Monday 23 December 2013

ඉන්ද්‍රානි - වසන්තයේ මල් කැකුලකි

ඉන්ද්‍රානි පෙරේරා සිංහල ගීතයේ අසම සම ගායිකාව යි මම කවදාවත් නොකියමි. එහෙත් ඇයගේ කටහඬ අසම සම යයි පැවසීමට බිය නොවෙමි.

සිංහල ගීත ඉතිහාසයේ කලින් කල වැජඹුන ගායිකාවන් ගණනාවක් සිටි. රුක්මනී දේවිය ගේ සිට ලතා/ඇන්ජලින්/ නන්දා මාලනී මින් කිහිප දෙනෙකි.  තවද චන්ද්‍රලේඛා, දීපිකා ආදී  ගායිකාවන්ද සිංහල ගීතයට එක් කල නිර්මාණ අති විශේෂය. මෙසේ කී නොකී බොහෝ ගායිකාවන්ගේ කටහඬ මිහිරිය. කෙනෙකු මුසපත් කල හැකි කටහඩක් මේ සෑම ගායිකාවකටම ඇත. ඉන්ද්‍රානි ගේ කටහඬ මේ සෑම කටහඩකටම වඩා සුවිශේෂිය. මේ සුවිශේෂී බව නම් එහි ඇති cheerful බවය. සැබවින්ම අනෙකුත් ගායිකාවන් අභිබවා යන සතුට ප්‍රීතිය උතුරා යන සොම්නසින් පිරී ගිය කටහඬක් ඇයට සතුය.

ඉන්ද්‍රානි සැබවින්ම 'Product of Clarence'යි කිවොත් නිවැරදිය.  ක්ලැරන්ස් ගේ ගීත චාරිකාවේ එක් එක් කාලවලදී විවිධ ගායිකාවන් සිටියද ඉන්ද්‍රානි තරම් එය වර්ණවත් කල තවත් ගායිකාවක් නැති තරම්ය. ක්ලැරන්ස් ට පමණක් හසුඋනු අනිත් බොහෝ නිර්මාණ කරුවන් නොදුටු ඒ සුවිශේෂී ගුණය කුමක්දැයි මට තවමත් ප්‍රෙහෙලිකාවකි. මා සිතනුයේ මුලින් සඳහන් කල කටහඬේ ඇති cheerful බවය.

'වසන්තයේ මල් කැකුලයි..' ගීතයේ 'හා... හා හා..හ්ම්..හ්ම්...'යි ගයන කොටස මා සඳහන් කරන cheerful බව සඳහා ප්‍රමාණවත්ය. එච් ඩී  ප්‍රේමරත්නයන්ගේ  'සිකුරුලියා' චිත්‍රපටයේ සුවිනිතා විමලවීර රඟන 'නාමලී' ගේ චරිතය කෙතරම් කෙළිලොල් නිදහස් ප්‍රීතියෙන් පිරී එකක්දැයි පැවසීමට මේ ගීතය ප්‍රමාණවත්ය. පෙම්වතා එනතුරු බල සිටින යුවතියකගේ සිතේ පවතින දෙගිඩියාවට වඩා එහා ගිය බලාපොරොත්තුව, සතුට, දඟකාරකම ගෙනෙන්නේ ඉන්ද්‍රනිගේ කටහඬ ය.

ඉන්ද්‍රනිගේ ම ගීතයක් වන 'පවුරු වළල්ලක් බැඳලා...' ගීතයද මා සඳහන් කල ඉහත කටහඩේ ගුණය විදහා දක්වන තවත් ගීතයකි. පවුරු වළල්ලක් බැඳ තිබුනද එය බිඳ ගෙන එන බව දනවන සොම්නස් සිතුවිල්ල අපට හඟවන්නේ ඉන්ද්‍රනිගේ කටහඬයි.

නොයෙකුත් සංගීත තරඟ වල ප්‍රවීන ගායිකාවන්ගේ ගීත ගායනය කරනවා අසා ඇත්තෙමු. සමහරු ප්‍රවීනයන්ගේ කටහඬ අනුකරණය කරයි. සමහර අවස්ථා වලදී එය සාර්ථක වේ. නමුත් ඉන්ද්‍රනිගේ ගීත ගායනය අනුකරණය කිරීමට උත්සහා කරනවා මා කිසි විටෙක දැක නැත. සැබවින්ම ජෝතිපාලගේ කටහඬ සේම ඉන්ද්‍රනිගේ කටහඬ ද ඇයට පමණි.

