Showing posts with label වික්ටර් රත්නායක. Show all posts
Showing posts with label වික්ටර් රත්නායක. Show all posts

Tuesday, 5 June 2018

ප්‍රණීත මී පැණි ගෙන ආවත්.....

ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විෂ ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරෙයි
ගඟ රැළි නංවනවා...

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ...

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ....

https://www.youtube.com/watch?v=4GwipyPVRT4

මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති. සංගීත හා ගායනය ප්‍රියා සුරියසේන. අන්තිම පේලි කිහිපය හැර අනිකුත් සැම පද වැලකම දකින්නට ඇත්තේ ප්‍රතිවිරුද්ධ අදහසක්. මී පැණි ප්‍රණීත වුනත් ගෙන එන බඹර තුඩ විෂ සහිතයි... එහෙම නැති නම් සුභාෂිතයේ උදාහරණයක් ගෙන එමින් 'බිඳින බිදින තරමට සඳුන් ගස සුවදවත් බව'. මුළු ගීතය පුරාවටම තිබනුයේ උපමාවක් එසේ නොමැතිනම් සමාන කිරීමක්. රචකයා අවසන් පදවැල් කිහිපයේදී තමයි තමන් කුමකට  මේ සමාන කිරීම කරන බව පවසන්නේ.... තව තවත් ආදරය උපදින බව ඔබ කෙතරම් රිදවුවත්.. ප්‍රේම් හැර මෙවන් ආදරවන්තයෝ තවත් සිටීද?

සමස්ථයක් ලෙස මුළු ගීතය පුරාවටම තිබනුයේ එක්තරා දාර්ශනික කතාවක්. ප්‍රේම් ගේ ගීත විවිධාකාරයි. ඔහුගේ ගීත රචනා විවිධාකාර මවත් ඔස්සේ ලියවිලා තියෙනවා... ප්‍රේමය, විරහව වගේ පොදු කාරනා වගේම, ඉරිසියාව, උපහාසය ගැනත් ගීත සොයා ගන්න පුළුවන්. එසේම දාර්ශනික සටහනක් ඇති ගීතත් නැතුවා  නොවේ. මා දකින ආකාරයට උපමා, රූපක අප්‍රමාණ ලෙස භාවිත කළ ගේය පද රචකයා ප්‍රේමකීර්ති.

ප්‍රේම් වැඩියෙන්ම ගීත ලියුවේ වික්ටර්ට. වික්ටර් ප්‍රේම් සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ අපමණයි. එසේම විශිෂ්ටයි. එහෙත් වික්ටර්ගේ සංගීතයත් ගායනයත් ඉදිරියේ ප්‍රේම් ගේ රචනයට එහෙම නැති නම් ප්‍රේම් ට අවැසි කතාව ගැන ප්‍රේක්ෂකයා සමග ඉදිරියට යාම පහසු උන්නේ නැහැ. සමහර විට වික්ටර්ගේ සංගීතය හා ගායනය අත්හැර ප්‍රේම් ගේ රචනය ගැන ප්‍රේක්ෂකයා නොබැලුව නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම ප්‍රේමකීර්ති ත් මේ කාරණය ගැන දැන සිටියා වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති උපහාස ගීත ගායනයට ප්‍රෙඩි සිල්වා ව භාවිත කරන්න ඇත්තේ. ආරොන් මාමා... කළු කුම්බියා... වගේ ගීත වලින් ඔහු හිමින් සැරේ ඒ උපහාසය පල කළා. වික්ටර් ගායනය කලේ නම් එය උපහාසයකට වඩා දැනිය යුතු තැන් වලට එල්ල කර කනේ පහරක් වෙන්නත් තිබුනා. මට හැඟෙන ආකාරයට ප්‍රියා සුරියසේන ව ඔහු භාවිත කළේ දාර්ශනික අදහසක් සමාජයට ගෙන යන්න. එය වික්ටර් ගේ ගීත වලට ඇළුම් කරන  'සම්භාව්‍යය' කියන   ප්‍රේක්ෂක කණ්ඩායමට නොව සරල ගීත රස විඳින ප්‍රියා සුරියසේන ඇලුම් කරන සමාජ කණ්ඩායමට. මේ ගීතයට අමතරව 'ආදරේ කියූ.. කිසිවෙකු ආදරේ නැතේ... හා 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ආදී ගීතත් මෙලෙස දාර්ශනික අදහස් සමග ලියවුනු ගීත කිහිපයකට උදාහරණ ලෙස සදහන් කල හැක. 'ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ..' ගීතයේ එක් තැනක 'සැනසීමත් සීමිතයි සිතේ...සීමිත දේ සැනසුමයි සිතේ...' ලෙස ඉතා ගැඹුරු කාරණාවක් ඔහු සදහන් කරනවා. එසේම 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ගීතයේ සිත සහ මිනිසා දේ ආකාරයකට වේදනාව විඳින  අයුරු කදිමට විස්තර කරනවා. තව 'හෙට දිනයේ අප දෙදෙනා..' ගීතයේ ලෝකයේ වෙනස් වීම කියාපෑමට කදිම රුපකයක් යොදා ගන්නවා - ' අද සුපිපෙන මල හෙට නොපිපෙවී' යනුවෙන්. එහිදී ඔහු කියනවා ආදරයද අළුත් විය යුතු බව ලෝකය වෙනස් වෙන ආකාරයට. එකම මිහිර වුවත් හෙට දිනයේදී විඳින්න පුළුවන් එලෙස අළුත් වූ ආදරයකින් බව.

