Showing posts with label ප්‍රේමකීර්ති. Show all posts
Showing posts with label ප්‍රේමකීර්ති. Show all posts

Tuesday, 5 June 2018

ප්‍රණීත මී පැණි ගෙන ආවත්.....

ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විෂ ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරෙයි
ගඟ රැළි නංවනවා...

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ...

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ....

https://www.youtube.com/watch?v=4GwipyPVRT4

මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති. සංගීත හා ගායනය ප්‍රියා සුරියසේන. අන්තිම පේලි කිහිපය හැර අනිකුත් සැම පද වැලකම දකින්නට ඇත්තේ ප්‍රතිවිරුද්ධ අදහසක්. මී පැණි ප්‍රණීත වුනත් ගෙන එන බඹර තුඩ විෂ සහිතයි... එහෙම නැති නම් සුභාෂිතයේ උදාහරණයක් ගෙන එමින් 'බිඳින බිදින තරමට සඳුන් ගස සුවදවත් බව'. මුළු ගීතය පුරාවටම තිබනුයේ උපමාවක් එසේ නොමැතිනම් සමාන කිරීමක්. රචකයා අවසන් පදවැල් කිහිපයේදී තමයි තමන් කුමකට  මේ සමාන කිරීම කරන බව පවසන්නේ.... තව තවත් ආදරය උපදින බව ඔබ කෙතරම් රිදවුවත්.. ප්‍රේම් හැර මෙවන් ආදරවන්තයෝ තවත් සිටීද?

සමස්ථයක් ලෙස මුළු ගීතය පුරාවටම තිබනුයේ එක්තරා දාර්ශනික කතාවක්. ප්‍රේම් ගේ ගීත විවිධාකාරයි. ඔහුගේ ගීත රචනා විවිධාකාර මවත් ඔස්සේ ලියවිලා තියෙනවා... ප්‍රේමය, විරහව වගේ පොදු කාරනා වගේම, ඉරිසියාව, උපහාසය ගැනත් ගීත සොයා ගන්න පුළුවන්. එසේම දාර්ශනික සටහනක් ඇති ගීතත් නැතුවා  නොවේ. මා දකින ආකාරයට උපමා, රූපක අප්‍රමාණ ලෙස භාවිත කළ ගේය පද රචකයා ප්‍රේමකීර්ති.

ප්‍රේම් වැඩියෙන්ම ගීත ලියුවේ වික්ටර්ට. වික්ටර් ප්‍රේම් සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ අපමණයි. එසේම විශිෂ්ටයි. එහෙත් වික්ටර්ගේ සංගීතයත් ගායනයත් ඉදිරියේ ප්‍රේම් ගේ රචනයට එහෙම නැති නම් ප්‍රේම් ට අවැසි කතාව ගැන ප්‍රේක්ෂකයා සමග ඉදිරියට යාම පහසු උන්නේ නැහැ. සමහර විට වික්ටර්ගේ සංගීතය හා ගායනය අත්හැර ප්‍රේම් ගේ රචනය ගැන ප්‍රේක්ෂකයා නොබැලුව නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම ප්‍රේමකීර්ති ත් මේ කාරණය ගැන දැන සිටියා වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති උපහාස ගීත ගායනයට ප්‍රෙඩි සිල්වා ව භාවිත කරන්න ඇත්තේ. ආරොන් මාමා... කළු කුම්බියා... වගේ ගීත වලින් ඔහු හිමින් සැරේ ඒ උපහාසය පල කළා. වික්ටර් ගායනය කලේ නම් එය උපහාසයකට වඩා දැනිය යුතු තැන් වලට එල්ල කර කනේ පහරක් වෙන්නත් තිබුනා. මට හැඟෙන ආකාරයට ප්‍රියා සුරියසේන ව ඔහු භාවිත කළේ දාර්ශනික අදහසක් සමාජයට ගෙන යන්න. එය වික්ටර් ගේ ගීත වලට ඇළුම් කරන  'සම්භාව්‍යය' කියන   ප්‍රේක්ෂක කණ්ඩායමට නොව සරල ගීත රස විඳින ප්‍රියා සුරියසේන ඇලුම් කරන සමාජ කණ්ඩායමට. මේ ගීතයට අමතරව 'ආදරේ කියූ.. කිසිවෙකු ආදරේ නැතේ... හා 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ආදී ගීතත් මෙලෙස දාර්ශනික අදහස් සමග ලියවුනු ගීත කිහිපයකට උදාහරණ ලෙස සදහන් කල හැක. 'ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ..' ගීතයේ එක් තැනක 'සැනසීමත් සීමිතයි සිතේ...සීමිත දේ සැනසුමයි සිතේ...' ලෙස ඉතා ගැඹුරු කාරණාවක් ඔහු සදහන් කරනවා. එසේම 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ගීතයේ සිත සහ මිනිසා දේ ආකාරයකට වේදනාව විඳින  අයුරු කදිමට විස්තර කරනවා. තව 'හෙට දිනයේ අප දෙදෙනා..' ගීතයේ ලෝකයේ වෙනස් වීම කියාපෑමට කදිම රුපකයක් යොදා ගන්නවා - ' අද සුපිපෙන මල හෙට නොපිපෙවී' යනුවෙන්. එහිදී ඔහු කියනවා ආදරයද අළුත් විය යුතු බව ලෝකය වෙනස් වෙන ආකාරයට. එකම මිහිර වුවත් හෙට දිනයේදී විඳින්න පුළුවන් එලෙස අළුත් වූ ආදරයකින් බව.

