Wednesday, 30 July 2014

මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

ඇය නවාතැන් ගෙන සිටියේ තමන්ගේම නිවසේ නොවේ. තමන්ගේ ගෙදරින් පිට නවාතාගෙන් සිප්සතර හදාරා, ඇය සරසවි වරම් ලබන්නේය. එය ප්‍රීතිමත් හේතු කාරනවක්ය. එහෙත් අපේ කතා රචකයාට ඇත්තේ අසීමිත දුකකි. එය ඇය සරසවි වරම් ලබූ නිසා නොව නවාතැනින් යාම නිසාය. අසල ගසක හඬ නගන පාන්කිරිත්තා ගෙන දෙන්නේ ඒ ශෝකී බව සමග මුසල කමකි.

නවාතැනින් ඇය යනවා 
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

අපේ කතා රචකයා සරසවිය සිතින් මෙනෙහි කරන්නේ මේ අවස්ථාවේදීය. හිරිමල් යොවුන් වින් ඉක්කම භද්‍ර යොවුන් වියට පැමිණි යෞවන යෞවනියන්ගේ සිනහා හඬ කවට කම් සමග සරසවි මග තොටේ දකින පෙම්වතුන් ඔහුගේ සිහියට නැගේ. ඔහු තුල දුකත් සමග සිතේ ඉරිසියාවක්ද ඇතිව ඇතිබව අපට හැඟෙ. ඒ මෙවන් චමත්කාර ජනක සරසවි වරමක් ඇයට ලැබීමත් තමන්ට නොලැබීමත් ගැනය.

භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම්බැදි
සිනා කවට බස් පවසති 
කුමර කුමරියන්..

ඒ සමග ම ඔහුගේ සිතට සැකයද පැන නැගී ඇති බව පෙනේ. නවාතැනේ සිටි යුවතිය ගේ සිත වෙනස් කිරීමට බොහෝ දේ සරසවිය තුල ඇති බව ඔහුට මතකයට නැගේ... ඇයගේ ඇත පතන පිරිස් තවත් සිටිය හැක. ඔවුන් රසවත් හසුන් ඇයට පිරිනැමීමට පුළුවන. ඇය ඒවාට අසු වේවිද? එසේ නැති නම් මේ වෙනස් ලෝකය තුල ඇයට අතීතය අමතක වේවිද? එක්කෝ සරසවියේ කඩවසම්, ජනප්‍රිය, දක්ෂ යව්වනයෙක් කෙරෙහි ඇයගේ සිත යාවිද.. මේ සියල්ල ඔහුගේ සැකය තුල ඇතිවන ප්‍රශ්නය.

ඇසුර පතන දූත හසුන් 
අවට මැවෙත නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිත්

මෙසේ සැකයේ වෙලෙන අප කතාරචකයා, වරෙක ඒ සියල්ල අමතක කිරීමට උත්සහා කරයි.. ඇය හිස පීරන උදෑසනක දුටු රුව ගැන කුරුල්ලන්ට ගී ගයන්න එපා කියන්නේ මේ නිසාය. ඔහු සිතනුයේ, ඔහු දුටු ඒ මනස්කාන්ත රුව කුරුල්ලන් ද දැක ඇති බවය. මෙසේ ඒ රුව නැවත නොදකිම නිසා කුරුල්ලන් ඒ ගැන ගී ගැයීම ඔහුට මතකය ආවර්ජනය කිරීමකි.

මතක විමල් කවුළු දොරින්
හිස පීරන උදෑසනක
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

කෙසේ හෝ ඔහුගේ සිතේ යම් බලාපොරොත්තුවක් ඇති බවක් පෙනේ. ඇය සරසවි ජීවිතය අවසන් කර නැවත පැමිණේ යයි ඔහු සිතයි. එය කොපමණ කාලයක්දයි ඔහු නොදනී.. සමහර විට කල්පයක්... විය හැක.. සමහර විට ඒ සඳහා ඉර අවරින් පායන තුරු සිටිය යුතුය.. එනම් ඇය නැවත නොපැමිණිය හැක. එහෙත් නවාතැනේ ඇය පිලිබඳ තිබු මතකයන් සමග සිහිනෙක වේලි සිටින්නම් යන්න ඔහුගේ බලාපොරොත්තුව.

ශිල්ප සතර දැන එනතුරු 
කල්ප කාල පසුවනතුරු
ඉර අවරින් පායනතුරු 
සිහින දකින්නම්..

සුනිල් සරත් පෙරේරාගේ අපුර්වම පදවැලකි මේ. මෙය ඔහුගේ අත්දැකීමක් යයි මා අසා තිබේ ( වැරදි විය හැක.) මෙහි අපුර්වත්වය නම් කොතනකවත් මේ තැනැත්තිය ඔහු ගේ පෙම්වතිය බව සඳහන් නොවීමයි. සමහර විට ඔහු සිතින් ඇයට ආලය කරන්නට ඇත. එසේම ඔහු සරසවි වරම් නොලැබුවා යන්න ද මෙහි සඳහන් නැත. සමහර විට ඇය නොයන සරසවියක අපේ කතා රචකයා ශිෂ්‍යයෙක් වීමට ද පුළුවන්. ඔහුගේ එකම කනගාටුව නිතර ඒ විප්‍රයෝගය ය. ඇය තමා අසල නොමැති වීම තුල මනසේ නැගෙන විවිධාකාර වූ අරගල සැමට පොදුය. අරුමය නම් ඒ සියල්ල සංයමයකින් විඳදරා ගැනීම වීනා ඒවාට එරෙහිව ක්‍රියා නොකිරීමය.

