Friday 25 December 2015

නිර්මාල් ට රුපියල් දෙක දී අපට ඇරපියව්......


නිර්මාල් නියෝජනය කරන මතය  හා දේශපාලන කණ්ඩායම පිළිබඳව විශ්වවිද්‍යාලයේ සිටම මගේ එකගතාවයක් නැත. එහෙත් ඔහු කඩ හිමියෙකු සමග ඉතුරු සල්ලි සඳහා ඇති කරගත් ආරෝව ගැන නම් මා හට ඇත්තේ ඔහු පිලිබඳ පැහැදීමකි. ගෞව්රවයකි.

පළමුව කිව යුත්තේ මෙවැනි සිද්ධීන් අපට ඕනෑ තරම් සුලභය. මෙය සමාජ  ජාල හා වෙබ් අඩවි වල පුවතක් වුයේ සිද්ධියට සම්බන්ධ නිර්මාල් ට ඇති සිවිල් බලය නිසාය. මෙය ලියන  මා හා කියවන ඔබ මුදලාලි සමග ඉතුරු සල්ලි වලට බහින් බස් වුවාට ඒවා වෙබ් අඩවිවල පල නොවේ. ඒවා උණු උණු නිවුස් වෙන්නේ ද නැත. මන්ද අපට එහෙම සිවිල් බලයක් නැති නිසාය.

නිර්මාල් විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙකි. ඔහුගේ වැටුප අනුව මේ රුපියල් දෙක මහා ලොකු බිබික්කමක් නොවේ. එත් ඔහු සටන් කලේ සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙනි. කරුමයක මහත සමාජ ජාල ඔස්සේ ඔහුගේ ක්‍රියාව සමච්චලයට ලක්කිරීමට පිරිසක් පෙළ ගැසී සිටීමය. එක්කෝ ඔවුන් නිර්මාල් සිම් කාර්ඩ් පත් මිලදී ගත් කඩ හිමියා වැනි කළු කඩ කාරයකි. නැති නම් නිර්මාල්ට කොහොම හරි නෙලමි යනුවෙන් සිතා සිටින කෝන්තර කරුවෙකි.

වරක් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් වරෙක ගුවන් විදුලි සාකච්චාවකට පැමිණ ඔහු මුහුණ දුන් සිද්ධියක් පැවසිය. එවකට ඔහු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති හෝ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ය. ඔහු පුද්ගලික බස් රථයකින් ගමන් කරන විට කොන්දොස්තරගෙන් ටිකට් පතක් ඉල්ලා සිටින ලදී. කොන්දොස්තර ටිකට් පතක් ලබා දී නොතිබුණි. ගුණරුවන් මහතා නිර්මාල් මෙන් ටිකට් පතක් ලබා ගැනීම මගේ අයිතිවාසිකමක් බව පවසා ඇත. කොන්දොස්තර ඉදිරියට ගොස් ටිකට් අහුරක් ගෙන ගුනරුවන්ට දික් කර ඇත්තේ 'මෙන්න්න මහත්තයාගේ අයිතිවාසිකම' ලෙස පවසමිනි. අසල සිටි අනෙකුත් මගින් ගුණරුවන් මහතාට සිනාසින්නට විය. ඔහු පැවසුයේ, තමන්ගේ අයිතිවාසිකම් ගැන කතාකරන්නන්ට සිනාසෙන්න තරම් සමාජය පිරිහී ඇති නම් එතනින් එහාට ඒ සමාජය ගැන කතා කර වැඩක් නැත යන්නය.

අප සෑම දෙනාටම සිවිල් බලයක් නැත. සිවිල් බලයක් හිමි වෘතිකයන් බොහෝ විට ඒ බලය යෝදා ගන්නේ තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහාය. නිර්මාල් , ගුණරුවන් වැනි සිවිල් බලයක් හිමි පුද්ගලයින් යම්කිසි සාපේක්ෂ බලයක් සමාජ සාධාරණත්වයට යොදන විට එයට සිනා සීමට වඩා කල යුත්තේ හැකි පමණින් ආධාර කිරීමය. මා විශ්ව විද්‍යාලයේ සිටින විට කැන්ටිමේ තේ එකක් රුපියල් 1.50 කි. බොහෝ විට කැන්ටින් හිමියාට රුපියල් දෙකක් දී තේ එකක් ඉල්ලු විට ඉතුරු සත පනහ වෙනුවට දෙනු ලබනුයේ ලොසින්ජරයකි. මගේ මිතුරෙක් මෙලෙස දුන් ලොසින්ජර තුනක් එකතු කර තේකක් ඉල්ලා සිටියේය. ඔහු විශ්ව විද්‍යාල නිවාඩුව ගත කිරීමට  සින්ගපුරුව, ඩුබායි යන පුද්ගලයකි. එදා අපේම කණ්ඩායම් ඔහුට චෝදනා කලේ 'උඹට 1.50 ක් දීලා තේ එකක් ගන්න බැරි එකෙක් ද ? ' කියා ය. ඔහු  පැවසුවේ 'උඹට මට මේ හුජ්ජ වතුර බොන්නේ නැතුව ඉස්සරහා රහීම හෝටලයට ගිහිල්ල හොඳ ප්ලේන්ටියක් බොන්න පුළුවන්. එත් මචන් එහෙම යන්න බැරි කී දෙනෙක් අපිත් එක්ක ඉන්නවද. මුට පාඩමක් උගන්න්වන්න අපි ඉස්සර උන්නේ නැති නම් කවුද එන්නේ' යනුවෙනි. කතාව ඇත්තය. බලයක් හිමි පුද්ගලයා සමාජ වෙනසකට මුල පුරනවානම් එය පීඩිතයෙක් මුල පිරිමකට වඩා ප්‍රතිපලදායකය.

