Sunday, 8 July 2018

ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ..

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..

රන් කෙන්දෙන්..

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///

https://www.youtube.com/watch?v=-RJo99_nefY

මා මහප්‍රාණ සිනමාවට වඩා සලර සිනමාවට කැමතියි. මට ලෙස්ටර්ගේ 'ගම්පෙරලිය', 'නිධානය' ට වඩා 'දෙලොවක් අතර' ලස්සන එකයි. ධර්මසිරිගේ 'තුන්වෙනියාමය' භව දුක' ට වඩා 'හංස විලක්' මට ප්‍රිය මේ නිසයි. එසේ බැලූ කල දුහුළු මලක් ද මගේ ප්‍රියතම ලක්ෂණ පිරි චිත්‍රපටයෙකි. 1976 තර ගත වූ දුහුළු මලක් විජය ධර්ම ශ්‍රී ගේ අධ්‍යක්ෂණයකි. සංගීතය සරත් දසනයකගෙනි. දුහුළු මලක් චිත්‍රපටයේ කතාව සිංහල සිනමාවේ සම්ප්‍රදායික ප්‍රේම කතාව අතික්‍රමණය කල කතා පුවතකි. එය අසම්මත ප්‍රේමයක් මුල් කරගෙන ගලා යයි. ටෝනි රණසිංහ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද නීටා ප්‍රනාන්දු ඔහුගේ බිරිය ලෙසද රවින්ද්‍ර රන්දෙනිය අසම්මත ප්‍රේමවන්තයා ලෙසද රඟපායි. චිත්‍රපටය පුරාවටම ගීත හතරක් ඇති අතර මේ ගීතවලින් පමණක් වුවද මේ කතාව තේරුම් ගත හැක. රන් කෙන්දෙන් බැද ගීතය මෙහි තුන්වන ගීතයයි.
 නිලුපා (නීටා ප්‍රනාන්දු) සුරේ (ටෝනි රණසිංහ) ගේ බිරිඳයි. එක් දරුවකුගේ මවක් වූ නිලුපා සම්ප්‍රදායික පවුල් ජිවිතයක් ගත කරයි. සුරේ සමග නොගැලපීමක් නැති වුවත් ගැලපීමක් ද නැත. චිත්‍රපටය ආරම්භයේදීම වගේ ගෙවල් ඉස්ස්සරහින් ගමන් කරන රොහාන් (රවින්ද්‍ර රන්දෙනිය) දකින විට ඔහු ගැලපෙන්නේ නිලුපා ට බව පවසනුයේ මෙහෙකාරියයි. චිත්‍රපටයේ පළමු ගීතය වන ඉන්ද්‍රානි පෙරේරා ගේ 'සීතලේ දිලි' ගීතය නිලුපාගේ අභ්‍යන්තරය ප්‍රේක්ෂකයාට කියා පෑමට ගත් උත්සාහයකි. කෙසේ හෝ නිලුපා හා රොහාන් අතර ප්‍රේමයක් ගොඩ නැගෙන අතර, ප්‍රේමයේ උපරිමය 'බොඳ මීදුම්.. ' ගීතයෙන් ගෙනහැර පායි. අවසානයේ මිල්ටන් මල්ලවාරච්චි ගයන 'රෝමය ගිනිගැනේ' ගීතය බිරිඳගේ රහස් පෙම නිසා සිත් තැවුලට පත් ස්වාමි පුරුෂයා ගේ සිතුවිලි කියා පායි.
රන් කෙන්දෙන් ගීතය කතාවේ ඝට්ටනය ආරම්භයේදීය. නිලුපාට දෙයාකාරයක ආදරයක් හිමි. එකක් අතැඟිලි රන් කෙන්දකින් බැඳ ඇති කර ගත ආදර යයි.අනික ප්‍රේමයෙන් බැඳී සිතැඟි වලට ඉඩදී ඇති වූ ආදර යයි. කවුරු මොනවා කිවත් අසම්මත ප්‍රේමය සම්මත ප්‍රේමයට වඩා චමත්කාරය. සම්මත ප්‍රේමයේ පවතින, ගේදොර දරුවන් ගේ ප්‍රශ්න වල සිට රැට කන්නේ මොනවද කියන ප්‍රශ්නය දක්කවා කිසිත් අසම්මත ප්‍රේමයේ නැත. එහි ඇත්තේ හමු වීම, කතා කිරීම හෝ තනිවීම ආදී ප්‍රශ්නය. එය හුදෙක් හැඟීම් හා සිතුවිලි සමගින් සිතුවම් කරනා චිත්‍රයකි. ඒ නිසා වර්ණවත්ය. මොහොතකට හෝ සම්මත ප්‍රේමය අසම්මත ප්‍රේමයේ ප්‍රශ්න වලින් පුරවා ගත කල එය අසම්මත ප්‍රේමයට වඩා රසවත්ය. වර්ණවත්ය.
කෙසේ වෙතත් අසම්මත ප්‍රේමයේ දී අවසානය රසවත් නොවේ. සමහරවිට එය සම්මතයට පත් වී අර රසවත් වූ චිත්‍රයම විනාස කර දමයි. සමහරවිට ජිවිත වලින් පවා විශාල  විනාසයක් ගෙනදෙයි. මේ කුමන ආකාරයකින් අවසාන වුවද ගැහැනියකට එය මහත් වෙහෙසක් එසේ නැති නම් පිඩාවක් ගෙනදෙයි. නිදහසේ පියඹා යන කිරිල්ලියක සේ අසම්මත ප්‍රේමය ගොඩ නැගුවද අවසානයේ එය විඩාවකි. එය හුදෙක් ප්‍රේම දෙකක අතරමං වීම නිසා පමණක් නොවේ. සමාජයෙන් තමා චපල ගැහැනියක්ඇ යයි ඇතිවන බලපෑම සේම තමන් ආදරය කරන කෙනෙකුට කරනා රැවටීම සමගින් තමන්ට ආදරය කරන කෙනෙකු සමග ඒ ආදරය විඳීමට නොහැකි වීම නිසා මානසිකව ව්‍යකුලත්වය මෙසේ ඇයට විඩාව ගෙන දෙයි. එක් අතකින් බැලු කල මේ ගැහැණිය ප්‍රේමය උපරිමයෙන් හිමිය. ඇයට සම්මත හා අසම්මත ප්‍රේමයේ ඉවුරු දෙකම හිමිය. ඇයගේ ලෝකයේ හිරු කසාද සැමියා ය. ඇයගේ ජීවිතය එළිය කරනුයේ ඔහුය.  එසේම ඇය සොයන සෞම්‍ය වූ සෙනෙහස ආදරය ගෙන එනුයේ ඒ අසම්මත පෙම්වතාය. ඔහු සඳු සේ ය. සෞම්‍ය ය. ජිවිතයේ විඩාව නිවාලයි. ඇයගේ දෑත මේ දෙදෙනාටම හිමිය. මේ හිරුත් සඳුත් දෙකම ඇති විට වුවද ඇයගේ ප්‍රේම විජිතයම අඳුරුය.
ඇය, ඇයට අවශ්‍ය දේ සොයයි. එත් සමාජ සම්මතයන් ඒ සියල්ල අභිබවා යයි. මේ සමාජ සම්මත රීතින් හරියට කනාටු සුළගක් වැනිය. එය කිසි කෙනෙකුට සිසිලක්, අස්වැසිල්ලක් ගෙන දෙන්නේ නැත. ඇය ඒ සුළඟට හසු වූ දුහුල් මලක් වැනිය. ඒ මේ අත ගසා ගෙන යයි. සමහරු ඇය නිවැරදි කියයි සමහරු ඇය වැරදි කියයි. තවත් විටක මේ සුළඟ දැඩි වූ විට මේ දුහුල් මලේ පෙති ගැලවී විනාස වී යයි. කෙසේ වෙතත් ඇයට ඇත්තේ කා ලඟට යනවාද යන ප්‍රශ්නය නොවේ. කාගෙන්ද සමුගන්නේ යන්නය. මන්ද ඇයට මේ දෙකම අවශ්‍යය.
'දුහුළු මලක්' චිත්‍රපටයේ එක් ගීතය බැගින්  ප්‍රේමකිර්ති හා ධර්මසිරි ගමගේ  රචනා කරන අතර 'බොඳ මිදුම්' ගීතය හා 'රන් කෙන්දෙන්' ගීතය අජන්තා රණසිංහ ද රචනා කරයි. රන් කෙන්දෙන් ගීතය අජන්තා රචනා කරනුයේ ගැහැණියකගේ මනසින් මේ කාරණය දකින ආකාරයෙනි. මේ පදවැල සරල ය. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයාට අවශ්‍යය කතාව පරිපුර්ණ ලෙස ඔහු ගීතය තුල සඳහන් කරයි. එයට අමතරව අධ්‍යක්ෂකට පැවසීමට හෝ සිනමාවට නැගීමට නොහැකි දේ ඔහුගේ පදවැල් තුල දැකිය හැක. දෙවන ස්ථායි කොටස මේ සඳහා කදිම උදාහරණයකි. සරත් දසනායක සංගීත නිර්මාණකරුවා සිංහල සංගීතයේ තම අනන්‍යතාවය නිර්මාණය කර ගන්නේ සිනමා සංගීතය තුලින්ය. ඔහුගේ  චිත්‍රපට ගීත බොහොමයක් තවමත් අතිශෙයින් ජනප්‍රියය. ඉන්දියානු තනු වලින් මිදී නමුත් එලෙසම ප්‍රේක්ෂක ග්‍රහණයක් ලබා ගැනීමට තරම් ඔහුගේ ගී තනු ආකර්ශනීය සේම එය සිනමාව සමග කදිමට බද්ධ වී ඇත. මෙහි මුල් ගායනය දී නන්දා ගේ කටහඬ තරුණය. නමුත් ඇය ඉන්පසු කල පටිගත කිරීම් වල ඒ හඬේ භාවපුර්ණ බවක් දැකිය හැකි අතර ගීතයේ අරුත සමග කදිමට ගැලපේ. චිත්‍රපටය අභිබවා ගීතය තවමත් ජනප්‍රිය වීමට නන්දාගේ හඬත් අජන්තාගේ පදත් සේම සරත් දසනයකයන්ගේ තනුවත් හේතු වුවාට සැක නැත.



