Showing posts with label ගීත. Show all posts
Showing posts with label ගීත. Show all posts

Tuesday, 13 April 2021

Lenin in Paris

 'Lenin in Paris' මොස්කව් Art Gallery එකේ තියෙන චිත්‍රයක්. සමහරු කියන්නේ ඒ චිත්‍රයේ ඉන්නේ ලෙනින් ගේ බිරිඳ සහ ලෙනින් ගේ පසුව සෝවියට් සමුහාණ්ඩුවේ බලයට පැමිණි ජෝෂප් ස්ටාලින් කියලා (https://m.facebook.com/.../a.1239205.../1708812335923218/...). මේ කතාව නිවැරදි නම් චිත්‍රයේ අර්ථය සත්‍යයි. එනම් ස්ටාලින් පාලනය ලබා ගත් ආකාරය සහ පාලනය ගෙනගිය ආකාරය. වරෙක Nadezhda Krupskaya ඒ කියන්නේ ලෙනින් ගේ බිරිඳ ස්ටාලින් ට ලියනවා රෝගී වෙලා සිටින ලෙනින් ට ස්ටාලින් සලකන ආකාරය හරිම නින්දිතයි කියලා. 

මේ ගීතයේ කියෙවෙනවා තව නමක්. ඒ ඉනේස්සා (Inessa Armand). ඇය රුසියානු විප්ලවයට සක්‍රියව දායක වුනු ප්‍රංශ යුවතියක්. කතාවක් තියෙනවා ඇය ලෙනින් ගේ පෙම්වතිය කියලා. එතකොට චිත්‍රයේ නම සමග තව සම්බන්ධයක් එනවා. ලෙනින් ඇත්තටම ප්‍රංශයේ ද නැති නම් ඔහුගේ පෙම්වතිය සමග ද කියලා. ගීතයේ සහ චිත්‍රයේ සහ සම්බන්ධය ගත්තාම ඉනේස්සා ට කරන්න දෙයක් නැහැ ස්ටාලින් ගේ ක්‍රියාකලාපය ගැන. ඔහු ඒ විනාශ කරන්නේ ලෙනින් මහත් පරිශ්‍රමයෙන් නිරිමාණය කරපු සෝවියට් දේශය. ලෙනින් සහ පවුල පමණක් නොවේ ඔහු රුසියාවේ අසහාය ලේඛක මැක්සිම් ගෝර්කි ව විනාශ කරන්නේ සුක්ෂමව. 

මේ ගීතය තියෙන්නේ ඉනේස්සා ගේ පාපොච්චාරණයක් වගේ. අනාගතයේදී ලෙනින් නැති සෝවියට් දේශය ගැන කතා කරන්නේ හොයන්නේ පැරිස් හරහා ගලා යන සෙන් නදිය අසබඩ. මේ තව hint එකක්. එනම් බටහිර ලෝකය තමයි බිඳ වැටුණු සෝවියට් දේශය ගැන කතා කරන්නේ.. 1990 සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටුණු පසු  ලෙනින් ගේ මල සිරුර පමණක්  එක කාමරයක තබා තියෙනවා ප්‍රදර්ශනයට. ලෙනින් ගේ පිලිරු ලෙනින් නමින් නම් කල නගර සියල්ල යලි වෙනස් වෙනවා. ලෙනින් ට ඉතිරි උන්නේ ඒ කාමරය පමණයි. 

ලෙනින් ගිය පාරේ යන්න උත්සහ කරන අය කතා කරන්නේ නැහැ ඔහු සමග සිටි ස්ටාලින් ගැන. මට ලෙනින් සමග අවුලක් නැහැ. එත් ස්ටාලින් ගැන නම් විස්වාසයක් නැහැ...

Lenin in Paris චිත්‍රය 

https://www.youtube.com/watch?v=o6vx3Qn_6o4



Sunday, 8 July 2018

ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ..

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..

රන් කෙන්දෙන්..

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///

https://www.youtube.com/watch?v=-RJo99_nefY

මා මහප්‍රාණ සිනමාවට වඩා සලර සිනමාවට කැමතියි. මට ලෙස්ටර්ගේ 'ගම්පෙරලිය', 'නිධානය' ට වඩා 'දෙලොවක් අතර' ලස්සන එකයි. ධර්මසිරිගේ 'තුන්වෙනියාමය' භව දුක' ට වඩා 'හංස විලක්' මට ප්‍රිය මේ නිසයි. එසේ බැලූ කල දුහුළු මලක් ද මගේ ප්‍රියතම ලක්ෂණ පිරි චිත්‍රපටයෙකි. 1976 තර ගත වූ දුහුළු මලක් විජය ධර්ම ශ්‍රී ගේ අධ්‍යක්ෂණයකි. සංගීතය සරත් දසනයකගෙනි. දුහුළු මලක් චිත්‍රපටයේ කතාව සිංහල සිනමාවේ සම්ප්‍රදායික ප්‍රේම කතාව අතික්‍රමණය කල කතා පුවතකි. එය අසම්මත ප්‍රේමයක් මුල් කරගෙන ගලා යයි. ටෝනි රණසිංහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද නීටා ප්‍රනාන්දු ඔහුගේ බිරිය ලෙසද රවින්ද්‍ර රන්දෙනිය අසම්මත ප්‍රේමවන්තයා ලෙසද රඟපායි. චිත්‍රපටය පුරාවටම ගීත හතරක් ඇති අතර මේ ගීතවලින් පමණක් වුවද මේ කතාව තේරුම් ගත හැක. රන් කෙන්දෙන් බැද ගීතය මෙහි තුන්වන ගීතයයි.
 නිලුපා (නීටා ප්‍රනාන්දු) සුරේ (ටෝනි රණසිංහ) ගේ බිරිඳයි. එක් දරුවකුගේ මවක් වූ නිලුපා සම්ප්‍රදායික පවුල් ජිවිතයක් ගත කරයි. සුරේ සමග නොගැලපීමක් නැති වුවත් ගැලපීමක් ද නැත. චිත්‍රපටය ආරම්භයේදීම වගේ ගෙවල් ඉස්ස්සරහින් ගමන් කරන රොහාන් (රවින්ද්‍ර රන්දෙනිය) දකින විට ඔහු ගැලපෙන්නේ නිලුපා ට බව පවසනුයේ මෙහෙකාරියයි. චිත්‍රපටයේ පළමු ගීතය වන ඉන්ද්‍රානි පෙරේරා ගේ 'සීතලේ දිලි' ගීතය නිලුපාගේ අභ්‍යන්තරය ප්‍රේක්ෂකයාට කියා පෑමට ගත් උත්සාහයකි. කෙසේ හෝ නිලුපා හා රොහාන් අතර ප්‍රේමයක් ගොඩ නැගෙන අතර, ප්‍රේමයේ උපරිමය 'බොඳ මීදුම්.. ' ගීතයෙන් ගෙනහැර පායි. අවසානයේ මිල්ටන් මල්ලවාරච්චි ගයන 'රෝමය ගිනිගැනේ' ගීතය බිරිඳගේ රහස් පෙම නිසා සිත් තැවුලට පත් ස්වාමි පුරුෂයා ගේ සිතුවිලි කියා පායි.
රන් කෙන්දෙන් ගීතය කතාවේ ඝට්ටනය ආරම්භයේදීය. නිලුපාට දෙයාකාරයක ආදරයක් හිමි. එකක් අතැඟිලි රන් කෙන්දකින් බැඳ ඇති කර ගත ආදර යයි.අනික ප්‍රේමයෙන් බැඳී සිතැඟි වලට ඉඩදී ඇති වූ ආදර යයි. කවුරු මොනවා කිවත් අසම්මත ප්‍රේමය සම්මත ප්‍රේමයට වඩා චමත්කාරය. සම්මත ප්‍රේමයේ පවතින, ගේදොර දරුවන් ගේ ප්‍රශ්න වල සිට රැට කන්නේ මොනවද කියන ප්‍රශ්නය දක්කවා කිසිත් අසම්මත ප්‍රේමයේ නැත. එහි ඇත්තේ හමු වීම, කතා කිරීම හෝ තනිවීම ආදී ප්‍රශ්නය. එය හුදෙක් හැඟීම් හා සිතුවිලි සමගින් සිතුවම් කරනා චිත්‍රයකි. ඒ නිසා වර්ණවත්ය. මොහොතකට හෝ සම්මත ප්‍රේමය අසම්මත ප්‍රේමයේ ප්‍රශ්න වලින් පුරවා ගත කල එය අසම්මත ප්‍රේමයට වඩා රසවත්ය. වර්ණවත්ය.
කෙසේ වෙතත් අසම්මත ප්‍රේමයේ දී අවසානය රසවත් නොවේ. සමහරවිට එය සම්මතයට පත් වී අර රසවත් වූ චිත්‍රයම විනාස කර දමයි. සමහරවිට ජිවිත වලින් පවා විශාල  විනාසයක් ගෙනදෙයි. මේ කුමන ආකාරයකින් අවසාන වුවද ගැහැනියකට එය මහත් වෙහෙසක් එසේ නැති නම් පිඩාවක් ගෙනදෙයි. නිදහසේ පියඹා යන කිරිල්ලියක සේ අසම්මත ප්‍රේමය ගොඩ නැගුවද අවසානයේ එය විඩාවකි. එය හුදෙක් ප්‍රේම දෙකක අතරමං වීම නිසා පමණක් නොවේ. සමාජයෙන් තමා චපල ගැහැනියක්ඇ යයි ඇතිවන බලපෑම සේම තමන් ආදරය කරන කෙනෙකුට කරනා රැවටීම සමගින් තමන්ට ආදරය කරන කෙනෙකු සමග ඒ ආදරය විඳීමට නොහැකි වීම නිසා මානසිකව ව්‍යකුලත්වය මෙසේ ඇයට විඩාව ගෙන දෙයි. එක් අතකින් බැලු කල මේ ගැහැණිය ප්‍රේමය උපරිමයෙන් හිමිය. ඇයට සම්මත හා අසම්මත ප්‍රේමයේ ඉවුරු දෙකම හිමිය. ඇයගේ ලෝකයේ හිරු කසාද සැමියා ය. ඇයගේ ජීවිතය එළිය කරනුයේ ඔහුය.  එසේම ඇය සොයන සෞම්‍ය වූ සෙනෙහස ආදරය ගෙන එනුයේ ඒ අසම්මත පෙම්වතාය. ඔහු සඳු සේ ය. සෞම්‍ය ය. ජිවිතයේ විඩාව නිවාලයි. ඇයගේ දෑත මේ දෙදෙනාටම හිමිය. මේ හිරුත් සඳුත් දෙකම ඇති විට වුවද ඇයගේ ප්‍රේම විජිතයම අඳුරුය.
ඇය, ඇයට අවශ්‍ය දේ සොයයි. එත් සමාජ සම්මතයන් ඒ සියල්ල අභිබවා යයි. මේ සමාජ සම්මත රීතින් හරියට කනාටු සුළගක් වැනිය. එය කිසි කෙනෙකුට සිසිලක්, අස්වැසිල්ලක් ගෙන දෙන්නේ නැත. ඇය ඒ සුළඟට හසු වූ දුහුල් මලක් වැනිය. ඒ මේ අත ගසා ගෙන යයි. සමහරු ඇය නිවැරදි කියයි සමහරු ඇය වැරදි කියයි. තවත් විටක මේ සුළඟ දැඩි වූ විට මේ දුහුල් මලේ පෙති ගැලවී විනාස වී යයි. කෙසේ වෙතත් ඇයට ඇත්තේ කා ලඟට යනවාද යන ප්‍රශ්නය නොවේ. කාගෙන්ද සමුගන්නේ යන්නය. මන්ද ඇයට මේ දෙකම අවශ්‍යය.
'දුහුළු මලක්' චිත්‍රපටයේ එක් ගීතය බැගින්  ප්‍රේමකිර්ති හා ධර්මසිරි ගමගේ  රචනා කරන අතර 'බොඳ මිදුම්' ගීතය හා 'රන් කෙන්දෙන්' ගීතය අජන්තා රණසිංහ ද රචනා කරයි. රන් කෙන්දෙන් ගීතය අජන්තා රචනා කරනුයේ ගැහැණියකගේ මනසින් මේ කාරණය දකින ආකාරයෙනි. මේ පදවැල සරල ය. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයාට අවශ්‍යය කතාව පරිපුර්ණ ලෙස ඔහු ගීතය තුල සඳහන් කරයි. එයට අමතරව අධ්‍යක්ෂකට පැවසීමට හෝ සිනමාවට නැගීමට නොහැකි දේ ඔහුගේ පදවැල් තුල දැකිය හැක. දෙවන ස්ථායි කොටස මේ සඳහා කදිම උදාහරණයකි. සරත් දසනායක සංගීත නිර්මාණකරුවා සිංහල සංගීතයේ තම අනන්‍යතාවය නිර්මාණය කර ගන්නේ සිනමා සංගීතය තුලින්ය. ඔහුගේ  චිත්‍රපට ගීත බොහොමයක් තවමත් අතිශෙයින් ජනප්‍රියය. ඉන්දියානු තනු වලින් මිදී නමුත් එලෙසම ප්‍රේක්ෂක ග්‍රහණයක් ලබා ගැනීමට තරම් ඔහුගේ ගී තනු ආකර්ශනීය සේම එය සිනමාව සමග කදිමට බද්ධ වී ඇත. මෙහි මුල් ගායනය දී නන්දා ගේ කටහඬ තරුණය. නමුත් ඇය ඉන්පසු කල පටිගත කිරීම් වල ඒ හඬේ භාවපුර්ණ බවක් දැකිය හැකි අතර ගීතයේ අරුත සමග කදිමට ගැලපේ. චිත්‍රපටය අභිබවා ගීතය තවමත් ජනප්‍රිය වීමට නන්දාගේ හඬත් අජන්තාගේ පදත් සේම සරත් දසනයකයන්ගේ තනුවත් හේතු වුවාට සැක නැත.



Tuesday, 30 January 2018

කුමක් ලියන්නද සමරු පොතේ....

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ

https://www.youtube.com/watch?v=5tyWsJRELZU

සමරු පොත... අර floppy ඩිස්ක්, කැසට් පටි වගේ 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා.. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු කල පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් එක් වී තිබුනා... සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ ප්‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් තව කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි උණු බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ හිත ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.