තමන්ගේ අයිතිවාසිකම් ගැන නොසලකා කර බාගෙන සිටීම නිවට කමකි. සිංහලෙන් ඔවුන්ට කියනුයේ 'නිවටයන්' කියාය. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නන්ට සමච්චල් කිරීම මොන කමද  යන්න සිංහල භාෂාවේ නැත. ඔවුන් හඳුන්වන නාමයකුත් නැත. මට නම් සිතෙන්නේ ඔවුන් මේ වගේ කියාය.
.
.
.
.
.
.
.
.
මෙතන තිබු පින්තුරය ඉල්ලීමක්  ඉවත් කරන ලදී. අවශ්‍ය නම් ගුගල් හි shit යන්න type කර බලන්න.

Thursday 29 October 2015

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ..

මම runaway bride සිනමා පටය ප්‍රථම නැරඹුවේ campus එකේ  NAT ශාලාවේ  පෙන්නුව අවස්ථාවේ. Angelina Jolie මගේ සිහින කුමරිය ලෙස අභිෂේක ලැබීමට පෙර එතැනට හිමිකම් කිවේ Julia Roberts ය. ඒ නිසා මේ චිත්‍රපටය ගැන විශේෂිත වූ ඇල්මක් මා හට තිබුණි. ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, මා සහ මිතුරන් දෙදෙනෙක් 'පීචම'ට වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටි අතර එක වර මගේ මිතුරෙක් එකවර මෙසේ ප්‍රශ්නයක් ඇසුවා.

"Wedding එක දවසේ උඹගේ කෙල්ල පැනලා ගියොත් මොකද කරන්නේ..."

ඒ කාලයේ මා වේලි වේලි ඉන්නා කාලය බැවින් සරල ලෙස " wedding එකට ඉස්සෙල්ලා කෙල්ලෙක් හොයා ගන්න එපැයි.." පවසා ප්‍රශ්නයෙන් ලිස්සා ගියේය.

"එතකොට උබ..?" දැන් ප්‍රශ්නය මගේ අනෙක් මිතුරා වෙතය. ඔහුට පෙම්වතියක් සිටිය බැවින් මගහැරිය නොහැක.

" මම නම් මරාගෙන මැරෙනවා.." ඔහුගේ පිළිතුරත් සමග අපී දෙදෙනා මහා හයියෙන් සිනා සුනෙමු.

සතකින්ම runaway bride සිනමා පටන් පසුව මට ඒ ප්‍රශ්නයේ බැරෑරුම් කම පසක් විය. විවාහය දිනයේදී මනාලිය පැනයාම කුමන සමාජයක වුවද මනාලයා වික්‍ෂිප්තකරන කාරණාවකි. අබේවර්ධන බලසුරියන් ගයන මේ ගීතයෙන් කියනුයේ සාමාන්‍ය සිංහල තරුණයකු මුහුණ දුන් ඒ (අ)වාසනාවන්ත සිදුවීමය.

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින්
මඟුල් දා දෙබරෙට ගැසුවා සේ//

සිංහල උළුගෙට ගෙවදින දවසේ
පාන්කිරිත්තෙක් වහලෙට බැස්සේ//
මගුල් කෑම දවසේ
නෑයොත් ගෙට ඇවිදින්

සැරසිලි ගොක්කොල . . .

පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මම තව විස්සෝපෙන්//
ඔරුවෙන් එගොඩ වෙලා
සොබනි කොහෙද ගිහින්

සැරසිලි ගොක්කොල . . .


