Sunday 27 November 2016

ලා සඳ එළියේ නා පෙති හැලිලා



විවාහයේ ප්‍රථම රාත්‍රිය ගැහැණියෙකු ට ඇතිවන සතුට,බලාපොරොත්තුව හා චකිතය කියවන වෙනත් ගීතයක් මේ ගීතය හා සැසදීමට නොහැකි තරම්ය. දයා ද අල්විස් නම් ගීත රචිකාවියගේ ජිවන අත්දැකීම් මේ ගීතය සමග මුසු වී ඇතැයි මට සිතේ. ඇයගේ පළමු විවාහය අවසන් වන්නේ ස්වාමියාගේ අකල් වියෝවෙන්ය. පසුව ඇයගේ ජිවිතයට ඇතුළුවන්නේ ප්‍රේමකීර්ති වුවද ඒ විවාහයත් සාර්ථක වන්නේ නැත. මා හට සිතනුයේ මේ ගීතය දයා ද අල්විස් ගේ ප්‍රථම විවාහයට වඩා දෙවන විවාහයට සමීප බවයි.

ලා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......

නා මල් පෙති වැටුණු යායකට ලා  සඳ එළිය වැටුණු විට එයින් ඇති වන චමත්කාරය වචනයෙන් විස්තර කල නොහැක. සිංහල ගීත සාහිත්‍ය යේ ලා සඳ එලිය ඉදිරියේ දිග හැරුණු ශුන්ගාරය සමග දිගහැරුණු ප්‍රේමය ගැන ගීත බොහෝමය. නාමල් සුවඳ මුසු වීමත් සමග මේ චමත්කාරය දෙගුණ තෙගුණ වී යයි. එසේම නාමල් සුවදත් සමග ඒ ශුන්ගාරාත්මක රාත්‍රියට පහන් බවක් එසේ නොමැති නම් නිවුණු බවක් ගෙන දෙයි.මෙවන් රාත්‍රියකදී මේ කාන්තාවගේ 'දිවි රැය' මල් සුවදින් ප්‍රබෝධමත් වී ඇත. අවට පරිසරය සේම ඇයගේ ප්‍රබෝධමත් වූ ජිවිතයේ රාත්‍රිය තම ස්වාමියාගෙන් ඉල්ලනුයේ සඳ දියයි. සඳ දිය පිවිතුරුය. එය නොකිලිටිය.ඇයට තම ස්වාමියාගෙන් අවැසි වන්නේ පිවිතුරු ආදරයයි.

මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වේ
ඔබගෙනි සැප දුක විමසන්නේ..........

ඇය මේ පුරුෂයා සමග කෙතරම් බලාපොරොත්තු තබා ගෙන ඇති බව පවසන්නට යොදා ඇති සීමිත පදවැල් ගණන අසීමිත මානයක් පෙන්වයි. අයගේ මවත් පියත් මින්පසු ඔහුය. ඉෂ්ට දේවතාවන් ඔහුය. ඇයගේ දුක සැප සොයා බැලීම සේම, මව ගෙන් පියාගෙන් ලැබුණු රැකවරණය ද මින්පසු බලාපොරොත්තු වන්නේ ඔහුගෙනි.

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳු‍නේ.................

මේ මුළු ගීතයේම සාරාංශය මේ පද කිහිපය කියයි. 'ඔබේ දෙපා මත හිස රදවන්නම් - පළමු වතාවට හිමි සඳුනේ...' යි පවසන්නේ තොල් පෙති සිඹ දෑස් පියාගෙන ය. තමන්ට හුරු පරිසරයෙන් නික්මී අළුත් ජිවිතයක් ඇරඹීමට පැමිණි ඇය වෙන කවුරුත් නොව දයා අල්විස් නම් කිවිඳි ය යි මට සිතේ. මේ ගීතයත් සමග කෙතරම් දයාබර පරහිතකාමී පුද්ගලයෙකු වුවද ප්‍රේම් ගැන මට ඇතිවන්නේ ඔහු නොකළ යුත්ත්තක් කළාය වැනි හැඟීමකි.

එච් එම් ජයවර්ධනගේ සංගීතය පද රචනාවට උචිතම සංගීතය යි සිතිය හැක. සමහර ප්‍රවීනයන් ගීත වලට සංගීතය එක කිරීමේදී ගායකයාගේ හැකියාව වගේම පද රචනාවේ අගය අතික්‍රමණය කරනවා දැක ඇත. එසේම ගායකයා සමහර විට ඒ ගීතයේ සංගීතය, පද රචනාව අතික්‍රමණය කරනවා දැක ඇත. පදරචකයාද එසේමය. බොහෝවිට ගායකයගේම පදරචනවත්, සංගීතයත් වූ ගීත සමස්තයක් ලෙස හොඳ නිර්මාණයක් ලෙස (ඕනෑ තරම් අවර ගනයේ මේ ආකාරය් ගීත ඇත.) ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ සම බර ලෙස සියළු අංග උපාංග එක්වන නිසාවෙනි. නමුත් එච් එම් සංගීතවත් කළ බොහෝ ගීත වල ඔහු ගායක/ගායිකාවන්ගේ හඬ යටපත් නොවන ආකාරයට මෙන්ම ගීතයේ වචන වලටද සම තැන ලබාදීමට උත්සහ කර ඇත. මේ ගීතයේ ද වචන වල තිබෙන සංයමය සංගීතයේ ද ඇත. මුළු ගීතය පුරාවටම වැයෙන වයලීනය ඒ සංයමය නිර්මාණය කර ඇත. වරින් වර වැයෙන තත් හඬ මේ යුවතියගේ සිතේ ඇතිවන චකිතය දනවයි

ගීතයට අවැසිම හඬ නිරංජලා ගේය. ඒ හඬේ පවතින තාරුණ්‍ය වගේම සංයමය, ගීතයේ කියන ඒ අවස්ථාව මැනවින් විදහාපායි. මා වඩාත් ආස කරනුයේ ගීතයේ සමප්තියේ ඇති මිමිනිම ටය. පළමු වතාවට ස්වාමියාගේ දෙපා මත හිස තබන යුවතියට ඇති සැනසීම හරි අගේට එමගින් දනවන්න නෙරංජලා ට හැකි වී ඇත. සිය ස්වාමියාගේ වියෝවෙන් පසු නෙරංජලා ගායනය අතහැරීම පිලිබඳ මා තුල ඇත්තේ අප්‍රසාදයකි. ඇයට තමා කැමති තීරණයක් ගැනීමට ඇති අයිතිය පිලිබඳ කිසිඳු  ප්‍රශ්නයක් නැත. එහෙත් රසිකයෙකු ලෙස ඒ හඬ අසන්නට නොලැබීම  ගැන ඇත්තේ වේදනාවකි.

No comments:

Post a Comment