සමරු පොතත් හරියට මුහුණු පොත වගේ තමයි. සමහරුන් ආසයි හොඳ හොඳ පණ්ඩිත වාක්‍ය ලියා ගන්න. එකත් හරියට මුහුණු පොතේ ලොකු ලොකු මිනිස්සු තමන්ගේ යාළුවො කියලා එකතු කරගෙන තමනුත් එහෙම පොරක් කියලා සිගිති වින්දනයකට පත්වෙනවා වගේ... මට මතකයි පොඩි කාලේ ගියා radio කතන්දරයක්. ඒ කතාවේ ගැහැණු ළමයට මේ වගේ පිස්සුවක් තිබුනා. එයාගේ ගෙවල් ළඟ සිටියා බොහොම පණ්ඩිත පුද්ගලයෙක්. දවසක් මේ ගැහැණු ළමයා ගෙනත් දෙනවා සමරු පොත අර පුද්ගලයට පණ්ඩිත වාක්‍යක් ලියව ගන්න සැමරුමක් විදිහට. මේ මනුස්සයා මුළු පොත පිරෙන්නම ලියනවා. එතනින් පස්සේ කාට දෙන්නද සමරු පොත...කොහොම පෙන්නන්නද තමනුත් ආශ්‍රය කරන්නේ පණ්ඩිත මිනිස්සු කියලා...

මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි..සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා.. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා...දවසක් එහෙම ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත ත් පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා ඒ වෙලාවේ... ඒ චකිතය නිසාම කුමක්මේ ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ..

සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති... මගේ උසස් පෙළ පන්තියෙත් හිටියා සමරු පොතක් පන මෙන් රැක්ක කොල්ලෙක්. ඔහු ගේ සිත් ගත්ත කෙල්ලක්. මේ ප්‍රේමයකට මුල පුරන කාලය. මේ කෙල්ලගේ සමරු සටහනක් තිබුන මේ කියන සමරු පොතේ.. මේ වගේ දේවල් වලට අකුල් හෙලීමට තිබුණු කෑදර කමට දිනක් මේ පොතේ ඒ සමරු සටහන තිබුණු පිටුවෙම අනිත් පිටේ මා සහ තවත් මිතුරෙක් ශුද්ධ සිංහලෙන් සටහනක් තැබුවා. සිත ගිය තැනැත්තියගේ නිසා ඒ පිටුව ඉරලා දාන්නත්සැ බැහැ...ශුද්ධ සිංහලෙන්හෙ ලියලා තිබුණු නිසා නොඉරා ඉන්නත්න බැහැ...  කාලයක් ඔහු මේ අසමත්ජාති වැඩේ කලේ කවුද කියලා හෙව්වා... 

ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායක ගේ... වික්ටර් ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ... ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා...අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.


Monday, 24 July 2017

දඟකාර ඔය දෑස දුටුවා එදා ...

දුරකථනය නාද වෙන්නට විය.
'හලෝ..'
කිසි හඬක් නැත..මම ස්වල්ප මොහොතක් නිහඩව සිටියෙමි. එක වර ඉකිබිඳ  අඩන හඩක් අනෙක් කෙළවරින් ඇසෙන්නට විය.
'හලෝ... කවුද මේ..' මම නැවත හඬ අවදි කලෙමි. දුරකථනය විසන්ධි විය. මම ඇමතු අංකය දෙස බැලුවෙමි . මා හට හුරු අංකයක් නොවේ. නැවත ඒ අංකයෙන්ම දුරකථනය නාදවෙන්නට විය. මා විසන්ධි කරන්න සිතුවත් නැවතත් ඒ අංකය හා සම්බන්ධ විය. මෙවර මම  වචනයක්වත් නොකෙලෙමි.
'හලෝ අයියා... ඔයා මොකද අපේ පොඩි අක්කිව අඩවන්නේ..' එහා පැත්තෙන් එකවරම ලාබාල තරුණියක් කතා කරන්නට විය.
'කවුද මේ..' මම ඇසීමි.
'කාංචනා.. මතක නැද්ද මාව..'
මගේ උගුර හිර විය. වචන අමතක ය. අවසන් වර ඇය මුණගැසුණු අවස්ථාවේදී මා ඇයට මගේ නොම්බරය දුන්නා මතකය. එහෙත් මෙවන් ඇමතුමක් මා කිසිදින බලාබොරොත්තු නොවිය. මා නැවත කතා කරන්නට විය. උදාරිගේ ඉකි බිඳුම් හඬ මහා හෙන හඬක් සේ මගේ දෙසවන් දෝංකාර දෙන්නට විය. මොහොතක් වික්ෂිප්තව සිට යලිත් මා කාංචනා අමතන්නට විය.
'කෝ.. උදාරි ඔතන ඉන්නවද.. එයාට ෆෝන් එක දෙන්න..'
'එයා තාම අඩනවා... කතා කරන්න බැහැ ලු'
'කාංචනා මට අක්කව හරි ඔයාව හරි හම්බ වෙන්න ඕනනේ.. ඉක්ක්මනට'
'පොඩි අක්කි අවොත් ඔයා එයාව ආපහු අඩවයි.. මම එන්නම්.. එත් අද නම් බැහැ...'
'හරි.. හෙට ඉරිදා උදේ MC එකට එන්න පුලුවන්ද..'
'OK අය්යා... bye'
**********************************
උදාරි...සම වයසේ මගේ මිතුරියකගේ වැඩිමහල් නංගිය. මා ඇයගේ නිවසට යාම් ඒම්  ආරම්භ කලේ සාමාන්‍ය පෙළ විභායට සුදානම් වන කාලයේදීය. මගේ මිතුරියට තිබු අධික අධ්‍යාපන උනත්, විභාගයට මාස කිහිපයක් වීමත් මේ ආරම්භයට මුල් විය. අප දෙදෙනා එකතු වී පාඩම් කිරීම දෙදෙනාටම යහපතක් විය.

උදාරි මා සමග ඉඳ හිට කතා බහ කරයි. නොදන්නා පොත පතේ දෙයක් තිබුනොත් අසයි. ඒ හැර උදාරි යනු තවත් මා දන්නා හඳුනන එක් කෙල්ලෙක් පමණක් විය. දවසක් ඇය අක්කා නැති විටෙක කාමරයේ දොර අසලට පැමිණ මා දෙස බලා සිටින්නට විය. ඇයගේ දෙනෙත් වල තිබුනේ වෙනදා නොදුටු දඟකාර කමකි. මා 'ඇයි?' දැයි විමසිය.. ඇය ඔච්ච්චමට මෙන් සිනාසුණාය. ඇගේ නෙත් තවත් දීප්තිමත් විය. මම නැගිට ගොස් ඇගේ නාසය මිරිකන්නට උත්සහ කළෙමි.  එලෙස කරන්නට මා හට ආත්මශක්තියක් අවේ කෙසේදැයි මම නොදනිමි. ක්ෂණයකින් මගේ අත අල්ලා ගත් ඇය මගේ පපුවට තුරුළු විය. මා බලාපොරත්තු වුයේ ඇය එතනින් ඉවත්වේ යි කියාය. මොහොතක් එලෙස සිටි උදාරි 'අක්කා එවි...' යි කියා මගේ කම්මුල සිප එතනින් ඉවත්ව ගියාය.

ජිවිතයේ සෑම දෙයම සැලසුම් සහගතව සිදු නොවුනත් ජීවිතයේ කුඩාම කුඩා සිදුවීමක් මුළු ජිවිතයටම බලපායි. ඒ  මොහොතේ සිට මා මේ ලෝකෙයේ සිටියා දැයි මට මතක නැත. ඇගේ අක්කා මා අසල වාඩි වී මොකද්දෝ විද්‍යාත්මක ක්‍රමයක කරුණු පවසයි. මා හු මිටි දෙමින් නිමේශයකට පෙර සත්‍ය ලෙස සිදු දෙය සමගින්  සිහින ලෝකයේ සැරිසරමින් සිටි.
මට යලිත් උදාරි ව දැකීමේ තද බල අශාවත්, ඇය මුණගැසීමේ  උවමනාවත් තදබල ලෙස වද දෙමින්  තිබේ. ලැබුණු  සුළු මොහොතක මම කොළ කෑල්ලක උදාරිට වචන කිහිපයක සටහනක් ලියුවෙමි.

"උදාරි, ඔයාගේ දඟකාර ඇස් කියූ කතාව සැබෑවටම ඇසීමට මා බල සිටිනවා. ගණන් පංතියට ඉස්සෙල්ලා මිනුවන්පිටිය කනත්තේ උසම සොහොන් කොත ලඟදී මාව මුණ ගැසෙන්න."

ඇය මුණගැසිය යුතු අවස්ථාව, කාලය හෝ තැන කෙලෙස නිගමනය කළේදැයි මම නොදනිමි. මොහොතකට පෙර ලැබූ ඒ නුහුරු අත්දැකීම අත්භූත බලයක් සේ මාව මෙහෙවන්නා සේය.

මිතුරියගේ නිවසින් පිටව යන මොහොතේ උදාරි යලිත් දොර ලඟට ආවය. මා කාටවත් නොපෙනෙන ලෙස ඇගේ අතේ මා ලියු කඩදාසි කැබැල්ල තැබිය. හිමින් සැරේ 'දෙකාහමරට' යි පැවසිය.

මම ඇයට පෙර මා කියූ ස්ථානයට ගියෙමි. ලොවට හොරා මුල් වරට යුවතියක් මුණ ගැසීමට මා බලා සිටි. පපුව තුල මහා බරක් සමග චකිතයත් නොඉවසිල්ලත් සමග මට දැනනුයේ ඔරලෝසුවේ තත්පර කටුව පැයක වේගයෙන් කරකවෙන්නා සේය. මා ඔරලෝසුව කොපමණ වාරයක් බැලුවාද යන්න මතක නැත. මා බලාපොරොත්තු වූ ලෙසම ඇය නියමිත වේලාවටත් කලින් පැමිණියාය. කාටත් නොපෙනෙන ලෙස සොහොන් කොත් අතර අපි අපේම ලොවක මොහොතක තනි වුනෙමු. ඒ දෙ ඇස් කියූ දේ වචන වලට පෙරළිය යුතු  නැත. එය පුන පුනා ඇසිය යුතුද නැත. හැකි හැම විටම අපි මෙලෙස හමු වීමට ගිවිස ගතිමු. එකග වූ පරිදිම සියළු හමු වීම කනත්තේ දී සිදු විය.

විභාගය අවසන් විය. අප කතා කරගත් පරිදි විභාගය ට පසු දින ඇය මුණගැසීමට මා කනත්තට යන්නට විය. මහානාම පාරට සයිකලය හරවනවත් සමග මට උදාරිගේ අම්මා මුණ ගැසුණි. එකවරම චකිතයක් ආවත් තැනට සුදුසු  ආකාරයට ගැලවිජ්ජාව යොදා බේරෙන අටියෙන් මා ඇය හා කතා කාලය.

'ඇන්ටි කොහෙද මේ'
'මම යනවා ඔයාලගේ ගණන් සර් හම්බ වෙන්න.. ඔයා කොහෙද යන්නේ...'
'විභාගේ ඉවරයි නේ.. කොල්ලෝ ටික සෙල්ලන් කරන්න සෙට් වෙමු කිව්වා.. '
'බොරු කියන්න එපා පුතා.. ඔයා උදාරිව හම්බ වෙන්න යන බව මම දන්නවා..'
ම්ම් වික්ෂිප්ත වුනෙමි. කොපමණ ගැලවිජ්ජා ප්‍රගුණ කර තිබුනද  දැන් මට එතනින් එහාට කිවයුතු දෙය සිතා ගැනීමටවත් නොහැකිය. ඇය නැවතත් කතා කරන්නට විය.
'ඔයා ගැන ඔයාගේ අම්මලා වගේම අපිත් හොඳ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ වගේ දේවල් කරලා ඉගැනීම අවුල් කරගන්න එපා.. ඔයායි  උදාරි හිතන දේවල් වෙන්නේ නැහැ...' ඇය ඇගේ දේශනාව ආරම්භ කරන්නට විය.

'එත්..' මා බාධා කරන්නට සුදානම් විය.

'එත් නෙමෙයි.. ඔයා ආපහු උදාරිව මුණ ගැහෙන්න උත්සහ කරන්න එපා... මේ දේවල් මෙතැනින්ම නතර කරන්න.. ඔයා දිගටම උදරිව මුණගැහෙන්න හැදුවොත් අපි මෙහෙන් යනවා..'

'ඇන්ටි...එත්' මා යලිත් ඇගේ කතාවට බාධා කරන්නට විය. මට අවශ්‍ය වුයේ ඇය මෙය දැනගත්තේ කෙසේද යන්න දන ගණනය.

'පුතා.. ඔයා campus select වෙනවා දකින එක තමයි අපි හැමෝගෙම පැතුම උදාරි ඉගෙන ගන්න උනන්දු ළමයෙක් නෙමයි.. ඔයා ට උදාරිව ගැලපෙන්නේ නැහැ.. මේ ගැන තව කතා කරලා වැඩක් නැහැ..මම යනවා..'

හෙනයක් මා හිස මත පාත් වුව සේ මගේ හිස කරකැවෙන්න විය. මොනවා කල යුතුද යන්න පැහැදිලි අවබෝධයක් මට නොවිය. සියල්ලටම වඩා මේ කාරණය ගෙදර ට ආරංචි වේ යි සිතට නැගුනු විට තත්ත්වය තවත් බරපතල විය.

මා කනත්ත වෙත ගියා දැයි එසේ නොමැති නම් කවුරුන් විසින් මා ඔසවාගෙන ගෙයේදැයි මට නොදැනුනි. උදාරිත් මාත් මුණ ගැසුණු උසම සොහොන් කොත අසල සිට මා සියල්ල ආවර්ජනය කරන්නට විය.මා හට ප්‍රශ්නය වුයේ ඇගේ මව කෙසේ මෙය දැනගත්තාද යන්න ය. අවසානයේ මගේම පරිකල්පනයන් මත  ඇය සහ අක්කා සැලසුම් සහගතව මාව විනාශ කිරීමට කරන ලද්දක් ලෙසත් මගේ සිතුවිලි සාක්ෂි වලින් මා තීරණය කරනු ලැබිය.මා හට උදාරි සහ ඇයගේ  පවුල් කෙරෙහි වුයේ අපමණ කේන්තියකි. වරක් හෝ මට උදාරි හමු වුහොත් ඇයගෙන් කෙසේ හෝ පලිගනිමි යි සිතා ගත්තෙමි.

කෙමෙක්න් කාලය ගෙවී ගියේය. ඉගැනිමත් පාසලේ වෙන ක්‍රියාකාරකම් ගැනත් මගේ උනන්දුව හීන වී ගොස් තිබුණි. ජීවිතය දිය පාරකට ගසාගෙන යන පරඩලක් සේතැනින් තැන නැවතී නැවතී ඔහේ ගලා යන්නා සේ මට දැනිණි. වරින් වර උදාරි ගැන තිබු වයිරය විසින් මා දවා පොඩි විසුනු කරන බව මා තේරුම් ගෙන තිබුනත් එයින් නික්මීමට උවමනාවක් මාහට නොවිය.  ක්‍රම ක්‍රමයෙන් මට උදරිවත්, පලිගැනීමට තිබු උවමනාවත් තුනී වන්නට විය.

උදරිගේ ඉකිබිඳුන්ම් හඩ මා හට අසුනේ මේ සිදුවීමෙන් වසර පහළොවකට පමණ පසුවය.