වසන්තයේ මල් කැකුලයි 
දසන්තයේ නලරැල්ලයි 
මගේ ගෙලේ හර සොල්ලයි 
ඔබේ නෙත් කැලුම් ඉල්ලයි 
අදත් මගේ අතින් අල්ලයි 

ගලින් ගලට පැන දිදුලන පෙණ කැටි මත්තේ 
මලින් මලට ඉගිලෙන සමනල තටු මත්තේ 
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ 
බලා සිටින්නෙමි තවමත් අයි ඔබ නැත්තේ 

ඈත මග දිහා බලලා නෙත කකියනවා 
සිතේ කාන්සිය හා මට තරහත් එනවා 
පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉන්දින්නම් හෙට 
ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්


http://www.youtube.com/watch?v=CGNhj30shK4

Wednesday 18 December 2013

මගේ පෙත්තෝ...

අපේ මාමාලගේ ගෙදර පටි වාදන යන්ත්‍රයක් තිබුනා . එහි ගිය විට මේ මැජික් යන්තරය ක්‍රියා කරනවා බලන්න පුදුම ආශාවක් අපිට තිබුනේ... ඉතින් කොහොම හරි මාමට ඇවිටිලි කරලා මොකක් හරි පටියක් වාදනය කර ගැනීම තමයි අරමුණ. එදා වාදනය කරේ මේ මම කියන ගීතය.. පොඩි වෙලාවයි ගියේ නැන්දාගේ ගෝරනාඩුව පටන් ගත්තා... "මොනවද මේ පොඩි ළමයින්ට අහන්න දාන්නේ.." කියලා පටන් ගත්තු ඒ විධානය අපේ අවශ්‍යතාවය නැවැත්තුවා... එතනින් පසුව අපිට රසවිඳින්න ලැබුනේ නැන්දාගෙයි මාමගෙයි වාද බයිලාව.. කොහොම හරි මතකේ රැඳුනේ 'තණකොළ පෙත්තා', 'වරකා මදුල' හා මේ ගීතයේ තාලේ...ඒ මීට අවරුදු තිහකට පමණ පෙර....
කර දඩු උස් වෙලා යන්තම් දැලි රැවුල වැවෙන්න ගත්තු කාලේ මේ ගීතය තරම් පට්ට ගහපු වෙනත් ගීතයක් නැතුව ඇති... free period එකක හිමිහිට ඉස්කෝලේ ඩෙස්ක් එකට තට්ටුව දමා පටන් ගන්නා අපේ සාජ්ජය, ගුරුවරයෙකුට එන්න මග විවර කර අඩුම තරමේ දෙතුන් දෙනුකුට ටොකු ඇන පන්තියේ ඉස්සරහා දනගස්සවා ආතල් එක වාෂ්ප වන්නේ ගොඩක් වෙලාවට මේ සින්දුවෙන්... මේ සින්දුව නොකියපු පාසල් වාරයක් නැති තරම්... 9-10 පන්තියේ සිට උසස් පෙළ පන්ති දක්වාම මේ කාරණය පොදුයි. ඒ ඒ කාලවලදී ගුරුවරු දඩුවම් දීමට ඉදිරිපත් කල හේතුද අපුරුයි. ' අනිත් උන්ට හැදෙන්න අපිට දඩුවම් දෙනවා...' එහෙම නැති නම් 'උන්ව හදන්න බැහැ.. මුන් ටිකවත් හද ගන්නා ඕනනේ' කියලා. ඒ මීට වසර විස්සකට පෙර....
අපේ ගෙදර නිතර ආවා ගිය සෝමදාස අන්කල් මට මේ ගීතය සමග මතක් වෙනවා...අපේ ගෙදර එන්නේ බයිසිකලේ වයලීනයත් බැඳගෙන. සෝමදාස අන්කල් එයාගේ බාසාවෙන්ම 'සංගීතකාරයෙක්' (රතු ලන්තරුම වේදිකා නාට්‍යයේ  සංගීත නිරමාණ කරු). ප්‍රේමසිරි කේමදාස 'කේමදාස මාස්ටර්' වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ඇසුරු කර පුද්ගලයෙක්. ඔහුට කේමදාස මාස්ටර් 'ප්‍රේමසිරියා'. 'ප්‍රේමසිරියා' බට නලා වාදනය කරන තැන 'සොමදසයා' වාදනය කලේ සිතාර් එක.ප්‍රේමසිරිගේ හා සෝමදාස ගේ රසකතා බොහොමයි... බොහෝ ඒවා ඔවුන්ට උණු අකරතැබ්බ. තාත්තා නම් කියන්නේ සෝමදාසගේ කතා 'තාර බර' අයින් කර හිතා ගන්න ඕනනේ කියලා. සමහර වෙලාවට මේ කතා මට 'නැවත විකාශන'. සෝමදාස අන්කල් මට 6/8 beat එක උගන්නන්න, වයලීනයෙන් වාදනය කලේ මේ ගීතයේ තනුව...මට ගිටාර් එකේ වාදනය කරන්න කියමින් ඔහු ඒ ඒ තැනට එන chord එක කියනවා. 'දැන් පුතා සින්දුව කියන්න..' (ඔහු දන්නවා මම සින්දු කියනවා මිසක් ගායනයක් නොකරන බව). සෝමදාස අන්කල් වයලීනය වාදනය කරයි... මම ගිටාර් එක වයමින් සින්දුව කියයි...'පනිනවා මෝයේ කටේ..' කිව්වා විතරයි... සෝමදාස අන්කල් වාදනය නැවැත්තුවා...' ක්ලැරන්ස් ගොයියාගේ සින්දුවේ ඔහොම නෙමෙයි තියෙන්නේ..' එදා තමයි දැනගත්තේ මේ ගීතය ක්ලැරන්ස් ගේ කියලා..මා කොහොමද එහම නම් තියෙන්නේ කියලා ඇහුවම පුතා ඒක හොයා ගන්නකො.. කියලා 6/8 පාඩම නැවැත්තුවා. මේ මීට වසර දහයකට පමණ පෙර....

