Thursday 30 January 2014

තොටිල්ලේ ලී වටෙන් එහා...

අද ලොකු එකා මුලින්නම ඉස්කෝලේ ගිය දවස. එයා ගේ ජීවිතේ ලොකුම ලොකු පරිච්ඡේදයක ආරම්භය. මම දන්නවා මට වගේම එයාටත් මේ පරිච්ඡේදය ලොකුම ලොකු එකක් කියලා තේරෙන්න ගන්නේ සෑහෙන්න කාලයක් ගිහිල්ලා. ජිවිතයේ මේ පරිච්ඡේදය ලියාගන්නා විදිහ අනුව තමයි අනිත් පරිච්ඡේද ලියවෙන්නේ. කාටවත් ඒක මෙන්න මෙහෙම ලිවිය යුතුයි කියලා තීරණය කරන්න බැහැ. අපට පුළුවන් දන්නා විදිහට සෝදුපත් බලන එක විතරයි.
මට තාම මතකයි මම මුලින්නම පාසල් ගිය දවස. මගේ මුල්ම පන්ති භාර ගුරුතුමිය ගේ හැඩ රුව, නම, ඇදන් හිටිය සාරිය, මේ ඔක්කොම මට මතකයි. මම මුලින්නම පන්තියේ වාඩි වුයේ සද්දන්ත කොල්ලෙක් ළඟ. එකා මගේ කරට අත දාලා "මේ මගේ යාළුවා.." කියලා අනිත් අයට කිව්වා. උගේ size එකත් එක්ක ඒ හෘදයාන්ගම මිත්‍රත්වය පිලිගන්නවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබුනේ නැහැ. උගේ නම තුසිත මේනක ජයසුන්දර. දැන් කොහේ ඉන්නවද.. මොනවා කරනවාද කියලා දන්නේ නැහැ...

එදා ඉස්කෝලේ ගියෙත්, ආවෙත් අම්මයි, තාත්තයි එක්ක. මට මතකයි එදා තාත්තා හිටියේ බොහොම සතුටින්.. හරියට විශාල උත්සාහයක ප්‍රතිපලයක් ලැබුනා වගේ (අපේ වයසේ තාත්තලාට Olympic medal එකක් දිනුවා වගේ දැනෙනවා ඇති.).. මට මතකයි තාත්තා මේ ගීතය මුමුණනවා... ඒ දවස් වල තේරුනේ නැහැ මොනවද මේ ගීතයේ අරුත කියලා.. අපේ තාත්තටත් උවමනාවක් තිබුනේ නැහැ මාව ලොකු මිනිහෙක් කරන්න... එයාට ඕන උන්නේ මාව හොඳ මිනිහෙක් කරන්න... සමහර විට එයාගේ බලාපොරොත්තු එක්ක මේ ගීතයේ අදහස සමපාත වෙන්න ඇති.

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...

බුදුන් දවස මර දුවරු බහුතනුවන් මුණ ගැසෙති..
උන්ගේ සු සැට මායම් මගේ පුතුට අරුම නැති..

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...

බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරෝ හෙට සතුරු වෙති
උන් හදනා මර පුඩු වැල් මගේ පුතා හැඳිනු ඇති..

තොටිල්ලේ ලී වටෙන් එහා තව වැටවල්  ගොඩක් ඇති ..
තොටිලි වටෙන් පනින පුතා ඒ වැටවල් බින්දනු ඇති..
තොටිල්ලේ ලී වටෙන් එහා...


http://www.youtube.com/watch?v=qmw5vtdHnBI

මටත් මගේ කොල්ලා ලොකු පොරක් කරන්න ඕනනේ නැහැ..අත්දැකීම් වලින්ම දන්නවා දොස්තරලා.. ‌‍නීතිඥ..ඉංජිනේරුවෝ නොවුනාට ජීවිතය විඳින්න පුළුවන් කියලා..කාටවත් තමන්ගේ vision එක එහෙම නැති නම් දැක්ම හදන්න බැහැ. ඒක හදා ගන්න ඕනේ තමාම. නිවැරදි දැක්මක් තියෙනවනම් සපත්තු මහලා එහම නැති නම් මේ රටේ හැටියට තණකොළ කපලා හරි ජීවිතේ විඳින්න පුළුවන්. වටිනාම දේ ජීවිතය විදවන්න නැතිව ඉන්න එක.
තාත්තා කෙනෙක් හැටියට මටත් තියෙනවා සියුම් වූ බලාපොරොත්තුවක්.. කවදා හරි මගේ කොල්ලත් තොටිලි වටෙන් එහා තියන වැටවල් බිදිවී කියලා... එකාට මාර දුවරු ගේ සු සැට මායම් වලට හසු නොවී මිතුරොත් සතුරෝත් අඳුන ගන්න හැකි වේවි කියලා...

ඔව් සත්තකින්ම තොටිල්ලේ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් තියෙනවා මගේ පුතේ...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

No comments:

Post a Comment