Tuesday 29 July 2014

කාර් රේස් තියන්න නුවරම ඕනනේ ඇයි?

රටේ ජාතික ප්‍රශ්න ඕන තරම් තිබේ. එත් ආණ්ඩුවටත් විපක්ෂයටත් ලොකුම ප්‍රශ්නයක් වන්නේ නුවර කාර් රේස් ය. නුවරට කාර් රේස් අවශ්‍ය ඇයි. මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. මන්ද නුවර මාර්ග රේස් තියා ගම හරහා දුවන්නවත් සුදුසු මාර්ග නොවේ. ඒ මදිවට කාර් රේස් නැරඹීම සඳහා සුදුසු පරිසරයක් ද නැත. එත් නුවරට කාර් රේස් අවශ්‍යය. මන්ද මහින්ද රාජපක්‍ෂ යන රේස් එක දිවිමේදී ප්‍රතිවාදියාට යම් රිදිවිමක් කිරීමට නුවර කාර් රේස් වලට පුළුවන්ය.

මහින්ද රාජපක්ෂ යනු කවුද? හම්බන්තොට ප්‍රාදේශීය ප්‍රභූ පරම්පරාවක සාමාජිකයෙකි. ඔවුන් ගේ පරම්පරාව මෙරට පාලනය උරුමකම් කියූ පරම්පරා වලට සම්බන්ධ පවුලක් නොවේ. අතීතයේ මෙරට පාලනයට හවුල් වූ හා උරුමකම් කියූ ඇල්ලේපොල, කැප්පෙටිපොල, මඩුගල්ලේ වගේ රදළ හෝ ප්‍රභූ (මොවුන් රදලයන්ද ප්‍රභූ වරුන්ද යන්න වෙනම කතා කල යුතුය) පරම්පරා වල වර්තමාන පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් ජීවත් වනුයේ විදේශගතවය. ඔවුන් තවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය පිලිබඳ උනන්දුවක් නැත. යටත් විජිත යුගයෙන් පසුව පාලන බලයට උරුමකම් කියූ සේනානායක, බණ්ඩාරනායක, විජේවර්ධන, කොතලාවල වැනි පරම්පරා වලින් වර්තමානයේ නියෝජනය වන්නේ රනිල් වික්‍රමසිංහ පමණි. මොවුන් කුමන පක්ෂයකින් බලය ඉල්ලුවත් නියෝජනය කරනුයේ එකම පැලන්තියකි. වරක් අනුර බණ්ඩාරනායක රුපවාහිනී සාකච්ඡාවකට පැමිණ පැවසු කරුණක් මෙහිදී මතක් කරන්නට කැමතිය. 'දකුණු ආසියාවේ දේශපාලන බලය හිමි පවුල් කිහිපයකි. එනම් ඉන්දියාවේ ගාන්ධි, පකිස්ථානයේ භූතෝ, බංගලාදේශයේ අහමඩ් වගේ ලංකාවේ බණ්ඩාරනායක. මා එවන් පවුලක සාමාජිකයෙකි.' මෙය බැලූ බැල්මට උඩඟු ප්‍රකාශයකි. එහෙත් යථාර්තය නම් එයය. මහින්ද යනු මෙවන් පවුලක සාමාජිකයෙක් නොවේ.

දේශපාලන අරමුණු කෙසේ වුවද ඉහත සඳහන් කල පැලැන්තියේ සාමාජිකයන් විවිධ ක්ශේස්ත්‍ර නියෝජනය කළහ. චිත්‍ර කලාවෙන් ජෝර්ජ් කිට්, ගෘහ නිර්මාණ ශිල්පයෙන් ජෙෆ්රි බවා සිනමාවෙන් ගාමිණී ෆොන්සේකා/අයිරාංගනී සේරසිංහ, ලෙස්ටර් ජේම්ස් පිරිස්  ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙත්තමුණි/රන්ජන් මඩුගල්ලේ ආදිය ද කදිරගාමර්/ඇතුලත්මුදලි/පොන්නම්බලම් වැනි මහජන නියෝජිතයන්/නීති විශාරදයන් ද මින් කිහිපදෙනකි. මොවුන් දෙස විමසිලිවත්ව බැලූ විට එක් විශේෂයත්වයක් දැකිය හැකිය. හොඳින් ඉංග්‍රීසි බස හැසරවිමත්, තමන්ගේ විෂය පිළිබඳව ඇති හසල දැනුමත්, අනිකුත් විෂයන්  පිලිබඳ විශේෂ වූ අවබෝධය මින් වැදගත් වේ. මීට අමතරව තමන්ගේ සම්භාවනීය බව සඳහා ලෝකයේ සම්භාවනීය දේවල් පරිශීලනය මොවුන් අතර  කැපී පෙනේ. උදාහරණයක් ලෙස කොළඹ විදේශීය ඔපෙරාවක් පෙන්වන විට මේ කණ්ඩායමේ නියෝජිතයෝ බොහෝ දෙනෙක් එහිදී දැකිය හැක. කොළඹ SSC, BRC, කොළඹ ගොල්ෆ් සමාජය, ලයනල් වෙන්ට් ආදී සමාජ වල  සාමාජිකයන් වීමද එක් ලක්ෂණයකි.

