Sunday, 19 June 2016

අමතනු මැන මගේ දුරකථනය අංකය 24....

මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත්  නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.

'දැන්  එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.

'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.

අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ  ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.

සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.

ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම  යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.

'කතරක තනි වී  ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'

මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර  පද කවි  ආකෘතියට ලියවුනු  ගීතය.  මේ එක උදාහරණයකි.

'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම           සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන            සංසාරේ'

නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.

වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත.  'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින්  තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.

https://www.youtube.com/watch?v=m-VnHmTBi70

එක් දිනක් සැන්දෑවක  මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......

ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Tuesday, 1 March 2016

මුලාග්ගාය හැදුණු දේශපාලකයිනි ක්ලින්ටන්ගෙන් ඉගෙන ගන්න...

 
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ගේ නිර්දේශ ලියුම හා ඒ ගැන අසු මාධ්‍යවේදියා නිසා මළ පැනීම දැන් හැමෝම දන්නා කරුණකි. ඒ ලිපිය මගින් කැබිනට් ඇමතිවරයෙකු නිකම්ම නිකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තත්වයට වඩා පහල තතවයකට පත්වීමට ඔහුට හැකි විය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එවැනි ලිපි ලබා දෙන්නේ වැවේ මසුන් මැරීමට හෝ කැලයේ දර කැඩීමට ප්‍රාදේශීය ලේකම්ට නිර්දේශ කිරීමටය. කෙසේ හෝ අපගේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන පසුගාමිතාවය කදිමට මේ ක්‍රියාවෙන් පෙන්නුම් කරයි. මන්ද දේශපාලන විද්‍යාව ඉගැන්වීම සඳහා කථිකාචාර්ය වරයෙකු බඳවා ගැනීමට මේ නිර්දේශය ඉල්ලන ඔහු දේශපාලන විද්‍යාවට සමානාත්ම තාවය, ප්‍රජන්ත්රන්තවාදය, ආණ්ඩුක්‍රමය, යහපාලනය යන දේවල් ඉගෙන ගත්තාදැයි මට නම් සැකය. එසේ ඉගෙන ගත්තේ නම් මෙවැනි ලිපියක් ඇමතිවරයෙකුගෙන් ඉල්ලා නොසිටුණු ඇත. අනෙක් අතට ඇමතිගේ නිර්දේශ සඳහා පාදක වන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඔහු කියන ආකාරයට 'සුදුසුකම් බලා' පත්වීමක් දෙන්න අවශ්‍ය නම් ඔහුගේ නිර්දේශ අවශ්‍ය නැත. කෙසේ හෝ කිරිඇල්ලට මළ පැනීමට වඩා භයානක කම ඔහු කල වැරැද්ද සාධාරණිකරණය කරන්න යාමය. මා බිල් ක්ලින්ටන්ව මෙයට සම්බන්ධ කර ගනුයේ මේ මළ පැනීම හා ඔවුන්ගේ පරමාදර්ශී චරිත ඇමරිකාවේ පමණක් ඇති නිසාය.


බිල් ක්ලින්ටන් අමෙරිකා එක්සත් ජනපදයේ මෑත යුගයේ බිහි වූ සුවිශේෂී ජනාධිපතිවරයෙකි. වසර අටක් ජනාධිපති ලෙස සිට ඔහු ධුරයෙන් සමුගන්නා විට ඔහුගේ ජනප්‍රියතාවය බලයට පත් වුවාට වඩා වැඩිය. නමුත් ක්ලින්ටන් තරම් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දුන් අමෙරිකානු ජනාධිපතිවරයෙකු නැති තරම්ය. පුද්ගලික ප්‍රශ්නයක් මත අමෙරිකානු උසාවියේ පෙනී සිටි පළමු ඇමරිකානු  ජනාධිපතිවරයා ඔහුය. මොනිකා ලෙවිස්කි සම්බන්ධ ප්‍රශ්න දී ඔහු ගේ හැසිරීම කිරිඇල්ල වැනි ඇමතිවරුන්ට හොඳ පාඩමකි. ඔහුට මාධ්‍යයෙන්, ජනතාවගෙන්  පමණක් නොව තම නිවසෙන්ද මොනිකා සම්බන්ධ ගැටලුවේදී ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකය. හිලරි ක්ලින්ටන් (වර්තමාන ජනාධිපති අපේක්ෂක) යනු අනෙක් සෑම ජනාධිපති බිරිඳකට වඩා වැඩි පෞර්ෂයක් හිමි කාන්තාවකි. නමුත් ක්ලින්ටගේ තිබු විශේෂ ගුණය නිසා ඔහුට තම පවුල් ජීවිතය පමණක් නොව දේශපාලන ජිවිතයද නිසියාකාරව හසුරුවා ප්‍රශ්නය සමථයට පත්කර ගැනීමේ  හැකියාව තිබුණි. ඒ විතරක් නොව මෑත ඉතිහාසයේ ඇමෙරිකාවේ හොඳම ආර්ථික කාලපරිච්චේදය බිල් ක්ලින්ටන්ගේ ධුරකාලය වන අතර ජාතන්ත්‍යන්තරව ඇමරිකාවේ හොඳම විදේශ සම්බන්ධතා පැවතියේ ක්ලින්ටන් යුගයේදීය.

දේශපාලන විශ්ලේෂකයින් ක්ලින්ටගේ මේ අසාමාන්‍ය ජනප්‍රියතාවය ගැන කරුණු සෙවීමට උතසහ ගැනිණි. ඔහුගේ ධුර කාලයේ ඡායාරුප විශ්ලේෂණය කල ඔවුන්ට මහජනයා හෝ මාධ්‍ය ඉදිරියේ ක්ලින්ටන් ගේ තරහා ගැනුණු, අප්‍රසන්න  හෝ දුක්මුසු කිසිඳු ඡායාරුපයක් හමු නොවිය. වැඩි දෙයක් නොව උසාවියේ ප්‍රශ්න කිරීම් දී  වුවද ඔහු පිළිතුරු ලබා දී තිබුනේ සිනා මුසුවය. ඔහු ගේ මේ කාරණය නිසා මාධ්‍යට ක්ලින්ටගේ අඳුරු පැත්ත ගැන වැඩි අවධානයක් නොවිය. තවත් කාරණක්  ලෙස ඔවුන්ට සොයා ගැනීමට හැකි වුයේ ක්ලින්ටගේ කේවල් කිරීමේ හැකියාවයි. ඔහුගේ පිළිතුරු ඉදිරියේ ප්‍රති මල්ලවයන් දිගින් දිගටම ඔහුව වෙහෙසීමට උතසහ නොකරයි. නමුත් ක්ලින්ටන් තමාට  අවශ්‍ය කාරණය ඉටු කර ගැනීමට සමත් වේ. උසාවියේ හරස් ප්‍රශ්න කිරීමේ දී ක්ලින්ටගේ පිළිතුරු උදාහරණ ලෙස දැක්විය හැක. තවත් කරුණක් ලෙස ජනාධිපති ධුරයෙන් සමුගෙන පවා උතුරු කොරියාවට ගොස් අත්අඩංගුවේ සිටි ඇමෙරිකානුවන් බේරා ගැනීමට හැකිවුයේ ඔහුගේ මේ හැකියාව නිසාය.

