Wednesday, 8 April 2015

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

https://www.youtube.com/watch?v=MJUN-lbWEZA


ලංකාවේ යටත් විජිත සමයේ දේශීය ධනපති පන්තියක් බිහිවීමට රේන්ද කර්මාන්ත දැඩි ලෙස බලපෑවේය. මෙම රේන්ද ව්‍යාපාරය සමග එකටම බැඳුනු කර්මාන්තයකි රා මැදීම. සුදු පාට පොල් රා, ස්වර්ණ වර්ණ අරක්කු වලට පත් වූ පසු රා ගැන කිසිවක් නොවිමසනවා සේම රේන්ද ව්‍යාපාරයත් රේන්ද රාළ ගැන හැර මදින්නා ගැන විමසීමක් ගැන අප අසා නැත. රා මදින්නන් ගැන ගීත කිහිපයක්ම ලියැවී ඇති නමුත් මදින්නා ට වඩාත්ම සාධාරණය කෙරුණු ගීතය ලෙස මලින් මලට ඉගිලුනාට ගීතය සැලකිය හැක.

රා මැදීම රැකියාව ඉතා අනතුරුදායක රස්සාවකි. අනතුරු දායක ක්‍රියාවක් හැගවිමට  'අතුරේ යනවා වගේ' උපමාව බිහිවන්නේ ඔවුන් මලින් මලට පියාබන අතුර දිගේ යන අනතුරුදායක ගමන අනුවය.  මදින්නා ගේ රැකියාව සුවශේෂිය. ඔහුගේ රැකියාවට ම වෙන් වූ ආයුධ හා මෙවලම් කිහිපයක් ඇත. වක් මන්නපිහිය, ලබු කැටය, මල තැලීමට ගන්නා කොට කැබැල්ල, මේ සියල්ලම රඳවා ගැනීමට යොදා ගන්නා ඉන්නේ රඳවා ගන්නා ලී පෙට්ටිය මින් කිහිපයකි. බොහෝ විට ඔවුන් යටි කය ආවරණය කරගන්නේ තද නිල්පාට රෙදි කඩකිනි. පුරුදු පුහුණු නොවූ කෙනෙකුට මේ රැකියාව කිරීමට නොහැකිය. විශේෂිත ප්‍රගුණය සහිත වූ මේ රැකියාව කරන්නන් ගේ ජීවිත 'සමනල ජීවිත' නොවේ. අනේක විධ ආර්ථික දුෂ්කරතා  මැද ජීවිතය ගෙවන ඔවුන් පිලිබඳ සමාජය මවන චිත්‍රයද අඳුරුය. ගීත රචකයා පවසන පරිදිම ඔවුන් වන බඹරුන් ද නොවේ. නොඑසේනම් නරක මිනිසුන් නොවේ. මේ අනතුරුදායක රැකියාවට ඔවුන් පෙළෙඹෙන්නේ තැලී පොඩි වී ගිය තම ජීවිතය කෙසේ හෝ සරි කර ගන්නටය. තම දරුවන් ගේ කුස ගින්න නිවාලන්නටය. සත්තකින්ම මලට කලින් ඔවුන්ගේ ජිවිත තැලී අවසන්නය. ඔවුන්ගේ කඳුළ පැණි කරනුයේ තැළුණු මලය.

කොළඹ සිට කළුතර දෙසට ගමන් ගන්නා විට පානදුර, වාද්දුව ප්‍රදේශයන්හි 'රා බොමු' හෝ පිරිසිඳු පොල් රා' යනුවෙන් සඳහන් කල පුවරු දැකිය හැක. පිරිසිඳු රා සොයා ගැනීම 'කළුනික' සොයා ගැනීමක් වැන්නය. මදින්නා පොල් මල කැපීමට පෙර මල තලයි. එයට බෙහෙත් බඳියි.  මේ ක්‍රියාව දින තුන හතරක් කිරීමෙන් පසු මල ස්වල්පයක් අහියි. පසුව මලෙන් වැස්සෙන පැණි එකතු කිරීමට මුට්ටියක් රදවයි. මේ ක්‍රියාව හා අම්පන්න කෙතරම් පිරිසිඳු වුවද පසුදින උදෑසනට මුට්ටියට ලැබෙන රා රාත්‍රියේ අපිරිසිඳු වී හමාරය. කැරපොත්තන්, කුරුමිණියන්, මැස්සන් වැනි සතුන් මේ රා මුට්ටිය තුල දැකිය හැක.  එසේම නිශාචර සතුන් සමහරවිට මේ රා මුට්ටියට දිව දමා සැමට පෙර රස බලා අවසන්ය. ප්‍රනීත රා යනු ගහෙන් බාපු ගමන් ලැබෙන රා ය. රා පිප්පෙට දැමීමට පෙර ඉහත සඳහන් කල සතුන් ඉවත් කිරීමට පෙරනු ලබයි. පිප්පය පිරවීමෙන් පසු එය රා එකතු කරනු ලබන ස්ථානයට රැගෙන යයි. මෙලෙස රැගෙන යන ආකාරය නිසා  (පොල්ලකින් තල්ලු කිරීම) රා පිප්පය තුලදී පැසීමට ලක් වේ. මේ රා 'ගසෙන් බාපු ගමන්' වූ රා වලට වඩා තත්ත්වයෙන් බාලය.

රා මැදීම බොහෝ විට සිදුවන්නේ නිරිතදිග වෙරළ ආසන්නයේ පොල් වතු වලය. නිතරම ඇදහැලෙන වර්ෂාව මදින්නගේ ජිවන තත්වයද රා වල තත්වයද බාල කරයි.  තෙතබරිත වූ පොල් ගස් වලට නැගීම හෝ අතුරේ යාම වැසි දිනක කල නොහැක. එසේම සමහර විට වැසිවතුර මිශ්‍ර වීම නිසා රා වල ගුණයද බාල වී ඇත. නියම රා රස දන්නා අයට මේ සියල්ල ක්ෂණයකින් අවබෝධ කර ගත හැක. එපමණක් නොව සමරුන් ලා ගසකින්ද නැතිනම් වයසට ගිය ගසකින්ද ඒ රා ලැබුනේ යන්න කීමට තරම් ප්‍රගුණ කර ඇත. එක්තරා ආකාරයකට බටහිර රටක wine රස බලන්නන් තරමට රස ප්‍රගුණ කල වෘර්තිය මට්ටමේ නොවුනත් 'රා රස' බලන්නන් ලංකාවේදී සොයා ගත හැක. රා ගැන සදහන් කිරීමේදී byte එක ගැන සඳහන් නොකරොත් එය අඩුවකි. බොහෝ රා පොළවල් වල කටගැස්ම ලෙස දෙනු ලබන්නේ තම්බපු මයියොක්කා හා කොච්චි මිරිස් සම්බෝලය ය. රා නැතිව  උනත් මේ කටගැස්මේ රස බැලු කෙනෙකු  එය 'දිව්‍ය අමෘර්තය' පරාද බව නොකියන්නෝ කවරහුද?