අබේවර්ධන බාලසුරිය ගේ කටහඬ තුල අමුතුම රසයක් මම දකිමි. ඒ හඬ බොහෝ ගාම්භීරය. නමුත් සුපැහැදිලිය. හොඳ පිරිමි කටහඩකි. ඔහුගේ 'ඔබෙන් තොර ලෝකයක්', 'මළවුන් ගේ නගරයේ', 'කල්පනා ලොව මල් වනේ..' වගේ ගීතවල මේ බව අගේට පැහැදිලි වේ. මා අසා ඇති පරිදි අබේවර්ධන බාලසුරියන් ගායකයකු වීමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙකි. බොහෝ විට අනෙකුත් හමුදාවන් වලට වඩා නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ගේ කාර්ය තරමක් අමරුය. හේතුව ඔහුගේ විධානයන් පැහැදිලි ලෙස ලබා දිය යුත්තේ සාගර ගෝෂාව සමගය. සමහර විට මේ හේතුව ඔහුගේ කටහඩට බලපෑවා විය හැක

මේ ගීතයේ තේරුම පදයෙන් පදය විස්තර කිරීමට අවැසි නොවේ. විචිත්‍රවත් සිත්තමක් මවා පාන්න සේ සෑම පද පෙළක්ම අලංකාරව නිර්මාණ කර ඇත. ඊටත් වඩා යොදා ගත් උපමා රූපක සියල්ල සිංහල ගැමි සමාජය සමග මුසු වී ඇත. පයට හැපි පුන්කලස බිඳී යාම සිංහල සමාජයේ 'අසුබ ලකුණකි'. එසේම පාන්කිරිත්තා ද සලකන්නේ අසුබ නිමිත්තක් ලෙසය. රචකයා මගුල් දින මනාලිය පැනයාම නමැති අසුබ නිමත්ත හැඟවීමට යොදා ගත්තේ ඉහත කාරණාය. මා වඩාත් ඇලුම් කරනුයේ 'ඔරුවෙන් එගොඩ වෙලා - සොබනි කොහෙද ගිහින්' පද පෙළටය.  සොබනි කොයි වගේ කෙල්ලෙක්ද යන්න පැහැදිලි කරනුයේ ඒ පද පෙළය.
මෙහි රචකයා කවුරුන්ද යන්න සොයා ගැනීමට මම අපොහොසත් වුනෙමි. පද වැලේ තිබෙන චිත්‍ර රුප මැවීමේ ගුණය අනුව පද රචකයා ලුෂන් බුලත්සිංහල ලෙස අනුමාන කරමි. වැරදි නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Sunday 12 July 2015

IQ සමාජවාදයේ සිට EQ සමාජවාදයට....

මේ ගැන සිතන්නට වුයේ ජ.වී.පෙ. නායක අනුර කුමාර තම සහෝදරයෙක් හා මිත්‍රයෙක් 88-89 කාලයේදී අතුරුදහන් වීම හා ඝාතනය කිරීම පිළිබඳව ප්‍රකාශ කරන සංවේදී කතාව නැරඹීමෙන් පසුවය. තම මවත් පුංචි අම්මත් නැති වූ දරුවන් නැවත පැමිණෙතැයි හෝ ජීවත් වෙතැයි දක්වන සුබවාදී විශ්වාසය ඔස්සේ ලාංකීය සමාජ ඛේදවාචකය ගැන ඔහු ගේ කතාව ගලා යයි.

මා කුඩා කල සිටම අපේ ගෙදර සැලකිය යුතු ප්‍රමාණයක් මාක්ස්වාදී, සමාජවාදී හා කොමුනිස්ට් දේශපාලන සම්බන්ධ පොත පත තිබුණි. 'මාක්ස්වාදයේ මුලධර්ම' පොතේ සිට දයලේත්තිකවාදය, ලෙනින්ගේ වෙළුම් සියල්ලම, කොමුනිස්ට් ප්‍රකාශය, ආදී මෙකි නොකී බොහොමයක් ඒ පොත් පත් වලට ගොඩට ඇතුලත්ය. මාක්ස්වාදයේ මුලධර්ම පොත මා මදක් කිය වූ අතර එහි ද්‍රව්‍ය යේ ස්වභාවය ගැන දැක වූ කරුණු මා ඉගෙන ගනිමින් සිටි නුතන විද්‍යාවේ කරුණු සමග මට ප්‍රශ්නාර්ථයක් නිර්මාණය කල බැවින් එය නවදා දැමිය. ඉන්පසු මාක්ස්වාදය හෝ සමාජවාදය ගැන තොරතුරු අසන්නට ලැබුනේ සහ දැන ගත්තේ විශ්වවිද්‍යාලයේ 'තෙල බෙදීමට' පැමිණි 'ජෙය්ෂ්ට උත්තමයන්' ගෙන් හා ලංකාවේ වාමාංශික දේශපාලන ක්‍රියාකරුවන්ගෙනි. මේ නිසා මා සමාජවාදය හෝ මාක්ස්වාදය ගැන මහා දැනුම් සම්භාරයකට හිමිකම් නොකියයි.

