Tuesday 28 October 2014

මහින්දට තුන්වරක් බැරි උනොත්...

'මහින්දට තුන් වරක් බෑ' යනු දැන් ප්‍රකට මාතෘකාවකි. ජනතා විමුක්ති පෙරමුණ කාරනා තර්තිකය. ප්‍රධාන වශයෙන් ඔවුන් කරුණු දෙකක් ගැන සාකච්ඡා කරයි. පළමු වැන්න ජනාධිපතිවරණයක් කැඳවීම නීති විරෝධී යන්න ය. දෙවැන්න මහින්ද තෙවන වර ජනාධිපතිවරණයට ඉල්ලීම නීති විරෝධී බවය. මේ කාරනා දෙකටම පක්ෂව හා විපක්ෂව කරුණු දැක්විය හැක.කෙසේ වෙතත් ප්‍රායෝගිකව සියල්ල මහින්ද ට පක්ෂව සිදුවීමට ඇති අවස්ථා බහුලය.

 ජ.වී.පෙ. කාරනා දෙකෙන් මුලින්නම පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමේ කාරණාවය. මෙලෙස දෙවන ජනාධිපති ධුර කාල සීමාව වසර හතරක් ගිය පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කලොහොත්, එයට විරුද්ධව නිතිය හමුවට යායුතුය. බොහෝ විට ජ.වී.පෙ. සහ තනි පුද්ගලයින් වශයෙන් ඔවුන් අධිකරණයට යාවි යි සිතිය හැක. මෙහිදී චෝදනා එල්ල වනුයේ මහින්දට නොව මැතිවරණ කොමසාරිස් තුමාටය. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම වැරදි/නිවැරදි විය හැක. මෙය බොහෝ විට නිවැරදි විය හැක. අහම්බෙන් හෝ වැරදි වූ හොත් කුමක් සිදුවේද?

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වන්න සිහින මවමින් සිටින රනිල් ප්‍රමුඛ එ.ජා.ප. යට පළමුව වෙන අතක් සොයා ගතයුතුව ඇත. මන්ද ජනාධිපතිවරණයකට ඔවුන් මේ අවස්ථාවේදී කැමති බව හා ව්‍යවස්ථා විරෝධී නොවන බව ඉඟි කර ඇති නිසාය. නිතිය ඉදිරියට ගිය පුද්ගලයින් කෙසේ වෙතත් ජ.වී.පෙ මෙය ඔවුන්ගේ ජයග්‍රහණයක් බවට පත්කරගනු නොවනුමානය. මහින්ද ගේ රජය ප්‍රමුඛ මාධ්‍ය ජනතා කැමැත්තට නිතිය මගින් ඉඩ අහුරුණු බව මහජනයාට ඒත්තු ගන්වන්නට ක්‍රියා කරනු ඇත (සමුර්ධිපනත සේ). එසේම විනාශ වී යන ජනප්‍රසාදය නැවත ඇති කර ගැනීම සඳහා ජනතාවට දැනෙන ආකාරයේ අල්ලස් හා දුෂණ විරෝධී ක්‍රියාවන්, යහ පාලනය ඇති කිරීමේ උවමනාවන් පෙන්නුම් කරනු ඇත. සමහර විට රතන හාමුදුරුවන්ගේ ව්‍යවස්ථා සංශෝධන ඒ ආකාරයෙන්න්ම කෙසේ වෙතත් මහින්දට ගැලපෙන ආකාරයට සකස් කර අනුමත කරනු ඇත. සමහර විට මහා මැතිවරණයකට යාමටද පුළුවන. එවිට සන්ධාන ගතව සිටින සියළු ආණ්ඩුවේ පක්ෂ එකාමෙන් තම මන්ත්‍රී ආසනය රැක ගැනීමට වෙහෙස වී ක්‍රියා කරන අතර, 2/3 බලයක් කෙසේ වෙතත් එක් ආසනයකින් හෝ දෙකකින් ආණ්ඩු බලය රැකෙවියි යි සිතිය හැක. එසේ නොවුනත් සුළුතර බලයකින් එ.ජ.ප. ප්‍රමුඛ කණ්ඩායමක් පාර්ලිමේන්තු බලය ලබා ගත හැක. නමුත් ජනාධිපති මහින්ද වන අතර, වසරක් ඇතුලත් ඒ ආණ්ඩුවට සියළු බාධක පමුණුවා නැවත මැතිවරණයකට ගොස් සන්ධාන රජයක් පත් කර ගැනීමට අවස්ථාවක් ඇත (චන්ද්‍රිකාත්  කරා නම් මහින්ද වඩාත් පහසු ලෙස එය කරනු ඇත). එසේ වුහොත් ඒ  ජනප්‍රියතාවය සමග මහින්ද නැවත වරක් ජනාධිපති විය හැක. මේ සියල්ලම සිදු නොවුනොත්, මැතිවරණ කාල සිමා සියල්ල උල්ලංඝනය කර අන්ත දරදඬු පාලනයකට යා හැක. මෙසේ බලන කල 'යකා' එළවිය යුතු නම්, එලෙස එළවීමට ලැබෙන පළමු අවස්ථාවම මග හැරුනොත් නැවත අවස්ථාවක් නොඑනු ඇත.

