Sunday 19 June 2016

අමතනු මැන මගේ දුරකථනය අංකය 24....

මේ ගීතයේ සිදුවීම බොහෝ දෙනෙකුට සුලභය. එක්කෝ 'wrong number' දුරකථන පණිවිඩ ලැබී ඇත. නැති නම් කතා කර ඇත. එහෙත් යලි යලි කතා කිරීමට තරම් ලෙන්ගතු වන කටහඩක් ඇසීමට ලැබීම නම් ඉතාමත් දුබලය. එසේ ලෙන්ගතු වූ කටහඩක් ඇසුණත්  නැවත නැවතත් කතා කිරීමේදී ලැබෙන අත්දැකීම් ගීතය තරම් සුමිහිරි නොවනු ඇත.

'දැන්  එකසැරයක් කිව්වනේ එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ බොහෝ විට දෙවනවර කතා කිරීමේ දී ලැබෙන පිළිතුරය.

'තමුසෙට කී සැරයක් කියන්නද එහෙම කෙනෙක් මෙහෙ නැහැ' - මේ කිහිප සැරයක් කතා කල විට ලැබෙන පිළිතුරුය.

අවසානයේ මේ 'wrong number' කතාව නවතිනුයේ  ' ආපහු කතා කරොත් පොලිසියට කියනවා' යි පැවසිමෙන්ය.

සමහර විට මේ ගීතය ලියන කාලයේදී 're-dial' කියන feature එක දුරකතනයේ නොතිබෙන්නට පුළුවන. බොහෝවිට එය 'rotary dial' ආකාරයේ දුරකතනයක් විය හැක. කෙසේ හෝ 're-dial' කිරීමට අවස්ථාවක් නොලැබීම යම් ආකාරයකට සුභාදායකය. මන්ද, 're-dial' කරා නම් සමහර විට මේ ගීතයට හිමි සුන්දර සිදුවීම අවපැහ වන්නට තිබුණි.

ගීත රචකයා ප්‍රේමකිර්තිය. සිංහල ගීත සාහිත්‍යයේ උපමා රූපක අගේටම  යොදා ගත් ගීත රචකයෙකි. මේ රූපක වලින් පෙළහර පෑ එක් ගීයකි.

'කතරක තනි වී  ඔබ යන අයුරු පෙනී පෙනී
හිම සෙල මුදුනක සිටියද මහද ගිනි ගනී'

මේ ගීතය පුරාවටම රූපක යොදා ගනිමින් ඔහු කරන වික්‍රමය මනරම්ය. එසේම ප්‍රේම් ගේ බොහොමයක් ගීත හතර  පද කවි  ආකෘතියට ලියවුනු  ගීතය.  මේ එක උදාහරණයකි.

'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම           සිහිනේ
නෙත් දෙකින් අරන් යනු මැන            සංසාරේ'

නමුත් 'එක් දිනක් හැන්දෑවක' ගීතය මුලු මනින්න්ම ප්‍රේම් ව වෙනස් කර ඇත. සරල ලෙස එය හුදෙක් වාක්‍ය රචනාවකි. නමුත් වචන හෝ ආකෘතියේ නොමැති කවිත්වයක් මුළු ගීතය පුරාවටම රැදෙයි. සිංහල ගීත සාහිතයේ මේ ආකාරයේ ගීත ඔනෑ තරම් දැකිය හැක. රූකාන්ත ගේ ' දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට මට සිතුනා' ගීතය එක් උදාහරණයකි. ලුෂන් බුලත්සිංහලගේ 'කන්‍යාවී' ගීතය ද තවත් නිදසුනකි.නමුත් ප්‍රේම් ගේ ගීතය අන් සැමට වඩා සුවශේෂි කවිත්වයක් ඇත. මේ නිසාම යලි යලි ගීතය ඇසීමට ප්‍රිය උපදවයි.
මේ ගීතයේ තිබෙන කවිත්වය මතු කිරීමට ගායකයා හා සංගීත නිර්මාණකරුවා ලෙස මෙර්වින් පෙරේරාගේ දායකත්වය සුළුපටු නොවේ. ලෙන්ගතු කටහඩක් අනිත් පසින් ඇසෙද්දී කැළඹෙන හදවතේ හැඟීම් පිට කරනුයේ ඔහුගේ හඬ හා සංගීතයයි. එසේම ඔහුගේ කටහඬේ තිබෙන මෙලෙක් බව මුළු ගීතය පුරාවටම ඒ නොවිනිසිදුනු ආශාව චකිතය එලි දක්කවයි.

වරෙක මෙය ප්‍රේම් ගුවන්විදුලි සංස්ථාවේ සේවය යෙදී සිටින සමයේ සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියු බවට මා කොහේදී හෝ අසා ඇත.  'අමතනු මැන මගේ දුරකථනය අංකය 24' යනුවෙන් ගීතය නිම වන්නේ සැබවින්ම එය කාර්යාලයක 'extention number' එකක් නිසා විය හැක. ගීතය සත්‍ය සිදුවීමක් නම්, ප්‍රේම් සහ මර්වින් යන දෙදෙනාම මේ ලෙන්ගතු හඬ සොයා ගැනීමට ගුවන් කාලය යොදා ගැනීම තුලින්  තවත් ලෙන්ගතු හදවත් කියක් ලං කරා දැයි එවක ප්‍රේක්ෂකයන් සාක්ෂි දරනු ඇත.අවාසනාවකට ගීතයේ නිධාන කතාව දැන ගැනීමට ප්‍රේම් මෙන්ම මර්විනුත් අප අතර නැත.

https://www.youtube.com/watch?v=m-VnHmTBi70

එක් දිනක් සැන්දෑවක  මං
හිතවතෙකුට දුරකතනෙන් කතා කළා...
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා......

ඉමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා...
ඒ කටහඩ යළි අසන නියාවෙන්
යළි යළි කතා කළා...
නම්වර දහසක් යොමු කරවූයෙමි
එද හමුවූයේ නෑ...
කැලඹුණු මා සිත ඇතිවුණු සෙනෙහස
ඉන් අඩු වූයේ නෑ..ඉන් අඩු වූයේ නෑ

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්...
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්...
කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි...
අමතනු මැන මට මගෙ දුරකතනයෙ
අංකය විසි හතරයි...අංකය විසි හතරයි

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

No comments:

Post a Comment