මා මේ ගීතයේ වඩාත් ආසම පද පෙළ 'අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ- පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි' යන පද කිහිපයටය. අහසින් වඩින්න පින ලැබෙන්නේ ධ්‍යාන ලැබූ ඇත්තන්ටය. පෙළහර පන්නේද මනස දියුනුකරගත් මුණිවරුන්ය. එසේ නැති නම් දෙවිවරුන්, බුදුවරුන්ය. රා මදින්නා මෙලෙස විශේෂ වූ බලයක් ලැබුවෙක් නොවේ.අතුරේ යනමින් මේ කරන රැකියාව එලෙස පින් බලය නිසා හෝ මනස දියුණු කරගත් නිසා හෝ ලැබුණු දායාදයක් නොවේ. අතුරේ යමින් කරන පෙළහර හුදෙක් රැකියාව නිසාය. සමහරුන්ට රා මදින්නා දෙවියෙකු වුවද,ගස් දෙකක් එකින් සම්බන්ධ මරමින් දිවෙන ලණු පොටවල් දෙකක ගමන් කරමින්  ඔහුගේ නැති බැරි කම නිසාවෙන් මේ අනුහස් ඔහුට ලැබී ඇත.

ගස් මදින්නන් ගැන විවිධ කතා මා අසා ඇත. මේ කතා වල සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් එය රසවත්ය. වරෙක අතුරේ ලනු පොටක් කැඩී එල්ලෙමින් සිටි මදින්නෙකු රා සොයා පැමිණි විදේශිකයෙකු බේරා ගත් සිද්දියක් මගේ මතකයේ ඇත. තවත් මදින්නෙක් ඔහු නගින පළමු ගසේ රා කලය බි හිස් කර අනෙකුත් ගස් වලට යන කතාවක් ද මට මතකය. එලෙස පළමු රා කලය පෙරා බිම සඳහා ඔහු දිගට වැඩුණු උඩ රැවුල යොදා ගත බව කියයි. ඇත්තෙන්ම සිදුව ඇත්තේ පියවි සිහියෙන් අතුරේ ගමන් කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව රා වලින් මත වී අනෙකුත් ගස් වලට අතුරා දිගේ ගමන් කිරීමට. සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය වගේම රා සහ ඒ හා සම්බන්ධ සියළු කරුණු කාරනා රසවත්ය.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 19 November 2014

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..

කැම්පස් යන්න ගත්තු දවසේ ඉඳන් රස්සාවට යනකම්ම මගේ ප්‍රවාහන මාධ්‍ය වුයේ දුම්රිය. මේ සිදුවීම වුයේ මා කැම්පස් යන කාලයේදී. උදේ වරුවේ පානදුර දුම්රිය ස්ථානයේ සියළුම දුම්රියන් නැවතීම එකල සුලභ කරුණක්. අප යන වෙලාවල් වලට පැමිණෙන සීග්‍රගාමී දුම්රිය අතර 'සමුද්‍ර දෙවි' තමයි වැඩිපුර දෙනා ගමන් පහසුව සලසා ගන්නේ. ඉන්පසුව 'සාගරිකා'. බොහෝ විට 'සාගරිකා' දුම්රියෙන් පසුව පානදුරෙන් ආරම්භ වන දුම්රියෙන් කැම්පස් එකේ 8 ට පටන් ගන්න දේශනයට 9 ට යාමට මා පුරුදුව සිටියා. එදින මා දුම්රිය ස්ථානයට පැමිණෙන විට මගේ මිත්‍රයෙක් දුම්රිය ස්ථානයේ වුහ. මා ඔහුගෙන් 'ඇයි මේ වෙලාවේ' යි. විමසිය. 'අර වේ__ අදත් මට අත වන වන ගියා' ඔහු සිනාසෙමින් පැවසිය. මා හට කාරණය පසක් විය. ඔහු 'වේ__' යි පැවසුවේ 'සාගරිකා' ට ය. මෙවන් වදන් මා හට දුම්රියපොළේදී හොඳහැටි පුරුදුය. සමහරවිට 'මේ අම්මණ්ඩි අදත් පරක්කුයි' පවසයි. ඒ 'සමුද්‍ර දෙවි' ට ය. 'පරක්කු උණු දවසෙත් මේ ගෑණි එන්නේ නලව නලව'- ඒ හෙමින් හෙමින් දුම්රිය පොලට පැමිණෙන තවත් 'දේවි' කෙනෙකුට හෝ 'කුමාරි' කෙනෙකුටය.

කෙසේ හෝ මා හට සුපුරුදු දුම්රිය මැදිරිය පසු කොට මිත්‍රයා සමග වෙන මැදිරියකට ගියේ ඔහු ගේ පහසුවටය. එහි සංගීත සාජ්ජයකි. ඔවුන්ම නිර්මාණය කර ගත් විවිධ තාල භාණ්ඩ සමග ඉතා අගේට ඒ පිරිස ගායනයේ යෙදිති.  බොහෝ ගීත සුභාවිත ගීතයන්ය. මගේ මතකය අනුව දුම්රිය, තව දුම්රිය ස්ථාන දෙක තුනක් පසුකරන්නට ඇත. නිය තොල් රතු කරගත් තරුණියකගේ විලස හැඩ වැඩ වූ  අවුරුදු හතලියක පමණ යුවතියක් මොබයිල් ෆෝන් එකකින් කතා කරමින් කාවදෝ සොයමින් ඉදිරියට පැමිණියාය. ඇයගේ ගමන් විලාසයට හා බාධාවට සාජ්ජය නැවතිණි. ඊලග දුම්රියපොලෙන් කඩවසම් ලාබාල තරුණයකු ඒ දුම්රිය මැදිරියට ගොඩ වූ අතර මා මුලින් කී යුවතිය ඔහු ලඟ නතර විය. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ය. මොහොතකින් ඔවුන්ට එය දුම්රිය මැදිරියක් බව අමතක විය. නැවත සංගීතය ආරම්භ විය. ඔවුන් ගැයූ වේ මෙන්න මේ ගීතයයි.

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා...

මං හින්දා ඔබෙ...//

අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී..
ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී..
නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ..
පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ..