ප්‍රියා සුරියසේන ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙක්. සමහර ඔහුගේ ගීත වල තනු සහ සංගීත නිර්මාණ කරුවා ඔහුයි. ඔහුගේ ගීතයක් නොගැයූ නුතන සුපර් ස්ටාර් ලා නැති තරම්. ඔහුගේ තනු සහ සංගීතය සහිත ගීත 70 දශකයේ සිට තවමත් ජනප්‍රියයි. අවාසනාවකට ඔහු ගායනය සඳහා වැඩි මහන්සියක් වුවත් තනු නිර්මාණය සහ සංගීතය සඳහා එතරම් ශ්‍රමය වැය කලේ නැහැ. තමන්ගේ හැකියාව නිවැරදිව හඳුනා නොගත් තවත් කලාකරුවෙක් ලෙස මා ඔහු දකින්නේ. සමහර විට පුද්ගලික ජිවිතයේ විවිධ ඉලක්කයන් ඔහුව සංගීත නිර්මාණයෙන් ඈත් කර තැබුවා විය හැකි. මා හට නම් ඔහුගේ ගායනයට වඩා සංගීතයේ වඩා ආකර්ශනයක් ඇතැයි සිතේ. අඩුම තරමින් ඔහුට කුමන හෝ සංගීත පාසලක විධිමත් අධ්‍යනයක් කරන්නට ලැබුනේනම් තවත් අගනා තනු නිර්මාණ රැසක් අපට තිලිණ කරනු නොඅනුමානය.

Sunday, 27 November 2016

ලා සඳ එළියේ නා පෙති හැලිලා



විවාහයේ ප්‍රථම රාත්‍රිය ගැහැණියෙකු ට ඇතිවන සතුට,බලාපොරොත්තුව හා චකිතය කියවන වෙනත් ගීතයක් මේ ගීතය හා සැසදීමට නොහැකි තරම්ය. දයා ද අල්විස් නම් ගීත රචිකාවියගේ ජිවන අත්දැකීම් මේ ගීතය සමග මුසු වී ඇතැයි මට සිතේ. ඇයගේ පළමු විවාහය අවසන් වන්නේ ස්වාමියාගේ අකල් වියෝවෙන්ය. පසුව ඇයගේ ජිවිතයට ඇතුළුවන්නේ ප්‍රේමකීර්ති වුවද ඒ විවාහයත් සාර්ථක වන්නේ නැත. මා හට සිතනුයේ මේ ගීතය දයා ද අල්විස් ගේ ප්‍රථම විවාහයට වඩා දෙවන විවාහයට සමීප බවයි.

ලා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......

නා මල් පෙති වැටුණු යායකට ලා  සඳ එළිය වැටුණු විට එයින් ඇති වන චමත්කාරය වචනයෙන් විස්තර කල නොහැක. සිංහල ගීත සාහිත්‍ය යේ ලා සඳ එලිය ඉදිරියේ දිග හැරුණු ශුන්ගාරය සමග දිගහැරුණු ප්‍රේමය ගැන ගීත බොහෝමය. නාමල් සුවඳ මුසු වීමත් සමග මේ චමත්කාරය දෙගුණ තෙගුණ වී යයි. එසේම නාමල් සුවදත් සමග ඒ ශුන්ගාරාත්මක රාත්‍රියට පහන් බවක් එසේ නොමැති නම් නිවුණු බවක් ගෙන දෙයි.මෙවන් රාත්‍රියකදී මේ කාන්තාවගේ 'දිවි රැය' මල් සුවදින් ප්‍රබෝධමත් වී ඇත. අවට පරිසරය සේම ඇයගේ ප්‍රබෝධමත් වූ ජිවිතයේ රාත්‍රිය තම ස්වාමියාගෙන් ඉල්ලනුයේ සඳ දියයි. සඳ දිය පිවිතුරුය. එය නොකිලිටිය.ඇයට තම ස්වාමියාගෙන් අවැසි වන්නේ පිවිතුරු ආදරයයි.

මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වේ
ඔබගෙනි සැප දුක විමසන්නේ..........

