Showing posts with label කපුගේ. Show all posts
Showing posts with label කපුගේ. Show all posts

Wednesday, 19 November 2014

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..

කැම්පස් යන්න ගත්තු දවසේ ඉඳන් රස්සාවට යනකම්ම මගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ දුම්රිය. මේ සිදුවීම වුයේ මා කැම්පස් යන කාලයේදී. උදේ වරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සියළුම දුම්රියන් නැවතීම එකල සුලභ කරුණක්. අප යන වෙලාවල් වලට පැමිණෙන සීග්‍රගාමී දුම්රිය අතර 'සමුද්‍ර දෙවි' තමයි වැඩිපුර දෙනා ගමන් පහසුව සලසා ගන්නේ. ඉන්පසුව 'සාගරිකා'. බොහෝ විට 'සාගරිකා' දුම්රියෙන් පසුව පානදුරෙන් ආරම්භ වන දුම්රියෙන් කැම්පස් එකේ 8 ට පටන් ගන්න දේශනයට 9 ට යාමට මා පුරුදුව සිටියා. එදින මා දුම්රිය ස්ථානයට පැමිණෙන විට මගේ මිත්‍රයෙක් දුම්රිය ස්ථානයේ වුහ. මා ඔහුගෙන් 'ඇයි මේ වෙලාවේ' යි. විමසිය. 'අර වේ__ අදත් මට අත වන වන ගියා' ඔහු සිනාසෙමින් පැවසිය. මා හට කාරණය පසක් විය. ඔහු 'වේ__' යි පැවසුවේ 'සාගරිකා' ට ය. මෙවන් වදන් මා හට දුම්රියපොළේදී හොඳහැටි පුරුදුය. සමහරවිට 'මේ අම්මණ්ඩි අදත් පරක්කුයි' පවසයි. ඒ 'සමුද්‍ර දෙවි' ට ය. 'පරක්කු උණු දවසෙත් මේ ගෑණි එන්නේ නලව නලව'- ඒ හෙමින් හෙමින් දුම්රිය පොලට පැමිණෙන තවත් 'දේවි' කෙනෙකුට හෝ 'කුමාරි' කෙනෙකුටය.

කෙසේ හෝ මා හට සුපුරුදු දුම්රිය මැදිරිය පසු කොට මිත්‍රයා සමග වෙන මැදිරියකට ගියේ ඔහු ගේ පහසුවටය. එහි සංගීත සාජ්ජයකි. ඔවුන්ම නිර්මාණය කර ගත් විවිධ තාල භාණ්ඩ සමග ඉතා අගේට ඒ පිරිස ගායනයේ යෙදිති.  බොහෝ ගීත සුභාවිත ගීතයන්ය. මගේ මතකය අනුව දුම්රිය, තව දුම්රිය ස්ථාන දෙක තුනක් පසුකරන්නට ඇත. නිය තොල් රතු කරගත් තරුණියකගේ විලස හැඩ වැඩ වූ  අවුරුදු හතලියක පමණ යුවතියක් මොබයිල් ෆෝන් එකකින් කතා කරමින් කාවදෝ සොයමින් ඉදිරියට පැමිණියාය. ඇයගේ ගමන් විලාසයට හා බාධාවට සාජ්ජය නැවතිණි. ඊලග දුම්රියපොලෙන් කඩවසම් ලාබාල තරුණයකු ඒ දුම්රිය මැදිරියට ගොඩ වූ අතර මා මුලින් කී යුවතිය ඔහු ලඟ නතර විය. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ය. මොහොතකින් ඔවුන්ට එය දුම්රිය මැදිරියක් බව අමතක විය. නැවත සංගීතය ආරම්භ විය. ඔවුන් ගැයූ වේ මෙන්න මේ ගීතයයි.