මදකට අපගේ මැති ඇමතිවරුන්ගේ ඡායාරුප ගැන විමසිලිමත්වන්න. ඔවුන්ගේ මුහුණේ ඉරියව් අනුව ඇති ඡායාරුප ඔබට විවිධාකාර සතවයින් සොයා ගත හැක. මෙය මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ දෙනාට පොදුය.  කිරිඇල්ලලා ඇතුළු බොහෝ මැති ඇමතිවරුන්ට නැත්තේ මේ ගුණයය. තමා කතා කරන්නේ කාටද? කොතනද? යන්න ඔවුන්ට හැඟීමක් නැත. අවසානයේ සිදුවන්නේ සියතින්ම තම දේශපාලන ජීවිතය වඳ කර ගැනීමය.

කිරිඇල්ල මෙවැනි අමන කතා හා ක්‍රියා කල පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේ හෝ දේශපාලන බල අධිකාරිය ඔහුව නිවැරදි මගට ගැනීමට උත්සහ නොකර තව තවත් බලය ඔහු අත තැබිය. අඩුම තරමින් ඡන්ද දායකින් වත් ඔහුට පාඩමක් ඉගැන්වීමට උත්සහ නොකර අතර එමගින් තව තවත් ගොන් කම් හා ගොන් කතා පැවසීමට අවකාශ ලැබිය. ඉදිරියේදී හෝ කවුරු හෝ මෙවැනි පාලකයන් නිවැරදි කරයිදැයි බලා සිටමු.

Monday, 22 February 2016

ප්‍රශ්නය හරි තැනින් අල්ලා ගනිමු.


ඉන්දියාව සමග එළඹීමට නියමිත වෙළඳ ගිවිසුම පිලිබඳ සැම තුල පවතින්නේ විරෝධයකි. එය විවිධාකාර හේතුන් මතය. බොහෝ පිරිස් කියනුයේ ඉන්දියානුවන්ට ලංකාව තුල රැකියා කිරීමට ඉඩ ලැබීම තුලින් ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමි වන බවය. හේතු වශයෙන් පසනුයේ, ඉන්දියානුවන් ලංකාවේ සුළු වැටුපකට රැකියා වල නිරත වීම නිසා ඔවුන්ට වැඩි වාසියක් ඇතිවන බවය. කතාව ඇත්තය. නමුත් ඔනෑම රැකියාවක වැටුප තීරණය වනුයේ කරුණු කිහිපයක් මතය. රටේ ජීවන වියදමය, අයදුම් කරුගේ හැකියාව හා නිපුණත්වය, එම රැකියාවට තිබෙන ඉල්ලුම මින් කිහිපයකි. ඉන්දියානුවන් ලංකාවට අඩු වැටුපකට පැමිණියහොත් ඔවුන් ජීවත් වියයුත්තේ ලංකාවේය. ලංකාවේ කොයි ප්‍රදේශය බැලුවත් (ඉන්දියාවේ සමහර නගර හැර) ලංකාවේ ජීවන තත්වය උසස්ස්ය, වියදමත් ඉහලය. මා ඉන්දියානු පරිගණක ශිල්පින් සමග වැඩ කිරීමට පටන් ගත්තේ, 2002 වර්ෂයේදීය. වරෙක ලංකාවට පැමිණි ඉන්දියානු පරිගණක ඉංජිනේරුවරයෙක් ලංකාවේ සිගරට් මිල අධික නිසා ඔහු සිගරට්ටුව බීවේ තුනකට කඩාය. එවිටත් ඔහු මට වඩා දෙගුණයක පමණ වැටුපක් ලබන පුද්ගලයකි. මේ නිසා ලංකාවේ ඉන්දියානුවන්ට ජීවත් වීම සිතන තරම් පහසු නොවනු ඇත. රුපියල් 50,000 වැටුප හිමි ශ්‍රී ලාංකිකයත්, රුපියල් 25,000 හිමි ඉන්දියානුවත් සීනි කිලෝවකට ගෙවිය යුත්තේ එක මිලකි. ලංකාවේ මාසික වැටුප් හිමියන්ගේ බැංකු ශේෂය ගෙන බලන්න. ඔවුන්ට එදිනෙදා ජිවත් වීම හැර ඉතුරුවක් වන්නේ සුලුවශයෙනි. අඩු මිලට ලංකාවට පැමිණි ඉන්දියානුවෙකුට මෙය වෙනස් වන්නේ කෙසේද?

අනිත් කාරණය දැනට තිබෙන නිදහස් වෙළඳ අවස්ථාවන් නිසා ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කලහැක. BOI ව්‍යාපෘතියකට 30% විදේශ ශ්‍රමිකයන් ගෙන්නවා ගත හැක. උදාහරණයක් ලෙස, ලංකාවේ ක්‍රියාත්මක වන Huawei චීන දුරකථන සමාගමේ චීන ශිල්පින් ඕනෑ තරම් සිටිති. මේ ආකාරයට ලංකාවට ඉන්දියානු සමාගම් පැමිණ තම රටේ ශිල්පින් ගෙන්වා ගත හැක. මෙපමණක් නොවේ. පරිගණක ලෝකයේ නව ප්‍රවනතාවයන් අනුව ශිල්පින් රැකියා ස්ථානයට පැමිණිය යුතු නැත. ලෝකයේ WFH (work from home) හා BYOD (bring your own device) ක්‍රම දැන් ප්‍රචලිතය. ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ව්‍යාපාර අරඹා ඉන්දියාවේ සිට ශිල්පීන්ගේ සේවය ලබා ගත හැක. අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම් පමණි. එසේම ලංකාවේ සමාගම් වලට අඩු වැටුපට ශිල්පින් අවශ්‍ය නම් ඉන්දියාව තුල ව්‍යාපාර ආරම්භ කල හැක. ලෝකයේ ඕනෑ තරම් ජාත්‍යන්තර සමාගම් තම සේවාවන් වෙනත් රටවල සිට සපයනු ලබයි. උදාහරණ ලෙස ආචාර්ය හර්ෂ ඇමතිවරයා පෙන්වන කෝට්ටේ පිහිටි HSBC දත්ත මධ්‍යස්ථානය ගත් හැක. මේ ආකාරයට ඉන්දියානු සමාගම් වලට මෙන්ම ශ්‍රී ලංකාවේ සමාගම් වලටද ඉන්දියානු ශ්‍රමය ලබා ගත හැක.

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට හිමි තැන කුමක්ද යන්න පළමුව තේරුම් ගත යුතුය. ලෝකයේ හොඳම තේ නිෂ්පදිත්යා ශ්‍රී ලංකාවය. ඉස්තරම් හෝටල් වල Sri Lankan lagoon crab අති විශේෂිත ආහාරයකි. ලංකාවේ කකුළුවන් ඒ තරම් ප්‍රනිතය. මුහුදු මාළු ද එසේමය. ලංකාවේ විශේශිතත්වය ඉහල ගුණාත්මක (quality) නිෂ්පාදනය. මෙය සේවා අංශයේද එසේමය. ලාංකික ශිෂ්‍යා ගේ සිට දොස්තර දක්කවා සැම ක්ෂේත්‍රයකම ලාංකික ලකුණ ගුණාත්මක බවය. උදාහරණයක් ලෙස ලංකාවේ ඇඟලුම් කරමාන්තය ගනිමු. ලෝකයේ ඉහලම නාම සහිත ඇඟලුම් ලංකාවේ නිපදවයි. ඒ සියල්ල අපනයනය කරනුයේ එක්සත් ජනපදයට හෝ යුරෝපයටය. චීනය, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල නිෂ්පාදනය කරන එම නාමය සහිත ඇඟලුම් විකුණනු ලබන්නේ සින්ගපුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලය. ඉහලම ගුණාත්මක බව හිමි නිෂ්පාදන හොඳම වෙළඳපොළට යන අතර ඊට වඩා පහල ගුණාත්මක බවෙන් යුතු භාණ්ඩ සෙසු වෙළඳපොළට යවනු ලබයි. අපට වැඩිම නිෂ්පදිතයා විය නොහැක. ලංකාවේ මුළු මධ්‍යම කඳුකරයම තේ වගා කලත් අපට තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා විය නොහැක. මුළු ලංකාවම ඇඟලුම් කම්හලක් කරත් අපිට ලෝකයේ ප්‍රමුඛයා විය නොහැක.ලෝකය සමග සංසන්දනය කල විට අපේ සේවා වැටුප අනෙකුත් අපගේ සම මට්ටමේ රටවලට වඩා ඉහලය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හෝ චීනයේ  ඇඟලුම් සේවකයන්ගේ වැටුපට සාපේක්ෂව අපේ සේවකයන්ගේ වැටුප් ඉහලය. ජාත්‍යන්තර සමාගම් ලංකාව තුල ව්‍යාපාර කරනුයේ මේ ගුණාත්මක කාරණය නිසාය.