මං හින්දා ඔබෙ...//

ඔවුන්ට මේ ගීතයේ අර්ථය දනුනාද සේම ඒ සිද්ධිය හා කෙතරම් ගැලපුනාද යන්න අපැහැදිලිය. නමුත් මේ ගීතය ඇසෙන ඇසෙන වාරයක් පාසා මා හට මේ සිදුවීම මතකයට නැගේ. මේ ගීතයෙන් කතා කරනුයේ විවාහයෙන් කෙලවර නොවන ප්‍රේමයක් ගැනය. එය සම්මත රාමුවෙන් පිටතද  එසේ නමැති නම් අසම්මත ප්‍රේමයක් ද යන්න තීරණය වන්නේ රසිකයාගේ වින්දනය අනුවය. 'ප්‍රේමය' මෙන්න මේ වගේ යි විවිධාකාර හැඩතල නිර්මාණය කරන ගීත රචකයෙකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතයේදී ද එවන් හැඩයක් නිර්මාණය දැක ඇතැයි යන්න මගේ හැගීමයි. 'ප්‍රේමය නම් සඳ එලිය සේ අචින්තයි...', 'බිරිඳ මගේ ඔබ..' (තව බොහෝ ඇත) වැනි ඔහුගේ ගීත සමග සැසදීමේදී මේ  තවත් එක්තරා ආකාරයක 'ප්‍රේමයේ' හැඩයකි. එසේම මෙහිදී 'ප්‍රේම' කිරීමේ අරමුණ 'විවාහයද' එසේ නම් විවාහයක් ගැන නොසිතන ප්‍රේමය 'අසම්මත' ද යන දිසා ඔස්සේද විවිධ කරුණු ගෙනහැර දැක්විය හැක. මහාචාර්ය තුමාගේ සමහර ගීත වල මෙන්න මේ ලක්ෂණය දැකිය හැක. එනම් විවිධ ඉසව් ඔස්සේ රසිකයාට සිතන්නට පෙළඹ වීමයි. මෙහිදී 'තොටුපල අයිනේ' සිට 'ගාට ගාට ඇවිදින්..' රුවල් ඉරි ගිය නෞකාව' තෙක් විවිධ උදාහරණ දැක්විය හැක. එය 'සුනිල් ආරියරත්නගේ ලකුණ' ලෙස සැලකුවොත් වරදක් නැත.

මේ ගායකයා සහ ගායිකාව දෙදෙනාම ජීවතුන් අතර නැත. මොවුන් දෙදෙනාම ක්ෂේත්‍රයේ අසමසම චරිතය. මගේ පුද්ගලික විශ්වාසයට අනුව කපුගේ  සංගීතය භාවිතය සේම ගායනය අතින් දශමයක් හෝ මාලනී බුලත්සින්හලයන්ට වඩා ඉදිරියෙන් සිටි. එහෙත් මා සිතන ආකාරයට මේ ගීතයේදී මාලනියන් කපුගේ ව අතික්‍රමණය කර ඇත. මා හට දැනෙන ආකාරයට මාලනියට හිමි ඒ උච්ච කටහඬ පාලනය කර කපුගේ ගේ හඬට ගැලපෙන ලෙස ගායනය කරනවා යි හැඟෙ (මට දැනෙන අයුරිනි). එහෙත් එය කපුගේ හඬ අභිබවා නොයයි. මෙය එක්තරා ආකාරයක සමාජ රීතියක් අනුගමනය කිරීමක් විය හැක. මක්නිසාදයත් බොහෝ විට තරුණියක් පෙම්වතියක් වූ විට ඇයගේ පෙම්වතාට අනුගත වේ. සමහර විට මේ සම්මතය context එක තුලින් මතුකරන්නට කපුගේ ගේ සංගීතය යොදා ගත්තා විය හැක.

https://www.youtube.com/watch?v=wtdyOM7LujQ

( මුල් ගීතයේ සංගීතය මීට වඩා අගේය. කවුරු හරි ළඟ තිබේ නම් share කරන ලෙස ඉල්ලමි)

Tuesday, 28 October 2014

මහින්දට තුන්වරක් බැරි උනොත්...

'මහින්දට තුන් වරක් බෑ' යනු දැන් ප්‍රකට මාතෘකාවකි. ජනතා විමුක්ති පෙරමුණ කාරනා තර්තිකය. ප්‍රධාන වශයෙන් ඔවුන් කරුණු දෙකක් ගැන සාකච්ඡා කරයි. පළමු වැන්න ජනාධිපතිවරණයක් කැඳවීම නීති විරෝධී යන්න ය. දෙවැන්න මහින්ද තෙවන වර ජනාධිපතිවරණයට ඉල්ලීම නීති විරෝධී බවය. මේ කාරනා දෙකටම පක්ෂව හා විපක්ෂව කරුණු දැක්විය හැක.කෙසේ වෙතත් ප්‍රායෝගිකව සියල්ල මහින්ද ට පක්ෂව සිදුවීමට ඇති අවස්ථා බහුලය.

 ජ.වී.පෙ. කාරනා දෙකෙන් මුලින්නම පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමේ කාරණාවය. මෙලෙස දෙවන ජනාධිපති ධුර කාල සීමාව වසර හතරක් ගිය පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කලොහොත්, එයට විරුද්ධව නිතිය හමුවට යායුතුය. බොහෝ විට ජ.වී.පෙ. සහ තනි පුද්ගලයින් වශයෙන් ඔවුන් අධිකරණයට යාවි යි සිතිය හැක. මෙහිදී චෝදනා එල්ල වනුයේ මහින්දට නොව මැතිවරණ කොමසාරිස් තුමාටය. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම වැරදි/නිවැරදි විය හැක. මෙය බොහෝ විට නිවැරදි විය හැක. අහම්බෙන් හෝ වැරදි වූ හොත් කුමක් සිදුවේද?

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වන්න සිහින මවමින් සිටින රනිල් ප්‍රමුඛ එ.ජා.ප. යට පළමුව වෙන අතක් සොයා ගතයුතුව ඇත. මන්ද ජනාධිපතිවරණයකට ඔවුන් මේ අවස්ථාවේදී කැමති බව හා ව්‍යවස්ථා විරෝධී නොවන බව ඉඟි කර ඇති නිසාය. නිතිය ඉදිරියට ගිය පුද්ගලයින් කෙසේ වෙතත් ජ.වී.පෙ මෙය ඔවුන්ගේ ජයග්‍රහණයක් බවට පත්කරගනු නොවනුමානය. මහින්ද ගේ රජය ප්‍රමුඛ මාධ්‍ය ජනතා කැමැත්තට නිතිය මගින් ඉඩ අහුරුණු බව මහජනයාට ඒත්තු ගන්වන්නට ක්‍රියා කරනු ඇත (සමුර්ධිපනත සේ). එසේම විනාශ වී යන ජනප්‍රසාදය නැවත ඇති කර ගැනීම සඳහා ජනතාවට දැනෙන ආකාරයේ අල්ලස් හා දුෂණ විරෝධී ක්‍රියාවන්, යහ පාලනය ඇති කිරීමේ උවමනාවන් පෙන්නුම් කරනු ඇත. සමහර විට රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්ථා සංශෝධන ඒ ආකාරයෙන්න්ම කෙසේ වෙතත් මහින්දට ගැලපෙන ආකාරයට සකස් කර අනුමත කරනු ඇත. සමහර විට මහා මැතිවරණයකට යාමටද පුළුවන. එවිට සන්ධාන ගතව සිටින සියළු ආණ්ඩුවේ පක්ෂ එකාමෙන් තම මන්ත්‍රී ආසනය රැක ගැනීමට වෙහෙස වී ක්‍රියා කරන අතර, 2/3 බලයක් කෙසේ වෙතත් එක් ආසනයකින් හෝ දෙකකින් ආණ්ඩු බලය රැකෙවියි යි සිතිය හැක. එසේ නොවුනත් සුළුතර බලයකින් එ.ජ.ප. ප්‍රමුඛ කණ්ඩායමක් පාර්ලිමේන්තු බලය ලබා ගත හැක. නමුත් ජනාධිපති මහින්ද වන අතර, වසරක් ඇතුලත් ඒ ආණ්ඩුවට සියළු බාධක පමුණුවා නැවත මැතිවරණයකට ගොස් සන්ධාන රජයක් පත් කර ගැනීමට අවස්ථාවක් ඇත (චන්ද්‍රිකාත්  කරා නම් මහින්ද වඩාත් පහසු ලෙස එය කරනු ඇත). එසේ වුහොත් ඒ  ජනප්‍රියතාවය සමග මහින්ද නැවත වරක් ජනාධිපති විය හැක. මේ සියල්ලම සිදු නොවුනොත්, මැතිවරණ කාල සිමා සියල්ල උල්ලංඝනය කර අන්ත දරදඬු පාලනයකට යා හැක. මෙසේ බලන කල 'යකා' එළවිය යුතු නම්, එලෙස එළවීමට ලැබෙන පළමු අවස්ථාවම මග හැරුනොත් නැවත අවස්ථාවක් නොඑනු ඇත.