මහින්ද අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් හා නාලන්දා විද්‍යාල වලිනි. දේශපාලන බලයත් සමග සිටි මහින්දගේ පියා, මහින්දව රෝයල් කොලීජියට අධ්‍යාපනය සඳහා නොයව්වේ මන්ද? මහින්දගේ සමකාලින දේශපාලන චරිත බොහොමයක් රෝයල් ශිෂ්‍යයෝ ය. අනුර, රනිල්, දිනේෂ් මින් කිහිපදෙනකි. යථාර්තය නම් මහින්දගේ පියා ලංකාවේ සිවිල් බලයක් හිමි පුද්ගලයෙකු වුවද රෝයල් කොලීජියට ළමයා දමා ගැනීමට තරම් ඒ බලය ප්‍රමාණවත් නොවීමය. එසේ නැති නම් වරප්‍රසාද ලත් කණ්ඩායම  නියෝජනය නොකිරීමය. රෝයල් අධ්‍යාපනය හිමි කම් කියුවේ මා මුලින් සඳහන් කල රදළ/ ප්‍රභූ කණ්ඩායම් වල ළමයින්ට ය. රජය මේ කාණ්ඩයේ පාසල් රජයට පවරා ගැනීමත් සමග මෙවන් පාසල් වල අධ්‍යාපන පහසුකම් සාමාන්‍ය ජනයාටද හිමි විය.

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් මහින්ද පළමු වරට බලයට පත්වන්නේ 70' දී ය. 'කුරහන් සාටකය' පොතෙහි සඳන් වන අන්දමට මහින්දට පළමු කාර් රථය ප්‍රදානයකි. එය ප්‍රදේශයේ මහජනයා මුදල් එකතු කිරීමෙන් මහින්දට මිලදී අරන් දුන් මෝටර් රථයකි. මේ කාලයේදී ජේ ආර් ජයවර්ධන පරිහරණය කළේ ජගුවර් වර්ගයේ කාර් රථය කි. පැහැදිලි ලෙසම මෝටර් රථයක් මිලදී ගැනීම තරම්වත් මහින්දගේ ආර්ථිකය ඒ කාලයේදී ශක්තිමත් නැත. මහින්දගේ රැකියාව වුයේද විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහකරුය. සරල ලෙස පැවසුහොත් එකල මෙරට සිටි ඉහල පෙලේ ධනපති පැලන්තිය නියෝජනය කිරීමේ හැකියාවක් ද මහින්දට නොවිය.

මහින්දගේ ඉවසීමත්, නොපසුබස්නා උත්සාහයත් ඔහුව නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කරවිය. මහින්දට විරුද්ධව තමන්ගේ පක්ෂයේද එදිරිවාදිකම් කළේ මා ඉහත සඳහන් කල කණ්ඩායමය. ඔවුන්ට අවශ්‍යය වුයේ ඔවුන්ගේ සාමාජිකයෙක් අත බලය රඳවා ගැනීමය. එය චන්ද්‍රිකාද රනිල් ද යන්න නොවේ. ඔවුන්ගේ පැලන්තිය නියෝජනය කරන කවුරු හෝ මෙරට පාලන බලයට හිමිකම් කීමය.

මහින්දගේ පුතුන් ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍යන්ය. ඔවුන් ඒ පාසලට ඇතුලත් වීමට මහින්දගේ දේශපාලන බලයට වඩා ශිරන්තිගේ ආගමික පසුබිම බලපාන්නට ඇත. තිදෙනාම හොඳ රගර් ක්‍රීඩකයන් ය. නාමල් හා යෝෂිත ශ්‍රී ලංකා රගර් කණ්ඩායම නියෝජනය කිරීමේ ලකුණු පාසල් කාලයේදීම පෙන්විය. රගර් ක්‍රීඩා සමාජ ගත කල ඒවායේ උරුමකම් කිවේ ද මා මුලින් සඳහන් කල කණ්ඩායම් ය. නුවර ක්‍රීඩා සමාජය, CH & FC, හැව්ලොක් මේ කිහිපයක් වන අතර රාජපක්ෂ පුතුන්ගේ හැකියාවට මේ ඕනෑම කණ්ඩායමක් නියෝජනය කිරීමේ හැකියාව තිබුණි. එහෙත් එවන් කණ්ඩායමක සාමාජිකත්වය ලැබුවද නායකත්වයට යාමට දක්ෂකම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා තව තව සුදුසුකම් සැපිරිය යුතුය. ජනාධිපති පුතුන් වීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජපක්ෂ පුතුන් රගර් ක්‍රීඩාව සඳහා තෝරා ගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජය. යෝෂිත රගර් කණ්ඩායමේ නායකත්වයට පත් කල පසු, නුවර රගර් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වර්ජනය කිරීම තරම් මේ උඩගු කම ප්‍රබල විය.

