Tuesday 1 March 2016

මුලාග්ගාය හැදුණු දේශපාලකයිනි ක්ලින්ටන්ගෙන් ඉගෙන ගන්න...

 
ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ගේ නිර්දේශ ලියුම හා ඒ ගැන අසු මාධ්‍යවේදියා නිසා මළ පැනීම දැන් හැමෝම දන්නා කරුණකි. ඒ ලිපිය මගින් කැබිනට් ඇමතිවරයෙකු නිකම්ම නිකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තත්වයට වඩා පහල තතවයකට පත්වීමට ඔහුට හැකි විය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එවැනි ලිපි ලබා දෙන්නේ වැවේ මසුන් මැරීමට හෝ කැලයේ දර කැඩීමට ප්‍රාදේශීය ලේකම්ට නිර්දේශ කිරීමටය. කෙසේ හෝ අපගේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන පසුගාමිතාවය කදිමට මේ ක්‍රියාවෙන් පෙන්නුම් කරයි. මන්ද දේශපාලන විද්‍යාව ඉගැන්වීම සඳහා කථිකාචාර්ය වරයෙකු බඳවා ගැනීමට මේ නිර්දේශය ඉල්ලන ඔහු දේශපාලන විද්‍යාවට සමානාත්ම තාවය, ප්‍රජන්ත්රන්තවාදය, ආණ්ඩුක්‍රමය, යහපාලනය යන දේවල් ඉගෙන ගත්තාදැයි මට නම් සැකය. එසේ ඉගෙන ගත්තේ නම් මෙවැනි ලිපියක් ඇමතිවරයෙකුගෙන් ඉල්ලා නොසිටුණු ඇත. අනෙක් අතට ඇමතිගේ නිර්දේශ සඳහා පාදක වන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. ඔහු කියන ආකාරයට 'සුදුසුකම් බලා' පත්වීමක් දෙන්න අවශ්‍ය නම් ඔහුගේ නිර්දේශ අවශ්‍ය නැත. කෙසේ හෝ කිරිඇල්ලට මළ පැනීමට වඩා භයානක කම ඔහු කල වැරැද්ද සාධාරණිකරණය කරන්න යාමය. මා බිල් ක්ලින්ටන්ව මෙයට සම්බන්ධ කර ගනුයේ මේ මළ පැනීම හා ඔවුන්ගේ පරමාදර්ශී චරිත ඇමරිකාවේ පමණක් ඇති නිසාය.


බිල් ක්ලින්ටන් අමෙරිකා එක්සත් ජනපදයේ මෑත යුගයේ බිහි වූ සුවිශේෂී ජනාධිපතිවරයෙකි. වසර අටක් ජනාධිපති ලෙස සිට ඔහු ධුරයෙන් සමුගන්නා විට ඔහුගේ ජනප්‍රියතාවය බලයට පත් වුවාට වඩා වැඩිය. නමුත් ක්ලින්ටන් තරම් අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දුන් අමෙරිකානු ජනාධිපතිවරයෙකු නැති තරම්ය. පුද්ගලික ප්‍රශ්නයක් මත අමෙරිකානු උසාවියේ පෙනී සිටි පළමු ඇමරිකානු  ජනාධිපතිවරයා ඔහුය. මොනිකා ලෙවිස්කි සම්බන්ධ ප්‍රශ්න දී ඔහු ගේ හැසිරීම කිරිඇල්ල වැනි ඇමතිවරුන්ට හොඳ පාඩමකි. ඔහුට මාධ්‍යයෙන්, ජනතාවගෙන්  පමණක් නොව තම නිවසෙන්ද මොනිකා සම්බන්ධ ගැටලුවේදී ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකය. හිලරි ක්ලින්ටන් (වර්තමාන ජනාධිපති අපේක්ෂක) යනු අනෙක් සෑම ජනාධිපති බිරිඳකට වඩා වැඩි පෞර්ෂයක් හිමි කාන්තාවකි. නමුත් ක්ලින්ටගේ තිබු විශේෂ ගුණය නිසා ඔහුට තම පවුල් ජීවිතය පමණක් නොව දේශපාලන ජිවිතයද නිසියාකාරව හසුරුවා ප්‍රශ්නය සමථයට පත්කර ගැනීමේ  හැකියාව තිබුණි. ඒ විතරක් නොව මෑත ඉතිහාසයේ ඇමෙරිකාවේ හොඳම ආර්ථික කාලපරිච්චේදය බිල් ක්ලින්ටන්ගේ ධුරකාලය වන අතර ජාතන්ත්‍යන්තරව ඇමරිකාවේ හොඳම විදේශ සම්බන්ධතා පැවතියේ ක්ලින්ටන් යුගයේදීය.

