Monday 9 December 2013

ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන්...!!!!


මට මෘදංග හඬට තියන ආශාව නිසාම හිතේ රැඳුනු ගීයක් තමයි මේ ගීතය. 

ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....

ශාන්තිනීගේ නළලේ රතුපාට කුංකුම තේමා අහසේ හඩන්නේ චන්දිරම්ය. චන්දිරම් යනු සෙරු වගේ කුරුල්ලෙක් ලෙසයි මට දෙමළ මිත්‍රයෙක් කිව්වේ. මේ කුරුල්ලා හඬන විට වහිනවලු. වහින විට පවා දෙවියන් සිටින පාන් පැල ට ගිනි ඇවිලී ඇත. ගිනිගත් පාන් පැලක දෙවියන්  නැත. ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යායුතුය. 
මා විස්වාස කරන්නේ සරල ගීතයක සංගීතය යනු මේ වගේ දෙයක් යන්නය.. ශාන්තිගේ කුංකුම තේමා හඬන චන්දිරම් ගේ හඬ මෙහිදී ඇසේ. එසේම පාන් පැලට ගිනි ඇවිලී දුම නගින ආකාරයද කපුගේ අපිට හඟවයි. (කුංකුමම්, චන්දිරම්, දුම් පද වලින් පසුව වැයෙන හඬ විදින්න) මේ ගීයේ පද වලින් කියනා අර්ථය සංගීතයෙන්ද කියයි. තවත් විදිහකින් මේ ගීතයේ සංගීතයද භාෂාවක් වී ඇත.

කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......

මේ චිත්‍රය බොහෝ දෙනා විඳ ඇතැයි සිතමි. රතන් ශ්‍රී ද විඳ දරා ඇතැයි සිතමි. කඳුළු පිරුණු දෑස් වලට ලොකු කරාබු (තිරුවංගල්) වල එලිය වැටුණු විට යුවතියේගේ මුහුණේ ඇතිවන චමත්කාරය අත්තෙන්න්ම කියා ගන්න බැරි තරම් ලස්සනය. ('රෝජා' වගේ දෙමළ චිත්‍රපටයක් බලන්න. මේ ලස්සන දකින්න පුළුවන් වේවි). ශාන්තිනිලා නෙමෙයි ලජ්ජශිලිව හැදුනු බොහෝ කෙල්ලන් බය උනාම කරන්නේ අත් දෙක වේගයෙන් සලන එකය. (හැංගි හොරා ආදරය කරපු කෙනෙක් කාට හරි තම ආදරය හසු වුවොත් 'මට බයයි...අනේ මොනවා හරි කරන්න' කියලා අත් සොලවන්නේ...) ශාන්තිනීගේ දෑත් විශේෂයි... ඒ දෑත් වල වළලු පිරි ඇත. මේ අහන්නේ මේ ඒ වළලු බාරද කියාය. තිරුවංගල් සැලෙන ආකාරය හා වළලු සැලෙන ආකාරය එකිනෙකට වෙනස්ය. කපුගේ සංගීතයෙන් මවන්නේ මේ වෙනස්ය. 

සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න

අවසානයේ අපේ කතා නායකයා ප්‍රශ්නයට අවතීර්ණ වේ. ශාන්තිනිව ලබා ගන්න බැරි ප්‍රශ්නය මේ සිරිත් විරිත්ය..කුලය....ගෝත්‍රය...හා වර්ගයයි... ඔහු ඉල්ලන්නේ ශාන්ති පමණක්ය.... ඒ ඉල්ලන්නත් ආයාචනත්මකවය... ගෞරව සම්ප්‍රුක්තව. ශාන්තිනීගේ පාර්ශ්වය පිලිබඳ ඔහුගේ තිබෙන හැගීම අපට තේරුම් ගත හැක. තිරුක්කුරල් පොත යනු අවවාද උපදෙස් සහිත දෙමල භාෂාවෙන් රචිත පොතකි... මෙහි සදහන් කරුණු කාරනා ඕනෑම සමාජයකට පොදුය. නමුත් කථකයා කියන්නේ දෑස් පියා ගන්න ලෙස පොත අරින්න පෙර...ඒ ඔහුගේ පාර්ශවයටය. මන්ද නැති නම් මේ පොත 'දෙමළ' බව පෙනේ... අපේ කතා නායකයා නෙළුම නෙලා අවසානය. සිබීමට අවසර නැත්තේ නෙළුම පිපුනේ මඩ ගොහොරුවක.. පිලී ගඳ ඇති ජලාශයක නිසාය... එනම් 'සිරිත් දෑ කුල ගොත්' ය.