පරිගණක රැකියා වුවද මෙසේය. ඔනෑම ජාත්‍යන්තර තලයේ සමාගමකට ඉන්දියාවට ගොස් ඒ සේවාවන් අඩු මිලකට ලබා ගත් හැක. ලංකාවේ සමාගම් වලටද මේ තත්වය මෙසේමය. ලාබ ශ්‍රමය අවශ්‍ය නම් ඉන්දියාවට යා හැක. නමුත් විදේශ ආයෝජකයින් හා ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන් ඉන්දියාවට නොයන්නේ ගුණාත්මක සේවාවක් එරටින් නොලැබෙන නිසාය. මේ කාරණය අපට වඩා හොදින් ඉන්දියානු රජය හා එරට මිනිස්සු දනී. තාක්ෂණය අතින් ඉන්දියාව සිටිනුයේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. උදාහරණ ලෙස අපට හුරු මරුති මෝටර් රථය හා සුමිට් ඇඹරුම් යන්ත්‍රය ගනිමු. ශ්‍රී ලංකාව මෙවන් නිෂ්පාදන ගැන තවම සිතාවත් නැත. එහෙත් ඉන්දියාව මීට වසර 20-30 කට පෙර සිට මෙවන් නිෂ්පාදන කරයි. අවාසනාවකට තවම ඔවුන්ට එම නිෂ්පාදන වල ගුණාත්මක බව දියුණු කිරීමට නොහැකි වී ඇත. ප්‍රධාන වශයෙන් ඉන්දියානුවන් සොයනුයේ ලාබ දෙයක් මිස ගුණාත්මක දෙයක් නොවේ. මේ කාරණය නිසා ඉන්දියානු ව්‍යාපාරිකයින් ලාබ දේ ලබා දෙනු විනා ගුණාත්මක බව ගැන උනන්දුවක් නැත. ඒ සඳහා කලයුතු පර්යේෂණ සඳහා කරන වියදම ඉන්දියානු වෙළඳපොළේදී මිලක් කල නොහැක.
 සේවා ක්‍ෂේත්‍රයේ තත්වය මෙයට දෙවෙනි නොවේ. යමක් කමක් ඇති ඉන්දියානුවෙක් රජයේ රෝහලක හෝ සාමාන්‍ය පුද්ගලික රෝහලකට සැත්කමකට නොයයි. එක්කෝ ඉන්දියාවේම සුපිරි රෝහලකට හෝ අඩුම ගන්නේ බංගලාදේශය හෝ ශ්‍රී ලංකාවට සැත්කමක් සඳහා යොමු වීමට ප්‍රධාන හේතුව මේ ගුණාත්මක බවේ තිබෙන බරපතල ප්‍රශ්නය ය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා මේ තත්වයෙන් සම්පුර්ණයෙන් වෙනස් ය. රජයේ රෝහලේ නොමිලේ බෙහෙත් දුන්නද, හන්දියේ පුද්ගලික බෙහෙත් ශාලාවට රෝගියා යොමු වෙන්නේ දොස්තරගේ ගුණ නිසාවත්, බෙහෙත්වල විශේෂත්වයක් නිසා නොව රජයේ රෝහලින් ලැබෙන සේවාවට වඩා ගුණාත්මක සේවාවක් පුද්ගලික බෙහෙත් ශාලාවෙන් ලැබේය යන විස්වාසය අනුවය. ඒ නිසා මහාචාර්ය සමරජීව කියන ආකාරයට ඉන්දියානු දොස්තරලා හන්දියක් ගානේ පුද්ගලික බෙහෙත් ශාලා ලංකාවේ ආරම්භ කලද ඔවුන්ට තරගයක් දීමට අපේ දොස්තර වරුන්ට පුළුවන. පරිගණක කේෂ්ත්‍රයේද මෙසේය.

පසුගිය දිනක හරින් ඇමතිවරයා 'ඉන්දියාවට මොනවද විකුනන්න බැරි' යනුවෙන් ඇසිය. සරලව කිවහොත් ලංකාවට කිසි දෙයක් ඉන්දියාවට විකුණන්න බැරිය. ප්‍රධාන වශයෙන් අපගේ නිෂ්පාදන පිරිවැය ඉහල වීමත්, ඉන්දියානුවන් ගුණාත්මක දෙයක් බලාපොරොත්තු නොවීමත් හේතු කොට ගෙන අපට කිසිදෙයක් ඉන්දියාවට විකිණිය නොහැක.අපගේ වෙළඳපොල තිබනුයේ ඉහල මධ්‍යම පන්තිය පුළුල් වූ යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල් සමගය. දැනුදු අපගේ නිෂ්පදයන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනුයේ ඒ රටවල්වලටය. පරිගණක කේෂ්ත්‍රයේද ලංකාව තුල ආයෝජනය කර ඇති බොහෝ ආයතන ද ඒ කලාපයට අයත් රටවල් ය.

අන්තර්ජාතික වෙළඳපොළේදී ඉන්දියාවට නැගෙන ප්‍රධාන චෝදනාව මේ ගුණාත්මක බව පිලිබඳ චෝදනාවය. මෙහිදී ඉන්දියාව සමගම නිරන්තරයෙන් කියවන නම ශ්‍රී ලංකාවය. ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් අරමුණු කරගත් ඕනෑම පාරිභෝගිකයෙක් ඉන්දියානු දෙයට වඩා ලංකාවේ දේ ගැන වැඩි තක්සේරුවක් ලබා දේ. ඉන්දියාවට මෙය මහත් අවාසි තත්වයකි. ඉන්දියාවට අවශ්‍ය අපගේ මේ ප්‍රධන විකුණුම් තුරුම්පුව (selling point) ඔවුන් අතට ගැනීමය. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල ඔවුන්ට ඕනෑ ආකාරයට ව්‍යාපාර වලට ඇතුලත් වීම තුලින් එය ඉන්දියාව සතු කර ගැනීමත්, ලංකාවේ ගුණාත්මක බව විනාශ කිරීම සඳහා ඉඩ සලසා ගැනීමත් ඔවුන්ගේ අරමුණු විය හැක. මේ ගිවිසුම තුලින් ඉන්දියාව මරුති රථය ලංකාවේදී නිෂ්පාදනය කිරීමට උත්සහ නොකරයි. දැනටමත් ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු පරිගණක ආයතන වන TATA computers හෝ INFOSYS ලංකාව ඔවුන්ගේ සේවා සපයන ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට උත්සහ ගනියි සිතිය නොහැක. බොහෝ විට සිදුවනු ඇත්තේ ලංකාවේ නම යොදා ගනිමින් ජාත්‍යන්තර වෙළඳපොලේ ඔවුන්ට නොලැබෙන ස්ථානය ට ලඟා වීම සඳහා ඉඩ සලසා ගැනීමය.