Tuesday, 5 June 2018

ප්‍රණීත මී පැණි ගෙන ආවත්.....

ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විෂ ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරෙයි
ගඟ රැළි නංවනවා...

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ...

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ....

https://www.youtube.com/watch?v=4GwipyPVRT4

මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති. සංගීත හා ගායනය ප්‍රියා සුරියසේන. අන්තිම පේලි කිහිපය හැර අනිකුත් සැම පද වැලකම දකින්නට ඇත්තේ ප්‍රතිවිරුද්ධ අදහසක්. මී පැණි ප්‍රණීත වුනත් ගෙන එන බඹර තුඩ විෂ සහිතයි... එහෙම නැති නම් සුභාෂිතයේ උදාහරණයක් ගෙන එමින් 'බිඳින බිදින තරමට සඳුන් ගස සුවදවත් බව'. මුළු ගීතය පුරාවටම තිබනුයේ උපමාවක් එසේ නොමැතිනම් සමාන කිරීමක්. රචකයා අවසන් පදවැල් කිහිපයේදී තමයි තමන් කුමකට  මේ සමාන කිරීම කරන බව පවසන්නේ.... තව තවත් ආදරය උපදින බව ඔබ කෙතරම් රිදවුවත්.. ප්‍රේම් හැර මෙවන් ආදරවන්තයෝ තවත් සිටීද?

සමස්ථයක් ලෙස මුළු ගීතය පුරාවටම තිබනුයේ එක්තරා දාර්ශනික කතාවක්. ප්‍රේම් ගේ ගීත විවිධාකාරයි. ඔහුගේ ගීත රචනා විවිධාකාර මවත් ඔස්සේ ලියවිලා තියෙනවා... ප්‍රේමය, විරහව වගේ පොදු කාරනා වගේම, ඉරිසියාව, උපහාසය ගැනත් ගීත සොයා ගන්න පුළුවන්. එසේම දාර්ශනික සටහනක් ඇති ගීතත් නැතුවා  නොවේ. මා දකින ආකාරයට උපමා, රූපක අප්‍රමාණ ලෙස භාවිත කළ ගේය පද රචකයා ප්‍රේමකීර්ති.

ප්‍රේම් වැඩියෙන්ම ගීත ලියුවේ වික්ටර්ට. වික්ටර් ප්‍රේම් සුසංයෝගයෙන් බිහි වූ නිර්මාණ අපමණයි. එසේම විශිෂ්ටයි. එහෙත් වික්ටර්ගේ සංගීතයත් ගායනයත් ඉදිරියේ ප්‍රේම් ගේ රචනයට එහෙම නැති නම් ප්‍රේම් ට අවැසි කතාව ගැන ප්‍රේක්ෂකයා සමග ඉදිරියට යාම පහසු උන්නේ නැහැ. සමහර විට වික්ටර්ගේ සංගීතය හා ගායනය අත්හැර ප්‍රේම් ගේ රචනය ගැන ප්‍රේක්ෂකයා නොබැලුව නිසා වෙන්න ඇති. ඇත්තෙන්ම ප්‍රේමකීර්ති ත් මේ කාරණය ගැන දැන සිටියා වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති උපහාස ගීත ගායනයට ප්‍රෙඩි සිල්වා ව භාවිත කරන්න ඇත්තේ. ආරොන් මාමා... කළු කුම්බියා... වගේ ගීත වලින් ඔහු හිමින් සැරේ ඒ උපහාසය පල කළා. වික්ටර් ගායනය කලේ නම් එය උපහාසයකට වඩා දැනිය යුතු තැන් වලට එල්ල කර කනේ පහරක් වෙන්නත් තිබුනා. මට හැඟෙන ආකාරයට ප්‍රියා සුරියසේන ව ඔහු භාවිත කළේ දාර්ශනික අදහසක් සමාජයට ගෙන යන්න. එය වික්ටර් ගේ ගීත වලට ඇළුම් කරන  'සම්භාව්‍යය' කියන   ප්‍රේක්ෂක කණ්ඩායමට නොව සරල ගීත රස විඳින ප්‍රියා සුරියසේන ඇලුම් කරන සමාජ කණ්ඩායමට. මේ ගීතයට අමතරව 'ආදරේ කියූ.. කිසිවෙකු ආදරේ නැතේ... හා 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ආදී ගීතත් මෙලෙස දාර්ශනික අදහස් සමග ලියවුනු ගීත කිහිපයකට උදාහරණ ලෙස සදහන් කල හැක. 'ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ..' ගීතයේ එක් තැනක 'සැනසීමත් සීමිතයි සිතේ...සීමිත දේ සැනසුමයි සිතේ...' ලෙස ඉතා ගැඹුරු කාරණාවක් ඔහු සදහන් කරනවා. එසේම 'මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...' ගීතයේ සිත සහ මිනිසා දේ ආකාරයකට වේදනාව විඳින  අයුරු කදිමට විස්තර කරනවා. තව 'හෙට දිනයේ අප දෙදෙනා..' ගීතයේ ලෝකයේ වෙනස් වීම කියාපෑමට කදිම රුපකයක් යොදා ගන්නවා - ' අද සුපිපෙන මල හෙට නොපිපෙවී' යනුවෙන්. එහිදී ඔහු කියනවා ආදරයද අළුත් විය යුතු බව ලෝකය වෙනස් වෙන ආකාරයට. එකම මිහිර වුවත් හෙට දිනයේදී විඳින්න පුළුවන් එලෙස අළුත් වූ ආදරයකින් බව.