යම් හෙයකින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම නිත්‍යානුකුල වුහොත් (බොහෝ විට එය එලෙසෙම වේ) මහින්ද නාමයෝජනා ඉදිරිපත් කරයි. එසේනම් එය ව්‍යවස්ථා විරෝධී යි පවසා නැවත උසාවි යායුතුය. කලින් උපකල්පනය කල පරිදි මහින්දට පක්ෂව තීන්දුව ලැබිය හැකි නමුත් යම් හෙයකින් විරුද්ධව ලැබුනා යි සිතමු. අනිවාර්යෙන් සන්ධානය වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතුය. බොහෝ විට ඔවුන්ගේ තෝරා ගැනීම ගෝඨාභය විය හැක. එසේ වුහොත් තත්ත්වය ඉතා බරපතලය. රාජපක්ෂ වරුන් අතරින් වඩාත් ජනප්‍රසාදය පවතින්නේ ගෝඨාභයට ය. එසේම ඔහු විසින් නිර්මාණය කරගෙන ඇති සිංහල බෞද්ධ බලවේග වලින් සිංහල බෞද්ධ ඡන්ද පදනම තව පුළුල් කරනු ඇත. සමහර විට යුධ ජයග්‍රහණ සමග 2005 දී  මහින්ද ලැබූ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය අතික්‍රමණය කිරීමට පුළුවන. සමහරවිට මහින්දට තුන් වරක් බැරි වීම රාජපක්ෂ වරුන්ට වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් විය හැක. කෙසේ වෙතත් ගෝඨාභය ජනාධිපති වුහොත්,මේ පවතින ක්‍රමයේ වෙනසක් නොවෙන අතර පාලනය හමුදාකරණය වීමක් සිදුවිය හැක.

බොහෝ විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යි පවසා ජ.වී.පෙ ඡන්ද වර්ජනයක නිරත විය හැක. එසේ වුහොත් 'හොර ඡන්ද' දැමීමේ අවස්ථාව ආණ්ඩුව පවරවා ගනු ඇත. මහින්දට අඩුවක් පවතින ඡන්ද ලක්ෂ 3-4 ප්‍රමාණය ලේසියෙන් පුරවනු ඇත. ජනාධිපතිවරණයක් කැඳවීම, හෝ මහින්දට තුන්වරක් බැරි වීම ව්‍යවස්ථා විරෝධී යන්න තාර්තික විය හැක. නමුත් ප්‍රායෝගිකව ඒ සටන කුමන ආකාරයකින්වත් ජනතා ජයග්‍රණයක් බවට පත් විය නොහැක.

Wednesday, 22 October 2014

හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...

ජීවිතයේ නව යෞවන වියේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් නැවුම්ය. සුන්දරය. පිවිතුරුය. මා මුලින්නම මේ ගීතයේ ඇසුවේ මා නව යෞවනයෙකු ලෙස සිටි කාලයේදී ය. සිතේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව ඒ හැගීම් තුලින්ම තමාම වින්දනය ලැබූ හෝ ලබන සිදුවීම් සත්‍යකින්ම යලි යලිත් මතක ආවර්ජනය තුලින් අපව අතීතයට ගෙනයයි. මේ ගීතය පුරාවටම තිබනුයේ ඒ දඟකාර නැවුම් ප්‍රේමයේ වින්දනීය පෙළහරය.
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී
මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී
හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී
හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...
කිසියම් දිනෙක යුවතියෙකිගේ නිල් නුවන් ඉදිරියේ ප්‍රේමනීය සිතුවිලි දෝර ගලාවිත් ඇයගේ නමින් ඔබේ හදෙහි දොරටු විවර වුයේ නම් අමරසේන කන්කානම්ගේ මහතා කියන ස්වභාව සිරි ඔබත් දකිනු නියතය. හොරෙන් සිනාසිසී නිල් දිය මත පාවෙන සඳ, නීල වලාවන් තුලට ගුලිවන මල් සුවඳ, නුරාවෙන් වෙලෙන අඳුර මේ සියල්ලේ චමත්කාරය ප්‍රේමයෙන් මුසපත් වූ ආදරවන්තයෙකුට අරුමයක් නොවේ..
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළුවෙලා.........
මේ ගීත කාණ්ඩයත් සමග මට මැවෙන්නේ නුගේගොඩ ටියුෂන් පන්තියක මග දෙපසය. රංචු රංචු සුන්දර ගැහැණු ළමුන් පෙළ ටියුෂන් පන්තියට යන අතර තුර පිරිමි ළමයින් මග දෙපස ඔවුන් දෙස බලාසිටි. එලෙස යන ගැහැණු ළමුන්ගේ කිරි කවඩි සිනහවේ හඩෙහි ඉවරයක් නැත. මෙලෙස යන කෙල්ලන් අතර තම සිත් ගත් තැනැත්තිය ගේ රුව මතු වුහොත් සිත ගොළු වීම අරුමයක්ද?
ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ
රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්
ඔබ ළග නැවතිලා.................
තම සිත් ගත් තැනැත්තිය ගේ ස්ත්‍රී රූපය තුළින් ඔහුව ආකර්ෂණ කර ඇත. සංදේශ කාව්‍යයේ කාන්තාවකගේ පියයුරු සමකරන්නේ විලකින් ඉගෙලෙන්නට සුදානම් වූ හංස ජෝඩුවක් ලෙසටය. මේ හංස 'රැගුම' ඔහුව මන්මත් කර ඇත. ඔහු බලාපොරොත්තු වන්නේ තොලෙන් තොලට දී මේ සෙනහස පවතිය යන්නය. එය හුදෙක් රාගය සඳහා පමණක් ඇති වූ හැඟීමක් නොවේ. සතුට ගෙනා සිත ඇය ලඟම නවතින්නට තව හේතු කාරනා අවශ්‍ය නැත.
පදමාලාවට අමතරව මේ ගීතයේ ගායනයත් සංගීතයත් ගැන කිසිවක් නොකීවොත් එය මුළු ගීතයටම කරන අසාධාරණයකි. මා හට හැගනුයේ මේ ගීතය ගායනය කිරීමට ඒ අවධියේ සිටි සුදුසුම පුද්ගලයා එඩ්වඩ් ජයකොඩි යන්න ය. ඔහුගේ හඬ ලාලිත්යෙන් පරිපුර්ණය.ප්‍රේමන්විතය. නව යෞවනයේ හඬය. මුළු ගීතය පුරාවටම නොඉවසිලිවන්ත ප්‍රේමාන්විත යෞවනයාගේ හදවතේ රිද්මය, ඔහුගේ ගායන රිද්මය සමග එක්ව ගමන් කරයි. රෝහණයන් ගේ සංගීතය පුරාවටම මෙලෙස ප්‍රේමයෙන් මුසපත්ව ඉගිලී යන සමනලයෙකුගේ විලාසය පෙන්න්නුම් කරයි. නමුත් ගීතයේ පද ගායනයේ දී, තබ්ලාව වැයෙන හඬින් ඒ හැගුම් නිසා සිතේ ඇති බර විදහාපායි.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday, 30 July 2014

මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

ඇය නවාතැන් ගෙන සිටියේ තමන්ගේම නිවසේ නොවේ. තමන්ගේ ගෙදරින් පිට නවාතාගෙන් සිප්සතර හදාරා, ඇය සරසවි වරම් ලබන්නේය. එය ප්‍රීතිමත් හේතු කාරනවක්ය. එහෙත් අපේ කතා රචකයාට ඇත්තේ අසීමිත දුකකි. එය ඇය සරසවි වරම් ලබූ නිසා නොව නවාතැනින් යාම නිසාය. අසල ගසක හඬ නගන පාන්කිරිත්තා ගෙන දෙන්නේ ඒ ශෝකී බව සමග මුසල කමකි.

නවාතැනින් ඇය යනවා 
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

අපේ කතා රචකයා සරසවිය සිතින් මෙනෙහි කරන්නේ මේ අවස්ථාවේදීය. හිරිමල් යොවුන් වින් ඉක්කම භද්‍ර යොවුන් වියට පැමිණි යෞවන යෞවනියන්ගේ සිනහා හඬ කවට කම් සමග සරසවි මග තොටේ දකින පෙම්වතුන් ඔහුගේ සිහියට නැගේ. ඔහු තුල දුකත් සමග සිතේ ඉරිසියාවක්ද ඇතිව ඇතිබව අපට හැඟෙ. ඒ මෙවන් චමත්කාර ජනක සරසවි වරමක් ඇයට ලැබීමත් තමන්ට නොලැබීමත් ගැනය.

භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම්බැදි
සිනා කවට බස් පවසති 
කුමර කුමරියන්..

ඒ සමග ම ඔහුගේ සිතට සැකයද පැන නැගී ඇති බව පෙනේ. නවාතැනේ සිටි යුවතිය ගේ සිත වෙනස් කිරීමට බොහෝ දේ සරසවිය තුල ඇති බව ඔහුට මතකයට නැගේ... ඇයගේ ඇත පතන පිරිස් තවත් සිටිය හැක. ඔවුන් රසවත් හසුන් ඇයට පිරිනැමීමට පුළුවන. ඇය ඒවාට අසු වේවිද? එසේ නැති නම් මේ වෙනස් ලෝකය තුල ඇයට අතීතය අමතක වේවිද? එක්කෝ සරසවියේ කඩවසම්, ජනප්‍රිය, දක්ෂ යව්වනයෙක් කෙරෙහි ඇයගේ සිත යාවිද.. මේ සියල්ල ඔහුගේ සැකය තුල ඇතිවන ප්‍රශ්නය.

ඇසුර පතන දූත හසුන් 
අවට මැවෙත නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිත්

මෙසේ සැකයේ වෙලෙන අප කතාරචකයා, වරෙක ඒ සියල්ල අමතක කිරීමට උත්සහා කරයි.. ඇය හිස පීරන උදෑසනක දුටු රුව ගැන කුරුල්ලන්ට ගී ගයන්න එපා කියන්නේ මේ නිසාය. ඔහු සිතනුයේ, ඔහු දුටු ඒ මනස්කාන්ත රුව කුරුල්ලන් ද දැක ඇති බවය. මෙසේ ඒ රුව නැවත නොදකිම නිසා කුරුල්ලන් ඒ ගැන ගී ගැයීම ඔහුට මතකය ආවර්ජනය කිරීමකි.

මතක විමල් කවුළු දොරින්
හිස පීරන උදෑසනක
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

කෙසේ හෝ ඔහුගේ සිතේ යම් බලාපොරොත්තුවක් ඇති බවක් පෙනේ. ඇය සරසවි ජීවිතය අවසන් කර නැවත පැමිණේ යයි ඔහු සිතයි. එය කොපමණ කාලයක්දයි ඔහු නොදනී.. සමහර විට කල්පයක්... විය හැක.. සමහර විට ඒ සඳහා ඉර අවරින් පායන තුරු සිටිය යුතුය.. එනම් ඇය නැවත නොපැමිණිය හැක. එහෙත් නවාතැනේ ඇය පිලිබඳ තිබු මතකයන් සමග සිහිනෙක වේලි සිටින්නම් යන්න ඔහුගේ බලාපොරොත්තුව.

ශිල්ප සතර දැන එනතුරු 
කල්ප කාල පසුවනතුරු
ඉර අවරින් පායනතුරු 
සිහින දකින්නම්..

සුනිල් සරත් පෙරේරාගේ අපුර්වම පදවැලකි මේ. මෙය ඔහුගේ අත්දැකීමක් යයි මා අසා තිබේ ( වැරදි විය හැක.) මෙහි අපුර්වත්වය නම් කොතනකවත් මේ තැනැත්තිය ඔහු ගේ පෙම්වතිය බව සඳහන් නොවීමයි. සමහර විට ඔහු සිතින් ඇයට ආලය කරන්නට ඇත. එසේම ඔහු සරසවි වරම් නොලැබුවා යන්න ද මෙහි සඳහන් නැත. සමහර විට ඇය නොයන සරසවියක අපේ කතා රචකයා ශිෂ්‍යයෙක් වීමට ද පුළුවන්. ඔහුගේ එකම කනගාටුව නිතර ඒ විප්‍රයෝගය ය. ඇය තමා අසල නොමැති වීම තුල මනසේ නැගෙන විවිධාකාර වූ අරගල සැමට පොදුය. අරුමය නම් ඒ සියල්ල සංයමයකින් විඳදරා ගැනීම වීනා ඒවාට එරෙහිව ක්‍රියා නොකිරීමය.

සනත් නන්දසිරිගේ සංගීතය හා හඬ, පුදුමාකාර ශෝකකුල බවක් නිර්මාණය කරයි.. ඒ සංගීතයේත් හඬේත් ඇති නිවුණු බව පදමාලාව සමග හරි හරියට බද්ධ වී ඇත. තරමක් දුරට ඔහුගේ නිදිකුම්බා මල් කැකුලි ගී යට සමාන බවක් මට හැඟෙ.
https://www.youtube.com/watch?v=dJ1d8_ZkIA4

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Tuesday, 29 July 2014

කාර් රේස් තියන්න නුවරම ඕනනේ ඇයි?