ලංකාව ගතහොත් පරිගණක කේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් පවතී. ප්‍රධාන ප්‍රශ්නය ජාත්‍යන්තරය ඉල්ලන ප්‍රමිතීන් හිමි ශිල්පින් හිඟවීමය. උදාහරණ ලෙස සමහර විශාල පරිගණක ව්‍යාපෘති සඳහා විදේශ ආයතනයක් PMP සහතික ලත් පුද්ගලයින් 100 ක් පමණ බලාපොරොත්තු වන අවස්ථා ඇත. ලංකාව තුල මේ ප්‍රමාණය සොයා ගැනීමට අපහසුය. එසේ නැති නම්  සමහර අවස්ථාවලදී වසර 10-15 programing පළපුරුද්ද සහිත පුද්ගලින් ගේ අවශ්‍යතාවයක් පවතී. ලංකාවේ වසර 5 කට වඩා programming කරන්නන් ඉන්නේ සීමිත පිරිසකි. ඔනෑම රැකියාවක් වසර ගණනාවක් කිරීම තුල ඇතිවන නිපුණත්වය නැති වීම  ලංකාවේ පරිගණක ක්‍ෂේත්‍රයේ  පවතින ප්‍රබල අඩුපාඩුවකි. අපගේ ආයතන නිර්මාණය වී ඇත්තේ වසර ගණන සම්පුර්ණ වූ පසු ඉබේටම ඉහල යන ආකාරයේ ක්‍රමයට හා ආකල්ප වශයෙන් manager කෙනෙක් වීම expert කෙනෙක් වීමට වඩා අගේය යන සිතුවිල්ල මෙයට බලපා ඇත. සරල ලෙස කිවහොත් වසර පහකට වඩා තාක්ෂණික පලපුරුද්ද හිමි පුද්ගලයින් වැඩි පිරිසක් රට හැර ගොස් ය. නැති නම් ඔවුන් එම ආයතනයේම කළමනාකරුවන් වී ඇත.

තවත් කරුණක් ලෙස අපගේ වෙළඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදන බිහි නොවීම සැලකිය හැක. එසේ නොමැති නම් end product development නොමැති වීමය. ලංකාවේ ශිල්පින් දක්ෂය; නිර්මනශිලිය. නමුත් මේ නිර්මාණ වෙළඳපොළට යන්නේ සුළු වශයෙනි. මෙය බොහෝ විට අලවිකරණය පිලිබඳ ගැටලුවකි. සේවා අලවිකරණය හා පරිගණක නිෂ්පාදන අලවිකරණය ගැන ලංකාවේ ආයතන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. පරිගණක ආයතන ලෙස බොහෝවිට end product එකක් නිෂ්පාදනය කිරීමට වඩා වෙන රටක නිෂ්පාදනයක් ලංකාවේ ආයතනයකට සැකසීම වැනි දේ වලට සිමා වී ඇත. ඇත්තන්ම මේ පරිගණක ආයතන කරනුයේ අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වීමය. බොහෝ විට නිෂ්පාදන ආයතනයේ technical support අංශය ඉන්දියාව විසින් කරනු ලබයි. මෙයින් ලංකාව තුල රැකියා උත්පාදනයට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල ඇති වේ.

පරිගණක කේෂ්ත්‍රයේ වුර්තිකයන්ගේ ප්‍රමිතියක් නොමැති වීම විශාල ගැටලුවකි. බොහෝ රටවල ශිල්පීන්ගේ සුදුසුකම් හා පළපුරුද්ද මත ප්‍රමිති ගොඩ නගාගෙන ඇත. ලංකාවේ ඒ ආකාරයේ ක්‍රම වේදයක් නොමැත. මේ නිසා උක්ත ගිවිසුම මගින් ලංකාවට ඉන්දියාවෙන් ශිල්පින් ආවද ඔවුන්ව තෝරා බේරා ගැනීමට ක්‍රම වේදයක් ලංකාව තුල නැත. විවිධ ආයතන මගින් ජාත්‍යන්තර සහතික පිරිනමයි. නමුත් මේවා ඇතුලත සිදුවන අඩුපාඩුකම් හා හොරකම් බොහෝමය. ඉන්දියාව මේ අතරින් ප්‍රමුඛ වේ. විවිධ ආයතන විසින් පිරිනමන සහතික 10-15 සහිත ඉන්දියානු පුද්ගලයින් මා හට හමු වී ඇත. නමුත් ඔවුන්ට ඒ නිෂ්පාදනය හෝ සේවාව ගැන ප්‍රථමික දැනුමක්වත් නැත. ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවන් අනුව ඒ සහතික සඳහා වන විභාග විනිශ්චයන් සිතාගත හැක.

ගිවිසුමකට එළඹෙන්නේ එක පිලකට පමණක් වාසි සලසා ගෙන නොවේ. ලංකාවට 100% වාසි සැලැස්වීමට ඉන්දියාවට වුවමනාවක් නැත. එය එසේ සිදුවිය යුතුයැයි කෙනෙකු සිතන්නේ නම් ඔවුන් වඩාත් ගැලපෙන්නේ ගෝත්‍රික යුගයකටය. ගිවිසුමකදී 50-50 සමබර තාවයක් පැවතිය යුතු වුවත් සමහර විට ඉහළ වටිනා කමක් යුතු දේ ලබා ගැනීමට වැඩි කැපකිරීමක් කල යුතුය. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹීමට ප්‍රථම අපගේ අඩුපාඩු කම් හා හිස්තැන් සාදා ගත යුතුය. පළමුව දේශීය යාන්ත්‍රණ නිර්මාණ වියයුතුය. ඒවා දවසින් දෙකෙන් කල හැකි දේවල නොවේ. යාන්ත්‍රණයක් හෝ සැලැස්මක් නිර්මාණය වූ පසුව එහි අඩුපාඩු සකසා ගැනීමට කාලයක් ගතවේ. දේශීය යාන්ත්‍රනය හුදෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ජනතාව සුරක්ෂිත කිරීම සඳහා නිර්මාණය කල යුතුය. එය රැකියා බඳවා ගැනීමේ සිට සේවා සැපයීම දක්කවා සියළු කේෂ්ත්‍ර ඇතුලත් වියයුතුය. එසේම එය නැවත නැවතත් වෙනස් වෙමින් වැඩි දියුණුවට ලක් වියයුතුය. ඕනෑම ජාත්‍යන්තර ගිවිසුමකදී දේශීය ක්‍රම වේදය හෝ සැලස්ස්ම වෙනස් නොවන ආකාරයට ගිවිසුම් ගත වීමට පාලකයන් වගබලා ගතයුතුය. ඉන්දියාව සමග ගිවිසුමකට එළැඹීමේදී අපගේ භාණ්ඩ වල ගුණාත්මක බව ගැන ප්‍රශ්න මතු විය හැක. මේ සඳහා ගිවිසුම් වේලට එළඹීමට ප්‍රථම ඒ ඒ භාණ්ඩ වල තිබිය යුතු ප්‍රමිතියන් ගැන අප තුල තක්සේරුවක් තිබිය යුතුය. එය ජාත්‍යන්තර පිළිගත් නිර්ණායකවලට පමණක් සිමා නොවේ. ශ්‍රී ලංකාවටද ජාතික ප්‍රමිතියක් ගොඩ නගා ගත හැක. කවුරුන් ලබා දුන්නත් ලංකාව තුල නිපදවන හෝ සපයන කුමන සේවාවක ලාංකික ගුණාත්මක බව තිබිය යුතුය.

ඉන්දියාවෙන් ලාබ දේ ගත හැක. නමුත් හොඳ දේ සොයා ගැනීම තරමක් අපහසුය. දැනුදු විවිධ රටවලින් පැමිණි පිරිස් සංවිධානාත්මකව නොවුවද ලංකාවේ සේවය කරයි. සංචාරක විසා රැගෙන පැමිණි චීන, තායි, රුසියානු කාන්තාවන් ගණිකාවන් ලෙස සේවය කරයි. සංචාරක විසා රැගෙන පැමිණි චීන මිනිස්සු කෝකියන් ලෙස මෙන්ම සංචාරක මාර්ග උපදේශක වරුන් ලෙසද රැකියා කරයි. මේ කිසි කෙනෙකුට ලංකාවේ කාගෙන් හෝ සහය නැතිව මේ දේවල් කල නොහැක. කොපමණ ආරක්ෂණ නීති තිබුනද ඒවා හරි හැටි ක්‍රියාත්මක නොවේ. සංචාරක වෙසින් පැමිණෙන ඉන්දියානුවන් මොනවා කරනවාද, යන්න කවුරුත් නොදනී. මෙරට භාණ්ඩ හා සේවා ඉන්දියනුකරණය වීමෙන් නැතිවන්නේ අපගේ ගුණාත්මක බවය. එය විනාශ වූ පසු නැවත පිළිසකර කිරීමට නොහැක. වැට බැඳිය යුත්තේ ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමට නොවේ.අපගේ භාණ්ඩ හා සේවා වල තිබෙන ගුණාත්මක බව විනාශ වීමටය. පළමුව අපි අපේ දොර අගුළු හරි හැටි පිළිසකර කර ගනිමු. පසුව දොර අරින්නේ කාටද යන්න තීරණය කරමු.

Friday, 25 December 2015

නිර්මාල් ට රුපියල් දෙක දී අපට ඇරපියව්......


නිර්මාල් නියෝජනය කරන මතය  හා දේශපාලන කණ්ඩායම පිළිබඳව විශ්වවිද්‍යාලයේ සිටම මගේ එකගතාවයක් නැත. එහෙත් ඔහු කඩ හිමියෙකු සමග ඉතුරු සල්ලි සඳහා ඇති කරගත් ආරෝව ගැන නම් මා හට ඇත්තේ ඔහු පිලිබඳ පැහැදීමකි. ගෞව්රවයකි.

පළමුව කිව යුත්තේ මෙවැනි සිද්ධීන් අපට ඕනෑ තරම් සුලභය. මෙය සමාජ  ජාල හා වෙබ් අඩවි වල පුවතක් වුයේ සිද්ධියට සම්බන්ධ නිර්මාල් ට ඇති සිවිල් බලය නිසාය. මෙය ලියන  මා හා කියවන ඔබ මුදලාලි සමග ඉතුරු සල්ලි වලට බහින් බස් වුවාට ඒවා වෙබ් අඩවිවල පල නොවේ. ඒවා උණු උණු නිවුස් වෙන්නේ ද නැත. මන්ද අපට එහෙම සිවිල් බලයක් නැති නිසාය.

නිර්මාල් විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකි. ඔහුගේ වැටුප අනුව මේ රුපියල් දෙක මහා ලොකු බිබික්කමක් නොවේ. එත් ඔහු සටන් කලේ සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙනි. කරුමයක මහත සමාජ ජාල ඔස්සේ ඔහුගේ ක්‍රියාව සමච්චලයට ලක්කිරීමට පිරිසක් පෙළ ගැසී සිටීමය. එක්කෝ ඔවුන් නිර්මාල් සිම් කාර්ඩ් පත් මිලදී ගත් කඩ හිමියා වැනි කළු කඩ කාරයකි. නැති නම් නිර්මාල්ට කොහොම හරි නෙලමි යනුවෙන් සිතා සිටින කෝන්තර කරුවෙකි.

වරක් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් වරෙක ගුවන් විදුලි සාකච්චාවකට පැමිණ ඔහු මුහුණ දුන් සිද්ධියක් පැවසිය. එවකට ඔහු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති හෝ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ය. ඔහු පුද්ගලික බස් රථයකින් ගමන් කරන විට කොන්දොස්තරගෙන් ටිකට් පතක් ඉල්ලා සිටින ලදී. කොන්දොස්තර ටිකට් පතක් ලබා දී නොතිබුණි. ගුණරුවන් මහතා නිර්මාල් මෙන් ටිකට් පතක් ලබා ගැනීම මගේ අයිතිවාසිකමක් බව පවසා ඇත. කොන්දොස්තර ඉදිරියට ගොස් ටිකට් අහුරක් ගෙන ගුනරුවන්ට දික් කර ඇත්තේ 'මෙන්න්න මහත්තයාගේ අයිතිවාසිකම' ලෙස පවසමිනි. අසල සිටි අනෙකුත් මගින් ගුණරුවන් මහතාට සිනාසින්නට විය. ඔහු පැවසුයේ, තමන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්නන්ට සිනාසෙන්න තරම් සමාජය පිරිහී ඇති නම් එතනින් එහාට ඒ සමාජය ගැන කතා කර වැඩක් නැත යන්නය.

අප සෑම දෙනාටම සිවිල් බලයක් නැත. සිවිල් බලයක් හිමි වෘතිකයන් බොහෝ විට ඒ බලය යෝදා ගන්නේ තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහාය. නිර්මාල් , ගුණරුවන් වැනි සිවිල් බලයක් හිමි පුද්ගලයින් යම්කිසි සාපේක්ෂ බලයක් සමාජ සාධාරණත්වයට යොදන විට එයට සිනා සීමට වඩා කල යුත්තේ හැකි පමණින් ආධාර කිරීමය. මා විශ්ව විද්‍යාලයේ සිටින විට කැන්ටිමේ තේ එකක් රුපියල් 1.50 කි. බොහෝ විට කැන්ටින් හිමියාට රුපියල් දෙකක් දී තේ එකක් ඉල්ලු විට ඉතුරු සත පනහ වෙනුවට දෙනු ලබනුයේ ලොසින්ජරයකි. මගේ මිතුරෙක් මෙලෙස දුන් ලොසින්ජර තුනක් එකතු කර තේකක් ඉල්ලා සිටියේය. ඔහු විශ්ව විද්‍යාල නිවාඩුව ගත කිරීමට  සින්ගපුරුව, ඩුබායි යන පුද්ගලයකි. එදා අපේම කණ්ඩායම් ඔහුට චෝදනා කලේ 'උඹට 1.50 ක් දීලා තේ එකක් ගන්න බැරි එකෙක් ද ? ' කියා ය. ඔහු  පැවසුවේ 'උඹට මට මේ හුජ්ජ වතුර බොන්නේ නැතුව ඉස්සරහා රහීම හෝටලයට ගිහිල්ල හොඳ ප්ලේන්ටියක් බොන්න පුළුවන්. එත් මචන් එහෙම යන්න බැරි කී දෙනෙක් අපිත් එක්ක ඉන්නවද. මුට පාඩමක් උගන්න්වන්න අපි ඉස්සර උන්නේ නැති නම් කවුද එන්නේ' යනුවෙනි. කතාව ඇත්තය. බලයක් හිමි පුද්ගලයා සමාජ වෙනසකට මුල පුරනවානම් එය පීඩිතයෙක් මුල පිරිමකට වඩා ප්‍රතිපලදායකය.

