Sunday 16 March 2014

සුළං රොදක් සේ නොසිතු මොහොතක.....

මා මේ ගීතය ගැන  ලියන්නට පටන් ගත්තේ, එය අසා මාස තුනක් පමණ පමණ ගත වූ පසුය. මේ ගීතය ගැන කුමක් ලියම් ද? සත්තකින්ම මා විඳි දේ ගැන ලිවිය යුතුද? නැති නම් ගීතය ගැන ලිවිය යුතුද? දහසකුත් සිතුවිලි හා ප්‍රශ්න මගේ මනසේ හොල්මන් කර අවසානයේ සිදු වුයේ කිසිම වැදගත් කමක් නැති සටහන් කිහිපයක් තැබීම ය. එය ලියා, මකා, නැවත ලියා එතැනින් මෙතනින් වචන එක් කර ලියු පල් හෑල්ලකි. මේ ගීතය ගැන යම්කිසි කෙළවරකට පමුණුවා අවසන් අවසන් කල යුතුය. එහෙත් කිසි විටක එවැනි කෙළවරකට පැමිණ නොහැක.

මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ 'මළගිය ඇත්තෝ' හා 'මළ උන්ගේ අවුරුදු දා' මේ ගීතයට නිමිත්ත වී ඇති බව පැහැදිලිය. මෙහි කථනය, ගායනය, පද රචනය හා සංගීතය කවුරුන්ද යි මම නොදනිමි. අනුමාන ලෙස කථනය මහාචාර්ය සරත් විජේසුරියත්, ගායනය අප්සරා ද සිල්වා, පද රචනය චාරුක සුරවීර සහ සංගීතය ප්‍රියන්ත ඩිරේක්ස්  ගේ යයි සිතමි. අසා ඇති දහස් ගණන් ගීත අතර මේ ගීතය තුළ වෙනසක් අත් විදීමේදී පවා, මා එහි නිර්මාණ කරුවන් කවුරුන්ද යන්න නොසේවිම ට තරම් නරුම වී ඇත.


සිංහල ගීතයේ මා බලාපොරොත්තු වන 'වෙනස' පිලිබඳ ගොඩ නැගුනු විවිධාකාර කතා මත හා අදහස් , මා සිත තුළ ඒ මේ අත දෝලනය වේ. වීජ ගණිත සමිකරණක් සේ  මා සොයන 'වෙනස' මෙන්න මෙය යි අර්ථ දැක්විය නොහැකිව ඒ මේ අත පැද්දෙන කල්හි මේ ගීතය මා සොයන 'වෙනස' පිලිබඳ ඉඟියක් ලබා දුන්නා යි කිවොත් පරම සත්‍ය යි සිතමි. ගීතයේ සංගීතයට යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ගණන සීමිතය. එමගින් 'මළ ගිය ඇත්තෝ' සහ 'මළ උන්ගේ අවුරුදු දා' කතාවේ ඇති සරල බව විදහා පායි. ගීතයේ අතරමග දිවෙන කථනය කතාවේ දාර්ශනික බව ඒත්තු ගන්වයි.

මම නැවතත් 'මළ ගිය ඇත්තෝ' සහ 'මළ උන්ගේ අවුරුදු දා' කියවීම ආරම්භ කලෙමි.

සුළං රොදක් සේ නොසිතු මොහොතක
මිදොරී අවන් හල පැද්දෙන දොර අතරින්
දෙවෙන්දොරා සං අතරමන් ව ඔබ අවා
සුලන් රොදක් සේ ඔබ අවා
දෙවෙන්දොරා  සං අතරමන් ව ඔබ අවා

දෙවෙන්දොරා  සං මිදොරි අවන් හලට ඇතුළු වන්නේ සුළගක් මෙනි. නොරිකෝ සං එය හඳුන්වන්නේ 'ඵාත්' යනුවෙනි. දෙවෙන්දොරා  සං දෙතුන් වරක් ඔබ මොබ ඇවිද හදිස්සියේ ඇතුළු  වන්නේ අතරමං වූ පුද්ගලයෙකු මෙනි. මෙය සුළගක් ඇතුළු වන්නා සේය. එසේම දෙවෙන්දොරා  සං, නොරිකෝ සං ගේ ජීවිතයට ඇතුළුවන්නේ සුළගක් ලෙසය.

