Thursday 5 December 2013

සමනල සංධවනිය - සිනමාව සිනමාවක් ලෙස....


ජයන්ත චන්ද්‍රසිරි යනු ජාතිකවාදයෙන් මුසපත්ව අතීත කාමයෙන් යුතුව සිංහල සංස්කෘතියේ විවිධාකාර තේමාවන් ඔස්සේ නිර්මාණ කරන සිනමාකරුවෙකි. මෙසේ සිතා සමනල සංධවනිය බැලුවහොත් කියන්න වෙන්නේ 'බම්බුව තමයි' යන්නය. ජයන්ත චන්ද්‍රසිරි යනු මෙන්න මේ වගේ නිර්මාණ කරුවෙකුයි කුලක කිරීමට නොහැකිවන තරමටම සමනල සංධවනිය විවිධාකාරය.

එක්තරා විදිහක ෆැන්ටසියකුත් තවත් ආකාරයකම වූ  රොමැන්ටික් බවකුත් මුළු චිත්‍රපටය පුරාවටම දිව යයි. එහෙත් පරිකල්පන ලෝකයක ප්‍රේක්ෂකයා අතරමං නොකර ආදරය, love කිරීමක් නොකර ජයන්තගේ සිනමා ප්‍රේක්ෂකයන්ට වින්දනය කළහැකි නිර්මාණයක් ගෙන ඒමට ජයන්ත හැකි වී ඇත.

සමනල සංධවනිය තිර රචනය ජයන්ත විසින්ම ලියන ලද්දෙකි. සැබවින්ම එහි කතාවක් නැති තරම්ය. පොඩි කොල්ලෙකුට හමුවන ලියුමක් අයිති කරුට දෙන්න බැරි වීම නිසා සිදුවන සිද්ධි මාලාවක් ලෙස එය ලඝු කර හැක. නමුත් මුළු චිත්‍රපටය පුරාවටම ජයන්ත තමාගේ ප්‍රේක්ෂකයාව රදවා ගනී. ජයන්තට මේ සඳහා වගීෂ ලියුම දීමට ගන්න උත්සාහයන් මත හා පුණ්‍යා තම ආදරය ලිපියක් මගින්  ප්‍රකාශ කිරීම සාර්ථක නොවුණු පසු කුමක් වේවිද යන කුතුහලය මත යන කාරනා දෙක පමණක් මේ සඳහා ප්‍රමාණවත්ය. කෙසේ වුවද මල් වත්තේ විහිළු කාරයන් ගේ සිද්ධි මාලාව ඕනවට වඩා වැඩි යන්න මගේ හැගීමයි. ආරම්භයේදී 'එකිනෙකෙට සම්බන්ධ දෙයට අප ජීවිතය කියනවා' පවසමින් එකෙඉනෙකෙත සම්බන්ධ කොච්චි පෙට්ටි පෙළක් පෙන්වයි. එකිනෙකට සම්බන්ධ නැති දේ 'ආදරය' පෙන්වීමට කිසිවක් යොදා නොගැනීම තුලින් එය 'මෙන්න මේ වගේ' යයි විස්තර කල නොහැකි බව අධ්‍යක්‍ෂක ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වයි.

ජයන්ත චන්ද්‍රසිරි නම් කතා කාරයා පුණ්‍යා  ගේ ස්වාමි පුරුෂයාව ඇගෙන් ඈත් කරන්නට තැබීමට සෑම විටම උත්සහ කරයි.මුළු චිත්‍රපටයටම  දෙවරක් පමණක් පෙන්වන රේවත ව (රොජර් සෙනවිරත්න) පුණ්‍යා  ගෙන් ඈත් කිරීමට නිර්මාණ කරුවා කරනුයේ ඔහු හමුදා නිලධාරියෙක් කිරීමය. පුණ්‍යා තුල ඔහු පිලිබදව ආදරයත් ගෞරවයත් තබා ගැනීමට මෙය අනගි ක්‍රමයක් වී ඇත. ඒ තුලින් පුණ්‍යා  තුල වෙන ආදරයක් ඇති වීම වැලැක්වීම වගේම, හමුදා නිලධාරියෙකු ගේ බිරිදකට ආදරය කිරීමේ බියක් අනිත් අය කෙරේ ඇති කරලීමට ඔහුට හැකි වී ඇත. අධ්‍යක්‍ෂක ඒ තුලින් පුණ්‍යා යනු සුපිරිසිඳු සුදු චරිතයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. නමුත් මෙය කෙතරම් සිනමා කතාවට අවශ්‍යද යන්න පැහැදිලි නැත.
සංගීත ප්‍රසංගයක වගිෂ (උද්දික ප්රේඅමරත්න) 'ඉකිගසා හඬනා..' ගීතය ගායනය කිරීමේදී වන මතක ආවර්ජනය ඔස්සේ කතාව ආරම්භ වේ. 1992 දී  සිදුවන සිද්ධියකින් ආරම්භ වන කතාවේ,වගිෂ නම් නව යොවුන් තරුණයා(සුර්යා සඳරුවන්) ට අහම්බෙන් ලැබෙන පුණ්‍යා (යශෝධා විමලධර්ම) ගේ ලිපිය කියවීමෙන් නැවත අයිතිකරු වෙත ලබාදිය යුතුය යන්න තීරණය කිරීමට තරම් ඒ ලිපිය ප්‍රබලද? මා හට දැනුනු ලෙස එය ජීවිතයක් වෙනස් කිරීමට තරම ප්‍රබල ලිපියක් නොවේ. නමුත් වගිෂ ගේ චරිතය සංගීතය පිරි නිර්මාණශීලි පුද්ගලයෙකු ලෙස නිර්මාණ කිරීම තුලින් ජයන්ත ඔහු අති සංවේදී චරිතයක් යන්න පැවසීමට උත්සහ කරයි. සංගීත ගුරුවරයා වගිෂ නිර්මාණ කල සංගීත කාණ්ඩය  'කේමදාසගේ ද' යන ප්‍රශ්නය ඇසීම තුලින් ඔහුගේ නිර්මාණශීලි බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට අධ්‍යක්ෂක උත්සහ ගනී. 'කලාකරුවා අති සංවේදී පුද්ගලයෙකි' යන සම්මතය ඔස්සේ ජයන්ත මෙය කීමට සැරසුනත් නුතන කලාකරුවන් මේ සම්මත කුලකයේ සිටීද යන ප්‍රශ්නයත් සමග ප්‍රේක්ෂකයා 'ඔව් කලාකරුවෝ සංව්දී' යන්න සිතීමට තරම්  චිත්‍රපටය ප්‍රබල ලෙස වගිෂ නිර්මාණය කර ඇත.
එහෙත් තමා සමග එකට සංගීතය හදාරන ගැහැණු ළමයාගේ ආදරය ප්‍රතික්‍ෂේප  කරනුයේ ඇයි ද යන්න අපැහැදිලිය. එය පැහැදිලි කර ගැනුමට පාසල් විවිධ ප්‍රසංගයේ වගිෂ විසින්ම රචනා කර සංගීතවත් කල ගීතය පැහැදිලි කර ගතු වේ.

මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ
http://www.youtube.com/watch?v=EjD1jhCFuSM
මේ ගීතය ට මුලික තැනක් නොලැබුනත් වගිෂ ෆැන්ටසියක අතරමං වී ඇති බව හා එය චිත්‍රපටයේ  කතාවේ හැරවුම් ලක්ෂයක් වී ඇති බව ඉතා පැහැදිලි වේ.
ඉන්පසුව එක්වරම දකින්නට ලැබෙන්නේ බීමත්ව සිටින වගිෂය (උද්දික ප්‍රේමරත්න).කතාව ගලා යාමේදී මේ රූපණ කොටස යම්කිසි ඡේදනයන් පෙන්වයි. එය හරියාකාරව අවබෝධ කිරීමටඅධ්‍යක්ෂක නැවත ගීතය යොදා ගනී. එසේම වගීශ ලිපිය නැවත පුණ්‍යා ට ලබාදීමට නොහැකි වීමෙන් කෙතරම් තම ජීවිතයට බලපෑමක් සිදුකරගෙන ඇති ද යන්න පැවසීමට ද ජයන්ත යොදා ගන්නේ 'ගගන සරන්නට..' ගීතයයි.

ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි 
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ
http://www.youtube.com/watch?v=EajIs8mhl7A
හිස්තැන් පිරවීමට ගීත එකතු කිරීමේ කලාව බැහැර කොට නියමාකාර වූ අවශ්‍යතාවයට ගීත එක් කිරීම ජයන්ත ගත් උත්සාහය අගය කල යුතුය.
මුළු සිනමාවම නිර්මාණය වී ඇත්තේ සංගීතය තුලය. එය 'සිනමාව තුල සංගීතය' යන්න ප්‍රකාශ කිරීමට වඩා 'සංගීතය තුල සිනමාව' යන්න කීම වඩාත් අගනේය. දර්ශන රුවන් දිසානායක ගේ වික්‍රමය කේමදාසගේ තරම් නොවුනත් ඉතා ඉහල අගයක් ගනීවි යන්න මගේ හැගීමයි. එය සාමාන්යග ව්‍යවහාරයේ යෙදෙන 'පසුබිම් සංගීතය' නොව සැබවින්ම 'සිනමා සංගීතයකි'. 'ඉකිගසා හඬන...' ගීතය ඒ තරමටම සිනමා කතාවට බද්ද වී ඇත.
බොහෝ විචාර තැන් වල උද්දික ප්‍රේමරත්න ගේ රගපෑම ගැන ඉහලින් කතා කරනු දැකිය හැක. එය එසේමය. නමුත් සුර්යා සඳරුවන් ගේ රඟපෑම ඒ නිසා අත හරිය නොහැක. මුළු චිත්‍රපටයේම අඩකට ආසන්න ප්‍රමාණයකට ඔහු විසින් වගිෂ ට කරනු ලබන්නේ අමිල මෙහෙයකි. එසේම යශෝධා යනු සීමිත පරාසයක් තුල රඟපානා නිළියකි. ඇය මල්ගස් වටේ දුවන හෝ මාර්කට් එකේ වට්ටි අම්මගේ චරිතය නිරුපනය කරනවා දැක නැත. මෙවන් සිමා සහිත වූ පරාසයක රඟපාන යශෝධා, මෙතෙක් රඟ පෑ සුවිශේෂී චරිතයක් ලෙස පුණ්‍යා ගේ චරිතය හැඳින්විය හැක. විශාල ඉඩක් පුණ්‍යා  ගේ චරිතයට චිත්‍රපටයේ ලබා දී නැති වුවද සමනල සන්ධවනියේ ඇගේ රඟපෑම ඉතා ඉහලය. නමුත් වගිෂ ගේ බිරිඳ ලෙස චතුරිකා පිරිස් ගේ භූමිකාව, ඔහුගේ හැසිරීම පවුලට විශාල බලපෑමක් කර ඇත යන්න කීමට තරම් ප්‍රබල නැත. මේ සියළු චරිත අතර වගිෂ ගේ අය්යා ලෙස රඟනා පුබුදු චතුරංග ගේ රංගන ප්‍රතිභාව ඉහල නමුත් චිත්‍රපටයේ ඔහුට විශාල දෙයක් කිරීමට අවස්ථාවක් ලැබී නැත.

මා හට විල්සන් ගුණරත්න ව ඩනී ගේ චරිතයට යොදා ගත්තේ ඇයි ද යන්න ප්‍රෙහෙලිකාවකි. ඔහුගේ රඟපෑමේ අවුලක් නැත. එහෙත් ඒ චරිතය සඳහා ඔහු සුදුසුද යන්න සිතා ගත නොහැක.

ජයන්තගේ සෑම නිර්මානයකම ඔහුටම ආවේනික වූ දෙබස් ඇත. මේ චිත්‍රපටයේද එසේය. වරෙක වගිෂ ගේ අය්යා තම පෙම්වතියට ලියුමක් රැගෙන යන ලෙස කියන  දෙබස් කණ්ඩයේ අවසානයේ ඔහු තාත්තට කියන්න එපා යි පවසන අතර හේතු ලෙස කියනුයේ 'පව් අම්මත් නැති අසරණ තාත්තා..' යන්න. වගිෂ ව එලවා එන උද්‍යානයේ  විහිළුකාරයන් ට වගිෂ ගේ අය්යා පිළිතුරු දෙනුයේ 'ඔව් මහරජ්ජුරුවන් එයාගේ අය්යා යකෝ..' මෙසේ සුපුරුදු ලෙස වචන වලින් පවසන දෙයට වඩා වැඩි අර්ථයක් නිර්මාණය කිරීමට ජයන්ත ට සමනල සන්ධවනියේ ද හැකි වී ඇත.

හතු පිපෙන්නා සේ රජ කතා කියමින් චිත්‍රපට හැදෙන (නිර්මාණ නොව) මෙවන් කාලෙක ජයන්ත චන්ද්‍රසිරි  ගේ සමනල සංධවනිය කතරට වැටුණු දිය බිඳක් බඳුය. කොපමණ කාලයක් සිනමාහල් වල ප්‍රදර්ශනය කලද කොපමණ ආදායම් වාර්තා තැබුවද තවත් සමනල සංධවනිය වගේ නිරමාණයක් එසේ නැති නම් ඒ කිට්ටුවෙන් යන චිත්‍රපටයක් වෙනත් නිර්මාණ කරුවෙකුගෙන් නිර්මාණය වේවිද යන්න සක සහිතය.
යථාර්තවාදී සිනමා ප්‍රේක්ෂකයන්ට  නම් සමනල සන්ධවනි යනු ගන්නම දෙයක් නැති සිනමාවක් වේවි. එහෙත් සිනමාව 'සිනමාවක්' ලෙස දකින්නන් හා සිනමාව තුල 'රොමැන්ටික්' ලකුණ සොයන්නන්ට නම් සිංහල සිනමාවේ මෙතක් බිහි වූ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස මෙය විඳින්න හැකි වේවි.

ප: ලි: - මා film එක බලපු දවසේ Liberty සිනමාහලේ නොනවත්වා mobile phone එක නාද උණු එකාගේ අම්මට අසනීප වූවානම් සමාවනු මැනවි.

No comments:

Post a Comment