තමන්ගේ අයිතිවාසිකම් ගැන නොසලකා කර බාගෙන සිටීම නිවට කමකි. සිංහලෙන් ඔවුන්ට කියනුයේ 'නිවටයන්' කියාය. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නන්ට සමච්චල් කිරීම මොන කමද  යන්න සිංහල භාෂාවේ නැත. ඔවුන් හඳුන්වන නාමයකුත් නැත. මට නම් සිතෙන්නේ ඔවුන් මේ වගේ කියාය.
.
.
.
.
.
.
.
.
මෙතන තිබු පින්තුරය ඉල්ලීමක්  ඉවත් කරන ලදී. අවශ්‍ය නම් ගුගල් හි shit යන්න type කර බලන්න.

Thursday, 29 October 2015

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ..

මම runaway bride සිනමා පටය ප්‍රථම නැරඹුවේ campus එකේ  NAT ශාලාවේ  පෙන්නුව අවස්ථාවේ. Angelina Jolie මගේ සිහින කුමරිය ලෙස අභිෂේක ලැබීමට පෙර එතැනට හිමිකම් කිවේ Julia Roberts ය. ඒ නිසා මේ චිත්‍රපටය ගැන විශේෂිත වූ ඇල්මක් මා හට තිබුණි. ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, මා සහ මිතුරන් දෙදෙනෙක් 'පීචම'ට වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටි අතර එක වර මගේ මිතුරෙක් එකවර මෙසේ ප්‍රශ්නයක් ඇසුවා.

"Wedding එක දවසේ උඹගේ කෙල්ල පැනලා ගියොත් මොකද කරන්නේ..."

ඒ කාලයේ මා වේලි වේලි ඉන්නා කාලය බැවින් සරල ලෙස " wedding එකට ඉස්සෙල්ලා කෙල්ලෙක් හොයා ගන්න එපැයි.." පවසා ප්‍රශ්නයෙන් ලිස්සා ගියේය.

"එතකොට උබ..?" දැන් ප්‍රශ්නය මගේ අනෙක් මිතුරා වෙතය. ඔහුට පෙම්වතියක් සිටිය බැවින් මගහැරිය නොහැක.

" මම නම් මරාගෙන මැරෙනවා.." ඔහුගේ පිළිතුරත් සමග අපී දෙදෙනා මහා හයියෙන් සිනා සුනෙමු.

සතකින්ම runaway bride සිනමා පටන් පසුව මට ඒ ප්‍රශ්නයේ බැරෑරුම් කම පසක් විය. විවාහය දිනයේදී මනාලිය පැනයාම කුමන සමාජයක වුවද මනාලයා වික්‍ෂිප්තකරන කාරණාවකි. අබේවර්ධන බලසුරියන් ගයන මේ ගීතයෙන් කියනුයේ සාමාන්‍ය සිංහල තරුණයකු මුහුණ දුන් ඒ (අ)වාසනාවන්ත සිදුවීමය.

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින්
මඟුල් දා දෙබරෙට ගැසුවා සේ//

සිංහල උළුගෙට ගෙවදින දවසේ
පාන්කිරිත්තෙක් වහලෙට බැස්සේ//
මගුල් කෑම දවසේ
නෑයොත් ගෙට ඇවිදින්

සැරසිලි ගොක්කොල . . .

පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මම තව විස්සෝපෙන්//
ඔරුවෙන් එගොඩ වෙලා
සොබනි කොහෙද ගිහින්

සැරසිලි ගොක්කොල . . .


අබේවර්ධන බාලසුරිය ගේ කටහඬ තුල අමුතුම රසයක් මම දකිමි. ඒ හඬ බොහෝ ගාම්භීරය. නමුත් සුපැහැදිලිය. හොඳ පිරිමි කටහඩකි. ඔහුගේ 'ඔබෙන් තොර ලෝකයක්', 'මළවුන් ගේ නගරයේ', 'කල්පනා ලොව මල් වනේ..' වගේ ගීතවල මේ බව අගේට පැහැදිලි වේ. මා අසා ඇති පරිදි අබේවර්ධන බාලසුරියන් ගායකයකු වීමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙකි. බොහෝ විට අනෙකුත් හමුදාවන් වලට වඩා නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ගේ කාර්ය තරමක් අමරුය. හේතුව ඔහුගේ විධානයන් පැහැදිලි ලෙස ලබා දිය යුත්තේ සාගර ගෝෂාව සමගය. සමහර විට මේ හේතුව ඔහුගේ කටහඩට බලපෑවා විය හැක

මේ ගීතයේ තේරුම පදයෙන් පදය විස්තර කිරීමට අවැසි නොවේ. විචිත්‍රවත් සිත්තමක් මවා පාන්න සේ සෑම පද පෙළක්ම අලංකාරව නිර්මාණ කර ඇත. ඊටත් වඩා යොදා ගත් උපමා රූපක සියල්ල සිංහල ගැමි සමාජය සමග මුසු වී ඇත. පයට හැපි පුන්කලස බිඳී යාම සිංහල සමාජයේ 'අසුබ ලකුණකි'. එසේම පාන්කිරිත්තා ද සලකන්නේ අසුබ නිමිත්තක් ලෙසය. රචකයා මගුල් දින මනාලිය පැනයාම නමැති අසුබ නිමත්ත හැඟවීමට යොදා ගත්තේ ඉහත කාරණාය. මා වඩාත් ඇලුම් කරනුයේ 'ඔරුවෙන් එගොඩ වෙලා - සොබනි කොහෙද ගිහින්' පද පෙළටය.  සොබනි කොයි වගේ කෙල්ලෙක්ද යන්න පැහැදිලි කරනුයේ ඒ පද පෙළය.
මෙහි රචකයා කවුරුන්ද යන්න සොයා ගැනීමට මම අපොහොසත් වුනෙමි. පද වැලේ තිබෙන චිත්‍ර රුප මැවීමේ ගුණය අනුව පද රචකයා ලුෂන් බුලත්සිංහල ලෙස අනුමාන කරමි. වැරදි නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday, 12 July 2015

IQ සමාජවාදයේ සිට EQ සමාජවාදයට....

මේ ගැන සිතන්නට වුයේ ජ.වී.පෙ. නායක අනුර කුමාර තම සහෝදරයෙක් හා මිත්‍රයෙක් 88-89 කාලයේදී අතුරුදහන් වීම හා ඝාතනය කිරීම පිළිබඳව ප්‍රකාශ කරන සංවේදී කතාව නැරඹීමෙන් පසුවය. තම මවත් පුංචි අම්මත් නැති වූ දරුවන් නැවත පැමිණෙතැයි හෝ ජීවත් වෙතැයි දක්වන සුබවාදී විශ්වාසය ඔස්සේ ලාංකීය සමාජ ඛේදවාචකය ගැන ඔහු ගේ කතාව ගලා යයි.

මා කුඩා කල සිටම අපේ ගෙදර සැලකිය යුතු ප්‍රමාණයක් මාක්ස්වාදී, සමාජවාදී හා කොමුනිස්ට් දේශපාලන සම්බන්ධ පොත පත තිබුණි. 'මාක්ස්වාදයේ මුලධර්ම' පොතේ සිට දයලේත්තිකවාදය, ලෙනින්ගේ වෙළුම් සියල්ලම, කොමුනිස්ට් ප්‍රකාශය, ආදී මෙකි නොකී බොහොමයක් ඒ පොත් පත් වලට ගොඩට ඇතුලත්ය. මාක්ස්වාදයේ මුලධර්ම පොත මා මදක් කිය වූ අතර එහි ද්‍රව්‍ය යේ ස්වභාවය ගැන දැක වූ කරුණු මා ඉගෙන ගනිමින් සිටි නුතන විද්‍යාවේ කරුණු සමග මට ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කල බැවින් එය නවදා දැමිය. ඉන්පසු මාක්ස්වාදය හෝ සමාජවාදය ගැන තොරතුරු අසන්නට ලැබුනේ සහ දැන ගත්තේ විශ්වවිද්‍යාලයේ 'තෙල බෙදීමට' පැමිණි 'ජෙය්ෂ්ට උත්තමයන්' ගෙන් හා ලංකාවේ වාමාංශික දේශපාලන ක්‍රියාකරුවන්ගෙනි. මේ නිසා මා සමාජවාදය හෝ මාක්ස්වාදය ගැන මහා දැනුම් සම්භාරයකට හිමිකම් නොකියයි.

අතීතයේ වාමාංශික දේශපාලනයට නැඹුරු වූ බොහෝ පිරිස් එයට අනුබද්ධ විෂය පථය ගැන ප්‍රාමාණික දැනුමක් තිබුණි. ඉංගිරිසියෙන් ඉගෙන ගත් ඔවුහු ව්‍යක්ත ලෙස ඒ කරුණු කාරනා හදාරනු ලැබිය. සමරුන් මේ හැදෑරීමේදී ඒ දේශපාලනයෙන් ඈත විය. සමහර විට පුද්ගලික හේතුන් විය හැක නැති නම් මතවාදී හේතු විය හැක. එකල සමාජවාදී හෝ මාක්ස්වාදී අදහස් දරු බොහෝ පිරිස් අනුගමනය කල එක උපායක් විය එනම් සමාජවාදී හෝ මාක්ස්වාදී දැනුමෙන් මිනිසා පෝෂණය වූ කල්හි මේ පිරිස තමන් වෙත රඳවා ගැනීමට හැකි වේය යන මතය. ඒ නිසා ඔවුන් හැකි තරම් සමාජවාදී හෝ මාක්ස්වාදී දැනුම සමාජ ගත කිරීමට උත්සහ කළෝය. මිනිසුන්ගේ සමාජවාදය පිලිබඳ දැනුම ඉහල යාමෙන් විප්ලවය හෝ පන්ති සටන සඳහා ඔවුන් යොදා ගත හැක මේ දේශපාලකයන්ගේ බලාපොරොත්තුව විය. මෙය මෙරටේ සියළු වාමාංශික ව්‍යාපාර වල ලක්ෂණයක් විය.  IQ (intelligence quotient) සමාජවාදය යනුවෙන් මා හැඳින් වුයේ මෙන්න මේ ක්‍රියාවලියය.

සමාජවාදී ආර්ථික ක්‍රමය ප්‍රිය කරන පිරිසගේ පළමු පොත කාල් මාක්ස් ගේ 'Das Kapital' පොතය. ඔහු මෙහිදී 'capitalist' යන්න මැනවින් විග්‍රහ කරයි. සිංහලෙන් මෙය 'ධනපතියා' යනුවෙන් නිර්මාණය කරයි. ඉංගිරිසි හා රුසියන් භාෂාවෙන් පළවූ බොහොමයක් සිංහලට පෙරලිමේදී නිවැරදිම අර්ථ දැක්වීම නොලැබේ. එසේම මේ විෂයන් දේශපාලනික කරුණු බැවින් හිතා මතාම වැරදි අර්ත්දක්වීමක් ඇති කළා විය හැකිය.සත්‍යයෙන්ම capitalist යනු 'ප්‍රාග්ධන හිමයා' විය යුතුය. එය ව්‍යවාසාය සඳහා යෙදිය හැකි මුදල්, දැනුම, හෝ වෙන ඕනෑම දෙයක් විය හැක. නමුත් 'ධනපතියා' තරම් 'ප්‍රාග්ධන හිමියා' ට 'පිඩිත පන්තිය' වෛර නොකරයි.

තවත් මේ විෂය සම්බන්ධව අසන්න ලැබුණු අර්ථදැක්වීම හුදෙක් බලය ලබා ගැනීම සඳහා පමණක් නිර්මාණය කල වදන්ය. 'නිර්ධන පන්තිය' යනු බැංකු ගිණුමක් නැති හෝ ව්‍යාපාරයක ලාබංශ නොලබන පුද්ගලයන්ය. නමුත් අද දවසේ බැංකු ගිණුමක් හිමි නැති අයෙක් සොයා ගැනීම නොමළ ගෙදරකින් අබ ඇටයක් සොයා ගැනීමක් වැනිය. එසේම බොහෝ ව්‍යාපාර තම සේවකයන්ට යම් කිසි ප්‍රතිශතයක් ලාබංශ ලබා දේ. එසේ නම් නිර්ධන පන්තියක් යනු හුදෙක් වචනයක් පමණක්ද.

නව ලිබරල් ආර්ථිකයත් සමග බොහෝ සමාජවාදී හා මාක්ස්වාදී අර්ථකතන යල්පැන ගොස්ය. එසේම වර්තමානයේ මිනිසාගේ බුද්ධියට වඩා හැඟීම් වලට කතා කිරීම තුලින් වඩා වැඩි ප්‍රථිපල ලගාකර ගත හැකි බව වෙළඳ හා ව්‍යාපාරික විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත. නුතන වෙළඳ ලෝකයේ සියළුම වෙළඳ උපක්‍රම කතා කරනුයේ ඔබගේ මනසට නොව හදවතටය. සරල ලෙස මැක්ඩොනල්ඩ් හෝ KFC අවන්හලක් ගනිමු. එහි විවිධාකාර කෑම වර්ග ඇත. ඔබට අවශ්‍යය කෑම වර්ගය ඇනවුම් කල හැකි අතර එය හුදෙක් ඔබගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත්ය. මීට අමතරව ඔවුන් විසින් නර්මාණය කරන ලද set menu හෝ value meal ඇත. එකින් එකට ගණන් බැලුවොත් මේ සියල්ල වෙන වෙනම මිලදී ගන්නවාට වඩා එකට ගැනීමෙන් ඔබට ලාබයක් ලැබේ. නමුත් ඔබට අනවශ්‍ය දේ ඔබට ගන්න සිදු වේ. පළමුව ඔවුන් ඔබට ලාබ හා ඉක්මන් බව පෙන්වයි. දෙවනුව අනවශ්‍ය දේ මිලදී ගැනීමට සලස්වයි. අවසානයේදී ඔබ අනවශ්‍ය දෙයක් මිලදී ගනී. ඔබට ලාබයක් වූ බව සිතන අතර ඔබ මුදල් වියදම් කර අනවශ්‍ය දෙයක් කෑ බව නොසිතේ.

අනුර කුමාරගේ පෙර කි වීඩියෝව බලු විට මට දනුනුයේ එය හුදෙක් මිනිසාගේ හදවතට ඉඩ දෙන කතාවක් ලෙසය. වර්තමානයේ වාමාශික දේශපාලනය ගැන හෝ සමාජවාදය හෝ මාක්ස්වාදය ගැන උනන්දුවක් දක්වන පක්ෂ අතර ජ.වී.පෙ සිටිනුයේ ඉදිරියෙන්ම ය. ඔවුන් දැන් දැන් මාක්ස්වාදී දැනුම හෝ සමාජවාදී ක්‍රමය පිලිබඳ දැනුම සමාජ ගත කිරීමට වඩා වැඩි ඉඩක් ලබා දෙනුයේ හැගීම් වලට කතා කිරීමටය. විප්ලවවාදී පක්ෂයක් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනුයේ මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට වඩා තම මතය සඳහා වැඩි වේදිකාවක් ලබා ගැනීමටය. මෙලෙස සැලකිමදී මිනිසාගේ හැඟීම් වලට කතා කර විප්ලවයක් හෝ සමාජ පෙරළියක් සඳහා සමාජය මෙහෙවීම එකතරා විදිහක නුතන වෙළද උපක්‍රමයක් වැනිය. මා EQ ( Emotional quotient) සමාජවාදය ලෙස හැඳින් වුයේ මේ ක්‍රමයයි.