සනත් නන්දසිරිගේ සංගීතය හා හඬ, පුදුමාකාර ශෝකකුල බවක් නිර්මාණය කරයි.. ඒ සංගීතයේත් හඬේත් ඇති නිවුණු බව පදමාලාව සමග හරි හරියට බද්ධ වී ඇත. තරමක් දුරට ඔහුගේ නිදිකුම්බා මල් කැකුලි ගී යට සමාන බවක් මට හැඟෙ.
https://www.youtube.com/watch?v=dJ1d8_ZkIA4

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Tuesday, 29 July 2014

කාර් රේස් තියන්න නුවරම ඕනනේ ඇයි?

රටේ ජාතික ප්‍රශ්න ඕන තරම් තිබේ. එත් ආණ්ඩුවටත් විපක්ෂයටත් ලොකුම ප්‍රශ්නයක් වන්නේ නුවර කාර් රේස් ය. නුවරට කාර් රේස් අවශ්‍ය ඇයි. මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. මන්ද නුවර මාර්ග රේස් තියා ගම හරහා දුවන්නවත් සුදුසු මාර්ග නොවේ. ඒ මදිවට කාර් රේස් නැරඹීම සඳහා සුදුසු පරිසරයක් ද නැත. එත් නුවරට කාර් රේස් අවශ්‍යය. මන්ද මහින්ද රාජපක්‍ෂ යන රේස් එක දිවිමේදී ප්‍රතිවාදියාට යම් රිදිවිමක් කිරීමට නුවර කාර් රේස් වලට පුළුවන්ය.

මහින්ද රාජපක්ෂ යනු කවුද? හම්බන්තොට ප්‍රාදේශීය ප්‍රභූ පරම්පරාවක සාමාජිකයෙකි. ඔවුන් ගේ පරම්පරාව මෙරට පාලනය උරුමකම් කියූ පරම්පරා වලට සම්බන්ධ පවුලක් නොවේ. අතීතයේ මෙරට පාලනයට හවුල් වූ හා උරුමකම් කියූ ඇල්ලේපොල, කැප්පෙටිපොල, මඩුගල්ලේ වගේ රදළ හෝ ප්‍රභූ (මොවුන් රදලයන්ද ප්‍රභූ වරුන්ද යන්න වෙනම කතා කල යුතුය) පරම්පරා වල වර්තමාන පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් ජීවත් වනුයේ විදේශගතවය. ඔවුන් තවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය පිලිබඳ උනන්දුවක් නැත. යටත් විජිත යුගයෙන් පසුව පාලන බලයට උරුමකම් කියූ සේනානායක, බණ්ඩාරනායක, විජේවර්ධන, කොතලාවල වැනි පරම්පරා වලින් වර්තමානයේ නියෝජනය වන්නේ රනිල් වික්‍රමසිංහ පමණි. මොවුන් කුමන පක්ෂයකින් බලය ඉල්ලුවත් නියෝජනය කරනුයේ එකම පැලන්තියකි. වරක් අනුර බණ්ඩාරනායක රුපවාහිනී සාකච්ඡාවකට පැමිණ පැවසු කරුණක් මෙහිදී මතක් කරන්නට කැමතිය. 'දකුණු ආසියාවේ දේශපාලන බලය හිමි පවුල් කිහිපයකි. එනම් ඉන්දියාවේ ගාන්ධි, පකිස්ථානයේ භූතෝ, බංගලාදේශයේ අහමඩ් වගේ ලංකාවේ බණ්ඩාරනායක. මා එවන් පවුලක සාමාජිකයෙකි.' මෙය බැලූ බැල්මට උඩඟු ප්‍රකාශයකි. එහෙත් යථාර්තය නම් එයය. මහින්ද යනු මෙවන් පවුලක සාමාජිකයෙක් නොවේ.

දේශපාලන අරමුණු කෙසේ වුවද ඉහත සඳහන් කල පැලැන්තියේ සාමාජිකයන් විවිධ ක්ශේස්ත්‍ර නියෝජනය කළහ. චිත්‍ර කලාවෙන් ජෝර්ජ් කිට්, ගෘහ නිර්මාණ ශිල්පයෙන් ජෙෆ්රි බවා සිනමාවෙන් ගාමිණී ෆොන්සේකා/අයිරාංගනී සේරසිංහ, ලෙස්ටර් ජේම්ස් පිරිස්  ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙත්තමුණි/රන්ජන් මඩුගල්ලේ ආදිය ද කදිරගාමර්/ඇතුලත්මුදලි/පොන්නම්බලම් වැනි මහජන නියෝජිතයන්/නීති විශාරදයන් ද මින් කිහිපදෙනකි. මොවුන් දෙස විමසිලිවත්ව බැලූ විට එක් විශේෂයත්වයක් දැකිය හැකිය. හොඳින් ඉංග්‍රීසි බස හැසරවිමත්, තමන්ගේ විෂය පිළිබඳව ඇති හසල දැනුමත්, අනිකුත් විෂයන්  පිලිබඳ විශේෂ වූ අවබෝධය මින් වැදගත් වේ. මීට අමතරව තමන්ගේ සම්භාවනීය බව සඳහා ලෝකයේ සම්භාවනීය දේවල් පරිශීලනය මොවුන් අතර  කැපී පෙනේ. උදාහරණයක් ලෙස කොළඹ විදේශීය ඔපෙරාවක් පෙන්වන විට මේ කණ්ඩායමේ නියෝජිතයෝ බොහෝ දෙනෙක් එහිදී දැකිය හැක. කොළඹ SSC, BRC, කොළඹ ගොල්ෆ් සමාජය, ලයනල් වෙන්ට් ආදී සමාජ වල  සාමාජිකයන් වීමද එක් ලක්ෂණයකි.