මේ ගායනය ගැන මම කිසිවක් නොකියමි.. මේ තරම් ලයාන්විත, මිහිරි කටහඩක් මේ ගීතයට ලැබීම අත්ත්න්න්ම රත්න ශ්‍රී ගේ හා කපුගේ ගේ වාසනාවක් ය.

මෙය රත්න ශ්‍රී ගේ පුද්ගලික අත්දැකීමක් යි සඳහන් වන තැනක් හම්බ උනා... ඇත්ත ද දන්නේ නැහැ...

ගීතය 

මෙම ගීතයේ වැයෙන බට නලා හඬත් සමග පරණ ගුවන් විදුලියේ වැයෙන දෙමළ සංගීත කණ්ඩයක් මතක් වෙනවා (සුර අසුර ටෙලි නාට්‍යයේ වීනා ජයකොඩි සවන්දෙන්නේ මේ සංගීත කාණ්ඩයට)... කාට හරි මතක නම් ඒ සංගීත කාණ්ඩය හා කා ළඟ හරි තිබෙනවානම් සමග බෙදා ගන්න.

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

10 comments:

  1. තිරුවංගල කියන්නේ ලොකු කරාබු කියලා හොයා ගත්තේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? මම මේ වචනේ දෙමළ ශබ්ද කෝෂ ආදියේ බැලුවා ද්‍රවිඩ අයගෙන් අහලා බැලුව එහෙම වචනයක් හොයා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. දෙමළ මිත්‍රයෙක් කියූ දෙයක් අරගෙන තමයි කරාබු කිව්වේ... කෙසේ හෝ මම හිතන්නේ පළදනාවක් වියයුතුයි... එය නාසයටද කනටද යන්න පැහැදිලි නැහැ... නියම තේරුම දන්නේ නම් නිවැරදි කරන්න....

      Delete
  2. “තිරුවංගල්” වග තුග සෙවීම

    මේ වචනය ගැන මූලාරම්භය සෙවිමට මම හිතපු ක්‍රම දෙකක් තිබුණා
    A. සිංහල ලේඛණ වල මින් පෙර මෙම යෙදුම යෙදූ අවස්ථා විමසා බැලීම
    B. ජන වහරේ මෙම වචනය පවතිනවා ද හෝ පැවතියා ද කියා සොයා බලන එක
    C. වෙනත් භාෂා හා සිංහල ආශ්‍රිතව අනුමාන කරලා පද නිරුක්තිය හොයා ගෙන අපිම හොයා ගන්න එක.

    A. පෙර යෙදුම්
    අපේ මතකය හා අන්තර්ජාලයෙන් සොයා ගත හැකි උදාහරණ තුනයි මතක් වුණේ. ඒවා ලියූ කාල වකවානුත් සොයා ගත්තා නම් මේකේ අග මුළ හොයා ගන්න ලේසි වෙන්න තිබුණා.

    (අ) රත්න ශ්‍රී රචනා කළ - ශාන්තිනී ගීතයේ - මේ ගැන රත්න ශ්‍රී විජේසිංහම කියපු දේ, ඔහු මුලින්ම කිවුවේ ඒක දෙමළ වචනයක් වෙන්න ඇති කියලා. නමුත් මම කිවුවම දෙමළ අය මේක දන්නේ නැහැ කියලා, එතුමා කිවුවේ මේක අපේ සිංහල අය හදා ගත්තු එකක් වෙන්න ඕන කියලා. ඔහු හිතුවේ දෙමළෙන් "තිරු" කියන වචනේ පූජනීය කියන අර්ථය දෙන නිසා කණේ පලඳින අරුංගල් වලට අපේ කට්ටිය තිරුවංගල් කියලා හදා ගෙන වෙන්න ඇති. ඔහු හිතුවේ තිරුවංගල් කියන්නේ කඩුක්කන් වල පළඳින මැණික් ගල් විශේෂයක් කියලා. හැබැයි මට අමතක වුණා රත්න ශ්‍රී මහත්මයාගෙන් අහන්න ඔහු මෙම ගීතය ලිව්වේ මොන අවුරුද්දේද කියන එකත් ඔහුගේ ඔළුවට මේ වචනේ ආවේ කොහෙන්ද කියලා අහ ගන්න එක. උදාහරණයක් ලෙස මුලින් ලියැවුණු ගීතයෙන්ද, නැති නම් කණට ඇසුණු යම් පලාතක ජනතාව භාවිතා කල වචනයකින්ද? කරුණාසේන කොඩිතුවක්කුගේ කවිය වගේ වෙනත් නිර්මාණයකින් ද කියන එක.