ප්‍රියා සුරියසේන ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙක්. සමහර ඔහුගේ ගීත වල තනු සහ සංගීත නිර්මාණ කරුවා ඔහුයි. ඔහුගේ ගීතයක් නොගැයූ නුතන සුපර් ස්ටාර් ලා නැති තරම්. ඔහුගේ තනු සහ සංගීතය සහිත ගීත 70 දශකයේ සිට තවමත් ජනප්‍රියයි. අවාසනාවකට ඔහු ගායනය සඳහා වැඩි මහන්සියක් වුවත් තනු නිර්මාණය සහ සංගීතය සඳහා එතරම් ශ්‍රමය වැය කලේ නැහැ. තමන්ගේ හැකියාව නිවැරදිව හඳුනා නොගත් තවත් කලාකරුවෙක් ලෙස මා ඔහු දකින්නේ. සමහර විට පුද්ගලික ජිවිතයේ විවිධ ඉලක්කයන් ඔහුව සංගීත නිර්මාණයෙන් ඈත් කර තැබුවා විය හැකි. මා හට නම් ඔහුගේ ගායනයට වඩා සංගීතයේ වඩා ආකර්ශනයක් ඇතැයි සිතේ. අඩුම තරමින් ඔහුට කුමන හෝ සංගීත පාසලක විධිමත් අධ්‍යනයක් කරන්නට ලැබුනේනම් තවත් අගනා තනු නිර්මාණ රැසක් අපට තිලිණ කරනු නොඅනුමානය.

Tuesday, 30 January 2018

කුමක් ලියන්නද සමරු පොතේ....

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ

https://www.youtube.com/watch?v=5tyWsJRELZU

සමරු පොත... අර floppy ඩිස්ක්, කැසට් පටි වගේ 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා.. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු කල පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් එක් වී තිබුනා... සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ ප්‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් තව කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි උණු බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ හිත ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.

සමරු පොතත් හරියට මුහුණු පොත වගේ තමයි. සමහරුන් ආසයි හොඳ හොඳ පණ්ඩිත වාක්‍ය ලියා ගන්න. එකත් හරියට මුහුණු පොතේ ලොකු ලොකු මිනිස්සු තමන්ගේ යාළුවො කියලා එකතු කරගෙන තමනුත් එහෙම පොරක් කියලා සිගිති වින්දනයකට පත්වෙනවා වගේ... මට මතකයි පොඩි කාලේ ගියා radio කතන්දරයක්. ඒ කතාවේ ගැහැණු ළමයට මේ වගේ පිස්සුවක් තිබුනා. එයාගේ ගෙවල් ළඟ සිටියා බොහොම පණ්ඩිත පුද්ගලයෙක්. දවසක් මේ ගැහැණු ළමයා ගෙනත් දෙනවා සමරු පොත අර පුද්ගලයට පණ්ඩිත වාක්‍යක් ලියව ගන්න සැමරුමක් විදිහට. මේ මනුස්සයා මුළු පොත පිරෙන්නම ලියනවා. එතනින් පස්සේ කාට දෙන්නද සමරු පොත...කොහොම පෙන්නන්නද තමනුත් ආශ්‍රය කරන්නේ පණ්ඩිත මිනිස්සු කියලා...

මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි..සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා.. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා...දවසක් එහෙම ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත ත් පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා ඒ වෙලාවේ... ඒ චකිතය නිසාම කුමක්මේ ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ..

සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති... මගේ උසස් පෙළ පන්තියෙත් හිටියා සමරු පොතක් පන මෙන් රැක්ක කොල්ලෙක්. ඔහු ගේ සිත් ගත්ත කෙල්ලක්. මේ ප්‍රේමයකට මුල පුරන කාලය. මේ කෙල්ලගේ සමරු සටහනක් තිබුන මේ කියන සමරු පොතේ.. මේ වගේ දේවල් වලට අකුල් හෙලීමට තිබුණු කෑදර කමට දිනක් මේ පොතේ ඒ සමරු සටහන තිබුණු පිටුවෙම අනිත් පිටේ මා සහ තවත් මිතුරෙක් ශුද්ධ සිංහලෙන් සටහනක් තැබුවා. සිත ගිය තැනැත්තියගේ නිසා ඒ පිටුව ඉරලා දාන්නත්සැ බැහැ...ශුද්ධ සිංහලෙන්හෙ ලියලා තිබුණු නිසා නොඉරා ඉන්නත්න බැහැ...  කාලයක් ඔහු මේ අසමත්ජාති වැඩේ කලේ කවුද කියලා හෙව්වා... 

ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායක ගේ... වික්ටර් ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ... ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා...අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.