දේශපාලන විශ්ලේෂකයින් ක්ලින්ටගේ මේ අසාමාන්‍ය ජනප්‍රියතාවය ගැන කරුණු සෙවීමට උතසහ ගැනිණි. ඔහුගේ ධුර කාලයේ ඡායාරුප විශ්ලේෂණය කල ඔවුන්ට මහජනයා හෝ මාධ්‍ය ඉදිරියේ ක්ලින්ටන් ගේ තරහා ගැනුණු, අප්‍රසන්න  හෝ දුක්මුසු කිසිඳු ඡායාරුපයක් හමු නොවිය. වැඩි දෙයක් නොව උසාවියේ ප්‍රශ්න කිරීම් දී  වුවද ඔහු පිළිතුරු ලබා දී තිබුනේ සිනා මුසුවය. ඔහු ගේ මේ කාරණය නිසා මාධ්‍යට ක්ලින්ටගේ අඳුරු පැත්ත ගැන වැඩි අවධානයක් නොවිය. තවත් කාරණක්  ලෙස ඔවුන්ට සොයා ගැනීමට හැකි වුයේ ක්ලින්ටගේ කේවල් කිරීමේ හැකියාවයි. ඔහුගේ පිළිතුරු ඉදිරියේ ප්‍රති මල්ලවයන් දිගින් දිගටම ඔහුව වෙහෙසීමට උතසහ නොකරයි. නමුත් ක්ලින්ටන් තමාට  අවශ්‍ය කාරණය ඉටු කර ගැනීමට සමත් වේ. උසාවියේ හරස් ප්‍රශ්න කිරීමේ දී ක්ලින්ටගේ පිළිතුරු උදාහරණ ලෙස දැක්විය හැක. තවත් කරුණක් ලෙස ජනාධිපති ධුරයෙන් සමුගෙන පවා උතුරු කොරියාවට ගොස් අත්අඩංගුවේ සිටි ඇමෙරිකානුවන් බේරා ගැනීමට හැකිවුයේ ඔහුගේ මේ හැකියාව නිසාය.

මදකට අපගේ මැති ඇමතිවරුන්ගේ ඡායාරුප ගැන විමසිලිමත්වන්න. ඔවුන්ගේ මුහුණේ ඉරියව් අනුව ඇති ඡායාරුප ඔබට විවිධාකාර සතවයින් සොයා ගත හැක. මෙය මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ දෙනාට පොදුය.  කිරිඇල්ලලා ඇතුළු බොහෝ මැති ඇමතිවරුන්ට නැත්තේ මේ ගුණයය. තමා කතා කරන්නේ කාටද? කොතනද? යන්න ඔවුන්ට හැඟීමක් නැත. අවසානයේ සිදුවන්නේ සියතින්ම තම දේශපාලන ජීවිතය වඳ කර ගැනීමය.

කිරිඇල්ල මෙවැනි අමන කතා හා ක්‍රියා කල පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේ හෝ දේශපාලන බල අධිකාරිය ඔහුව නිවැරදි මගට ගැනීමට උත්සහ නොකර තව තවත් බලය ඔහු අත තැබිය. අඩුම තරමින් ඡන්ද දායකින් වත් ඔහුට පාඩමක් ඉගැන්වීමට උත්සහ නොකර අතර එමගින් තව තවත් ගොන් කම් හා ගොන් කතා පැවසීමට අවකාශ ලැබිය. ඉදිරියේදී හෝ කවුරු හෝ මෙවැනි පාලකයන් නිවැරදි කරයිදැයි බලා සිටමු.

No comments:

Post a Comment