කාලයකට පස්සේ මම අන්තර්ජාල යේ මේ ගීතය හෙව්වා... ඇත්තටම මෙච්ච්චර කාලයක් කියල තියෙන්නේ හරි සින්දුව නෙමෙයිනේ...
මෙන්න ගීතය...
https://www.youtube.com/watch?v=GBhOCeNb600

දැන් කියපල්ලා අරුණ ගේ taste එක හරි පහත් කියලා...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday 12 December 2013

Sunny Leone, ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයා....

File:Sunny Leone 2012.jpg
Sunny Leone යනු වර්තමානයේ අංක එකේ porn-star කිව්වොත් නිවැරදිය. කැනඩාවේ පදිංචි ඉන්දියානු සික් ජාතික යුවලකට දාව උපන් සනි ගේ මුල් නම වුයේ Karenjit Kaur Vohra. සනි   කාම සිනමා කර්මාන්තය(porn- industry) ට එක්වන්නේ 2001 මාර්තු මාසයේදී  Penthouse සඟරාවේ Pet of the Month ලෙස කිරුළු ලබමින් ය. එතැනින් ආරම්භ වූ ඇගේ නව රැකියාවේ ඉනි පෙත්තටම නැගීමට ඇගේ රූ සපුව හා හැකියාව ආධාර විය. ඉන්දියානු සම්භවය, සෞම්‍ය කලාපිය දේශගුණ යේ ජීවත් වීම නිසා ඇයට ගෙන ආවේ වෙනස් කිසිවෙකුට නැති රූ සපුවක්. vivid නම් ලෝකප්‍රකට කාම චිත්‍රපට නිපදවන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කරන ඇය, 2003 දී hardcore pornography වල සමලිංගික චරිත වලට පමණක් එක් විය. 2007 දී පිරිමින් සමග ලිංගික ජවනිකා සඳහා ඉදිරිපත් කිරීමට එක්වුයේ ඇගේ ගිවිසුම අලුත් කරමිනි. මේ අතරතුර ඇයට කාම සිනමාවේ සම්මාන ගණනාවක්ම තම නමට ලියා ගන්නට සමත් විය. කාම සිනමාවෙන් නොනැවතුණු ඇය, 2004 දී ප්‍රධාන සිනමා ධාරාවට එක් වන්නේ 'The Girl Next Door' චිත්‍රපටයේ රඟපාමින් ය.
2005 දී MTV India හි විශේෂ වාර්තාකාරියක (red carpet reporter) ලෙස ඉන්දියානු සමාජය වෙත ලං විමට ඇයට හැකි වේ. මෙවන් කාම ධේනුවක් ඉන්දියාව පිළිගන්නේ මහත් හරසරිනි. 2012 දී Jism 2 හි රඟපාමින් ඉන්දියානු සිනමාවට එක්වන ඇය, මේ වන විට ඉන්දියානු සිනමාවේ නම් දරාපු නිලියක් වී අවසානය.ඇයට ඉන්දියාවේ ඇගයීම කෙතරම් ද යත් ඇමරිකාවේ හා කැනඩාවේ ද්විත්ව පුරවැසිකම තිබුනද ඈ පදිංචිය සඳහා තෝරාගෙන තිබනුයේ ඉන්දියාවයි.