***************************************************************
නියමිත වෙලාවට කාංචනා පැමිණ සිටියාය.
'ඉතින්...' මම කතාවට මුලපිරුවෙමි.
'ඇයි මට එන්න කිව්වේ..'
'මට දැනගන්න ඕනනේ ඇයි උදාරි මට එහෙම කලේ කියලා..'
'උදාරි අක්කා ඔයාට මොනවත් කලේ නැහැ අයියා... එයා ඔයාට මොනවත් කරන්නෙත් නැහැ..'
'කොහොමද අම්මා දැන ගත්තේ..'
'උදාරි අක්කට ඔයත් එක්ක Love එක වැඩිවෙලා ඔයාගේ photo එකක් පොත ඇතුලේ තියාගෙන නින්ද ගිහිල්ලා.. අම්මා කාමරයට එනකොට අහුවෙලා..'
'මම උදාරිට photo දුන්නේ නැහැනේ..'
'ඒක මගේ b'day එකේ photo එකක් . මතකද උදාරි අක්කා ඔයාගේ අතේ තිබුණු දෙයක් උදුර ගන්න පොර බැදුවා. අන්න ඒ වෙලාවේ ගත්ත photo එකක්. ලස්සන ජෝඩුව. බොහොම ආදරයෙන් රණ්ඩුවෙලා හිටියේ දෙන්නා' ඇය මහා හයියෙන් සිනාසෙන්නට විය.
'ඉතින්..'
'කිතුල්.. අපේ අම්මට ඉතින් අහු උනාම අහන්න දෙයක් නැහැනේ.... හරියට හතරවෙනි තට්ටුවට ගියා වගේ. උදාරි අක්කාට A -Z වමාරන්න උනා..'
'එත්..' මම ඇගේ කතාවෙන් සැහීමකට පත් නොවිය.
'එත්.. කියන්නේ.. අම්මා බය කරලා තිබුනේ ආපහු අහු උනොත් ඔයාලගේ ගෙදරට කියනවා කියලා.. අක්කා ඔයාව අමාරුවේ දාන්න බය උණු හින්දා සද්ද නැතුව හිටියා. අම්මා ඉතින් body guard වගේ යන එන හැම තැනම අක්කා එක්ක ගියා. අඩුම ගානේ යාලුවෙක් වත් ආස්රේ කරන්න හම්බ උන්නේ නැහැ. ඉස්ස්කොලේ ඉවර උණු ගමන් අම්මා එයාට proposal එකක් ගේනවා කසාද බඳින්න'

මා හට උදාරි කෙරෙහි කවරදාවත් නොහටගත් අනුකම්පාවක් ඇති විය. යව්වන කාලයේ ආදරයක් වෙනුවෙන් ඇය ජීවිතයම කැප කල බවක් මා හට අවබෝධ විය. කාලයක් ඇය කෙරෙහි බැඳී ෛවරය ගැන මා හට මහත් ලැජ්ජාවක් ඇති විය.

'අඩුම ගානේ මේ ටික මට දැනගන්න නොතිබ්බේ ඇයි..?'

'අවුරුදු පහළොවකට විතර පස්සේ call එකකට ඔයා මෙච්චර කුලප්පු උනානම්... ඒ කාලෙම දැන ගත්තනම් මොනවා නොකරයිද? සිද්ද්ධ වුනු විදිහ තමයි අයියේ හොඳම..' කාංචනා මහා පණ්ඩිතයකු සේ මට පිළිතුරු සැපයුවාය.

'දැන් උදාරි කොහොමද...'

'එයා දැන් දෙදරු මවක්... දයාබර බිරිඳක්...හොඳ ගෘහනියක්...ආදරණිය මවක්..හැබැයි ගොන් කණුවක්...' කාංචනා යලිත් මහා හයියෙන් සිනාසෙන්නට විය.

'ඇයි ගොන් කණුවක් කියන්නේ...'

'නැති නම් හලෝ අවුරුදු පහළොවකට පස්සේ ඔයාට කතා කරලා පරණ දේවල් අවුස්සනවද....'

'එහෙම නෙමයි එයා සතුටින්ද ඉන්නේ...'

'සතුටින්ද ඉන්නේ....' කාංචනා මා ඇසු දෙය පුනරුච්චාරණය කරන්නට විය.

'අයියා... ඒ සිද්ධියෙන් පස්සේ පොඩි අක්කි ගොඩක් වෙනස් උනා...පොඩි අක්කි තමයි ගෙදර වැඩින්න්ම දැඟලුවේ...එදායින් පස්සේ එයා ගොඩක් තැන්පත් උනා... කතා කරන එක අඩු උනා... ගොඩක් වෙලාවට තනියම හිටියේ.. හැමෝටම දැනුනා එයාගේ පැහැදිලි වෙනසක්..මම දන්නේ නැහැ අයියා එයා ඇයි එහෙම වෙනස් උන්නේ කියලා...තාමත් එයා එහෙමයි..දැන් එක එයාගේ හැටි වෙලා...'

'ඒ කියන්නේ එයා සතුටින් නෙමෙයිද ඉන්නේ..'

'දන්නේ නැහැ අයියා... කවුරුත් එයාගෙන් ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ... ලොක්කි ඉතින් වැඩ කරන්නේ එදා ඉඳන් professional විදිහටනේ..මාත් එක්ක විතරයි ඔය අනං මනං කතා කරන්නේ... එත් මට එයාගෙන් ඔයා අහන ප්‍රශ්නේ අහන්න තරම් හයියක් නැහැ....'

අප ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛියව ගමන් කරන ජිවිතයක් පැතුවද ඉතා සියුම් බලපෑමකින් වුවද කෙනෙකුගේ ජිවිතයේ ගමන් මාවතද ගලා යාමේ වේගයද වෙනස් කරයි. මේ සිද්ධියෙන් මගේ ජීවිතය ගමන සුළු වෙනස් කමකට මුල පිරුවද නැවත එය නිවැරදි මාවතට ගෙන ඒමට මට හැකි විය. එත් උදාරිගේ  ජීවිතය යලිත් තිබු තැනට ලඟා විය නොහැකි තරමට වෙනස් වී ඇත. සමහර විට ඇය වෙත මවගෙන් ඇති වූ පීඩනය නිසා මෙසේ වන්නට ඇත.

'මොනවද කල්පනා කරන්නේ...' කාංචනා මා සමවැදී උන් කල්පනාව බින්දාය.

'මුකුත් නැහැ..,.'

'බොරු කියන කොට අහුවෙන්න නැති වෙන්න කියන්න ඔයාත් දන්නේ නැහැ... මුකුත් තියෙනවා... හරි මට දැනගන්න ඕනනේ නැහැ...'

'මම දැන් යන්නද...' කාංචනා තම ඇත බෑගය ළයට තුරුළුකර ගනිමින් ඇසුවාය.

'හරි නංගි මම ඔයාව ඇරලවන්නම්...කොහෙටද යන්න ඕනනේ...'

'අර කනත්තට... ඇය යලිත් මහා හඬින් සිනා සෙන්නට විය. අවට සිටි පිරිසට ඇයගේ සිනහා හඬ අසුනේ දැයි සැකයෙන් මම  නිරායාසයකින් අවට සිටි උන් දෙස නෙත් යොමු කලෙමි.

'පිස්සුද...' මම පහත් හඬින් ඇයගෙන් ඇසිය.

'ඔයාට නේ අය්යේ පිස්සු... නැති නම් මුලින්නම කෙල්ලෙක්ට ආදරය කරන්න සොහොන් පිට්ටනියක් හොයා ගනීද..?'

https://www.youtube.com/watch?v=FZT13AQT38Y

සනත් නනදසිරිගේ බටහිර ආරෙට ගැයුණු ගීත කිහිපය අතරින් නිසකයෙන්නම හමුවන ගීයකි. මේ ගීතයේ වැයෙන brass හඬ නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. මා සිතන්නේ මේ ගීතය නිර්මාණය වූ කාල වකවානුවේ ගීත සමග සැසඳ වූ විට saxophone හඬ ප්‍රබලවම යොදා ගත් ගීතයක්. ගීතයේ වචන වලින් දනවන ශෝකයත්, යව්වනය ආවේගයත් ගීතයට ගෙනෙන්නේ ඒ saxophone හඬ. ඉතා සියුම් ලෙස ගිටාරයේ  distortion තාක්‍ෂණය යොදාගෙන ඇති නමුත් මෙය මුල් නිර්මාණයේ තිබුණාදැයි සැක සහිතයි.

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන

Sunday, 25 June 2017

සුද්දි නගේ නුඹෙ හිනාව....


කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ //

වක්කලමේ තොටමුණ ලඟ දිය රල සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේ
ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ //

කුඹුක් ගහේ...

උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණම ඇයි හොඳ නැතිවද නගේ
හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ //

කුඹුක් ගහේ...




කිහිප විටක්ම මේ ගීතය ශ්‍රවනය කර ඇතත් සමහර ගීත මෙන් මේ ගීතය පිලිබඳ එක වර සිත ඇදී ගොස් නොතිබුණි. වෙනත් ගීතයක පදවැල් සොයන අතරේ මේ ගීතය හමු විය. පදවැල කියා වූ සැනින් ගීතය පිලිබඳ ඇති වුයේ ඉතාමත් සොම්නස් සහගත හැඟීමකි. ගීතයේ අදහස කියා පැමට යොදා ගත් පාරිසරික සාධක ඉතා මනරම්ය. වචනයෙන් වචනයට පේලියෙන් පේලියට රචකයා ස්වභාව චමත්කාරය සමග ගෙන එන උපමා රූපක අපුරුය. ඇත්තෙන්ම සුද්දී නගාට මේ ගීතයේ කියන දේ වැටහ ගනු හැකි වන්නේ මේ පරිසරයේ චමත්කාරය  හා සිංහල සාහිත්‍ය පොත පත විඳ ඇත්තම් පමණි.
කුඹුක් ගස් වැඩෙන්නේ ගංගා ඉවුරුවල. අඩි 50-60 පමණ උස යන කුඹුක් ගසේ මල් පිපින්නේ එක කාලයකට. ඒ බොහෝ විට අවුරුදු කාලයට වගේ. මල් පෙනුමෙන් කුඩා නමුත් එක ඉත්තට පිහිටීම නිසා මල් පිපෙන කාලයට කුඹුක් ගස් හරියට මල් රෙද්දකින් වැසිලා වගේ. මේ මල් වලට පොරකන බඹරු නර්තනයක් ඉදිරිපත් කරනවා හා සමානයි. කුඹුක් මල් වල බඹරු නටනවා පමණක් නොව තිඹිරි ගෙඩි රතු පාටට ඉදී අතු නැමිලා ඇත. සිංහල කවියා රත් පැහැ ගැන්වුණු තිඹිරි ගෙඩි උපමා කරනුයේ නව යොවුන් කාන්තාවන්ගේ පයෝදර වලට. පරාභව සුත්‍රයේ එක තැනක කියෙවෙනවා 'වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන..' (https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA). මේ සියළු පාරසරික කාරනා අතර ඔවුන් නොවුන් හඹා යන සමනළ රංචුවක් සේ සිත ඒ මේ අත දුවනවා. එත් ඒ සිත, ඒ දණ්ඩකින් යනවා වගේ ඒ මේ අත වැනෙන සුළුයි. ඒ උනාට සුද්දී නගා ගේ සිනාහව ඉද්ද කැකුලක් වගේ. ඉද්ද පොහොට්ටු පිපෙන්න පෙර ඉහලට ඉස්සිලා තියෙන්නේ. හරියට ආඩම්බර කමට උඩ බලාගෙන ඉන්නවා වගේ. වගේ තමයි සුද්දී නාගගේ හිනාවත්. එය අලංකාරයි. නමුත් ඒ හිනාව කිසිම සුබදායක ඉඟියක් දෙන්නේ නැහැ කතානායකයට.

කුඹුක් මල්
(https://apeosupela.blogspot.com.au/
2014/09/terminalia-arjuna.html)
තිඹිරි
(http://rasikalogy.blogspot.com.au/2017/04/blog-post.html)


ගඟක් නැමෙන තැන තමයි වක්කලම නිර්මාණය වෙන්නේ. වක්කලම බොහෝ විට ගඟේ ගැඹුරු ස්ථානයක්. මේ නිසා තමයි මිනිස්සු තොටමුණ වක්කලමේ නිර්මාණය කරන්නේ. සුද්දී නගා නාන්න එන්නේ මේ තොටුමුණට. අපේ කතා නායකයා කියන්නේ තොටුමුණ ළඟ දිය පාර සැර නැහැ. ලංකාවේ ගැමියන් බොහෝ විට කියන දෙයක් තමයි දිය පාර සැර නැති නම් ගඟ ගැඹුරුයි කියලා. ඒක නිසා සුද්දී නගාට හදිස්සි වෙන්න කාරනවකුත් නැහැ.ඒ එක්කම ගහල වැලේ මල් පිපිලා එකෙන් මුවාවෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා. හරියට ආරුක්කුවක් වගේ. කාටවත් පෙන්නේ නැහැ. මට නම් ගහල කිව්වම මතක් වෙන්නේ හබරල කොලය වගේ ගහක්. අල බහින්නේ පොළවේ නේ. එකේ පිපෙන්නේ එක මලයි එක ආරුක්කුව වගේ නැමුනත් මේ කියන කතන්දරයට සමීප නැහැ. මේ කතා කරන්නේ 'වැල් අල' ගස් ගැන වෙන්න ඇති. එකේනම් මල් පිපෙනවා විශාල ලෙස. නමුත් සුද්දී නගා යනවා බිම බලාගෙන ලජ්ජාවෙන් මුණ රතු කරගෙන. කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ කතා නායකයට.

ඉලුක්
(http://savi.lk/ඉලුක්/)
අවසන් පදවැල් කිහිපය හරියට සුද්දී නගා ගෙන් බලාපොරොත්තුවන පිළිතුර නොලැබෙන නිසා ඇතිවන නෝක්කාඩුවක ස්වරුපයක් ගන්නේ. සුද්දී නගා උන පඳුරේ සිලි සිලි හඬත් සමග මුමුනන සිපදය ඔහුට පමණක් අසුනාම තියන වැරැද්ද මොකද්ද කියලා අහනවා. එසේම ඔහු කියනවා වෙන කාගේවත් හිතකට මේ වගේ එබිකම් කරලා නැහැ කියලා. අවසානයේ කියන්නේ ඔහු ගේ හිත නමැති ඉවුර ළඟ ඉලුක් මලක් වෙන්න එපා කියලා. ඉලුක් ගහ තණකොළ ගහ වගේ ටිකක් විශාලයි. එකේ මල සිහින් දිගටි මලක්. නමුත් පොඩි සුළඟකට පවා මේ මල විසිරිලා යනවා. කතා නායකයාගේ සිත් ඉවුර අසබඩ ඉලුක් මලක් වුනොත් සුද්දී නගා, වැඩි කාලයක් නොගිහින් සුද්දී නගා ගැන සිතුවිලිත් ඉලුක් මල වගේ විසිරිලා යාවි. ඒ නිසයි සුද්දී නගා ට කියන්නේ ඉලුක් මලක් වෙන්න එපා කියලා.