අතීතයේ වාමාංශික දේශපාලනයට නැඹුරු වූ බොහෝ පිරිස් එයට අනුබද්ධ විෂය පථය ගැන ප්‍රාමාණික දැනුමක් තිබුණි. ඉංගිරිසියෙන් ඉගෙන ගත් ඔවුහු ව්‍යක්ත ලෙස ඒ කරුණු කාරනා හදාරනු ලැබිය. සමරුන් මේ හැදෑරීමේදී ඒ දේශපාලනයෙන් ඈත විය. සමහර විට පුද්ගලික හේතුන් විය හැක නැති නම් මතවාදී හේතු විය හැක. එකල සමාජවාදී හෝ මාක්ස්වාදී අදහස් දරු බොහෝ පිරිස් අනුගමනය කල එක උපායක් විය එනම් සමාජවාදී හෝ මාක්ස්වාදී දැනුමෙන් මිනිසා පෝෂණය වූ කල්හි මේ පිරිස තමන් වෙත රඳවා ගැනීමට හැකි වේය යන මතය. ඒ නිසා ඔවුන් හැකි තරම් සමාජවාදී හෝ මාක්ස්වාදී දැනුම සමාජ ගත කිරීමට උත්සහ කළෝය. මිනිසුන්ගේ සමාජවාදය පිලිබඳ දැනුම ඉහල යාමෙන් විප්ලවය හෝ පන්ති සටන සඳහා ඔවුන් යොදා ගත හැක මේ දේශපාලකයන්ගේ බලාපොරොත්තුව විය. මෙය මෙරටේ සියළු වාමාංශික ව්‍යාපාර වල ලක්ෂණයක් විය.  IQ (intelligence quotient) සමාජවාදය යනුවෙන් මා හැඳින් වුයේ මෙන්න මේ ක්‍රියාවලියය.

සමාජවාදී ආර්ථික ක්‍රමය ප්‍රිය කරන පිරිසගේ පළමු පොත කාල් මාක්ස් ගේ 'Das Kapital' පොතය. ඔහු මෙහිදී 'capitalist' යන්න මැනවින් විග්‍රහ කරයි. සිංහලෙන් මෙය 'ධනපතියා' යනුවෙන් නිර්මාණය කරයි. ඉංගිරිසි හා රුසියන් භාෂාවෙන් පළවූ බොහොමයක් සිංහලට පෙරලිමේදී නිවැරදිම අර්ථ දැක්වීම නොලැබේ. එසේම මේ විෂයන් දේශපාලනික කරුණු බැවින් හිතා මතාම වැරදි අර්ත්දක්වීමක් ඇති කළා විය හැකිය.සත්‍යයෙන්ම capitalist යනු 'ප්‍රාග්ධන හිමයා' විය යුතුය. එය ව්‍යවාසාය සඳහා යෙදිය හැකි මුදල්, දැනුම, හෝ වෙන ඕනෑම දෙයක් විය හැක. නමුත් 'ධනපතියා' තරම් 'ප්‍රාග්ධන හිමියා' ට 'පිඩිත පන්තිය' වෛර නොකරයි.

තවත් මේ විෂය සම්බන්ධව අසන්න ලැබුණු අර්ථදැක්වීම හුදෙක් බලය ලබා ගැනීම සඳහා පමණක් නිර්මාණය කල වදන්ය. 'නිර්ධන පන්තිය' යනු බැංකු ගිණුමක් නැති හෝ ව්‍යාපාරයක ලාබංශ නොලබන පුද්ගලයන්ය. නමුත් අද දවසේ බැංකු ගිණුමක් හිමි නැති අයෙක් සොයා ගැනීම නොමළ ගෙදරකින් අබ ඇටයක් සොයා ගැනීමක් වැනිය. එසේම බොහෝ ව්‍යාපාර තම සේවකයන්ට යම් කිසි ප්‍රතිශතයක් ලාබංශ ලබා දේ. එසේ නම් නිර්ධන පන්තියක් යනු හුදෙක් වචනයක් පමණක්ද.

නව ලිබරල් ආර්ථිකයත් සමග බොහෝ සමාජවාදී හා මාක්ස්වාදී අර්ථකතන යල්පැන ගොස්ය. එසේම වර්තමානයේ මිනිසාගේ බුද්ධියට වඩා හැඟීම් වලට කතා කිරීම තුලින් වඩා වැඩි ප්‍රථිපල ලගාකර ගත හැකි බව වෙළඳ හා ව්‍යාපාරික විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත. නුතන වෙළඳ ලෝකයේ සියළුම වෙළඳ උපක්‍රම කතා කරනුයේ ඔබගේ මනසට නොව හදවතටය. සරල ලෙස මැක්ඩොනල්ඩ් හෝ KFC අවන්හලක් ගනිමු. එහි විවිධාකාර කෑම වර්ග ඇත. ඔබට අවශ්‍යය කෑම වර්ගය ඇනවුම් කල හැකි අතර එය හුදෙක් ඔබගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත්ය. මීට අමතරව ඔවුන් විසින් නර්මාණය කරන ලද set menu හෝ value meal ඇත. එකින් එකට ගණන් බැලුවොත් මේ සියල්ල වෙන වෙනම මිලදී ගන්නවාට වඩා එකට ගැනීමෙන් ඔබට ලාබයක් ලැබේ. නමුත් ඔබට අනවශ්‍ය දේ ඔබට ගන්න සිදු වේ. පළමුව ඔවුන් ඔබට ලාබ හා ඉක්මන් බව පෙන්වයි. දෙවනුව අනවශ්‍ය දේ මිලදී ගැනීමට සලස්වයි. අවසානයේදී ඔබ අනවශ්‍ය දෙයක් මිලදී ගනී. ඔබට ලාබයක් වූ බව සිතන අතර ඔබ මුදල් වියදම් කර අනවශ්‍ය දෙයක් කෑ බව නොසිතේ.

