Wednesday 15 January 2014

මොහාන් රාජ් ගේ 'ලොවිනා' ගැන මා සිතෙන හැටි...

කලක සිට මොහාන් රාජ් ගේ 'ලොවිනා' නවකතාව ගැන යමක් ලියම්දෝ නොලියම්දෝ යන දෙගිඩියාවෙන් පසු වුනි. මොහොන් රාජ් වෙනත්ම මාවතක් සොයන කතුවරයෙකි. ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන 'බෝදිලිමා' තුලින් කිසිවකු ගමන් නොගත් මාවතකට ඔහු පිවිස ඇති බව පසක්විය. නමුත් 'මාගම් සෝලිය' නවකතාව තුලින් ඔහු සොයා  ගත් නව මාවතේම ඔහු අයාලේ යාමක් සිදුව ඇත යන්න මගේ හැඟීමයි. 'මාගම් සෝලිය' ලියමින් නවකතාවට ළදරුවෙකු ලෙස ආ මොහාන් රාජ් 'ලොවිනා' මගින් තරුණයෙකු වී ඇති නමුත්  තවම ඔහු පරිණත වී නැතැයි මට සිතේ.
'ලොවිනා' නවකතා පොතේ පිටකවරයම යම්කිසි දෙයක් ඒත්තු ගන්නවන්නට සලස්ස්වයි. ඉහලින්ම ලියා ඇත්තේ 'Hidden Love Story at Mount Laviniya' යන්න. මා හට සිහි වුයේ ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් (Gabriel García Márquez) ගේ  'The love story at cholera time' නවකතාව ය. සැබවින්ම 'ලොවිනා' නවකතාව කතාව, විකාශනය හා අන්තර්ඝතය ආදී සියළු කරුණු වලින්  'කොලරා කාලේ ආදරය' නවකතාව කිට්ටුවෙන් වත් නොයන බව කියවීමෙන් පසුව වැටහුණි.

නවකතාවේ නම 'ලොවිනා' වුවද කතාවට ලොවිනා එක්වන්නේ අවසාන අදියරේ ය. සමස්ථ කතාවම 'පුන්නා/පුන්නි' නම් ගැහැණිය සමග විකාශනය වේ. නරේන්ද්‍රසිංහ රජුගේ අන්තපුර ගැහැනියක ලෙස සිට රාජ අණ නිසා රොඩී කුලයට නෙරපා හරින 'පුන්නා' නම් ගැහැණිය එතැන් පටන් 'පුන්නි' ලෙස තම කණ්ඩායම සමග ගෙවන ජීවිතයේ අනේකවිද දුක්ඛය දෝමනස්සයන් වලට මුහුණ පාමින් සිදුවන හැලහැප්පීම් ඔස්සේ පරම්පරා හතරක් පුරා මොහාන් රාජ් කතාව ඉදිරිපත් කරයි.
'ලොවිනා' නවකතාව පළමු පරිච්ඡේදයම මා තුල ඇති කලේ තව දුරටත් කියවිය යුතුය යන හැඟීමකි. සාමාන්‍ය කතාවක ලෙස එය මුල සිට ආරම්භ නොවේ. කතාව ආරම්භ වන්නේ තුන්වන පරම්පරාවත් සමගය. එනම් 'පිංචි' නම් මිනිපිරිය 'පුන්නි' ගේ නිවසේ හැදී වැඩීම හා ගෙතුණු කතා හා සිද්ධි සමගය. එය වරෙක ජපන් නවකතා කරුවෙකු වන නත්සිමේ සොස්කි ගේ 'කොකොරෝ' නවකතාවේ ආරම්භය ද , අප බොහෝ දෙනා දන්නා චිංගීස් අයිත්මාතව් ගේ 'ගුරු ගීතය'(The Fist Teacher) නවකතාවේ ආරම්භය ද සිහි ගන්වයි. කතාව ගෙතීමේ ආකෘතියේ මේ වෙනස මොහාන් හොඳ 'කතන්දරකාරයෙක්' යන්න ප්‍රත්‍යක්ෂ කර ඇත.