මහින්ද අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් හා නාලන්දා විද්‍යාල වලිනි. දේශපාලන බලයත් සමග සිටි මහින්දගේ පියා, මහින්දව රෝයල් කොලීජියට අධ්‍යාපනය සඳහා නොයව්වේ මන්ද? මහින්දගේ සමකාලින දේශපාලන චරිත බොහොමයක් රෝයල් ශිෂ්‍යයෝ ය. අනුර, රනිල්, දිනේෂ් මින් කිහිපදෙනකි. යථාර්තය නම් මහින්දගේ පියා ලංකාවේ සිවිල් බලයක් හිමි පුද්ගලයෙකු වුවද රෝයල් කොලීජියට ළමයා දමා ගැනීමට තරම් ඒ බලය ප්‍රමාණවත් නොවීමය. එසේ නැති නම් වරප්‍රසාද ලත් කණ්ඩායම  නියෝජනය නොකිරීමය. රෝයල් අධ්‍යාපනය හිමි කම් කියුවේ මා මුලින් සඳහන් කල රදළ/ ප්‍රභූ කණ්ඩායම් වල ළමයින්ට ය. රජය මේ කාණ්ඩයේ පාසල් රජයට පවරා ගැනීමත් සමග මෙවන් පාසල් වල අධ්‍යාපන පහසුකම් සාමාන්‍ය ජනයාටද හිමි විය.

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් මහින්ද පළමු වරට බලයට පත්වන්නේ 70' දී ය. 'කුරහන් සාටකය' පොතෙහි සඳන් වන අන්දමට මහින්දට පළමු කාර් රථය ප්‍රදානයකි. එය ප්‍රදේශයේ මහජනයා මුදල් එකතු කිරීමෙන් මහින්දට මිලදී අරන් දුන් මෝටර් රථයකි. මේ කාලයේදී ජේ ආර් ජයවර්ධන පරිහරණය කළේ ජගුවර් වර්ගයේ කාර් රථය කි. පැහැදිලි ලෙසම මෝටර් රථයක් මිලදී ගැනීම තරම්වත් මහින්දගේ ආර්ථිකය ඒ කාලයේදී ශක්තිමත් නැත. මහින්දගේ රැකියාව වුයේද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහකරුය. සරල ලෙස පැවසුහොත් එකල මෙරට සිටි ඉහල පෙලේ ධනපති පැලන්තිය නියෝජනය කිරීමේ හැකියාවක් ද මහින්දට නොවිය.

මහින්දගේ ඉවසීමත්, නොපසුබස්නා උත්සාහයත් ඔහුව නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කරවිය. මහින්දට විරුද්ධව තමන්ගේ පක්ෂයේද එදිරිවාදිකම් කළේ මා ඉහත සඳහන් කල කණ්ඩායමය. ඔවුන්ට අවශ්‍යය වුයේ ඔවුන්ගේ සාමාජිකයෙක් අත බලය රඳවා ගැනීමය. එය චන්ද්‍රිකාද රනිල් ද යන්න නොවේ. ඔවුන්ගේ පැලන්තිය නියෝජනය කරන කවුරු හෝ මෙරට පාලන බලයට හිමිකම් කීමය.

මහින්දගේ පුතුන් ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යන්ය. ඔවුන් ඒ පාසලට ඇතුලත් වීමට මහින්දගේ දේශපාලන බලයට වඩා ශිරන්තිගේ ආගමික පසුබිම බලපාන්නට ඇත. තිදෙනාම හොඳ රගර් ක්‍රීඩකයන් ය. නාමල් හා යෝෂිත ශ්‍රී ලංකා රගර් කණ්ඩායම නියෝජනය කිරීමේ ලකුණු පාසල් කාලයේදීම පෙන්විය. රගර් ක්‍රීඩා සමාජ ගත කල ඒවායේ උරුමකම් කිවේ ද මා මුලින් සඳහන් කල කණ්ඩායම් ය. නුවර ක්‍රීඩා සමාජය, CH & FC, හැව්ලොක් මේ කිහිපයක් වන අතර රාජපක්ෂ පුතුන්ගේ හැකියාවට මේ ඕනෑම කණ්ඩායමක් නියෝජනය කිරීමේ හැකියාව තිබුණි. එහෙත් එවන් කණ්ඩායමක සාමාජිකත්වය ලැබුවද නායකත්වයට යාමට දක්ෂකම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා තව තව සුදුසුකම් සැපිරිය යුතුය. ජනාධිපති පුතුන් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජපක්ෂ පුතුන් රගර් ක්‍රීඩාව සඳහා තෝරා ගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජය. යෝෂිත රගර් කණ්ඩායමේ නායකත්වයට පත් කල පසු, නුවර රගර් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වර්ජනය කිරීම තරම් මේ උඩගු කම ප්‍රබල විය.

අනාදිමත් කාලයක සිට මෙරට කාර් රේස් පැද්දේ මා ඉහත සඳහන් කළ කණ්ඩායමේ සාමාජිකයන්ය. ඔවුන්ට වර්තමානයේ මෙන් ලම්බෝගිනි, ෆෙරාරි, රථ තිබුනේ නැත. රේස් පැදීම සඳහා වෙනස් කරන ලද රථ යොදා ගනිමින් මතුගම කාර් රේස් තරගාවලිය නියෝජනය කිරීම ඔවුන්ගේ සම්භාවනීය බව පෙන්වීමට වාර්ෂිකව කල එක් කාර්යකි. අප කුඩා කාලයේ කාර් රේස් සමග නිතර කියවූ නමක් වුයේ මානප්පෙරුමය.