ප්‍රියා සුරියසේන ගුවන්විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙක්. සමහර ඔහුගේ ගීත වල තනු සහ සංගීත නිර්මාණ කරුවා ඔහුයි. ඔහුගේ ගීතයක් නොගැයූ නුතන සුපර් ස්ටාර් ලා නැති තරම්. ඔහුගේ තනු සහ සංගීතය සහිත ගීත 70 දශකයේ සිට තවමත් ජනප්‍රියයි. අවාසනාවකට ඔහු ගායනය සඳහා වැඩි මහන්සියක් වුවත් තනු නිර්මාණය සහ සංගීතය සඳහා එතරම් ශ්‍රමය වැය කලේ නැහැ. තමන්ගේ හැකියාව නිවැරදිව හඳුනා නොගත් තවත් කලාකරුවෙක් ලෙස මා ඔහු දකින්නේ. සමහර විට පුද්ගලික ජිවිතයේ විවිධ ඉලක්කයන් ඔහුව සංගීත නිර්මාණයෙන් ඈත් කර තැබුවා විය හැකි. මා හට නම් ඔහුගේ ගායනයට වඩා සංගීතයේ වඩා ආකර්ශනයක් ඇතැයි සිතේ. අඩුම තරමින් ඔහුට කුමන හෝ සංගීත පාසලක විධිමත් අධ්‍යනයක් කරන්නට ලැබුනේනම් තවත් අගනා තනු නිර්මාණ රැසක් අපට තිලිණ කරනු නොඅනුමානය.

Tuesday, 30 January 2018

කුමක් ලියන්නද සමරු පොතේ....

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ

https://www.youtube.com/watch?v=5tyWsJRELZU

සමරු පොත... අර floppy ඩිස්ක්, කැසට් පටි වගේ 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා.. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු කල පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් එක් වී තිබුනා... සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ ප්‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් තව කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි උණු බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ හිත ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.

සමරු පොතත් හරියට මුහුණු පොත වගේ තමයි. සමහරුන් ආසයි හොඳ හොඳ පණ්ඩිත වාක්‍ය ලියා ගන්න. එකත් හරියට මුහුණු පොතේ ලොකු ලොකු මිනිස්සු තමන්ගේ යාළුවො කියලා එකතු කරගෙන තමනුත් එහෙම පොරක් කියලා සිගිති වින්දනයකට පත්වෙනවා වගේ... මට මතකයි පොඩි කාලේ ගියා radio කතන්දරයක්. ඒ කතාවේ ගැහැණු ළමයට මේ වගේ පිස්සුවක් තිබුනා. එයාගේ ගෙවල් ළඟ සිටියා බොහොම පණ්ඩිත පුද්ගලයෙක්. දවසක් මේ ගැහැණු ළමයා ගෙනත් දෙනවා සමරු පොත අර පුද්ගලයට පණ්ඩිත වාක්‍යක් ලියව ගන්න සැමරුමක් විදිහට. මේ මනුස්සයා මුළු පොත පිරෙන්නම ලියනවා. එතනින් පස්සේ කාට දෙන්නද සමරු පොත...කොහොම පෙන්නන්නද තමනුත් ආශ්‍රය කරන්නේ පණ්ඩිත මිනිස්සු කියලා...

මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි..සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා.. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා...දවසක් එහෙම ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත ත් පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා ඒ වෙලාවේ... ඒ චකිතය නිසාම කුමක්මේ ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ..

සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති... මගේ උසස් පෙළ පන්තියෙත් හිටියා සමරු පොතක් පන මෙන් රැක්ක කොල්ලෙක්. ඔහු ගේ සිත් ගත්ත කෙල්ලක්. මේ ප්‍රේමයකට මුල පුරන කාලය. මේ කෙල්ලගේ සමරු සටහනක් තිබුන මේ කියන සමරු පොතේ.. මේ වගේ දේවල් වලට අකුල් හෙලීමට තිබුණු කෑදර කමට දිනක් මේ පොතේ ඒ සමරු සටහන තිබුණු පිටුවෙම අනිත් පිටේ මා සහ තවත් මිතුරෙක් ශුද්ධ සිංහලෙන් සටහනක් තැබුවා. සිත ගිය තැනැත්තියගේ නිසා ඒ පිටුව ඉරලා දාන්නත්සැ බැහැ...ශුද්ධ සිංහලෙන්හෙ ලියලා තිබුණු නිසා නොඉරා ඉන්නත්න බැහැ...  කාලයක් ඔහු මේ අසමත්ජාති වැඩේ කලේ කවුද කියලා හෙව්වා... 

ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායක ගේ... වික්ටර් ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ... ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා...අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.


Monday, 23 October 2017

යලි හමු වීම....

සමු අරන් ගිය දිනේ
පැතුවත් හුරු ලෙසට
හමු වෙමු යම් දිනෙක
යහළුවන් ලෙසින් හෝ
හමු වුනු දා තමයි 
දැනුනේ එහි ගැඹුරු බව

අතර මග හමු වෙලා සිනාසුනත් අපි
කඳුළු කැට නොවැටෙයිද අතීතය මතක් වී
කෙසේ නම් පවසම්ද සිතේ ඇති සියළු දේ
අසන්නට හැකි වේද ඔබ හිතේ ඇති දේ

ඔබට මා මටද ඔබ අහිමි වුවත් එදා
ඇයිද අපි හමු වුනේ එදා පැතු ලෙසේ
මුව පුරා හසරැලි අවදි වුවත් සැනින්
හදේ නැගී වේදනා මැකිය හැකිදෝ එයින්

වෙනදා සේ ඔය දෙනෙත් දෙස බලා
සැනසෙන්න නැලවෙන්න වරම් නැත හිමිවෙලා
සිහින් ලෙස මිමිනුවත් ගිහින් එන්නම් කියා
කෙසේ නම් යන්නේ මා සිත නුඹ ළඟ තබා 

Monday, 24 July 2017

දඟකාර ඔය දෑස දුටුවා එදා ...

