Showing posts with label ක්ලැරන්ස්. Show all posts
Showing posts with label ක්ලැරන්ස්. Show all posts

Tuesday, 8 July 2014

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...

IELTS exam එක ඉවර වෙලා මා විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට හොඳටම හවස් වී තිබුණි. ඒ මදිවට සිහින් පොද වැස්සක් සමග හාත්පසම අඳුරුය. වැස්ස පායන තුරු පොඩ්ඩක් ඉවසා සිටීමට මම අසල තිබු වහල් පියස්සකට මුවා වුනිමි.තව බොහෝ දෙනෙක් මා මෙන්නම වැස්ස නිම වන තුරු එතන බලා සිටින්නට වුහ. මා ඉදිරියේ අනිත් පස කෙල්ලෝ රංචුවකගේ සිනහා හඬ හොඳට ඇසේ. ඔවුන් එකිනෙකාට ඔච්චම් කරමින් සිනාසෙයි. මා මෙන්ම මා අවට සිටි අනෙකුන්ද නෙත රැදී ඇත්තේ ඔවුන් දෙස බව වට පිට බැලු මට දිස් විය. මේ කෙල්ලන් අතර ඉතා රූමත් තරුණියක් වැඩි සද්දයක් නැතුව සිටි. එත් ඇය අනෙකුන්ගේ කතා වලට සංයමයකින් සිනාසෙයි. මගේ නෙත් ඈ ළඟ නතරවිය. එත් ඇයගේ නෙත් එහා මෙහා ගමන් කරයි. මේ කෙල්ලගෙන් මට වැඩක් නැත. දැන් මා ගෙදර යායුතුය. චුරු චුරු වැස්ස තිබියදීම මම රථගාල වෙත යාමට පියවර තැබුවෙමි. අර කෙල්ල පසු වෙනවාත් එක්කම මා යලිත් වරක් ඈ දෙස බැලීය.

"හලෝ අයියේ.. ඔයා කොහෙද මෙහෙ..." අර කෙල්ල මා දෙස බලා කතා කළාය. ඒ මා සමග ද යන්න  සැක සිතු බැවින් මම වටපිට බැලුවෙමි.

" අයියේ.. ඔයාට මාව මතක නැද්ද?... මම කාංචනා..." ඈ මා වෙත පැමිණ කතා කළාය.

"කාංචනා... අම්මෝ... ඔයා ගොඩක් ලොකුනේ දැන්... මට අඳුනගන්න බැරි උනා..."

" ලොකුයි කියන්නේ මං අයියාව දැක්කේ අවුරුදු 15-20 කට පස්සෙනේ... එත් මට පුළුවන් උනා ඔයාව අඳුන ගන්න."

" ඉතින්.."

" අයියා කොහෙද යන්නේ මේ තෙමි තෙමි..ඉන්න මම කුඩේ දිග අරින්න.."

" මම car park එකට යනවා.."

" ඉන්න මම ඇරලවන්න.." ඈ මා සමග පැමිණෙන්නට විය.

මට මේ හමුවීම සිතා ගන්නටවත් නොහැකිය. කාංචනා මගේ වයසේ මිතුරියකගේ බාලම නංගි ය.  මා ඇයගේ ගෙදර යන එන කාලයේදී ඇයට වයස අවුරුදු 4-5 පමණ වන්නට ඇත. මගේ මිතුරියගේ වචන වලින්නම ඇය 'විසේ බඩ්ඩ' කි ඒ කාලේ.

ඇයත් සමග රථ ගාලට එන අතර තුර ඈ තව බොහෝ දේ කියන්නට විය. එත් මගේ මතකය අතීතය හාරවුස්සන්නට විය. දිනක් මා ඇගේ නිවසට ගිය දිනෙක ඇය  පුංචි රතු මල් වැටුණු ගවුමක් තුරුළු කරන වේගයෙන් දිව ආවය. ඇගේ මව ඈ පසුපස ඇය ලුහුබඳිමින් සිටියාය.

"මේ ළමයා ඔය ගවුම අඳින්නේ නැහැ... මම ලඟට එනකොට දුවනවා.." ඒ අම්මගේ පැමිණිල්ලය.