මහින්ද කාර්රේස් වලට එක්වන්නේ ලෝකයේ ඉස්තරම් වූ ස්පෝර්ට්ස් කාර් සමගය. දැන් ඉහත සඳහන් කල ඒ පැලැන්තියට මහින්ද සමග හරි හරියට රේස් යාමට සුදුසු රථ නැත. මුලින්ම මහින්ද කලේ ඔවුන්ට පෙනෙන්නට රේස් යාමය. පසුව තීරුබදු රහිතව රේස් කාර් ගෙන්වීමට සැලැස්වීමෙන් තමන්ට හිතවත් කාර් රේස් පැදිය හැකි කණ්ඩායමක් මහින්ද නිර්මාණය කළේය. දැන් ලංකාවේ කාර් රේස් පදින්නට නම් මහින්ද සමග එක් වියයුතුය. තවමත් මේ 'ඉහල' පැලැන්තිය මහින්ද සමග නැත. ඔවුන්ට පුංචි රිදවීමක් කිරීමට නුවර කාර් රේස් වලට හැකිය. මක්නිසාදයත් නුවර මේ පැලැන්තිය මහින්ද සමග එක් වීමට තවම සුදානම් නැති බැවිනි.

මහින්ද තවමත් චන්ද්‍රිකා ගේ ක්‍රියාවන් ගැන බලා සිටින්නේ මේ පැලැන්තිය නියෝජනය කරන රදළ මානසිකත්වයක් හිම දේශපාලනයට සම්බන්ධ එකම තැනැත්තිය ඈ නිසාය. රනිල් මේ කණ්ඩායම නියෝජනය කල ද රනිල් ගේ ලිබරල් අදහස් අනුව ඒ පැලැන්තියට පැවතිය හැකිද යන්න තවමත් ප්‍රශ්නකාරිය.

'56 ආණ්ඩු පෙරළිය ගැන මාටින් වික්‍රමසිංහයන් සඳහන් කලේ 'බමුණු කුලේ බිඳ වැටීමක් ලෙසය'.බිඳවැටීම කෙසේ වෙතත් යම් වෙනසකට භාජනය වූ බව දැකිය හැක. ලාංකීය දේශපාලනයේ වැඩවසම් නියෝජනය අවසන් වීමේ ලකුණු එදා දිස් විය. නමුත් ඒ දේශපාලන බලය රදළ වලව්වෙන් සමාජ ප්‍රජත්‍රන්තවාදීන් අතට නොගොසින් අන්තවාදීන් හා අමනයන් අතට පත් වීම අප සැමගේ අවාසනාවන්ත කමය.

මහින්ද ගේ පාලනයේ අඩු ලුහුඩු කම් එමටය. එහෙත් ඔහුගේ ප්‍රශ්න ඉදිරියේ නොසැලෙන ගුණය අසම සමය. ජාතික හා ජාත්‍යන්තර ඔහුට පැමිණෙන බලපෑම් ඉදිරියේ නොසැලී සිටීම පමණක් නොව නැවත රිටන් එකක් දීමට තරම් එඩිතර කම විශේෂය. මහින්දට තර්ජනය පවතින්නේ කාගෙන්ද යන්න මහින්ද ද හොඳින් දනී. එය පාලනය කල හැක්කේ කෙසේද යන්නද වඩා හොඳින් දන්නේ මහින්ද පමණි. මහින්දට ඡන්ද අඩුවෙන්ම ලැබෙන කොළඹ හා නුවර කාර් රේස් පැවැත්වීමට මෙතරම් උනන්දු වන්නේ ඒ නිසාය.

Tuesday, 8 July 2014

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...

IELTS exam එක ඉවර වෙලා මා විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට හොඳටම හවස් වී තිබුණි. ඒ මදිවට සිහින් පොද වැස්සක් සමග හාත්පසම අඳුරුය. වැස්ස පායන තුරු පොඩ්ඩක් ඉවසා සිටීමට මම අසල තිබු වහල් පියස්සකට මුවා වුනිමි.තව බොහෝ දෙනෙක් මා මෙන්නම වැස්ස නිම වන තුරු එතන බලා සිටින්නට වුහ. මා ඉදිරියේ අනිත් පස කෙල්ලෝ රංචුවකගේ සිනහා හඬ හොඳට ඇසේ. ඔවුන් එකිනෙකාට ඔච්චම් කරමින් සිනාසෙයි. මා මෙන්ම මා අවට සිටි අනෙකුන්ද නෙත රැදී ඇත්තේ ඔවුන් දෙස බව වට පිට බැලු මට දිස් විය. මේ කෙල්ලන් අතර ඉතා රූමත් තරුණියක් වැඩි සද්දයක් නැතුව සිටි. එත් ඇය අනෙකුන්ගේ කතා වලට සංයමයකින් සිනාසෙයි. මගේ නෙත් ඈ ළඟ නතරවිය. එත් ඇයගේ නෙත් එහා මෙහා ගමන් කරයි. මේ කෙල්ලගෙන් මට වැඩක් නැත. දැන් මා ගෙදර යායුතුය. චුරු චුරු වැස්ස තිබියදීම මම රථගාල වෙත යාමට පියවර තැබුවෙමි. අර කෙල්ල පසු වෙනවාත් එක්කම මා යලිත් වරක් ඈ දෙස බැලීය.

"හලෝ අයියේ.. ඔයා කොහෙද මෙහෙ..." අර කෙල්ල මා දෙස බලා කතා කළාය. ඒ මා සමග ද යන්න  සැක සිතු බැවින් මම වටපිට බැලුවෙමි.

" අයියේ.. ඔයාට මාව මතක නැද්ද?... මම කාංචනා..." ඈ මා වෙත පැමිණ කතා කළාය.

"කාංචනා... අම්මෝ... ඔයා ගොඩක් ලොකුනේ දැන්... මට අඳුනගන්න බැරි උනා..."

" ලොකුයි කියන්නේ මං අයියාව දැක්කේ අවුරුදු 15-20 කට පස්සෙනේ... එත් මට පුළුවන් උනා ඔයාව අඳුන ගන්න."

" ඉතින්.."