'මාගම් සෝලිය' තරම් නොවුවත් 'ලොවිනා' තුලද ලිංගිකත්වය ගැන කතා කිරීමට මොහාන් රාජ් මැලි වී නැත. 'මාගම් සෝලිය' ට වඩා වෙනස් වූ ඉසව්වකට ලිංගිකත්වය ගැන සිදුවීම් 'ලොවිනා' තුල දැකිය හැක. නරේන්ද්‍රසිංහ රජු පුන්නා සමග පොකුණේ රමණයේ යෙදෙන ආකාරය (59-61 පිටු) එක් නිදසුනකි. කාම සිනමාව ආරම්භ වූ කාලයට වඩා වර්තමානයේ බිහිවන කාම සිනමා, රමණ සිද්ධි අතින් බැලූ කල දරුණුය (සාමාන්‍ය ව්‍යවහාරයේ 'මස් කඩ' කියා හඳුන්වන්නේ මේ තත්වයයි). මොහාන් ගෙන් ද දිස්වන්නේ මේ ආකාරයේ වර්ධනයකි. පොකුණේ සිදුවන ලිංගික සිදුවීම, BDMS ( Bondage Discipline Sadism Masochism) වර්ගයේ නිල් සිනමා පටයක ආකාරයට පුරා පිටු දෙකක් පුරාවටම විස්තර කරයි. තවද 'පුන්නා' දස්කොන් අදිකාරම් සමග මනසින් සංසර්ගයේ යෙදීම, ඈ රොඩී රැලට පැන්නිමෙන් පසුව පවා ලී කොටයක් බදාගෙන ස්වයං වින්දනයක් ලබන  බව කතුවරයා විස්තර කරයි. එකතරා ආකාරයක නිල් සිනමා පටයක 'Dildo' එකක් සමගින් ස්වයන් වින්දනය ලබන කාමධේනුවකගේ රූප පෙළක් මේ සමග කියවන්නාගේ මනසට නැගේ. 'බයියා' හා 'පුන්නි' අතර සංවාසය ඇතිවන සෑම විටම 'බයියා' මිය යාම Paul Verhoeven ගේ 'Basic Instinct' චිත්‍රපටය සිහි ගන්වයි. 'ලොවිනා' මුහුදු වෙරළේදී 'උතියා' සමග ලිංගික හැසිරීමද මවන්නේ dominant woman ආකාරයේ ලිංගික එක් වීමකි. මෙසේ බලන කල 'ලොවිනා' කෘතියේ සඳහන් බොහෝ ලිංගික ජවනිකා ගැන කියවීම තුලින් පාඨකයාට ලැබෙනුයේ, හුදෙක් blue film එකක් බලා ලබා ගන්නා වින්දනයක් වැනි දෙයක් පමණි.
ලිංගිකත්වය ගැන කතා කිරීමට මැලි නොවන මොහාන් ඒ ලිංගිකත්වය කලාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහා නොගැනීම 'ලොවිනා' තුල දකින ප්‍රබලම දුර්වලතාවයයි. උදාහරණ ලෙස කොපමණ ලිංගික හැසිරීම් සහිත කාම ප්‍රකාශනයකට වඩා අප හොඳින් දන්නා D. H. Lawrence ගේ Lady Chatterley's Lover කතාව හෝ එසේ නැති නම් Anaïs Nin ගේ Delta of Venus වැනි කෘතියක කතා ප්‍රේක්ෂක මනසේ රැදනුයේ එහි ඇති කලාත්මක බව නිසාය (මේ කෘති ජනප්‍රිය වීමට එය බලපෑවා විය හැක). එසේම ලිංගිකත්වය  පමණක් වුවද කලාත්මකව ඉදිරිපත් කල හැකි බව Elegant angel - WASTELAND, Q Desire වැනි කාම සිනමා පට පවා පෙන්වා දී ඇත. නරේද්‍රසිංහ රජු හා පුන්නාගේ ප්‍රථම එක්වීම අප්‍රසන්නය. ඒ අප්‍රසන්න බව ඒත්තු ගැන්වීමට මොහාන් පිටු දෙකක් වෙන් කරයි.  එමගින් පුන්නා ට ඇති වූ ඒ අප්‍රසන්න බව ප්‍රේක්ෂකයාට දැන්වීමට කතුවරයා උත්සහා කර ඇත. නමුත් සැබෑ ආදරයෙන් මුසපත්ව මුහුදු වෙරළේ  සිදු වුනු ලොවිනා හා උතියා ගේ පළමු ලිංගික එක්වීම කෙතරම් කලාත්මක ලෙස නිම  කිරීමට තිබු  හැකියාව මොහාන් ඉවත දමන්නේ ඇයි ද යන්න ප්‍රෙහෙලිකාවකි. එය හුදෙක් ‘ලොවිනා’ ගේ අවශ්‍යතාවයට පමණක් සිදු වුවක්ද? එසේ නම් උතියාගේ ආදරය ‘රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත’ දෙයක් ද? පෙමින් වෙළුණු තරුණයෙක් හා තරුණියක්, කිසිවෙකු නැති හිරු බැසයමින් ඇති මුදු වෙරලක් තුල සිදුවන ඔවුන්ගේ  ප්‍රථම රමණය කෙතරම් චමත්කාර විය යුතුද.