අනික් අතින් බැලූ කල IQ සමාජවාදයේ ඔස්තාර්ලා ලෙස පෙනී සිටි වාසු වැනි වාමාශික නායකයන්ගේ දේශපාලන දැනුම හා ප්‍රතිපත්ති ගැනද සැලකිය යුතුය. වරක් සිරසේ සටන දේශපාලන සංවාදයට පැමිණ ඔහු පැවසුයේ ඔහුට දේශපාලනය ඉගැනුවන් කියා සිටියේ සෑම විටම තම ප්‍රතිවාදියා ට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටගත යුතුය යන්නය. ඔහු කියන ආකාරයට ඔහු පෙනී සිටින්නේ අධිරාජ්‍ය විරෝධී වාමාංශික කදවුර වෙනුවෙන්ය. එසේනම් රනිල් සහ ඔහුගේ කණ්ඩායම අධිරාජ්‍ය ගැති දක්ෂිනාෂික කඳවුර විය යුතුය. නමුත් මහින්ද යනු මේ කොකටවත් නැති හුදෙක් තමාගේ පැවැත්ම සඳහා ක්‍රියා කල පුද්ගලයෙක් වන අතර වාසුට බැරි වුයේ තමාගේ ප්‍රතිවාදියා කවුරුද යන්න නිවැරදිව අවබෝධ කර ගැනීමටය. එසේනම් තවත් ඔහුගේ මාක්ස්වාදී දැනුම  හෝ දේශපාලන චින්තනය සමාජය පිලි නොගනී.

වර්තමානයේ කුමන රටක හෝ දේශපාලනය යනු වෙළඳ උපක්‍රම සමග බද්ධ වූ ව්‍යාපාරයකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ බැරක් ඔබාමාගේ සිට ස්වාසිලන්තයේ ගෝත්‍රික සමාජිකය දක්වා විහිදේ. නුතන වෙළඳ උපක්‍රම සියල්ලම භාවිතා කරන විද්‍යුත් මාධ්‍ය, සමාජ ජලා, අන්තර්ජාලය ආදී මෙකි නොකී සාම මාධ්‍යක්ම දේශපාලනය සඳහා යොදා ගනී. අපේක්ෂණයන් brand ලෙස ජනතාව අතරට පැමිණේ.එහෙත් තවම බහු ජාතික සමාගම් තම පාරිභෝගිකයාගේ හදවත අල්ලා සාක්කුව හිස් කිරීමේ ක්‍රමවේදය භාවිත අතින් දේශපාලන පක්ෂ සිටිනුයේ ප්‍රාථමික අවදියේය. ජන්දදායකයාගේ හදවත ස්පර්ශ කරන ad එකක් එනකන් හෝ හොඳ promotion එකක් එනකන් අපි බල ඉඳිමු.

Monday, 22 June 2015

හීන් සැරේ ඔබ ආවා.....

1979 වසරේදී 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ T M ජයරත්න ගායනය කල 'මාල ගිරා..' ගීතයට හොඳම ගීතය ලෙස සරසවි සම්මාන හෙමිවේ. කේමදාසයන් සංගීතයෙන් ඔපවත් වූ වසන්තයේ දවසක් හි සංගීතය හා එහි ගීත හැරුණු කොට වඩා වැදගත් දෙයක් නැති තරම්ය. එම චිත්‍රපටයේම 'හීන් සැරේ ඔබ ආවා' ගීතය මේ අතරින් විශේෂිතය.



හීන් සැරේ ඔබ ආවා......ආවා.....
රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා......
යාන්තමින් මා සිත ඇදි පිළිරුව.......
ඔබ ආවා......
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
ආවා......ආවා......

තරුවෙන් තරුවට පැන පැන හිමිහිට......
මලකින් මලකට පියඹා හනිකට.......
මා දගකාරිය නාරිලතාවිය.......
කාන්සියේ..... මද අදුර මකා හැර.......//
හීන් සැරේ ඔබ ආවා......ආවා......

මත් කොවුලන් ගීත නදින......
සත් පියුමන් රේණු මතින......//
අත් වැල් බැද නටමු නටමු.......
සිත් සැණකෙළියේ......//

නීළඹ නිල් වියන යටින්......
පින්න පිපුණු පළස මතින්.....//
සුරංගනා රැගුම් රගමු......
සද තරු එළියේ......//

https://www.youtube.com/watch?v=lP0rxgzmxTQ

අජන්තා රණසිංහගේ පදරචන ගැන හෝ කේමදාසයන්ගේ සංගීතය ගැන මෙහිදී තවත් අටුවා ටීකා අවැසි නොවේ. මේ ගීතයේ දර්ශනයේ සිටුනුයේ T M ජයරත්නයන් ය. නමුත් ගායකයා අමරදේව ය. දර්ශන තලයේ සිටින තැනැත්තිය සුනේත්‍රා සරත්චන්ද්‍ර වන අතර ඇය ගීතය ගායනයට ද එක්වේ.T M ගායනයෙන් සහභාගී නොවී රංගනයේ (එම රුප තලයේ පමණි) සහභාගී වීම එක්තරා ආකාරයක දුබල සිදුවීමක් වුවද වඩා වැදගත් වනුයේ සුනේත්‍රා ගායිකාවක ලෙස ගීතයට කරනු ලබන සාධාරණය. මා ඇයගේ ගීත ගායනයක් අසා ඇති නම් ඒ වේදිකා නාට්‍ය ගීත ගායනයක් පමණි. නමුත් මෙම ගීතය ඈ තුල ඇති ගායන කෞව්ශල්‍ය අගේට පෙන්නුම් කරයි. පදරචනාවෙන් ඉඟි කරන හා සංගීතයෙන් කුල්මත් කරන ඒ හැඟීම් දනවන මොහොතට ජීවය දෙන්නේ සුනේත්‍රා ය. ඇයගේ කටහඬ ඒ තරම් ජවසම්පය;බලවත්ය.
මෙහි අමරදේවයන් ගැන කතා නොකරම බැරිය. අපරදිග ගායකයන් විශාල පරාසයක තම ගායනය ඉදිරිපත් කිරීමට දක්ෂය. පෙරදිග ගායකයන් භාවයන් ගායනය කිරීමට දක්ෂය. භාවයන් ගායනයේදී අමරදේව තරම් සියුම් ලෙස ඒ භාව ප්‍රතිනිර්මාණ කරන ගායකයෙක් තව සොයාගත නොහැකිය. නමුත් මේ ගායනයේදී අමරදේවයන් විවිධාකාර වූ පරාසයන්ට තම ගායනය ගෙන යයි. එය අපරදිග ගායනයක් දැයි සිතන තරම් චමත්කාරය. එසේම රාත්‍රියේ සැමට හොරෙන් තම පෙම්වතිය හමුවීමට යන ඒ සොඳුරු පෙම්වතාගේ නොසන්සිඳුණු හැඟීම් භාවයන් ලෙස ගෙන ගෙනෙන ආකාරය මනරම්ය. 'කාන්සියේ....' කියමින් ඔහු මතු කරන කාන්සිය ඔහුගේ ගායන පරාසයත් භාවයන් ප්‍රකාශ කිරීමේ හැකියාවටත් කදිම උදාහරණයක් ය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.