අනාදිමත් කාලයක සිට මෙරට කාර් රේස් පැද්දේ මා ඉහත සඳහන් කළ කණ්ඩායමේ සාමාජිකයන්ය. ඔවුන්ට වර්තමානයේ මෙන් ලම්බෝගිනි, ෆෙරාරි, රථ තිබුනේ නැත. රේස් පැදීම සඳහා වෙනස් කරන ලද රථ යොදා ගනිමින් මතුගම කාර් රේස් තරගාවලිය නියෝජනය කිරීම ඔවුන්ගේ සම්භාවනීය බව පෙන්වීමට වාර්ෂිකව කල එක් කාර්යකි. අප කුඩා කාලයේ කාර් රේස් සමග නිතර කියවූ නමක් වුයේ මානප්පෙරුමය.

මහින්ද කාර්රේස් වලට එක්වන්නේ ලෝකයේ ඉස්තරම් වූ ස්පෝර්ට්ස් කාර් සමගය. දැන් ඉහත සඳහන් කල ඒ පැලැන්තියට මහින්ද සමග හරි හරියට රේස් යාමට සුදුසු රථ නැත. මුලින්ම මහින්ද කලේ ඔවුන්ට පෙනෙන්නට රේස් යාමය. පසුව තීරුබදු රහිතව රේස් කාර් ගෙන්වීමට සැලැස්වීමෙන් තමන්ට හිතවත් කාර් රේස් පැදිය හැකි කණ්ඩායමක් මහින්ද නිර්මාණය කළේය. දැන් ලංකාවේ කාර් රේස් පදින්නට නම් මහින්ද සමග එක් වියයුතුය. තවමත් මේ 'ඉහල' පැලැන්තිය මහින්ද සමග නැත. ඔවුන්ට පුංචි රිදවීමක් කිරීමට නුවර කාර් රේස් වලට හැකිය. මක්නිසාදයත් නුවර මේ පැලැන්තිය මහින්ද සමග එක් වීමට තවම සුදානම් නැති බැවිනි.

මහින්ද තවමත් චන්ද්‍රිකා ගේ ක්‍රියාවන් ගැන බලා සිටින්නේ මේ පැලැන්තිය නියෝජනය කරන රදළ මානසිකත්වයක් හිම දේශපාලනයට සම්බන්ධ එකම තැනැත්තිය ඈ නිසාය. රනිල් මේ කණ්ඩායම නියෝජනය කල ද රනිල් ගේ ලිබරල් අදහස් අනුව ඒ පැලැන්තියට පැවතිය හැකිද යන්න තවමත් ප්‍රශ්නකාරිය.

'56 ආණ්ඩු පෙරළිය ගැන මාටින් වික්‍රමසිංහයන් සඳහන් කලේ 'බමුණු කුලේ බිඳ වැටීමක් ලෙසය'.බිඳවැටීම කෙසේ වෙතත් යම් වෙනසකට භාජනය වූ බව දැකිය හැක. ලාංකීය දේශපාලනයේ වැඩවසම් නියෝජනය අවසන් වීමේ ලකුණු එදා දිස් විය. නමුත් ඒ දේශපාලන බලය රදළ වලව්වෙන් සමාජ ප්‍රජත්‍රන්තවාදීන් අතට නොගොසින් අන්තවාදීන් හා අමනයන් අතට පත් වීම අප සැමගේ අවාසනාවන්ත කමය.

මහින්ද ගේ පාලනයේ අඩු ලුහුඩු කම් එමටය. එහෙත් ඔහුගේ ප්‍රශ්න ඉදිරියේ නොසැලෙන ගුණය අසම සමය. ජාතික හා ජාත්‍යන්තර ඔහුට පැමිණෙන බලපෑම් ඉදිරියේ නොසැලී සිටීම පමණක් නොව නැවත රිටන් එකක් දීමට තරම් එඩිතර කම විශේෂය. මහින්දට තර්ජනය පවතින්නේ කාගෙන්ද යන්න මහින්ද ද හොඳින් දනී. එය පාලනය කල හැක්කේ කෙසේද යන්නද වඩා හොඳින් දන්නේ මහින්ද පමණි. මහින්දට ඡන්ද අඩුවෙන්ම ලැබෙන කොළඹ හා නුවර කාර් රේස් පැවැත්වීමට මෙතරම් උනන්දු වන්නේ ඒ නිසාය.

3 comments:

  1. E unata Mahainda car gennane mahajana mudalin bawa penne nadda ?

    ReplyDelete
    Replies
    1. සරත්, මහින්ද මජන මුදලින් කාර් පමණක් නොවේ තව ඒවාද කරනවා ඇති. එය වෙනම කතා කලයුතු දෙයක්. මගේ තර්කය මහින්ද නුවර කාර් රේස් තියන්නේ ඇයිද යන්න.

      Delete
  2. mole athi ewun paya gahanna baya thanwala modayan pilun gahanawalu.
    He is brave wnough to save his family from any threat but the quastion is how long he is going to mange it.

    ReplyDelete