" අයියා කොහෙද යන්නේ මේ තෙමි තෙමි..ඉන්න මම කුඩේ දිග අරින්න.."

" මම car park එකට යනවා.."

" ඉන්න මම ඇරලවන්න.." ඈ මා සමග පැමිණෙන්නට විය.

මට මේ හමුවීම සිතා ගන්නටවත් නොහැකිය. කාංචනා මගේ වයසේ මිතුරියකගේ බාලම නංගි ය.  මා ඇයගේ ගෙදර යන එන කාලයේදී ඇයට වයස අවුරුදු 4-5 පමණ වන්නට ඇත. මගේ මිතුරියගේ වචන වලින්නම ඇය 'විසේ බඩ්ඩ' කි ඒ කාලේ.

ඇයත් සමග රථ ගාලට එන අතර තුර ඈ තව බොහෝ දේ කියන්නට විය. එත් මගේ මතකය අතීතය හාරවුස්සන්නට විය. දිනක් මා ඇගේ නිවසට ගිය දිනෙක ඇය  පුංචි රතු මල් වැටුණු ගවුමක් තුරුළු කරන වේගයෙන් දිව ආවය. ඇගේ මව ඈ පසුපස ඇය ලුහුබඳිමින් සිටියාය.

"මේ ළමයා ඔය ගවුම අඳින්නේ නැහැ... මම ලඟට එනකොට දුවනවා.." ඒ අම්මගේ පැමිණිල්ලය.

මා දුටු විගස ඇය අම්මා ලඟට ගොස් ඇඳුම අන්දගත්තාය. මේ එක සිද්ධියකි. බොහෝ දවස් වල ඇය මා දෙස බලන්නේ කවුළු දොර අතරින්ය. ඇය ගැන විශේෂයක් නැති වූ කල හොරෙන් ඇවිත් මහා හයියෙන් සිනා සෙයි. නැති නම් සෙල්ලම් බඩුවක් විසිකරයි. මේ පුංචි කෙල්ල දැන් පරිපුර්ණ තරුණියකි. ඇයගේ දඟකාරකම් දැන් නැත.

"අයියේ..." ඇය මා ආමන්ත්‍රනය කරන්නට විය.

" ඔයා වෙන ලෝකෙක නේද හිටියේ.."

" ඔව්... ඔයාගේ පොඩි කාලේ මතක් උනා.." ඈ ලජ්ජාවෙන් බිම බලා ගත්තාය.

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...
---------------------------------------------------------
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්................

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............


https://www.youtube.com/watch?v=nwIPHn8hQ7o

පද රචනය කිත්සිරි නිමල් ශාන්ත ය. වැඩිය හුරු පුරුදු නමක් නොවේ. නමුත් ඔහුගේ පදවැල් මා කුල්මත් කරන්නට විය. සියළු හැගීම් සීරුවට වචන වලට ගලපා ගැනීමට ඔහු සමත් වී ඇත.සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙය. ගායනය TM ජයරත්නය. මුළු ගීතයම ශ්‍රාවකයා රඳවා ගන්නේ ගීතයේ තනුව සහ සංගීතයයි කිවහොත් නිවැරදිය. ක්ලැරන්ස් විසින් TM ට නිර්මාණය කල ගීත බොහොමයක්ම ඉතාමත් මිහිරි තනු ය. බොහෝ තනු ඔහු විසින් ගායන කල ගීතවලට වඩා අගනේ යි මට සිතේ. මේ ගීතයේ නොනවත්වා වයෙන ගිටාරයේ තත් තුන ගීතයට ගෙනෙන්නේ අප්‍රමාණ ආලෝකයකි. ප්‍රබුද්දයන් කොපමණ ගැරහුවද ක්ලැරන්ස් ගේ නිර්මණ අතර ඉතා ප්‍රශස්ථ නිර්මාණ ඔනෑ තරම් ඇත යන්න මේ එක් නිදසුනකි. කිසිදින මහළු නොවන TM ගේ හඬ ගීතයට සර්ව සාධාරණයක් ඉටු කර ඇත.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday, 3 July 2014

හූ...හූ .....මෙදා පාරත් රැවටුණා නේද...?

මා මේ බ්ලොග් එක පටන් ගත්තේ දේශපාලනය ගැන ලියන්නේ නැත යන අදහසින්ය. එත් මේ සිදුවන විපිරියාස දැක නො ලියා සිටීමට බැරිය. කිසිදු සැකයක් නැත. මෙවරත් අති සාරවත් ලෙස මහින්ද රාජපක්ෂ මහජන මතය වෙනතකට යොමු කළේය. ඒ ගැන පුදුමයක් නැත. ඔහු සමග දේශපාලන ගේම් ගැසීමට සිටින්නේ ලිලිපුට්ටන්ය. අඩුම තරමේ මේ ගේමක් කියලවත් සිතා ගත නොහැකි බබ්බුය.

බස්නාහිර දකුණ පළාත් සභා ඡන්දය අවසන් වුයේ රජය සිතුවාට වඩා වෙනස් ආකාරයටය. කවුරුත් පැවසු පරිදි පළාත් සභා ඡන්ද ප්‍රතිපලය රජයට පොඩි අනතුරු ඇඟවීමක් ඇති කළේය. විපක්ෂ කණ්ඩායම් වලට කාලෙකට පසුව පොඩි තලු මරන්න යමක් ලැබුනේ ඒ ඡන්දයත් සමගය. විපක්ෂයේ සියළු කණ්ඩායම් තනි තනිව තමන්ගේ ප්‍රගතියත් ආණ්ඩුවේ පිරිහීමත් කතා කරන්නට පටන් ගත්තේය. රජය එලි දැක්වූ බස්නාහිර දකුණ ජවනිකාවේ පොඩි අඩුපාඩුවක් නිසාවෙන් ප්‍රේක්ෂකයා ඉවත්ව යන්නට සුදානම් බව මහින්දට ද අවබෝධ විය.