ඇය මේ පුරුෂයා සමග කෙතරම් බලාපොරොත්තු තබා ගෙන ඇති බව පවසන්නට යොදා ඇති සීමිත පදවැල් ගණන අසීමිත මානයක් පෙන්වයි. අයගේ මවත් පියත් මින්පසු ඔහුය. ඉෂ්ට දේවතාවන් ඔහුය. ඇයගේ දුක සැප සොයා බැලීම සේම, මව ගෙන් පියාගෙන් ලැබුණු රැකවරණය ද මින්පසු බලාපොරොත්තු වන්නේ ඔහුගෙනි.

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳු‍නේ.................

මේ මුළු ගීතයේම සාරාංශය මේ පද කිහිපය කියයි. 'ඔබේ දෙපා මත හිස රදවන්නම් - පළමු වතාවට හිමි සඳුනේ...' යි පවසන්නේ තොල් පෙති සිඹ දෑස් පියාගෙන ය. තමන්ට හුරු පරිසරයෙන් නික්මී අළුත් ජිවිතයක් ඇරඹීමට පැමිණි ඇය වෙන කවුරුත් නොව දයා අල්විස් නම් කිවිඳි ය යි මට සිතේ. මේ ගීතයත් සමග කෙතරම් දයාබර පරහිතකාමී පුද්ගලයෙකු වුවද ප්‍රේම් ගැන මට ඇතිවන්නේ ඔහු නොකළ යුත්ත්තක් කළාය වැනි හැඟීමකි.

එච් එම් ජයවර්ධනගේ සංගීතය පද රචනාවට උචිතම සංගීතය යි සිතිය හැක. සමහර ප්‍රවීනයන් ගීත වලට සංගීතය එක කිරීමේදී ගායකයාගේ හැකියාව වගේම පද රචනාවේ අගය අතික්‍රමණය කරනවා දැක ඇත. එසේම ගායකයා සමහර විට ඒ ගීතයේ සංගීතය, පද රචනාව අතික්‍රමණය කරනවා දැක ඇත. පදරචකයාද එසේමය. බොහෝවිට ගායකයගේම පදරචනවත්, සංගීතයත් වූ ගීත සමස්තයක් ලෙස හොඳ නිර්මාණයක් ලෙස (ඕනෑ තරම් අවර ගනයේ මේ ආකාරය් ගීත ඇත.) ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ සම බර ලෙස සියළු අංග උපාංග එක්වන නිසාවෙනි. නමුත් එච් එම් සංගීතවත් කළ බොහෝ ගීත වල ඔහු ගායක/ගායිකාවන්ගේ හඬ යටපත් නොවන ආකාරයට මෙන්ම ගීතයේ වචන වලටද සම තැන ලබාදීමට උත්සහ කර ඇත. මේ ගීතයේ ද වචන වල තිබෙන සංයමය සංගීතයේ ද ඇත. මුළු ගීතය පුරාවටම වැයෙන වයලීනය ඒ සංයමය නිර්මාණය කර ඇත. වරින් වර වැයෙන තත් හඬ මේ යුවතියගේ සිතේ ඇතිවන චකිතය දනවයි

ගීතයට අවැසිම හඬ නිරංජලා ගේය. ඒ හඬේ පවතින තාරුණ්‍ය වගේම සංයමය, ගීතයේ කියන ඒ අවස්ථාව මැනවින් විදහාපායි. මා වඩාත් ආස කරනුයේ ගීතයේ සමප්තියේ ඇති මිමිනිම ටය. පළමු වතාවට ස්වාමියාගේ දෙපා මත හිස තබන යුවතියට ඇති සැනසීම හරි අගේට එමගින් දනවන්න නෙරංජලා ට හැකි වී ඇත. සිය ස්වාමියාගේ වියෝවෙන් පසු නෙරංජලා ගායනය අතහැරීම පිලිබඳ මා තුල ඇත්තේ අප්‍රසාදයකි. ඇයට තමා කැමති තීරණයක් ගැනීමට ඇති අයිතිය පිලිබඳ කිසිඳු  ප්‍රශ්නයක් නැත. එහෙත් රසිකයෙකු ලෙස ඒ හඬ අසන්නට නොලැබීම  ගැන ඇත්තේ වේදනාවකි.

Sunday, 24 July 2016

මා එක්කලා අමනාපව වී දබර

මා එක්කලා අමනාපව වී දබර 
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා 
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා 
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා 
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...

හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ 
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ 
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ 
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...