දුරකථනය නාද වෙන්නට විය.
'හලෝ..'
කිසි හඬක් නැත..මම ස්වල්ප මොහොතක් නිහඩව සිටියෙමි. එක වර ඉකිබිඳ  අඩන හඩක් අනෙක් කෙළවරින් ඇසෙන්නට විය.
'හලෝ... කවුද මේ..' මම නැවත හඬ අවදි කලෙමි. දුරකථනය විසන්ධි විය. මම ඇමතු අංකය දෙස බැලුවෙමි . මා හට හුරු අංකයක් නොවේ. නැවත ඒ අංකයෙන්ම දුරකථනය නාදවෙන්නට විය. මා විසන්ධි කරන්න සිතුවත් නැවතත් ඒ අංකය හා සම්බන්ධ විය. මෙවර මම  වචනයක්වත් නොකෙලෙමි.
'හලෝ අයියා... ඔයා මොකද අපේ පොඩි අක්කිව අඩවන්නේ..' එහා පැත්තෙන් එකවරම ලාබාල තරුණියක් කතා කරන්නට විය.
'කවුද මේ..' මම ඇසීමි.
'කාංචනා.. මතක නැද්ද මාව..'
මගේ උගුර හිර විය. වචන අමතක ය. අවසන් වර ඇය මුණගැසුණු අවස්ථාවේදී මා ඇයට මගේ නොම්බරය දුන්නා මතකය. එහෙත් මෙවන් ඇමතුමක් මා කිසිදින බලාබොරොත්තු නොවිය. මා නැවත කතා කරන්නට විය. උදාරිගේ ඉකි බිඳුම් හඬ මහා හෙන හඬක් සේ මගේ දෙසවන් දෝංකාර දෙන්නට විය. මොහොතක් වික්ෂිප්තව සිට යලිත් මා කාංචනා අමතන්නට විය.
'කෝ.. උදාරි ඔතන ඉන්නවද.. එයාට ෆෝන් එක දෙන්න..'
'එයා තාම අඩනවා... කතා කරන්න බැහැ ලු'
'කාංචනා මට අක්කව හරි ඔයාව හරි හම්බ වෙන්න ඕනනේ.. ඉක්ක්මනට'
'පොඩි අක්කි අවොත් ඔයා එයාව ආපහු අඩවයි.. මම එන්නම්.. එත් අද නම් බැහැ...'
'හරි.. හෙට ඉරිදා උදේ MC එකට එන්න පුලුවන්ද..'
'OK අය්යා... bye'
**********************************
උදාරි...සම වයසේ මගේ මිතුරියකගේ වැඩිමහල් නංගිය. මා ඇයගේ නිවසට යාම් ඒම්  ආරම්භ කලේ සාමාන්‍ය පෙළ විභායට සුදානම් වන කාලයේදීය. මගේ මිතුරියට තිබු අධික අධ්‍යාපන උනත්, විභාගයට මාස කිහිපයක් වීමත් මේ ආරම්භයට මුල් විය. අප දෙදෙනා එකතු වී පාඩම් කිරීම දෙදෙනාටම යහපතක් විය.

උදාරි මා සමග ඉඳ හිට කතා බහ කරයි. නොදන්නා පොත පතේ දෙයක් තිබුනොත් අසයි. ඒ හැර උදාරි යනු තවත් මා දන්නා හඳුනන එක් කෙල්ලෙක් පමණක් විය. දවසක් ඇය අක්කා නැති විටෙක කාමරයේ දොර අසලට පැමිණ මා දෙස බලා සිටින්නට විය. ඇයගේ දෙනෙත් වල තිබුනේ වෙනදා නොදුටු දඟකාර කමකි. මා 'ඇයි?' දැයි විමසිය.. ඇය ඔච්ච්චමට මෙන් සිනාසුණාය. ඇගේ නෙත් තවත් දීප්තිමත් විය. මම නැගිට ගොස් ඇගේ නාසය මිරිකන්නට උත්සහ කළෙමි.  එලෙස කරන්නට මා හට ආත්මශක්තියක් අවේ කෙසේදැයි මම නොදනිමි. ක්ෂණයකින් මගේ අත අල්ලා ගත් ඇය මගේ පපුවට තුරුළු විය. මා බලාපොරත්තු වුයේ ඇය එතනින් ඉවත්වේ යි කියාය. මොහොතක් එලෙස සිටි උදාරි 'අක්කා එවි...' යි කියා මගේ කම්මුල සිප එතනින් ඉවත්ව ගියාය.

ජිවිතයේ සෑම දෙයම සැලසුම් සහගතව සිදු නොවුනත් ජීවිතයේ කුඩාම කුඩා සිදුවීමක් මුළු ජිවිතයටම බලපායි. ඒ  මොහොතේ සිට මා මේ ලෝකෙයේ සිටියා දැයි මට මතක නැත. ඇගේ අක්කා මා අසල වාඩි වී මොකද්දෝ විද්‍යාත්මක ක්‍රමයක කරුණු පවසයි. මා හු මිටි දෙමින් නිමේශයකට පෙර සත්‍ය ලෙස සිදු දෙය සමගින්  සිහින ලෝකයේ සැරිසරමින් සිටි.
මට යලිත් උදාරි ව දැකීමේ තද බල අශාවත්, ඇය මුණගැසීමේ  උවමනාවත් තදබල ලෙස වද දෙමින්  තිබේ. ලැබුණු  සුළු මොහොතක මම කොළ කෑල්ලක උදාරිට වචන කිහිපයක සටහනක් ලියුවෙමි.

"උදාරි, ඔයාගේ දඟකාර ඇස් කියූ කතාව සැබෑවටම ඇසීමට මා බල සිටිනවා. ගණන් පංතියට ඉස්සෙල්ලා මිනුවන්පිටිය කනත්තේ උසම සොහොන් කොත ලඟදී මාව මුණ ගැසෙන්න."

ඇය මුණගැසිය යුතු අවස්ථාව, කාලය හෝ තැන කෙලෙස නිගමනය කළේදැයි මම නොදනිමි. මොහොතකට පෙර ලැබූ ඒ නුහුරු අත්දැකීම අත්භූත බලයක් සේ මාව මෙහෙවන්නා සේය.

මිතුරියගේ නිවසින් පිටව යන මොහොතේ උදාරි යලිත් දොර ලඟට ආවය. මා කාටවත් නොපෙනෙන ලෙස ඇගේ අතේ මා ලියු කඩදාසි කැබැල්ල තැබිය. හිමින් සැරේ 'දෙකාහමරට' යි පැවසිය.

මම ඇයට පෙර මා කියූ ස්ථානයට ගියෙමි. ලොවට හොරා මුල් වරට යුවතියක් මුණ ගැසීමට මා බලා සිටි. පපුව තුල මහා බරක් සමග චකිතයත් නොඉවසිල්ලත් සමග මට දැනනුයේ ඔරලෝසුවේ තත්පර කටුව පැයක වේගයෙන් කරකවෙන්නා සේය. මා ඔරලෝසුව කොපමණ වාරයක් බැලුවාද යන්න මතක නැත. මා බලාපොරොත්තු වූ ලෙසම ඇය නියමිත වේලාවටත් කලින් පැමිණියාය. කාටත් නොපෙනෙන ලෙස සොහොන් කොත් අතර අපි අපේම ලොවක මොහොතක තනි වුනෙමු. ඒ දෙ ඇස් කියූ දේ වචන වලට පෙරළිය යුතු  නැත. එය පුන පුනා ඇසිය යුතුද නැත. හැකි හැම විටම අපි මෙලෙස හමු වීමට ගිවිස ගතිමු. එකග වූ පරිදිම සියළු හමු වීම කනත්තේ දී සිදු විය.

විභාගය අවසන් විය. අප කතා කරගත් පරිදි විභාගය ට පසු දින ඇය මුණගැසීමට මා කනත්තට යන්නට විය. මහානාම පාරට සයිකලය හරවනවත් සමග මට උදාරිගේ අම්මා මුණ ගැසුණි. එකවරම චකිතයක් ආවත් තැනට සුදුසු  ආකාරයට ගැලවිජ්ජාව යොදා බේරෙන අටියෙන් මා ඇය හා කතා කාලය.