මේ නාට්‍ය අමුතුම නාට්‍යකි. එය තාම ම තිරරචනය කර, අධ්‍යක්ෂණය කර තාමාම රඟපාන නාට්‍යක් වුවත් ජවනිකාවෙන් ජවනිකාව තිරරචනය වෙනස් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. සිදුවූ අඩුපාඩුව මකා ගන්නට ආණ්ඩු පක්ෂයේ සිටින එක බම්මන්නෙක් කරුණු 12 පෙන්නමින් නටන්න පටන් ගත්තේය. ඔහුගේ නැටිල්ල මහින්දගේ තාලයට බව ජනතාවට තේරුම් ගියේය. එය වෙනදා තරම් එය සාර්ථක වුයේ නැත. එකම දෙය ආණ්ඩුවේ දුර්වලකම් වලින් විපක්ෂයට ලකුණු රැස්කරගැනීමට තිබුණු අවස්ථාව මේ බම්මන්නාගේ නැටිල්ලෙන් මගහැරී යාමය. එක්තරා ආකාරයට එය මහින්දට වාසිදායක වුවද ප්‍රමාණවත් නොවිය.

විමල් වීරවංශ සෙල්ලම පටන් ගත්තේ කැබිනට රැස්වීම වර්ජනය කරමින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින්ය. දැන් ඒ කිසිඳු ප්‍රශ්නයක් නැත. විමල් කැබිනට් රැස්වීම වලට යයි. PB මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සිටි. විමල් ගේ කැබිනට් පත්‍ර සම්මත වේ. මුදල් අමාත්‍යංශයෙන් මුදල් ලැබේ. විමල් ආණ්ඩුවේ සිටි. කරුණු 12 ද තිබේ. මහින්ද තමන්ට උවමනා ආකාරයට ආර්ථිකය හසුරුවයි.

මහින්ද යලිත් වරක් තිරරචනය වෙනස් කළේය. මෙවර එක් කල බම්මන්නා මීට පෙර මෙවැනි අවස්ථා වල නැටුවේ නැති අයෙකි. එනම් හැමදාම නාන නානසාරය. නානසාර ගේ නැටුම ඉතා ආකර්ශනියය. ත්‍රසජනකය. මහජනතාව ඇඟ කිලිපොලා යමින් ඔහුගේ කස්තිරම් බලා සිටියේය. ඔහු නටන විට මුළු වේදිකාවම ඔහුගේය. වෙන කාටවත් එයට ගොඩ වීමටවත් අවස්ථාවක් නැත. එත් මේ one man show එක ජනතාව නොසිතු ලෙස ආකර්ෂණය කිරීමට සමත් විය. රජය වාර්ෂික ව ගන්නා බිලි පුජාව ලබා ගැනීමට  නානසාරගේ කස්තිරම් අතර දී හැකි විය. 

අවසානයේදී මහින්ද සිතුවාටත් වඩා අගේට නානසාර තම වැඩ කොටස හමාර කළේය. ආණ්ඩුවේ දුර්වලකම් ගැන මහජනතාවට දැන් ප්‍රශ්නයක් නැත. විපක්ෂයට ද ප්‍රශ්නයක් නැත. ඇති එකම ප්‍රශ්නය ජාතික සමගිය ය. එසේ නැති නම් මුස්ලිම් ව්‍යාප්තවාදය. බෞද්ධ අන්තවාදී ක්‍රියාය. ජිහාඩ් ආක්‍රමණය. 

මහින්ද මෙවරද දේශපාලන පොර පිටියේ තමාට තරගයක් දිය හැකි අයෙක් නැති බව තාහුරු කළේය. සන්ධානයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඔහුය. විපක්ෂය තාම කවුද යන්නවත් සිතා ගත නොහැකිව සිටි. දැනට ඔහුට තරගයක් නැත. මෙලෙස රැවටෙනවා නම් ඉදිරියේදී ඔහුට තරගයක් නැත.

Monday, 9 June 2014

බට්ලර් ගේ දුර්වල කම ඔබටත් තිබේද...?

මෙම නිර්මාණය කාගේදැයි නොදනිමි. මුහුණු පොතේ මිතුරෙකු විසින් share කරන ලද්දකි.


බට්ලර් ගේ දැවියාම දැන්වීමකට යොදාගත් අයුරු... නිර්මාණශිලිත්වය ගැන කවර කතා ද?

Monday, 26 May 2014

ලංකාවට යනවද?.... පිස්සුද?

