Wednesday 18 December 2013

මගේ පෙත්තෝ...

අපේ මාමාලගේ ගෙදර පටි වාදන යන්ත්‍රයක් තිබුනා . එහි ගිය විට මේ මැජික් යන්තරය ක්‍රියා කරනවා බලන්න පුදුම ආශාවක් අපිට තිබුනේ... ඉතින් කොහොම හරි මාමට ඇවිටිලි කරලා මොකක් හරි පටියක් වාදනය කර ගැනීම තමයි අරමුණ. එදා වාදනය කරේ මේ මම කියන ගීතය.. පොඩි වෙලාවයි ගියේ නැන්දාගේ ගෝරනාඩුව පටන් ගත්තා... "මොනවද මේ පොඩි ළමයින්ට අහන්න දාන්නේ.." කියලා පටන් ගත්තු ඒ විධානය අපේ අවශ්‍යතාවය නැවැත්තුවා... එතනින් පසුව අපිට රසවිඳින්න ලැබුනේ නැන්දාගෙයි මාමගෙයි වාද බයිලාව.. කොහොම හරි මතකේ රැඳුනේ 'තණකොළ පෙත්තා', 'වරකා මදුල' හා මේ ගීතයේ තාලේ...ඒ මීට අවරුදු තිහකට පමණ පෙර....
කර දඩු උස් වෙලා යන්තම් දැලි රැවුල වැවෙන්න ගත්තු කාලේ මේ ගීතය තරම් පට්ට ගහපු වෙනත් ගීතයක් නැතුව ඇති... free period එකක හිමිහිට ඉස්කෝලේ ඩෙස්ක් එකට තට්ටුව දමා පටන් ගන්නා අපේ සාජ්ජය, ගුරුවරයෙකුට එන්න මග විවර කර අඩුම තරමේ දෙතුන් දෙනුකුට ටොකු ඇන පන්තියේ ඉස්සරහා දනගස්සවා ආතල් එක වාෂ්ප වන්නේ ගොඩක් වෙලාවට මේ සින්දුවෙන්... මේ සින්දුව නොකියපු පාසල් වාරයක් නැති තරම්... 9-10 පන්තියේ සිට උසස් පෙළ පන්ති දක්වාම මේ කාරණය පොදුයි. ඒ ඒ කාලවලදී ගුරුවරු දඩුවම් දීමට ඉදිරිපත් කල හේතුද අපුරුයි. ' අනිත් උන්ට හැදෙන්න අපිට දඩුවම් දෙනවා...' එහෙම නැති නම් 'උන්ව හදන්න බැහැ.. මුන් ටිකවත් හද ගන්නා ඕනනේ' කියලා. ඒ මීට වසර විස්සකට පෙර....
අපේ ගෙදර නිතර ආවා ගිය සෝමදාස අන්කල් මට මේ ගීතය සමග මතක් වෙනවා...අපේ ගෙදර එන්නේ බයිසිකලේ වයලීනයත් බැඳගෙන. සෝමදාස අන්කල් එයාගේ බාසාවෙන්ම 'සංගීතකාරයෙක්' (රතු ලන්තරුම වේදිකා නාට්‍යයේ  සංගීත නිරමාණ කරු). ප්‍රේමසිරි කේමදාස 'කේමදාස මාස්ටර්' වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ඇසුරු කර පුද්ගලයෙක්. ඔහුට කේමදාස මාස්ටර් 'ප්‍රේමසිරියා'. 'ප්‍රේමසිරියා' බට නලා වාදනය කරන තැන 'සොමදසයා' වාදනය කලේ සිතාර් එක.ප්‍රේමසිරිගේ හා සෝමදාස ගේ රසකතා බොහොමයි... බොහෝ ඒවා ඔවුන්ට උණු අකරතැබ්බ. තාත්තා නම් කියන්නේ සෝමදාසගේ කතා 'තාර බර' අයින් කර හිතා ගන්න ඕනනේ කියලා. සමහර වෙලාවට මේ කතා මට 'නැවත විකාශන'. සෝමදාස අන්කල් මට 6/8 beat එක උගන්නන්න, වයලීනයෙන් වාදනය කලේ මේ ගීතයේ තනුව...මට ගිටාර් එකේ වාදනය කරන්න කියමින් ඔහු ඒ ඒ තැනට එන chord එක කියනවා. 'දැන් පුතා සින්දුව කියන්න..' (ඔහු දන්නවා මම සින්දු කියනවා මිසක් ගායනයක් නොකරන බව). සෝමදාස අන්කල් වයලීනය වාදනය කරයි... මම ගිටාර් එක වයමින් සින්දුව කියයි...'පනිනවා මෝයේ කටේ..' කිව්වා විතරයි... සෝමදාස අන්කල් වාදනය නැවැත්තුවා...' ක්ලැරන්ස් ගොයියාගේ සින්දුවේ ඔහොම නෙමෙයි තියෙන්නේ..' එදා තමයි දැනගත්තේ මේ ගීතය ක්ලැරන්ස් ගේ කියලා..මා කොහොමද එහම නම් තියෙන්නේ කියලා ඇහුවම පුතා ඒක හොයා ගන්නකො.. කියලා 6/8 පාඩම නැවැත්තුවා. මේ මීට වසර දහයකට පමණ පෙර....

කාලයකට පස්සේ මම අන්තර්ජාල යේ මේ ගීතය හෙව්වා... ඇත්තටම මෙච්ච්චර කාලයක් කියල තියෙන්නේ හරි සින්දුව නෙමෙයිනේ...
මෙන්න ගීතය...
https://www.youtube.com/watch?v=GBhOCeNb600

දැන් කියපල්ලා අරුණ ගේ taste එක හරි පහත් කියලා...

facebook හි ගීයක වරුණ කණ්ඩායම සඳහා ලියන ලදී.

No comments:

Post a Comment