Showing posts with label අබේවර්ධන බාලසුරිය. Show all posts
Showing posts with label අබේවර්ධන බාලසුරිය. Show all posts

Tuesday, 30 January 2018

කුමක් ලියන්නද සමරු පොතේ....

සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතිවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ

දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්

ඈත දිහාවක ආදර වෙරළේ
අපි හමුවූයෙමු අරුණෝදේ
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොඳුරු ලඳේ

https://www.youtube.com/watch?v=5tyWsJRELZU

සමරු පොත... අර floppy ඩිස්ක්, කැසට් පටි වගේ 70 දශකයේ ඉපදුනු අය මුහුණු පොතට පෙර භාවිත කල තවත් අපුරු පොතක්. ගැහැණු පිරිමි ළමයින් බොහොමයකට ඔවුන්ගේ පාසල් කාලයේදී එහෙම නැති නම් නව යොවුන් වියේදී සමරු පොත් තිබුනා.. මේ පොත් වල ජනප්‍රිය පුද්ගලයන්ගේ අත්සන් වගේම තමන් ඇසුරු කල පුද්ගලයින්ගේ විවිධ අසිරි සුභ පැතුම් එක් වී තිබුනා... සමහරුන්ට මේ සුභ පැතුම් හෝ අත්සන ඔවුන්ගේ ප්‍රාණය සමාන වුවා. එසේම සමර වෙලාවට කෙනෙකුගේ සමරු පොතක සටහනක් තැබීමට අවස්ථාව ලැබීමත් තව කෙනෙකුට ජීවිතයේ ලැබුණු මා හැගී අවස්ථාවක් උනා. හරියටම කිව්වොත් මුහුණු පොතේ friend request හරි comments හරි එහෙම නැති නම් Likes වගේ තමයි. සමහර සමරු පොත් වල දෙතොලින් කියා ගන්න බැරි උණු බොහෝ දේවල් ලියවිලා තිබුනා. ඇත්තෙන්ම තමන්ගේ හිත ගත් තැනැත්තෙකුගෙන් හරි තැනැත්තියකගෙන් සමරු සටහනකට ආරාධනාවක් ලැබුනොත් කුමක් ලියන්නද කියන පැනය නිතැතින්ම එනවා.

සමරු පොතත් හරියට මුහුණු පොත වගේ තමයි. සමහරුන් ආසයි හොඳ හොඳ පණ්ඩිත වාක්‍ය ලියා ගන්න. එකත් හරියට මුහුණු පොතේ ලොකු ලොකු මිනිස්සු තමන්ගේ යාළුවො කියලා එකතු කරගෙන තමනුත් එහෙම පොරක් කියලා සිගිති වින්දනයකට පත්වෙනවා වගේ... මට මතකයි පොඩි කාලේ ගියා radio කතන්දරයක්. ඒ කතාවේ ගැහැණු ළමයට මේ වගේ පිස්සුවක් තිබුනා. එයාගේ ගෙවල් ළඟ සිටියා බොහොම පණ්ඩිත පුද්ගලයෙක්. දවසක් මේ ගැහැණු ළමයා ගෙනත් දෙනවා සමරු පොත අර පුද්ගලයට පණ්ඩිත වාක්‍යක් ලියව ගන්න සැමරුමක් විදිහට. මේ මනුස්සයා මුළු පොත පිරෙන්නම ලියනවා. එතනින් පස්සේ කාට දෙන්නද සමරු පොත...කොහොම පෙන්නන්නද තමනුත් ආශ්‍රය කරන්නේ පණ්ඩිත මිනිස්සු කියලා...

මේ ගීතය ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ රචනාවක්. ඔහු හොඳ නිවේදකයෙක්. දැන් වගේ වේදිකා වල ලතෝනි දෙන  නිවේදකයෙක් නෙමෙයි..සිත් ඇදගන්න සුළු වචන පෙළක් සමගින් ගායකයන් හා ගායිකාවන් හඳුන්වා දෙන්න ඔහුට පුදුම හැකියාවක් තිබුනා.. මේ නිසාම ඔහුගේ බසට සිත් ආදී ගිය ගැහැණු ළමයිනුත් ගොඩක් ඉඳලා තියෙනවා...දවසක් එහෙම ගැහැණු ළමයෙක් ඔහුට සමරු පොතක් දීලා තියෙනවා. කුමක් හෝ හේතුවකට ධර්ම ශ්‍රී ගේ සිත ත් පොඩි චකිතයක් ඇති වෙලා තියෙනවා ඒ වෙලාවේ... ඒ චකිතය නිසාම කුමක්මේ ලියන්නද කියන පැනය සිතට ඇවිල්ලා තියෙනවා. සිදුවීම පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය ලියන්නේ..