මා සමග එකට වැඩ කරන මිත්‍රයකු දීර්ඝ සේවා නිවාඩුවක් ලැබීමට නියමිතය. එය සති දහයක් පමණය. දිවා විවේකයේ  දී ඔහු අප සමග මේ ගැන කතා කළ අතර ඔහු විදේශ සංචාරයක් යාමට තීරණය කර ඇති බව පැවසිය. මා ඔහුට ලංකාවට සංචාරය සඳහා යන ලෙස දැන්විය. ඔහු 'මොන වගේද' යන්න විමසිය.  මා ඔහුට ලංකාවේ අලි ගැනත්, සිගිරිය ගැනත්, ලංකාවේ කකුළුවෝ සහ කෑම ගැනත් විස්තර පැවසිය. බොහෝ කලක සිට සංචාරය සඳහා යන පිරිසට මේ තුනෙන් එකකට ප්‍රිය වන බව මම ඒකාන්තයෙන් දන සිටියෙමි. වැඩි විස්තර සඳහා අන්තර්ජාලය පරිශීලනය කරන ලෙස දැන්විය.
පසු දින ඔහු මා හමු විය. බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් තමන්ට වූ ලිංගික බලහත්කාරකමකට විරුද්ධව වන්දි ඉල්ලා නඩු දමා ඇති බව ඔහු පැවසිය. මා නඩුව සත්‍ය බවත් එත් ලිංගික බලහත්කාරකමක් සිදු වුවාද යන්න නොදන්නා බවත් පැවසිය. සමහර විට මේ කාරණාව බොරුවක් විය හැකිබවත් මා පැවසිය. ඔහු රැකියාව ආරම්භ කර ඇත්තේ පොලිස් කොස්තාපල් කෙනෙකු ලෙසය. ඒ නිසා ඔහුගේ පළපුරුද්දෙන් මේ සිද්දිය ගැටළු සහගත බවත් උසාවියේදී ඇත්ත හෙළිවිය හැකි බවත් පැවසිය.
යලිත් වරක් ඔහු මා වෙත පැමිණියේය. අර කාන්තාව පිටුවල් කල තැනැත්තියක් බවත්, පිටුවහල් කිරීමට හේතුව ඇගේ අතේ බුදු හාමුදුරුවන්ගේ ටැටූ එකක් තිබීම බව පැවසු අතර ලංකාවේ ටැටූ තහනම්ද ඇසිය. මා ටැටූ තහනම් නෑ යි පැවසිය. සමහර විට බුද්ධ රූපය නිසා විය හැකි යි පැවසු අතර ලංකාවේ බුද්ධ ධර්මයට ඇති අල්ලම සහ ගෞරවය පිළිබඳව ද විස්තර පැවසිය. එවර ඔහු ඉස්ලාම් හා කිතුනු ලබ්ධිකයන් ඔවුන්ගේ ආගම් සලකුණ ටැටූ ගසා යන බවත් පැවසිය. අප සමග සිටින ඉන්දියානු ජාතිකයෙකුගේ නම සඳහන් කර ඔහුගේ උරහිසේ හින්දු ලාංචනයක් ටැටූ ගසා තිබෙන බව පැවසිය. එය ඇල්ම හෝ ගෞරවය පිලිබඳ ප්‍රශනයක් නොවන බව පැවසිය. නමුත් ඔහුට ලංකාවට නොයාමට මෙය ප්‍රශ්නයක් නොවන බවත් සමහර විට අප නොදන්නා හේතු ඇති බවත් පැවසිය.
දින කිහිපයකට පසු ඔහු පැමිණියේ  තවත් කුණුගොඩක් සොයාගෙනය. වික්ටෝරියා නමැති කාන්තාවක් මීට කලකට ඉහතදී කණ්ඩායමක් විසින් දුෂණය කර  ඇති බවත්. ඇයගේ වෙද්ද්‍ය සාක්ෂි පරිගණක වයිරසයක් මගින් විනාශ වි ඇති බවත් ය. එවර ඔහු ඇසුවේ නීති සාක්ෂි හා වාර්තා එලෙස විනාශ විය හැකිද යන්නය. එසේම නැවත ඒ විනාශ වූ දත්ත ලබා ගැනීමට මෘදුකාංග හා සේවා තිබෙන නිසා ඒවා ලබා ගැනීමට උනන්දු නොවන්නේ මන්ද යන්නය. මා නිරුත්තරය. මා රටින් බැහැරව වසර පහකට අධික බවත්, උසාවි හා නීති අංශ ගැන කිසිසේත්ම අවබෝධයක් නැති බවත් පැවසිය. ඔහු තවත් විස්තර සොයා ගෙන මා වෙත දන්වන්නම් යි පවසා යන්ට ගියේය. මා දා ගත්තේ මරාලයක් බව ඒත්තු ගියේය. කෙසේ හෝ මේ මනුස්සය අහන දේවල් වලට සුදානම්ව සිටිය යුතු බව අවබෝධ විය.
නැවත ඔහු පැමිණියේ හම්බන්තොට කුරම් ෂයික් ඝාතනය පිලිබඳ විස්තරත් ඝාතකයාගේ දේශපාලන පසුබිමත් පිලිබඳ විස්තර රැගෙන ය. ඝාතනය සිදු වූ  හෝටලය වර්තමාන ජනාධිපති ගේ බල ප්‍රදේශය බවත් සැකකරු එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු බවත් පැවසිය. ජනාධිපතු එහි සැකකරු සමග ගත් ඡායාරුප ද තිබිණ බවත් ඔවුන් මිත්‍රයන් බවත් පැවසිය. ජනාධිපති පමණක් නොව ඔහු, බොහෝ දේශපාලන නියෝජිතයන් සමග සම්බන්ධතා පවත්වපු පුද්ගලයකු බවත් තමා සොයා ගත් තොරතුරු වල සඳහන් බව ඔහු පැවසිය. ඔහුගේ ප්‍රශ්නය වුයේ ඇයි ඔහුව ධුරයෙන් අයින් කර නඩු නොඅසන්නේ සහ ඇයි ජනාධිපති ඉල්ලා අස්නොවන්නේ  යන්නය. ලංකාවේ දේශපාලනය ගැන කතා නොකරන ලෙසත් ඒ ගැන කතා කිරීම නිෂ්පල දෙයක් ලෙසත් මා පැවසිය.
ඉන් පසු ඔහු ලංකාවේ විස්තර විමසා මා වෙත නොපමිනේය. වරක් ආපනශාලාවේ දී ඔහු මුණ ගැසුණි. මා ඔහුගෙන් ලංකාවට යනවාදැයි විමසිය. ඔහු ගත කටටම "පිස්සුද" යි විමසිය. මම වචනයක්වත් නොවිමසවා එතනින් ආවෙමි.
පසුව ඔහු මගේ මේසය ලඟට පැමිණියේය. ඔහු ලංකාවට නොයන්න කාරණාව විස්තර කරන්නට විය. ඔහුට ආරක්ෂාව පිලිබඳ සැකයක් පවතින බව පැවසිය. හම්බන්තොට හෝටල තුල මිනිහෙක් මරා කාන්තාවක් දුෂණය කරන කාලය තුල පොලිසියට පැමිණිය නොහැකි වුයේ මන්ද යන්න ඔහුට ප්‍රශ්නයකි. සන්නිවේදන පහසුකම් එතරම් ප්‍රාථමික ද යන්න ඔහුට ප්‍රශ්නයකි. එවැනි අඩු පහසුකම් ඇති ස්ථාන වල හෝටල් පහසුකම් ලබාදීමෙන් සංචාරකයන් ජීවිත අවදානමට ලක්වන බව ඔහු පවසයි. එහි චුදිතයන් නිදැල්ලේ වසරකට අධික කාලයක් සිටීම නිසා සාක්ෂි වලට කොපමණ බලපෑමක් වුවාද සැක සහිත බව ඔහු පැවසිය. වඩා වැදගත් වුයේ ඔහු අවසානයට පැවසු දෙයය.
මේ සිදු වීම මට වෙන රටකදී වෙන්න පුළුවන්. නමුත් මට විස්වාසයක් තියෙනවා මට නීතියෙන් සාධාරණයක් සිද්ධ වේවි කියලා. ඔස්ට්‍රලියාවෙන් ගිය බොහෝ සංචාරකයන්ට අග්නිදිග ආසියාවේ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා .මැරිලත් තියෙනවා. නමුත් ඒ සියල්ලටම නීතියෙන් සාධාරණය ඉටු වෙලා තියෙනවා. ලංකාවේ එහෙම වේවි කියා සැක සහිතයි. මේ ඔහුගේ අවසාන විග්‍රයහයි. මම මින් පසු ලංකාවට සංචාරය සඳහා යන ලෙස කිසිවෙකුට නොපැවසිමට තීරණය කළෙමි.