මේ ගීතයේ රචකයාත්, සංගීත නිර්මනකරුවාත්, ගායිකාවත් ජීවතුන් අතර නැත. මා අසා ඇති ආකාරයට මේ ගීතය තනුවකට පදවැල් එක්වීමෙන් නිර්මාණය වී ඇත.ඔස්ටින් මුණසිංහ ශුරින් මුලින්ම මේ තනුව නිර්මාණය කර ඇත්තේ භක්ති ගීත වැඩසටහනකටය. දිනක් ප්‍රේමකීර්ති ඔහුගේ ගෙදර පැමිණි විට මේ තනුව වාදනය කර පෙන්වා ඇත. පසුව ප්‍රේමකීර්ති මේ අපුර්ව පදවැල නිර්මාණයකර  ඇත. ගීතයට අවැසිම කටහඬ මාලනී බුලත්සින්හලගේය.

මේ ගීතය ප්‍රේම් කවුදැයි යන්න එළිකරන ගීතයක්දයි මට සිතේ. ප්‍රේමකිර්තිගේ  පළමු කසාද බිරිඳ දයා ද  අල්විස්ය. ඔවුන් දෙපලට  සුරංගි නම් දුවෙක් සිටි. කෙසේ හෝ  මේ කසාදය වැඩිකල් පැවති නැත. මොනයම් හේතුවක් නිසා එය දෙදරා ගොස් ඇත. අපේ සමාජයේ කසාදයක් දෙදරා යන්නේ බටහිර සමාජයේ මෙන් ක්ෂණිකව නොවේ. බටහිර සමාජයේ දික්කසාද වීමට හෝ වෙන්වීමට දෙදෙනා අතර රුපවාහිනිය නිවසේ තැබිය යුතු දිශාව පිලිබඳ ආරවුලක් ප්‍රමාණවත්ය. අපේ සමාජයේ එවැනි දේ වලට දිකසාද වන අවස්ථා විරලය. මීට පෙර දෙදෙනා අතර නොයෙක් අමනාපකම් තිබෙන්නට ඇත. සමහරවිට දයා සමග අමනාප වී ප්‍රේම් නිවසින් ගිය අවස්ථා ද තිබෙන්නට ඇත. මා  අනුමාන කරන දෙය ඒ ලෙසම සිදුවුයේ නම් ප්‍රේම් පදවලට නගන්නේ දයා ද අල්විස් ගේ අත්දැකීම් හා හැඟීම්ය. ඒ අත්දැකීම් හා හැඟීම් ඇතිවීමට හේතුකාරනා වන්නේ ද ප්‍රේමකිර්තිය.

මෙලෙස මගේ හිතළු ගලපන අතර දයා ද අල්විස්  අතර හා ප්‍රේමකීර්ති අතර තවත් දේ ගීතවල ඇතිදැයි  මට සිතේ. දයා ද අල්විස්  ගේ පළමු සැමියා සෝමපාල රණතුන්ගයන්ය. ඔහු ද ප්‍රවීන ලේඛකයෙකි. 'ඇස් දෙක' ඔහුගේ නවකතාවකි. ඔහු මෙලොවින් සමුගන්නේ නොසිතු මොහොතකය. සමන් ආතාවුදහෙට්ටි පවසන ආකාරයට ප්‍රේමකීර්ති දක්‍ෂ ගීත රචකයෙකු වුවද පොත් කියවනවා දකිනුයේ බොහොමත් අඩුවෙනි. ප්‍රේම් කියාවා ඇති එකම නවකතාව සෝමපාල රණතුන්ගයන්ගේ 'ඇස් දෙක' නවකතාව බව සමන් ආතාවුදහෙට්ටි පවසයි. ප්‍රේම් ගේ 'සද කැන් වැසිලා ..' ගීතයේ මෙලෙස පද පේලියක් වේ.

"මේ ලොව මා සතු - ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයෙනු දැනේ.."

මෙලෙස බැලුකල ප්‍රේම් කියවුයේ සෝමපාල රණතුන්ගයන්ගේ  'ඇස් දෙක' නවකතාව පමණක්මද  සිතේ.

https://www.youtube.com/watch?v=OUYdnoI25Rs (සමන් ආතාවුද හෙට්ටිගේ කතාව)

කෙසේ හෝ ප්‍රේම් ගේ පෙර සඳහන් කල ගීතය ගීත විෂයෙහි බොහොම අඩුවෙන් ස්පර්ශ කරන මාතෘකාවකි. ගීතය කියනුයේ මව විසින් තම දියණියටය. මව පියා ආමන්ත්‍රණය කරනුයේ 'දුවගේ තාත්තා..' යනුවෙනි. පියා නිවසින් ගොස් ඇත්තේ මව සමග අමනාප වී මිස දුව සමග අමනාපයෙන් නොවන බව මුල් පද පෙලින්ම පවසයි. අනික මේ දබරයෙන් පියා නිවසින් ගොස් ඇත්තේ ඔහුගේ උවමනවටය.