මොහාන් රාජ් 'ලොවිනා' සමග සමස්ථ මානව ශිෂ්ටාචාරයේ ම බලය සමග ලිංගිකත්වය අතර ඇති සබැදියාව කතා කරයි.එය ලාංකීය සමාජයේ සේම බටහිර සමාජයටම පොදු කරුණක් බව පසක් කරන සිදුවීම් දෙකක් 'ලොවිනා' කෘතියේ සඳහන් වේ. තම බිසව සමග සම්බන්ධයක් ඇත යන සැකය නිසා නරේන්ද්‍රසිංහ රජ තම මහා අදිකාරම් වන දස්කොන් මරා දමයි. එසේම තම අන්තපුර ස්ත්‍රියක් වූ 'පුන්නා' අභිරහස් ගැබ් ගැනීමක් නිසා රොඩී රැලකට එලවා දමයි. මේ සිංහල සමාජයේ සිදු වූ සිදුවීම් වන අතර, 'ලොවිනා' ගේ අත ඇල්ලීම නිසා ඉංග්‍රීසි හමුදා භටයෙකුට වෙඩි කන්න සිදු වන්නේ තම ප්‍රධානියාගේ නියෝගය නිසාය. බලය හිමි සෑම පුද්ගලයෙකුම, තමා සමග ලිංගික එක්වන ගැහැනියක් වෙන කෙනෙකු අතකට පත් නොවන්නට වග බලා ගන්නේ හරියට තම 'ක්‍රීටයේ සංකේතය මේ ගැහැණු' යි සිතන පරිද්දෙනි. එසේ නැතිනම් ගැහැනියක් සමග සංවාසයේ යෙදීම තම බලයට තවත් රාජ්‍යක් එක් වුවා හැගීමකි. එසේම ලිංගිකත්වය නිසා ගැහැණිය තමාට මෙන්ම සමාජයට බලවතාගෙන් ලබා ගන්නා වරදාන වර්තමානයේ මෙන්නම අතීතයේද සිදුව ඇති බව මෝහන්ගේ කෘතියෙන් පෙන්නම් කරයි. අන්තපුර ස්ත්‍රියක් වූ නිසාවෙන් 'පුන්නා' ට ලැබෙන සැලකිලි හා 'ලොවිනා' සමග ඉංග්‍රීසි ආණ්ඩුකාරයා හාද කම් ඇරම්භිමත් සමග රොඩී සමාජයට ලිහිල් වන නීති මොහාන් කදිමට 'ලොවිනා' නවකතාව තුල විග්‍රහ කරයි.