අනුර කුමාරගේ පෙර කි වීඩියෝව බලු විට මට දනුනුයේ එය හුදෙක් මිනිසාගේ හදවතට ඉඩ දෙන කතාවක් ලෙසය. වර්තමානයේ වාමාශික දේශපාලනය ගැන හෝ සමාජවාදය හෝ මාක්ස්වාදය ගැන උනන්දුවක් දක්වන පක්ෂ අතර ජ.වී.පෙ සිටිනුයේ ඉදිරියෙන්ම ය. ඔවුන් දැන් දැන් මාක්ස්වාදී දැනුම හෝ සමාජවාදී ක්‍රමය පිලිබඳ දැනුම සමාජ ගත කිරීමට වඩා වැඩි ඉඩක් ලබා දෙනුයේ හැගීම් වලට කතා කිරීමටය. විප්ලවවාදී පක්ෂයක් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනුයේ මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට වඩා තම මතය සඳහා වැඩි වේදිකාවක් ලබා ගැනීමටය. මෙලෙස සැලකිමදී මිනිසාගේ හැඟීම් වලට කතා කර විප්ලවයක් හෝ සමාජ පෙරළියක් සඳහා සමාජය මෙහෙවීම එකතරා විදිහක නුතන වෙළද උපක්‍රමයක් වැනිය. මා EQ ( Emotional quotient) සමාජවාදය ලෙස හැඳින් වුයේ මේ ක්‍රමයයි.

අනික් අතින් බැලූ කල IQ සමාජවාදයේ ඔස්තාර්ලා ලෙස පෙනී සිටි වාසු වැනි වාමාශික නායකයන්ගේ දේශපාලන දැනුම හා ප්‍රතිපත්ති ගැනද සැලකිය යුතුය. වරක් සිරසේ සටන දේශපාලන සංවාදයට පැමිණ ඔහු පැවසුයේ ඔහුට දේශපාලනය ඉගැනුවන් කියා සිටියේ සෑම විටම තම ප්‍රතිවාදියා ට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටගත යුතුය යන්නය. ඔහු කියන ආකාරයට ඔහු පෙනී සිටින්නේ අධිරාජ්‍ය විරෝධී වාමාංශික කදවුර වෙනුවෙන්ය. එසේනම් රනිල් සහ ඔහුගේ කණ්ඩායම අධිරාජ්‍ය ගැති දක්ෂිනාෂික කඳවුර විය යුතුය. නමුත් මහින්ද යනු මේ කොකටවත් නැති හුදෙක් තමාගේ පැවැත්ම සඳහා ක්‍රියා කල පුද්ගලයෙක් වන අතර වාසුට බැරි වුයේ තමාගේ ප්‍රතිවාදියා කවුරුද යන්න නිවැරදිව අවබෝධ කර ගැනීමටය. එසේනම් තවත් ඔහුගේ මාක්ස්වාදී දැනුම  හෝ දේශපාලන චින්තනය සමාජය පිලි නොගනී.

වර්තමානයේ කුමන රටක හෝ දේශපාලනය යනු වෙළඳ උපක්‍රම සමග බද්ධ වූ ව්‍යාපාරයකි. එය ඇමරිකා එක්සත් ජනපදයේ බැරක් ඔබාමාගේ සිට ස්වාසිලන්තයේ ගෝත්‍රික සමාජිකය දක්වා විහිදේ. නුතන වෙළඳ උපක්‍රම සියල්ලම භාවිතා කරන විද්‍යුත් මාධ්‍ය, සමාජ ජලා, අන්තර්ජාලය ආදී මෙකි නොකී සාම මාධ්‍යක්ම දේශපාලනය සඳහා යොදා ගනී. අපේක්ෂණයන් brand ලෙස ජනතාව අතරට පැමිණේ.එහෙත් තවම බහු ජාතික සමාගම් තම පාරිභෝගිකයාගේ හදවත අල්ලා සාක්කුව හිස් කිරීමේ ක්‍රමවේදය භාවිත අතින් දේශපාලන පක්ෂ සිටිනුයේ ප්‍රාථමික අවදියේය. ජන්දදායකයාගේ හදවත ස්පර්ශ කරන ad එකක් එනකන් හෝ හොඳ promotion එකක් එනකන් අපි බල ඉඳිමු.