යම් හෙයකින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම නිත්‍යානුකුල වුහොත් (බොහෝ විට එය එලෙසෙම වේ) මහින්ද නාමයෝජනා ඉදිරිපත් කරයි. එසේනම් එය ව්‍යවස්ථා විරෝධී යි පවසා නැවත උසාවි යායුතුය. කලින් උපකල්පනය කල පරිදි මහින්දට පක්ෂව තීන්දුව ලැබිය හැකි නමුත් යම් හෙයකින් විරුද්ධව ලැබුනා යි සිතමු. අනිවාර්යෙන් සන්ධානය වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතුය. බොහෝ විට ඔවුන්ගේ තෝරා ගැනීම ගෝඨාභය විය හැක. එසේ වුහොත් තත්ත්වය ඉතා බරපතලය. රාජපක්ෂ වරුන් අතරින් වඩාත් ජනප්‍රසාදය පවතින්නේ ගෝඨාභයට ය. එසේම ඔහු විසින් නිර්මාණය කරගෙන ඇති සිංහල බෞද්ධ බලවේග වලින් සිංහල බෞද්ධ ඡන්ද පදනම තව පුළුල් කරනු ඇත. සමහර විට යුධ ජයග්‍රහණ සමග 2005 දී  මහින්ද ලැබූ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය අතික්‍රමණය කිරීමට පුළුවන. සමහරවිට මහින්දට තුන් වරක් බැරි වීම රාජපක්ෂ වරුන්ට වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් විය හැක. කෙසේ වෙතත් ගෝඨාභය ජනාධිපති වුහොත්,මේ පවතින ක්‍රමයේ වෙනසක් නොවෙන අතර පාලනය හමුදාකරණය වීමක් සිදුවිය හැක.

බොහෝ විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යි පවසා ජ.වී.පෙ ඡන්ද වර්ජනයක නිරත විය හැක. එසේ වුහොත් 'හොර ඡන්ද' දැමීමේ අවස්ථාව ආණ්ඩුව පවරවා ගනු ඇත. මහින්දට අඩුවක් පවතින ඡන්ද ලක්ෂ 3-4 ප්‍රමාණය ලේසියෙන් පුරවනු ඇත. ජනාධිපතිවරණයක් කැඳවීම, හෝ මහින්දට තුන්වරක් බැරි වීම ව්‍යවස්ථා විරෝධී යන්න තාර්තික විය හැක. නමුත් ප්‍රායෝගිකව ඒ සටන කුමන ආකාරයකින්වත් ජනතා ජයග්‍රණයක් බවට පත් විය නොහැක.

Wednesday 22 October 2014

හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...