මා දුටු විගස ඇය අම්මා ලඟට ගොස් ඇඳුම අන්දගත්තාය. මේ එක සිද්ධියකි. බොහෝ දවස් වල ඇය මා දෙස බලන්නේ කවුළු දොර අතරින්ය. ඇය ගැන විශේෂයක් නැති වූ කල හොරෙන් ඇවිත් මහා හයියෙන් සිනා සෙයි. නැති නම් සෙල්ලම් බඩුවක් විසිකරයි. මේ පුංචි කෙල්ල දැන් පරිපුර්ණ තරුණියකි. ඇයගේ දඟකාරකම් දැන් නැත.

"අයියේ..." ඇය මා ආමන්ත්‍රනය කරන්නට විය.

" ඔයා වෙන ලෝකෙක නේද හිටියේ.."

" ඔව්... ඔයාගේ පොඩි කාලේ මතක් උනා.." ඈ ලජ්ජාවෙන් බිම බලා ගත්තාය.

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...
---------------------------------------------------------
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්................

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............


https://www.youtube.com/watch?v=nwIPHn8hQ7o

පද රචනය කිත්සිරි නිමල් ශාන්ත ය. වැඩිය හුරු පුරුදු නමක් නොවේ. නමුත් ඔහුගේ පදවැල් මා කුල්මත් කරන්නට විය. සියළු හැගීම් සීරුවට වචන වලට ගලපා ගැනීමට ඔහු සමත් වී ඇත.සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙය. ගායනය TM ජයරත්නය. මුළු ගීතයම ශ්‍රාවකයා රඳවා ගන්නේ ගීතයේ තනුව සහ සංගීතයයි කිවහොත් නිවැරදිය. ක්ලැරන්ස් විසින් TM ට නිර්මාණය කල ගීත බොහොමයක්ම ඉතාමත් මිහිරි තනු ය. බොහෝ තනු ඔහු විසින් ගායන කල ගීතවලට වඩා අගනේ යි මට සිතේ. මේ ගීතයේ නොනවත්වා වයෙන ගිටාරයේ තත් තුන ගීතයට ගෙනෙන්නේ අප්‍රමාණ ආලෝකයකි. ප්‍රබුද්දයන් කොපමණ ගැරහුවද ක්ලැරන්ස් ගේ නිර්මණ අතර ඉතා ප්‍රශස්ථ නිර්මාණ ඔනෑ තරම් ඇත යන්න මේ එක් නිදසුනකි. කිසිදින මහළු නොවන TM ගේ හඬ ගීතයට සර්ව සාධාරණයක් ඉටු කර ඇත.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 18 December 2013

මගේ පෙත්තෝ...