කාම නිළියක් ලෙස ජීවිතය ආරම්භ කල සනි ව ඉන්දියාව විසින් ගෞරවනීය ලෙස පිළිගත් අතර ඇයට තම රැකියාවත් ජීවත් වීමේ අයිතියත් පිළිගනු ලැබිය. ලංකාවේ නිළියන් ලෙස තම රැකියාව ආරම්භ කර (යම්කිසි සිවිල් බලයක් සමග) පසුව කාම චිත්‍රපට වල රගපෑම නිසා විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ පෑ කාන්තාවන් ගණනාවක් සිටි. සුමනා ගෝමස්, චන්දි රසිකා ඇතුළු Jacqueline Fernandez මින් කිහිපදෙනෙක් පමණි. අපගේ ඊනියා සුචරිතවදයත් සමග අප විසින්ම නිශේධනය කර ගනු ලබන්නේ අපගේ මිනිස්කමයි. සහක්ෂර තාවයෙන් ඉහලම තැනක සිටින ලාංකීය සමාජය, කෙනෙකුගේ රැකියාව දෙස විවෘත මනසකින් බැලීමට නොහැකි වීම කුමන කරුමයක්ද යන්න සිතා ගැනීමටත් අපහසුය. කෙනෙකුගේ උසිගැන්වීමට, හෝ පෙළඹවීමකට මෙසේ වේ නම් එයද බරපතල ප්‍රශ්නයකි. මන්ද සහක්ෂරතාව ඉහල ලාංකිකයාගේ බුද්ධි මට්ටම හා හර්දසක්ෂිය කොහෙද යන්න සෙවීමට කොමිසමක් පත් කල යුතු නිසාවෙනි. ඉන්දියානු සමාජය අන්තවාදී යයි සිතන අපට ලාංකීය සමාජය කොයි වගේ දැයි සිතීමට කාලයයි.

Monday 9 December 2013

ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන්...!!!!


මට මෘදංග හඬට තියන ආශාව නිසාම හිතේ රැඳුනු ගීයක් තමයි මේ ගීතය. 

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....

ශාන්තිනීගේ නළලේ රතුපාට කුංකුම තේමා අහසේ හඩන්නේ චන්දිරම්ය. චන්දිරම් යනු සෙරු වගේ කුරුල්ලෙක් ලෙසයි මට දෙමළ මිත්‍රයෙක් කිව්වේ. මේ කුරුල්ලා හඬන විට වහිනවලු. වහින විට පවා දෙවියන් සිටින පාන් පැල ට ගිනි ඇවිලී ඇත. ගිනිගත් පාන් පැලක දෙවියන්  නැත. ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යායුතුය. 
මා විස්වාස කරන්නේ සරල ගීතයක සංගීතය යනු මේ වගේ දෙයක් යන්නය.. ශාන්තිගේ කුංකුම තේමා හඬන චන්දිරම් ගේ හඬ මෙහිදී ඇසේ. එසේම පාන් පැලට ගිනි ඇවිලී දුම නගින ආකාරයද කපුගේ අපිට හඟවයි. (කුංකුමම්, චන්දිරම්, දුම් පද වලින් පසුව වැයෙන හඬ විදින්න) මේ ගීයේ පද වලින් කියනා අර්ථය සංගීතයෙන්ද කියයි. තවත් විදිහකින් මේ ගීතයේ සංගීතයද භාෂාවක් වී ඇත.

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......

