Showing posts with label සිනමා. Show all posts
Showing posts with label සිනමා. Show all posts

Sunday, 8 July 2018

ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ..

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..

රන් කෙන්දෙන්..

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///

https://www.youtube.com/watch?v=-RJo99_nefY

මා මහප්‍රාණ සිනමාවට වඩා සලර සිනමාවට කැමතියි. මට ලෙස්ටර්ගේ 'ගම්පෙරලිය', 'නිධානය' ට වඩා 'දෙලොවක් අතර' ලස්සන එකයි. ධර්මසිරිගේ 'තුන්වෙනියාමය' භව දුක' ට වඩා 'හංස විලක්' මට ප්‍රිය මේ නිසයි. එසේ බැලූ කල දුහුළු මලක් ද මගේ ප්‍රියතම ලක්ෂණ පිරි චිත්‍රපටයෙකි. 1976 තර ගත වූ දුහුළු මලක් විජය ධර්ම ශ්‍රී ගේ අධ්‍යක්ෂණයකි. සංගීතය සරත් දසනයකගෙනි. දුහුළු මලක් චිත්‍රපටයේ කතාව සිංහල සිනමාවේ සම්ප්‍රදායික ප්‍රේම කතාව අතික්‍රමණය කල කතා පුවතකි. එය අසම්මත ප්‍රේමයක් මුල් කරගෙන ගලා යයි. ටෝනි රණසිංහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද නීටා ප්‍රනාන්දු ඔහුගේ බිරිය ලෙසද රවින්ද්‍ර රන්දෙනිය අසම්මත ප්‍රේමවන්තයා ලෙසද රඟපායි. චිත්‍රපටය පුරාවටම ගීත හතරක් ඇති අතර මේ ගීතවලින් පමණක් වුවද මේ කතාව තේරුම් ගත හැක. රන් කෙන්දෙන් බැද ගීතය මෙහි තුන්වන ගීතයයි.
 නිලුපා (නීටා ප්‍රනාන්දු) සුරේ (ටෝනි රණසිංහ) ගේ බිරිඳයි. එක් දරුවකුගේ මවක් වූ නිලුපා සම්ප්‍රදායික පවුල් ජිවිතයක් ගත කරයි. සුරේ සමග නොගැලපීමක් නැති වුවත් ගැලපීමක් ද නැත. චිත්‍රපටය ආරම්භයේදීම වගේ ගෙවල් ඉස්ස්සරහින් ගමන් කරන රොහාන් (රවින්ද්‍ර රන්දෙනිය) දකින විට ඔහු ගැලපෙන්නේ නිලුපා ට බව පවසනුයේ මෙහෙකාරියයි. චිත්‍රපටයේ පළමු ගීතය වන ඉන්ද්‍රානි පෙරේරා ගේ 'සීතලේ දිලි' ගීතය නිලුපාගේ අභ්‍යන්තරය ප්‍රේක්ෂකයාට කියා පෑමට ගත් උත්සාහයකි. කෙසේ හෝ නිලුපා හා රොහාන් අතර ප්‍රේමයක් ගොඩ නැගෙන අතර, ප්‍රේමයේ උපරිමය 'බොඳ මීදුම්.. ' ගීතයෙන් ගෙනහැර පායි. අවසානයේ මිල්ටන් මල්ලවාරච්චි ගයන 'රෝමය ගිනිගැනේ' ගීතය බිරිඳගේ රහස් පෙම නිසා සිත් තැවුලට පත් ස්වාමි පුරුෂයා ගේ සිතුවිලි කියා පායි.
රන් කෙන්දෙන් ගීතය කතාවේ ඝට්ටනය ආරම්භයේදීය. නිලුපාට දෙයාකාරයක ආදරයක් හිමි. එකක් අතැඟිලි රන් කෙන්දකින් බැඳ ඇති කර ගත ආදර යයි.අනික ප්‍රේමයෙන් බැඳී සිතැඟි වලට ඉඩදී ඇති වූ ආදර යයි. කවුරු මොනවා කිවත් අසම්මත ප්‍රේමය සම්මත ප්‍රේමයට වඩා චමත්කාරය. සම්මත ප්‍රේමයේ පවතින, ගේදොර දරුවන් ගේ ප්‍රශ්න වල සිට රැට කන්නේ මොනවද කියන ප්‍රශ්නය දක්කවා කිසිත් අසම්මත ප්‍රේමයේ නැත. එහි ඇත්තේ හමු වීම, කතා කිරීම හෝ තනිවීම ආදී ප්‍රශ්නය. එය හුදෙක් හැඟීම් හා සිතුවිලි සමගින් සිතුවම් කරනා චිත්‍රයකි. ඒ නිසා වර්ණවත්ය. මොහොතකට හෝ සම්මත ප්‍රේමය අසම්මත ප්‍රේමයේ ප්‍රශ්න වලින් පුරවා ගත කල එය අසම්මත ප්‍රේමයට වඩා රසවත්ය. වර්ණවත්ය.
