Sunday 5 January 2014

පළමු වරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කලෙමි

ඔව් එය මගේ පළමු දක්ෂිණ අධිවේගී මාර්ගයේ චාරිකාවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වුයේ ගැලනිගම interchange ස්ථානයෙන්. පාන්දර 5 ට පමණ ඇත. තද අඳුරක් නොතිබුනත් අවට දර්ශන පැහැදිලි නැත. එසේම වුවද බලන්න තරම් විශේෂ වූ දර්ශනද ඒ ප්‍රදේශයේ නැත. ටිකෙන් ටික අඳුර මැකී යන්නට විය. දොඩන්ගොඩ interchange සඳහා වූ දුර ගෙවි යාමට වැඩි කාලයක් ගත වුනේ නැත. අඳුර බිදෙනවාත් සමග අවට පරිසරය මැවූ දර්ශන, මා මෙතෙක් දැක තිබුනේ සිතුවම් හා ජායාරුප වල පමණි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගේ ගමනාන්තය වන ගොඩගම තෙක් මා ගේ අත්දැකීම මෙපමණයි කිව නොහැක.

ලා කොළ පාට කෙත්වතුත් සමග එකට බැඳුනු තද කොළ වර්ණයෙන් යුත් රබර් වතු සිසාරා යාන්තම් මිදුම ගලා යයි. නැගෙනහිර අහස ලා රෝස පැහැ ගැන්වී ඇත. මද දුරක් යන විට මේ දර්ශන සමග තේ වතුද එක් වුනි. මාර්ගය අසල ගොඩනැගිලි හෝ වෙනත් මිනිස් නිර්මාණයක් ඇස ගැටෙන්නේ කලාතුරකිනි. මුළු පරිසරය පුරාම හරිත වර්ණයත් ලා මිදුමත් අහසේ රෝස පැහැයත් දැක ගත හැක. විටින් විට අහසේ කුරුල්ලෝ රෑන් පිටින් පියඹා යයි. කෙත් වතු ආශ්‍රිත පහල ප්‍රදේශයේ මීදුම අනෙකුත් ප්‍රදේශ වලට වඩා ටිකක් තද බවක් පෙන්වයි. එමගින් රබර් වතු එසේ නැති නම් තේ වතු, මේ පහත බිම් වලින් වෙන්වන සීමාව මකා දමයි. මදක් නැවතී මේ රමණිය පරිසරය විඳිය හැකි ස්ථාන බොහෝය. නමුත් අධිවේගී මාර්ගයක එසේ නැවතීමේ අවස්ථාවක් නැත.

වැලිපැන්න විවේක ස්ථානය ගැන කිසිම සැකයක් නැතුව විදේශ සංචාරකයන් හට පැවසිය හැකි සර්ව සම්පුර්ණ විවෙකාගාරයකි. ඔස්ට්‍රලියාවේ Sydney හා Melbourne යා කරන Hume highway එකේ පවා මෙතරම් පහසුකම් හා ඉඩකඩ සහිත විවේක ස්ථානයක් නොමැත. පැය 24 පුරාවටම විවෘත කර ඇති විවිධ සමාගම් වල ආපනශාලා තමාට කැමති ආහාරයක් රසවිඳීමේ පහසුකම් සලසා දී ඇත. දුර්වලතාවයක පවතිනුයේ වැසිකිලි වල පවතින තෙත ස්වභාවයයි.

අධිවේගී මාර්ග ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වුවද අධිවේගී මාර්ගයේ ඔවුන්ගේ  රිය ධාවන පැසසිය යුතුය. බොහෝ විට පළමු මං තීරුවේ රිය ධාවනය කිරීමට පුරුදු වී ඇති අතර ඉස්සර කිරීමේදී පමණක් අනෙක් මං තීරුව භාවිත කිරීමට ඔවුන් පුරුදු වී ඇත. ලාංකික රියදුරන් බොහෝ දෙනාගේ සුලභ අමතක වීමක් වන, තම කාර්ය අවසන් වූ පසු හෝ තම අදහස වෙනස් කෙරුව පසු signal light එක නවතා නොදැමීම අධි වේගී මාර්ගයේද දකින්නට ලැබුණි. signal light දැමීම සේම  නොදැමීම එක සේ වැදගත් බව අත්දැකීමෙන් ඔවුන් ඉගෙන ගනීවි.

කෙසේ වුවද දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු අත්දැකීම සතුටුදායකය. මා ඇස ගැසුණු කරුණු කිහිපයකි මේ.