අපේ මාමාලගේ ගෙදර පටි වාදන යන්ත්‍රයක් තිබුනා . එහි ගිය විට මේ මැජික් යන්තරය ක්‍රියා කරනවා බලන්න පුදුම ආශාවක් අපිට තිබුනේ... ඉතින් කොහොම හරි මාමට ඇවිටිලි කරලා මොකක් හරි පටියක් වාදනය කර ගැනීම තමයි අරමුණ. එදා වාදනය කරේ මේ මම කියන ගීතය.. පොඩි වෙලාවයි ගියේ නැන්දාගේ ගෝරනාඩුව පටන් ගත්තා... "මොනවද මේ පොඩි ළමයින්ට අහන්න දාන්නේ.." කියලා පටන් ගත්තු ඒ විධානය අපේ අවශ්‍යතාවය නැවැත්තුවා... එතනින් පසුව අපිට රසවිඳින්න ලැබුනේ නැන්දාගෙයි මාමගෙයි වාද බයිලාව.. කොහොම හරි මතකේ රැඳුනේ 'තණකොළ පෙත්තා', 'වරකා මදුල' හා මේ ගීතයේ තාලේ...ඒ මීට අවරුදු තිහකට පමණ පෙර....
කර දඩු උස් වෙලා යන්තම් දැලි රැවුල වැවෙන්න ගත්තු කාලේ මේ ගීතය තරම් පට්ට ගහපු වෙනත් ගීතයක් නැතුව ඇති... free period එකක හිමිහිට ඉස්කෝලේ ඩෙස්ක් එකට තට්ටුව දමා පටන් ගන්නා අපේ සාජ්ජය, ගුරුවරයෙකුට එන්න මග විවර කර අඩුම තරමේ දෙතුන් දෙනුකුට ටොකු ඇන පන්තියේ ඉස්සරහා දනගස්සවා ආතල් එක වාෂ්ප වන්නේ ගොඩක් වෙලාවට මේ සින්දුවෙන්... මේ සින්දුව නොකියපු පාසල් වාරයක් නැති තරම්... 9-10 පන්තියේ සිට උසස් පෙළ පන්ති දක්වාම මේ කාරණය පොදුයි. ඒ ඒ කාලවලදී ගුරුවරු දඩුවම් දීමට ඉදිරිපත් කල හේතුද අපුරුයි. ' අනිත් උන්ට හැදෙන්න අපිට දඩුවම් දෙනවා...' එහෙම නැති නම් 'උන්ව හදන්න බැහැ.. මුන් ටිකවත් හද ගන්නා ඕනනේ' කියලා. ඒ මීට වසර විස්සකට පෙර....
අපේ ගෙදර නිතර ආවා ගිය සෝමදාස අන්කල් මට මේ ගීතය සමග මතක් වෙනවා...අපේ ගෙදර එන්නේ බයිසිකලේ වයලීනයත් බැඳගෙන. සෝමදාස අන්කල් එයාගේ බාසාවෙන්ම 'සංගීතකාරයෙක්' (රතු ලන්තරුම වේදිකා නාට්‍යයේ  සංගීත නිරමාණ කරු). ප්‍රේමසිරි කේමදාස 'කේමදාස මාස්ටර්' වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ඇසුරු කර පුද්ගලයෙක්. ඔහුට කේමදාස මාස්ටර් 'ප්‍රේමසිරියා'. 'ප්‍රේමසිරියා' බට නලා වාදනය කරන තැන 'සොමදසයා' වාදනය කලේ සිතාර් එක.ප්‍රේමසිරිගේ හා සෝමදාස ගේ රසකතා බොහොමයි... බොහෝ ඒවා ඔවුන්ට උණු අකරතැබ්බ. තාත්තා නම් කියන්නේ සෝමදාසගේ කතා 'තාර බර' අයින් කර හිතා ගන්න ඕනනේ කියලා. සමහර වෙලාවට මේ කතා මට 'නැවත විකාශන'. සෝමදාස අන්කල් මට 6/8 beat එක උගන්නන්න, වයලීනයෙන් වාදනය කලේ මේ ගීතයේ තනුව...මට ගිටාර් එකේ වාදනය කරන්න කියමින් ඔහු ඒ ඒ තැනට එන chord එක කියනවා. 'දැන් පුතා සින්දුව කියන්න..' (ඔහු දන්නවා මම සින්දු කියනවා මිසක් ගායනයක් නොකරන බව). සෝමදාස අන්කල් වයලීනය වාදනය කරයි... මම ගිටාර් එක වයමින් සින්දුව කියයි...'පනිනවා මෝයේ කටේ..' කිව්වා විතරයි... සෝමදාස අන්කල් වාදනය නැවැත්තුවා...' ක්ලැරන්ස් ගොයියාගේ සින්දුවේ ඔහොම නෙමෙයි තියෙන්නේ..' එදා තමයි දැනගත්තේ මේ ගීතය ක්ලැරන්ස් ගේ කියලා..මා කොහොමද එහම නම් තියෙන්නේ කියලා ඇහුවම පුතා ඒක හොයා ගන්නකො.. කියලා 6/8 පාඩම නැවැත්තුවා. මේ මීට වසර දහයකට පමණ පෙර....

කාලයකට පස්සේ මම අන්තර්ජාල යේ මේ ගීතය හෙව්වා... ඇත්තටම මෙච්ච්චර කාලයක් කියල තියෙන්නේ හරි සින්දුව නෙමෙයිනේ...
මෙන්න ගීතය...
https://www.youtube.com/watch?v=GBhOCeNb600

දැන් කියපල්ලා අරුණ ගේ taste එක හරි පහත් කියලා...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 23 October 2013

ළඳුනේ කොහෙද දුවන්නේ...