කෙසේ වෙතත් අසම්මත ප්‍රේමයේ දී අවසානය රසවත් නොවේ. සමහරවිට එය සම්මතයට පත් වී අර රසවත් වූ චිත්‍රයම විනාස කර දමයි. සමහරවිට ජිවිත වලින් පවා විශාල  විනාසයක් ගෙනදෙයි. මේ කුමන ආකාරයකින් අවසාන වුවද ගැහැනියකට එය මහත් වෙහෙසක් එසේ නැති නම් පිඩාවක් ගෙනදෙයි. නිදහසේ පියඹා යන කිරිල්ලියක සේ අසම්මත ප්‍රේමය ගොඩ නැගුවද අවසානයේ එය විඩාවකි. එය හුදෙක් ප්‍රේම දෙකක අතරමං වීම නිසා පමණක් නොවේ. සමාජයෙන් තමා චපල ගැහැනියක්ඇ යයි ඇතිවන බලපෑම සේම තමන් ආදරය කරන කෙනෙකුට කරනා රැවටීම සමගින් තමන්ට ආදරය කරන කෙනෙකු සමග ඒ ආදරය විඳීමට නොහැකි වීම නිසා මානසිකව ව්‍යකුලත්වය මෙසේ ඇයට විඩාව ගෙන දෙයි. එක් අතකින් බැලු කල මේ ගැහැණිය ප්‍රේමය උපරිමයෙන් හිමිය. ඇයට සම්මත හා අසම්මත ප්‍රේමයේ ඉවුරු දෙකම හිමිය. ඇයගේ ලෝකයේ හිරු කසාද සැමියා ය. ඇයගේ ජීවිතය එළිය කරනුයේ ඔහුය.  එසේම ඇය සොයන සෞම්‍ය වූ සෙනෙහස ආදරය ගෙන එනුයේ ඒ අසම්මත පෙම්වතාය. ඔහු සඳු සේ ය. සෞම්‍ය ය. ජිවිතයේ විඩාව නිවාලයි. ඇයගේ දෑත මේ දෙදෙනාටම හිමිය. මේ හිරුත් සඳුත් දෙකම ඇති විට වුවද ඇයගේ ප්‍රේම විජිතයම අඳුරුය.
ඇය, ඇයට අවශ්‍ය දේ සොයයි. එත් සමාජ සම්මතයන් ඒ සියල්ල අභිබවා යයි. මේ සමාජ සම්මත රීතින් හරියට කනාටු සුළගක් වැනිය. එය කිසි කෙනෙකුට සිසිලක්, අස්වැසිල්ලක් ගෙන දෙන්නේ නැත. ඇය ඒ සුළඟට හසු වූ දුහුල් මලක් වැනිය. ඒ මේ අත ගසා ගෙන යයි. සමහරු ඇය නිවැරදි කියයි සමහරු ඇය වැරදි කියයි. තවත් විටක මේ සුළඟ දැඩි වූ විට මේ දුහුල් මලේ පෙති ගැලවී විනාස වී යයි. කෙසේ වෙතත් ඇයට ඇත්තේ කා ලඟට යනවාද යන ප්‍රශ්නය නොවේ. කාගෙන්ද සමුගන්නේ යන්නය. මන්ද ඇයට මේ දෙකම අවශ්‍යය.
'දුහුළු මලක්' චිත්‍රපටයේ එක් ගීතය බැගින්  ප්‍රේමකිර්ති හා ධර්මසිරි ගමගේ  රචනා කරන අතර 'බොඳ මිදුම්' ගීතය හා 'රන් කෙන්දෙන්' ගීතය අජන්තා රණසිංහ ද රචනා කරයි. රන් කෙන්දෙන් ගීතය අජන්තා රචනා කරනුයේ ගැහැණියකගේ මනසින් මේ කාරණය දකින ආකාරයෙනි. මේ පදවැල සරල ය. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයාට අවශ්‍යය කතාව පරිපුර්ණ ලෙස ඔහු ගීතය තුල සඳහන් කරයි. එයට අමතරව අධ්‍යක්ෂකට පැවසීමට හෝ සිනමාවට නැගීමට නොහැකි දේ ඔහුගේ පදවැල් තුල දැකිය හැක. දෙවන ස්ථායි කොටස මේ සඳහා කදිම උදාහරණයකි. සරත් දසනායක සංගීත නිර්මාණකරුවා සිංහල සංගීතයේ තම අනන්‍යතාවය නිර්මාණය කර ගන්නේ සිනමා සංගීතය තුලින්ය. ඔහුගේ  චිත්‍රපට ගීත බොහොමයක් තවමත් අතිශෙයින් ජනප්‍රියය. ඉන්දියානු තනු වලින් මිදී නමුත් එලෙසම ප්‍රේක්ෂක ග්‍රහණයක් ලබා ගැනීමට තරම් ඔහුගේ ගී තනු ආකර්ශනීය සේම එය සිනමාව සමග කදිමට බද්ධ වී ඇත. මෙහි මුල් ගායනය දී නන්දා ගේ කටහඬ තරුණය. නමුත් ඇය ඉන්පසු කල පටිගත කිරීම් වල ඒ හඬේ භාවපුර්ණ බවක් දැකිය හැකි අතර ගීතයේ අරුත සමග කදිමට ගැලපේ. චිත්‍රපටය අභිබවා ගීතය තවමත් ජනප්‍රිය වීමට නන්දාගේ හඬත් අජන්තාගේ පදත් සේම සරත් දසනයකයන්ගේ තනුවත් හේතු වුවාට සැක නැත.



