Sunday 18 May 2014

නාම විශේෂණ මට නැත ඔබ ගැන....

ගුරු ගීතයේ  අල්තීනායි, තම ගුරුවරයා වූ දුයිෂෙන් ට ආලය කරන බව ලියා දැන්වූ කල දුයිෂෙන් කලේ අල්තීනායි ව මග හැරීමය. ඇයට ලිවිම නතර කිරීමය. තම සිසුවියගේ නිබඳ දියුණුව පැතු පරමාදර්ශී ගුරුවරයෙකු ලෙස දුයිෂෙන් ගේ ක්‍රියාව සමග මට නිරන්තරව සිහිවනුයේ අපේ කාලේ ගුරුවරුන් ගැනය. බොහෝ tution ගුරුවරුන්ගේ බිරිඳ, දෙවැනි බිරිඳ, හොර ගෑණි, ඇතුළු මෙකි නොකී සියළු දෙනා බොහෝවිට තමන්ගේ සිසුවියක් ය. එසේ නොවන ගුරුවරුන්ට මල් මිටක් තිලිණ කිරීමට පසුබට නොවෙමි. මේ ගීතය ගෝල ප්‍රේමය ඉදිරියේ ගුරුවරයා ගේ හැසිරීම කෙබඳු විය යුතුදැයි සිහි ගන්වයි.

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරි කරලන්නට ඔබෙන් වරම් යදිමින්

මේ ශිෂ්‍යාව තම අඳුරු තුමාගේ රුවට නොව ගුණ 'සුවඳ' ට වශී වී සිටි. එය ඇයට සිහිනෙන් ගෑ සුවඳක් බඳුය. ඈ ප්‍රර්ථනා කරන ලෝකය නිර්මාණය කරගැනීමට වරම ඉල්ලන්නේ මේ නිසාවෙනි

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුවරයා ට අබ මල් රේණුවක තරම්වත් මේ ගැන හැගීමක් නැත. ඔහු ගුරු ගෙදරට පැමිණෙන්නේ තම ශිෂ්‍යන්ට ඉගැන්වීමටය. මේ සිසුවිය ගැන විශේෂයක් ඔහුට නැත.

හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කිවා
කුලුදුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ලතවෙනවා

ශිෂ්‍යාව කුල්මත්වන්නේ ඔහුගේ නෙත් සඟලින් කියවෙන දේ ගැනය. ඈ සිතන්නේ එය ප්‍රේමනීය කැදවීමක් ලෙසය. ඈ තම සිතැගි තම ගුරුවරයාට නොවලහා පවසයි. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු හා වෙලෙන්න ඈ ඔහුට ආරාධනය කරයි.

කෝප නොවන්නට මා ප්‍රිය සිසුවිය සිත නුබ  කළඹාදෝ
ශිල්ප උගන් නුබ නොමග යැවූ  දා මා ඇදුරිඳු වෙම්දෝ

ගුරුතුමා තවමත් සන්සුන්ය. ඔහු ඉතාමත් සංයමයකින් ඇයට කරුණු පහදයි. අය කැළඹී ඇති බව පසක් කර දී ගුරුවරයෙක් ලෙස ඇයව නොමගට යවන්න ඔහුට නොහැකි බව පවසයි.

සමාවන්න මට ඇඳුරුතුමනි මගේ සිරකරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්

සිසුවිය ගුරුවරයාගේ වචනය අවබෝධ කර ගනී. ඇය තම සිතැගි පාලනය කර ගන්නා බවත් සිතට වහල් වී පෙම් නොකරන බවත් පවසයි. එසේම ඇය ඔහුට ප්‍රශංසා කරයි.

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙදරට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගුරුතුමා නැවතත් ඇයට පවසනුයේ ඔහු පැමිණියේ ඉගැන්වීමට බවත් විශේෂ සැලකිල්ලක් ඇය පිලිබඳ නැති බවත්ය.

අයි. ඩි ජයතිස්සයන්ගේ පදමාලවත්, තිස්සසිරි පෙරේරා ගේ සංගීතයත් ඉතාමත් සරලය. සජීවී ගායනයක් බැවින් ගායනයේ සුළු අඩුපාඩුකම් දැකිය හැක. මා මුලින්ම මේ ගීතය ඇසුවේ ලක්ෂ්මන් විජේසේකර ගේ හඬින් ය. මායා දමයන්ති ගේ ගායනය ඉතාමත් මිහිරිය, සුමගය, භාවපුර්ණය. විශාල ස්වර පරාසයක නොවුනත් ඇය ඉතාමත් අගේට ගීතයට අනුකුල භාවයන් ප්‍රකාශ කරයි...

https://www.youtube.com/watch?v=g6DTWmy_aiY

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

No comments:

Post a Comment