'ඇන්ටි කොහෙද මේ'
'මම යනවා ඔයාලගේ ගණන් සර් හම්බ වෙන්න.. ඔයා කොහෙද යන්නේ...'
'විභාගේ ඉවරයි නේ.. කොල්ලෝ ටික සෙල්ලන් කරන්න සෙට් වෙමු කිව්වා.. '
'බොරු කියන්න එපා පුතා.. ඔයා උදාරිව හම්බ වෙන්න යන බව මම දන්නවා..'
ම්ම් වික්ෂිප්ත වුනෙමි. කොපමණ ගැලවිජ්ජා ප්‍රගුණ කර තිබුනද  දැන් මට එතනින් එහාට කිවයුතු දෙය සිතා ගැනීමටවත් නොහැකිය. ඇය නැවතත් කතා කරන්නට විය.
'ඔයා ගැන ඔයාගේ අම්මලා වගේම අපිත් හොඳ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මේ වගේ දේවල් කරලා ඉගැනීම අවුල් කරගන්න එපා.. ඔයායි  උදාරි හිතන දේවල් වෙන්නේ නැහැ...' ඇය ඇගේ දේශනාව ආරම්භ කරන්නට විය.

'එත්..' මා බාධා කරන්නට සුදානම් විය.

'එත් නෙමෙයි.. ඔයා ආපහු උදාරිව මුණ ගැහෙන්න උත්සහ කරන්න එපා... මේ දේවල් මෙතැනින්ම නතර කරන්න.. ඔයා දිගටම උදරිව මුණගැහෙන්න හැදුවොත් අපි මෙහෙන් යනවා..'

'ඇන්ටි...එත්' මා යලිත් ඇගේ කතාවට බාධා කරන්නට විය. මට අවශ්‍ය වුයේ ඇය මෙය දැනගත්තේ කෙසේද යන්න දන ගණනය.

'පුතා.. ඔයා campus select වෙනවා දකින එක තමයි අපි හැමෝගෙම පැතුම උදාරි ඉගෙන ගන්න උනන්දු ළමයෙක් නෙමයි.. ඔයා ට උදාරිව ගැලපෙන්නේ නැහැ.. මේ ගැන තව කතා කරලා වැඩක් නැහැ..මම යනවා..'

හෙනයක් මා හිස මත පාත් වුව සේ මගේ හිස කරකැවෙන්න විය. මොනවා කල යුතුද යන්න පැහැදිලි අවබෝධයක් මට නොවිය. සියල්ලටම වඩා මේ කාරණය ගෙදර ට ආරංචි වේ යි සිතට නැගුනු විට තත්ත්වය තවත් බරපතල විය.

මා කනත්ත වෙත ගියා දැයි එසේ නොමැති නම් කවුරුන් විසින් මා ඔසවාගෙන ගෙයේදැයි මට නොදැනුනි. උදාරිත් මාත් මුණ ගැසුණු උසම සොහොන් කොත අසල සිට මා සියල්ල ආවර්ජනය කරන්නට විය.මා හට ප්‍රශ්නය වුයේ ඇගේ මව කෙසේ මෙය දැනගත්තාද යන්න ය. අවසානයේ මගේම පරිකල්පනයන් මත  ඇය සහ අක්කා සැලසුම් සහගතව මාව විනාශ කිරීමට කරන ලද්දක් ලෙසත් මගේ සිතුවිලි සාක්ෂි වලින් මා තීරණය කරනු ලැබිය.මා හට උදාරි සහ ඇයගේ  පවුල් කෙරෙහි වුයේ අපමණ කේන්තියකි. වරක් හෝ මට උදාරි හමු වුහොත් ඇයගෙන් කෙසේ හෝ පලිගනිමි යි සිතා ගත්තෙමි.

කෙමෙක්න් කාලය ගෙවී ගියේය. ඉගැනිමත් පාසලේ වෙන ක්‍රියාකාරකම් ගැනත් මගේ උනන්දුව හීන වී ගොස් තිබුණි. ජීවිතය දිය පාරකට ගසාගෙන යන පරඩලක් සේතැනින් තැන නැවතී නැවතී ඔහේ ගලා යන්නා සේ මට දැනිණි. වරින් වර උදාරි ගැන තිබු වයිරය විසින් මා දවා පොඩි විසුනු කරන බව මා තේරුම් ගෙන තිබුනත් එයින් නික්මීමට උවමනාවක් මාහට නොවිය.  ක්‍රම ක්‍රමයෙන් මට උදරිවත්, පලිගැනීමට තිබු උවමනාවත් තුනී වන්නට විය.

උදරිගේ ඉකිබිඳුන්ම් හඩ මා හට අසුනේ මේ සිදුවීමෙන් වසර පහළොවකට පමණ පසුවය.

***************************************************************
නියමිත වෙලාවට කාංචනා පැමිණ සිටියාය.
'ඉතින්...' මම කතාවට මුලපිරුවෙමි.
'ඇයි මට එන්න කිව්වේ..'
'මට දැනගන්න ඕනනේ ඇයි උදාරි මට එහෙම කලේ කියලා..'
'උදාරි අක්කා ඔයාට මොනවත් කලේ නැහැ අයියා... එයා ඔයාට මොනවත් කරන්නෙත් නැහැ..'
'කොහොමද අම්මා දැන ගත්තේ..'
'උදාරි අක්කට ඔයත් එක්ක Love එක වැඩිවෙලා ඔයාගේ photo එකක් පොත ඇතුලේ තියාගෙන නින්ද ගිහිල්ලා.. අම්මා කාමරයට එනකොට අහුවෙලා..'
'මම උදාරිට photo දුන්නේ නැහැනේ..'
'ඒක මගේ b'day එකේ photo එකක් . මතකද උදාරි අක්කා ඔයාගේ අතේ තිබුණු දෙයක් උදුර ගන්න පොර බැදුවා. අන්න ඒ වෙලාවේ ගත්ත photo එකක්. ලස්සන ජෝඩුව. බොහොම ආදරයෙන් රණ්ඩුවෙලා හිටියේ දෙන්නා' ඇය මහා හයියෙන් සිනාසෙන්නට විය.
'ඉතින්..'
'කිතුල්.. අපේ අම්මට ඉතින් අහු උනාම අහන්න දෙයක් නැහැනේ.... හරියට හතරවෙනි තට්ටුවට ගියා වගේ. උදාරි අක්කාට A -Z වමාරන්න උනා..'
'එත්..' මම ඇගේ කතාවෙන් සැහීමකට පත් නොවිය.
'එත්.. කියන්නේ.. අම්මා බය කරලා තිබුනේ ආපහු අහු උනොත් ඔයාලගේ ගෙදරට කියනවා කියලා.. අක්කා ඔයාව අමාරුවේ දාන්න බය උණු හින්දා සද්ද නැතුව හිටියා. අම්මා ඉතින් body guard වගේ යන එන හැම තැනම අක්කා එක්ක ගියා. අඩුම ගානේ යාලුවෙක් වත් ආස්රේ කරන්න හම්බ උන්නේ නැහැ. ඉස්ස්කොලේ ඉවර උණු ගමන් අම්මා එයාට proposal එකක් ගේනවා කසාද බඳින්න'

මා හට උදාරි කෙරෙහි කවරදාවත් නොහටගත් අනුකම්පාවක් ඇති විය. යව්වන කාලයේ ආදරයක් වෙනුවෙන් ඇය ජීවිතයම කැප කල බවක් මා හට අවබෝධ විය. කාලයක් ඇය කෙරෙහි බැඳී ෛවරය ගැන මා හට මහත් ලැජ්ජාවක් ඇති විය.

'අඩුම ගානේ මේ ටික මට දැනගන්න නොතිබ්බේ ඇයි..?'

'අවුරුදු පහළොවකට විතර පස්සේ call එකකට ඔයා මෙච්චර කුලප්පු උනානම්... ඒ කාලෙම දැන ගත්තනම් මොනවා නොකරයිද? සිද්ද්ධ වුනු විදිහ තමයි අයියේ හොඳම..' කාංචනා මහා පණ්ඩිතයකු සේ මට පිළිතුරු සැපයුවාය.

'දැන් උදාරි කොහොමද...'