කසාද සැමියා තමන්ගෙන් වෙන්වීම සැපතකයි සිටින කාන්තාවන් සිටිනම් ඒ ඉතාමත් සුළු පිරිසකි. මේ මගේ අත්දැකීමකි. මා රැකියාව කල ස්ථානයක දිනක් තවත් කාන්තාවන් තිදෙනෙක් මා සමග දිවා ආහාරය ගනිමින් සිටියෝය. එක් කානාතාවක් දික්කසාද වී බොහෝ කල් ය. තවත් කාන්තාවක් සැමියාගේ බිමත් කම හා අඩත්තේට්ටම් නිසා ගෙදර ප්‍රශ්න ගැන කතා කරමින් සිටි. අනෙක් කාන්තාව ගැන මා එතරම් නොදනී. කෙසේ හෝ ඇය තම යෙහෙළියට පැවසුවේ 'ඔහොම ඉන්නවට වඩා divorce වෙන එක හොදය' කියාය. එවිට දික්කසාද වූ කාන්තාව පිළිතුර වුයේ ' divorce උනාම තේරේවි රණ්ඩු වෙන්න හරි මිනිහෙක් ඉන්න එකේ අගේ..' කියාය. පවුල් අවුල් ගැන කතා එතනින් නිම විය.
ගීතයේ සඳහන් තැනැත්තිය තම සැමියාගේ නිවසින් බැහැර වීම ගැන කන්නස්සල්ලෙන් පසුවන බව පැහැදිලිය. ගේදොර අස්කර පිළිවෙලකට තබා ගන්න ඈ උත්සුක වන්නේ නැවත සැමියා  ගෙදර පැමිණෙයි යන අපේක්ෂාවෙනි. ගේ ළඟ කඩුල්ලට බැරි බරක් දරන්න සිදුවෙන්නේ කාරනා දෙකක් මතය. පළමුව තමාගේත් දුවගේත් ආරක්ෂාව සහ දෙවනුව ආර්ථික අඩුපාඩුකම් ය. පියා නොමැති නිවසට මව විසින් මේ කාරනා දෙකම සැලැස්විය යුතුය. එය මවට දැරිය නොහැකි බරකි. එපමණක් නොව සැමියා නිවසින් යෑම ඇයට සැපතක් නොවේ. රැය පුරා ඇයට නින්දක් නැත. ඒ නිසා ඇය ගෙමිදුලට වී සැමියා එනතුරු බලා සිටී. 

අඳුර එළඹෙත්ම ඔවුන්ගේ දුක කියන්නට කවුරුත් නැත. අඩුම තරමින් සඳ හෝ පායා නැත. සඳ තිබුණි නම් අඩුම තරමින් සඳට හෝ මේ දුක කිව හැක. කාලය වැය කිරීම සඳහා තරු ගනින්නේ ඒ නිසාවෙනි. මේ ගීතයේ 'සඳ මාමා' යන්න යෙදුම අපුරුය. ගීතය දුවට කියන බවත් පියා නොමැති ගෙදර මව විසින් ඇය ව සුරංගනා ලොවකට ගෙනයන්න දරන නිරර්ථක උත්සාහයත් අපුරු ලෙස හැඟවීමට ප්‍රේම්ට හැකිව ඇත්තේ මේ නිසාය. පියාව නැවත ගෙදර ගේනවා ගැනීමට මවගේ හෝ දුවගේ දුක පමණක් දන්වා යවා පලක් නැත. පියාට දෙදෙනාගේම දුක දැන්විය යුතුය. එය තල් අත්තක ලියනුයේ කඩදාසියක ලියු දෙයක් ලෙස මැකී දියවී නොයන නිසාවෙනි. මේ දුක ගැන පියාට දිගින් දිගටම මතකයේ රැඳවිය යුතුය. එවිට ඔහු නැවත මෙවැනි ගමන් නොයනු ඇත. මේ පණිවිඩය යැවීමට සුදුසුම තැනැත්තා සඳ මාමා ය. පියා ට දහවල් වෙලාවේ විවිධ රාජකාරි නිසා මවගේත් දුවගේත් දුක ගැන අවබෝධ නොවන්නට පුළුවන. එහෙත් රාත්‍රියට සඳ මාමා එනවිට පියාට තම දු සිගිත්ත හා බිරිඳ ගැන සිතුවිලි ගලාගෙන එනු ඇත. ඒ නිසා සඳ මාමා පණිවිඩය දුන් සැනින් හෙට තාත්තා ගෙදර එන බවට මවට විස්වාසයක් ඇත.