මේ චිත්‍රය බොහෝ දෙනා විඳ ඇතැයි සිතමි. රතන් ශ්‍රී ද විඳ දරා ඇතැයි සිතමි. කඳුළු පිරුණු දෑස් වලට ලොකු කරාබු (තිරුවංගල්) වල එලිය වැටුණු විට යුවතියේගේ මුහුණේ ඇතිවන චමත්කාරය අත්තෙන්න්ම කියා ගන්න බැරි තරම් ලස්සනය. ('රෝජා' වගේ දෙමළ චිත්‍රපටයක් බලන්න. මේ ලස්සන දකින්න පුළුවන් වේවි). ශාන්තිනිලා නෙමෙයි ලජ්ජශිලිව හැදුනු බොහෝ කෙල්ලන් බය උනාම කරන්නේ අත් දෙක වේගයෙන් සලන එකය. (හැංගි හොරා ආදරය කරපු කෙනෙක් කාට හරි තම ආදරය හසු වුවොත් 'මට බයයි...අනේ මොනවා හරි කරන්න' කියලා අත් සොලවන්නේ...) ශාන්තිනීගේ දෑත් විශේෂයි... ඒ දෑත් වල වළලු පිරි ඇත. මේ අහන්නේ මේ ඒ වළලු බාරද කියාය. තිරුවංගල් සැලෙන ආකාරය හා වළලු සැලෙන ආකාරය එකිනෙකට වෙනස්ය. කපුගේ සංගීතයෙන් මවන්නේ මේ වෙනස්ය. 

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න

අවසානයේ අපේ කතා නායකයා ප්‍රශ්නයට අවතීර්ණ වේ. ශාන්තිනිව ලබා ගන්න බැරි ප්‍රශ්නය මේ සිරිත් විරිත්ය..කුලය....ගෝත්‍රය...හා වර්ගයයි... ඔහු ඉල්ලන්නේ ශාන්ති පමණක්ය.... ඒ ඉල්ලන්නත් ආයාචනත්මකවය... ගෞරව සම්ප්‍රුක්තව. ශාන්තිනීගේ පාර්ශ්වය පිලිබඳ ඔහුගේ තිබෙන හැගීම අපට තේරුම් ගත හැක. තිරුක්කුරල් පොත යනු අවවාද උපදෙස් සහිත දෙමල භාෂාවෙන් රචිත පොතකි... මෙහි සදහන් කරුණු කාරනා ඕනෑම සමාජයකට පොදුය. නමුත් කථකයා කියන්නේ දෑස් පියා ගන්න ලෙස පොත අරින්න පෙර...ඒ ඔහුගේ පාර්ශවයටය. මන්ද නැති නම් මේ පොත 'දෙමළ' බව පෙනේ... අපේ කතා නායකයා නෙළුම නෙලා අවසානය. සිබීමට අවසර නැත්තේ නෙළුම පිපුනේ මඩ ගොහොරුවක.. පිලී ගඳ ඇති ජලාශයක නිසාය... එනම් 'සිරිත් දෑ කුල ගොත්' ය.

මේ ගායනය ගැන මම කිසිවක් නොකියමි.. මේ තරම් ලයාන්විත, මිහිරි කටහඩක් මේ ගීතයට ලැබීම අත්ත්න්න්ම රත්න ශ්‍රී ගේ හා කපුගේ ගේ වාසනාවක් ය.

මෙය රත්න ශ්‍රී ගේ පුද්ගලික අත්දැකීමක් යි සඳහන් වන තැනක් හම්බ උනා... ඇත්ත ද දන්නේ නැහැ...

ගීතය 

මෙම ගීතයේ වැයෙන බට නලා හඬත් සමග පරණ ගුවන් විදුලියේ වැයෙන දෙමළ සංගීත කණ්ඩයක් මතක් වෙනවා (සුර අසුර ටෙලි නාට්‍යයේ වීනා ජයකොඩි සවන්දෙන්නේ මේ සංගීත කාණ්ඩයට)... කාට හරි මතක නම් ඒ සංගීත කාණ්ඩය හා කා ළඟ හරි තිබෙනවානම් සමග බෙදා ගන්න.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Thursday 5 December 2013

සමනල සංධවනිය - සිනමාව සිනමාවක් ලෙස....


ජයන්ත චන්ද්‍රසිරි යනු ජාතිකවාදයෙන් මුසපත්ව අතීත කාමයෙන් යුතුව සිංහල සංස්කෘතියේ විවිධාකාර තේමාවන් ඔස්සේ නිර්මාණ කරන සිනමාකරුවෙකි. මෙසේ සිතා සමනල සංධවනිය බැලුවහොත් කියන්න වෙන්නේ 'බම්බුව තමයි' යන්නය. ජයන්ත චන්ද්‍රසිරි යනු මෙන්න මේ වගේ නිර්මාණ කරුවෙකුයි කුලක කිරීමට නොහැකිවන තරමටම සමනල සංධවනිය විවිධාකාරය.