Monday 22 June 2015

හීන් සැරේ ඔබ ආවා.....

1979 වසරේදී 'වසන්තයේ දවසක්' චිත්‍රපටයේ T M ජයරත්න ගායනය කල 'මාල ගිරා..' ගීතයට හොඳම ගීතය ලෙස සරසවි සම්මාන හෙමිවේ. කේමදාසයන් සංගීතයෙන් ඔපවත් වූ වසන්තයේ දවසක් හි සංගීතය හා එහි ගීත හැරුණු කොට වඩා වැදගත් දෙයක් නැති තරම්ය. එම චිත්‍රපටයේම 'හීන් සැරේ ඔබ ආවා' ගීතය මේ අතරින් විශේෂිතය.



හීන් සැරේ ඔබ ආවා......ආවා.....
රෑ සයනෙන් පිබිදී ....ඔබ....ආවා...ආවා......
යාන්තමින් මා සිත ඇදි පිළිරුව.......
ඔබ ආවා......
වැතිරී පෙම් සිරි යහනාවේ ඔබ
ආවා......ආවා......

තරුවෙන් තරුවට පැන පැන හිමිහිට......
මලකින් මලකට පියඹා හනිකට.......
මා දගකාරිය නාරිලතාවිය.......
කාන්සියේ..... මද අදුර මකා හැර.......//
හීන් සැරේ ඔබ ආවා......ආවා......

මත් කොවුලන් ගීත නදින......
සත් පියුමන් රේණු මතින......//
අත් වැල් බැද නටමු නටමු.......
සිත් සැණකෙළියේ......//

නීළඹ නිල් වියන යටින්......
පින්න පිපුණු පළස මතින්.....//
සුරංගනා රැගුම් රගමු......
සද තරු එළියේ......//

https://www.youtube.com/watch?v=lP0rxgzmxTQ

අජන්තා රණසිංහගේ පදරචන ගැන හෝ කේමදාසයන්ගේ සංගීතය ගැන මෙහිදී තවත් අටුවා ටීකා අවැසි නොවේ. මේ ගීතයේ දර්ශනයේ සිටුනුයේ T M ජයරත්නයන් ය. නමුත් ගායකයා අමරදේව ය. දර්ශන තලයේ සිටින තැනැත්තිය සුනේත්‍රා සරත්චන්ද්‍ර වන අතර ඇය ගීතය ගායනයට ද එක්වේ.T M ගායනයෙන් සහභාගී නොවී රංගනයේ (එම රුප තලයේ පමණි) සහභාගී වීම එක්තරා ආකාරයක දුබල සිදුවීමක් වුවද වඩා වැදගත් වනුයේ සුනේත්‍රා ගායිකාවක ලෙස ගීතයට කරනු ලබන සාධාරණය. මා ඇයගේ ගීත ගායනයක් අසා ඇති නම් ඒ වේදිකා නාට්‍ය ගීත ගායනයක් පමණි. නමුත් මෙම ගීතය ඈ තුල ඇති ගායන කෞව්ශල්‍ය අගේට පෙන්නුම් කරයි. පදරචනාවෙන් ඉඟි කරන හා සංගීතයෙන් කුල්මත් කරන ඒ හැඟීම් දනවන මොහොතට ජීවය දෙන්නේ සුනේත්‍රා ය. ඇයගේ කටහඬ ඒ තරම් ජවසම්පය;බලවත්ය.
මෙහි අමරදේවයන් ගැන කතා නොකරම බැරිය. අපරදිග ගායකයන් විශාල පරාසයක තම ගායනය ඉදිරිපත් කිරීමට දක්ෂය. පෙරදිග ගායකයන් භාවයන් ගායනය කිරීමට දක්ෂය. භාවයන් ගායනයේදී අමරදේව තරම් සියුම් ලෙස ඒ භාව ප්‍රතිනිර්මාණ කරන ගායකයෙක් තව සොයාගත නොහැකිය. නමුත් මේ ගායනයේදී අමරදේවයන් විවිධාකාර වූ පරාසයන්ට තම ගායනය ගෙන යයි. එය අපරදිග ගායනයක් දැයි සිතන තරම් චමත්කාරය. එසේම රාත්‍රියේ සැමට හොරෙන් තම පෙම්වතිය හමුවීමට යන ඒ සොඳුරු පෙම්වතාගේ නොසන්සිඳුණු හැඟීම් භාවයන් ලෙස ගෙන ගෙනෙන ආකාරය මනරම්ය. 'කාන්සියේ....' කියමින් ඔහු මතු කරන කාන්සිය ඔහුගේ ගායන පරාසයත් භාවයන් ප්‍රකාශ කිරීමේ හැකියාවටත් කදිම උදාහරණයක් ය.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