1. වේග සීමාව සඳහන් ඉලක්කම් කුඩා වීම - සියලුම වේග සීමාවන් සඳහන් සංඥා පුවරු වල ඉලක්කම් මීට වැඩ විශාල වුයේ නම් අගනේය. වැඩි ඉඩක් kmph. ලෙස සඳහන් කිරීමට යොදා ඇත. මා සිතන ආකාරයට මෙය අනවශ්‍ය දෙයකි. ලංකාවේ ධාවනය වන සියළුම රථ වාහන වල වේගය දක්වනුයේ පැයට කිලෝමීටර් වලිනි. ඒ නිසා සංඥ පුවරු වල නැවත පැයට කිලෝමීටර් ලෙස දැක්වීමට ඉඩ වෙන් කිරීමට වඩා වේග සීමාව විශාලව සඳහන් කිරීම වටී.(නීතිමය තත්වයක් මත මෙය සිදු කරන්නේ නම් එය වෙනස් කිරීමට කාලයයි)

2. වේග සිමා තොරතුරු  සංඥ පුවරු (information signs) නොමැති වීම - පැයට කිලෝමීටර් 100 කට ධාවනය වන රථයක් සඳහා ඉදිරියේදී අඩු වේග සීමාවකට ලඟා විය යුතු බව දක්වන  සංඥ පුවරු තිබු බවක් මගේ මතකයේ නැත. විශේෂයෙන් interchange වල මෙවැනි  සංඥා පුවරු අවශ්‍යතාවය ඉහල බව මගේ හැගීමයි. පිළිගත් ක්‍රමය අනුව සුදු පසුබිමෙහි කළු අකුරින් තොරතුරු සංඥා පුවරු වල තොරතුරු සඳහන් වේ.
File:Speed Limit 60 sign.svg
මේ ආකාරයේ  සංඥා පුවරු මගින් ඉදිරියේ ඇති වේග සීමාව ගැන පෙර අවබෝධයක් ලබා ගෙන ඒ අනුව වේගය අඩු කර ගත් හැක.
3. පිටවීම් දොරටුවෙහි වේගය පැයට කිලෝමීටර් 40 ක් වීම- අධිවේගී මාර්ගයේ සමහර පිටවීම් දොරටුවේ වේග සීමාව පැයට කිලෝමීටර් 40 ක් ලෙස සඳහන් කර ඇත. අධිවේගී මාර්ගයේ ධාවනය වන රථ සහ රියදුරන්ගේ හැසිරීම නිරීක්ෂණය කල විට මේ සීමාව ඉහල නැංවිය හැක යන්න මගේ අදහසයි. ඉදිරියේදී පිටවීම් ස්ථාන වල අඩු වේග සීමාවක් නිසා ඇතිවන තදබදය තුල  අධි වේගී මාර්ගයේද අවහිරතා ඇතිවිය හැක.
4. ඇතුළු විය හැකි රථ වාහන වල උපරිම උස ඇතුළු වීමට පෙර සඳහන් නොවීම හා අවබෝධයක් ලබා ගත නොහැකි වීම- අධිවේගී මාර්ගය තුල flyover ගනනාවක් ඇත. මේ නිසා ඇතුළු වන රථ සඳහා උස සීමාවක් දැක්වීම අවශ්‍යය. එසේම ඒ උස ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ඇතුළු වන ස්ථාන වල ඉහලින් දම්වැල් වැනි යමක් එල්ලා තැබීමෙන් රියදුරන් හට තම වාහනයේ උස තක්සේරු කල හැකිය.
5. Flyovers වල උස සඳහන් කිරීම - බොහෝ flyovers වල උස සඳහන් වන්නේ එහිම වම්පසය. විශේෂයෙන් ට්‍රක් රථ රියදුරන්ට මේ උස දැකගැනීම අපහසුය. flyover වලට පෙර උස සඳහන් කර වැරදීමකින් හෝ ඇතුළු වූ  උස වැඩි වාහන සඳහා නැවතීමේ මං තීරුවක් එක් කිරීම අනාගතයේදී වඩා වාසිදායක වනු ඇත.

6. අතරමග නැරඹුම් ස්ථාන ඇති කිරීම- මා ඉහත සඳහන් කර පරිදි පරිසරයේ සුන්දරත්වය විඳීමට ස්ථාන (scenic view) නිර්මාණ කර ඒ සඳහා යා හැකි වන පරිදි  අතුරු මං තීරු නිර්මාණය කිරීමෙන් සංචාරකයන් ආකර්ශනය කරගැනීම අවස්ථා සැලසේ. මේ ස්ථාන ගිමන් නිවන ස්ථාන(rest area) ලෙසද යොදාගත හැක.

No comments:

Post a Comment