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//

ඔවුන්ට මේ ගීතයේ අර්ථය දනුනාද සේම ඒ සිද්ධිය හා කෙතරම් ගැලපුනාද යන්න අපැහැදිලිය. නමුත් මේ ගීතය ඇසෙන ඇසෙන වාරයක් පාසා මා හට මේ සිදුවීම මතකයට නැගේ. මේ ගීතයෙන් කතා කරනුයේ විවාහයෙන් කෙලවර නොවන ප්‍රේමයක් ගැනය. එය සම්මත රාමුවෙන් පිටතද  එසේ නමැති නම් අසම්මත ප්‍රේමයක් ද යන්න තීරණය වන්නේ රසිකයාගේ වින්දනය අනුවය. 'ප්‍රේමය' මෙන්න මේ වගේ යි විවිධාකාර හැඩතල නිර්මාණය කරන ගීත රචකයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතයේදී ද එවන් හැඩයක් නිර්මාණය දැක ඇතැයි යන්න මගේ හැගීමයි. 'ප්‍රේමය නම් සඳ එලිය සේ අචින්තයි...', 'බිරිඳ මගේ ඔබ..' (තව බොහෝ ඇත) වැනි ඔහුගේ ගීත සමග සැසදීමේදී මේ  තවත් එක්තරා ආකාරයක 'ප්‍රේමයේ' හැඩයකි. එසේම මෙහිදී 'ප්‍රේම' කිරීමේ අරමුණ 'විවාහයද' එසේ නම් විවාහයක් ගැන නොසිතන ප්‍රේමය 'අසම්මත' ද යන දිසා ඔස්සේද විවිධ කරුණු ගෙනහැර දැක්විය හැක. මහාචාර්ය තුමාගේ සමහර ගීත වල මෙන්න මේ ලක්ෂණය දැකිය හැක. එනම් විවිධ ඉසව් ඔස්සේ රසිකයාට සිතන්නට පෙළඹ වීමයි. මෙහිදී 'තොටුපල අයිනේ' සිට 'ගාට ගාට ඇවිදින්..' රුවල් ඉරි ගිය නෞකාව' තෙක් විවිධ උදාහරණ දැක්විය හැක. එය 'සුනිල් ආරියරත්නගේ ලකුණ' ලෙස සැලකුවොත් වරදක් නැත.

මේ ගායකයා සහ ගායිකාව දෙදෙනාම ජීවතුන් අතර නැත. මොවුන් දෙදෙනාම ක්ෂේත්‍රයේ අසමසම චරිතය. මගේ පුද්ගලික විශ්වාසයට අනුව කපුගේ  සංගීතය භාවිතය සේම ගායනය අතින් දශමයක් හෝ මාලනී බුලත්සින්හලයන්ට වඩා ඉදිරියෙන් සිටි. එහෙත් මා සිතන ආකාරයට මේ ගීතයේදී මාලනියන් කපුගේ ව අතික්‍රමණය කර ඇත. මා හට දැනෙන ආකාරයට මාලනියට හිමි ඒ උච්ච කටහඬ පාලනය කර කපුගේ ගේ හඬට ගැලපෙන ලෙස ගායනය කරනවා යි හැඟෙ (මට දැනෙන අයුරිනි). එහෙත් එය කපුගේ හඬ අභිබවා නොයයි. මෙය එක්තරා ආකාරයක සමාජ රීතියක් අනුගමනය කිරීමක් විය හැක. මක්නිසාදයත් බොහෝ විට තරුණියක් පෙම්වතියක් වූ විට ඇයගේ පෙම්වතාට අනුගත වේ. සමහර විට මේ සම්මතය context එක තුලින් මතුකරන්නට කපුගේ ගේ සංගීතය යොදා ගත්තා විය හැක.

https://www.youtube.com/watch?v=wtdyOM7LujQ

( මුල් ගීතයේ සංගීතය මීට වඩා අගේය. කවුරු හරි ළඟ තිබේ නම් share කරන ලෙස ඉල්ලමි)

Monday, 9 December 2013

ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන්...!!!!


මට මෘදංග හඬට තියන ආශාව නිසාම හිතේ රැඳුනු ගීයක් තමයි මේ ගීතය. 

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....

ශාන්තිනීගේ නළලේ රතුපාට කුංකුම තේමා අහසේ හඩන්නේ චන්දිරම්ය. චන්දිරම් යනු සෙරු වගේ කුරුල්ලෙක් ලෙසයි මට දෙමළ මිත්‍රයෙක් කිව්වේ. මේ කුරුල්ලා හඬන විට වහිනවලු. වහින විට පවා දෙවියන් සිටින පාන් පැල ට ගිනි ඇවිලී ඇත. ගිනිගත් පාන් පැලක දෙවියන්  නැත. ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යායුතුය. 
මා විස්වාස කරන්නේ සරල ගීතයක සංගීතය යනු මේ වගේ දෙයක් යන්නය.. ශාන්තිගේ කුංකුම තේමා හඬන චන්දිරම් ගේ හඬ මෙහිදී ඇසේ. එසේම පාන් පැලට ගිනි ඇවිලී දුම නගින ආකාරයද කපුගේ අපිට හඟවයි. (කුංකුමම්, චන්දිරම්, දුම් පද වලින් පසුව වැයෙන හඬ විදින්න) මේ ගීයේ පද වලින් කියනා අර්ථය සංගීතයෙන්ද කියයි. තවත් විදිහකින් මේ ගීතයේ සංගීතයද භාෂාවක් වී ඇත.