රටේ ජාතික ප්‍රශ්න ඕන තරම් තිබේ. එත් ආණ්ඩුවටත් විපක්ෂයටත් ලොකුම ප්‍රශ්නයක් වන්නේ නුවර කාර් රේස් ය. නුවරට කාර් රේස් අවශ්‍ය ඇයි. මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. මන්ද නුවර මාර්ග රේස් තියා ගම හරහා දුවන්නවත් සුදුසු මාර්ග නොවේ. ඒ මදිවට කාර් රේස් නැරඹීම සඳහා සුදුසු පරිසරයක් ද නැත. එත් නුවරට කාර් රේස් අවශ්‍යය. මන්ද මහින්ද රාජපක්‍ෂ යන රේස් එක දිවිමේදී ප්‍රතිවාදියාට යම් රිදිවිමක් කිරීමට නුවර කාර් රේස් වලට පුළුවන්ය.

මහින්ද රාජපක්ෂ යනු කවුද? හම්බන්තොට ප්‍රාදේශීය ප්‍රභූ පරම්පරාවක සාමාජිකයෙකි. ඔවුන් ගේ පරම්පරාව මෙරට පාලනය උරුමකම් කියූ පරම්පරා වලට සම්බන්ධ පවුලක් නොවේ. අතීතයේ මෙරට පාලනයට හවුල් වූ හා උරුමකම් කියූ ඇල්ලේපොල, කැප්පෙටිපොල, මඩුගල්ලේ වගේ රදළ හෝ ප්‍රභූ (මොවුන් රදලයන්ද ප්‍රභූ වරුන්ද යන්න වෙනම කතා කල යුතුය) පරම්පරා වල වර්තමාන පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් ජීවත් වනුයේ විදේශගතවය. ඔවුන් තවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය පිලිබඳ උනන්දුවක් නැත. යටත් විජිත යුගයෙන් පසුව පාලන බලයට උරුමකම් කියූ සේනානායක, බණ්ඩාරනායක, විජේවර්ධන, කොතලාවල වැනි පරම්පරා වලින් වර්තමානයේ නියෝජනය වන්නේ රනිල් වික්‍රමසිංහ පමණි. මොවුන් කුමන පක්ෂයකින් බලය ඉල්ලුවත් නියෝජනය කරනුයේ එකම පැලන්තියකි. වරක් අනුර බණ්ඩාරනායක රුපවාහිනී සාකච්ඡාවකට පැමිණ පැවසු කරුණක් මෙහිදී මතක් කරන්නට කැමතිය. 'දකුණු ආසියාවේ දේශපාලන බලය හිමි පවුල් කිහිපයකි. එනම් ඉන්දියාවේ ගාන්ධි, පකිස්ථානයේ භූතෝ, බංගලාදේශයේ අහමඩ් වගේ ලංකාවේ බණ්ඩාරනායක. මා එවන් පවුලක සාමාජිකයෙකි.' මෙය බැලූ බැල්මට උඩඟු ප්‍රකාශයකි. එහෙත් යථාර්තය නම් එයය. මහින්ද යනු මෙවන් පවුලක සාමාජිකයෙක් නොවේ.

දේශපාලන අරමුණු කෙසේ වුවද ඉහත සඳහන් කල පැලැන්තියේ සාමාජිකයන් විවිධ ක්ශේස්ත්‍ර නියෝජනය කළහ. චිත්‍ර කලාවෙන් ජෝර්ජ් කිට්, ගෘහ නිර්මාණ ශිල්පයෙන් ජෙෆ්රි බවා සිනමාවෙන් ගාමිණී ෆොන්සේකා/අයිරාංගනී සේරසිංහ, ලෙස්ටර් ජේම්ස් පිරිස්  ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙත්තමුණි/රන්ජන් මඩුගල්ලේ ආදිය ද කදිරගාමර්/ඇතුලත්මුදලි/පොන්නම්බලම් වැනි මහජන නියෝජිතයන්/නීති විශාරදයන් ද මින් කිහිපදෙනකි. මොවුන් දෙස විමසිලිවත්ව බැලූ විට එක් විශේෂයත්වයක් දැකිය හැකිය. හොඳින් ඉංග්‍රීසි බස හැසරවිමත්, තමන්ගේ විෂය පිළිබඳව ඇති හසල දැනුමත්, අනිකුත් විෂයන්  පිලිබඳ විශේෂ වූ අවබෝධය මින් වැදගත් වේ. මීට අමතරව තමන්ගේ සම්භාවනීය බව සඳහා ලෝකයේ සම්භාවනීය දේවල් පරිශීලනය මොවුන් අතර  කැපී පෙනේ. උදාහරණයක් ලෙස කොළඹ විදේශීය ඔපෙරාවක් පෙන්වන විට මේ කණ්ඩායමේ නියෝජිතයෝ බොහෝ දෙනෙක් එහිදී දැකිය හැක. කොළඹ SSC, BRC, කොළඹ ගොල්ෆ් සමාජය, ලයනල් වෙන්ට් ආදී සමාජ වල  සාමාජිකයන් වීමද එක් ලක්ෂණයකි.

මහින්ද අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් හා නාලන්දා විද්‍යාල වලිනි. දේශපාලන බලයත් සමග සිටි මහින්දගේ පියා, මහින්දව රෝයල් කොලීජියට අධ්‍යාපනය සඳහා නොයව්වේ මන්ද? මහින්දගේ සමකාලින දේශපාලන චරිත බොහොමයක් රෝයල් ශිෂ්‍යයෝ ය. අනුර, රනිල්, දිනේෂ් මින් කිහිපදෙනකි. යථාර්තය නම් මහින්දගේ පියා ලංකාවේ සිවිල් බලයක් හිමි පුද්ගලයෙකු වුවද රෝයල් කොලීජියට ළමයා දමා ගැනීමට තරම් ඒ බලය ප්‍රමාණවත් නොවීමය. එසේ නැති නම් වරප්‍රසාද ලත් කණ්ඩායම  නියෝජනය නොකිරීමය. රෝයල් අධ්‍යාපනය හිමි කම් කියුවේ මා මුලින් සඳහන් කල රදළ/ ප්‍රභූ කණ්ඩායම් වල ළමයින්ට ය. රජය මේ කාණ්ඩයේ පාසල් රජයට පවරා ගැනීමත් සමග මෙවන් පාසල් වල අධ්‍යාපන පහසුකම් සාමාන්‍ය ජනයාටද හිමි විය.