රොඩී කුලයේ තිබෙන්නා වූ විශේෂ  වත් පිළිවෙත්, ඇදහිලි ක්‍රම, චාරිත්‍ර ආදී දේ පිළිබඳව කතුවරයා යම් ගවේෂණයක් කර ඇතිබව 'ලොවිනා' කතාව තුල දිස් වේ. විශේෂයෙන් ඔවුන් භාවිත කරන සමහර ආම්පන්න වලට යොදා ගන්න විශේෂිත වූ වදන් පිළිබඳව කතුවරයා මුළු නවකතාව පුරාම සැලකිලිමත් වී ඇත. රැහේ නායකයා ලෙස 'හුලිවාලියා' විසින් තම පරම්පරාවට  ගෙන යනු ලබන විවිධ වූ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව, රෝග සුව කිරීම ආදී දේ ගැනද, රැහේ කෙනෙකු මිය ගිය විට කරන්නා වූ වත් පිළිවෙත් ගැනද මොහාන්  කිහිපවරක්ම  සවිස්තරව සඳහන් කර ඇත. මේ සා වූ කරුණු කාරනා සඳහා ඔහු සැලකිය යුතු කාලයක් වෙහෙස වී ඇති බව ප්‍රත්‍යක්ෂය.'මාගම් සෝලිය' සඳහා ලැබුණු ප්‍රතිචාර වලින් උත්තේජනය වී 'ලොවිනා' ලියුවද ඒ සඳහා සැලකිය යුතු කාලයක්  පෙර සිට ගවේෂණ කාර්යේ යෙදී ඇති බව පැහැදිලිය. නමුත් මේ  සවිස්තරාත්මක ‘රොඩී ක්‍රම’ මගින් ‘ලොවිනා’ කෘතියේ රසයට වඩා මෝහන්ගේ ගවේෂණයේ  ප්‍රථිපල වැඩියෙන් පෙන්නුම් කරයි. යථාර්ථයත් ප්‍රබන්ධයත් අතර සංක්‍රමණය වන සමස්ථ කතාවේම යතාර්ථය සමග වැඩිපුර මුහු වීමට මේ නිසා හැකි වී ඇත.  මොහාන් සඳහන් කරන පරිදි රොඩී මිනිසුන් අතර ප්‍රශ්න නැත. ඔවුන් සියල්ලෝම සාදු චරිතය. හුලවලියා තම බලයෙන් කිසිත් අයුතු දෙයක් නොකරයි. රොඩී මිනිසුන්, ගැහැනුන් තමන්ගේ ගැහැණු, මිනිස්සු සමග පමණක් සමන්ධකම් පවත්වයි. කිසි විට දබර කිරීම්, කෝලාහල සිදු නොවේ. ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය නම් කුලවතුන් ගෙන් වන නොපනත්කම් වලින් ගැලවීමටය. සමස්ථ සමාජයේ උප කුලකයක් වන රොඩී කුලයේ පවා ඒ සමාජයේ පවතින හොඳ නරක එක ලෙස පැවතිය යුතුය යන්න මගේ විස්වාස යයි. එසේ බැලූ කල නරක දේ සඳහන් නොවීම තුලින් මොහාන්, ප්‍රබන්ධ කතාවක් ලෙස ද මධ්‍යස්ථව තබා ගැනීමට ගත් උත්සහයක් විය හැක.
අවසාන ලෙස ලොවිනා කතාව මේ ආකාරයේ යයි විස්තර කල නොහැක. එය නවකතාවක්ද, ප්‍රබන්ධයක් ද, වාර්තා කතාවක්ද, එසේ නොමැති නම් අසභ්‍ය ප්‍රකාශනයක් ද යන්න ස්ථිර නිගමනයකට එළැඹීමට නොහැක. කෙනෙකු තම මනසින් දකින ලෝකය අනුව එය කුමක්ද යන්න තීරණය කරනු ඇත.කෙසේ වෙතත්  එය තවත්  නිර්මාණාත්මක ගුණය පොහොසත් නිර්මාණයක් බව කිව යුතුය. නමුත් බෝදිලිමා තුලින් අපට තම නිර්මාණශීලි බව පෙන්වූ මොහාන් ගේ නිර්මාණයක් ද යන්න තව තවත් ප්‍රශ්න කල යුතුය. වර්තමානයේ සෑම නිර්මාණ කරුවෙකුම මුහුණ දෙන වෙළදපොළ ජය ගැනීමේ කාර්යට මොහාන් ද හසුව ඇත. ‘මාගම් සෝලිය’ සේම ‘ලොවිනා’ ද විවිධ වූ වෙළද උප්පරවැට්ටි සමගින් නිර්මාණ වුවක් බව මගේ හැගීමයි. නුතන ආර්ථික ක්‍රමය තුලදී  මුද්‍රිත ප්‍රකාශන සඳහා වන අඩු අගය හේතු කොට මොහොන් නොව මාටින් වික්‍රමසිංහයන් මළ උන්ගෙන් නැගිට නිර්මාණ කලත් මෙවැනි උප්පරවැට්ටි නොයොදා ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනීවි යයි සිතිය නොහැක. 

No comments:

Post a Comment