මේ ගීතයත් සමග මට මගේ ඉස්කෝලේ කාලය මතක් වෙනවා.. පාසල් වේලාවෙන් පසුව මොකක් හරි තොවිලයක් නටා ඉස්කෝලේ, ඉර බහින්න ඔන්න මෙන්න කියා එලියට ඇවිල්ලා ඊළඟට යන්නේ පාසැල මායිමේ තියෙන සල්ගාදු අන්කල් ගේ කඩේට. කඩේ ඉස්සරහ වැටකේ පඳුර. හිරු මුහුදේ ගිලිනවා දකින්නේ මේ වැටකේ පඳුර අතරින්. රේල් පාරේ වාඩිවෙලා ඉන්නවා පෙනෙන්නේ ඇන්ටන් අයියා.. ඔහු ධීවරයෙක්... යන්තම් නෙමේ හොඳට සළු වෙලා ඉන්නේ ඒ වෙලාවට...මාග්‍රට් අක්කා ඔහු පසු කර කඩේට එයි..'නංගි... කොහෙද යන්නේ...' ඒ ඇන්ටන් අයියා... 'උබලගේ අම්මලාගේ ගෙදර' මාග්‍රට් අක්කගේ පිළිතුර..එතනින් එහා තව කතා නැත ඇත්තේ මහා හිනාවකි... ඇගේ දියණිය..(හරියට නංගි වගේ) කඩේට ආවත් ඇන්ටන් අයියා අහන්නේ ඒ ලෙසමය. 'ඇයි අහන්නේ පාර කියන්නද'.. දියණියගේ පිළිතුර තරමක් ශිලාචාරය. ලොකු නෝනා කෙනෙක් ඔතනින් ගියත් ඇන්ටන් ගේ ප්‍රශ්නේ එලෙසය.. සද්ද නොකර ගියොත් විසිල් පාරක් වදී... ඇන්ටන් අයියට හැදිච්චකම කියලා දෙන්න ගියොත් සුද්ධ සිංහලෙන් නෝනා අහගනි...
මේ මිනිස්සු අත්ත්න්න්ම සඳට හඬන අය නොවෙති... අඳුරේ එලිය දකින්න අපිට වඩා පිං කර ඇත.
මේ ගීතය කෙසේ නිර්මාණය වුයේද යන්න අදහසක් නැත. කෙසේ හෝ වේවා කවුරු තොරගත්තත් සියල්ල සඳහා ඒ සඳහා සුදුසුම කිහිප දෙනා හමු වී ඇත. 'ළඳුනේ කොහෙද දුවන්නේ..' යන්න ඇසීමට සුදුසුම කටහඬ සමන් ද සිල්වා සතුය. ඒ හඬ ඇන්ටන් අයියා ගේ හඬේ ඇති පවුරුෂය වගේ.... එය වෙන කවුරුන් හෝ ආදර බර හඩක් ඇති ගායකයෙක් ගැයුවා නම් මාග්‍රට් අක්කගේ උත්තරය 'පල පො...යෝ යන්න' විය හැක. මාලනී බුලත්සිංහලගේ කටහඬ ද එසේමය... ඒ හඬත් සමග මුඛරි බවක් ජනිත වේ.. මේ කතාව තව දිගට යා යුතු බව හැගේ..
සියල්ලටම වඩා මා ප්‍රිය කරන්නේ සංගීතයට ය. එය තරමක් කර්කෂය... ඒ කර්කශ බව වැල්ලේ ජීවතය කියන්නාක් වැනිය. වරෙක ක්ලැරන්ස් ජීවත් වුයේ මේ වැල්ලේ සමාජය සමගද කියා සිතේ..ජපන් මැන්ඩලින් හඬ ඔවුන්ගේ සාද වල නිතර ඇසේ. 6/8 තාලය ඔවුන්ගේ රිද්මය දනවයි. 
ප්‍රේමකීර්ති මොන අත්දැකීමක් පාදක කරගෙන මේ ගීතය ලියුවද යන්න අදහසක් නැත. නමුත් ඔහුටම ආවේනික උණු සරල පද භාවිතය තුලින් මා ගීතයත් සමග දකින ලෝකය තවත් පැහැදිලි කරයි. පොඩි අවුලකට දකින්නේ 'කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ' යන පද වලය.. මා මවාගත් රූප පෙළත් සමග කුබුර, කමත, නනතොට, නැත.. ඒ වෙනුවට ඇත්තේ..වැල්ල.. ලෙල්ලම... හා පොදු ජල කරාමය... 

http://www.youtube.com/watch?v=nMJUYGG8alc

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ.
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ
රත්තී බැඳපු තැනින් ලෙහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගමනෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරෙයි එළිය දකින්නේ

අද නෑ පෝය දිනේ
විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ
තනිය මකා ගන්නේ කෙසේ..
ඉපදී මියෙන තුරා
ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා
නුහුරු හැඟුම් සිතට නො ඒ...
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ...

තනි වී නොයනු නඟේ
ඉන්න මෙමා එම්ද නඟේ
නැති දෝ සිතට නුඹේ
දැනුනෙ තවත් මිහිර පෙමේ..
කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා
එන්න එපා පිං සිදුවේ..
ලඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.