'එයා දැන් දෙදරු මවක්... දයාබර බිරිඳක්...හොඳ ගෘහනියක්...ආදරණිය මවක්..හැබැයි ගොන් කණුවක්...' කාංචනා යලිත් මහා හයියෙන් සිනාසෙන්නට විය.

'ඇයි ගොන් කණුවක් කියන්නේ...'

'නැති නම් හලෝ අවුරුදු පහළොවකට පස්සේ ඔයාට කතා කරලා පරණ දේවල් අවුස්සනවද....'

'එහෙම නෙමයි එයා සතුටින්ද ඉන්නේ...'

'සතුටින්ද ඉන්නේ....' කාංචනා මා ඇසු දෙය පුනරුච්චාරණය කරන්නට විය.

'අයියා... ඒ සිද්ධියෙන් පස්සේ පොඩි අක්කි ගොඩක් වෙනස් උනා...පොඩි අක්කි තමයි ගෙදර වැඩින්න්ම දැඟලුවේ...එදායින් පස්සේ එයා ගොඩක් තැන්පත් උනා... කතා කරන එක අඩු උනා... ගොඩක් වෙලාවට තනියම හිටියේ.. හැමෝටම දැනුනා එයාගේ පැහැදිලි වෙනසක්..මම දන්නේ නැහැ අයියා එයා ඇයි එහෙම වෙනස් උන්නේ කියලා...තාමත් එයා එහෙමයි..දැන් එක එයාගේ හැටි වෙලා...'

'ඒ කියන්නේ එයා සතුටින් නෙමෙයිද ඉන්නේ..'

'දන්නේ නැහැ අයියා... කවුරුත් එයාගෙන් ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ... ලොක්කි ඉතින් වැඩ කරන්නේ එදා ඉඳන් professional විදිහටනේ..මාත් එක්ක විතරයි ඔය අනං මනං කතා කරන්නේ... එත් මට එයාගෙන් ඔයා අහන ප්‍රශ්නේ අහන්න තරම් හයියක් නැහැ....'

අප ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛියව ගමන් කරන ජිවිතයක් පැතුවද ඉතා සියුම් බලපෑමකින් වුවද කෙනෙකුගේ ජිවිතයේ ගමන් මාවතද ගලා යාමේ වේගයද වෙනස් කරයි. මේ සිද්ධියෙන් මගේ ජීවිතය ගමන සුළු වෙනස් කමකට මුල පිරුවද නැවත එය නිවැරදි මාවතට ගෙන ඒමට මට හැකි විය. එත් උදාරිගේ  ජීවිතය යලිත් තිබු තැනට ලඟා විය නොහැකි තරමට වෙනස් වී ඇත. සමහර විට ඇය වෙත මවගෙන් ඇති වූ පීඩනය නිසා මෙසේ වන්නට ඇත.

'මොනවද කල්පනා කරන්නේ...' කාංචනා මා සමවැදී උන් කල්පනාව බින්දාය.

'මුකුත් නැහැ..,.'

'බොරු කියන කොට අහුවෙන්න නැති වෙන්න කියන්න ඔයාත් දන්නේ නැහැ... මුකුත් තියෙනවා... හරි මට දැනගන්න ඕනනේ නැහැ...'

'මම දැන් යන්නද...' කාංචනා තම ඇත බෑගය ළයට තුරුළුකර ගනිමින් ඇසුවාය.

'හරි නංගි මම ඔයාව ඇරලවන්නම්...කොහෙටද යන්න ඕනනේ...'

'අර කනත්තට... ඇය යලිත් මහා හඬින් සිනා සෙන්නට විය. අවට සිටි පිරිසට ඇයගේ සිනහා හඬ අසුනේ දැයි සැකයෙන් මම  නිරායාසයකින් අවට සිටි උන් දෙස නෙත් යොමු කලෙමි.

'පිස්සුද...' මම පහත් හඬින් ඇයගෙන් ඇසිය.

'ඔයාට නේ අය්යේ පිස්සු... නැති නම් මුලින්නම කෙල්ලෙක්ට ආදරය කරන්න සොහොන් පිට්ටනියක් හොයා ගනීද..?'

https://www.youtube.com/watch?v=FZT13AQT38Y

සනත් නනදසිරිගේ බටහිර ආරෙට ගැයුණු ගීත කිහිපය අතරින් නිසකයෙන්නම හමුවන ගීයකි. මේ ගීතයේ වැයෙන brass හඬ නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. මා සිතන්නේ මේ ගීතය නිර්මාණය වූ කාල වකවානුවේ ගීත සමග සැසඳ වූ විට saxophone හඬ ප්‍රබලවම යොදා ගත් ගීතයක්. ගීතයේ වචන වලින් දනවන ශෝකයත්, යව්වනය ආවේගයත් ගීතයට ගෙනෙන්නේ ඒ saxophone හඬ. ඉතා සියුම් ලෙස ගිටාරයේ  distortion තාක්‍ෂණය යොදාගෙන ඇති නමුත් මෙය මුල් නිර්මාණයේ තිබුණාදැයි සැක සහිතයි.

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන

Sunday, 25 June 2017

සුද්දි නගේ නුඹෙ හිනාව....


කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ //

වක්කලමේ තොටමුණ ලඟ දිය රල සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේ
ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ //

කුඹුක් ගහේ...

උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණම ඇයි හොඳ නැතිවද නගේ
හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ //

කුඹුක් ගහේ...




කිහිප විටක්ම මේ ගීතය ශ්‍රවනය කර ඇතත් සමහර ගීත මෙන් මේ ගීතය පිලිබඳ එක වර සිත ඇදී ගොස් නොතිබුණි. වෙනත් ගීතයක පදවැල් සොයන අතරේ මේ ගීතය හමු විය. පදවැල කියා වූ සැනින් ගීතය පිලිබඳ ඇති වුයේ ඉතාමත් සොම්නස් සහගත හැඟීමකි. ගීතයේ අදහස කියා පැමට යොදා ගත් පාරිසරික සාධක ඉතා මනරම්ය. වචනයෙන් වචනයට පේලියෙන් පේලියට රචකයා ස්වභාව චමත්කාරය සමග ගෙන එන උපමා රූපක අපුරුය. ඇත්තෙන්ම සුද්දී නගාට මේ ගීතයේ කියන දේ වැටහ ගනු හැකි වන්නේ මේ පරිසරයේ චමත්කාරය  හා සිංහල සාහිත්‍ය පොත පත විඳ ඇත්තම් පමණි.
කුඹුක් ගස් වැඩෙන්නේ ගංගා ඉවුරුවල. අඩි 50-60 පමණ උස යන කුඹුක් ගසේ මල් පිපින්නේ එක කාලයකට. ඒ බොහෝ විට අවුරුදු කාලයට වගේ. මල් පෙනුමෙන් කුඩා නමුත් එක ඉත්තට පිහිටීම නිසා මල් පිපෙන කාලයට කුඹුක් ගස් හරියට මල් රෙද්දකින් වැසිලා වගේ. මේ මල් වලට පොරකන බඹරු නර්තනයක් ඉදිරිපත් කරනවා හා සමානයි. කුඹුක් මල් වල බඹරු නටනවා පමණක් නොව තිඹිරි ගෙඩි රතු පාටට ඉදී අතු නැමිලා ඇත. සිංහල කවියා රත් පැහැ ගැන්වුණු තිඹිරි ගෙඩි උපමා කරනුයේ නව යොවුන් කාන්තාවන්ගේ පයෝදර වලට. පරාභව සුත්‍රයේ එක තැනක කියෙවෙනවා 'වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන..' (https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA). මේ සියළු පාරසරික කාරනා අතර ඔවුන් නොවුන් හඹා යන සමනළ රංචුවක් සේ සිත ඒ මේ අත දුවනවා. එත් ඒ සිත, ඒ දණ්ඩකින් යනවා වගේ ඒ මේ අත වැනෙන සුළුයි. ඒ උනාට සුද්දී නගා ගේ සිනාහව ඉද්ද කැකුලක් වගේ. ඉද්ද පොහොට්ටු පිපෙන්න පෙර ඉහලට ඉස්සිලා තියෙන්නේ. හරියට ආඩම්බර කමට උඩ බලාගෙන ඉන්නවා වගේ. වගේ තමයි සුද්දී නාගගේ හිනාවත්. එය අලංකාරයි. නමුත් ඒ හිනාව කිසිම සුබදායක ඉඟියක් දෙන්නේ නැහැ කතානායකයට.