තතම් පැදුර මත දනින් නැමී
සියුමැලි අනාථකෙල්ලෙකු සේ
ඔබ ද  නැමී
එනමුදු හඳුනා ගනු බැරි වී
ජීවිතයෙන්.... ජීවිතයෙන්
පැන යන්නට  ගිය දා
නේබුරු දොඩම් බිගක්  තොල රැද වූ
මා සිහිවෙද කවදා

මළ ගිය ඇත්තෝ සහ මළ උන්ගේ අවුරුදු දා නවකතා දෙකෙහිම මිනිස් සිතේ තිබෙන්නා වූ ව්‍යාකුල බව හා එම නිසා එකිනෙකා තේරුම් නොගැනීම ඉතා අගේට ගොතා තිබේ. ජපන් සංස්කෘතියේ සංකේතයක් බඳු තතමි පැදුර මත දන නමා නොරිකෝ සං ආචාර කරනුයේ දෙවෙන්දොරා සං ව තේරුම් ගත නොහැකිවය. දෙවෙන්දොරා සං ද එසේමය. නොරිකෝ සං තේරුම් නොගත් අවස්ථා බොහෝය. දෙවෙන්දොරා සං දෙවන වර තොකියෝවට පැමිණ නවතිනුයේ නොරිකෝ සං ගේ ගෙදරය. හරි හැටි නොරිකෝ සං ව ත්රුම් නොගත් දෙවෙන්දොරා සං සියදිවි නසා ගැනීමට නිදි පෙති ගනී.   එහෙත් ඔහු එවර මිය නොයයි. නොරිකෝ විසින් නෙබුරු දොඩම් බිකක් ඔහු ගේ කටට දමන්නේ මේ අවස්ථාවේදීය.

ඉක්මනින්ම යලි එ නම්
මළ උන් ගේ අවුරුදු දා
මලගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
තමබොචි සොහොන් බිමේදී
සුවදැති මලක් ඇත රදවා
මළ උන් ගේ අවුරුදු දා
යලි හමු වේවා සයෝනරා
යලි හමු වේවා සයෝනරා
යලි හමු වේවා සයෝනරා

ජීවිතයේ ඇත්තේ යාම් සහ ඒම් ය. නොගොහින් එන්න බැරිය.ඉක්ක්මනින් ගියහොත් ඉක්මනින් පැමිණිය හැක. දෙවෙන්දොරා සං අවසානයේදී ජීවිතයෙන් සමු ගත්තේය. නොරිකෝ සං බලා සිටුනුයේ මළ උන්ගේ අවුරුදු දා එනතෙක්ය. එවිට ඇය ට ද මළ උන් සමග දෙවෙන්දොරා සං මිහිදන් කර ඇති තම පවුලේ සොහොන් බිම වන තමබොචි සොහොන් බිමට යා හැක.

මළ උන්ගේ අවුරුදු දා මා කියා වුයේ විදුලි දුම්රියේ යන අතර තුරේදී ය. විවිධා කර හැල හැප්පීම් සමග ගෙවන ජීවිතයේ මම කුමක් හේතුකොට සතුටු වන්නේද එසේ නැමති නම් දුක් වන්නේද යන උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිව සිටිමි. නිරානන්දයෙන් ගෙවන මේ ජීවිතය හා දෙවෙන්දොරා සං ගේ ජීවිතයේ ඇති සමාන කම් මා මනසින් මෙනෙහි කරන්නට විය. එක වර මට නොරිකෝ සං මතක් විය. මම හිස ඔසවා බැලුවෙමි. දහසකුත් චීන හා කොරියානු යුවතියන් අතර මා නොරිකෝ සං සොයන්නට විය. ක්ෂණයකින් නොරිකොගේ වැනි රුවක් දිස් විය. ඇය ගේ නළල විශාලය. ඇස්, නාසය සහ කට කුඩාය. යටි තොල තරමක් විශාලය. මම ඈ දෙස නෙත් යොමාගෙන සිටියෙමි. එක් වර ඈ, මා දෙස බැලුවාය. අප දෙදෙනාගේ නෙත් එකිනෙකට ගැටුණි. මා ඇය සමග සිනාසුනි. ඈ අහක බලා ගත්තාය.

https://www.youtube.com/watch?v=TdJM1rFVVmE

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.