Thursday, 23 June 2016

Jenny's Wedding - සමලිංගික විවාහයට එහා දෙයක්...

පසුගිය දිනෙක 'Jenny's Wedding' නැරඹුවෙමි. අප නිතර දකින ඇමෙරිකානු සිනමා පට වල මෙන් ත්‍රාසජනක ක්‍රියා, ඉල ඇදෙන විහිළු හෝ  රාගික දර්ශන කිසිත් නැත. නමුත් සෑම රූප රාමුවක්ම බොහොම සංයමයකින් නැරඹිය හැක.

සාමාන්‍ය පවුලක තුන්වන දරුවා වන  Jenny සමලිංගික කාන්තාවකි. ඇය සමලිංගික බව පවුලේ උදවිය නොදනී. දෙමාපියන් ඇයට විවාහයක් ගැන සිතන්න බල කරන අතර, ඇය විවාහවීමට පවුල් ජීවිතයක් ඇරඹීමටද තීරණය කරයි. ඇය විවාහ වීමට බලාපොරොත්තු වනුයේ තමන්ගේ කාමරයේ සිටින තැනැත්තිය සමගය. ඇය සමලිංගික බව පවුලට පැවසීම සමග එම පවුල හැසිරෙන ආකාරය හා සමාජය ඉදිරියේ ඔවුන්ට පැමිණෙන ප්‍රශ්න ඉතා අගේට, අලස නොවන ලෙස අධ්‍යක්ෂකවරිය පෙළ පෙළගස්වයි. අවසානයේ සම්ප්‍රදායික හින්දි සිනමාපටයක් ලෙස සියල්ල සතුටින් නිම වෙයි.

මෙහි ඇති සමහරක් සිද්ධීන් ඇමරිකානු සමාජයට වඩා ඉන්දියානු උපමහද්විප සමාජයට හුරු බවක් ගෙනදෙයි. දුවවරුන් තමන්ගේ සියළු රහස් පළමුව හෙළි කරනුයේ අම්මාටය. අම්මා හා තත්තා අතර මුල් තැන පියාට ලැබෙන අතර දරුවන් කෙතරම් මුහුකුරා ගියද ඒ දෙමාපියන් ඔවුන් ගැන සෙවීම තම වගකීමක් ලෙස ක්‍රියා කරයි. සමාජයේ කෙතරම් ප්‍රශ්න නැගුණද සහෝදර ප්‍රේමය වෙනස් නොවේ. අවසාන වශයෙන් පියෙකු හා දුවෙකු අතර ඇති බැඳීම ඉතා ප්‍රබල ලෙස පෙන්වයි.

සිනමා පටය ආරම්භ වන්නේ පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු භෞස්තිස්ම කිරමේ රුපරමුවකිනි. Jenny ට තම සහෝදරියගේ මෙන් විවාහ උත්සවයක් අවශ්‍යය. නමුත් එය පල්ලියේ පැවැත්වීමට හැකියාවක් නැත. ඇයට තමන්ගේ වෙනස් වීම අන් අයට දැන්වීමට අවශ්‍යය. නමුත් පවුල් පරිසරය සමග ඇයට එය නිසි ආකාරව කර ගත නොහැක. Jenny ගේ වෙනස් වීමත් සමග මව පියා අතර ගැටුම් මෙන්නම සහෝදරියන් අතර ගැටුම් ද දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ද  මතු වේ. එහෙත් ඒ කිසිවක් සීමාව ඉක්ක්මවා නොයයි. වඩා විශේෂ වූ කාරනය, කිසිවෙකු Jenny ට වෙනස් වෙන්නට නොකීම හා Jenny ගේ ක්‍රියාකාරකම් ඇයගේ පවුලේ අනෙක් අයට බලපාන ආකාරය ගැන පමණක් කතා කිරීමය.
චිත්‍රපටයේ කතා තේමාව අනුව ඉහටත් උඩින් රාගික දර්ශන හා පුද්ගල ගැටුම් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් තිබුනද එකම එක තොල් සිප ගැනීමක ( එය කතාවට අවශ්‍යය) long shot එකක් පමණක් එකතු කරගැනීම අධ්‍යක්ෂකවරිය ගේ දක්ෂතාවය.