    (ආ) මහින්ද චන්ද්‍රසේකර 1986 දී රචනා කළ - ‘මරතෝණ්ඩිය රටා’ හෙවත් ‘පාතිමා’ ගීතයේ - මහින්ද චන්ද්‍රසේකර දැන ගෙන හිටියේ නෑ රත්න ශ්‍රී විජේසිංහගේ “ශාන්තිනී තෙමා වැටේ” සින්දුවේ තිරුවංගල් කියන වචනය යෙදෙන බව. ඔහු හිතුවේ ‘ශාන්තිනී’ ගීතය ලියැවෙන්න ඇත්තේ ඔහු මෙම වදන ඇතුළත් කරලා ලියපු ‘පාතිමා’ හෙවත් ‘මරතෝන්ඩිය’ ගීය ලියපු 1986 ට පස්සේ වෙන්නැති කියලා. ඔහු තිරුවංගල් කියන වචනේ උපුටා ගෙන තියෙන්නේ පරාක්‍රම කොඩිතුවක්කු ගේ අපි කතා කරපු කවියෙන්.

    මට හිතෙන්නේ මේ ගීත රචකයන් දෙදෙනා ම ඔවුන්ට වෙනත් තැනකින් ඇසුණු හෝ කියවූ වචනයක් එහි සැබෑ අරුත හෝ මූලාරම්භය සෙවීමට නො ගොස් රචනාවේ රසවත් බව සඳහා යොදා ගෙන තියනවා කියන එක. වරදක් කියනවා නෙවෙයි - අලුත් වචනයක් හැදුවත් මට නම් අවුලක් නෑ - හැබැයි ඒක cliche (මේවට කියන සිංහල වචනේ නම් දන්නේ නෑ) එකක් නොවී මේ කියන්නේ මොකක්ද කියලා හරියටම දැන ගෙන කරනවා නම් තමයි වඩා හොඳ.

    ReplyDelete
    Replies
    1. අරුංගල් යන වචනය සමගද සමීපතාවයක් පවතිනවා

      Delete
  3. (ඇ) පරාක්‍රම කොඩිතුවක්කුගේ 1972 ලියපු ‘නවතන්න, නවත්තන්න, ඔය හටන නවත්තන්න’ කියලා පටන් ගන්න කවි පන්තියේ එන “නැහැ පුඩුවේ-තිරුවංගල් රැස්‌ බැබැලෙන” කියන යෙදුම තමයි තිරුවංගල් වචනේ හමු වුන තුන් වන හා පරණම පෙර යෙදුම. මේ කවිය මට හමු වුනේ බුද්ධදාස ගලප්පත්ති දිවයින පුවත් පතට ලියූ පහත වෙබ් ලිපිනයේ ඇති ලිපියෙන්. එහි දී ගලප්පත්ති කියන්නේ “ඔහුගේ මේ නිර්මාණය බිහිවන 1972 වර්ෂය වන කල අපි සිංහල දෙමළ ජාතීන් අතර වූ විරසකයක්‌ පිළිබඳ අවාසනාවන්ත, රුදුරු, කුරිරු අත්දැකීම් දැඩි ලෙස විඳ නොසිටියෙමු” කියලා. මම මේ ලිපිය කියවලා තේරුම් ගත් විදිය හරි නම් මේ අනුව මේ නිර්මාණ තුනෙන් මුල් යෙදුම කරලා තියෙන්නේ පරාක්‍රම කොඩිතුවක්කු 1972 දී. ඒ කාරණය එහෙම නම් අහන්න හොඳම කෙනා ඔහු. ඔහු තාම ජීවතුන් අතරද? සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් තියද? වගේ දේවල් හොයා ගන්න ඕන.
    http://www.divaina.com/2009/11/05/sarasavi%205.html

    (ඈ) අපි නොදන්න වෙබ් හෝ පොත පත වල වෙනත් පෙර යෙදුම් ඇත්නම් ඒවා සෙවීම

    B. ජන වහර
    මේ ගැන සොයන්න මට ක්‍රම දෙකයි ඔලුවට එන්නේ.
    1. එකක් fb සිංහල ව්‍යාකරණ පිටුවේ කරා වගේ fb එකෙන් හා බ්ලොග් වලින් අහන එක.
    2. ජේ.බී. දිසානායක වගේ ජනවහර ගැන විශාරදයින් ගෙන් ඇසීම.

