Sunday 25 June 2017

සුද්දි නගේ නුඹෙ හිනාව....


කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ //

වක්කලමේ තොටමුණ ලඟ දිය රල සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැවේ
ලැජ්ජාවෙන් මුව රතුවී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ //

කුඹුක් ගහේ...

උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණම ඇයි හොඳ නැතිවද නගේ
හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ //

කුඹුක් ගහේ...




කිහිප විටක්ම මේ ගීතය ශ්‍රවනය කර ඇතත් සමහර ගීත මෙන් මේ ගීතය පිලිබඳ එක වර සිත ඇදී ගොස් නොතිබුණි. වෙනත් ගීතයක පදවැල් සොයන අතරේ මේ ගීතය හමු විය. පදවැල කියා වූ සැනින් ගීතය පිලිබඳ ඇති වුයේ ඉතාමත් සොම්නස් සහගත හැඟීමකි. ගීතයේ අදහස කියා පැමට යොදා ගත් පාරිසරික සාධක ඉතා මනරම්ය. වචනයෙන් වචනයට පේලියෙන් පේලියට රචකයා ස්වභාව චමත්කාරය සමග ගෙන එන උපමා රූපක අපුරුය. ඇත්තෙන්ම සුද්දී නගාට මේ ගීතයේ කියන දේ වැටහ ගනු හැකි වන්නේ මේ පරිසරයේ චමත්කාරය  හා සිංහල සාහිත්‍ය පොත පත විඳ ඇත්තම් පමණි.
කුඹුක් ගස් වැඩෙන්නේ ගංගා ඉවුරුවල. අඩි 50-60 පමණ උස යන කුඹුක් ගසේ මල් පිපින්නේ එක කාලයකට. ඒ බොහෝ විට අවුරුදු කාලයට වගේ. මල් පෙනුමෙන් කුඩා නමුත් එක ඉත්තට පිහිටීම නිසා මල් පිපෙන කාලයට කුඹුක් ගස් හරියට මල් රෙද්දකින් වැසිලා වගේ. මේ මල් වලට පොරකන බඹරු නර්තනයක් ඉදිරිපත් කරනවා හා සමානයි. කුඹුක් මල් වල බඹරු නටනවා පමණක් නොව තිඹිරි ගෙඩි රතු පාටට ඉදී අතු නැමිලා ඇත. සිංහල කවියා රත් පැහැ ගැන්වුණු තිඹිරි ගෙඩි උපමා කරනුයේ නව යොවුන් කාන්තාවන්ගේ පයෝදර වලට. පරාභව සුත්‍රයේ එක තැනක කියෙවෙනවා 'වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන..' (https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA). මේ සියළු පාරසරික කාරනා අතර ඔවුන් නොවුන් හඹා යන සමනළ රංචුවක් සේ සිත ඒ මේ අත දුවනවා. එත් ඒ සිත, ඒ දණ්ඩකින් යනවා වගේ ඒ මේ අත වැනෙන සුළුයි. ඒ උනාට සුද්දී නගා ගේ සිනාහව ඉද්ද කැකුලක් වගේ. ඉද්ද පොහොට්ටු පිපෙන්න පෙර ඉහලට ඉස්සිලා තියෙන්නේ. හරියට ආඩම්බර කමට උඩ බලාගෙන ඉන්නවා වගේ. වගේ තමයි සුද්දී නාගගේ හිනාවත්. එය අලංකාරයි. නමුත් ඒ හිනාව කිසිම සුබදායක ඉඟියක් දෙන්නේ නැහැ කතානායකයට.

කුඹුක් මල්
(https://apeosupela.blogspot.com.au/
2014/09/terminalia-arjuna.html)
තිඹිරි
(http://rasikalogy.blogspot.com.au/2017/04/blog-post.html)