ප්‍රේම් නම් පුදුමාකාර නිර්මාණ කරුවෙකි.වචනවලට එහා ගිය දිගු කතාවක් පද කිහිපයකින් පැවසීමට ඔහුට තිබෙන හැකියාව මා පුදුම කරවයි.  ආරම්භයේ මාලනී ගේ උච්ච ස්වරයෙන් පවසන මුල් පද පේලිය වැලපිමකට සමානය. මුළු ගීතයේම හරය ඒ පළමු පද පෙලියේම කැටි කිරීමට මාලනී සමත්වී ඇත. තවත් මෙවන් කටහඬ ගීත වලට අවැසි මොතක මාලනී අප අතරින් සමු ගැනීම සැබවින්ම විශාල පාඩුවකි. තවමත් මාලනී ගේ ඒ හිස් තැන පිරවීමට කිසිම ගායිකාවක් සමත් වී නැත. මුනසිංහයන්ගේ සංගීතය ත් මුළු ගීතය පුරාවටම තිබෙන ශෝකී බව මානව පිළිබිඹු කරයි. විශේෂයෙන් අන්තරා කොටසේ වැයෙන බටනලාවත්, ගීතය සමග හඬන වයලීනයත් මුළු ගීතය පුරාවටම හදවතේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත් වී ඇත.


Sunday, 19 June 2016

අමතනු මැන මගේ දුරකථනය අංකය 24....

මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත්  නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.

'දැන්  එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.

'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.

අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ  ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.

සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.

ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම  යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.

'කතරක තනි වී  ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'

මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර  පද කවි  ආකෘතියට ලියවුනු  ගීතය.  මේ එක උදාහරණයකි.

'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම           සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන            සංසාරේ'

නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.

වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත.  'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින්  තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.

https://www.youtube.com/watch?v=m-VnHmTBi70

එක් දිනක් සැන්දෑවක  මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......

ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 23 October 2013

ළඳුනේ කොහෙද දුවන්නේ...

මේ ගීතයත් සමග මට මගේ ඉස්කෝලේ කාලය මතක් වෙනවා.. පාසල් වේලාවෙන් පසුව මොකක් හරි තොවිලයක් නටා ඉස්කෝලේ, ඉර බහින්න ඔන්න මෙන්න කියා එලියට ඇවිල්ලා ඊළඟට යන්නේ පාසැල මායිමේ තියෙන සල්ගාදු අන්කල් ගේ කඩේට. කඩේ ඉස්සරහ වැටකේ පඳුර. හිරු මුහුදේ ගිලිනවා දකින්නේ මේ වැටකේ පඳුර අතරින්. රේල් පාරේ වාඩිවෙලා ඉන්නවා පෙනෙන්නේ ඇන්ටන් අයියා.. ඔහු ධීවරයෙක්... යන්තම් නෙමේ හොඳට සළු වෙලා ඉන්නේ ඒ වෙලාවට...මාග්‍රට් අක්කා ඔහු පසු කර කඩේට එයි..'නංගි... කොහෙද යන්නේ...' ඒ ඇන්ටන් අයියා... 'උබලගේ අම්මලාගේ ගෙදර' මාග්‍රට් අක්කගේ පිළිතුර..එතනින් එහා තව කතා නැත ඇත්තේ මහා හිනාවකි... ඇගේ දියණිය..(හරියට නංගි වගේ) කඩේට ආවත් ඇන්ටන් අයියා අහන්නේ ඒ ලෙසමය. 'ඇයි අහන්නේ පාර කියන්නද'.. දියණියගේ පිළිතුර තරමක් ශිලාචාරය. ලොකු නෝනා කෙනෙක් ඔතනින් ගියත් ඇන්ටන් ගේ ප්‍රශ්නේ එලෙසය.. සද්ද නොකර ගියොත් විසිල් පාරක් වදී... ඇන්ටන් අයියට හැදිච්චකම කියලා දෙන්න ගියොත් සුද්ධ සිංහලෙන් නෝනා අහගනි...
මේ මිනිස්සු අත්ත්න්න්ම සඳට හඬන අය නොවෙති... අඳුරේ එලිය දකින්න අපිට වඩා පිං කර ඇත.
මේ ගීතය කෙසේ නිර්මාණය වුයේද යන්න අදහසක් නැත. කෙසේ හෝ වේවා කවුරු තොරගත්තත් සියල්ල සඳහා ඒ සඳහා සුදුසුම කිහිප දෙනා හමු වී ඇත. 'ළඳුනේ කොහෙද දුවන්නේ..' යන්න ඇසීමට සුදුසුම කටහඬ සමන් ද සිල්වා සතුය. ඒ හඬ ඇන්ටන් අයියා ගේ හඬේ ඇති පවුරුෂය වගේ.... එය වෙන කවුරුන් හෝ ආදර බර හඩක් ඇති ගායකයෙක් ගැයුවා නම් මාග්‍රට් අක්කගේ උත්තරය 'පල පො...යෝ යන්න' විය හැක. මාලනී බුලත්සිංහලගේ කටහඬ ද එසේමය... ඒ හඬත් සමග මුඛරි බවක් ජනිත වේ.. මේ කතාව තව දිගට යා යුතු බව හැගේ..
සියල්ලටම වඩා මා ප්‍රිය කරන්නේ සංගීතයට ය. එය තරමක් කර්කෂය... ඒ කර්කශ බව වැල්ලේ ජීවතය කියන්නාක් වැනිය. වරෙක ක්ලැරන්ස් ජීවත් වුයේ මේ වැල්ලේ සමාජය සමගද කියා සිතේ..ජපන් මැන්ඩලින් හඬ ඔවුන්ගේ සාද වල නිතර ඇසේ. 6/8 තාලය ඔවුන්ගේ රිද්මය දනවයි. 
ප්‍රේමකීර්ති මොන අත්දැකීමක් පාදක කරගෙන මේ ගීතය ලියුවද යන්න අදහසක් නැත. නමුත් ඔහුටම ආවේනික උණු සරල පද භාවිතය තුලින් මා ගීතයත් සමග දකින ලෝකය තවත් පැහැදිලි කරයි. පොඩි අවුලකට දකින්නේ 'කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ' යන පද වලය.. මා මවාගත් රූප පෙළත් සමග කුබුර, කමත, නනතොට, නැත.. ඒ වෙනුවට ඇත්තේ..වැල්ල.. ලෙල්ලම... හා පොදු ජල කරාමය... 