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් මහින්ද පළමු වරට බලයට පත්වන්නේ 70' දී ය. 'කුරහන් සාටකය' පොතෙහි සඳන් වන අන්දමට මහින්දට පළමු කාර් රථය ප්‍රදානයකි. එය ප්‍රදේශයේ මහජනයා මුදල් එකතු කිරීමෙන් මහින්දට මිලදී අරන් දුන් මෝටර් රථයකි. මේ කාලයේදී ජේ ආර් ජයවර්ධන පරිහරණය කළේ ජගුවර් වර්ගයේ කාර් රථය කි. පැහැදිලි ලෙසම මෝටර් රථයක් මිලදී ගැනීම තරම්වත් මහින්දගේ ආර්ථිකය ඒ කාලයේදී ශක්තිමත් නැත. මහින්දගේ රැකියාව වුයේද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහකරුය. සරල ලෙස පැවසුහොත් එකල මෙරට සිටි ඉහල පෙලේ ධනපති පැලන්තිය නියෝජනය කිරීමේ හැකියාවක් ද මහින්දට නොවිය.

මහින්දගේ ඉවසීමත්, නොපසුබස්නා උත්සාහයත් ඔහුව නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කරවිය. මහින්දට විරුද්ධව තමන්ගේ පක්ෂයේද එදිරිවාදිකම් කළේ මා ඉහත සඳහන් කල කණ්ඩායමය. ඔවුන්ට අවශ්‍යය වුයේ ඔවුන්ගේ සාමාජිකයෙක් අත බලය රඳවා ගැනීමය. එය චන්ද්‍රිකාද රනිල් ද යන්න නොවේ. ඔවුන්ගේ පැලන්තිය නියෝජනය කරන කවුරු හෝ මෙරට පාලන බලයට හිමිකම් කීමය.

මහින්දගේ පුතුන් ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යන්ය. ඔවුන් ඒ පාසලට ඇතුලත් වීමට මහින්දගේ දේශපාලන බලයට වඩා ශිරන්තිගේ ආගමික පසුබිම බලපාන්නට ඇත. තිදෙනාම හොඳ රගර් ක්‍රීඩකයන් ය. නාමල් හා යෝෂිත ශ්‍රී ලංකා රගර් කණ්ඩායම නියෝජනය කිරීමේ ලකුණු පාසල් කාලයේදීම පෙන්විය. රගර් ක්‍රීඩා සමාජ ගත කල ඒවායේ උරුමකම් කිවේ ද මා මුලින් සඳහන් කල කණ්ඩායම් ය. නුවර ක්‍රීඩා සමාජය, CH & FC, හැව්ලොක් මේ කිහිපයක් වන අතර රාජපක්ෂ පුතුන්ගේ හැකියාවට මේ ඕනෑම කණ්ඩායමක් නියෝජනය කිරීමේ හැකියාව තිබුණි. එහෙත් එවන් කණ්ඩායමක සාමාජිකත්වය ලැබුවද නායකත්වයට යාමට දක්ෂකම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා තව තව සුදුසුකම් සැපිරිය යුතුය. ජනාධිපති පුතුන් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජපක්ෂ පුතුන් රගර් ක්‍රීඩාව සඳහා තෝරා ගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජය. යෝෂිත රගර් කණ්ඩායමේ නායකත්වයට පත් කල පසු, නුවර රගර් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වර්ජනය කිරීම තරම් මේ උඩගු කම ප්‍රබල විය.

අනාදිමත් කාලයක සිට මෙරට කාර් රේස් පැද්දේ මා ඉහත සඳහන් කළ කණ්ඩායමේ සාමාජිකයන්ය. ඔවුන්ට වර්තමානයේ මෙන් ලම්බෝගිනි, ෆෙරාරි, රථ තිබුනේ නැත. රේස් පැදීම සඳහා වෙනස් කරන ලද රථ යොදා ගනිමින් මතුගම කාර් රේස් තරගාවලිය නියෝජනය කිරීම ඔවුන්ගේ සම්භාවනීය බව පෙන්වීමට වාර්ෂිකව කල එක් කාර්යකි. අප කුඩා කාලයේ කාර් රේස් සමග නිතර කියවූ නමක් වුයේ මානප්පෙරුමය.

මහින්ද කාර්රේස් වලට එක්වන්නේ ලෝකයේ ඉස්තරම් වූ ස්පෝර්ට්ස් කාර් සමගය. දැන් ඉහත සඳහන් කල ඒ පැලැන්තියට මහින්ද සමග හරි හරියට රේස් යාමට සුදුසු රථ නැත. මුලින්ම මහින්ද කලේ ඔවුන්ට පෙනෙන්නට රේස් යාමය. පසුව තීරුබදු රහිතව රේස් කාර් ගෙන්වීමට සැලැස්වීමෙන් තමන්ට හිතවත් කාර් රේස් පැදිය හැකි කණ්ඩායමක් මහින්ද නිර්මාණය කළේය. දැන් ලංකාවේ කාර් රේස් පදින්නට නම් මහින්ද සමග එක් වියයුතුය. තවමත් මේ 'ඉහල' පැලැන්තිය මහින්ද සමග නැත. ඔවුන්ට පුංචි රිදවීමක් කිරීමට නුවර කාර් රේස් වලට හැකිය. මක්නිසාදයත් නුවර මේ පැලැන්තිය මහින්ද සමග එක් වීමට තවම සුදානම් නැති බැවිනි.

මහින්ද තවමත් චන්ද්‍රිකා ගේ ක්‍රියාවන් ගැන බලා සිටින්නේ මේ පැලැන්තිය නියෝජනය කරන රදළ මානසිකත්වයක් හිම දේශපාලනයට සම්බන්ධ එකම තැනැත්තිය ඈ නිසාය. රනිල් මේ කණ්ඩායම නියෝජනය කල ද රනිල් ගේ ලිබරල් අදහස් අනුව ඒ පැලැන්තියට පැවතිය හැකිද යන්න තවමත් ප්‍රශ්නකාරිය.

'56 ආණ්ඩු පෙරළිය ගැන මාටින් වික්‍රමසිංහයන් සඳහන් කලේ 'බමුණු කුලේ බිඳ වැටීමක් ලෙසය'.බිඳවැටීම කෙසේ වෙතත් යම් වෙනසකට භාජනය වූ බව දැකිය හැක. ලාංකීය දේශපාලනයේ වැඩවසම් නියෝජනය අවසන් වීමේ ලකුණු එදා දිස් විය. නමුත් ඒ දේශපාලන බලය රදළ වලව්වෙන් සමාජ ප්‍රජත්‍රන්තවාදීන් අතට නොගොසින් අන්තවාදීන් හා අමනයන් අතට පත් වීම අප සැමගේ අවාසනාවන්ත කමය.

මහින්ද ගේ පාලනයේ අඩු ලුහුඩු කම් එමටය. එහෙත් ඔහුගේ ප්‍රශ්න ඉදිරියේ නොසැලෙන ගුණය අසම සමය. ජාතික හා ජාත්‍යන්තර ඔහුට පැමිණෙන බලපෑම් ඉදිරියේ නොසැලී සිටීම පමණක් නොව නැවත රිටන් එකක් දීමට තරම් එඩිතර කම විශේෂය. මහින්දට තර්ජනය පවතින්නේ කාගෙන්ද යන්න මහින්ද ද හොඳින් දනී. එය පාලනය කල හැක්කේ කෙසේද යන්නද වඩා හොඳින් දන්නේ මහින්ද පමණි. මහින්දට ඡන්ද අඩුවෙන්ම ලැබෙන කොළඹ හා නුවර කාර් රේස් පැවැත්වීමට මෙතරම් උනන්දු වන්නේ ඒ නිසාය.

