහඩක් මේ සෑම ගායිකාවකටම ඇත. ඉන්ද්‍රානි ගේ කටහඬ මේ සෑම කටහඩකටම වඩා සුවිශේෂිය. මේ සුවිශේෂී බව නම් එහි ඇති cheerful බවය. සැබවින්ම අනෙකුත් ගායිකාවන් අභිබවා යන සතුට ප්‍රීතිය උතුරා යන සොම්නසින් පිරී ගිය කටහඬක් ඇයට සතුය.

ඉන්ද්‍රානි සැබවින්ම 'Product of Clarence'යි කිවොත් නිවැරදිය.  ක්ලැරන්ස් ගේ ගීත චාරිකාවේ එක් එක් කාලවලදී විවිධ ගායිකාවන් සිටියද ඉන්ද්‍රානි තරම් එය වර්ණවත් කල තවත් ගායිකාවක් නැති තරම්ය. ක්ලැරන්ස් ට පමණක් හසුඋනු අනිත් බොහෝ නිර්මාණ කරුවන් නොදුටු ඒ සුවිශේෂී ගුණය කුමක්දැයි මට තවමත් ප්‍රෙහෙලිකාවකි. මා සිතනුයේ මුලින් සඳහන් කල කටහඬේ ඇති cheerful බවය.

'වසන්තයේ මල් කැකුලයි..' ගීතයේ 'හා... හා හා..හ්ම්..හ්ම්...'යි ගයන කොටස මා සඳහන් කරන cheerful බව සඳහා ප්‍රමාණවත්ය. එච් ඩී  ප්‍රේමරත්නයන්ගේ  'සිකුරුලියා' චිත්‍රපටයේ සුවිනිතා විමලවීර රඟන 'නාමලී' ගේ චරිතය කෙතරම් කෙළිලොල් නිදහස් ප්‍රීතියෙන් පිරී එකක්දැයි පැවසීමට මේ ගීතය ප්‍රමාණවත්ය. පෙම්වතා එනතුරු බල සිටින යුවතියකගේ සිතේ පවතින දෙගිඩියාවට වඩා එහා ගිය බලාපොරොත්තුව, සතුට, දඟකාරකම ගෙනෙන්නේ ඉන්ද්‍රනිගේ කටහඬ ය.

ඉන්ද්‍රනිගේ ම ගීතයක් වන 'පවුරු වළල්ලක් බැඳලා...' ගීතයද මා සඳහන් කල ඉහත කටහඩේ ගුණය විදහා දක්වන තවත් ගීතයකි. පවුරු වළල්ලක් බැඳ තිබුනද එය බිඳ ගෙන එන බව දනවන සොම්නස් සිතුවිල්ල අපට හඟවන්නේ ඉන්ද්‍රනිගේ කටහඬයි.

නොයෙකුත් සංගීත තරඟ වල ප්‍රවීන ගායිකාවන්ගේ ගීත ගායනය කරනවා අසා ඇත්තෙමු. සමහරු ප්‍රවීනයන්ගේ කටහඬ අනුකරණය කරයි. සමහර අවස්ථා වලදී එය සාර්ථක වේ. නමුත් ඉන්ද්‍රනිගේ ගීත ගායනය අනුකරණය කිරීමට උත්සහා කරනවා මා කිසි විටෙක දැක නැත. සැබවින්ම ජෝතිපාලගේ කටහඬ සේම ඉන්ද්‍රනිගේ කටහඬ ද ඇයට පමණි.

වසන්තයේ මල් කැකුලයි 
දසන්තයේ නලරැල්ලයි 
මගේ ගෙලේ හර සොල්ලයි 
ඔබේ නෙත් කැලුම් ඉල්ලයි 
අදත් මගේ අතින් අල්ලයි 

ගලින් ගලට පැන දිදුලන පෙණ කැටි මත්තේ 
මලින් මලට ඉගිලෙන සමනල තටු මත්තේ 
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ 
බලා සිටින්නෙමි තවමත් අයි ඔබ නැත්තේ 

ඈත මග දිහා බලලා නෙත කකියනවා 
සිතේ කාන්සිය හා මට තරහත් එනවා 
පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉන්දින්නම් හෙට 
ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්


http://www.youtube.com/watch?v=CGNhj30shK4