එක්තරා විදිහක ෆැන්ටසියකුත් තවත් ආකාරයකම වූ  රොමැන්ටික් බවකුත් මුළු චිත්‍රපටය පුරාවටම දිව යයි. එහෙත් පරිකල්පන ලෝකයක ප්‍රේක්ෂකයා අතරමං නොකර ආදරය, love කිරීමක් නොකර ජයන්තගේ සිනමා ප්‍රේක්ෂකයන්ට වින්දනය කළහැකි නිර්මාණයක් ගෙන ඒමට ජයන්ත හැකි වී ඇත.

සමනල සංධවනිය තිර රචනය ජයන්ත විසින්ම ලියන ලද්දෙකි. සැබවින්ම එහි කතාවක් නැති තරම්ය. පොඩි කොල්ලෙකුට හමුවන ලියුමක් අයිති කරුට දෙන්න බැරි වීම නිසා සිදුවන සිද්ධි මාලාවක් ලෙස එය ලඝු කර හැක. නමුත් මුළු චිත්‍රපටය පුරාවටම ජයන්ත තමාගේ ප්‍රේක්ෂකයාව රදවා ගනී. ජයන්තට මේ සඳහා වගීෂ ලියුම දීමට ගන්න උත්සාහයන් මත හා පුණ්‍යා තම ආදරය ලිපියක් මගින්  ප්‍රකාශ කිරීම සාර්ථක නොවුණු පසු කුමක් වේවිද යන කුතුහලය මත යන කාරනා දෙක පමණක් මේ සඳහා ප්‍රමාණවත්ය. කෙසේ වුවද මල් වත්තේ විහිළු කාරයන් ගේ සිද්ධි මාලාව ඕනවට වඩා වැඩි යන්න මගේ හැගීමයි. ආරම්භයේදී 'එකිනෙකෙට සම්බන්ධ දෙයට අප ජීවිතය කියනවා' පවසමින් එකෙඉනෙකෙත සම්බන්ධ කොච්චි පෙට්ටි පෙළක් පෙන්වයි. එකිනෙකට සම්බන්ධ නැති දේ 'ආදරය' පෙන්වීමට කිසිවක් යොදා නොගැනීම තුලින් එය 'මෙන්න මේ වගේ' යයි විස්තර කල නොහැකි බව අධ්‍යක්‍ෂක ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වයි.

ජයන්ත චන්ද්‍රසිරි නම් කතා කාරයා පුණ්‍යා  ගේ ස්වාමි පුරුෂයාව ඇගෙන් ඈත් කරන්නට තැබීමට සෑම විටම උත්සහ කරයි.මුළු චිත්‍රපටයටම  දෙවරක් පමණක් පෙන්වන රේවත ව (රොජර් සෙනවිරත්න) පුණ්‍යා  ගෙන් ඈත් කිරීමට නිර්මාණ කරුවා කරනුයේ ඔහු හමුදා නිලධාරියෙක් කිරීමය. පුණ්‍යා තුල ඔහු පිලිබදව ආදරයත් ගෞරවයත් තබා ගැනීමට මෙය අනගි ක්‍රමයක් වී ඇත. ඒ තුලින් පුණ්‍යා  තුල වෙන ආදරයක් ඇති වීම වැලැක්වීම වගේම, හමුදා නිලධාරියෙකු ගේ බිරිදකට ආදරය කිරීමේ බියක් අනිත් අය කෙරේ ඇති කරලීමට ඔහුට හැකි වී ඇත. අධ්‍යක්‍ෂක ඒ තුලින් පුණ්‍යා යනු සුපිරිසිඳු සුදු චරිතයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. නමුත් මෙය කෙතරම් සිනමා කතාවට අවශ්‍යද යන්න පැහැදිලි නැත.
සංගීත ප්‍රසංගයක වගිෂ (උද්දික ප්රේඅමරත්න) 'ඉකිගසා හඬනා..' ගීතය ගායනය කිරීමේදී වන මතක ආවර්ජනය ඔස්සේ කතාව ආරම්භ වේ. 1992 දී  සිදුවන සිද්ධියකින් ආරම්භ වන කතාවේ,වගිෂ නම් නව යොවුන් තරුණයා(සුර්යා සඳරුවන්) ට අහම්බෙන් ලැබෙන පුණ්‍යා (යශෝධා විමලධර්ම) ගේ ලිපිය කියවීමෙන් නැවත අයිතිකරු වෙත ලබාදිය යුතුය යන්න තීරණය කිරීමට තරම් ඒ ලිපිය ප්‍රබලද? මා හට දැනුනු ලෙස එය ජීවිතයක් වෙනස් කිරීමට තරම ප්‍රබල ලිපියක් නොවේ. නමුත් වගිෂ ගේ චරිතය සංගීතය පිරි නිර්මාණශීලි පුද්ගලයෙකු ලෙස නිර්මාණ කිරීම තුලින් ජයන්ත ඔහු අති සංවේදී චරිතයක් යන්න පැවසීමට උත්සහ කරයි. සංගීත ගුරුවරයා වගිෂ නිර්මාණ කල සංගීත කාණ්ඩය  'කේමදාසගේ ද' යන ප්‍රශ්නය ඇසීම තුලින් ඔහුගේ නිර්මාණශීලි බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට අධ්‍යක්ෂක උත්සහ ගනී. 'කලාකරුවා අති සංවේදී පුද්ගලයෙකි' යන සම්මතය ඔස්සේ ජයන්ත මෙය කීමට සැරසුනත් නුතන කලාකරුවන් මේ සම්මත කුලකයේ සිටීද යන ප්‍රශ්නයත් සමග ප්‍රේක්ෂකයා 'ඔව් කලාකරුවෝ සංව්දී' යන්න සිතීමට තරම්  චිත්‍රපටය ප්‍රබල ලෙස වගිෂ නිර්මාණය කර ඇත.
එහෙත් තමා සමග එකට සංගීතය හදාරන ගැහැණු ළමයාගේ ආදරය ප්‍රතික්‍ෂේප  කරනුයේ ඇයි ද යන්න අපැහැදිලිය. එය පැහැදිලි කර ගැනුමට පාසල් විවිධ ප්‍රසංගයේ වගිෂ විසින්ම රචනා කර සංගීතවත් කල ගීතය පැහැදිලි කර ගතු වේ.

මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ
http://www.youtube.com/watch?v=EjD1jhCFuSM
මේ ගීතය ට මුලික තැනක් නොලැබුනත් වගිෂ ෆැන්ටසියක අතරමං වී ඇති බව හා එය චිත්‍රපටයේ  කතාවේ හැරවුම් ලක්ෂයක් වී ඇති බව ඉතා පැහැදිලි වේ.
ඉන්පසුව එක්වරම දකින්නට ලැබෙන්නේ බීමත්ව සිටින වගිෂය (උද්දික ප්‍රේමරත්න).කතාව ගලා යාමේදී මේ රූපණ කොටස යම්කිසි ඡේදනයන් පෙන්වයි. එය හරියාකාරව අවබෝධ කිරීමටඅධ්‍යක්ෂක නැවත ගීතය යොදා ගනී. එසේම වගීශ ලිපිය නැවත පුණ්‍යා ට ලබාදීමට නොහැකි වීමෙන් කෙතරම් තම ජීවිතයට බලපෑමක් සිදුකරගෙන ඇති ද යන්න පැවසීමට ද ජයන්ත යොදා ගන්නේ 'ගගන සරන්නට..' ගීතයයි.

ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි 
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ
http://www.youtube.com/watch?v=EajIs8mhl7A
හිස්තැන් පිරවීමට ගීත එකතු කිරීමේ කලාව බැහැර කොට නියමාකාර වූ අවශ්‍යතාවයට ගීත එක් කිරීම ජයන්ත ගත් උත්සාහය අගය කල යුතුය.
මුළු සිනමාවම නිර්මාණය වී ඇත්තේ සංගීතය තුලය. එය 'සිනමාව තුල සංගීතය' යන්න ප්‍රකාශ කිරීමට වඩා 'සංගීතය තුල සිනමාව' යන්න කීම වඩාත් අගනේය. දර්ශන රුවන් දිසානායක ගේ වික්‍රමය කේමදාසගේ තරම් නොවුනත් ඉතා ඉහල අගයක් ගනීවි යන්න මගේ හැගීමයි. එය සාමාන්යග ව්‍යවහාරයේ යෙදෙන 'පසුබිම් සංගීතය' නොව සැබවින්ම 'සිනමා සංගීතයකි'. 'ඉකිගසා හඬන...' ගීතය ඒ තරමටම සිනමා කතාවට බද්ද වී ඇත.
බොහෝ විචාර තැන් වල උද්දික ප්‍රේමරත්න ගේ රගපෑම ගැන ඉහලින් කතා කරනු දැකිය හැක. එය එසේමය. නමුත් සුර්යා සඳරුවන් ගේ රඟපෑම ඒ නිසා අත හරිය නොහැක. මුළු චිත්‍රපටයේම අඩකට ආසන්න ප්‍රමාණයකට ඔහු විසින් වගිෂ ට කරනු ලබන්නේ අමිල මෙහෙයකි. එසේම යශෝධා යනු සීමිත පරාසයක් තුල රඟපානා නිළියකි. ඇය මල්ගස් වටේ දුවන හෝ මාර්කට් එකේ වට්ටි අම්මගේ චරිතය නිරුපනය කරනවා දැක නැත. මෙවන් සිමා සහිත වූ පරාසයක රඟපාන යශෝධා, මෙතෙක් රඟ පෑ සුවිශේෂී චරිතයක් ලෙස පුණ්‍යා ගේ චරිතය හැඳින්විය හැක. විශාල ඉඩක් පුණ්‍යා  ගේ චරිතයට චිත්‍රපටයේ ලබා දී නැති වුවද සමනල සන්ධවනියේ ඇගේ රඟපෑම ඉතා ඉහලය. නමුත් වගිෂ ගේ බිරිඳ ලෙස චතුරිකා පිරිස් ගේ භූමිකාව, ඔහුගේ හැසිරීම පවුලට විශාල බලපෑමක් කර ඇත යන්න කීමට තරම් ප්‍රබල නැත. මේ සියළු චරිත අතර වගිෂ ගේ අය්යා ලෙස රඟනා පුබුදු චතුරංග ගේ රංගන ප්‍රතිභාව ඉහල නමුත් චිත්‍රපටයේ ඔහුට විශාල දෙයක් කිරීමට අවස්ථාවක් ලැබී නැත.

මා හට විල්සන් ගුණරත්න ව ඩනී ගේ චරිතයට යොදා ගත්තේ ඇයි ද යන්න ප්‍රෙහෙලිකාවකි. ඔහුගේ රඟපෑමේ අවුලක් නැත. එහෙත් ඒ චරිතය සඳහා ඔහු සුදුසුද යන්න සිතා ගත නොහැක.

ජයන්තගේ සෑම නිර්මානයකම ඔහුටම ආවේනික වූ දෙබස් ඇත. මේ චිත්‍රපටයේද එසේය. වරෙක වගිෂ ගේ අය්යා තම පෙම්වතියට ලියුමක් රැගෙන යන ලෙස කියන  දෙබස් කණ්ඩයේ අවසානයේ ඔහු තාත්තට කියන්න එපා යි පවසන අතර හේතු ලෙස කියනුයේ 'පව් අම්මත් නැති අසරණ තාත්තා..' යන්න. වගිෂ ව එලවා එන උද්‍යානයේ  විහිළුකාරයන් ට වගිෂ ගේ අය්යා පිළිතුරු දෙනුයේ 'ඔව් මහරජ්ජුරුවන් එයාගේ අය්යා යකෝ..' මෙසේ සුපුරුදු ලෙස වචන වලින් පවසන දෙයට වඩා වැඩි අර්ථයක් නිර්මාණය කිරීමට ජයන්ත ට සමනල සන්ධවනියේ ද හැකි වී ඇත.

හතු පිපෙන්නා සේ රජ කතා කියමින් චිත්‍රපට හැදෙන (නිර්මාණ නොව) මෙවන් කාලෙක ජයන්ත චන්ද්‍රසිරි  ගේ සමනල සංධවනිය කතරට වැටුණු දිය බිඳක් බඳුය. කොපමණ කාලයක් සිනමාහල් වල ප්‍රදර්ශනය කලද කොපමණ ආදායම් වාර්තා තැබුවද තවත් සමනල සංධවනිය වගේ නිරමාණයක් එසේ නැති නම් ඒ කිට්ටුවෙන් යන චිත්‍රපටයක් වෙනත් නිර්මාණ කරුවෙකුගෙන් නිර්මාණය වේවිද යන්න සක සහිතය.
යථාර්තවාදී සිනමා ප්‍රේක්ෂකයන්ට  නම් සමනල සන්ධවනි යනු ගන්නම දෙයක් නැති සිනමාවක් වේවි. එහෙත් සිනමාව 'සිනමාවක්' ලෙස දකින්නන් හා සිනමාව තුල 'රොමැන්ටික්' ලකුණ සොයන්නන්ට නම් සිංහල සිනමාවේ මෙතක් බිහි වූ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස මෙය විඳින්න හැකි වේවි.

ප: ලි: - මා film එක බලපු දවසේ Liberty සිනමාහලේ නොනවත්වා mobile phone එක නාද උණු එකාගේ අම්මට අසනීප වූවානම් සමාවනු මැනවි.