Wednesday 8 April 2015

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//

https://www.youtube.com/watch?v=MJUN-lbWEZA


ලංකාවේ යටත් විජිත සමයේ දේශීය ධනපති පන්තියක් බිහිවීමට රේන්ද කර්මාන්ත දැඩි ලෙස බලපෑවේය. මෙම රේන්ද ව්‍යාපාරය සමග එකටම බැඳුනු කර්මාන්තයකි රා මැදීම. සුදු පාට පොල් රා, ස්වර්ණ වර්ණ අරක්කු වලට පත් වූ පසු රා ගැන කිසිවක් නොවිමසනවා සේම රේන්ද ව්‍යාපාරයත් රේන්ද රාළ ගැන හැර මදින්නා ගැන විමසීමක් ගැන අප අසා නැත. රා මදින්නන් ගැන ගීත කිහිපයක්ම ලියැවී ඇති නමුත් මදින්නා ට වඩාත්ම සාධාරණය කෙරුණු ගීතය ලෙස මලින් මලට ඉගිලුනාට ගීතය සැලකිය හැක.

රා මැදීම රැකියාව ඉතා අනතුරුදායක රස්සාවකි. අනතුරු දායක ක්‍රියාවක් හැගවිමට  'අතුරේ යනවා වගේ' උපමාව බිහිවන්නේ ඔවුන් මලින් මලට පියාබන අතුර දිගේ යන අනතුරුදායක ගමන අනුවය.  මදින්නා ගේ රැකියාව සුවශේෂිය. ඔහුගේ රැකියාවට ම වෙන් වූ ආයුධ හා මෙවලම් කිහිපයක් ඇත. වක් මන්නපිහිය, ලබු කැටය, මල තැලීමට ගන්නා කොට කැබැල්ල, මේ සියල්ලම රඳවා ගැනීමට යොදා ගන්නා ඉන්නේ රඳවා ගන්නා ලී පෙට්ටිය මින් කිහිපයකි. බොහෝ විට ඔවුන් යටි කය ආවරණය කරගන්නේ තද නිල්පාට රෙදි කඩකිනි. පුරුදු පුහුණු නොවූ කෙනෙකුට මේ රැකියාව කිරීමට නොහැකිය. විශේෂිත ප්‍රගුණය සහිත වූ මේ රැකියාව කරන්නන් ගේ ජීවිත 'සමනල ජීවිත' නොවේ. අනේක විධ ආර්ථික දුෂ්කරතා  මැද ජීවිතය ගෙවන ඔවුන් පිලිබඳ සමාජය මවන චිත්‍රයද අඳුරුය. ගීත රචකයා පවසන පරිදිම ඔවුන් වන බඹරුන් ද නොවේ. නොඑසේනම් නරක මිනිසුන් නොවේ. මේ අනතුරුදායක රැකියාවට ඔවුන් පෙළෙඹෙන්නේ තැලී පොඩි වී ගිය තම ජීවිතය කෙසේ හෝ සරි කර ගන්නටය. තම දරුවන් ගේ කුස ගින්න නිවාලන්නටය. සත්තකින්ම මලට කලින් ඔවුන්ගේ ජිවිත තැලී අවසන්නය. ඔවුන්ගේ කඳුළ පැණි කරනුයේ තැළුණු මලය.

කොළඹ සිට කළුතර දෙසට ගමන් ගන්නා විට පානදුර, වාද්දුව ප්‍රදේශයන්හි 'රා බොමු' හෝ පිරිසිඳු පොල් රා' යනුවෙන් සඳහන් කල පුවරු දැකිය හැක. පිරිසිඳු රා සොයා ගැනීම 'කළුනික' සොයා ගැනීමක් වැන්නය. මදින්නා පොල් මල කැපීමට පෙර මල තලයි. එයට බෙහෙත් බඳියි.  මේ ක්‍රියාව දින තුන හතරක් කිරීමෙන් පසු මල ස්වල්පයක් අහියි. පසුව මලෙන් වැස්සෙන පැණි එකතු කිරීමට මුට්ටියක් රදවයි. මේ ක්‍රියාව හා අම්පන්න කෙතරම් පිරිසිඳු වුවද පසුදින උදෑසනට මුට්ටියට ලැබෙන රා රාත්‍රියේ අපිරිසිඳු වී හමාරය. කැරපොත්තන්, කුරුමිණියන්, මැස්සන් වැනි සතුන් මේ රා මුට්ටිය තුල දැකිය හැක.  එසේම නිශාචර සතුන් සමහරවිට මේ රා මුට්ටියට දිව දමා සැමට පෙර රස බලා අවසන්ය. ප්‍රනීත රා යනු ගහෙන් බාපු ගමන් ලැබෙන රා ය. රා පිප්පෙට දැමීමට පෙර ඉහත සඳහන් කල සතුන් ඉවත් කිරීමට පෙරනු ලබයි. පිප්පය පිරවීමෙන් පසු එය රා එකතු කරනු ලබන ස්ථානයට රැගෙන යයි. මෙලෙස රැගෙන යන ආකාරය නිසා  (පොල්ලකින් තල්ලු කිරීම) රා පිප්පය තුලදී පැසීමට ලක් වේ. මේ රා 'ගසෙන් බාපු ගමන්' වූ රා වලට වඩා තත්ත්වයෙන් බාලය.