සමරු පොත් සමග ගනු දෙනු කල පුද්ගලයන්ට විවිධාකාර අත්දැකීම් ඇති... මගේ උසස් පෙළ පන්තියෙත් හිටියා සමරු පොතක් පන මෙන් රැක්ක කොල්ලෙක්. ඔහු ගේ සිත් ගත්ත කෙල්ලක්. මේ ප්‍රේමයකට මුල පුරන කාලය. මේ කෙල්ලගේ සමරු සටහනක් තිබුන මේ කියන සමරු පොතේ.. මේ වගේ දේවල් වලට අකුල් හෙලීමට තිබුණු කෑදර කමට දිනක් මේ පොතේ ඒ සමරු සටහන තිබුණු පිටුවෙම අනිත් පිටේ මා සහ තවත් මිතුරෙක් ශුද්ධ සිංහලෙන් සටහනක් තැබුවා. සිත ගිය තැනැත්තියගේ නිසා ඒ පිටුව ඉරලා දාන්නත්සැ බැහැ...ශුද්ධ සිංහලෙන්හෙ ලියලා තිබුණු නිසා නොඉරා ඉන්නත්න බැහැ...  කාලයක් ඔහු මේ අසමත්ජාති වැඩේ කලේ කවුද කියලා හෙව්වා... 

ගීතය ගායනය කරන්නේ අබේවර්ධන බාලසුරිය. මා ආසම කරන කටහඬක්. වැඩි ගීත ගණනාවක් ගායනය නොකලට ගායනය කල ගොඩක් ගීත රසිකයන්ගේ මතකයේ රැඳුනා. සංගීතය වික්ටර් රත්නායක ගේ... වික්ටර් ගේ ගීත වලට පෙම් බඳිනා රසිකයන්ට මෙය වික්ටර් ගේ කියලා යලිත් හඳුන්වා දෙන්න ඕනනේ නැහැ... ඒ වික්ටර් ලකුණ මේ ගීතයේත් තියෙනවා...අබේවර්ධන බාලසුරියගේ බොහොමයක් ගීත සංගීතවත් කරලා තියෙන්නේ වික්ටර්. සමහර විට ඒ ගීත රසිකයන්ගේ මතකයේ රැදෙන්නත් වික්ටර් ගේ සංගීතය බලපාන්න ඇති.


Thursday, 29 October 2015

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ..

මම runaway bride සිනමා පටය ප්‍රථම නැරඹුවේ campus එකේ  NAT ශාලාවේ  පෙන්නුව අවස්ථාවේ. Angelina Jolie මගේ සිහින කුමරිය ලෙස අභිෂේක ලැබීමට පෙර එතැනට හිමිකම් කිවේ Julia Roberts ය. ඒ නිසා මේ චිත්‍රපටය ගැන විශේෂිත වූ ඇල්මක් මා හට තිබුණි. ප්‍රදර්ශනය ආරම්භ වීමට පෙර, මා සහ මිතුරන් දෙදෙනෙක් 'පීචම'ට වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටි අතර එක වර මගේ මිතුරෙක් එකවර මෙසේ ප්‍රශ්නයක් ඇසුවා.

"Wedding එක දවසේ උඹගේ කෙල්ල පැනලා ගියොත් මොකද කරන්නේ..."

ඒ කාලයේ මා වේලි වේලි ඉන්නා කාලය බැවින් සරල ලෙස " wedding එකට ඉස්සෙල්ලා කෙල්ලෙක් හොයා ගන්න එපැයි.." පවසා ප්‍රශ්නයෙන් ලිස්සා ගියේය.