සමලිංගික විවාහ වීම් පෙර අපරදිග සෑම සංස්කෘතියක්ම ආගන්තුක මෙන්ම එය දෙස බලනුයේ වැරදි කෝණයකි. කතෝලික හෝ බෞද්ධ සංස්කෘතියේ සමලිංගික විවාහ වලට ඉඩ නැත. විශේෂයෙන්ම කතෝලික පල්ලිය ඒ දෙස බලනුයේ සාපරාධි අපරාධයක් ලෙසය. නමුත් මෙය හුදෙක් පුද්ගලයින්ගේ කායික විපර්යාසයකට වඩා මානසික විපර්යාසයක් බව විද්‍යාව විසින් ඔප්පු කර ඇත. ඒ අනුව සමලිංගික කසාදයට බොහෝ රටවල් නිත්‍යානුකුලව ඉඩ දී ඇත.

කසාදය හා විවාහය එකම අරුතක් ගැනුනද, මා දකින ආකාරයට මේ දෙකෙහි වෙනස් කම් පවතී. කසාදය යනු නීතිමය බැඳීමකි. විවාහය සංස්කෘතික බැඳීමකි. සමලිංගික පිරිසට ද නීතිමය බැඳීමට ඉඩ අවස්ථා තිබිය යුතුය. නැති නම් නීතිය ඉදිරියේ සැවොම එක සමානය යන්න බොරු වන්නේය. එසේම සමලිංගිකයන්ට ද නීතිමය ඉඩ අවස්ථා තිබිය යුතුය. උදාහරණයක් ලෙස නීතිමය සහකරුවාට, රෝහලකදී, බැන්කුවකදී පිළිගැනීමක් ඇත. බැංකු ණයකදී සහකරුගේ ආදායම තමන්ගේ මුළු ආදායමට ඒකාබද්ධ කල හැක. රෝහලකදී රෝගියාගේ භාරකරු ලෙස ක්‍රියා කල හැක. මෙවන් අවස්ථා සමලිංගික වූ පමණින් අහිමි කලයුතු නොවේ. කසාදය, ලිංගික එක් වීමකට වඩා එහා ගිය දෙයකි. එයට නීතිමය පිළිගැනීමක් ලබනුයේ ඒ නිසාය. දෙදෙනෙකුට නීතියෙන් කසාද නොබැඳ හෝ ලිංගිකව එක් විය හැක. ලිංගිකව එක්වන්නේ විෂම ලිංගික පුද්ගලයින් දෙදෙනෙක් දැයි සොයා බලන පොලිසියක් කොහෙවත් නැත.

නමුත් විවාහය සංස්කෘතික බැඳීමකි. එයට නීති අණපනත් නැත. කාලයක සිට ගෙනෙනු ලබන චාරිත්‍ර අනුව විවාහය සිදුකරනු ලබයි. කතෝලික නම් පල්ලියේ විවාහය, සිංහල බෞද්ධ නම් පෝරුවේ චාරිත්‍ර ආදිය ඇතුලත්ය. මෙය පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමට වඩා පවුල් දෙකක් සමාජ දෙකක් මිශ්‍ර වීමකි. ඒ චාරිත්‍ර කඩ කරා හෝ හරියාකාරව පිළිපැද්දා යන්න ඔව්නොවුන් අතර එකගතාවක් මිස නිත්‍යානුකුල බවක් නැත. මෙවන් චාරිත්‍ර වලට සමලින්ගකයන් ඉඩ ඉල්ලන්නේ නම් එය සම්පුර්ණයෙන්ම සමස්ථ සම්ප්‍රදාය බිඳ දැමීමකි. උදාහරණ ලෙස පිරිමි දෙදෙනෙක් හෝ ගැහැණු දෙදෙනෙක් පෝරුවේ සිටිනවා අප දැක නැත.

Jenny ට ඇතිවන ප්‍රශ්නයද මේ විවාහය පිලිබඳ ප්‍රශ්නයයි. ඇයට විවාහ උත්සවයක් ගැනීමට වුවමනාවක් ඇත. අවසානයේ ඇය සැමගේ සහය ඇතිව විවාහ උත්සවයක් පවත්වයි. නමුත් විවාහයට පෙර ඇතිවන සියළු ප්‍රශ්න ඇය සමලිංගික නිසා වීම නොව ඇය සමලිංගික කාන්තාවක් ලෙස විෂම ලිංගික ආකාරයේ දේ බලාපොරොත්තු වන නිසාය.