Sunday, 18 May 2014

නාම විශේෂණ මට නැත ඔබ ගැන....

ගුරු ගීතයේ  අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. එසේ නොවන ගුරුවරුන්ට මල් මිටක් තිලිණ කිරීමට පසුබට නොවෙමි. මේ ගීතය ගෝල ප්‍රේමය ඉදිරියේ ගුරුවරයා ගේ හැසිරීම කෙබඳු විය යුතුදැයි සිහි ගන්වයි.

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරි කරලන්නට ඔබෙන් වරම් යදිමින්

මේ ශිෂ්‍යාව තම අඳුරු තුමාගේ රුවට නොව ගුණ 'සුවඳ' ට වශී වී සිටි. එය ඇයට සිහිනෙන් ගෑ සුවඳක් බඳුය. ඈ ප්‍රර්ථනා කරන ලෝකය නිර්මාණය කරගැනීමට වරම ඉල්ලන්නේ මේ නිසාවෙනි

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුවරයා ට අබ මල් රේණුවක තරම්වත් මේ ගැන හැගීමක් නැත. ඔහු ගුරු ගෙදරට පැමිණෙන්නේ තම ශිෂ්‍යන්ට ඉගැන්වීමටය. මේ සිසුවිය ගැන විශේෂයක් ඔහුට නැත.

හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කිවා
කුලුදුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ලතවෙනවා

ශිෂ්‍යාව කුල්මත්වන්නේ ඔහුගේ නෙත් සඟලින් කියවෙන දේ ගැනය. ඈ සිතන්නේ එය ප්‍රේමනීය කැදවීමක් ලෙසය. ඈ තම සිතැගි තම ගුරුවරයාට නොවලහා පවසයි. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු හා වෙලෙන්න ඈ ඔහුට ආරාධනය කරයි.

කෝප නොවන්නට මා ප්‍රිය සිසුවිය සිත නුබ  කළඹාදෝ
ශිල්ප උගන් නුබ නොමග යැවූ  දා මා ඇදුරිඳු වෙම්දෝ

ගුරුතුමා තවමත් සන්සුන්ය. ඔහු ඉතාමත් සංයමයකින් ඇයට කරුණු පහදයි. අය කැළඹී ඇති බව පසක් කර දී ගුරුවරයෙක් ලෙස ඇයව නොමගට යවන්න ඔහුට නොහැකි බව පවසයි.

සමාවන්න මට ඇඳුරුතුමනි මගේ සිරකරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්

සිසුවිය ගුරුවරයාගේ වචනය අවබෝධ කර ගනී. ඇය තම සිතැගි පාලනය කර ගන්නා බවත් සිතට වහල් වී පෙම් නොකරන බවත් පවසයි. එසේම ඇය ඔහුට ප්‍රශංසා කරයි.

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුතුමා නැවතත් ඇයට පවසනුයේ ඔහු පැමිණියේ ඉගැන්වීමට බවත් විශේෂ සැලකිල්ලක් ඇය පිලිබඳ නැති බවත්ය.

අයි. ඩි ජයතිස්සයන්ගේ පදමාලවත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයත් ඉතාමත් සරලය. සජීවී ගායනයක් බැවින් ගායනයේ සුළු අඩුපාඩුකම් දැකිය හැක. මා මුලින්ම මේ ගීතය ඇසුවේ ලක්ෂ්මන් විජේසේකර ගේ හඬින් ය. මායා දමයන්ති ගේ ගායනය ඉතාමත් මිහිරිය, සුමගය, භාවපුර්ණය. විශාල ස්වර පරාසයක නොවුනත් ඇය ඉතාමත් අගේට ගීතයට අනුකුල භාවයන් ප්‍රකාශ කරයි...

https://www.youtube.com/watch?v=g6DTWmy_aiY

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.