http://www.youtube.com/watch?v=nMJUYGG8alc

දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ.
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ
රත්තී බැඳපු තැනින් ලෙහා ගෙනෙන්නේ
අඳුරේ අපට හුරුයි ගමනෙ උපන්නේ
අපි නෑ සඳට අඬන්නේ
අඳුරෙයි එළිය දකින්නේ

අද නෑ පෝය දිනේ
විලස සඳේ එළිය මෙහේ
තනිවෙයි නේද නඟේ
තනිය මකා ගන්නේ කෙසේ..
ඉපදී මියෙන තුරා
ඉන්නෙ ලොවේ තනිවම නේ
කම් නෑ තනිය හොඳා
නුහුරු හැඟුම් සිතට නො ඒ...
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ...

තනි වී නොයනු නඟේ
ඉන්න මෙමා එම්ද නඟේ
නැති දෝ සිතට නුඹේ
දැනුනෙ තවත් මිහිර පෙමේ..
කුඹුරේ කමතෙ ගමේ
නාන තොටේ හතර වටේ
පැතිරේ නේක කතා
එන්න එපා පිං සිදුවේ..
ලඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

සමනල රෑනක් සේ...

මගේ මතකය නිවැරදි නම් මෙය චිත්‍රපටි ගීතයක්.. 1974 දී තිරගත වූ 'සැණකෙළිය' චිත්‍රපටියේ ගීතයක්.. මම ඉපදිලත් නැහැ...එත් අහල තියෙන විදිහට බොහෝ ජනප්‍රිය වුනු සිනමා පටයක්..විජය, මලානි, ගාමිණී රඟපාපු...විමලදාස පෙරේරා අධ්‍යක්ෂණය කරපු හා.. පැට්‍රික් දෙනිපිටිය සංගීතවත් කල..පැට්‍රික් දෙනිපිටිය ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය...
මේ ගීතය දහස් වරක් අස තිබුනත් හරියට වචන ඇහුවේ මීට අවුරුදු 20 කට පෙර... ඒ කතවත් කියලා දාන්නම්... 
මම කොල්ලා කාලේ මගේ try එකක් තිබුණා tuition class එකක කෙල්ලෙකුට... කරුමෙක මහත... ඒ කෙල්ලගේ යාළුවා මා ගැන උනන්දුයි... මොනවා කරන්නද... මාත් ඉතින් අවස්ථාවක් එනකන් කියා කියා බලන් ඉන්නවා... දෙන්නා එකට ගමන් බිමන්.... කතා කරන්න ගියත් වැඩියෙන් කතා කරන්නේ යාළුවා...වාසනාවකට දවසක් මගේ try එක තනියම class අවා... බොහොම ප්‍රීතියෙන් අදනම් අහනවමයි කියල හිතාගෙන class ඇරිලා යද්දී කතාවට වැටුනා.. මගේ සහයට හිටි මිත්‍රයත් අවස්ථාවට ඉඩදී පැත්තකට උනා...
'කොහොමද' මම කතාවට මුල පිරුවා..
'ආ.. ඔයා meet උණු එක හොඳයි... ස----- ට හොඳටම උණ... ඉස්පිරිතාලේ... ඔය එනවද මාත් එක්ක එයාව බලන්න යන්න...'
'යන්න එන්න පුළුවන් එත් දැන්... මේ රැ... එයාගේ අම්මල මොනවා හිතයි ද...'
'ඇයි ඔයාට upset ද දැන් යන එක.. එය නම් ඔය ගැන ගොඩක් hopes තියාගෙන ඉන්න...'
ඔක්කොම ඉවරටම ඉවරයි...මේ කෙල්ල මට කීයටවත් කැමති වෙන එකක් නැහැ කියල මට හිතුන...කොහොම හරි බොරු කීපයක් කියලා එතනින් ගැලවුණා අවශ්‍යය දෙය නොකියා... ඇවිත් මම මගේ මිත්‍රයට කිව්වා කතාන්දරය... ඌ කියපි.. දැන් උබට තියෙන්නේ අර 'සමනල රෑනක් සේ..' කියන duet එක තනියම කියන්න..අන්න ඒ නිසයි මේ ගීතය හරියට අහන්න උනන්දු උන්නේ...