ජීවිතයේ නව යෞවන වියේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් නැවුම්ය. සුන්දරය. පිවිතුරුය. මා මුලින්නම මේ ගීතයේ ඇසුවේ මා නව යෞවනයෙකු ලෙස සිටි කාලයේදී ය. සිතේ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව ඒ හැගීම් තුලින්ම තමාම වින්දනය ලැබූ හෝ ලබන සිදුවීම් සත්‍යකින්ම යලි යලිත් මතක ආවර්ජනය තුලින් අපව අතීතයට ගෙනයයි. මේ ගීතය පුරාවටම තිබනුයේ ඒ දඟකාර නැවුම් ප්‍රේමයේ වින්දනීය පෙළහරය.
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී
මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී
හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී
හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්...
කිසියම් දිනෙක යුවතියෙකිගේ නිල් නුවන් ඉදිරියේ ප්‍රේමනීය සිතුවිලි දෝර ගලාවිත් ඇයගේ නමින් ඔබේ හදෙහි දොරටු විවර වුයේ නම් අමරසේන කන්කානම්ගේ මහතා කියන ස්වභාව සිරි ඔබත් දකිනු නියතය. හොරෙන් සිනාසිසී නිල් දිය මත පාවෙන සඳ, නීල වලාවන් තුලට ගුලිවන මල් සුවඳ, නුරාවෙන් වෙලෙන අඳුර මේ සියල්ලේ චමත්කාරය ප්‍රේමයෙන් මුසපත් වූ ආදරවන්තයෙකුට අරුමයක් නොවේ..
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළුවෙලා.........
මේ ගීත කාණ්ඩයත් සමග මට මැවෙන්නේ නුගේගොඩ ටියුෂන් පන්තියක මග දෙපසය. රංචු රංචු සුන්දර ගැහැණු ළමුන් පෙළ ටියුෂන් පන්තියට යන අතර තුර පිරිමි ළමයින් මග දෙපස ඔවුන් දෙස බලාසිටි. එලෙස යන ගැහැණු ළමුන්ගේ කිරි කවඩි සිනහවේ හඩෙහි ඉවරයක් නැත. මෙලෙස යන කෙල්ලන් අතර තම සිත් ගත් තැනැත්තිය ගේ රුව මතු වුහොත් සිත ගොළු වීම අරුමයක්ද?
ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ
රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්
ඔබ ළග නැවතිලා.................
තම සිත් ගත් තැනැත්තිය ගේ ස්ත්‍රී රූපය තුළින් ඔහුව ආකර්ෂණ කර ඇත. සංදේශ කාව්‍යයේ කාන්තාවකගේ පියයුරු සමකරන්නේ විලකින් ඉගෙලෙන්නට සුදානම් වූ හංස ජෝඩුවක් ලෙසටය. මේ හංස 'රැගුම' ඔහුව මන්මත් කර ඇත. ඔහු බලාපොරොත්තු වන්නේ තොලෙන් තොලට දී මේ සෙනහස පවතිය යන්නය. එය හුදෙක් රාගය සඳහා පමණක් ඇති වූ හැඟීමක් නොවේ. සතුට ගෙනා සිත ඇය ලඟම නවතින්නට තව හේතු කාරනා අවශ්‍ය නැත.
පදමාලාවට අමතරව මේ ගීතයේ ගායනයත් සංගීතයත් ගැන කිසිවක් නොකීවොත් එය මුළු ගීතයටම කරන අසාධාරණයකි. මා හට හැගනුයේ මේ ගීතය ගායනය කිරීමට ඒ අවධියේ සිටි සුදුසුම පුද්ගලයා එඩ්වඩ් ජයකොඩි යන්න ය. ඔහුගේ හඬ ලාලිත්යෙන් පරිපුර්ණය.ප්‍රේමන්විතය. නව යෞවනයේ හඬය. මුළු ගීතය පුරාවටම නොඉවසිලිවන්ත ප්‍රේමාන්විත යෞවනයාගේ හදවතේ රිද්මය, ඔහුගේ ගායන රිද්මය සමග එක්ව ගමන් කරයි. රෝහණයන් ගේ සංගීතය පුරාවටම මෙලෙස ප්‍රේමයෙන් මුසපත්ව ඉගිලී යන සමනලයෙකුගේ විලාසය පෙන්න්නුම් කරයි. නමුත් ගීතයේ පද ගායනයේ දී, තබ්ලාව වැයෙන හඬින් ඒ හැගුම් නිසා සිතේ ඇති බර විදහාපායි.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.