සුනිල් එදිරිසිංහයන්ගේ සුනිල්වන් හඩින් රසවත් වෙන්නේ  අබ්දුල් කේ. සාදික්  ගේ පදවැල සමගින් දර්ශන රුවන් දිසානායකගේ සංගීතය. සුනිලයන්ගේ හඬ ගැන තවත් විශේෂණ උවමනා නැත. ඔහු උපරිමන්න්ම ගීතයට සාධාරණය ඉටුකරයි. මට මතක ඇති ආකාරයට මේ දර්ශන රුවන්ගේ පළමු ගීත නිර්මාණ වලට එක් වන ගීතයක්. ඔහුටම අවේනික වුණු විවිධ සංගීත හඬ (භාණ්ඩ) බොහොමයක් නිර්මාණවලට එක් කර ගැනීම මෙහිදීද සිදුවී ඇත. නමුත් එය මෑත යුගයේ ඔහුගේ නිර්මාණ වන 'මට මගේ නොවන ආදරයක්' හා 'මේ තරම් සියුමැලිද කළු ගල්..' වැනි ගීත තරම් දුරට භාවිත කර නැත. අබ්දුල්  සාදික් යොදාගෙන ඇති බස හා උපමා රූපක ආදිය සහ පාරසරික ලක්ෂණ ඔහු කෙතරම් ලාංකික භුමිය සමග සංයෝජනය වී ඇති අයුරු මොනවට කියා පායි. ඔහුගේ නිර්මාණය තුල ඔහු දකින පාරිසරික ලක්ෂණ, දාර්ශනික තලයකට ගෙන යයි. එසේම පදවලට නැගුනු මේ නිමිත්ත සමගින් ඔහු කෙතරම් සිංහල සමාජය සමග බද්ධ වී ඇත්ද යන්න සිතා ගත හැක. ඇත්තෙන්ම අබ්දුල් සාදික් ගේ නම මුස්ලිම් වුවාට ඔහුගේ නිර්මාණය නම් සමහර සිංහල නිර්මාණකරුවන්ගේ ගීත වලට වඩා සුභාවිත සිංහලය.

Sunday, 27 November 2016

ලා සඳ එළියේ නා පෙති හැලිලා



විවාහයේ ප්‍රථම රාත්‍රිය ගැහැණියෙකු ට ඇතිවන සතුට,බලාපොරොත්තුව හා චකිතය කියවන වෙනත් ගීතයක් මේ ගීතය හා සැසදීමට නොහැකි තරම්ය. දයා ද අල්විස් නම් ගීත රචිකාවියගේ ජිවන අත්දැකීම් මේ ගීතය සමග මුසු වී ඇතැයි මට සිතේ. ඇයගේ පළමු විවාහය අවසන් වන්නේ ස්වාමියාගේ අකල් වියෝවෙන්ය. පසුව ඇයගේ ජිවිතයට ඇතුළුවන්නේ ප්‍රේමකීර්ති වුවද ඒ විවාහයත් සාර්ථක වන්නේ නැත. මා හට සිතනුයේ මේ ගීතය දයා ද අල්විස් ගේ ප්‍රථම විවාහයට වඩා දෙවන විවාහයට සමීප බවයි.

ලා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......

නා මල් පෙති වැටුණු යායකට ලා  සඳ එළිය වැටුණු විට එයින් ඇති වන චමත්කාරය වචනයෙන් විස්තර කල නොහැක. සිංහල ගීත සාහිත්‍ය යේ ලා සඳ එලිය ඉදිරියේ දිග හැරුණු ශුන්ගාරය සමග දිගහැරුණු ප්‍රේමය ගැන ගීත බොහෝමය. නාමල් සුවඳ මුසු වීමත් සමග මේ චමත්කාරය දෙගුණ තෙගුණ වී යයි. එසේම නාමල් සුවදත් සමග ඒ ශුන්ගාරාත්මක රාත්‍රියට පහන් බවක් එසේ නොමැති නම් නිවුණු බවක් ගෙන දෙයි.මෙවන් රාත්‍රියකදී මේ කාන්තාවගේ 'දිවි රැය' මල් සුවදින් ප්‍රබෝධමත් වී ඇත. අවට පරිසරය සේම ඇයගේ ප්‍රබෝධමත් වූ ජිවිතයේ රාත්‍රිය තම ස්වාමියාගෙන් ඉල්ලනුයේ සඳ දියයි. සඳ දිය පිවිතුරුය. එය නොකිලිටිය.ඇයට තම ස්වාමියාගෙන් අවැසි වන්නේ පිවිතුරු ආදරයයි.

මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වේ
ඔබගෙනි සැප දුක විමසන්නේ..........

ඇය මේ පුරුෂයා සමග කෙතරම් බලාපොරොත්තු තබා ගෙන ඇති බව පවසන්නට යොදා ඇති සීමිත පදවැල් ගණන අසීමිත මානයක් පෙන්වයි. අයගේ මවත් පියත් මින්පසු ඔහුය. ඉෂ්ට දේවතාවන් ඔහුය. ඇයගේ දුක සැප සොයා බැලීම සේම, මව ගෙන් පියාගෙන් ලැබුණු රැකවරණය ද මින්පසු බලාපොරොත්තු වන්නේ ඔහුගෙනි.

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳු‍නේ.................

මේ මුළු ගීතයේම සාරාංශය මේ පද කිහිපය කියයි. 'ඔබේ දෙපා මත හිස රදවන්නම් - පළමු වතාවට හිමි සඳුනේ...' යි පවසන්නේ තොල් පෙති සිඹ දෑස් පියාගෙන ය. තමන්ට හුරු පරිසරයෙන් නික්මී අළුත් ජිවිතයක් ඇරඹීමට පැමිණි ඇය වෙන කවුරුත් නොව දයා අල්විස් නම් කිවිඳි ය යි මට සිතේ. මේ ගීතයත් සමග කෙතරම් දයාබර පරහිතකාමී පුද්ගලයෙකු වුවද ප්‍රේම් ගැන මට ඇතිවන්නේ ඔහු නොකළ යුත්ත්තක් කළාය වැනි හැඟීමකි.

එච් එම් ජයවර්ධනගේ සංගීතය පද රචනාවට උචිතම සංගීතය යි සිතිය හැක. සමහර ප්‍රවීනයන් ගීත වලට සංගීතය එක කිරීමේදී ගායකයාගේ හැකියාව වගේම පද රචනාවේ අගය අතික්‍රමණය කරනවා දැක ඇත. එසේම ගායකයා සමහර විට ඒ ගීතයේ සංගීතය, පද රචනාව අතික්‍රමණය කරනවා දැක ඇත. පදරචකයාද එසේමය. බොහෝවිට ගායකයගේම පදරචනවත්, සංගීතයත් වූ ගීත සමස්තයක් ලෙස හොඳ නිර්මාණයක් ලෙස (ඕනෑ තරම් අවර ගනයේ මේ ආකාරය් ගීත ඇත.) ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ සම බර ලෙස සියළු අංග උපාංග එක්වන නිසාවෙනි. නමුත් එච් එම් සංගීතවත් කළ බොහෝ ගීත වල ඔහු ගායක/ගායිකාවන්ගේ හඬ යටපත් නොවන ආකාරයට මෙන්ම ගීතයේ වචන වලටද සම තැන ලබාදීමට උත්සහ කර ඇත. මේ ගීතයේ ද වචන වල තිබෙන සංයමය සංගීතයේ ද ඇත. මුළු ගීතය පුරාවටම වැයෙන වයලීනය ඒ සංයමය නිර්මාණය කර ඇත. වරින් වර වැයෙන තත් හඬ මේ යුවතියගේ සිතේ ඇතිවන චකිතය දනවයි

ගීතයට අවැසිම හඬ නිරංජලා ගේය. ඒ හඬේ පවතින තාරුණ්‍ය වගේම සංයමය, ගීතයේ කියන ඒ අවස්ථාව මැනවින් විදහාපායි. මා වඩාත් ආස කරනුයේ ගීතයේ සමප්තියේ ඇති මිමිනිම ටය. පළමු වතාවට ස්වාමියාගේ දෙපා මත හිස තබන යුවතියට ඇති සැනසීම හරි අගේට එමගින් දනවන්න නෙරංජලා ට හැකි වී ඇත. සිය ස්වාමියාගේ වියෝවෙන් පසු නෙරංජලා ගායනය අතහැරීම පිලිබඳ මා තුල ඇත්තේ අප්‍රසාදයකි. ඇයට තමා කැමති තීරණයක් ගැනීමට ඇති අයිතිය පිලිබඳ කිසිඳු  ප්‍රශ්නයක් නැත. එහෙත් රසිකයෙකු ලෙස ඒ හඬ අසන්නට නොලැබීම  ගැන ඇත්තේ වේදනාවකි.

Monday, 24 October 2016

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා....

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

https://www.youtube.com/watch?v=pu83h3v4KP8

දෙඇස් අන්ධ වීම කෙනෙකුට කිසිසේත්ම වාසනාව ගෙන දෙන්නක් නොවේ. බොහෝ විට එය ඔහුගේ හෝ ඇයගේ පරිකල්පන සීමාවන් ලඝු කරන්නට හේතු කාරනා වේ. එහෙත් හෙන්ද්‍රි කල්දේරා ගේ මේ ගීතය, දෙනෙත් අඳ නැති මල් සින්දු කරුවන්ගේ ගීත වලට වඩා විශාල වූ පරාසයක විහිද පවතී,
හෙන්ද්‍රි කල්දේරා ශුරින් ගේ දෙනෙත් අන්ධ වීම ආරම්භ වනුයේ කුඩා කාලයේදීය. කුඩා කාලයේදී පවා ඔහුගේ පෙනීම සාමාන්‍ය තත්ත්වයේ නොපවතී බව ඔහු ලඟින් ආශ්‍රය කල අය පවසයි. නමුත් අන්ධ වීම නමැති කාරනය ඔහුගේ හැකියාව සිමා කිරීමට නුපුලුවන් විය. 
ඔහුගේ ගීත බොහොමයක් ඔහුම රචනා කර, තනු යොදා ගායනය කල ගීතය. එච්. එම්. ජයවර්ධනයන් බොහොමයක් ගීත වලට සංගීතයෙන් දායක වී ඇත. නිසි ලෙස සංගීතය අධ්‍යනයක් නොලබ හෙන්ද්‍රි කල්දේරා ශුරීන්ගේ බොහෝ ජනප්‍රිය ගීත 6/8 beat එකේ හා Major Scale වල නිරමාණ වූ ගීතයන්ය. සමහර විට මේ රාමුව තුල ඔහු කොටු වන්නේ ඒ ජනප්‍රියතාවය නිසා විය හැක.
ගීත වල ගායනයට හා සංගීතයට වඩා ඔහුගේ රචනා වල තිබුනුයේ පුදුමාකාර ලාලිත්‍යකි. ඒවා ඉතා සරලය. ඒ ගීතවලට තේමා වුයේ බොහොම සුළු සිද්ධීන්ය. නමුත් ඔහුගේ නිර්මාණශීලි හැකියාව තුලින් වඩාත් චමත්කාර ලෙස ඒ සුළු සිද්ධිය ගීතයකට නැගීමට පුළුවන් විය. 'මිදුලෙ මිරිවැඩි සලකුණු', 'ඊයේ උදයේ', 'දාලා කරාබු', 'තාර පැටියා' ආදී මේ සියල්ල එවන් සුළු සිදුවීම් තුලින් නිර්මාණය වූ ගීතය. වඩාත් විශේෂ වන්නේ මේ කිසිවක් ඔහු දෙනෙත් වලින් නොදුටු සිදුවීම් වීමය.  පෝරුව මත සිය මනාලිය මිතුරෙකු සමග සිටිනවා සිහිනෙන් දකින්න සැබෑ ලෝකයේදී විවාහ උත්සවයක් ඔහු දැක නැත පමණක් නොව මිතුරාගේ රුවවත් මනාලියගේ රුවවත් ඔහු දැක නැත. දරුවෙකු කන විදීම, කැඩපතකින් මුනුණ බලා සිනාසීම, සුරතල් සිනා ඔහු දැක නැත. එහෙත් ඔහුට වස්තු වූ ඒ සියළු කාරනා සියැසින් දුටුවා සේ ගීතයට නැගීමට තරම් ඔහු නිර්මාණශීලි විය.
මේ ගීතයෙන් කියවෙනුයේ, ආදරය ප්‍රකාශ කරන තෙක් බලා සිටින හා ආදරය අයදින  ප්‍රේමවන්තයෙකු කතාවකි. සමස්ථ ගිතයේම කොටස් දෙකක් 'ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා' යනුවෙන් සදහන් වන අතර අනිත් කොටස් දෙක 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙන් අවසන් වේ. 'ඔබ තාම නැහැ දයාවියේ..' සඳහන් පද පේලි වලදී උදය සහ රාත්‍රිය ගැන රචකයා කතා කරයි. වෙනත් ආකාරයකින් කිවහොත් මේ පුද්ගලයා දිවා රාත්‍රිය නොබලා ඇය ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටියි. හිරු බැස යාමත්, රාත්‍රිය එළඹීම හා සඳ නැගීම ආකාරයේ පරිසරයේ චමත්කාරය අන්ධ ගීත රචකයකුගෙන් මෙලෙස වර්ණනා කල හැකිද යන්න පුදුම සහගතය.
දෙවන හා අවසන් ගීත කොටසින් රචකයා ආදරය ප්‍රකාශ කරන අයැදීම කරන්නේ 'මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි' යනුවෙනි. ඔහු පවසන පරිදි මේ කාන්තාව කුඩා කල සිට දන අඳුනන තැනැත්තියෙකි. දෙදෙනා එකට වැලිබත් උයා ඇත. එසේම අවසන් පද වැල් වලදී ඔහු ඉතා අගනා රුපකයක් යොදා ගනී. එනම් ඔහු පවසනුයේ රුවැති මල් හමු වුවත් සුවදැති මල් ඔහුට හමු නොවුණු බවයි. දෙනෙත් අඳ ඔහුට රුවැති මල් වලට වඩා වටිනුයේ සුවදැති මලය. එක් අතකින් බැලු කල මේ ඔහුගේම ආත්ම ප්‍රකාශය විය නොහැකිද?
Image result for henry caldera
හෙන්ද්‍රි කල්දේරා තරම් අන්ධ ගායකයෙකු ලෙස සමාජයේ අසරණ වූ තවත් ගායකයෙක් සිටියා දැයි. සිතිය නොහැක. සංදර්ශන වලට එක්කරගෙන ගොස් ඔහුව අතරමං කල අවස්ථා ඕනෑ තරම්ය. ගීත ගායනය කල පසු මුදල් නොගෙවා මගහැරිය අවස්ථා එමටය. අගහිඟ කමින් අන්ත අසරණ වුනු අවස්ථාවක ඔහුට තම ආත්මය වන් නිර්මාණ ටික සලාද සමග මුදලට විකුණන්නට සිදුවිය. අප කැමති නැති කටෝර සංගීතය වුවද එය ඔහුගේ දරිද්‍රතාව නමැති මහා යක්ෂයා එලවා දැමීමට යම්කිසි පිටුවහලක් වන්නට ඇත. ලෝකයේ  ඕනෑ තරම් අඳ ගායකයන් සිටි. ජනප්‍රිය pop ගායක Steve Wonder ඉන් එක් අයෙකි. නමුත් ඔවුන් හෙන්ද්‍රි කල්දේරා තරම් අසරණ නොවිය. රටක සමාජ සුරක්ෂිත තාවය වැදගත් වන්නේ සාමාන්‍ය හැකියාවක් ඇති පුද්ගලයන්ට වඩා විශේෂ ආරක්ෂණ හිමි විය යුතු පුද්ගලයන්ටය. හෙන්ද්‍රි කල්දේරාගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශිලත්වය උසස් තලයක තිබීමට ඔහු ගේ පොත පත භාවිතය පිටුවහලක් වන්නට ඇත. එහෙත් ඔහුට ද දෙනෙත් හිම අයට මෙන් හැදෑරීමේ අවස්ථාව ලැබුනේ නම් ඔහුගේ නිර්මාණ වල ගුණයත් සංගීතයේ භාවිතයත් ඔහුව බොහෝ ඇතකට ගෙන යනු නොඅනුමානය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday, 24 July 2016

මා එක්කලා අමනාපව වී දබර

මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා 
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා 
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...

හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ 
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ 
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ 
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...

මේ ගීතයේ රචකයාත්, සංගීත නිර්මනකරුවාත්, ගායිකාවත් ජීවතුන් අතර නැත. මා අසා ඇති ආකාරයට මේ ගීතය තනුවකට පදවැල් එක්වීමෙන් නිර්මාණය වී ඇත.ඔස්ටින් මුණසිංහ ශුරින් මුලින්ම මේ තනුව නිර්මාණය කර ඇත්තේ භක්ති ගීත වැඩසටහනකටය. දිනක් ප්‍රේමකීර්ති ඔහුගේ ගෙදර පැමිණි විට මේ තනුව වාදනය කර පෙන්වා ඇත. පසුව ප්‍රේමකීර්ති මේ අපුර්ව පදවැල නිර්මාණයකර  ඇත. ගීතයට අවැසිම කටහඬ මාලනී බුලත්සින්හලගේය.

මේ ගීතය ප්‍රේම් කවුදැයි යන්න එළිකරන ගීතයක්දයි මට සිතේ. ප්‍රේමකිර්තිගේ  පළමු කසාද බිරිඳ දයා ද  අල්විස්ය. ඔවුන් දෙපලට  සුරංගි නම් දුවෙක් සිටි. කෙසේ හෝ  මේ කසාදය වැඩිකල් පැවති නැත. මොනයම් හේතුවක් නිසා එය දෙදරා ගොස් ඇත. අපේ සමාජයේ කසාදයක් දෙදරා යන්නේ බටහිර සමාජයේ මෙන් ක්ෂණිකව නොවේ. බටහිර සමාජයේ දික්කසාද වීමට හෝ වෙන්වීමට දෙදෙනා අතර රුපවාහිනිය නිවසේ තැබිය යුතු දිශාව පිලිබඳ ආරවුලක් ප්‍රමාණවත්ය. අපේ සමාජයේ එවැනි දේ වලට දිකසාද වන අවස්ථා විරලය. මීට පෙර දෙදෙනා අතර නොයෙක් අමනාපකම් තිබෙන්නට ඇත. සමහරවිට දයා සමග අමනාප වී ප්‍රේම් නිවසින් ගිය අවස්ථා ද තිබෙන්නට ඇත. මා  අනුමාන කරන දෙය ඒ ලෙසම සිදුවුයේ නම් ප්‍රේම් පදවලට නගන්නේ දයා ද අල්විස් ගේ අත්දැකීම් හා හැඟීම්ය. ඒ අත්දැකීම් හා හැඟීම් ඇතිවීමට හේතුකාරනා වන්නේ ද ප්‍රේමකිර්තිය.

මෙලෙස මගේ හිතළු ගලපන අතර දයා ද අල්විස්  අතර හා ප්‍රේමකීර්ති අතර තවත් දේ ගීතවල ඇතිදැයි  මට සිතේ. දයා ද අල්විස්  ගේ පළමු සැමියා සෝමපාල රණතුන්ගයන්ය. ඔහු ද ප්‍රවීන ලේඛකයෙකි. 'ඇස් දෙක' ඔහුගේ නවකතාවකි. ඔහු මෙලොවින් සමුගන්නේ නොසිතු මොහොතකය. සමන් ආතාවුදහෙට්ටි පවසන ආකාරයට ප්‍රේමකීර්ති දක්‍ෂ ගීත රචකයෙකු වුවද පොත් කියවනවා දකිනුයේ බොහොමත් අඩුවෙනි. ප්‍රේම් කියාවා ඇති එකම නවකතාව සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව බව සමන් ආතාවුදහෙට්ටි පවසයි. ප්‍රේම් ගේ 'සද කැන් වැසිලා ..' ගීතයේ මෙලෙස පද පේලියක් වේ.

"මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයෙනු දැනේ.."

මෙලෙස බැලුකල ප්‍රේම් කියවුයේ සෝමපාල රණතුන්ගයන්ගේ  'ඇස් දෙක' නවකතාව පමණක්මද  සිතේ.

https://www.youtube.com/watch?v=OUYdnoI25Rs (සමන් ආතාවුද හෙට්ටිගේ කතාව)

කෙසේ හෝ ප්‍රේම් ගේ පෙර සඳහන් කල ගීතය ගීත විෂයෙහි බොහොම අඩුවෙන් ස්පර්ශ කරන මාතෘකාවකි. ගීතය කියනුයේ මව විසින් තම දියණියටය. මව පියා ආමන්ත්‍රණය කරනුයේ 'දුවගේ තාත්තා..' යනුවෙනි. පියා නිවසින් ගොස් ඇත්තේ මව සමග අමනාප වී මිස දුව සමග අමනාපයෙන් නොවන බව මුල් පද පෙලින්ම පවසයි. අනික මේ දබරයෙන් පියා නිවසින් ගොස් ඇත්තේ ඔහුගේ උවමනවටය.

කසාද සැමියා තමන්ගෙන් වෙන්වීම සැපතකයි සිටින කාන්තාවන් සිටිනම් ඒ ඉතාමත් සුළු පිරිසකි. මේ මගේ අත්දැකීමකි. මා රැකියාව කල ස්ථානයක දිනක් තවත් කාන්තාවන් තිදෙනෙක් මා සමග දිවා ආහාරය ගනිමින් සිටියෝය. එක් කානාතාවක් දික්කසාද වී බොහෝ කල් ය. තවත් කාන්තාවක් සැමියාගේ බිමත් කම හා අඩත්තේට්ටම් නිසා ගෙදර ප්‍රශ්න ගැන කතා කරමින් සිටි. අනෙක් කාන්තාව ගැන මා එතරම් නොදනී. කෙසේ හෝ ඇය තම යෙහෙළියට පැවසුවේ 'ඔහොම ඉන්නවට වඩා divorce වෙන එක හොදය' කියාය. එවිට දික්කසාද වූ කාන්තාව පිළිතුර වුයේ ' divorce උනාම තේරේවි රණ්ඩු වෙන්න හරි මිනිහෙක් ඉන්න එකේ අගේ..' කියාය. පවුල් අවුල් ගැන කතා එතනින් නිම විය.
ගීතයේ සඳහන් තැනැත්තිය තම සැමියාගේ නිවසින් බැහැර වීම ගැන කන්නස්සල්ලෙන් පසුවන බව පැහැදිලිය. ගේදොර අස්කර පිළිවෙලකට තබා ගන්න ඈ උත්සුක වන්නේ නැවත සැමියා  ගෙදර පැමිණෙයි යන අපේක්ෂාවෙනි. ගේ ළඟ කඩුල්ලට බැරි බරක් දරන්න සිදුවෙන්නේ කාරනා දෙකක් මතය. පළමුව තමාගේත් දුවගේත් ආරක්ෂාව සහ දෙවනුව ආර්ථික අඩුපාඩුකම් ය. පියා නොමැති නිවසට මව විසින් මේ කාරනා දෙකම සැලැස්විය යුතුය. එය මවට දැරිය නොහැකි බරකි. එපමණක් නොව සැමියා නිවසින් යෑම ඇයට සැපතක් නොවේ. රැය පුරා ඇයට නින්දක් නැත. ඒ නිසා ඇය ගෙමිදුලට වී සැමියා එනතුරු බලා සිටී. 

අඳුර එළඹෙත්ම ඔවුන්ගේ දුක කියන්නට කවුරුත් නැත. අඩුම තරමින් සඳ හෝ පායා නැත. සඳ තිබුණි නම් අඩුම තරමින් සඳට හෝ මේ දුක කිව හැක. කාලය වැය කිරීම සඳහා තරු ගනින්නේ ඒ නිසාවෙනි. මේ ගීතයේ 'සඳ මාමා' යන්න යෙදුම අපුරුය. ගීතය දුවට කියන බවත් පියා නොමැති ගෙදර මව විසින් ඇය ව සුරංගනා ලොවකට ගෙනයන්න දරන නිරර්ථක උත්සාහයත් අපුරු ලෙස හැඟවීමට ප්‍රේම්ට හැකිව ඇත්තේ මේ නිසාය. පියාව නැවත ගෙදර ගේනවා ගැනීමට මවගේ හෝ දුවගේ දුක පමණක් දන්වා යවා පලක් නැත. පියාට දෙදෙනාගේම දුක දැන්විය යුතුය. එය තල් අත්තක ලියනුයේ කඩදාසියක ලියු දෙයක් ලෙස මැකී දියවී නොයන නිසාවෙනි. මේ දුක ගැන පියාට දිගින් දිගටම මතකයේ රැඳවිය යුතුය. එවිට ඔහු නැවත මෙවැනි ගමන් නොයනු ඇත. මේ පණිවිඩය යැවීමට සුදුසුම තැනැත්තා සඳ මාමා ය. පියා ට දහවල් වෙලාවේ විවිධ රාජකාරි නිසා මවගේත් දුවගේත් දුක ගැන අවබෝධ නොවන්නට පුළුවන. එහෙත් රාත්‍රියට සඳ මාමා එනවිට පියාට තම දු සිගිත්ත හා බිරිඳ ගැන සිතුවිලි ගලාගෙන එනු ඇත. ඒ නිසා සඳ මාමා පණිවිඩය දුන් සැනින් හෙට තාත්තා ගෙදර එන බවට මවට විස්වාසයක් ඇත.

ප්‍රේම් නම් පුදුමාකාර නිර්මාණ කරුවෙකි.වචනවලට එහා ගිය දිගු කතාවක් පද කිහිපයකින් පැවසීමට ඔහුට තිබෙන හැකියාව මා පුදුම කරවයි.  ආරම්භයේ මාලනී ගේ උච්ච ස්වරයෙන් පවසන මුල් පද පේලිය වැලපිමකට සමානය. මුළු ගීතයේම හරය ඒ පළමු පද පෙලියේම කැටි කිරීමට මාලනී සමත්වී ඇත. තවත් මෙවන් කටහඬ ගීත වලට අවැසි මොතක මාලනී අප අතරින් සමු ගැනීම සැබවින්ම විශාල පාඩුවකි. තවමත් මාලනී ගේ ඒ හිස් තැන පිරවීමට කිසිම ගායිකාවක් සමත් වී නැත. මුනසිංහයන්ගේ සංගීතය ත් මුළු ගීතය පුරාවටම තිබෙන ශෝකී බව මානව පිළිබිඹු කරයි. විශේෂයෙන් අන්තරා කොටසේ වැයෙන බටනලාවත්, ගීතය සමග හඬන වයලීනයත් මුළු ගීතය පුරාවටම හදවතේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත් වී ඇත.


Sunday, 19 June 2016

අමතනු මැන මගේ දුරකථනය අංකය 24....

මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත්  නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.

'දැන්  එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.

'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.

අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ  ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.

සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.

ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම  යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.

'කතරක තනි වී  ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'

මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර  පද කවි  ආකෘතියට ලියවුනු  ගීතය.  මේ එක උදාහරණයකි.

'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම           සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන            සංසාරේ'

නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.

වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත.  'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින්  තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.

https://www.youtube.com/watch?v=m-VnHmTBi70

එක් දිනක් සැන්දෑවක  මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......

ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday, 29 October 2015

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ..

මම runaway bride සිනමා පටය ප්‍රථම නැරඹුවේ campus එකේ  NAT ශාලාවේ  පෙන්නුව අවස්ථාවේ. Angelina Jolie මගේ සිහින කුමරිය ලෙස අභිෂේක ලැබීමට පෙර එතැනට හිමිකම් කිවේ Julia Roberts ය. ඒ නිසා මේ චිත්‍රපටය ගැන විශේෂිත වූ ඇල්මක් මා හට තිබුණි. ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, මා සහ මිතුරන් දෙදෙනෙක් 'පීචම'ට වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටි අතර එක වර මගේ මිතුරෙක් එකවර මෙසේ ප්‍රශ්නයක් ඇසුවා.

"Wedding එක දවසේ උඹගේ කෙල්ල පැනලා ගියොත් මොකද කරන්නේ..."

ඒ කාලයේ මා වේලි වේලි ඉන්නා කාලය බැවින් සරල ලෙස " wedding එකට ඉස්සෙල්ලා කෙල්ලෙක් හොයා ගන්න එපැයි.." පවසා ප්‍රශ්නයෙන් ලිස්සා ගියේය.

"එතකොට උබ..?" දැන් ප්‍රශ්නය මගේ අනෙක් මිතුරා වෙතය. ඔහුට පෙම්වතියක් සිටිය බැවින් මගහැරිය නොහැක.

" මම නම් මරාගෙන මැරෙනවා.." ඔහුගේ පිළිතුරත් සමග අපී දෙදෙනා මහා හයියෙන් සිනා සුනෙමු.

සතකින්ම runaway bride සිනමා පටන් පසුව මට ඒ ප්‍රශ්නයේ බැරෑරුම් කම පසක් විය. විවාහය දිනයේදී මනාලිය පැනයාම කුමන සමාජයක වුවද මනාලයා වික්‍ෂිප්තකරන කාරණාවකි. අබේවර්ධන බලසුරියන් ගයන මේ ගීතයෙන් කියනුයේ සාමාන්‍ය සිංහල තරුණයකු මුහුණ දුන් ඒ (අ)වාසනාවන්ත සිදුවීමය.