කුඹුක් මල්
(https://apeosupela.blogspot.com.au/
2014/09/terminalia-arjuna.html)
තිඹිරි
(http://rasikalogy.blogspot.com.au/2017/04/blog-post.html)


ගඟක් නැමෙන තැන තමයි වක්කලම නිර්මාණය වෙන්නේ. වක්කලම බොහෝ විට ගඟේ ගැඹුරු ස්ථානයක්. මේ නිසා තමයි මිනිස්සු තොටමුණ වක්කලමේ නිර්මාණය කරන්නේ. සුද්දී නගා නාන්න එන්නේ මේ තොටුමුණට. අපේ කතා නායකයා කියන්නේ තොටුමුණ ළඟ දිය පාර සැර නැහැ. ලංකාවේ ගැමියන් බොහෝ විට කියන දෙයක් තමයි දිය පාර සැර නැති නම් ගඟ ගැඹුරුයි කියලා. ඒක නිසා සුද්දී නගාට හදිස්සි වෙන්න කාරනවකුත් නැහැ.ඒ එක්කම ගහල වැලේ මල් පිපිලා එකෙන් මුවාවෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා. හරියට ආරුක්කුවක් වගේ. කාටවත් පෙන්නේ නැහැ. මට නම් ගහල කිව්වම මතක් වෙන්නේ හබරල කොලය වගේ ගහක්. අල බහින්නේ පොළවේ නේ. එකේ පිපෙන්නේ එක මලයි එක ආරුක්කුව වගේ නැමුනත් මේ කියන කතන්දරයට සමීප නැහැ. මේ කතා කරන්නේ 'වැල් අල' ගස් ගැන වෙන්න ඇති. එකේනම් මල් පිපෙනවා විශාල ලෙස. නමුත් සුද්දී නගා යනවා බිම බලාගෙන ලජ්ජාවෙන් මුණ රතු කරගෙන. කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ කතා නායකයට.

ඉලුක්
(http://savi.lk/ඉලුක්/)
අවසන් පදවැල් කිහිපය හරියට සුද්දී නගා ගෙන් බලාපොරොත්තුවන පිළිතුර නොලැබෙන නිසා ඇතිවන නෝක්කාඩුවක ස්වරුපයක් ගන්නේ. සුද්දී නගා උන පඳුරේ සිලි සිලි හඬත් සමග මුමුනන සිපදය ඔහුට පමණක් අසුනාම තියන වැරැද්ද මොකද්ද කියලා අහනවා. එසේම ඔහු කියනවා වෙන කාගේවත් හිතකට මේ වගේ එබිකම් කරලා නැහැ කියලා. අවසානයේ කියන්නේ ඔහු ගේ හිත නමැති ඉවුර ළඟ ඉලුක් මලක් වෙන්න එපා කියලා. ඉලුක් ගහ තණකොළ ගහ වගේ ටිකක් විශාලයි. එකේ මල සිහින් දිගටි මලක්. නමුත් පොඩි සුළඟකට පවා මේ මල විසිරිලා යනවා. කතා නායකයාගේ සිත් ඉවුර අසබඩ ඉලුක් මලක් වුනොත් සුද්දී නගා, වැඩි කාලයක් නොගිහින් සුද්දී නගා ගැන සිතුවිලිත් ඉලුක් මල වගේ විසිරිලා යාවි. ඒ නිසයි සුද්දී නගා ට කියන්නේ ඉලුක් මලක් වෙන්න එපා කියලා.

සුනිල් එදිරිසිංහයන්ගේ සුනිල්වන් හඩින් රසවත් වෙන්නේ  අබ්දුල් කේ. සාදික්  ගේ පදවැල සමගින් දර්ශන රුවන් දිසානායකගේ සංගීතය. සුනිලයන්ගේ හඬ ගැන තවත් විශේෂණ උවමනා නැත. ඔහු උපරිමන්න්ම ගීතයට සාධාරණය ඉටුකරයි. මට මතක ඇති ආකාරයට මේ දර්ශන රුවන්ගේ පළමු ගීත නිර්මාණ වලට එක් වන ගීතයක්. ඔහුටම අවේනික වුණු විවිධ සංගීත හඬ (භාණ්ඩ) බොහොමයක් නිර්මාණවලට එක් කර ගැනීම මෙහිදීද සිදුවී ඇත. නමුත් එය මෑත යුගයේ ඔහුගේ නිර්මාණ වන 'මට මගේ නොවන ආදරයක්' හා 'මේ තරම් සියුමැලිද කළු ගල්..' වැනි ගීත තරම් දුරට භාවිත කර නැත. අබ්දුල්  සාදික් යොදාගෙන ඇති බස හා උපමා රූපක ආදිය සහ පාරසරික ලක්ෂණ ඔහු කෙතරම් ලාංකික භුමිය සමග සංයෝජනය වී ඇති අයුරු මොනවට කියා පායි. ඔහුගේ නිර්මාණය තුල ඔහු දකින පාරිසරික ලක්ෂණ, දාර්ශනික තලයකට ගෙන යයි. එසේම පදවලට නැගුනු මේ නිමිත්ත සමගින් ඔහු කෙතරම් සිංහල සමාජය සමග බද්ධ වී ඇත්ද යන්න සිතා ගත හැක. ඇත්තෙන්ම අබ්දුල් සාදික් ගේ නම මුස්ලිම් වුවාට ඔහුගේ නිර්මාණය නම් සමහර සිංහල නිර්මාණකරුවන්ගේ ගීත වලට වඩා සුභාවිත සිංහලය.

Thursday, 2 February 2017

SAITM නඩුවෙන් වත් ඉගෙන ගනිමු....

අධිකරණය SAITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන තීන්දුව දී අවසානය. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන හොඳ හෝ නරක ගැන දැන් ඕනෑවටත් වඩා කතා කර ඇත. නමුත් අවසාන ප්‍රථිපල ය වුයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පිළිගන්නා ලෙස අධිකරණ නියෝගය ලබාදීම ය. මෙය ඉහල උසාවියකදී අභියෝගයකට ලක් විය හැකිය. එවිට මේ තීන්දුව වෙනස් වීමටද පුළුවන. නමුත් මෙහෙමෙ වූ යේ ඇයි.