"එතකොට උබ..?" දැන් ප්‍රශ්නය මගේ අනෙක් මිතුරා වෙතය. ඔහුට පෙම්වතියක් සිටිය බැවින් මගහැරිය නොහැක.

" මම නම් මරාගෙන මැරෙනවා.." ඔහුගේ පිළිතුරත් සමග අපී දෙදෙනා මහා හයියෙන් සිනා සුනෙමු.

සතකින්ම runaway bride සිනමා පටන් පසුව මට ඒ ප්‍රශ්නයේ බැරෑරුම් කම පසක් විය. විවාහය දිනයේදී මනාලිය පැනයාම කුමන සමාජයක වුවද මනාලයා වික්‍ෂිප්තකරන කාරණාවකි. අබේවර්ධන බලසුරියන් ගයන මේ ගීතයෙන් කියනුයේ සාමාන්‍ය සිංහල තරුණයකු මුහුණ දුන් ඒ (අ)වාසනාවන්ත සිදුවීමය.

සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවිඩයක් ඇවිදින්
මඟුල් දා දෙබරෙට ගැසුවා සේ//

සිංහල උළුගෙට ගෙවදින දවසේ
පාන්කිරිත්තෙක් වහලෙට බැස්සේ//
මගුල් කෑම දවසේ
නෑයොත් ගෙට ඇවිදින්

සැරසිලි ගොක්කොල . . .

පාලම් බැන්දේ යන්නයි කැන්දන්
පාලම උඩ මම තව විස්සෝපෙන්//
ඔරුවෙන් එගොඩ වෙලා
සොබනි කොහෙද ගිහින්

සැරසිලි ගොක්කොල . . .


අබේවර්ධන බාලසුරිය ගේ කටහඬ තුල අමුතුම රසයක් මම දකිමි. ඒ හඬ බොහෝ ගාම්භීරය. නමුත් සුපැහැදිලිය. හොඳ පිරිමි කටහඩකි. ඔහුගේ 'ඔබෙන් තොර ලෝකයක්', 'මළවුන් ගේ නගරයේ', 'කල්පනා ලොව මල් වනේ..' වගේ ගීතවල මේ බව අගේට පැහැදිලි වේ. මා අසා ඇති පරිදි අබේවර්ධන බාලසුරියන් ගායකයකු වීමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙකි. බොහෝ විට අනෙකුත් හමුදාවන් වලට වඩා නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ගේ කාර්ය තරමක් අමරුය. හේතුව ඔහුගේ විධානයන් පැහැදිලි ලෙස ලබා දිය යුත්තේ සාගර ගෝෂාව සමගය. සමහර විට මේ හේතුව ඔහුගේ කටහඩට බලපෑවා විය හැක

මේ ගීතයේ තේරුම පදයෙන් පදය විස්තර කිරීමට අවැසි නොවේ. විචිත්‍රවත් සිත්තමක් මවා පාන්න සේ සෑම පද පෙළක්ම අලංකාරව නිර්මාණ කර ඇත. ඊටත් වඩා යොදා ගත් උපමා රූපක සියල්ල සිංහල ගැමි සමාජය සමග මුසු වී ඇත. පයට හැපි පුන්කලස බිඳී යාම සිංහල සමාජයේ 'අසුබ ලකුණකි'. එසේම පාන්කිරිත්තා ද සලකන්නේ අසුබ නිමිත්තක් ලෙසය. රචකයා මගුල් දින මනාලිය පැනයාම නමැති අසුබ නිමත්ත හැඟවීමට යොදා ගත්තේ ඉහත කාරණාය. මා වඩාත් ඇලුම් කරනුයේ 'ඔරුවෙන් එගොඩ වෙලා - සොබනි කොහෙද ගිහින්' පද පෙළටය.  සොබනි කොයි වගේ කෙල්ලෙක්ද යන්න පැහැදිලි කරනුයේ ඒ පද පෙළය.
මෙහි රචකයා කවුරුන්ද යන්න සොයා ගැනීමට මම අපොහොසත් වුනෙමි. පද වැලේ තිබෙන චිත්‍ර රුප මැවීමේ ගුණය අනුව පද රචකයා ලුෂන් බුලත්සිංහල ලෙස අනුමාන කරමි. වැරදි නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.