    C. වෙනත් භාෂා හා සිංහල ආශ්‍රිතව අනුමාන කරලා පද නිරුක්තිය හොයා ගෙන අපිම හොයා ගන්න එක.
    මේ පිළිබඳව දැනට ආපු හෝඩුවා වන්
    1. නිලාර් එන් කාසීම් “මරතෝන්ඩිය රටා” ගැන දිවයින පුවත් පතට ලියූ ලිපියේ පලවූ:
    • මීට ආසන්තම ශබ්දයක් හා අර්ථයක් ඇති දෙමළ පද්‍ය "තිරුපහමනි" ය එනම් කරාබූවක හෝ නාසිකාභරණයක අග ඇති මූරිච්චිය
    2. අග්නිදිග සරසවියේ අමරසිරි වික්‍රමරත්න මහතා:
    • ඔහුගෙන් තිරුවන්ගල් පදයේ අරුත විමසා සිටියා. ඔහු පලකල අදහස මෙසේයි. තිරුවන්ගල් නම් දෙමළ වචනයක් නැත. නමුත් පුරුවම්හල් නමින් ඇසි දෙබැම හැඳින්වේ. මෙය එයින් බිඳී ආ වදනක් දැයි සිතේ.
    2. දිනාලි පෙරේරා:
    • ලාම්පුවක් වගේ වෙනත් යමක් වෙන්න බැරිද?
    • එළිය වැටුනම දිලිසෙන යමක්? වෙන්න බැරිද
    3. මෙනූෂා ක්ෂේවියර්:
    • (රතන ශ්‍රී ත් කිවුවා වගේම) ඕක මැණික් ගලක් වෙන්න බැරිද?
    4. ජනක බොරලැස්ස:
    • තිරුවංගල් කියන්නේ උල්කරනවා, හෝ උල්වූ කොටස කියන එක කියලා සමහරු කිවුවා
    3: වෙබ් සෙවීම:
    • තිරුවංගල් කියලා නගරයක රාමස්වාමි කෝවිලක් ඇති බව

    හැබැයි එකක් පැහැදිලියි රත්න ශ්‍රී වාගේම මහින්දත් තිරුවංගල් කියන වචනේ පාවිච්චි කළේ කණේ පළඳින ආභරණයක් හෙවත් කරාබුවක්, අරුන්ගලයක් හෝ කඩුක්කමක් කියන අරුතින්. එතකොට ඒ වචනේ වග තුග හොයන්න නම් පරාක්‍රම ම හොයන්න වෙනවා.

    ReplyDelete
  4. “තිරුවංගල් කියන්නේ Quartz කියන අදහස ගැන”

    රත්න ශ්‍රී අවබෝධ කර ගෙන තිබුනෙත් මේක කණේ පළඳින ආභරණයක ඇති මැණික් ගලක් වෙන්න ඇති කියන එක නිසා මේක කිට්ටුයි වගෙත් පේනවා.

    අරුණ කියන්න වගේ Quartz කියන්නේ සාමාන්‍ය භාවිතයෙන් නම් තිරුවාණා ගල්.

    හැබැයි මධුර ශබ්දකෝෂයේ සොයලා බැලුවහම දෑවාණ (quartz, crystal), දිය තරිප්පු (quartz), කදා (quartz, crystal, glass), පලිඟු වර්ගයක් කියන වචනත් එනවා. මේ අනුවත් වෙනත් යෙදුම් අනුවත් කදා මිණ, පලිඟු, විනිවිද පෙනෙන අර්ධ මැණික් ආදී විවිධ තැන් වල යෙදෙනවා.

    ඒ වගේම Quartz jewellery කියලා ගූගල් කරලා බැලුවාම මෙම අර්ධ මැණික් භාවිතා කල ආභරණ හමු වෙනවා. මේවා ගැන හිතුවාම නම් රත්න ශ්‍රී යොදපු විදිය ඒ කිවුවේ “කඳුළු වලට තිරුවංගල් එළිය වැටීමෙන්” කියන එක ලස්සනට මැවෙනවා.