රා මැදීම බොහෝ විට සිදුවන්නේ නිරිතදිග වෙරළ ආසන්නයේ පොල් වතු වලය. නිතරම ඇදහැලෙන වර්ෂාව මදින්නගේ ජිවන තත්වයද රා වල තත්වයද බාල කරයි.  තෙතබරිත වූ පොල් ගස් වලට නැගීම හෝ අතුරේ යාම වැසි දිනක කල නොහැක. එසේම සමහර විට වැසිවතුර මිශ්‍ර වීම නිසා රා වල ගුණයද බාල වී ඇත. නියම රා රස දන්නා අයට මේ සියල්ල ක්ෂණයකින් අවබෝධ කර ගත හැක. එපමණක් නොව සමරුන් ලා ගසකින්ද නැතිනම් වයසට ගිය ගසකින්ද ඒ රා ලැබුනේ යන්න කීමට තරම් ප්‍රගුණ කර ඇත. එක්තරා ආකාරයකට බටහිර රටක wine රස බලන්නන් තරමට රස ප්‍රගුණ කල වෘර්තිය මට්ටමේ නොවුනත් 'රා රස' බලන්නන් ලංකාවේදී සොයා ගත හැක. රා ගැන සදහන් කිරීමේදී byte එක ගැන සඳහන් නොකරොත් එය අඩුවකි. බොහෝ රා පොළවල් වල කටගැස්ම ලෙස දෙනු ලබන්නේ තම්බපු මයියොක්කා හා කොච්චි මිරිස් සම්බෝලය ය. රා නැතිව  උනත් මේ කටගැස්මේ රස බැලු කෙනෙකු  එය 'දිව්‍ය අමෘර්තය' පරාද බව නොකියන්නෝ කවරහුද?

මා මේ ගීතයේ වඩාත් ආසම පද පෙළ 'අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ- පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි' යන පද කිහිපයටය. අහසින් වඩින්න පින ලැබෙන්නේ ධ්‍යාන ලැබූ ඇත්තන්ටය. පෙළහර පන්නේද මනස දියුනුකරගත් මුණිවරුන්ය. එසේ නැති නම් දෙවිවරුන්, බුදුවරුන්ය. රා මදින්නා මෙලෙස විශේෂ වූ බලයක් ලැබුවෙක් නොවේ.අතුරේ යනමින් මේ කරන රැකියාව එලෙස පින් බලය නිසා හෝ මනස දියුණු කරගත් නිසා හෝ ලැබුණු දායාදයක් නොවේ. අතුරේ යමින් කරන පෙළහර හුදෙක් රැකියාව නිසාය. සමහරුන්ට රා මදින්නා දෙවියෙකු වුවද,ගස් දෙකක් එකින් සම්බන්ධ මරමින් දිවෙන ලණු පොටවල් දෙකක ගමන් කරමින්  ඔහුගේ නැති බැරි කම නිසාවෙන් මේ අනුහස් ඔහුට ලැබී ඇත.

ගස් මදින්නන් ගැන විවිධ කතා මා අසා ඇත. මේ කතා වල සත්‍ය අසත්‍ය තාවය කෙසේ වෙතත් එය රසවත්ය. වරෙක අතුරේ ලනු පොටක් කැඩී එල්ලෙමින් සිටි මදින්නෙකු රා සොයා පැමිණි විදේශිකයෙකු බේරා ගත් සිද්දියක් මගේ මතකයේ ඇත. තවත් මදින්නෙක් ඔහු නගින පළමු ගසේ රා කලය බි හිස් කර අනෙකුත් ගස් වලට යන කතාවක් ද මට මතකය. එලෙස පළමු රා කලය පෙරා බිම සඳහා ඔහු දිගට වැඩුණු උඩ රැවුල යොදා ගත බව කියයි. ඇත්තෙන්ම සිදුව ඇත්තේ පියවි සිහියෙන් අතුරේ ගමන් කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව රා වලින් මත වී අනෙකුත් ගස් වලට අතුරා දිගේ ගමන් කිරීමට. සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය වගේම රා සහ ඒ හා සම්බන්ධ සියළු කරුණු කාරනා රසවත්ය.


facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.