අපි විශිෂ්ට ඉතිහාසයක් හා සංස්කෘතිය කට උරුම කම් කීවද අපගේ චින්තනය පසුගාමිය. සැබවින්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලංකාව තුල ඇරඹීමට තිබුනේ මීට වසර තිහකට පමණ පෙරය. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නැවතුනේ විශාල ලේ ගංගාවක් සමගනි. ලංකාව වැනි රටක රජයකට අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු සමජ අවශ්‍යතා තනිව කල නොහැක. රජයක් ආදායම් ලබන්නේ බදු, දඩ හා භාණ්ඩාගාර බිල්පත් විකිනිමෙන්ය. එසේ නොමැති නම් රජය ලාභ ලැබීම උදෙසා ව්‍යාපාර වල යෙදිය යුතුය. උදාහරණ ලෙස ගුවන් සේවා, වරයා හා නාවික කටයුතු, රක්ෂණ ආදිය සැලකිය හැක. ව්‍යාපාර වලදී ලාභය මුල් තැන දුන්නද රජයක් ව්‍යාපාර කිරීමේදී මුල් තැන ලැබෙනුයේ සේවක අභිවෘධිය ය. මේ නිසා ව්‍යාපාර වල තරගයක් ලබා දීමට නම් විශ්ෂිත වූ කළමනාකරණය ක්‍රම උපයෝගී කර ගත යුතුය. නමුත් පසුගාමී රජයේ සේවක පිරිසක් සමග මෙය කිරීමට අපහසුය. පුද්ගලික අංශය ලාභය පරමාර්ථ කරගෙන වැඩ කරන නිසා සේවාව නිසි ආකාරයෙන් නොලැබෙනු ඇත.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව පුද්ගලික අංශය දායකත්වය දෙන අනෙකුත් සියලු සේවාවන්ද පුද්ගලික අංශයට ලබා දුන්නේ නියමිත කාල වකවානුවේ නොවේ. උදාහරණ ලෙස ප්‍රවාහනය, පාසල් අධ්‍යාපනය, රෝහල් සේවය සැලකිය හැක. නියමිත කාලයේදී රජය විසින් නිසි ප්‍රතිපත්ත්මය තීරණයක් ගත්තේ නම් පුද්ගලික අංශය නියාමනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් යොදා ගැනීමට හැකියාවක් තිබුණි. දැන් බස් මුදලාලිලා සතුය. පාලනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නැත. හරි හමන් සේවාවක් ලැබෙන්නේද නැත. පාසල් ද මුදලාලිලා සතුය. අනාගත පරපුර නිර්මාණය කරන්නේ ඔවුන්ය. ඒ ඔවුන්ට ඕනනේ ආකාරයටය. රෝහල් ද මෙසේමය. මොන දොස්තරද, මොන බෙහෙත්ද යන්න තීරණය කරනුයේ මුදලාලිය. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ පුද්ගලික අංශයට මේ සේවාවන් වලට ඇතුළු වීමට ඉඩ දුන්නේ නම් සපයන සේවාවේ ගුණාත්මක බව මිට වඩා තහවුරු කරගැනීමට ක්‍රම වේදයන් යොදා ගැනීමට තිබුණි. ඉහත සදහන් කර සේවාවන් පමණක් නොව අනෙකුත් පුද්ගලික අංශය සම්බන්ධ සේවාවන් වලටද පුද්ගලික අංශයට එක්වන්නට ලැබෙන්නේ ඒ සේවාව නිසි ආකාරයට සැපයීමට රජයට නොහැකි අවස්ථාවට ලඟා වූ විටය. ව්‍යාපාරිකයන් පැමිණෙන්නේ බොර දියේ මාළු බැමටය. එවිට 'උන්නා විදිහට මලා මදැයි' කියන්නා සේ මුදලාලිලා පැමිණ මඩිය තර කර ගනී.

මට මතක ආකාරයට නිසි කාලයේදී පුද්ගලික අංශයට සම්බන්ධ වීමට ලැබුණු එකකි IT degree ලබා දීම. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ICT ආයතනය BIT ආරම්භ කර අතර ඒ සමග තව ආයතන ගණනාවක් IT උපාධි ආයතන ආරම්භ කරන ලදී. මුල් කාලයේදී ඒවායේ ගුණාත්මක බව ගැන ප්‍රශ්න තිබුනද දැන් එම ආයතන වලින් උපාධි ලබාගත් බොහෝ පිරිස් විවිධ ආයතන වල රැකියා කරයි. එදා මෙන්  IT උපාධිය කොළඹ හා මොරටුව විශ්විද්‍යාලය වලට පමණක් සිමා වුයේ නම් ලංකාවේ IT ක්ෂේත්‍රය අද විශාල අර්බුදයකට පත්වනු ඇත. තවමත් පුද්ගලික උපාධි ආයතන නියාමනය කිරීමට ප්‍රමාණවත් ආයතනයක් හෝ  ක්‍රමවේදයක් නැත. විශ්ව විද්යාල කොමිෂන් සභාව උපාධිය නියාමනය කලත් ආයතනික වශයෙන් සිසුන් ප්‍රමාණය, අවශ්‍ය පහසුකම්, මිළ, විෂය මාලා ගැන සොයන්න කිසිවෙක් නැත. ඒ උපාධි ආයතනය වල ගුණ අගුණ ගැන දැන ගන්න ලබනුයේ ඊට පෙර ඉගෙන ගත සිසුවෙකුගෙන් හෝ එම ආයතන විසින්ම සපයන තොරතුරු වලින් පමණි.

මේ  නිසා බොහෝ විට අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර සඳහා වෙනත් මොඩලයක් යොදා ගත යුතුය. සමහර රටවල රජය සමග එක්වී පුද්ගලික ආයත මේ ක්ෂේත්‍ර වල ක්‍රියා කරන අතර තවත් රටවල ලාභ නොලබන ආයතන (not-for-profit) ලෙස ක්‍රියා කරයි. මෙහිදී සේවකයන්ට වැටුප් හා  අනෙකුත් දීමනා නිසි පරිදි ලැබෙන අතර, අයතනයේ නඩත්තු කිරීම සඳහා සේවාවට යම් මිලක් නියම කරයි. ඉතිරි වන මුදල්ද යොදවනුයේ ආයතනයේ උන්නතිය සඳහාය. මේ ක්‍රමය මගින් ලෝකයේ විශ්ව විද්‍යාල සීග්‍ර දියුණුවක් ලබාගෙන ඇත. ඔවුන් ශිෂ්‍යයන්ගෙන් මුදල් ය කරයි. කථිකාචාර්ය වරුන්ට  හා සේවකයන්ට වැටුප් ගෙවයි. විවිධ පර්යේෂණ සඳහා මුදල් යොදවයි. විශ්ව විද්‍යාලයේ සියළු බරපැන ඔවුන් විස්න්ම සොයා ගත යුතුය. විශ්ව විද්‍යාලයේ ranking වගේම උපාධියේ මිලද ඔවුන් තීරණය කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හා රජයට මිට කාලයකට ඉහතදී තිබුනේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට අවශ්‍ය නිර්ණායක ලබා දීමය. එවිට ඒ අවශ්‍ය කාරනා සපුරන ඕනෑම කෙනෙකුට හෝ ආයතනයකට වෛද්‍ය විද්යාල ආරම්භ කල හැක. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය දැනුනු විට එය ආරම්භ කිරීමට මාන බලන්නේ ව්‍යාපාරිකයන් ලාභය සඳහා මිස ගුණාත්මක බව රැකීමට නොවේ. පුද්ගලික බස් සේවාව මගින් ප්‍රවාහන සේවයට ලැබුණු දෙයම පුද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා සෞඛ්‍ය සේවයට ද ළඟදීම ලැබෙනු ඇත.  එපමණක් නොව ඉදිරියට පුද්ගලික අංශයට ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථා ලැබේ යි අනුමාන කල හැකි දුම්රිය සේවයටද සිදුවන්නේ මේ නැස්පත්තියමය. දැන්වත් 'මට නැති නම් උබටත් නැහැ..' සංකල්පයෙන් මිදී වඩා පුළුල් මනසකින් ප්‍රශ්න දෙස බැලීමට සිතන්නේ නම් යහපත්ය.