Wednesday 30 July 2014

මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

ඇය නවාතැන් ගෙන සිටියේ තමන්ගේම නිවසේ නොවේ. තමන්ගේ ගෙදරින් පිට නවාතාගෙන් සිප්සතර හදාරා, ඇය සරසවි වරම් ලබන්නේය. එය ප්‍රීතිමත් හේතු කාරනවක්ය. එහෙත් අපේ කතා රචකයාට ඇත්තේ අසීමිත දුකකි. එය ඇය සරසවි වරම් ලබූ නිසා නොව නවාතැනින් යාම නිසාය. අසල ගසක හඬ නගන පාන්කිරිත්තා ගෙන දෙන්නේ ඒ ශෝකී බව සමග මුසල කමකි.

නවාතැනින් ඇය යනවා 
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන් පාන්කිරිත්තෝ....

අපේ කතා රචකයා සරසවිය සිතින් මෙනෙහි කරන්නේ මේ අවස්ථාවේදීය. හිරිමල් යොවුන් වින් ඉක්කම භද්‍ර යොවුන් වියට පැමිණි යෞවන යෞවනියන්ගේ සිනහා හඬ කවට කම් සමග සරසවි මග තොටේ දකින පෙම්වතුන් ඔහුගේ සිහියට නැගේ. ඔහු තුල දුකත් සමග සිතේ ඉරිසියාවක්ද ඇතිව ඇතිබව අපට හැඟෙ. ඒ මෙවන් චමත්කාර ජනක සරසවි වරමක් ඇයට ලැබීමත් තමන්ට නොලැබීමත් ගැනය.

භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම්බැදි
සිනා කවට බස් පවසති 
කුමර කුමරියන්..

ඒ සමග ම ඔහුගේ සිතට සැකයද පැන නැගී ඇති බව පෙනේ. නවාතැනේ සිටි යුවතිය ගේ සිත වෙනස් කිරීමට බොහෝ දේ සරසවිය තුල ඇති බව ඔහුට මතකයට නැගේ... ඇයගේ ඇත පතන පිරිස් තවත් සිටිය හැක. ඔවුන් රසවත් හසුන් ඇයට පිරිනැමීමට පුළුවන. ඇය ඒවාට අසු වේවිද? එසේ නැති නම් මේ වෙනස් ලෝකය තුල ඇයට අතීතය අමතක වේවිද? එක්කෝ සරසවියේ කඩවසම්, ජනප්‍රිය, දක්ෂ යව්වනයෙක් කෙරෙහි ඇයගේ සිත යාවිද.. මේ සියල්ල ඔහුගේ සැකය තුල ඇතිවන ප්‍රශ්නය.

ඇසුර පතන දූත හසුන් 
අවට මැවෙත නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිත්

මෙසේ සැකයේ වෙලෙන අප කතාරචකයා, වරෙක ඒ සියල්ල අමතක කිරීමට උත්සහා කරයි.. ඇය හිස පීරන උදෑසනක දුටු රුව ගැන කුරුල්ලන්ට ගී ගයන්න එපා කියන්නේ මේ නිසාය. ඔහු සිතනුයේ, ඔහු දුටු ඒ මනස්කාන්ත රුව කුරුල්ලන් ද දැක ඇති බවය. මෙසේ ඒ රුව නැවත නොදකිම නිසා කුරුල්ලන් ඒ ගැන ගී ගැයීම ඔහුට මතකය ආවර්ජනය කිරීමකි.

මතක විමල් කවුළු දොරින්
හිස පීරන උදෑසනක
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

කෙසේ හෝ ඔහුගේ සිතේ යම් බලාපොරොත්තුවක් ඇති බවක් පෙනේ. ඇය සරසවි ජීවිතය අවසන් කර නැවත පැමිණේ යයි ඔහු සිතයි. එය කොපමණ කාලයක්දයි ඔහු නොදනී.. සමහර විට කල්පයක්... විය හැක.. සමහර විට ඒ සඳහා ඉර අවරින් පායන තුරු සිටිය යුතුය.. එනම් ඇය නැවත නොපැමිණිය හැක. එහෙත් නවාතැනේ ඇය පිලිබඳ තිබු මතකයන් සමග සිහිනෙක වේලි සිටින්නම් යන්න ඔහුගේ බලාපොරොත්තුව.

ශිල්ප සතර දැන එනතුරු 
කල්ප කාල පසුවනතුරු
ඉර අවරින් පායනතුරු 
සිහින දකින්නම්..

සුනිල් සරත් පෙරේරාගේ අපුර්වම පදවැලකි මේ. මෙය ඔහුගේ අත්දැකීමක් යයි මා අසා තිබේ ( වැරදි විය හැක.) මෙහි අපුර්වත්වය නම් කොතනකවත් මේ තැනැත්තිය ඔහු ගේ පෙම්වතිය බව සඳහන් නොවීමයි. සමහර විට ඔහු සිතින් ඇයට ආලය කරන්නට ඇත. එසේම ඔහු සරසවි වරම් නොලැබුවා යන්න ද මෙහි සඳහන් නැත. සමහර විට ඇය නොයන සරසවියක අපේ කතා රචකයා ශිෂ්‍යයෙක් වීමට ද පුළුවන්. ඔහුගේ එකම කනගාටුව නිතර ඒ විප්‍රයෝගය ය. ඇය තමා අසල නොමැති වීම තුල මනසේ නැගෙන විවිධාකාර වූ අරගල සැමට පොදුය. අරුමය නම් ඒ සියල්ල සංයමයකින් විඳදරා ගැනීම වීනා ඒවාට එරෙහිව ක්‍රියා නොකිරීමය.

සනත් නන්දසිරිගේ සංගීතය හා හඬ, පුදුමාකාර ශෝකකුල බවක් නිර්මාණය කරයි.. ඒ සංගීතයේත් හඬේත් ඇති නිවුණු බව පදමාලාව සමග හරි හරියට බද්ධ වී ඇත. තරමක් දුරට ඔහුගේ නිදිකුම්බා මල් කැකුලි ගී යට සමාන බවක් මට හැඟෙ.
https://www.youtube.com/watch?v=dJ1d8_ZkIA4

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

1 comment: