Monday 22 June 2015

හීන් සැරේ ඔබ ආවා.....

1979 වසරේදී 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ T M ජයරත්න ගායනය කල 'මාල ගිරා..' ගීතයට හොඳම ගීතය ලෙස සරසවි සම්මාන හෙමිවේ. කේමදාසයන් සංගීතයෙන් ඔපවත් වූ වසන්තයේ දවසක් හි සංගීතය හා එහි ගීත හැරුණු කොට වඩා වැදගත් දෙයක් නැති තරම්ය. එම චිත්‍රපටයේම 'හීන් සැරේ ඔබ ආවා' ගීතය මේ අතරින් විශේෂිතය.



හීන් සැරේ ඔබ ආවා......ආවා.....
රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා......
යාන්තමින් මා සිත ඇදි පිළිරුව.......
ඔබ ආවා......
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
ආවා......ආවා......

තරුවෙන් තරුවට පැන පැන හිමිහිට......
මලකින් මලකට පියඹා හනිකට.......
මා දගකාරිය නාරිලතාවිය.......
කාන්සියේ..... මද අදුර මකා හැර.......//
හීන් සැරේ ඔබ ආවා......ආවා......

මත් කොවුලන් ගීත නදින......
සත් පියුමන් රේණු මතින......//
අත් වැල් බැද නටමු නටමු.......
සිත් සැණකෙළියේ......//

නීළඹ නිල් වියන යටින්......
පින්න පිපුණු පළස මතින්.....//
සුරංගනා රැගුම් රගමු......
සද තරු එළියේ......//

https://www.youtube.com/watch?v=lP0rxgzmxTQ

අජන්තා රණසිංහගේ පදරචන ගැන හෝ කේමදාසයන්ගේ සංගීතය ගැන මෙහිදී තවත් අටුවා ටීකා අවැසි නොවේ. මේ ගීතයේ දර්ශනයේ සිටුනුයේ T M ජයරත්නයන් ය. නමුත් ගායකයා අමරදේව ය. දර්ශන තලයේ සිටින තැනැත්තිය සුනේත්‍රා සරත්චන්ද්‍ර වන අතර ඇය ගීතය ගායනයට ද එක්වේ.T M ගායනයෙන් සහභාගී නොවී රංගනයේ (එම රුප තලයේ පමණි) සහභාගී වීම එක්තරා ආකාරයක දුබල සිදුවීමක් වුවද වඩා වැදගත් වනුයේ සුනේත්‍රා ගායිකාවක ලෙස ගීතයට කරනු ලබන සාධාරණය. මා ඇයගේ ගීත ගායනයක් අසා ඇති නම් ඒ වේදිකා නාට්‍ය ගීත ගායනයක් පමණි. නමුත් මෙම ගීතය ඈ තුල ඇති ගායන කෞව්ශල්‍ය අගේට පෙන්නුම් කරයි. පදරචනාවෙන් ඉඟි කරන හා සංගීතයෙන් කුල්මත් කරන ඒ හැඟීම් දනවන මොහොතට ජීවය දෙන්නේ සුනේත්‍රා ය. ඇයගේ කටහඬ ඒ තරම් ජවසම්පය;බලවත්ය.
මෙහි අමරදේවයන් ගැන කතා නොකරම බැරිය. අපරදිග ගායකයන් විශාල පරාසයක තම ගායනය ඉදිරිපත් කිරීමට දක්ෂය. පෙරදිග ගායකයන් භාවයන් ගායනය කිරීමට දක්ෂය. භාවයන් ගායනයේදී අමරදේව තරම් සියුම් ලෙස ඒ භාව ප්‍රතිනිර්මාණ කරන ගායකයෙක් තව සොයාගත නොහැකිය. නමුත් මේ ගායනයේදී අමරදේවයන් විවිධාකාර වූ පරාසයන්ට තම ගායනය ගෙන යයි. එය අපරදිග ගායනයක් දැයි සිතන තරම් චමත්කාරය. එසේම රාත්‍රියේ සැමට හොරෙන් තම පෙම්වතිය හමුවීමට යන ඒ සොඳුරු පෙම්වතාගේ නොසන්සිඳුණු හැඟීම් භාවයන් ලෙස ගෙන ගෙනෙන ආකාරය මනරම්ය. 'කාන්සියේ....' කියමින් ඔහු මතු කරන කාන්සිය ඔහුගේ ගායන පරාසයත් භාවයන් ප්‍රකාශ කිරීමේ හැකියාවටත් කදිම උදාහරණයක් ය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.