    මේ ගැන අදාලයි වගේ පෙනෙන වෙබ් යෙදුම් කීපයක් තමයි - “රෝස තිරුවානා නැතහොත් මඳ රතු දිය තරිප්පු වූ කලී කොන්දේසි විරහිත, ආදරයට සම්බන්ධ අර්ධ මැණික් වර්ගයකි”, “දිය තරිප්පු වල වර්ණයන් බොහෝවිට අවර්ණ හෝ සුදුමැලි වුවද, තද වර්ණයන් බොහෝ සුලභ බවින් අඩුවේ.” “දිය තරිප්පු අතීතයේ උපැස් සෑදීම සඳහා දියතරිප්පු යොදා ගැනිනි”, “උදාහරණයකට දිය තරිප්පු වලින් කොත් හදනවා”, “ථූප කොත් සරසලා-හරි ඇඳිරි දුරලලා දිය තරිප්පු වැඩ දමා-ඔහු හිඳී සැනසිලා”

    හැබැයි කොස්සකට තියෙන්නේ Quartz වලට තිරුවාණා කියනවා මිසක්, තිරුවාණා+ගල්=තිරුවංගල් කියලා නම් කොහේ වත් යෙදිලා නෑ.

    ඕක කියපු යාලුවා හරියටම දන්නවා නම් මිසක් රත්නපුරේ හෝ යම් පලාතක Quartz වලට තිරුවංගල් කියලා කියන බවක් දන්නවා නම් මිසක් මේ කතාවත් එක පාරට පිළිගන්න බැරි සැකයෙන් යුතුව බැලිය යුතු, නමුත් තවත් විමසා බැලිය හැකි දෙයක් වෙනවා.

    හැබැයි පරාක්‍රම කොඩිතුවක්කු මේ වචනේ හදා ගත්තේ තිරුවාණා+ගල්=තිරුවංගල් කියලද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. 'තිරුවාණා+ගල්=තිරුවංගල්' මේක වෙන්න පුළුවන් 'තිරුවංගල්' කියන වචනය සිංහල නම්... නමුත් දෙමළ සංස්කෘතියත් එක්ක 'තිරුවංගල්' යෙදෙන නිසා මෙය සිංහල වචනයක් කියන එක සැක සහිතයි.

      Delete
  5. පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයාටත් කතා කරා අපේ හිතවතියක් දුරකථන අංකය සොයලා දුන්න නිසා. ඔහු කීවේ ඔහු 1972 ලියපු “පොඩි මල්ලී” කාව්‍ය සංග්‍රහයේ එදා මැරුණේ අපේ කෙනෙක්” කියන කවියේ ඔය වචනය අන්තර්ගත කළා කියලා. ඔහු කීවේ මේක ලංකාවේ වතුකරයේ භාවිතා වන ප්‍රකට වචනයක් කියලා. දෙමළ අය නහයට දාන කුඩා කරාබුවට තමයි මෙහෙම කියන්නේ කියලා කිවුවා. මම ඇහුවා ඔහුගේ කනෙන්ම මේ වචනේ අහලා තියනවාද කියලා. ඔහු කීවා ඒ කාලේ ඔහු වතුකරයේ ජනතාව සමග කිට්ටු සම්බන්දතාවක් පැවැත්වූ බවත් අවුරුදු 20ක් වැනි දිගු කලක් ඒ ප්‍රදේශ වල ගැවසුණු බවත් මේ වචනේ ගැන කට්ටිය දන්නේ නැති එක පුදුම බවත්. මම ඇහුවා මේ වචනේ වෙනත් ලේඛණ වල තියෙනවා දැකලා තියෙනවද කියලා. ඔහු කීවේ දන්නා තරමින් නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් විස්වාස කරන්නේ මේ කතාව (මගේ මිත්‍රයා දකුණු ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙක්) තිරු යන්න දෙවියන් (මතක විදිහට ලක්ෂ්මි) සමග යෙදෙන වචනයක්. කේරලයේ තියෙනවා තිරුවංගල් කියලා ප්‍රදේශයක්. බොහෝ විට දකුණු ඉන්දියානු දෙමළ කාන්තාවන් භාවිත කරන ආභරණයක් වේවි.

      Delete
  6. මේකේ දැනට ආපු අවසන් නිගමනය මගේ පිටුවේ දැම්මා මම ඔබට ෆ්‍රෙන්ඩ්ෂිප් රෙක්වෙස්ට් එකක් දැම්ම ඒක ශෙයා කරන්න

    ReplyDelete