ගඟක් නැමෙන තැන තමයි වක්කලම නිර්මාණය වෙන්නේ. වක්කලම බොහෝ විට ගඟේ ගැඹුරු ස්ථානයක්. මේ නිසා තමයි මිනිස්සු තොටමුණ වක්කලමේ නිර්මාණය කරන්නේ. සුද්දී නගා නාන්න එන්නේ මේ තොටුමුණට. අපේ කතා නායකයා කියන්නේ තොටුමුණ ළඟ දිය පාර සැර නැහැ. ලංකාවේ ගැමියන් බොහෝ විට කියන දෙයක් තමයි දිය පාර සැර නැති නම් ගඟ ගැඹුරුයි කියලා. ඒක නිසා සුද්දී නගාට හදිස්සි වෙන්න කාරනවකුත් නැහැ.ඒ එක්කම ගහල වැලේ මල් පිපිලා එකෙන් මුවාවෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා. හරියට ආරුක්කුවක් වගේ. කාටවත් පෙන්නේ නැහැ. මට නම් ගහල කිව්වම මතක් වෙන්නේ හබරල කොලය වගේ ගහක්. අල බහින්නේ පොළවේ නේ. එකේ පිපෙන්නේ එක මලයි එක ආරුක්කුව වගේ නැමුනත් මේ කියන කතන්දරයට සමීප නැහැ. මේ කතා කරන්නේ 'වැල් අල' ගස් ගැන වෙන්න ඇති. එකේනම් මල් පිපෙනවා විශාල ලෙස. නමුත් සුද්දී නගා යනවා බිම බලාගෙන ලජ්ජාවෙන් මුණ රතු කරගෙන. කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ කතා නායකයට.

ඉලුක්
(http://savi.lk/ඉලුක්/)
අවසන් පදවැල් කිහිපය හරියට සුද්දී නගා ගෙන් බලාපොරොත්තුවන පිළිතුර නොලැබෙන නිසා ඇතිවන නෝක්කාඩුවක ස්වරුපයක් ගන්නේ. සුද්දී නගා උන පඳුරේ සිලි සිලි හඬත් සමග මුමුනන සිපදය ඔහුට පමණක් අසුනාම තියන වැරැද්ද මොකද්ද කියලා අහනවා. එසේම ඔහු කියනවා වෙන කාගේවත් හිතකට මේ වගේ එබිකම් කරලා නැහැ කියලා. අවසානයේ කියන්නේ ඔහු ගේ හිත නමැති ඉවුර ළඟ ඉලුක් මලක් වෙන්න එපා කියලා. ඉලුක් ගහ තණකොළ ගහ වගේ ටිකක් විශාලයි. එකේ මල සිහින් දිගටි මලක්. නමුත් පොඩි සුළඟකට පවා මේ මල විසිරිලා යනවා. කතා නායකයාගේ සිත් ඉවුර අසබඩ ඉලුක් මලක් වුනොත් සුද්දී නගා, වැඩි කාලයක් නොගිහින් සුද්දී නගා ගැන සිතුවිලිත් ඉලුක් මල වගේ විසිරිලා යාවි. ඒ නිසයි සුද්දී නගා ට කියන්නේ ඉලුක් මලක් වෙන්න එපා කියලා.

සුනිල් එදිරිසිංහයන්ගේ සුනිල්වන් හඩින් රසවත් වෙන්නේ  අබ්දුල් කේ. සාදික්  ගේ පදවැල සමගින් දර්ශන රුවන් දිසානායකගේ සංගීතය. සුනිලයන්ගේ හඬ ගැන තවත් විශේෂණ උවමනා නැත. ඔහු උපරිමන්න්ම ගීතයට සාධාරණය ඉටුකරයි. මට මතක ඇති ආකාරයට මේ දර්ශන රුවන්ගේ පළමු ගීත නිර්මාණ වලට එක් වන ගීතයක්. ඔහුටම අවේනික වුණු විවිධ සංගීත හඬ (භාණ්ඩ) බොහොමයක් නිර්මාණවලට එක් කර ගැනීම මෙහිදීද සිදුවී ඇත. නමුත් එය මෑත යුගයේ ඔහුගේ නිර්මාණ වන 'මට මගේ නොවන ආදරයක්' හා 'මේ තරම් සියුමැලිද කළු ගල්..' වැනි ගීත තරම් දුරට භාවිත කර නැත. අබ්දුල්  සාදික් යොදාගෙන ඇති බස හා උපමා රූපක ආදිය සහ පාරසරික ලක්ෂණ ඔහු කෙතරම් ලාංකික භුමිය සමග සංයෝජනය වී ඇති අයුරු මොනවට කියා පායි. ඔහුගේ නිර්මාණය තුල ඔහු දකින පාරිසරික ලක්ෂණ, දාර්ශනික තලයකට ගෙන යයි. එසේම පදවලට නැගුනු මේ නිමිත්ත සමගින් ඔහු කෙතරම් සිංහල සමාජය සමග බද්ධ වී ඇත්ද යන්න සිතා ගත හැක. ඇත්තෙන්ම අබ්දුල් සාදික් ගේ නම මුස්ලිම් වුවාට ඔහුගේ නිර්මාණය නම් සමහර සිංහල නිර්මාණකරුවන්ගේ ගීත වලට වඩා සුභාවිත සිංහලය.

No comments:

Post a Comment