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......

මේ චිත්‍රය බොහෝ දෙනා විඳ ඇතැයි සිතමි. රතන් ශ්‍රී ද විඳ දරා ඇතැයි සිතමි. කඳුළු පිරුණු දෑස් වලට ලොකු කරාබු (තිරුවංගල්) වල එලිය වැටුණු විට යුවතියේගේ මුහුණේ ඇතිවන චමත්කාරය අත්තෙන්න්ම කියා ගන්න බැරි තරම් ලස්සනය. ('රෝජා' වගේ දෙමළ චිත්‍රපටයක් බලන්න. මේ ලස්සන දකින්න පුළුවන් වේවි). ශාන්තිනිලා නෙමෙයි ලජ්ජශිලිව හැදුනු බොහෝ කෙල්ලන් බය උනාම කරන්නේ අත් දෙක වේගයෙන් සලන එකය. (හැංගි හොරා ආදරය කරපු කෙනෙක් කාට හරි තම ආදරය හසු වුවොත් 'මට බයයි...අනේ මොනවා හරි කරන්න' කියලා අත් සොලවන්නේ...) ශාන්තිනීගේ දෑත් විශේෂයි... ඒ දෑත් වල වළලු පිරි ඇත. මේ අහන්නේ මේ ඒ වළලු බාරද කියාය. තිරුවංගල් සැලෙන ආකාරය හා වළලු සැලෙන ආකාරය එකිනෙකට වෙනස්ය. කපුගේ සංගීතයෙන් මවන්නේ මේ වෙනස්ය. 

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න

අවසානයේ අපේ කතා නායකයා ප්‍රශ්නයට අවතීර්ණ වේ. ශාන්තිනිව ලබා ගන්න බැරි ප්‍රශ්නය මේ සිරිත් විරිත්ය..කුලය....ගෝත්‍රය...හා වර්ගයයි... ඔහු ඉල්ලන්නේ ශාන්ති පමණක්ය.... ඒ ඉල්ලන්නත් ආයාචනත්මකවය... ගෞරව සම්ප්‍රුක්තව. ශාන්තිනීගේ පාර්ශ්වය පිලිබඳ ඔහුගේ තිබෙන හැගීම අපට තේරුම් ගත හැක. තිරුක්කුරල් පොත යනු අවවාද උපදෙස් සහිත දෙමල භාෂාවෙන් රචිත පොතකි... මෙහි සදහන් කරුණු කාරනා ඕනෑම සමාජයකට පොදුය. නමුත් කථකයා කියන්නේ දෑස් පියා ගන්න ලෙස පොත අරින්න පෙර...ඒ ඔහුගේ පාර්ශවයටය. මන්ද නැති නම් මේ පොත 'දෙමළ' බව පෙනේ... අපේ කතා නායකයා නෙළුම නෙලා අවසානය. සිබීමට අවසර නැත්තේ නෙළුම පිපුනේ මඩ ගොහොරුවක.. පිලී ගඳ ඇති ජලාශයක නිසාය... එනම් 'සිරිත් දෑ කුල ගොත්' ය.

මේ ගායනය ගැන මම කිසිවක් නොකියමි.. මේ තරම් ලයාන්විත, මිහිරි කටහඩක් මේ ගීතයට ලැබීම අත්ත්න්න්ම රත්න ශ්‍රී ගේ හා කපුගේ ගේ වාසනාවක් ය.

මෙය රත්න ශ්‍රී ගේ පුද්ගලික අත්දැකීමක් යි සඳහන් වන තැනක් හම්බ උනා... ඇත්ත ද දන්නේ නැහැ...

ගීතය 

මෙම ගීතයේ වැයෙන බට නලා හඬත් සමග පරණ ගුවන් විදුලියේ වැයෙන දෙමළ සංගීත කණ්ඩයක් මතක් වෙනවා (සුර අසුර ටෙලි නාට්‍යයේ වීනා ජයකොඩි සවන්දෙන්නේ මේ සංගීත කාණ්ඩයට)... කාට හරි මතක නම් ඒ සංගීත කාණ්ඩය හා කා ළඟ හරි තිබෙනවානම් සමග බෙදා ගන්න.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.