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින්
මඟුල් දා දෙබරෙට ගැසුවා සේ//

සිංහල උළුගෙට ගෙවදින දවසේ
පාන්කිරිත්තෙක් වහලෙට බැස්සේ//
මගුල් කෑම දවසේ
නෑයොත් ගෙට ඇවිදින්

සැරසිලි ගොක්කොල . . .

පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මම තව විස්සෝපෙන්//
ඔරුවෙන් එගොඩ වෙලා
සොබනි කොහෙද ගිහින්

සැරසිලි ගොක්කොල . . .


අබේවර්ධන බාලසුරිය ගේ කටහඬ තුල අමුතුම රසයක් මම දකිමි. ඒ හඬ බොහෝ ගාම්භීරය. නමුත් සුපැහැදිලිය. හොඳ පිරිමි කටහඩකි. ඔහුගේ 'ඔබෙන් තොර ලෝකයක්', 'මළවුන් ගේ නගරයේ', 'කල්පනා ලොව මල් වනේ..' වගේ ගීතවල මේ බව අගේට පැහැදිලි වේ. මා අසා ඇති පරිදි අබේවර්ධන බාලසුරියන් ගායකයකු වීමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙකි. බොහෝ විට අනෙකුත් හමුදාවන් වලට වඩා නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ගේ කාර්ය තරමක් අමරුය. හේතුව ඔහුගේ විධානයන් පැහැදිලි ලෙස ලබා දිය යුත්තේ සාගර ගෝෂාව සමගය. සමහර විට මේ හේතුව ඔහුගේ කටහඩට බලපෑවා විය හැක

මේ ගීතයේ තේරුම පදයෙන් පදය විස්තර කිරීමට අවැසි නොවේ. විචිත්‍රවත් සිත්තමක් මවා පාන්න සේ සෑම පද පෙළක්ම අලංකාරව නිර්මාණ කර ඇත. ඊටත් වඩා යොදා ගත් උපමා රූපක සියල්ල සිංහල ගැමි සමාජය සමග මුසු වී ඇත. පයට හැපි පුන්කලස බිඳී යාම සිංහල සමාජයේ 'අසුබ ලකුණකි'. එසේම පාන්කිරිත්තා ද සලකන්නේ අසුබ නිමිත්තක් ලෙසය. රචකයා මගුල් දින මනාලිය පැනයාම නමැති අසුබ නිමත්ත හැඟවීමට යොදා ගත්තේ ඉහත කාරණාය. මා වඩාත් ඇලුම් කරනුයේ 'ඔරුවෙන් එගොඩ වෙලා - සොබනි කොහෙද ගිහින්' පද පෙළටය.  සොබනි කොයි වගේ කෙල්ලෙක්ද යන්න පැහැදිලි කරනුයේ ඒ පද පෙළය.
මෙහි රචකයා කවුරුන්ද යන්න සොයා ගැනීමට මම අපොහොසත් වුනෙමි. පද වැලේ තිබෙන චිත්‍ර රුප මැවීමේ ගුණය අනුව පද රචකයා ලුෂන් බුලත්සිංහල ලෙස අනුමාන කරමි. වැරදි නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Monday, 22 June 2015

හීන් සැරේ ඔබ ආවා.....

1979 වසරේදී 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ T M ජයරත්න ගායනය කල 'මාල ගිරා..' ගීතයට හොඳම ගීතය ලෙස සරසවි සම්මාන හෙමිවේ. කේමදාසයන් සංගීතයෙන් ඔපවත් වූ වසන්තයේ දවසක් හි සංගීතය හා එහි ගීත හැරුණු කොට වඩා වැදගත් දෙයක් නැති තරම්ය. එම චිත්‍රපටයේම 'හීන් සැරේ ඔබ ආවා' ගීතය මේ අතරින් විශේෂිතය.



හීන් සැරේ ඔබ ආවා......ආවා.....
රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා......
යාන්තමින් මා සිත ඇදි පිළිරුව.......
ඔබ ආවා......
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
ආවා......ආවා......

තරුවෙන් තරුවට පැන පැන හිමිහිට......
මලකින් මලකට පියඹා හනිකට.......
මා දගකාරිය නාරිලතාවිය.......
කාන්සියේ..... මද අදුර මකා හැර.......//
හීන් සැරේ ඔබ ආවා......ආවා......

මත් කොවුලන් ගීත නදින......
සත් පියුමන් රේණු මතින......//
අත් වැල් බැද නටමු නටමු.......
සිත් සැණකෙළියේ......//

නීළඹ නිල් වියන යටින්......
පින්න පිපුණු පළස මතින්.....//
සුරංගනා රැගුම් රගමු......
සද තරු එළියේ......//

https://www.youtube.com/watch?v=lP0rxgzmxTQ

අජන්තා රණසිංහගේ පදරචන ගැන හෝ කේමදාසයන්ගේ සංගීතය ගැන මෙහිදී තවත් අටුවා ටීකා අවැසි නොවේ. මේ ගීතයේ දර්ශනයේ සිටුනුයේ T M ජයරත්නයන් ය. නමුත් ගායකයා අමරදේව ය. දර්ශන තලයේ සිටින තැනැත්තිය සුනේත්‍රා සරත්චන්ද්‍ර වන අතර ඇය ගීතය ගායනයට ද එක්වේ.T M ගායනයෙන් සහභාගී නොවී රංගනයේ (එම රුප තලයේ පමණි) සහභාගී වීම එක්තරා ආකාරයක දුබල සිදුවීමක් වුවද වඩා වැදගත් වනුයේ සුනේත්‍රා ගායිකාවක ලෙස ගීතයට කරනු ලබන සාධාරණය. මා ඇයගේ ගීත ගායනයක් අසා ඇති නම් ඒ වේදිකා නාට්‍ය ගීත ගායනයක් පමණි. නමුත් මෙම ගීතය ඈ තුල ඇති ගායන කෞව්ශල්‍ය අගේට පෙන්නුම් කරයි. පදරචනාවෙන් ඉඟි කරන හා සංගීතයෙන් කුල්මත් කරන ඒ හැඟීම් දනවන මොහොතට ජීවය දෙන්නේ සුනේත්‍රා ය. ඇයගේ කටහඬ ඒ තරම් ජවසම්පය;බලවත්ය.
මෙහි අමරදේවයන් ගැන කතා නොකරම බැරිය. අපරදිග ගායකයන් විශාල පරාසයක තම ගායනය ඉදිරිපත් කිරීමට දක්ෂය. පෙරදිග ගායකයන් භාවයන් ගායනය කිරීමට දක්ෂය. භාවයන් ගායනයේදී අමරදේව තරම් සියුම් ලෙස ඒ භාව ප්‍රතිනිර්මාණ කරන ගායකයෙක් තව සොයාගත නොහැකිය. නමුත් මේ ගායනයේදී අමරදේවයන් විවිධාකාර වූ පරාසයන්ට තම ගායනය ගෙන යයි. එය අපරදිග ගායනයක් දැයි සිතන තරම් චමත්කාරය. එසේම රාත්‍රියේ සැමට හොරෙන් තම පෙම්වතිය හමුවීමට යන ඒ සොඳුරු පෙම්වතාගේ නොසන්සිඳුණු හැඟීම් භාවයන් ලෙස ගෙන ගෙනෙන ආකාරය මනරම්ය. 'කාන්සියේ....' කියමින් ඔහු මතු කරන කාන්සිය ඔහුගේ ගායන පරාසයත් භාවයන් ප්‍රකාශ කිරීමේ හැකියාවටත් කදිම උදාහරණයක් ය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 8 April 2015

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

https://www.youtube.com/watch?v=MJUN-lbWEZA


ලංකාවේ යටත් විජිත සමයේ දේශීය ධනපති පන්තියක් බිහිවීමට රේන්ද කර්මාන්ත දැඩි ලෙස බලපෑවේය. මෙම රේන්ද ව්‍යාපාරය සමග එකටම බැඳුනු කර්මාන්තයකි රා මැදීම. සුදු පාට පොල් රා, ස්වර්ණ වර්ණ අරක්කු වලට පත් වූ පසු රා ගැන කිසිවක් නොවිමසනවා සේම රේන්ද ව්‍යාපාරයත් රේන්ද රාළ ගැන හැර මදින්නා ගැන විමසීමක් ගැන අප අසා නැත. රා මදින්නන් ගැන ගීත කිහිපයක්ම ලියැවී ඇති නමුත් මදින්නා ට වඩාත්ම සාධාරණය කෙරුණු ගීතය ලෙස මලින් මලට ඉගිලුනාට ගීතය සැලකිය හැක.

රා මැදීම රැකියාව ඉතා අනතුරුදායක රස්සාවකි. අනතුරු දායක ක්‍රියාවක් හැගවිමට  'අතුරේ යනවා වගේ' උපමාව බිහිවන්නේ ඔවුන් මලින් මලට පියාබන අතුර දිගේ යන අනතුරුදායක ගමන අනුවය.  මදින්නා ගේ රැකියාව සුවශේෂිය. ඔහුගේ රැකියාවට ම වෙන් වූ ආයුධ හා මෙවලම් කිහිපයක් ඇත. වක් මන්නපිහිය, ලබු කැටය, මල තැලීමට ගන්නා කොට කැබැල්ල, මේ සියල්ලම රඳවා ගැනීමට යොදා ගන්නා ඉන්නේ රඳවා ගන්නා ලී පෙට්ටිය මින් කිහිපයකි. බොහෝ විට ඔවුන් යටි කය ආවරණය කරගන්නේ තද නිල්පාට රෙදි කඩකිනි. පුරුදු පුහුණු නොවූ කෙනෙකුට මේ රැකියාව කිරීමට නොහැකිය. විශේෂිත ප්‍රගුණය සහිත වූ මේ රැකියාව කරන්නන් ගේ ජීවිත 'සමනල ජීවිත' නොවේ. අනේක විධ ආර්ථික දුෂ්කරතා  මැද ජීවිතය ගෙවන ඔවුන් පිලිබඳ සමාජය මවන චිත්‍රයද අඳුරුය. ගීත රචකයා පවසන පරිදිම ඔවුන් වන බඹරුන් ද නොවේ. නොඑසේනම් නරක මිනිසුන් නොවේ. මේ අනතුරුදායක රැකියාවට ඔවුන් පෙළෙඹෙන්නේ තැලී පොඩි වී ගිය තම ජීවිතය කෙසේ හෝ සරි කර ගන්නටය. තම දරුවන් ගේ කුස ගින්න නිවාලන්නටය. සත්තකින්ම මලට කලින් ඔවුන්ගේ ජිවිත තැලී අවසන්නය. ඔවුන්ගේ කඳුළ පැණි කරනුයේ තැළුණු මලය.

කොළඹ සිට කළුතර දෙසට ගමන් ගන්නා විට පානදුර, වාද්දුව ප්‍රදේශයන්හි 'රා බොමු' හෝ පිරිසිඳු පොල් රා' යනුවෙන් සඳහන් කල පුවරු දැකිය හැක. පිරිසිඳු රා සොයා ගැනීම 'කළුනික' සොයා ගැනීමක් වැන්නය. මදින්නා පොල් මල කැපීමට පෙර මල තලයි. එයට බෙහෙත් බඳියි.  මේ ක්‍රියාව දින තුන හතරක් කිරීමෙන් පසු මල ස්වල්පයක් අහියි. පසුව මලෙන් වැස්සෙන පැණි එකතු කිරීමට මුට්ටියක් රදවයි. මේ ක්‍රියාව හා අම්පන්න කෙතරම් පිරිසිඳු වුවද පසුදින උදෑසනට මුට්ටියට ලැබෙන රා රාත්‍රියේ අපිරිසිඳු වී හමාරය. කැරපොත්තන්, කුරුමිණියන්, මැස්සන් වැනි සතුන් මේ රා මුට්ටිය තුල දැකිය හැක.  එසේම නිශාචර සතුන් සමහරවිට මේ රා මුට්ටියට දිව දමා සැමට පෙර රස බලා අවසන්ය. ප්‍රනීත රා යනු ගහෙන් බාපු ගමන් ලැබෙන රා ය. රා පිප්පෙට දැමීමට පෙර ඉහත සඳහන් කල සතුන් ඉවත් කිරීමට පෙරනු ලබයි. පිප්පය පිරවීමෙන් පසු එය රා එකතු කරනු ලබන ස්ථානයට රැගෙන යයි. මෙලෙස රැගෙන යන ආකාරය නිසා  (පොල්ලකින් තල්ලු කිරීම) රා පිප්පය තුලදී පැසීමට ලක් වේ. මේ රා 'ගසෙන් බාපු ගමන්' වූ රා වලට වඩා තත්ත්වයෙන් බාලය.

රා මැදීම බොහෝ විට සිදුවන්නේ නිරිතදිග වෙරළ ආසන්නයේ පොල් වතු වලය. නිතරම ඇදහැලෙන වර්ෂාව මදින්නගේ ජිවන තත්වයද රා වල තත්වයද බාල කරයි.  තෙතබරිත වූ පොල් ගස් වලට නැගීම හෝ අතුරේ යාම වැසි දිනක කල නොහැක. එසේම සමහර විට වැසිවතුර මිශ්‍ර වීම නිසා රා වල ගුණයද බාල වී ඇත. නියම රා රස දන්නා අයට මේ සියල්ල ක්ෂණයකින් අවබෝධ කර ගත හැක. එපමණක් නොව සමරුන් ලා ගසකින්ද නැතිනම් වයසට ගිය ගසකින්ද ඒ රා ලැබුනේ යන්න කීමට තරම් ප්‍රගුණ කර ඇත. එක්තරා ආකාරයකට බටහිර රටක wine රස බලන්නන් තරමට රස ප්‍රගුණ කල වෘර්තිය මට්ටමේ නොවුනත් 'රා රස' බලන්නන් ලංකාවේදී සොයා ගත හැක. රා ගැන සදහන් කිරීමේදී byte එක ගැන සඳහන් නොකරොත් එය අඩුවකි. බොහෝ රා පොළවල් වල කටගැස්ම ලෙස දෙනු ලබන්නේ තම්බපු මයියොක්කා හා කොච්චි මිරිස් සම්බෝලය ය. රා නැතිව  උනත් මේ කටගැස්මේ රස බැලු කෙනෙකු  එය 'දිව්‍ය අමෘර්තය' පරාද බව නොකියන්නෝ කවරහුද?