Tuesday, 8 July 2014

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...

IELTS exam එක ඉවර වෙලා මා විභාග ශාලාවෙන් පිටතට පැමිණි විට හොඳටම හවස් වී තිබුණි. ඒ මදිවට සිහින් පොද වැස්සක් සමග හාත්පසම අඳුරුය. වැස්ස පායන තුරු පොඩ්ඩක් ඉවසා සිටීමට මම අසල තිබු වහල් පියස්සකට මුවා වුනිමි.තව බොහෝ දෙනෙක් මා මෙන්නම වැස්ස නිම වන තුරු එතන බලා සිටින්නට වුහ. මා ඉදිරියේ අනිත් පස කෙල්ලෝ රංචුවකගේ සිනහා හඬ හොඳට ඇසේ. ඔවුන් එකිනෙකාට ඔච්චම් කරමින් සිනාසෙයි. මා මෙන්ම මා අවට සිටි අනෙකුන්ද නෙත රැදී ඇත්තේ ඔවුන් දෙස බව වට පිට බැලු මට දිස් විය. මේ කෙල්ලන් අතර ඉතා රූමත් තරුණියක් වැඩි සද්දයක් නැතුව සිටි. එත් ඇය අනෙකුන්ගේ කතා වලට සංයමයකින් සිනාසෙයි. මගේ නෙත් ඈ ළඟ නතරවිය. එත් ඇයගේ නෙත් එහා මෙහා ගමන් කරයි. මේ කෙල්ලගෙන් මට වැඩක් නැත. දැන් මා ගෙදර යායුතුය. චුරු චුරු වැස්ස තිබියදීම මම රථගාල වෙත යාමට පියවර තැබුවෙමි. අර කෙල්ල පසු වෙනවාත් එක්කම මා යලිත් වරක් ඈ දෙස බැලීය.

"හලෝ අයියේ.. ඔයා කොහෙද මෙහෙ..." අර කෙල්ල මා දෙස බලා කතා කළාය. ඒ මා සමග ද යන්න  සැක සිතු බැවින් මම වටපිට බැලුවෙමි.

" අයියේ.. ඔයාට මාව මතක නැද්ද?... මම කාංචනා..." ඈ මා වෙත පැමිණ කතා කළාය.

"කාංචනා... අම්මෝ... ඔයා ගොඩක් ලොකුනේ දැන්... මට අඳුනගන්න බැරි උනා..."

" ලොකුයි කියන්නේ මං අයියාව දැක්කේ අවුරුදු 15-20 කට පස්සෙනේ... එත් මට පුළුවන් උනා ඔයාව අඳුන ගන්න."

" ඉතින්.."

" අයියා කොහෙද යන්නේ මේ තෙමි තෙමි..ඉන්න මම කුඩේ දිග අරින්න.."

" මම car park එකට යනවා.."

" ඉන්න මම ඇරලවන්න.." ඈ මා සමග පැමිණෙන්නට විය.

මට මේ හමුවීම සිතා ගන්නටවත් නොහැකිය. කාංචනා මගේ වයසේ මිතුරියකගේ බාලම නංගි ය.  මා ඇයගේ ගෙදර යන එන කාලයේදී ඇයට වයස අවුරුදු 4-5 පමණ වන්නට ඇත. මගේ මිතුරියගේ වචන වලින්නම ඇය 'විසේ බඩ්ඩ' කි ඒ කාලේ.

ඇයත් සමග රථ ගාලට එන අතර තුර ඈ තව බොහෝ දේ කියන්නට විය. එත් මගේ මතකය අතීතය හාරවුස්සන්නට විය. දිනක් මා ඇගේ නිවසට ගිය දිනෙක ඇය  පුංචි රතු මල් වැටුණු ගවුමක් තුරුළු කරන වේගයෙන් දිව ආවය. ඇගේ මව ඈ පසුපස ඇය ලුහුබඳිමින් සිටියාය.

"මේ ළමයා ඔය ගවුම අඳින්නේ නැහැ... මම ලඟට එනකොට දුවනවා.." ඒ අම්මගේ පැමිණිල්ලය.

මා දුටු විගස ඇය අම්මා ලඟට ගොස් ඇඳුම අන්දගත්තාය. මේ එක සිද්ධියකි. බොහෝ දවස් වල ඇය මා දෙස බලන්නේ කවුළු දොර අතරින්ය. ඇය ගැන විශේෂයක් නැති වූ කල හොරෙන් ඇවිත් මහා හයියෙන් සිනා සෙයි. නැති නම් සෙල්ලම් බඩුවක් විසිකරයි. මේ පුංචි කෙල්ල දැන් පරිපුර්ණ තරුණියකි. ඇයගේ දඟකාරකම් දැන් නැත.

"අයියේ..." ඇය මා ආමන්ත්‍රනය කරන්නට විය.

" ඔයා වෙන ලෝකෙක නේද හිටියේ.."

" ඔව්... ඔයාගේ පොඩි කාලේ මතක් උනා.." ඈ ලජ්ජාවෙන් බිම බලා ගත්තාය.

ඒ දවස් අමතක ද කියන් දඟකාරියේ ...
---------------------------------------------------------
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්................

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්ඳෑ සමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ............

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කෙළිදෙලෙන් ඒ දවස් අමතකද
කියන් දඟකාරියේ............


https://www.youtube.com/watch?v=nwIPHn8hQ7o

පද රචනය කිත්සිරි නිමල් ශාන්ත ය. වැඩිය හුරු පුරුදු නමක් නොවේ. නමුත් ඔහුගේ පදවැල් මා කුල්මත් කරන්නට විය. සියළු හැගීම් සීරුවට වචන වලට ගලපා ගැනීමට ඔහු සමත් වී ඇත.සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගෙය. ගායනය TM ජයරත්නය. මුළු ගීතයම ශ්‍රාවකයා රඳවා ගන්නේ ගීතයේ තනුව සහ සංගීතයයි කිවහොත් නිවැරදිය. ක්ලැරන්ස් විසින් TM ට නිර්මාණය කල ගීත බොහොමයක්ම ඉතාමත් මිහිරි තනු ය. බොහෝ තනු ඔහු විසින් ගායන කල ගීතවලට වඩා අගනේ යි මට සිතේ. මේ ගීතයේ නොනවත්වා වයෙන ගිටාරයේ තත් තුන ගීතයට ගෙනෙන්නේ අප්‍රමාණ ආලෝකයකි. ප්‍රබුද්දයන් කොපමණ ගැරහුවද ක්ලැරන්ස් ගේ නිර්මණ අතර ඉතා ප්‍රශස්ථ නිර්මාණ ඔනෑ තරම් ඇත යන්න මේ එක් නිදසුනකි. කිසිදින මහළු නොවන TM ගේ හඬ ගීතයට සර්ව සාධාරණයක් ඉටු කර ඇත.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.