දැන් සින්දුව ගැන කියන්නම්... මේ ගායනය ගැන කියන්න අටුවා ටීකා ටිප්පිනි අවශ්‍ය නැහැ.. මගේ තේරීම හැටියට ලංකාවේ සිනමාවට සුදුසු කටහඬවල් තිබුණු පළමු ගායකයා ජෝති... ඒකේ සැකයක් නැහැ... දෙවැන්නා මිල්ටන් ... 70 දශකයේ විජය, මාලිනි ගාමිණී යන තුන් කට්ටුවට ගැලපෙන ගීත ගයන කරපු තුන් කට්ටුවක් හිටියා.. ඒ ජෝති, ඇන්ජලීන් හා මිල්ටන්...ඉන්ද්‍රානි පෙරේරා තවත් සුන්දර කටහඬක් තියෙන ගායිකාවක්.. නමුත් හරි ලෙස ඇගයීමකට ලක් උන්නේ නැහැ.. සමහරවිට ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් වගේ මැරුණු පසු අගයන්න ගනීවි....ලංකාවේ party එකකට ගෙනැල්ල සින්දුවක් කියව ගන්න පුළුවන් එකම ගායිකාව ඉන්ද්‍රානි....එතරම් ඒ කටහඬ cheerful.
පැට්‍රික් දෙනිපිටිය තමාට ලැබුණු අවස්ථාවෙන් සිනමා සංගීතයේ සලකුණු ගණනාවක් තියනවා... එකක් තමයි මේ ගීතයේ ආකෘතිය අනිත් යුගල ගී වලට වඩා වෙනස්... මුලින්ම ඉන්ද්‍රානි ගායනය කර පසුව මිල්ටන් ගායනය කරනවා.... සිනමා ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ එක්කෝ තනියම ඉන්ද්‍රානි ගීතය ගායනය කර ඉවර කරයි..හෝ නැති නම් සුපුරුදු යුගල ගීයක් වේවි යන්න... අනික තමයි මේ ගීතයේ guitar එක සමග සිතාර් එක වාදනය කරනවා...හරියට නිමල් මෙන්ඩිස් වයලීනය සමග සිතාරය වාදනය කරනවා වගේ..(නිම හිම සෙව්වා.. මස්ටෙර් සිර ගීතවල සංගීත අධ්‍යක්ෂක )මේ වගේම තවත් සම්ප්‍රදායෙන් පිට පැනපු නිර්මාණයක් කරනවා මේ සිනමා පටයෙම 'රැයක් උද වී...' ගීතයේ... මිල්ටන් විතරයි ගායනය කරන්නේ... නමුත් ගාමිණී මාලනී රංගනයක යෙදෙනවා.. ප්‍රේක්ෂකයා බලන් ඉන්නවා දැන් දැන් මලානි ගීතය ගයන කරයි කියා... 
අපගේ අවාසනාවකට මේ සංගීත අධ්‍යක්ෂක දැන් නිරමාණ කරන්නේ නැහැ... අඩුම ගානේ මාධ්‍යට එන්නෙවත් නැහැ...ලංකාවේ ඉන්නවද කියලත් හරියටම දන්නේ නැහැ...
ඒ වගේමයි.. පදමාලාව ගැන යමක් කිව යුතුමයි..ඉතාමත් සරළ සිංහල වචන ටික හා උපමා, ඉතා අගේට යොදාගෙන තියෙනවා මේ ගීතයේ.. මම ගීතයේ රචකයා ප්‍රේමකීර්ති. මම වචනයෙන් වචනය පද මාලාව විස්තර කරන්නේ නැහැ..නමුත් මා වගේ අත්දැකීම් විඳපු කෙනෙකුට තේරේවි.. 'මගේ දිව දෙතොල් අතර සැන්ගේ..'වගේ පද කොපමණ හදවතට කා වදිනවද කියල..ආදරය ගැන යව්වන යව්වනියන්ගේ හැගීම් ගැන කියන්න මේ තරම් සරළ මිහිරි වදන් පෙළක් ඇතුලත් වෙන ගීතයක් තියෙනවද කියල හිතන්නත් අමාරුයි...

ගීතය මෙන්න.
http://www.youtube.com/watch?v=nPnwlEvlnek&NR=1&feature=endscreen

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.