මා මේ ගීතයේ වඩාත් ආසම පද පෙළ 'අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ- පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි' යන පද කිහිපයටය. අහසින් වඩින්න පින ලැබෙන්නේ ධ්‍යාන ලැබූ ඇත්තන්ටය. පෙළහර පන්නේද මනස දියුනුකරගත් මුණිවරුන්ය. එසේ නැති නම් දෙවිවරුන්, බුදුවරුන්ය. රා මදින්නා මෙලෙස විශේෂ වූ බලයක් ලැබුවෙක් නොවේ.අතුරේ යනමින් මේ කරන රැකියාව එලෙස පින් බලය නිසා හෝ මනස දියුණු කරගත් නිසා හෝ ලැබුණු දායාදයක් නොවේ. අතුරේ යමින් කරන පෙළහර හුදෙක් රැකියාව නිසාය. සමහරුන්ට රා මදින්නා දෙවියෙකු වුවද,ගස් දෙකක් එකින් සම්බන්ධ මරමින් දිවෙන ලණු පොටවල් දෙකක ගමන් කරමින්  ඔහුගේ නැති බැරි කම නිසාවෙන් මේ අනුහස් ඔහුට ලැබී ඇත.

ගස් මදින්නන් ගැන විවිධ කතා මා අසා ඇත. මේ කතා වල සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් එය රසවත්ය. වරෙක අතුරේ ලනු පොටක් කැඩී එල්ලෙමින් සිටි මදින්නෙකු රා සොයා පැමිණි විදේශිකයෙකු බේරා ගත් සිද්දියක් මගේ මතකයේ ඇත. තවත් මදින්නෙක් ඔහු නගින පළමු ගසේ රා කලය බි හිස් කර අනෙකුත් ගස් වලට යන කතාවක් ද මට මතකය. එලෙස පළමු රා කලය පෙරා බිම සඳහා ඔහු දිගට වැඩුණු උඩ රැවුල යොදා ගත බව කියයි. ඇත්තෙන්ම සිදුව ඇත්තේ පියවි සිහියෙන් අතුරේ ගමන් කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව රා වලින් මත වී අනෙකුත් ගස් වලට අතුරා දිගේ ගමන් කිරීමට. සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය වගේම රා සහ ඒ හා සම්බන්ධ සියළු කරුණු කාරනා රසවත්ය.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 19 November 2014

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..

කැම්පස් යන්න ගත්තු දවසේ ඉඳන් රස්සාවට යනකම්ම මගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ දුම්රිය. මේ සිදුවීම වුයේ මා කැම්පස් යන කාලයේදී. උදේ වරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සියළුම දුම්රියන් නැවතීම එකල සුලභ කරුණක්. අප යන වෙලාවල් වලට පැමිණෙන සීග්‍රගාමී දුම්රිය අතර 'සමුද්‍ර දෙවි' තමයි වැඩිපුර දෙනා ගමන් පහසුව සලසා ගන්නේ. ඉන්පසුව 'සාගරිකා'. බොහෝ විට 'සාගරිකා' දුම්රියෙන් පසුව පානදුරෙන් ආරම්භ වන දුම්රියෙන් කැම්පස් එකේ 8 ට පටන් ගන්න දේශනයට 9 ට යාමට මා පුරුදුව සිටියා. එදින මා දුම්රිය ස්ථානයට පැමිණෙන විට මගේ මිත්‍රයෙක් දුම්රිය ස්ථානයේ වුහ. මා ඔහුගෙන් 'ඇයි මේ වෙලාවේ' යි. විමසිය. 'අර වේ__ අදත් මට අත වන වන ගියා' ඔහු සිනාසෙමින් පැවසිය. මා හට කාරණය පසක් විය. ඔහු 'වේ__' යි පැවසුවේ 'සාගරිකා' ට ය. මෙවන් වදන් මා හට දුම්රියපොළේදී හොඳහැටි පුරුදුය. සමහරවිට 'මේ අම්මණ්ඩි අදත් පරක්කුයි' පවසයි. ඒ 'සමුද්‍ර දෙවි' ට ය. 'පරක්කු උණු දවසෙත් මේ ගෑණි එන්නේ නලව නලව'- ඒ හෙමින් හෙමින් දුම්රිය පොලට පැමිණෙන තවත් 'දේවි' කෙනෙකුට හෝ 'කුමාරි' කෙනෙකුටය.

කෙසේ හෝ මා හට සුපුරුදු දුම්රිය මැදිරිය පසු කොට මිත්‍රයා සමග වෙන මැදිරියකට ගියේ ඔහු ගේ පහසුවටය. එහි සංගීත සාජ්ජයකි. ඔවුන්ම නිර්මාණය කර ගත් විවිධ තාල භාණ්ඩ සමග ඉතා අගේට ඒ පිරිස ගායනයේ යෙදිති.  බොහෝ ගීත සුභාවිත ගීතයන්ය. මගේ මතකය අනුව දුම්රිය, තව දුම්රිය ස්ථාන දෙක තුනක් පසුකරන්නට ඇත. නිය තොල් රතු කරගත් තරුණියකගේ විලස හැඩ වැඩ වූ  අවුරුදු හතලියක පමණ යුවතියක් මොබයිල් ෆෝන් එකකින් කතා කරමින් කාවදෝ සොයමින් ඉදිරියට පැමිණියාය. ඇයගේ ගමන් විලාසයට හා බාධාවට සාජ්ජය නැවතිණි. ඊලග දුම්රියපොලෙන් කඩවසම් ලාබාල තරුණයකු ඒ දුම්රිය මැදිරියට ගොඩ වූ අතර මා මුලින් කී යුවතිය ඔහු ලඟ නතර විය. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ය. මොහොතකින් ඔවුන්ට එය දුම්රිය මැදිරියක් බව අමතක විය. නැවත සංගීතය ආරම්භ විය. ඔවුන් ගැයූ වේ මෙන්න මේ ගීතයයි.

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//

ඔවුන්ට මේ ගීතයේ අර්ථය දනුනාද සේම ඒ සිද්ධිය හා කෙතරම් ගැලපුනාද යන්න අපැහැදිලිය. නමුත් මේ ගීතය ඇසෙන ඇසෙන වාරයක් පාසා මා හට මේ සිදුවීම මතකයට නැගේ. මේ ගීතයෙන් කතා කරනුයේ විවාහයෙන් කෙලවර නොවන ප්‍රේමයක් ගැනය. එය සම්මත රාමුවෙන් පිටතද  එසේ නමැති නම් අසම්මත ප්‍රේමයක් ද යන්න තීරණය වන්නේ රසිකයාගේ වින්දනය අනුවය. 'ප්‍රේමය' මෙන්න මේ වගේ යි විවිධාකාර හැඩතල නිර්මාණය කරන ගීත රචකයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතයේදී ද එවන් හැඩයක් නිර්මාණය දැක ඇතැයි යන්න මගේ හැගීමයි. 'ප්‍රේමය නම් සඳ එලිය සේ අචින්තයි...', 'බිරිඳ මගේ ඔබ..' (තව බොහෝ ඇත) වැනි ඔහුගේ ගීත සමග සැසදීමේදී මේ  තවත් එක්තරා ආකාරයක 'ප්‍රේමයේ' හැඩයකි. එසේම මෙහිදී 'ප්‍රේම' කිරීමේ අරමුණ 'විවාහයද' එසේ නම් විවාහයක් ගැන නොසිතන ප්‍රේමය 'අසම්මත' ද යන දිසා ඔස්සේද විවිධ කරුණු ගෙනහැර දැක්විය හැක. මහාචාර්ය තුමාගේ සමහර ගීත වල මෙන්න මේ ලක්ෂණය දැකිය හැක. එනම් විවිධ ඉසව් ඔස්සේ රසිකයාට සිතන්නට පෙළඹ වීමයි. මෙහිදී 'තොටුපල අයිනේ' සිට 'ගාට ගාට ඇවිදින්..' රුවල් ඉරි ගිය නෞකාව' තෙක් විවිධ උදාහරණ දැක්විය හැක. එය 'සුනිල් ආරියරත්නගේ ලකුණ' ලෙස සැලකුවොත් වරදක් නැත.

මේ ගායකයා සහ ගායිකාව දෙදෙනාම ජීවතුන් අතර නැත. මොවුන් දෙදෙනාම ක්ෂේත්‍රයේ අසමසම චරිතය. මගේ පුද්ගලික විශ්වාසයට අනුව කපුගේ  සංගීතය භාවිතය සේම ගායනය අතින් දශමයක් හෝ මාලනී බුලත්සින්හලයන්ට වඩා ඉදිරියෙන් සිටි. එහෙත් මා සිතන ආකාරයට මේ ගීතයේදී මාලනියන් කපුගේ ව අතික්‍රමණය කර ඇත. මා හට දැනෙන ආකාරයට මාලනියට හිමි ඒ උච්ච කටහඬ පාලනය කර කපුගේ ගේ හඬට ගැලපෙන ලෙස ගායනය කරනවා යි හැඟෙ (මට දැනෙන අයුරිනි). එහෙත් එය කපුගේ හඬ අභිබවා නොයයි. මෙය එක්තරා ආකාරයක සමාජ රීතියක් අනුගමනය කිරීමක් විය හැක. මක්නිසාදයත් බොහෝ විට තරුණියක් පෙම්වතියක් වූ විට ඇයගේ පෙම්වතාට අනුගත වේ. සමහර විට මේ සම්මතය context එක තුලින් මතුකරන්නට කපුගේ ගේ සංගීතය යොදා ගත්තා විය හැක.

https://www.youtube.com/watch?v=wtdyOM7LujQ

( මුල් ගීතයේ සංගීතය මීට වඩා අගේය. කවුරු හරි ළඟ තිබේ නම් share කරන ලෙස ඉල්ලමි)

Wednesday, 22 October 2014

හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...

ජීවිතයේ නව යෞවන වියේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් නැවුම්ය. සුන්දරය. පිවිතුරුය. මා මුලින්නම මේ ගීතයේ ඇසුවේ මා නව යෞවනයෙකු ලෙස සිටි කාලයේදී ය. සිතේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව ඒ හැගීම් තුලින්ම තමාම වින්දනය ලැබූ හෝ ලබන සිදුවීම් සත්‍යකින්ම යලි යලිත් මතක ආවර්ජනය තුලින් අපව අතීතයට ගෙනයයි. මේ ගීතය පුරාවටම තිබනුයේ ඒ දඟකාර නැවුම් ප්‍රේමයේ වින්දනීය පෙළහරය.
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී
මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී
හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී
හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...
කිසියම් දිනෙක යුවතියෙකිගේ නිල් නුවන් ඉදිරියේ ප්‍රේමනීය සිතුවිලි දෝර ගලාවිත් ඇයගේ නමින් ඔබේ හදෙහි දොරටු විවර වුයේ නම් අමරසේන කන්කානම්ගේ මහතා කියන ස්වභාව සිරි ඔබත් දකිනු නියතය. හොරෙන් සිනාසිසී නිල් දිය මත පාවෙන සඳ, නීල වලාවන් තුලට ගුලිවන මල් සුවඳ, නුරාවෙන් වෙලෙන අඳුර මේ සියල්ලේ චමත්කාරය ප්‍රේමයෙන් මුසපත් වූ ආදරවන්තයෙකුට අරුමයක් නොවේ..
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළුවෙලා.........
මේ ගීත කාණ්ඩයත් සමග මට මැවෙන්නේ නුගේගොඩ ටියුෂන් පන්තියක මග දෙපසය. රංචු රංචු සුන්දර ගැහැණු ළමුන් පෙළ ටියුෂන් පන්තියට යන අතර තුර පිරිමි ළමයින් මග දෙපස ඔවුන් දෙස බලාසිටි. එලෙස යන ගැහැණු ළමුන්ගේ කිරි කවඩි සිනහවේ හඩෙහි ඉවරයක් නැත. මෙලෙස යන කෙල්ලන් අතර තම සිත් ගත් තැනැත්තිය ගේ රුව මතු වුහොත් සිත ගොළු වීම අරුමයක්ද?
ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ
රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්
ඔබ ළග නැවතිලා.................
තම සිත් ගත් තැනැත්තිය ගේ ස්ත්‍රී රූපය තුළින් ඔහුව ආකර්ෂණ කර ඇත. සංදේශ කාව්‍යයේ කාන්තාවකගේ පියයුරු සමකරන්නේ විලකින් ඉගෙලෙන්නට සුදානම් වූ හංස ජෝඩුවක් ලෙසටය. මේ හංස 'රැගුම' ඔහුව මන්මත් කර ඇත. ඔහු බලාපොරොත්තු වන්නේ තොලෙන් තොලට දී මේ සෙනහස පවතිය යන්නය. එය හුදෙක් රාගය සඳහා පමණක් ඇති වූ හැඟීමක් නොවේ. සතුට ගෙනා සිත ඇය ලඟම නවතින්නට තව හේතු කාරනා අවශ්‍ය නැත.
පදමාලාවට අමතරව මේ ගීතයේ ගායනයත් සංගීතයත් ගැන කිසිවක් නොකීවොත් එය මුළු ගීතයටම කරන අසාධාරණයකි. මා හට හැගනුයේ මේ ගීතය ගායනය කිරීමට ඒ අවධියේ සිටි සුදුසුම පුද්ගලයා එඩ්වඩ් ජයකොඩි යන්න ය. ඔහුගේ හඬ ලාලිත්යෙන් පරිපුර්ණය.ප්‍රේමන්විතය. නව යෞවනයේ හඬය. මුළු ගීතය පුරාවටම නොඉවසිලිවන්ත ප්‍රේමාන්විත යෞවනයාගේ හදවතේ රිද්මය, ඔහුගේ ගායන රිද්මය සමග එක්ව ගමන් කරයි. රෝහණයන් ගේ සංගීතය පුරාවටම මෙලෙස ප්‍රේමයෙන් මුසපත්ව ඉගිලී යන සමනලයෙකුගේ විලාසය පෙන්න්නුම් කරයි. නමුත් ගීතයේ පද ගායනයේ දී, තබ්ලාව වැයෙන හඬින් ඒ හැගුම් නිසා සිතේ ඇති බර විදහාපායි.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 30 July 2014

මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

ඇය නවාතැන් ගෙන සිටියේ තමන්ගේම නිවසේ නොවේ. තමන්ගේ ගෙදරින් පිට නවාතාගෙන් සිප්සතර හදාරා, ඇය සරසවි වරම් ලබන්නේය. එය ප්‍රීතිමත් හේතු කාරනවක්ය. එහෙත් අපේ කතා රචකයාට ඇත්තේ අසීමිත දුකකි. එය ඇය සරසවි වරම් ලබූ නිසා නොව නවාතැනින් යාම නිසාය. අසල ගසක හඬ නගන පාන්කිරිත්තා ගෙන දෙන්නේ ඒ ශෝකී බව සමග මුසල කමකි.

නවාතැනින් ඇය යනවා 
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

අපේ කතා රචකයා සරසවිය සිතින් මෙනෙහි කරන්නේ මේ අවස්ථාවේදීය. හිරිමල් යොවුන් වින් ඉක්කම භද්‍ර යොවුන් වියට පැමිණි යෞවන යෞවනියන්ගේ සිනහා හඬ කවට කම් සමග සරසවි මග තොටේ දකින පෙම්වතුන් ඔහුගේ සිහියට නැගේ. ඔහු තුල දුකත් සමග සිතේ ඉරිසියාවක්ද ඇතිව ඇතිබව අපට හැඟෙ. ඒ මෙවන් චමත්කාර ජනක සරසවි වරමක් ඇයට ලැබීමත් තමන්ට නොලැබීමත් ගැනය.

භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම්බැදි
සිනා කවට බස් පවසති 
කුමර කුමරියන්..

ඒ සමග ම ඔහුගේ සිතට සැකයද පැන නැගී ඇති බව පෙනේ. නවාතැනේ සිටි යුවතිය ගේ සිත වෙනස් කිරීමට බොහෝ දේ සරසවිය තුල ඇති බව ඔහුට මතකයට නැගේ... ඇයගේ ඇත පතන පිරිස් තවත් සිටිය හැක. ඔවුන් රසවත් හසුන් ඇයට පිරිනැමීමට පුළුවන. ඇය ඒවාට අසු වේවිද? එසේ නැති නම් මේ වෙනස් ලෝකය තුල ඇයට අතීතය අමතක වේවිද? එක්කෝ සරසවියේ කඩවසම්, ජනප්‍රිය, දක්ෂ යව්වනයෙක් කෙරෙහි ඇයගේ සිත යාවිද.. මේ සියල්ල ඔහුගේ සැකය තුල ඇතිවන ප්‍රශ්නය.

ඇසුර පතන දූත හසුන් 
අවට මැවෙත නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිත්

මෙසේ සැකයේ වෙලෙන අප කතාරචකයා, වරෙක ඒ සියල්ල අමතක කිරීමට උත්සහා කරයි.. ඇය හිස පීරන උදෑසනක දුටු රුව ගැන කුරුල්ලන්ට ගී ගයන්න එපා කියන්නේ මේ නිසාය. ඔහු සිතනුයේ, ඔහු දුටු ඒ මනස්කාන්ත රුව කුරුල්ලන් ද දැක ඇති බවය. මෙසේ ඒ රුව නැවත නොදකිම නිසා කුරුල්ලන් ඒ ගැන ගී ගැයීම ඔහුට මතකය ආවර්ජනය කිරීමකි.

මතක විමල් කවුළු දොරින්
හිස පීරන උදෑසනක
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

කෙසේ හෝ ඔහුගේ සිතේ යම් බලාපොරොත්තුවක් ඇති බවක් පෙනේ. ඇය සරසවි ජීවිතය අවසන් කර නැවත පැමිණේ යයි ඔහු සිතයි. එය කොපමණ කාලයක්දයි ඔහු නොදනී.. සමහර විට කල්පයක්... විය හැක.. සමහර විට ඒ සඳහා ඉර අවරින් පායන තුරු සිටිය යුතුය.. එනම් ඇය නැවත නොපැමිණිය හැක. එහෙත් නවාතැනේ ඇය පිලිබඳ තිබු මතකයන් සමග සිහිනෙක වේලි සිටින්නම් යන්න ඔහුගේ බලාපොරොත්තුව.

ශිල්ප සතර දැන එනතුරු 
කල්ප කාල පසුවනතුරු
ඉර අවරින් පායනතුරු 
සිහින දකින්නම්..

සුනිල් සරත් පෙරේරාගේ අපුර්වම පදවැලකි මේ. මෙය ඔහුගේ අත්දැකීමක් යයි මා අසා තිබේ ( වැරදි විය හැක.) මෙහි අපුර්වත්වය නම් කොතනකවත් මේ තැනැත්තිය ඔහු ගේ පෙම්වතිය බව සඳහන් නොවීමයි. සමහර විට ඔහු සිතින් ඇයට ආලය කරන්නට ඇත. එසේම ඔහු සරසවි වරම් නොලැබුවා යන්න ද මෙහි සඳහන් නැත. සමහර විට ඇය නොයන සරසවියක අපේ කතා රචකයා ශිෂ්‍යයෙක් වීමට ද පුළුවන්. ඔහුගේ එකම කනගාටුව නිතර ඒ විප්‍රයෝගය ය. ඇය තමා අසල නොමැති වීම තුල මනසේ නැගෙන විවිධාකාර වූ අරගල සැමට පොදුය. අරුමය නම් ඒ සියල්ල සංයමයකින් විඳදරා ගැනීම වීනා ඒවාට එරෙහිව ක්‍රියා නොකිරීමය.

සනත් නන්දසිරිගේ සංගීතය හා හඬ, පුදුමාකාර ශෝකකුල බවක් නිර්මාණය කරයි.. ඒ සංගීතයේත් හඬේත් ඇති නිවුණු බව පදමාලාව සමග හරි හරියට බද්ධ වී ඇත. තරමක් දුරට ඔහුගේ නිදිකුම්බා මල් කැකුලි ගී යට සමාන බවක් මට හැඟෙ.
https://www.youtube.com/watch?v=dJ1d8_ZkIA4

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Tuesday, 8 July 2014

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...

IELTS exam එක ඉවර වෙලා මා විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට හොඳටම හවස් වී තිබුණි. ඒ මදිවට සිහින් පොද වැස්සක් සමග හාත්පසම අඳුරුය. වැස්ස පායන තුරු පොඩ්ඩක් ඉවසා සිටීමට මම අසල තිබු වහල් පියස්සකට මුවා වුනිමි.තව බොහෝ දෙනෙක් මා මෙන්නම වැස්ස නිම වන තුරු එතන බලා සිටින්නට වුහ. මා ඉදිරියේ අනිත් පස කෙල්ලෝ රංචුවකගේ සිනහා හඬ හොඳට ඇසේ. ඔවුන් එකිනෙකාට ඔච්චම් කරමින් සිනාසෙයි. මා මෙන්ම මා අවට සිටි අනෙකුන්ද නෙත රැදී ඇත්තේ ඔවුන් දෙස බව වට පිට බැලු මට දිස් විය. මේ කෙල්ලන් අතර ඉතා රූමත් තරුණියක් වැඩි සද්දයක් නැතුව සිටි. එත් ඇය අනෙකුන්ගේ කතා වලට සංයමයකින් සිනාසෙයි. මගේ නෙත් ඈ ළඟ නතරවිය. එත් ඇයගේ නෙත් එහා මෙහා ගමන් කරයි. මේ කෙල්ලගෙන් මට වැඩක් නැත. දැන් මා ගෙදර යායුතුය. චුරු චුරු වැස්ස තිබියදීම මම රථගාල වෙත යාමට පියවර තැබුවෙමි. අර කෙල්ල පසු වෙනවාත් එක්කම මා යලිත් වරක් ඈ දෙස බැලීය.

"හලෝ අයියේ.. ඔයා කොහෙද මෙහෙ..." අර කෙල්ල මා දෙස බලා කතා කළාය. ඒ මා සමග ද යන්න  සැක සිතු බැවින් මම වටපිට බැලුවෙමි.

" අයියේ.. ඔයාට මාව මතක නැද්ද?... මම කාංචනා..." ඈ මා වෙත පැමිණ කතා කළාය.

"කාංචනා... අම්මෝ... ඔයා ගොඩක් ලොකුනේ දැන්... මට අඳුනගන්න බැරි උනා..."

" ලොකුයි කියන්නේ මං අයියාව දැක්කේ අවුරුදු 15-20 කට පස්සෙනේ... එත් මට පුළුවන් උනා ඔයාව අඳුන ගන්න."

" ඉතින්.."

" අයියා කොහෙද යන්නේ මේ තෙමි තෙමි..ඉන්න මම කුඩේ දිග අරින්න.."

" මම car park එකට යනවා.."

" ඉන්න මම ඇරලවන්න.." ඈ මා සමග පැමිණෙන්නට විය.

මට මේ හමුවීම සිතා ගන්නටවත් නොහැකිය. කාංචනා මගේ වයසේ මිතුරියකගේ බාලම නංගි ය.  මා ඇයගේ ගෙදර යන එන කාලයේදී ඇයට වයස අවුරුදු 4-5 පමණ වන්නට ඇත. මගේ මිතුරියගේ වචන වලින්නම ඇය 'විසේ බඩ්ඩ' කි ඒ කාලේ.

ඇයත් සමග රථ ගාලට එන අතර තුර ඈ තව බොහෝ දේ කියන්නට විය. එත් මගේ මතකය අතීතය හාරවුස්සන්නට විය. දිනක් මා ඇගේ නිවසට ගිය දිනෙක ඇය  පුංචි රතු මල් වැටුණු ගවුමක් තුරුළු කරන වේගයෙන් දිව ආවය. ඇගේ මව ඈ පසුපස ඇය ලුහුබඳිමින් සිටියාය.

"මේ ළමයා ඔය ගවුම අඳින්නේ නැහැ... මම ලඟට එනකොට දුවනවා.." ඒ අම්මගේ පැමිණිල්ලය.

මා දුටු විගස ඇය අම්මා ලඟට ගොස් ඇඳුම අන්දගත්තාය. මේ එක සිද්ධියකි. බොහෝ දවස් වල ඇය මා දෙස බලන්නේ කවුළු දොර අතරින්ය. ඇය ගැන විශේෂයක් නැති වූ කල හොරෙන් ඇවිත් මහා හයියෙන් සිනා සෙයි. නැති නම් සෙල්ලම් බඩුවක් විසිකරයි. මේ පුංචි කෙල්ල දැන් පරිපුර්ණ තරුණියකි. ඇයගේ දඟකාරකම් දැන් නැත.

"අයියේ..." ඇය මා ආමන්ත්‍රනය කරන්නට විය.

" ඔයා වෙන ලෝකෙක නේද හිටියේ.."

" ඔව්... ඔයාගේ පොඩි කාලේ මතක් උනා.." ඈ ලජ්ජාවෙන් බිම බලා ගත්තාය.

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...
---------------------------------------------------------
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්................

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............


https://www.youtube.com/watch?v=nwIPHn8hQ7o

පද රචනය කිත්සිරි නිමල් ශාන්ත ය. වැඩිය හුරු පුරුදු නමක් නොවේ. නමුත් ඔහුගේ පදවැල් මා කුල්මත් කරන්නට විය. සියළු හැගීම් සීරුවට වචන වලට ගලපා ගැනීමට ඔහු සමත් වී ඇත.සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙය. ගායනය TM ජයරත්නය. මුළු ගීතයම ශ්‍රාවකයා රඳවා ගන්නේ ගීතයේ තනුව සහ සංගීතයයි කිවහොත් නිවැරදිය. ක්ලැරන්ස් විසින් TM ට නිර්මාණය කල ගීත බොහොමයක්ම ඉතාමත් මිහිරි තනු ය. බොහෝ තනු ඔහු විසින් ගායන කල ගීතවලට වඩා අගනේ යි මට සිතේ. මේ ගීතයේ නොනවත්වා වයෙන ගිටාරයේ තත් තුන ගීතයට ගෙනෙන්නේ අප්‍රමාණ ආලෝකයකි. ප්‍රබුද්දයන් කොපමණ ගැරහුවද ක්ලැරන්ස් ගේ නිර්මණ අතර ඉතා ප්‍රශස්ථ නිර්මාණ ඔනෑ තරම් ඇත යන්න මේ එක් නිදසුනකි. කිසිදින මහළු නොවන TM ගේ හඬ ගීතයට සර්ව සාධාරණයක් ඉටු කර ඇත.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday, 18 May 2014

නාම විශේෂණ මට නැත ඔබ ගැන....

ගුරු ගීතයේ  අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. එසේ නොවන ගුරුවරුන්ට මල් මිටක් තිලිණ කිරීමට පසුබට නොවෙමි. මේ ගීතය ගෝල ප්‍රේමය ඉදිරියේ ගුරුවරයා ගේ හැසිරීම කෙබඳු විය යුතුදැයි සිහි ගන්වයි.

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරි කරලන්නට ඔබෙන් වරම් යදිමින්

මේ ශිෂ්‍යාව තම අඳුරු තුමාගේ රුවට නොව ගුණ 'සුවඳ' ට වශී වී සිටි. එය ඇයට සිහිනෙන් ගෑ සුවඳක් බඳුය. ඈ ප්‍රර්ථනා කරන ලෝකය නිර්මාණය කරගැනීමට වරම ඉල්ලන්නේ මේ නිසාවෙනි

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුවරයා ට අබ මල් රේණුවක තරම්වත් මේ ගැන හැගීමක් නැත. ඔහු ගුරු ගෙදරට පැමිණෙන්නේ තම ශිෂ්‍යන්ට ඉගැන්වීමටය. මේ සිසුවිය ගැන විශේෂයක් ඔහුට නැත.

හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කිවා
කුලුදුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ලතවෙනවා

ශිෂ්‍යාව කුල්මත්වන්නේ ඔහුගේ නෙත් සඟලින් කියවෙන දේ ගැනය. ඈ සිතන්නේ එය ප්‍රේමනීය කැදවීමක් ලෙසය. ඈ තම සිතැගි තම ගුරුවරයාට නොවලහා පවසයි. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු හා වෙලෙන්න ඈ ඔහුට ආරාධනය කරයි.

කෝප නොවන්නට මා ප්‍රිය සිසුවිය සිත නුබ  කළඹාදෝ
ශිල්ප උගන් නුබ නොමග යැවූ  දා මා ඇදුරිඳු වෙම්දෝ

ගුරුතුමා තවමත් සන්සුන්ය. ඔහු ඉතාමත් සංයමයකින් ඇයට කරුණු පහදයි. අය කැළඹී ඇති බව පසක් කර දී ගුරුවරයෙක් ලෙස ඇයව නොමගට යවන්න ඔහුට නොහැකි බව පවසයි.

සමාවන්න මට ඇඳුරුතුමනි මගේ සිරකරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්

සිසුවිය ගුරුවරයාගේ වචනය අවබෝධ කර ගනී. ඇය තම සිතැගි පාලනය කර ගන්නා බවත් සිතට වහල් වී පෙම් නොකරන බවත් පවසයි. එසේම ඇය ඔහුට ප්‍රශංසා කරයි.

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුතුමා නැවතත් ඇයට පවසනුයේ ඔහු පැමිණියේ ඉගැන්වීමට බවත් විශේෂ සැලකිල්ලක් ඇය පිලිබඳ නැති බවත්ය.

අයි. ඩි ජයතිස්සයන්ගේ පදමාලවත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයත් ඉතාමත් සරලය. සජීවී ගායනයක් බැවින් ගායනයේ සුළු අඩුපාඩුකම් දැකිය හැක. මා මුලින්ම මේ ගීතය ඇසුවේ ලක්ෂ්මන් විජේසේකර ගේ හඬින් ය. මායා දමයන්ති ගේ ගායනය ඉතාමත් මිහිරිය, සුමගය, භාවපුර්ණය. විශාල ස්වර පරාසයක නොවුනත් ඇය ඉතාමත් අගේට ගීතයට අනුකුල භාවයන් ප්‍රකාශ කරයි...

https://www.youtube.com/watch?v=g6DTWmy_aiY

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.